අපි ජීවත් වෙන්නේ පශ්චාත්-කාර්මික සමාජයක කියන සාධකය දේශපාලනය කරන බහුතරයක් දෙනෙකුට සිහිකටයුතු නැහැ. අනෙක් අතට, දැනට අපි ගෙවමින් ඉන්නේ සුබසාධන රාජ්‍ය ක්‍රමය අභ්‍යන්තරයෙන් අහෝසි වෙන යථාර්ථයකි. කඩයිම් විභාගයක් විසින් බුද්ධිමතුන් තෝරන අවසාන අවධියකට අපි දැන් එළැඹිලා සිටින්නෙමු.  සුබසාධන රාජ්‍යය ව්‍යුහයක් නිසා හැමතිස්සේම ලංකාවේ ‘තරඟය’ බිහි වෙන්නේ ධනපති නිෂ්පාදකයන් අතර නොව සුළු ධනේශ්වර පරපුටු බුද්ධිමතුන් සහ නිලධාරීන් අතර ය. මේ අය සමාජ ඉණිමඟේ ඉහළට ඇදී යාමට දරන උන්නතිකාමය සහ තම සමීප අනෙකා (බොහෝවිට තමන්ව අයිති සමාජ පන්තියේසාමාජිකයෙක්ව) මාරාන්තික තරඟකරුවෙකු ලෙස සැලකීම ලංකාවේ සමාජ-විද්‍යාත්මක පුරුද්දකි.

                         ලංකාවේ සමාජයේ තව ප්‍රධාන ලක්ෂණයක් තිබේ. ඒ තමයි, ‘ධනාත්මක ජීවය’ විනාශ කරන්න මිනිසුන්ගේ තිබෙන අවලස්සන උනන්දුව. 2005 අවුරුද්දේ දී ‘චරිත හේරත්’ රොහාන් පෙරේරාගෙන් මෙසේ අසයි. “මට ලංකාදීප කර්තෘ සිරී රණසිංහ කිව්වා ඔයාට කියන්න කියලා දිගට අච්චු ගහන්න පුළුවන් සඟරාවක් කරන්න පුලුවන්ද විජය ප්‍රකාශන සමාගම සමඟ කියලා”. මේ තමයි, සමාජයේ ධනාත්මක ජීවය වෙලා තිබුණු ‘ලන්ඩන්’ සඟරාවේ ජීවය මරන්න චරිත හේරත්, සිරී රණසිංහ රහසින් එකතු වූ තැන.

                           ‘ලන්ඩන්’ සඟරාව 2000 වර්ෂයේ සිට බෙදා හැරීමට සම්බන්ධ පුද්ගලයෙකු නමින් සඟරාවේ Copyright එක පවත්වාගෙන ගියේ පහසුව සඳහා ය. නමුත් 2004 වර්ෂයේ දී සිදු වූ ඛණ්ඩනයට පසුව ‘වාසුදේව නානායක්කාර’ මහතා නෛතික ලෙස ලිපියක් මා වෙත එවමින් ප්‍රකාශ කරන ලද්දේ, බුද්ධිමය දේපළ පනත යටතේ ‘ලන්ඩන්’ සඟරාවේ ප්‍රධාන කතුවරයා සඟරාව බෙදා හැරීමට මූලික වූ පුද්ගලයා බවයි. මා ඉහත උදාහරණ කිහිපය හරහා ඔබට කියා පෑමට උත්සාහ කරන ලද්දේ, ලංකාවේ හට ගන්නා ධනාත්මක ජීවයන් මරා දැමීමට කෙතරම් මිනිසුන් උත්සහ දරනවා ද යන්නයි. 

                           සමාජය ලස්සන කිරීමටත්, ‘අලුත් මිනිසෙක්’ බිහි කිරීමටත් යත්න දරන අපගේ දේශපාලනය විනාශ කිරීමට මිනිසුන් උත්සාහ කරන්නේ, කොමියුනිස්ට් සමාජයක දී පවා විනාශ කළ නොහැකි ඊර්ෂ්‍යාව නම් සාධකය නිසා ය.

                           ලස්සන දේවල් කැත කිරීමේ ව්‍යාපෘතියට දැන් අලුතින් එකතු වී ඇත්තේ, සුජිත් රත්නායක ය. පුද්ගලිකව මට කිව හැකි දේවල් ඔහු සකර්බර්ග්ගේ පිස්සං කොටුවේ කියා ඇත. පක්ෂයේ සහෝදරයෙකු ඔහු ලියූ දේවල් මා වෙත එවා යම්කිසි පිළිතුරක් සාධනය කළ යුතු යැයි මට යෝජනා කළේය.

                            කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් අප බොහෝ වාරයක් අත පුච්චාගෙන ඇත. මෙම අත පුච්චා ගැනීම ආරම්භ වූයේ, ‘අශෝක හඳගමගේ’ සිනමාව අර්ථකථනය කිරීමට යාමෙනි. භින්න පෞරුෂයන් සහිත පුද්ගලයන්ට සහ හැංඟී හොරා පොලිස් ක්‍රීඩා කරන තක්කඩින්ට වඩා සුජිත් එඩිතර ය.                                             

                අපි දැන් විවාදය පටන් ගමු.

සංවිධානයක් ලෙස අප කලාව සහ සංස්කෘතිය පිළිබඳ මතවාදී සටන සිදු කරන ලද්දේ, මහාචාර්ය ගම්ලත් සමඟ ය. ඔහුගේ කලාව පිළිබඳ මුඛ්‍ය මතවාදය වූයේ, කලාව එක්කෝ යථාර්ථය නියෝජනය කළ යුතු ය නැතහොත් එය ජය ගන්නා සටන් ශෛලිය කියා දිය යුතු ය යන්නයි. 

                          ඊට පරස්පරව අප පෙන්වා දිය යුතුව පැවතියේ, ‘කලාව’ සංස්කෘතියට ඌනනය කිරීම කලාවේ පන්ති මානය අහෝසි කිරීමක් බවත්, සංස්කෘතිය හුවමාරු වටිනාකම් ක්ෂේත්‍රයට (පාරිභෝගික භාණ්ඩ ක්ෂෙත්‍රයට) ඇතුළු වී ඇති නිසා සංස්කෘතිය සතුව ඇත්තේ දෘෂ්ටිවාදී අන්තර්ගතයක් පමණක් බවත් ය.

                        අපගේ ඉහත ප්‍රවාදය, අද වනතුරු න්‍යායික කරුණු හරහා කිසිවෙකු ඛණ්ඩනය කොට නැත. ‘පශ්චාත්-නූතනවාදයේ’ මූලික ප්‍රවාදය වන්නේ, සංස්කෘතික නිෂ්පාදන වලට අදාළව අවකාශීය ගොඩනැංවීම මිස කාලයේ ගලා යාමක් නැති බවයි. Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවි යනු ම අකාලික සහ අවකාශය ඝණීභවනය වූ ප්‍රාග්ධන සංකේන්ද්‍රණයේ ප්‍රාථමික අවස්ථාවකි. නූතනත්වය යනු, ‘විනෝදය’ ලබා ගත නොහැකි මුලාවක් ලෙසින් ඥාණනය වන්නේ නම් පශ්චාත්-නූතනත්වය යනු, ‘විනෝදය’ ලබා ගත හැකි දෙයක් බවට කරන සුපිරි අහමේ නියෝගයකි. 

                          මමත්, අපගේ සංවිධානයේ මුඛ්‍ය න්‍යායික ස්ථාවරයන් රකින සහෝදර සහෝදරියන් ද හෙජමොනික දේශපාලනය ”සාධාරණ දේශපාලන න්‍යායක්” ලෙස සූත්‍රගත කළේ නැත (The Generalization of the Hegemonic form of Politics). නමුත් අපගේ සංවිධානයෙන් පුද්ගලික ගැටලුවක් නිසා (මේ වෙන්වීම දේශපාලනික හේතුවක් මත සිදු වූවක් බව යමෙකු ඔප්පු කරන්නේ නම් මම දේශපාලනයෙන් ඉවත් වෙමි) ඉවත් වූ පුද්ගලයෙකු දිගට හරහට අධිනිශ්චය කරන ලද්දේ, හෙජමොනික දේශපාලනය යි. නමුත් අපගේ සංවිධානයේ ‘කතිකාව’ උපුටා ගන්නේ නැතිව එහි විප්ලවවාදී අංශය උපුටා ගත් මිනිසුන් රටේ බොහෝ තැන්වල විසිරී සිටිති. අපගේ සංවිධානයේ කතිකාව විලාසිතාවක් කරගත් තක්කඩින් මාධ්‍ය හරහා පසුගිය දශකයක කාලයක් තිස්සේ බැලුම් පුම්බමින් සිටි අතර ඒවායේ හුලං දැන් බැසගෙන යන බවක් දෘෂ්‍යමාණ ය.

                      පසුගිය දිනෙක ‘දෙරණ’ නාළිකාවේ චතුර අල්විස් මහතා ‘දොළුකන්ද’ ආරාමයේ වැඩ සිටි එකල ඉතා ජනප්‍රිය වූ දොළුකන්දේ හාමුදුරුවන් ගෙන් ඉතා දේශපාලනික ගැටලුවක් මෙලෙස මතු කරයි. “මොකක්ද හාමුදුරුවනේ දොළුකන්දට උනේ ?” එවිට, හාමුදුරුවන් මෙලෙස තම කටහඬ අවදි කරන ලදි. “මහත්තයෝ Media වලින් මට ගංගොඩවිල සෝම හාමුදුරුවන් ගැහුවා. ඒ කාලේ මට කිහිපදෙනෙක් කිව්වා මාධ්‍ය වලට ගිහිල්ලා ටිකක් promote වෙන්න කියලා. ඒ කාලේ මම ඔය වචනේ තේරුමවත් දන්නේ නෑ”.

                       දොළුකන්ද හාමුදුරුවන් සිවිල් චරිතයක් නොවන අතර උන්වහන්සේ යම්කිසි ‘ජනකායක්’ ජනප්‍රිය ආකාරයකට ගොඩනැඟූ පුද්ගලයෙකි. සෝම භික්ෂුව කපටි ආකාරයට මාධ්‍ය හරහා මිථ්‍යාව වනසන බව පවසමින් අලුත් මිථ්‍යාවක් (සිංහල ජාතිවාදය) සමාජයේ වගුරන ලදී. දොළුකන්ද සාරවත්‍රික ය. නමුත් සෝමගේ ජනප්‍රිය බුදුදහම සුවිශේෂයකි. පසුකලෙක, චම්පික-රතන නඩය ප්‍රයෝජනයට ගත්තේ මෙම අවස්ථාවාදී බුදුදහම ය. ඉන් රට විනාශ වී පවුලක් රජ විය. 

                         2004 වර්ෂයට පසුව මා නොකරන ලද දෙය වූයේ, මාධ්‍ය ඉස්සරහට ගොස් මගේම අතිරික්තය ( මා නිසාම පොරවල් වූ තක්කඩි රංචුව) සමඟ මරාගෙන මැරී ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් වීම ය. ඒ වෙනුවට මා යොදාගත් උපක්‍රමය වූයේ, ගරිල්ලා ක්‍රමයකට මාව පාවා දුන් තක්කඩි රංචුවේ එක එකාව විනාශ කිරීම ය. දොළුකන්ද හාමුදුරුවන්ට මෙන්ම සිවිල් නොවන චරිතයක් වූ මා හට ද වැරදුණු තැනක් ඇත. එනම්, මා හට ද මීඩියා සමඟ තක්කඩි game ගැසීමට නොහැකි වීම ය. අපව පාවාදුන් තක්කඩි රෑන මීඩියා ඉදිරිපිට අප විසින් නිර්මාණය කළ ‘ලස්සන දෙය’ ලැජ්ජා විරහිතව පාවා දුන් අතර හැකි සෑම මොහොතකදීම මගේ නමට නින්දා කළේ ය. එතැනින් නොනැවතී මගේ බිරිඳට ද නින්දා කළේ ය. අද වනතුරු, මේ කිසිවෙකු මා විසින් ලංකාවේ සමාජය විප්ලවවාදී ව වටහා ගන්නට ඉදිරිපත් කළ න්‍යායන් ඛණ්ඩනය කොට නැත. ‘පශ්චාත්-නූතනවාදය’ අවසන් යැයි ඔප්පු කිරීම කළ යුත්තේ මට නොව ෆෙඩ්රික් ජෙම්සන් ඉදිරිපිට බටහිර ඇකඩමික සමාජයකට ය. තිසීසයක් ඛණ්ඩනය කරනවා යනු, තරමක භාරදූර දිගු වෙහෙසකර වැඩකි.

                        දැන් අපි සුජිත් රත්නායකගේ ගැටල්‍රවට එමු.    

 ‘යථාර්ථය’ පිළිබඳ අපගේ තිසීසය මහාචාර්ය ගම්ලත්ගෙන් සහ ලංකාවේ ජාතිවාදීන්ගෙන් සපුරා වෙනස් ය. යථාර්ථය සහ ආත්මය අතර පවතින රැඩිකල් අසම්පාතය ‘ලෙනින්ගේ තේරීම’ නම් ලිපියේ දී ස්ලාවෝජ් ජිජැක් මෙසේ පවසයි.

               “විඥාණය විසින් ඉන් පිටත ‘වාස්තවික යථාර්ථයක්’ පවතින්නේ යැයි කරන අවධාරණය එක්තරා රෝග ලක්ෂණාත්මක විස්ථාපනයක් ගම්‍ය කරයි. මෙමඟින් වසන් කරනුයේ, විඥාණය එය පිළිබිඹු කරන යථාර්ථය තුළ ම සලකුණක් ලෙස පවතීය යන කාරණය යි”.

ඉහත අදහස ඔබට වැටහෙන්නේ නම්, යථාර්ථයකින් තොරව විඥාණයක් පැවතිය නොහැකි ය. එපමණක් නොව, මනෝවිශ්ලේෂණ ආත්මයක් ද බිහි වීමට ඉඩක් නැත. මනෝවිශ්ලේෂණමය ‘ආත්මයක්’ යනු, දෘෂ්ටිවාදී කතන්දරයක අර්ථය අවසන් වූ පසු බිහි වන දෙයකි. මනෝවිශ්ලේෂණය යථාර්ථවාදයට පරස්පරව ‘යථාර්ථය’ යනු එක්තරා පලා යාමක්, ගැලවීමක් ලෙස ගන්නේ මේ නිසා ය. එබැවින්, අපගේ න්‍යායික ස්ථාවරයට අනුව යථාර්ථවාදය යනු ම ‘දෘෂ්ටිවාදයකි’. යමෙකු තම රහසිගත අශ්ලීල විනෝදයෙන් ගැලවීමට- ආත්මය යනු මෙම විනෝදයෙන් වේදනාත්මක සතුටක් ලබන්නා ය යනුවෙන්- යම්කිසි යථාර්ථයකට ඇතුල් වෙයි. එබැවින්, අපි යථාර්ථයෙන් අපගේ මනංකල්පිත විනෝදය අඩු කළොත් යථාර්ථයට එහි ස්ථීරත්වය අහිමි වී එහි ඒකාබද්ධතාවය බිඳී යයි. යථාර්ථය හෝ මනංකල්පිතය අතරමැද ස්ථාවරයක් තෝරා ගැනීම ද දෝෂ සහගත ය.

                      අපගේ කටුක බාහිර සමාජ යථාර්ථයෙන් දේශපාලනික විසඳුමක් අවශ්‍ය නම් අප කළ යුත්තේ, මෙම යථාර්ථයට අපව බැඳ තබන සුරංගනා කතා වෙනස් කිරීම මිස අන් යමක් නොවේ. සුජිත් රත්නායක වැනි මිනිසුන් තමන්ව යථාර්ථයට බැඳ තබන සුරංගනා කතා භක්තිමත්ව අදහන නිසා ඔවුන්ගේ අවට යථාර්ථය ද සැමදා ස්ථිතික ය. මින් සිදු වන්නේ, ෆැන්ටසි උගුලට තමන්ම හසු වීමයි. ඔහු ෆැන්ටසිකරණය කරන්නේ, චිත්‍ර කලාව මඟින් සිදුවිය යුත්තේ තමන්ගේ ප්‍රශ්න හෝ සමාජ ප්‍රශ්න නියෝජනය කිරීම බවයි. ඊට වෙනස් ව අප කියන්නේ, චිත්‍රයේ ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ එයට බාහිර විමර්ශකයක් නැති තරමට ය යන්න යි. ‘ගුවර්නිකා’ චිත්‍රය ශ්‍රේෂ්ඨ වන්නේ, එය යුද්ධය විමර්ශකයක් නො කරගන්නා නිසා ය. සුජිත් කරන්නේ චිත්‍රයට යථාර්ථයක් සවි කරන එක ය. හේගල්ගේ භාෂාවෙන් කිව්වොත්, ‘යථාර්ථය’ නියෝජනය කරන කලාකෘති දිහා නූතන මිනිසා බලන්නේ නැත.

                         ඊළඟට ‘මම’ ලංකාවේ චිත්‍ර කලාවට කළ න්‍යායික එකතු කිරීම තමයි, චිත්‍රයක් අලුත් (New) එකක් කියලා හඳුනා ගැනීමට තියෙන නිර්ණායකය – criterion- කුමක්ද කියන එක පහදා දීමයි. මෙතන නිර්ණායකය කියන්නේ විමර්ශකයක් නොවේ.  චිත්‍රයට වටිනාකම (Value) ආදේශ වන තැන පිළිබඳ සිද්ධාන්තය යි. චිත්‍රයක් අලුත් වෙනකොට ඒ චිත්‍රයේ සෑම තැනම අලුත් දෙය නැහැ. එක තැනක තමයි ‘අලුත් ලක්ෂය’ තියෙන්නෙ. උදාහරණයක් ලෙස, දිගාගෝ වැලාස්කෝ කියන චිත්‍ර ශිල්පියාගේ ‘ලා මෙනිනාස්’ හී අලුත් තැන තමයි ‘ඔහු ඇඳලා තියෙන චිත්‍රයේ තල දර්පණය මත තිබෙන ප්‍රතිරූප’. 

Gaze.

                             අපි හැමෝම හිතන්නේ චිත්‍ර ශිල්පියා අපි දිහා බලනවා කියලා. අපි හැමෝම කැමතියි කලාකරුවා ප්‍රේක්ෂක හෝ රසික අපි දිහා බලනවට. නමුත් මේ විශේෂ චිත්‍රයේ ඉන්න චිත්‍ර ශිල්පියා බලන් ඉන්නේ රජතුමා සහ බිසව දෙසයි. ඒ කියන්නේ, බලය තියෙන පන්තිය දිහා ය. චිත්‍රයේ විශේෂත්වය තමයි චිත්‍රයේ දැක්ම ඒ තුළම පවතින්න දීමයි. අපි චිත්‍රය දිහා බලන්න ඉස්සෙල්ලාම චිත්‍රය තීරණය කරලා ඉවරයි අපි චිත්‍රය බලන තැන. සරලව කිවහොත්, චිත්‍රය තුළ ම අපගේ දැක්ම (Gaze) ඇඳලා තිබේ. සුජිත් අපිට කියන්නේ එයා අපි දිහා බලන් ඉන්නේ කියලා. ඊට අමතරව, ඔහු කියනවා ඔහුගේ චිත්‍රත් අපි දිහා බලන් ඉන්නවා කියලා. නමුත් ලක්ෂ 6ක්වත් දීලා සුජිත්ගේ චිත්‍රයක් අපිට ගන්න බැරි නම් වැලාස්කෝස් වගේම ඔහුත් බලන් ඉන්නෙ ධනවත් පන්තිය දිහා ය. සුජිත් ඒකට දැන් කලබල වෙලා වැරදිකාර දෘෂ්ටියකට යන්න අවශ්‍ය නැහැ. පශ්චාත්-නූතනත්වය කියන්නේ, සංස්කෘතික නිෂ්පාදන විකිණීම සඳහා නිෂ්පාදනය කිරීමටයි. නූතන කලාකරුවා කියන්නේ, මේ තත්ත්වය වටහා ගත් කෙනෙකුට ය. ඒ අර්ථයෙන්, සුජිත් අයිති ආගමට චිත්‍ර ඇන්ඳ ශිල්පීන්ට ය. මේ අර්ථයෙන්, අඳින චිත්‍රය සංක්‍රාන්ති-පුද්ගලයි. එය අඳින්නේ ම ධනපති පන්තියට විකිණීමට ය. නමුත් මේ ක්‍රියාව අපිටම අවිඥාණක ය. අපි දෘෂ්ටිවාදය අමතන්නේ, හිතෙනකොට නොව ක්‍රියා කරන විටයි.

                       චිත්‍රයේ ‘දැක්ම’ චිත්‍රය තුළම ඇඳීම කියන්නේ චිත්‍ර ඉතිහාසයේ අලුත් මොහොතකි. එතකොට, අලුත් චිත්‍රයක් කියන්නේ කලාගාරයක කලින් තැන්පත් නොකරපු චිත්‍රයක් අඳින එකයි. පැබ්ලෝ පිකාසෝගේ පළමු ඝණිකවාදී චිත්‍රය අලුත් එකකි. ඊට ඉස්සෙල්ලා කිසි කෙනෙක් යම්කිසි වස්තුවක සෑම දිශාවෙන්ම බැලුවම පේන පර්යාවලෝකනය ද්වීමාන කැන්වසයක් මත ඇඳලා නැහැ. ත්‍රිමාණ වස්තුවක් ද්විමාණ කැන්වසය මත සියලුම දිශාවලින් පේන විදිහට ඇඳීම ඝණිකවාද ය. මාර්ෂල් ඩුෂාම් වෙනත් කෙනෙක් හදපු දෙයක් කලාගාරයක තිබ්බා. එතකොට, ඒක Ready-made  වුණා. ඒක අලුත් වැඩකි. ලංකාවේ තේනුවරගේ ‘බැරල් චිත්‍ර’ මීට කලින් කලාගාරයක නොතිබුණු දෙයකි. ඒක හින්දා ඒ චිත්‍ර අලුත් නිර්මාණයකි. ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසයේ බහුතර චිත්‍ර මීට කලින් කලාගාරයේ තියෙන ඒවාම ය. ඒ නිසා, ඒවා පරණ ය. ලංකාවේ හුඟක් වියුක්ත චිත්‍ර කාගේ හරි චිත්‍රයක කොපියකි. ඒ අනුව, කලා ඇකඩමියාව චිත්‍රයක් අලුත් කියන එකට දෙන නිර්ණායකය තමයි මීට කලින් කලාගාරයක නොපැවතීම. මම මේ කලා න්‍යාය ඉගෙන ගත්තෙ, රුසියාවේ ඉපදී ජර්මනියේ ජීවත් වන කලාව පිළිබඳ දාර්ශනිකයෙක් වන බොරිස් ග්‍රොයිස්ගෙනි. [So if an artist says – as the majority of  artists say- that he or she wants break out of the museum , to go into life itself , to be real , to make a truly living art, this can only mean that the artist wants to be collected. If you repeat already collected art, your art is qualified by the museum as mere kitsch and rejectedBoris GroysOn the New] සුජිත්ට දැන් තීරණය කරන්න පුළුවන් මම දාර්ශනිකව වාචාල කතා කියනව ද කියලා.

                       සාමාන්‍යයෙන්, පශ්චාත්-මාක්ස්වාදය විසින් ආධානග්‍රාහී මාක්ස්වාදයේ එන පන්ති සාරාත්මකතාවයන් විසංයෝජනය කරයි. ඊට අනුව, ධනවාදී නිෂ්පාදන සබඳතා තුළ හට ගන්නා නිර්ධන පන්තියේ සමජාතීත්වය නූතන ලෝකය තුළ විඛාදනය වෙයි. මේ හේතුව නිසා ම සමාජ පන්තිවල දේශපාලන දිශානතිය කලින් තීරණය කරන්න බැහැ.

                             ඉහත ආකාරයේ පශ්චාත්-මාක්ස්වාදී අදහස් ප්‍රකාශ කරන අය ඉස්සරහ නින්දා සහගතව දෙකට නැවෙනවා මිසක් ඊට පෙරළා පහර දෙන වාමාංශිකයන්ව මම ලංකාවේ දැකලා නැහැ. මං මේ කියන්නේ පැරණි මාක්ස්වාදය ගැන නොවේ. අභියෝගය වන්නේ, ආයෙමත් නැවත පන්ති (Class) තියෙන බව ඔප්පු කරන්න යන එක නොවේ. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ගත් විට, පන්ති විග්‍රහයන්ට පශ්චාත් නූතනත්වය තුළ විශ්ලේෂණාත්මක කාර්යයක් නැහැ. ෂන්තාල් මුෆ් සහ අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් පන්ති අනන්‍යතාවය සතු සංවෘත අදහස විසංයෝජනය කරයි. පන්ති භෞතිකය සහ ඒ නිසා හට ගන්නා අස්ථායි අනන්‍යතාවයන් අතර දයලෙක්තික චිත්‍රයක් අඳින්න බැහැ කියලා ලැක්ලෝ කියනවා. නමුත් ලැක්ලෝ සහ මුෆ් ට විසඳන්න බැරි ගැටලුවක් තිබේ. දැන් මේ ගැටලුව මම තමයි මුලින්ම සිංහලෙන් ලියන්නේ. ඉතුරු ගිරාපෝතකයෝ හැමෝම  හෙජමොනික දේශපාලනය ගැන තමා දැන් කතා කරන්නේ.

අපි දැන් ගැටලුව මෙහෙම සූත්‍රගත කරමු.

සුජිත් රත්නායක සහ ජගත් වීරසිංහ කියන්නේ පන්ති දෙකකට අයිති දෙන්නෙකි. මේක මේ දෙන්නටම අවිඥාණක ය. ඊට අමතරව, සුජිත්ගෙ ගම හුංගම ය. ජගත්ගේ නගරය කළුබෝවිල ය. මේ කිසිදු අනන්‍යතාවයක් සාරාත්මකත් නැහැ, ධනාත්මකත් නැහැ. හැබැයි එහෙම නම් කොහොමද සුජිත්ගේ අනන්‍යතාවය අව්‍යාජයි සහ ආපතිකයි (අස්ථිර සහ අවිනිශ්චිතයි) කියන අපි ජගත්ට පන්තිමය වශයෙන් නිශ්චිත අනිවාර්ය අනන්‍යතාවක් තියෙනවා කියලා කියන්නේ?  ඒ අනුව, අපි කෙනෙකුගේ අනන්‍යතාවය අවබෝධ කරගන්න කොට අන්තක්-දේශපාලනික දැක්මක් ක්‍රියාත්මක වෙයි. පන්තිය කියන දෙය ධනාත්මකව ප්‍රකාශ වෙන්නේ නැත. එය ප්‍රකාශ වෙන්නේ නිෂේධනය තුළදී ය.

                           ධනවාදය අනිවාර්ය වීම සමාජ සබඳතා තුළ අධිනිශ්චය නොවෙනවා නම් ‘අශ්රෝෆ් ඕමාර්ට’ අනිවාර්ය ධනපති අනන්‍යතාවයක් ගිහින් ‘බ්‍රැන්ඩික්ස් සුපර්වයිසවරිය’ ගොදුරක් සහ ස්ත්‍රියක් ලෙස ආපතික අනන්‍යතාවයන්ගෙන් පිදුම් ලබන්න බැහැ. සරලව කිවහොත්, ධනවාදයේ අනිවාර්ය වීම නිසාම තමයි ක්ෂණභංගූර සහ ආපතික අනන්‍යතාවයන් ‘නිදහස’ ලෙස ම ධනවාදය තුළ මතු වෙන්නේ. අර්නෙස්ටෝ ලැක්ලොව්ගේ පශ්චාත්-මාක්ස්වාදය විසින් ධනවාදයේ ඓතිහාසික සත්‍යයක් හෙජමොනික දේශපාලනය මඟින් ඉතිහාස කතාවක් බවට පත් කරයි. ඒ අනුව, කෙනෙකුගේ පන්ති අනන්‍යතාවය අතුරුදහන් වෙනවා නොව නිශ්චිත සිදුවීමක දී පසු ආවර්තිතව අධිනිශ්චය වෙයි. ධනවාදයට ධනපතීන් වගේම අසරණයන් ද අවශ්‍ය ය.

                         ජගත් වීරසිංහ කියන්නේ ධනපතියෙක්. ඔහුට ධනවාදයට එරෙහි උද්ඝෝෂකයෙකු බවට පත්වීමට අවශ්‍ය නැහැ. ඔහු YouTube වලින් විෂමලිංගික අනුන්ගේ ගැහැණුන්ට ආදරය කරන හැටි උගන්වයි. නමුත් සුජිත් කළු ඇමරිකානු රැප් සංගීතකාරයෙක් වගේ කෑ ගසයි. ඔහුට හිමි වෙලා තියෙන්නේ ආපතික ජීවිතයකි. ලොකු සල්ලියක් අතේ නැහැ. අනන්‍යතාවය ඒ හින්දා හමුවෙන අනෙකාට සාපේක්ෂව දිය වෙයි; දියාරු වෙයි; ලිබරල් වෙයි. කාසය වගේ අනෙකා ඉදිරිපිට දිගටම කහියි. මේ ‘කැස්ස’ මේ යුගයේ දී අඩුම වශයෙන් විරෝධාකල්පයක්වත් නොවේ. විපරිත දාංගලයක් විතරයි. මම හැමෝටම කියන්නේ ලක්ෂ ගණන් වලට විකුණන්න පුළුවන් චිත්‍ර අඳින්න! ඒවා සල්ලිකාරයන් කටු ගෙවල්වල තැන්පත් කරයි. ඒවා අනාගත උසස් මිනිසා කියවයි. සුජිත් කරන්නෙත් මේකමයි. ඔහුත් ලක්ෂ ගණන්වලට විකිණෙන චිත්‍ර අඳින කෙනෙකි.

Deepthi kumara Gunarathne –

             – දෙවන කොටස පසුවට-

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here