ලංකාවේ සිදුවීම් සිදු වන්නේ කෙසේද? බහුතරයක් ලාංකික මිනිසුන්ගේ දෛනික අත්දැකීම වන්නේ සමාජය පැත්තෙන් ‘කාලය’ (Time) ගත වීම නතර වීමයි.

ලංකාවේ ‘සමාජ ජීවිතයට’ අදාළව කාලය ගලා යෑම නතර වූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසුවය. ඊනියා පශ්චාත් – යුද සමය යනු ඉතිහාස කාලය ගත වන බට්ටා අතින් නතර කර අවකාශය (Space) ”ප්‍රතිනිර්මාණය කිරීම” දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වීමයි. උදාහණයක් ලෙස කොළඹ නගරය සුන්දරකරණය කිරීමේ ව්‍යාපෘතිය සලකා බලමු. මෙම ව්‍යාපෘතියේ මූලික ලක්‍ෂණය වන්නේ අවකාශය යළිත් ප්‍රතිනිර්මාණය කිරීම, අවකාශයේ වියවුල් නිරවුල් කිරීම සහ අවකාශය මිනිස් නිදහසේ පදනම කොට ගැනීමයි. මෙය නූතනවාදී ව්‍යාපෘතියක් ලෙසින් ඉන්පසු හැඩ ගැන් වේ.

ධනවාදය විසින් ලංකාවේ බිහි කළ ප්‍රධාන පසමිතුරුභාවයක් වූයේ ජාතික ගැටලූවයි. මෙම ජාතික ගැටලූව විසඳීම සඳහා තිරසාර විසඳුම් පහක් පසුගිය දශක තුන තුළ අප අත් වින්දේය. එ්වා පහත පරිදිය.

පුරා – දේශපාලනය:
කිසිදු ප‍්‍රතිවිරෝධයක් රහිත සංවෘත, සාම්ප‍්‍රදායික, ඓන්ද්‍රීය ජන සමාජයක් ‘ජාතික ගැටලූවට’ පෙර අපගේ රටේ පැවතිණ. අප යළිත් එම සමාජයේ මූලය සොයා ගත යුතුය. එ් සඳහා අදාළ වන ක‍්‍රම-වේදය වන්නේ ජාතික චින්තනයයි. අතීතයේ පැවතියා යැයි පරිකල්පනය කරන මෙම සමාජය බිහි කිරීමට කරන දේශපාලනය පුරා – දේශපාලනයකි. අතීතය ඉලක්ක කර ගත් දේශපාලනයකි.

අතුරු දේශපාලනය:
මෙමගින් ‘ජාතික ගැටලූව’ යනුවෙන් දේශපාලන ගැටලූවක් ඇති බව පිළිගන්නේය. නමුත් ජාතික ගැටලූවක් ඇති බව පිළිගන්නේය. නමුත් ජාතික ගැටලූවට විසඳුම ඇත්තේ තරගකාරී අදහස් අතර යුද්ධය තුළ බව ද සහතික කරයි. දේශපාලනයට අනුව ‘ජාතික ගැටලූව’ යනු පාර්ලිමේන්තුව තුළ අදහස් අතර තරගයක් පවත්වා ඉන් ජය ගන්නා පාර්ශ්වයට විසඳුමක් ලබා දිය හැකි වාතාවරණයක් බිහි කිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට අනුව බලයේ මධ්‍යය හිස්ය. එම තැනට විවිධ යුගවල විවිධ පුද්ගලයන් ආදේශ වෙයි. ඉන්පසු එම ස්ථානය හැර යයි. මහින්ද රාජපක්ෂ උල්ලංඝනය කරන්නේ මෙම මූලධර්මයයි. තාවකාලිකව පත් වූ තැනට ඔහු යාවජීවව ඇලවෙන්නට උත්සාහ කරයි. එබැවින් අතුරු දේශපාලනය යනු ‘ජාතික ගැටලූව’ නම් පසමිතුරු භාවය විසඳන්නට ඉදිරිපත් වන තවත් අදේශපාලනික ප‍්‍රපංචයකි.

පාර – දේශපාලනය:

මෙය වාමාංශික දේශපාලනයයි. මෙමගින් ‘ජාතික ගැටලූව’ යනු විෂයමූලික ප‍්‍රශ්නයක් නොව ආත්ම මූලික ප‍්‍රශ්නයක් බව වටහා ගනියි. මේ නිසා ජාතික ගැටලූව විසඳීමේ ක‍්‍රමවේදයක් ලෙස යාපනය කරා යන දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කරන්නේ නැත. එය හිසරුදාවට කොට්ටය මාරු කිරීම වැනි විකාරයකි. පාර – දේශපාලනය මගින් දේශපාලන අවකාශය දෙකට බෙදයි. ඊට අනුව සමාජ අවකාශය යනු රූකඩ සංදර්ශනයකි. දෘශ්‍යමානයට අනුව දේශපාලන රසිකාවියන් දකින්නේ ආඛ්‍යානයක් සහිත ‘ඇහැලේපොළ කුමාරිහාමිගේ’ නාට්‍යයයි. නමුත් තිරයට ඉහළ කොටසේ සිට ඇහැලේපොළ නාට්‍යයේ චරිත නූල් මගින් පාලනය කරන්නේ වෙනත් පිරිසකි. එක ක‍්‍රියාකාරීත්වයක් දකින කෙනා අනෙක් ක‍්‍රියාකාරීත්වය නොදකියි. මෙම නාට්‍ය ක්ෂේත‍්‍රය ලොවට හඳුන්වා දුන්නේ කාල් මාක්ස්ය. එහි නම දේශපාලන – ආර්ථිකයයි. ඔහුට අනුව සැබැවින්ම සිදු වන දෙය සහ අපට ම`ග හැරී යන ක්ෂේත‍්‍රය යනුවෙන් අවකාශ දෙකක් ‘සමාජ අවකාශයේ’ පවතියි.

අතිධාවනකාරී දේශපාලනය :
මෙමගින් කරන්නේ දේශපාලනය මිලිටරීකරණය කිරීමයි. එමගින් සමාජ පසමිතුරුභාවය අහෝසි කර ඒ වෙනුවට බාහිර සතුරෙක් විනාශ කිරීම දක්වා දේශපාලනය පසු බස්වයි. මෙහිදී සමාජ දේහයේ පවතින පසමිතුරුතාවයන් වෙනුවට බාහිරට යොමු වූ දේශපාලනයන් අවධාරණය කරයි. උදා – හෙළ උරුමය, බොදු බල සේනා, රාවණා බලය, අපි ශ‍්‍රී ලාංකිකයෝ. බොහෝ විට මේ බාහිර සතුරා දෙමළා, මුසල්මාණුවා ආදී වාර්ගික සතුරෙකි.

පශ්චාත් – දේශපාලනය:

දේශපාලනය මග හැර යාම සඳහා බිහි වී ඇති නවතම උපක්‍රමය වන්නේ පශ්චාත් – දේශපාලනයයි. මීට අනුව සෑම දෙයක්ම දේශපාලනයයි. කරන ඕනෑම වැඩක් ද (පිකටින්, උද්ඝෝෂණ, පත‍්‍රිකා බෙදීම, විටින් විට වැඩපිළිවෙළ් ඉදිරිපත් කිරීම, මිනිසුන් පාලනය කිරීමේ විධික්‍රම සෙවීම) දේශපාලනිකය. පශ්චාත් – දේශපාලනය ගනුදෙනු කරන්නේ මීට ඉහතදී පැහැදිලි කළ දේශපාලනයන්ගෙන් විගාමික වන පිරිස් සමගය. උදා – සුළු ජාතිකයන්, බලයේ ගොදුරු බවට පත් වූ වින්දිතයන්, විවිධ ඉල්ලීම්. පසමිතුරුභාවයේ පැත්තේ සිට නැරඹූ කළ මෙම ‘ගොදුරු’ යනු රෝග ලක්ෂණයන් මිස රෝගය නොවේ. එබැවින් පශ්චාත් – දේශපාලනය යනු එක අතකින් ආර්ථිකය ගෝලීයකරණය වන යථාර්ථයක් තුළ දේශපාලනය ප්‍රාදේශීය වීමේ ආකෘතියයි. පශ්චාත් – දේශපාලනය අවසාන වශයෙන් වර්ගවාදී (වාර්ගික නොවේ) දේශපාලනයකි. එම වර්ගවාදීත්වය සෘජු වර්ගවාදයක් නොව වක‍්‍ර එකකි. එය අනෙකාව ඉවසන යාන්ත‍්‍රණයක් පෙන්නුම් කරමින් අවසානයේ තමන්ගෙන් ඈතට ‘අනෙකාව’ තල්ලූ කර දමයි. ඔවුන් අනෙකාව සමීපව ඇසුරු නොකරන අතර නරුම පරතරයක් සහිතව ඇසුරු කරයි. Facebook දේශපාලනය මෙයට කදිම උදාහරණයකි. පශ්චාත් – දේශපාලනය සමාජ පසමිතුරුභාවය විසඳීමට යෝජනා කරන්නේ විශේෂඥයන්ගේ මැදිහත් වීමයි. එනම් දේශපාලනය වෙනුවට පරිපාලනයයි.

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. FACE BOOK nisa minissu thama hithe thibena tharaha, duka, wairaya, muda harinawa rajaya kemetten idadeela HETHUWA palakayanta karadara ,benum aduweemai.
    ex– threeweel karayo strik kalama maitree wahama e ayge petta gannawa, ticket welandange strike ekedeeth e ayage petta gatta HETHWA ADU UGATH UNGE CHANDA LABA GANNA. namuth maitree UN AASRAYA KARANNE, DU DENNE NETHA moda harak janathawata mewa therenne netha

  2. අතුරු දේශපාලනය:
    මෙමගින් ‘ජාතික ගැටලූව’ යනුවෙන් දේශපාලන ගැටලූවක් ඇති බව පිළිගන්නේය. නමුත් ජාතික ගැටලූවක් ඇති බව පිළිගන්නේය. I think the double assertion in this sentence is a typing mistake.???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here