ගැඹුරු නින්දකට පිවිසි මනුෂ්‍යෙයකු එක්වරම අඩ නින්දෙන් අවධිවුවහොත් ඔහු අවට සිටින මිනිස්සුන්ට විවිධ කරදර වලට මුහුණදීමට සිදුවන අතර, අවසානයේදී එම මනුෂ්‍යන් ද අඩනින්දෙන් අවදි වූ කෙනා හා සමානව හැසිරෙන්නට සිදු වේ. අඩ නින්දෙන් අවධිවූ පුද්ගලයෙකුට වඩා තත්ත්වය බරපතල වන්නේ සොහොන් පිටියක අවතාර අවදි වූ විටය. මේ වන විට අවතාර සමූහයක් එක්වරම අවදිවී වී ඇත. එම අවතාර සමූහය කවුද?
අවතාර සමූහයේ මනුෂ්‍ය ආත්ම ඉතිහාසය
2004 වර්ෂයේදී එක්තරා දිනක ගැහැණුන් පිරිසක් බලපත්‍ර රහිතව අධිකවේගයෙන් ගාලුපාරේ කන්ටේනර් රථ පදවන අයුරු නැරඹීමට පිරිමි කිහිපදෙනෙකු ගියෝ ය. දුෂ්කර ප්‍රෙද්ශවල සිට x කණ්ඩායමේ විප්ලවීය දේශපාලනයට හවුල් වන්නට නගරයට සංක්‍රමණය වූවන් බැවින් ගැහැණුන්ගේ කන්ටේනර් පැදවීම දැක ඔවුන් අතිශයින් විමතියට පත්විය. එය කෙතරම් පුදුම සහගත දෙයක් ලෙස මොවුන්ට පෙනුනේ ද යත්, …. නොදැනුමත්වම ඔවුන් කන්ටේනර් රථ ගමන්කරන මාර්ගය ආසන්නයටම පැමිනියෝය. සිදු වූයේ ඛේදවාචකයකි. එක් ගැහැණියක විසින් උමතුවෙන් මෙන් අධිකවේගයෙන් පදවාගෙන ආ කන්ටේනර් රථයකට යටවී මෙම විමතිකයන් පිරිස එතැනදීම ජීවිතක්ෂයට පත්විය. පශ්චාත් මරණපරික්ෂණයේදී තහවුරු වුයේ විප්ලවීය දේශපාලනයක නිරත මිනිසුන් පිරිසක්, තම ප්‍රධාන දේශපාලන කාර්යය පසෙක තබා ගැහැණුන් කන්ටේනර් පැදවීමේ මැජික් බැලීමේ අවිඅඥානික ආශාවෙන් පෙළී ඇති බවයි. ඇත්ත වශයෙන්ම අවිඥානික අශාවන් අපව අප කැමති තැනකට රැගෙන යන්නේ අපේ කැමැත්තෙන් හෝ මැදහත්වීමෙන් තොරවය. අවිඥානික අශාව සුළගක් නම් එම සුළග යන දිශාව කලින් තීරණය කරන්නක් නොවන නමුත් සුළගට අවශ්‍ය පාරිසරික සාධන සම්පූර්ණ වූ පසු එය මද සුළගක් ලෙස හෝ චණ්ඩ මාරුතයක ස්වරූපය මතුවීම තීරණය වේ. ඒ අනුව අපගේ විමතිකයන් අවසන් ගමන්ගියේ ක්ෂණයෙනි.
ඔවුන් මුහුණ පෑ ඛේදවාචකය බෞද්ධ දර්ශනයේදී හදුන්වන්නේ උපච්ඡේදක මරණය යනුවෙනි. උපච්ඡේදක මරණවලදී සමහර මියගිය ඇත්තන්ට තමන් මිය ගිය වග නොදනී. එබැවින් ඔවුන් ජීවත්ව සිටින කාලයේදී සිදුකළ දේවල් මරණයෙන් පසුවද සිදු කරයි. එනම් තමා ආගිය තැන් වලට යෑම, හිතවතුන් හමුවීම වැනි දේවල් කරති. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් සිදු කරන කිසිදු දෙයක් හෝ ඔවුන් යන එන ගමන් පිළිබදව බාහිර සමාජයේ නොමල මිනිසුන්ට දෘශ්‍යමාන නොවීමයි.
මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස ලංකාවේ ද ජනප්‍රිය වූ බටහිර සිනමාවේ ගෝස්ට්[Ghost] නැමැති සිනමා කෘතිය ගෙන හැර දැක්විය හැකිය. එහි ප්‍රධාන නළුවා මිය යන ආකාරය චිත්‍රපටය නරඹන අපට පෙන්නුම් කෙරේ, නමුත් සිනමා කෘතිය තුළ චරිතය ඔහු මිය ගිය වග නොදන්නා හෙයින් ඔහු තම පෙම්වතිය රැකගැනීමට සහ ඇය සමග කතා කිරීමට වෑයම් කරයි. බලා සිටන අපට මොහු මිය ගොස් ඇති බව දන්නා බැවන් විශාල සානුකම්පාවක් සමග විකාරසහගත ගතියක් ඇති වුවද, සිනමා කෘතිය පුරා තම පෙම්තියට තමා සිටින බව පෙන්වීමට තැත්දැරීම ඔහුගේ අර්ථයෙන් සත්‍ය බවක් පෙන්නුම් කරයි. අවසානයේ දී ඔහු මිය ගිය වග ඔහු පසක් කර ගන්නා අතර, මළගිය ප්‍රාණකාරයින් ගෙන්වන කාන්තාවක් හමුවී තම ගැටළුව නිරාකරණය කරගනී. නමුත් ඔහු මියගිය වග දැනගන්නා තාක් ඔහු ජීවත්වන බව අන්යන් වෙත දැන්වීම සදහා ඔහු දැරූ තැත ඔහුගේ සමාජයේ නොමල කිසිවෙකුට දශ්‍යමාන නොවීය.
කන්ටේනරයකට බිලිවීම තම සමාජ විමුක්ති දේශපාලනයේ ඇරඹුමක් ලෙස සිතා මෙම මළගිය විමතිකයන් වසර 10 කට ආසන්න කාලයක් පුරා තමා මියගිය බව නොදැන, කිසිදු දේශපාලන කාර්යයක් සිදු නොකර තමා දේශපාලන වැඩ කරන බව සමාජය වෙත හැගවීමට උත්සහා කරමින් සිටියි. මළවුන්ගේ ලෝකයේ දී වසර 10 ක් පුරාවට මෙම විමතිකයන් සිදු කළේ ඔවුන් සමග එදින මියගිය පෙම්වතියන් සමගත්, මළ උන්ගේ ලෝකයේ දී හමු වුණු ප්‍රේතියන් සමගත් විවාහ වීම , ලිවින් ටු ගෙදර් වීම, පවුල් අවුල් කරගෙන අනියම් පෙම්වතියන් පෙම්වතුන් හා පෙම් සුව විදීම වැනි කාර්යන්ය . කන්ටේනර් අනතුර වූ දා තෙක්ම තම පෙම්වතිය යයි විශ්වාසකළ කාඩර්වරයෙකුගේ පෙම්වතිය , අනතුරින් පසු තම හොදම සගයාගේ විවාහක බිරිද වී නැවතිනි. මෙම කාඩර්වරයා මළවුන්ගේ ලෝකයේදී වැඩියෙන්ම කරන්නේ තමන්ගේ බිරිදගේ යට ඇදුම් සෝදා වැලට දැමීමය. නිකං කම්මැලි කමට ඔහු ඒවා සෝදා වැලට දමා වියැලෙන තුරු බලා සිටියි. ඉන්පසු ඒවා සුරක්ෂිතව නවා අල්මාරියක තැන්පත්කරයි, තවත් විටෙක ඔහුට දරුවාට නැප්කින් දැමීමේ සිට සියලු ගෙදර වැඩ පළ කිරීමට සිදුවේ. දේශපාලන කාඩර්වරයෙකු ලෙස සිටියදී බ්‍රිට්නිට සහ ශකීරා ට වශී වී සිටි ඔහු ඒ නිසාම ස්ත්‍රීවාදය වැලද ගත්තේය. තමාගේ නියපොතුවල ක්යුටෙක්ස් ගෑම සහ නිවසේ කාන්තාවගේ වැඩ කොටස් යයි හදුනාගත් කාර්යයන් හොදින් නිම කිරීම ස්ත්‍රීවාදය ලෙස වරදවා හදුනා ගැනීමට මොහු අශා කරයි.[symbolic redoubling] ඒ මළවුන්ගේ ලෝකයේ හැටිය.
මේ අනුව 2004 ට පෙර ඔවුන් මනුෂ්‍ය ආත්මයක් ලෙස විදි සියලුම සංස්කෘතික ක්රියාකාරීත්වයන් අහෝසිවී post-modern අවතාර බවට පත්වී කණස්සල්ල සහ විදවීම තම ජීවිතයේ ඒකායන සංස්තෘෂ්ටිය බවට පත්කරගෙන ඔවුනොවුන් හුදකලාව දිවි ගෙවීය.
අවතාරවල අශ්ලීල විනෝදයේ උත්තේජනයක් ලෙස දීප්ති හමුවීම –
සත්හඩ පුවත්පතේ කතුවැකිය තුළ දීප්ති කාලී සගරාව සම්බන්ධයෙන් මතුකළ කාරණා නොවන්නට මෙම මළගිය විමතික ප්‍රාණකාරයින්ට තම සාකච්ඡාව සදහා උත්තේජකයක් තියා මේසයක් වත් නොමැත. එබැවින් ඔවුන් එකතු කරන ලද්දේ එම කතුවැකියේ දීප්තිගේ වචන කිහිපයයි.
දීප්ති නිසා ලැබුණු මේසය තුළ ඔවුන් විදින අශ්ලීල විනෝදය කුමක්ද? එය තේරුම් ගැනීමට අප තවත් උදාහරනණයක් වෙත යමු. ප්‍රේමසම්බන්ධයක් පවත්වාගෙන විත් පෙමිවතිය නොසිතූ අයුරින් පෙම්වතා විසින් තම ප්‍රේම සම්බන්ධය නැවැත්වූ පසු ලාංකීය ප්‍රේමවන්තියකගේ හැසිරීම නිරික්ෂණය කළොත් එය මෙසේය. ප්‍රථමයෙන් ඇය සිදු කරන්නේ ඔහු ලබාදුන් තෑගී බෝග ගිනිතැබීමයි. ඒත් හදවතේ ගිනි නොනිමෙයි. ඔහුව යළි යළිත් සිහියට නැගෙයි. ඔහුගේ දුරකථන අංකය තම තම දුරකථනයෙන් ඉවත්කරයි. එය ඉවත් කළද ඵලක් නැත. පෙම්වතාගේ දුරකථන අංකය පෙම්වතියට කඩ පාඩම්ය. ඉන්පසු පෙම්වතිය සිදුකරන්නේ පෙම්වතා අකමැති බොහෝදේවල් ඔහුට පෙනෙන්නට – දැනෙන්නට සිදු කිරීමය. මේ සියල්ල කළත් සිය පෙම්වතා ඇගේ හිස අරක්ගෙන ඇත. දුරස්වන්නට සිතෙන හැමවිට තවත් ලං වෙනවා… මතක නැති කර ගන්න සිතු වීට සිතේ රජවෙනවා … යැයි ඉන්ද්‍රජිත් දොලමුල්ල ගායකයා ගීතයෙන් කීවේද විරහවේ මෙම තත්වයමය.
මින් පසු විරහවේ දෙවන අවස්ථාව වෙත ඇය ගමන් කරයි. එහිදී පෙම්වතිය බොහෝ ප්රකෝපකාරිය. වෛරීසහගතය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සම්බන්ධයෙන් විමසන විට පවසන්නේ තම පෙම්වතා තමන්ට සිදුකරන ලද වංචාසහගත තත්වයන් නිසා ප්‍රේමය බිදී ගිය බවය. එහිදි පෙම්වතිය තම පෙම්වතාව පාපිෂ්ඨයෙකු බවට පත්කරයි.
විරහවේ තුන්වන අවස්ථාවේදී පෙම්වතිය සිදු කරන්නේ ඔහු පිළිබදව හොරෙන් සොයා බැලිම් කිරීමයි. පැරණිපෙම්වතා සම්බන්ධකම් පවත්වන්නේ කවුද? ඔහු විවාහ වෙලාද? දැන් ඔහුට වැරදිලාද? සයිබර් චැට් රූම්වල පැය කීයක් කා සමග ගත කරනවාද? කියා සමාජ වෙබ් අඩවිවල ඔහු නමින් ඇති ගිණුම් හොරෙන් පරික්ෂා කරමින් අශ්ලීල විනෝදයක් ලබයි.
මේ අනුව කාලි හරහා මතුවන්නේ මෙම තත්වයයි. පෙම්වතා ඔවුන්ව සත්හඩ පුවත්පතින් සිහිකර ඇති බවක් මළගිය විමතිකයන් දකියි. එබැවින් මළ මිනිස්සු සහ ගැහැණු සතුටින් ඉපිල ගොස් ඇත. එබැවින් ඔවුන්ගේ පෙම්වතා වන දීප්තී ට වේදනාවක් දීමේ කදිම අශ්ලීල අශාවෙන් මොවුන් පෙලෙනනට විය. එම අශ්ලීල අශාවෙන්ම පෙලෙන තවත් මළගිය ප්‍රාණීන් අඩ ගසන්නටත් පෙර සාකච්ඡා මේසයක් අසල රැස්විය . මේ අනුව කාලී ලේඛකයන්ගේ එම සාකච්ඡා මේසය යනු “දීප්තිට කෙළවීම” නම් අශ්ලීල අශාව නැමැති දැවයෙන් නිමවුවකි.
කාලි සගරාවේදි රෝදය නැවත සොයා යෑම නොහොත් කාලි ගැන නිරික්ෂණ බිදක්….
රතන හමුදුරුවන්ගේ පංසලේ කපුවෙක් ඇත , එම කපුවා යනු ද අවතාරයකි. ඔහු ආවේශ වන විට ඔහු විවිධ වේශයන් ලබා ගනී. විටෙක මාක්ස්වාදියෙකි, විටෙක ස්ත්රිවාදියෙකි, කාලි සගරාවේ දි නම් මළගිය ප්‍රාණකාරයින් ගෙන්වන්නෙකි. මෙම සගරාව හරහා නොවන්නට මළ මිනිසුන් කුමක් කරන්නේ ද , කුමක් සිතන්නේ ද යන්න නොමල බාහිර සමාජය දැනුවත් වන්නේ නැත.
මූලික වශයෙන්ම මෙම සගරාවේ ලිපි දෙස විමසිල්ලෙන් බැලුවහොත් පහත නිරික්ෂණ දක්නට ඇත. 2004 දි මනුෂ්‍ය ආත්මයක් වී ඉහත තත්ත්වය මත 2016 දි අවතාරයක් ලෙස කළ එළි බසින බුද්ධික බණ්ඩාරගේ පෙර ආත්මයේ විප්ලවීය නාමය ශ්‍යාම් ය. එකල ශ්‍යාම් ලිපි ලියූ අත 2004 මරණයෙන් පසු ගැලවී ඇත. එබැවින් දැන් ඔහු ලියන්නේ තමන්ට තිබෙන ක්‍රෙඩිට් කාඩ් වලට අදාල බැංකු ගැන නොව, ජීවිතේටවත් පය තබා නැති සමුපකාර ගැනය. සමූපකාර ගැන ලිවීමට පෙර ඔහු ශ්‍රී ලංකාවේ සමූපකාර ග්‍රාමීය බැංකුවේ ගිණුමක් හෝ සණස බැංකුවේ ගිණුමක් විවෘත කිරීමත්, පෝෂණ මල්ල ලබා ගැනීමට කූපන්පතක් ගෙන සමූපකාරයකට ගොඩ වීමත් මැනවැයි සිතෙන්නේ ඔහු ශ්‍රි ලංකාවට බොහෝ ඈතින් ගමන් කරන ග්රහයෙකුගේ ස්වරූපයක් එම ලිපිය පුරාම දක්නට ලැබෙන නිසා වෙනි. ඇත්ත වශයෙන්ම තමන්ගේ ඇත්ත ජීවිතයත් – අවතාර ජීවිතයත් පැටලී ඇති මොවුන් මෙම ධනවාදී ක්‍රමය තුළ අතිශයින්ම බද්ධ වී රමණීය ආශ්වාදයක් විදිති. දෙහි ගෙඩියක්, කරපිංචා මිටියක් මිලදී ගන්නට ද ෆුඩ් සිටියක් නොමැතිව මොවුන්ට නොහැකි අතර, සති පොළක අවුවේ කරවෙමින් වෙළදම් කරන්නියන් පසු කර ෆුඩ් සිටියටම ගාටති. බුද්ධික තම ඇත්ත ජීවිතයේ දී මෙම ධනවාදය තුළ විනෝද වන්නේ ෆුට් සිටි එකකින් දෙහි ගෙඩියක්, කරපිංචා මිටියක් මිලදී ගෙන, ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල පියවන විට දී බව ඔහු දනී. මැස්සන් වසමින් සිටින, අදුරු පරිසරයක් සහිත සමූපකාරයකින් උම්බලකඩ කැබැලක් හෝ සැමන් ටින් එකක් මිලදී ගත්තාට එම විනෝදය ඔහු කරා පැමිණෙන්නේ නැත. එමෙන්ම ෆෙයාර් ඩේඩ් ගැන ලිපි පරිවර්තනය කළද එම විනෝදය ඔහු කරා පැමිණෙන්නේ නැති බවත්, ඔහු දනී. බුද්ධිකගේ සැබෑ විනෝදය සහ සතුට පැවැත්ම ස්ථානගත වි ඇත්තේ ෆුඩ් සිටියකින් බඩු මිලදීගැනීම තුළින් පමණි. ඔහු ෆෙයාර් ට්‍රේඩ් ගැන ලියන්නේ තමන් ධනවාදය සමග අතිශයින් රමණය කරන බැවින්, එම රමණයෙන් තෘප්තිමත් වීමට තුන්වැන්නෙකු ලෙස දුගීජනයා අවශ්‍ය බැවිනි. එබැවින් ඔහුගේ ඇත්ත ජීවිතය ඔහු කියන ෆෙයාර් ට්‍රෙඩ් තරම් ෆෙයාර් නැත.
ඔහුගේ ඊලග ලිපිය මිල්ටන් රොගොවින් ගැනය. 20 වන ශතවර්ෂයේ ආරම්භයේදී මෙරට සිටි මධ්‍යම පාංතික පවුල් කිහිපයක් විසින් විවිධ කලාවන් තුළ තම විශිෂ්ඨතාවයක් පෙන්වූ කලාවක් ලෙස ඉතාමත් උසස් ස්ථානයකට රැගෙන ආ ඡායාරූපශිල්පයෙහි රැල්ෆ් රණසිංහ ගේ සිට අපගේ විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන් ගැන ඔහුට ලිවිමට දෙයක් නැත්තේ ඔහු අවතාර ආත්මයක් බැවින් ය. එමෙන්ම ඔහු අවතාර ආත්මයේදී ලාංකීය ජන සමාජය ගැන ලිවීමට පසුබා ඇත.ඔහු වඩාත් කැමති තමන්ගෙන් සැතපුම් ගණන් දුර ඇති බෆලෝ ගැන ලියා සතුටු වන්නටය. මන්ද ඔහුට අවතාරයක් ලෙස විනෝද විය හැක්කේ මෙම ලාංකීය සමාජය, සමාජ ජීවින්ගෙන් ඈත්වී යම් පරතරයක් සහිතව සිටිමින් රොගොවින් ගැන ලියන විටදීය. බුද්ධික මෙම පරතරය අභ්‍යවකාශය දක්වා වුවත් දුරස්ථව තබා ගැනීමට මැලි නොවන්නේ තම අවතාර ආත්මයේ පැවැත්ම සදහා මගහැරීම් සහ පරතරය අතිශයින් වැදගත් බව ඔහු දන්නා බැවිනි. එබැවින් මෙම පොළොවේ ඔහුට අනුව ඡායාරූප ශිල්පියෛක් නැත. නමුත්, රැල්ෆ් රණසිංහ, ජෝන් ද සිල්වා, වින්සන් හෑගොඩ වැනි අය පිළිබදව ලිපියක් ලියා ගත නොහැකි වන්නේ ඒ නිසාය.
මේ අවධිය ඉතාමත් උෂ්ණත්වයෙන් වැඩි කාලයකි. එබැවින් කැලයේ සිටින සතා සිව්පාවා උවත් වතුර සොයා ජනාකීර්ණ ස්ථානවලට පැමිණෙති. 2004 මරණයෙන් පසුව තාපසයෙකු ලෙස කැලයේ නිස්කලංකව සිටි රුවන් බස්නායක, කැලෑවේ තිබෙන අධිකතර උෂ්ණත්වය හේතුවෙන් 2016 දි පරිසරවේදියෙකුගේ අවතාර වේශයෙන් කාලි වෙත පැමිණ ඇත. ඔහු උත්තරධ්රවයේ ග්ලැසියර් දියවීම සම්බන්ධයෙන් බොහෝ කණගාටුවෙන් සිය රචනාව ලියා ඇත. ඇත්ත වශයෙන්ම ග්ලැසියර් දියවීම සම්බන්ධයෙන් මේ වන විට කූඹි පවා දනිති. ඔහු ගේ මරණයෙන් පසුව ලෝකයේ සන්නිවේදන තාක්ෂණය ඉතා දියුණු තලයකට ගිය බවත්, න්‍යයික දැනුම බොහෝ පිරිසක් සතු බවත් ඔහු නොදැන එමලිපිය ලියා ඇති බව පෙනේ. ඔහුගේ මනුෂ්‍ය ආත්මයේදී කතා නොකළ අනිත්‍ය ද පිළිබදව ඔහු සිහිකරන්නට පටන්ගෙන ඇත. එබැවින් ඔහු තම ලිපිය ආරම්භයේදී මෙසේ පවසයි .
“අප මග හැරපු තැන් මෙන්ම වරදවා ගත් තැන් ද බොහෝ ය. අපි මේ මහා සමස්ථයෙන් අපව විටෙක උගතුන් ලෙස ද, බුද්ධිමතුන් ලෙස ද,යනාදී වශයෙන් භාෂාවේ ඇති වචන ගණන ඉක්ම වූ අනන්‍යතාවයන්ට පොලාපනිමින් මහ සමස්ථයෙන් අප ව වෙන්කර හදුනාගත්තෙමු. නමුත් අප මේ මහා සමස්ථයේ තවත් එක් (නොවැදත්)අංශුවක් පමණි” (කාලි දෙවන කලාපය පිටුව 47)
කාලි සමග අවදිවුණු අවතාර අපට දෙන පණිවිඩය කුමක්ද?
01. චින්තනය ආපස්සට ගමන්කරමින් පවතී. රතන හාමුදුරුවන් යනු ලාංකීය දේශපාලනය තුළ අන්ත ජාතිවාදීයෙකි. කාලි සගරාවේ අවතාර තම මනුෂ්‍ය ආත්මයේදී මාතොට,සහ ලන්ඩන් සගරාවේදී ටොන්ගණන් ලියා ඇත්තේ මෙහි ප්‍රතිවිරුද්ධ මතවාදයන් ය. නමුත් 2016 දී අවතාර නැගී සිටින්නේ මෙම ජාතිවාදී නායකයාගේ පංසලේ දේවාලයේ දී ය. ඒ අනුව අවතාර චින්තනය 18 වැනි ශතවර්ෂය දක්වා නැවත ආපස්සට පිය නගා ඇත.
02. x කණ්ඩායම නියෝජනය කළේ නූතන දේශපාලන ව්‍යාපෘතියකි. ශ්‍රී ලාංකීය ජන සමාජය පශ්චාත් නුතනත්වයත් සමග වෙනස්වන ආකාරය සම්බන්ධයෙන් සාධනීය සමාජ-දේශපාලන විශ්ලේෂණයක් දීප්ති විසින් හදුන්වා දුනි. එම විශ්ලේෂණයන් හි අනුගාමිකයන් ලෙස එකල එම සගරාතුළ විප්ලවය සිදු කළ මෙම අවතාර ආත්මයන්මන් ට 2016 දී එම විශ්ලේෂණය අමතක වී ඇත. කාලි සගරාවේදි ඔවුන් ලාංකීය වටපිටාවෙන් ඈත්ව ගොස් ඇත්තේ අහම්බෙන් නොවේ. ඔවුන්ට එම භාෂාව සහ න්‍යයික කරුණු මග හැරෙන්නේ දීර්ඝ කාලයක් කිසිදු අධ්‍යනයක් සිදු නොකර ප්‍රේත ආත්මයක ගත කළ නිසා ද නොවේ. ඔවුන්ට මෙම ලාංකීය ජන සමාජය සහ ලෝක තත්ත්වය පිළිබදව දීප්තිගේ දේශපාලන පාසලෙන් උගත් න්‍යායික කරුණු හා භාෂාව පාවිච්චි නොකර සිදු කරන්නට නොහැකිය. එම නොහැකයාව මත එම ලිපි නොලියයි. හැකිනම් එම දැනුම පාවිච්චි නොකරමින් මෙම සමාජය විශ්ලේෂණය කර පෙන්වන ලෙස මම ඔබලාට අරාධනය කරමි. නමුත් එවැනි සමාජ විවේචනයකට යාමේදී ඔවුන් මේ වන විටත් විමුක්තිය ලබා ඇති කාරණාද විවේචනය වීම මෙම අවතාර ආත්ම වලට දරා ගත හැකි දෙයක් නොවනු ඇති බැවින් ලංකාවේ ජනසමාජය විවේචනය කිරීම පසෙක තබා ඇත. ඔවුන් තවමත් ලංකාවේ තත්වය සැබෑවට තේරුම් ගන්නේ තම පැරණි දේශපාලන පාසලේ අධ්‍යපනයෙන් වුවත්, ඔවුන් එය පිළිගැනීමට කුහක වී ඇත. එබැවින් ඔවුන් කාලි සගරාවේදී විදේශ ලිපි පරිවර්තනය කිරීම පමණක් සිදු කරයි. එය කෙතරම් සහනයක් ඔවුන්ට ලබා දෙන්නේ ද යන්න, පොලා පැනීම යන පැරණි වදන පමණක් භාවිතා කිරීමෙන් පෙන්නුම් කෙරේ. එබැවින් දීප්තිගෙන් මෙන්ම ලාංකීය දේශපාලනයට ද ඈතින් අභ්‍යවකාශයේ සිට විප්ලවය සිදු කිරීමට මොවුන් සැරසීම කෙතරම් ආශ්චර්යයක් ද?
03. මෙම අවතාර ආත්ම විසින් සලකා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ තමන් දේශපාලනය සිදුකිරීමට පැමිණියා නම් දීප්ති නැමැති පුද්ගල සාධකය විශේෂ කරගනිමින්, ඔවුන් විසින් දේශපාලනය මග හරින්නේ ඇයි ද යන්නයි. ඇත්ත වශයෙන්ම තමන් අවංකව දේශපාලනය කරන්නට පැමිණියා නම් දේශපාලනය කළයුතු නමුත්, දිප්ති නිසා දේශපාලනය මගහැර යා යුතු නොවේ. එබැවින් ඔවුන් සිදු කළ යුතු වූයේ ගුරුකුලයක් වශයෙන් න්‍යාය හා භාවිතාව වර්ධනය කිරීමයි. නමුත් ඔවුන්ගේ දෙබිඩි බව හේතුවෙන් ඔවුන් පිළිගත යතු සත්‍ය නම් දේශපාලනයට වඩා වෙනත් පෞද්ගලික ව්‍යාපෘති වලට ආශක්ත වීමේ අවිඥානික ආශාවක් ඔවුන් තුළ පැලපදියම්ව පවතින බවයි. ඔවුන්ට x දේශපාලනය කිරීමට එකම බාධාව දීප්ති ලෙස අර්ථකථනය කරගනිමින් සිටීම, යථ මුණ ගැසීම වලක්වන්නට ඔවුන් දමා ඇති හිස්ටෙරික දැලක් නොවේද? දීප්ති පුද්ගලයෙකු වශයෙන් මෙම අවතාර සමූහයට සිදුකළ එකම දේ තම දැනුම බෙදාගැනීමට යෑම පමණි. එම දැනුමෙන් ඔළුව පුරවාගන්නා විට දීප්තිගේ ආශාව පසුපස හබා යෑමත්, දීප්ති වාගේ සමාජය ආශාකරන පුද්ගලයෙකු වීමට සිහින දැකීමටගොස් සිහින බිද වැටුණු පසු “මට පරිපූර්ණ වෙන්න දෙන්නේ නැති අනෙකා බවට දීප්තිව පත් කිරිමත්” යන කාරණය ඇත්තේ දීප්ති තුළ නොවන බව මෙම අවතාර සමූහය වටහා ගන්නේ නැත. මේ වන විටත් සොයාගත් දේවල් පරිවර්තන ලිපි මගින් ඉදිරිපත් කිරීම දියුණු ගුරුකුල වල ලක්ෂණයක් නොවන අතර, එය ලාංකීය චින්තනයේ පසුගාමී හමුවීමකි. එමෙන්ම මේතාක් ලාංකීය දේශපාලන පක්ෂ සන්දර්භය තුළ අති දියුණු විද්‍යාවන් රැසක් සහිත පුළුල් දේශපාලන අධ්‍යාපනයක් සහිත සංවිධානයකින් වෙන්වන පිරිසක් දියුණු ගුරුකුලයක් බවට පත්නොවීම හා දේශපාලනයෙන් ඉවත්ව තමා විවේචනය කරන ලද සමාජ ක්‍රමයටම හොදින් බද්ධවී මලප්රේතයන් වීමේ ගැටළුව ඇත්තේ කොතනද යන්න මෙම අවතාරයන් ස්වයං විවේචනයකට යා යුතුය.
04. පෙර අනාවරණය කරන ලද මෙම අවතාර සමූහයේ එකමුතුව තුළ සාමූහික අවිඥානික ගිවිසුමක් හදුනා ගත හැකිය. එනම් “ දීප්ති විසින් ඇරඹූ දේශපාලන පාසලේදී දීප්තිගෙන් උගත් න්‍යායන් සහ භාෂාවන් හැර අවතාර භාෂාවෙන් කාලි සගරාවේ ලියමු” යන්නයි. එයින් ඔවුන් අදහස් කරන්නේ වඩ වඩාත් දීප්තිගේ භාෂාව පාවිච්චි කිරීමේදී ඔහුගේ වහලුන් බවට අප පත්වේවි යන අනියත බියයි. එවැනි වාරණයක් ඔවුන් විසින් ඔවුන් වෙත පනවාගෙන ඇත. එනම් තමාගේ ලිපිනයට තමා විසින් ලිපියක් තමාට ලියා ඇත. එවිට ලිපිය ලියා තැපැල් පෙට්ටියට දමන්නෙත් නැවත ලිපිය කඩා බලන්නෙත් තමාම ය. දීප්ති විසින් එම ලිපිය ලියා අවතාර ආත්ම වෙත යොමු කළේ නැත. ඉතිං තමා තමාටම ලිපියක් යොමුකරගනිමින්, එය දීප්ති එවුවා යයි විශ්වාස කරමින් මොවුන් ලබන විනෝදය කුමක්ද? අවතාර ආත්මයන්ට වඩ වඩා විනෝදය සපයන්නේ මෙම වාරණයන් නොවේද? ඔවුන් සිදු කරමින් සිටින්නේ ඉහත දැක්වූ පෙම්වතියගේ භූමිකාවයි. පෙම්වතා පිළිබදව නැවත සිතන්නේ නැති බවට තමාට පනවා ගන්නා ලද වාරණයෙන් තමා දිගින් දිගටම විදවමින් විනෝදවීමයි. ඒ පරිදි කාලි අවතාර සමූහයේ සෑම දීප්ති වාරණයකින්ම කියවෙන්නේ ඔවුන්ට දීප්තිගෙන් තොරව හුස්ම ගන්නටත් නොහැකි බවයි.
මෙම තත්ත්වයන්පිළිබදව සලකා බලන කල කාලී සමූහිකය යනු, “මම මොනවා හෝ ලියමි,… එබැවින් මා පවතිමි” යනුවෙන් තමාටම පවසා ගනිමින් සිටින අවතාරමය පිරිසක් බවය.
-අංජනම් දේවී-
ඇස සඳහා පමණි.