පන්ති දේශපාලනය ආරම්භ වූ යුගයේ සිට අද දක්වා බහුතර වාමාංශික දේශපාලකයා (මා ද ඇතුළත්ව) තමන්ගේ පන්ති සතුරා ලෙස වටහා ගන්නේ, ධනපති පන්තිය හෝ එහි නියෝජිතයෙකු ය. නමුත් 21 වැනි සියවසේ වාමාංශික දේශපාලනයක් ගැන අප අවලෝකනය කරන්නේ නම්, අපගේ සතුරා අභ්‍යන්තර කෙනෙකු බව සිතීමට තරම් එඩිතර විය යුතුය. සතුරා දැන් සිටින්නේ පිටත නොව ඇතුළතම ය.

              මෙම අභ්‍යන්තරික සතුරා හඳුනා ගැනීමට යාමේදී, ඒ සඳහා වඩාත් ම උදව් වන්නේ  කුමන සාහිත්‍යකරුවා ද? නිසැක වශයෙන්ම, ඒ සඳහා ගැලපෙන්නේ, ඇමරිකාවේ ඉපිද පසුව යුරෝපයට සංක්‍රමණය වූ සාහිත්‍යකාරියක් වූ පැට්‍රීෂියා හයිස්මිත්ය. 21 වැනි සියවසේ වාමාංශික දේශපාලන සංවිධානයක් ස්ථාපිත කරන්නේ නම් ඒ සඳහා වඩාත්ම අපට උදව් කරන්නේ , මාක්ස් , ලෙනින් , ග්‍රාම්ස්චි නොව හයිස්මිත්ය.

                 නූතන ගෝලීය ධනවාදී නිර්මිතය තුළ හයිස්මිත් තරම් කදිමට මිනිසාගේ චිත්ත අභ්‍යන්තරය විද්‍යාත්මකව පැහැදිලි කරන පුද්ගලයෙකු මා දැක නැත. නූතන ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය, කලාව, සිනමාව, රැඩිකල් දේශපාලනය වැනි ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වන හෝ  බොහෝ දෙනකුගේ චිත්ත අභ්‍යන්තරය ක්‍රියාකාරී වන ආකාරය පැට්‍රීෂියා හයිස්මිත් තම නවකතාවල චරිත මඟින් ගොඩනඟා ඇත.

               X කණ්ඩායම තුළ 2004ට පසු සිදු වූ ඛණ්ඩනයට පසුව ඉන් ඉවතට ගිය පිරිස එසේ කළේ, කිසිදු දේශපාලන මතවාදයක් නිසා නොවන බව මට අවබෝධ විය. මේ හේතුව නිසා, ඔවුන් පිළිබඳව දේශපාලන සාහිත්‍යය තුළින් ගවේෂණය කිරීම ඵල රහිත ක්‍රියාවකි. 2004 විනාශය තුළ තීරණාත්මක භූමිකාවක් රඟපෑ පුද්ගලයෙකු මා සමඟ පසු කලෙක කී දෙයකින් මෙම තත්ත්වය සුපැහැදිලි විය.

        “මට X එකෙන් ඉවත් වෙන්න හේතු අවශ්‍ය වුණේ නැහැ. මම කාලයක් හිටියේ රට. ලංකාවට ආවට පස්සෙ මට කෙනෙක් කිව්වා ඔහුට X එක සමඟ ප්‍රශ්න තිබෙන බව. මම මෙහෙම කිව්වා. මට ඔය හේතු ඉදිරිපත් කරන්න අවශ්‍ය නෑ. මං තුළම ඒ සඳහා හේතු තියෙනවා. කොටින්ම, X එකෙන් ඉවත් වෙන්න හේතු අවශ්‍ය නෑ. හේතු අපිට පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්”. 

               ඉහත වාක්‍ය රටාව ලෙනින්, මාඕ, කැස්ත්‍රෝ, චේ, ඇන්.ඇම්, විජේවීර වැනි සංකේතීය ලෝකය අනුගමනය කරන දේශපාලකයන්ගේ භාෂාව තුළ නැත. [මෙහිදී, ‘තුළ’ යන වචනයෙන් අදහස් වන්නේ, ඇතුළත යන්න නොව අභ්‍යන්තර තර්කනය යන අදහසයි.] නමුත්, මෙම භාෂා තර්කනයට සන්දර්භයක් සලකුණු කිරීමේදී, අභිමතාර්ථය, විමර්ශකය,  සංඥාව යන ත්‍රිලක්ෂණය අමතක කළ යුතුය. සරලව කිවහොත්, ඉහත X විමතිකයා කියන්නේ, ඔහු ගැන මිස බාහිර යථාර්ථය ගැන නොවෙයි. තවත් සරලව කිවහොත්, ඔහුගේ ඉහත අදහසට අර්ථයක් හෝ අර්ථකතනයන් කළ නොහැකිය. එහි අර්ථය ඔහුටම ආවේණික එකකි. එය සමාජයේ පොදුජන සංකේත පද්ධතියට සම්බන්ධ කළ නොහැකිය. ඔහු කියන්නේ, සංවිධානය තුළ ඔහුගේ අර්ථයක් නැති හුදෙකලාභාවය ගැනය.

             ‘පැට්‍රීෂියා හයිස්මිත්’ තමන්ගේ ආඛ්‍යාන ශෛලිය ගැන අදහසක් මෙසේ පවසයි.  “ ටොම් රිප්ලිගේ චරිතය නිර්මාණය කිරීමේදී, මම සාධක දෙකක් උඩුයටිකුරු කළෙමි”.

  1. හොඳ පරදා නරක ජයග්‍රහණය කිරීම.
  2. කිසිදු හෘද සාක්ෂියකින් හෝ වරදකාරී හැඟීමකින් තොරව මිනිස් ඝාතනයක් සිදු කිරීම.

                  ‘ටොම් රිප්ලි’ යනු, The Talented Mr.Ripley නම් නවකතාවේ ප්‍රධාන චරිතය යි. ඔහු අප දන්නා වෙනත් වීරයන්ට වඩා වෙනස් කෙනෙකි. උදාහරණයක් වශයෙන්, ‘ගම්පෙරළිය’ නවකතාවේ පියල් පොහොසතෙක් වීමට තීරණය කරන්නේ, නන්දාව ඔහුට විවාහ කර දීමට වලව්වේ අය අකමැති වීම නිසා ය. නමුත් ‘රිප්ලි’ නම් නවකතාවේ ප්‍රධාන චරිතය ඩිකී නම් තම පොහොසත් මිතුරාව ඝාතනය කරන්නේ, කිසිදු හේතුවක් නැතිවය. ඔහු වටා සිටින අය ඊට විවිධ හේතු දෙන මුත් ඔහු ඊට හේතුවක් ඉදිරිපත් කරන්නේ නැත.[හදවතේ නීතිය.]

                ‘පැට්‍රීෂියා හයිස්මිත්’ ව්සින් නිර්මාණය කළ මෙම ‘‘රිප්ලි’’ නම් චරිතය අපූර්ව වන්නේ, ඔහු ප්‍රබුද්ධ තර්කයේම කොටසක් වුවත් එහි අඳුරු පැත්ත නියෝජනය කිරීම නිසාය. ‘‘රිප්ලි’’ විසින් කරන අපරාධවලට කිසිදු අභිප්‍රායක් නොමැත. මේ හේතුව නිසා, හයිස්මිත්ගේ නවකතා යථාර්ථවාදී ශානරයන්, රහස් පරීක්ෂක ශානරයන් සමතික්‍රමණය කරයි.

                අපි මෙහෙම සිතමු. ඔන්න රිප්ලිට යම්කිසි මිනිසෙක්  මරන්න අවශ්‍යයි. එතකොට, එයා කරන්නේ ඒ මරන්න අවශ්‍ය පුද්ගලයව මෝටර් රථයක දමාගෙන ගමනක් යන්න ආරාධනා කරන එකයි. ඒ යන්නේ, මුහුද දෙසට ඇදී ගිය දිගු මාවතක් දිගේ අනන්තයට ය. ඔහු මේ ගමන සඳහා තෝරා ගන්නේ, ඉරිදා දවසක සැන්දෑවක්. එදාට මිනිස්සු පවුල් පිටින් මේ මුහුදු මාවත දෙපස විනෝද වෙනවා. රිප්ලි තම මිතුරාව මෝටර් රථය තුළ දමාගෙන මේ මුහුදු පාර දිගේ වේගයෙන් ක්ෂිතිජය දෙසට ගමන් කරනවා. අවසාන කොටසේදී,රථය තරමක් නොසැලකිලිමත් ලෙස ධාවනය වී පාරේ එක කොනකට ලිස්සා ගොස් මෝය කටේ එක පසෙක වූ ගඟට වැටෙනවා. ‘රිප්ලි’ එක්වරම දොර ඇරගෙන ගොඩට එනවා. එද්දී ස්වයංක්‍රීය දුරස්ථ පාලකයෙන් රථයේ දොරවල් ජලය තුළදීම වසා දමනවා. උඩට එන කුසලතා පූර්ණ ටොම් රිප්ලිව, මහමග රැස්වී සිටින මහජනතාව ඔල්වරසන් දී පිළිගන්නවා. ඔහු කියන දේ ජනතාව පිළිගන්නවා. නමුත් මෝටර් රථය තුළින් මළ සිරුරක් හමු වෙනවා. ඒක ඝාතනයක්. නමුත් ප්‍රේක්ෂකාගාරය එය දන්නේ නැහැ. ඔවුන්ට අනුව රිප්ලි වීරයෙක්.

            ‘පැට්‍රීෂියා හයිස්මිත්’ විසින් තම ප්‍රබන්ධ චරිතය වූ ටොම් රිප්ලි පිළිබඳව මෙසේ නැවත කියයි.

               “ රිප්ලි කියන්නේ ඉතාම සිත්ගන්නා සුළු සහ තැනක ඉතාමත් වැදගත් විදිහට හැසිරෙන්න දන්න කෙනෙක්. ත්‍රාසජනක දේවල් කරන්න ඔහු හරිම කැමතියි. ඔහු ඇමරිකන් සමාජයෙන් බිහි වු සාමාන්‍ය මිනිසෙක්. නමුත් ඔහු තමන්ගේ ක්‍රියාවන් ඉටු කරගන්න යුරෝපයට සංක්‍රමණය වෙනවා. මිනීමැරුමක් කිරීම සම්බන්ධයෙන් ඔහුට සදාචාර අදහසක් නැහැ. ඒ ගැන, හේතුඵල සම්බන්ධයක් ගොඩනගන්න ඔහු කිසිදු උත්සාහයක් ගන්නෙත් නැහැ. නවකතාවේ ඔහු වටා සිටින අනෙක් චරිත (හෘද සාක්ෂියක් ඇති අය) රිප්ලි දිහා බලන්නේ පුදුමයෙන්. හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු තමන්ගේ වැරදිකාරි දෘෂ්ටිය චුවින්ගම් එකක් ලෙසින් හපනකොට රිප්ලිට එවැනි දෙයක් නැහැ හපන්න. මිනීමැරුමක් කරාට පස්සේ ඔහුට හොඳට නින්ද යනවා”.

            ගැටලුව වන්නේ, ඇමරිකාව ඔහුට සීමාවක් නිර්මාණය කිරීමත්, යුරෝපය ඔහුට ව්‍යාපෘතියක් හඳුන්වා දෙන්නෙත් මන්ද යන්නයි. සාමාන්‍යයෙන්, අපට බොහෝ විට හමුවන්නේ, යුරෝපයේ සහ සෝවියට් දේශයේ සීමාවන් පසු කිරීමට විවිධ චරිත ඇමරිකාව බලා යෑමයි. හයිස්මිත් නිර්මාණය කර ඇති රිප්ලි චරිතය සොයා යන්නේ, සදාචාරවාදී පදනමක් මත ක්‍රියාත්මක වන ධනවාදී ක්‍රමයක් ය. ඔහුගේ දඩබිම යුරෝපය වන්නේ ඒ නිසාය.

           නැවතත් අපි ‘පැට්‍රීෂියා හයිස්මිත්ගේ’ හඬට සවන් දෙමු.

              “මම රිප්ලිව නිර්මාණය කළේ නිර්-සදාචාරාත්මක විදිහටයි. ස්වභාවික ලෙසම මෙම චරිත ස්වභාවය නිසා සාමාන්‍ය මිනිසෙක් හොඳටම කලබල වෙනවා. ඒ විතරක් නොවේ, මේ චරිතය නිසා මමත් කලබල වෙනවා. ඒක හරියට, යම් කෙනෙක් අනුන්ගේ නිවසක් මංකොල්ල කාලා ඒ ගැන මොකවත් හිතන්නේ නැතිව ඉන්නවා වගේ තත්ත්වයක්. රිප්ලි කියන්නේ අපි වගේ වැරදි වැඩක් කරාම පශ්චාත් වන කෙනෙක් නොවේ. තමන් කරේ වැරදි වැඩක් කියලා කොහොමවත් රිප්ලි  හිතන්නේ නෑ. ඒක ඔහුගේ ප්‍රේක්ෂකයන් වන අයගේ රාජකාරියක්. අපේ ජීවිත තුළ වැරදි වැඩ සිද්ධ වෙනවා. ඒවට සාධාරණයක් ඉෂ්ට නොවීම ගැන පිළිකුලක් අපට තියෙන්න පුළුවන්. ඒ වුණත් , රිප්ලි වගේ මිනිසුන්ට මහජනයා කැමතියි කියලා මම දන්නවා”.

                 ‘ටොම් රිප්ලි’ කියන්නේ අපරාධයක් කරාට පස්සෙ, ඒ ගැන නෛතිකව සහ සදාචාරාත්මකව හිතන කෙනෙක් නොවේ. මනෝවිශ්ලේෂණය ආධාර කරගෙන අපට එක දෙයක් ‘ටොම් රිප්ලි’ ගැන සූත්‍රගත කරගන්න පුළුවන්. ඔහුට තමන් කළ වැරදි වැඩ හෝ අපරාධ ගැන කිසිම විඳවීමක් හෝ වැරදිකාරිත්වයක් නැහැ. මින් හැඟවෙන්නේ, ඔහු තමා අවට පවතින ‘සංකේතීය ලෝකය’ අභ්‍යන්තරීයකරණය කරගෙන නැහැ කියන එකයි. ඒ නිසාම, අපිට රිප්ලිව පේන්නෙ දිව්‍ය ලෝකයෙන් රැගෙන ආ සුරංගනාවියක් ලෙසිනි. ඔහුගේ ලෝකය තුළ නීතිය සහ එය උල්ලංඝනය කිරීම ගැන කිසිම අදහසක් නැහැ. ඒ අර්ථයෙන්, ඔහු අපට ඊර්ෂ්‍යා හිතෙන තරම් නිදහස් මිනිසෙක්. නීතිය සහ එය කැඩීම ගැන රිප්ලි කිසිවක් නොදන්නා නිසා, ඔහුට තමන් කළ වරදක් ගැන කිසිම වරදකාරි හැඟීමකුත් එන්නේ නැහැ. ඒ විතරක් නොවේ, රිප්ලි කියන්නේ දුක්මුසු හැඟීම් නොදන්න කෙනෙක්. පහසුවෙන් ජීවත් වෙනවා කියලා රිප්ලි  අනුමාන කරන චරිතයක චරිත ලක්ෂණ ඔහු උපුටා ගන්නවා. රිප්ලි කැමති ජීවන චර්යාවක් තියෙන පුද්ගලයෙකුගෙන් එය උපුටා ගන්න ඔහු ඒ පුද්ගලයාව ඝාතනය (සංකේතීයව) කරන්න පුළුවන්. සංකේතීය ලෝකය රිප්ලි තුළට අභ්‍යන්තරීයකරණය නොවී ඇති නිසා ඔහුට ධනවාදය පේන්නේ සුරතාන්තය සොයා යන විද්‍යාවක් ලෙසිනි. මේ චරිතයේ මූලික ලක්ෂණ කිහිපයක් මෙසේය.

   1.අනන්‍යතාවයක් නැති වීම.

   2.හොඳ නරක භේදය නොදැනීම.

   3. මුදල්, කීර්තිය සහ ලිංගිකත්වය දෙසට ඇදී යාම රාජකාරියක් ලෙස ගැනීම.  

ඩෙරීඩාට වඩා රිප්ලි වර්ගයේ චරිත එමැනුවෙල් කාන්ට් වෙතට ආකර්ෂණය වීම අහම්බයක් නොවේ. රිප්ලි ප්‍රායෝගික වන්නේ, පාරභෞතික ක්ෂේත්‍රය තුළ දී ය.

                ශ්‍රී ලංකාවේ ද ‘ටොම් රිප්ලි’ වැනි චරිත පවතින්නේ, වාමාංශික සහ ප්‍රගතිශීලී දේශපාලනික නිරවද්‍ය ස්ථානවල ය. ඔවුන් හඳුනා ගැනීමේ සාහිත්‍ය විද්‍යාවක් තවම ලාංකිකයන්ට නැත. මා විසින් දීර්ඝ කාලයක් පර්යේෂණ කළ සිංහල- බෞද්ධ- ක්‍රිස්තියානි (විවාහයෙන් පසු) ටොම් රිප්ලිලා තිදෙනෙකුගේ නම් මෙසේය.

1.සුමනසිරි ලියනගේ (මාක්ස්වාදය).

2.උදත් ප්‍රනාන්දු  (ලිංගිකත්වය පූජනීය රහසක් ලෙස- මිචෙල් ෆුකෝ).

3.සුදර්ශන ගුණවර්ධන (‍ප්‍රජාතන්ත්‍රවාදය- ජුඩිත් බට්ලර්).

 

 -දීප්ති කුමාර ගුණරත්න-     

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here