ශිෂ්ටත්වයේ සිහිනය...|Wednesday, July 26, 2017
You are here: Home » News » ගම්පෙරළිය ගැන ලියැවුණු මුල්ම විචාරය

ගම්පෙරළිය ගැන ලියැවුණු මුල්ම විචාරය 

Martin

 

මීට අවුරුදු 70 කට පෙර එනම් 1944 මැයි 01 වැනිදා ලියා හමාර කර ඇති මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නවකතාව අරභයා මුල්ම විවේචනය ලියන ලද්දේ ජී. බී. සේනානායක විසිනි. ගම්පෙරළියෙන් කොග්ගල ගමේ සමාජ පෙරළිය කියැවෙතත් එය මුළු ලොවටම සාධාරණ බව ඔහු කියයි. එම විවේචනය සම්පූර්ණයෙන්ම මෙහි පළ වෙයි.

ඇසින් ප්‍රතිග්‍රහණය කළ යුතු සත්‍යය, බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවෙන්ද්‍රීයෙන් හෝ ප්‍රතිග්‍රහණය කළ යුතු සත්‍යය, අනුසන්ධානය යයි චිත්‍රයක ප්‍රධාන කරුණු තුනක් වෙතියි චිත්‍රකලා විචාරකයෝ කියති. මෙරට බෙහෙවින් සුලභ වන්නේ පළමුවන සත්‍යය පමණක් සලකා ගෙන කළ චිත්‍රයි. ඇසින් ප්‍රතිග්‍රහණය කළ සත්‍යයම චිත්‍රයට නැගීම සඳහා කළ සිතුවම ඡායාරූපයක් වැන්න. අප රට පුරාණ ශිල්පීන් සිතුවම් ඇන්දේ දෙවන සත්‍යයට හෙවත් බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවේන්ද්‍රීයෙන් හෝ වටහාගත යුතු සත්‍යයට මුල් තැන් දීමෙනි. බුදුන් වහන්සේගේ ප්‍රතිරූපය සිතුවම් කළ පැරණි සිත්තරු උන්වහන්සේගේ ශාන්ත චින්තනය ද මෛත්‍රී කරුණාව ද චිත්‍රයට‍ නැඟීමට තැත් කළහ.

උන්වහන්සේගේ ශාන්ත චින්තනය හා මෛත්‍රී කරුණාව සිත්තරුන් විසින් බුද්ධීන්ද්‍රීයෙන් හා භාවේන්ද්‍රීයෙන් ප්‍රතිග්‍රහණය කළ බව සත්‍යයකි. චිත්‍රයක දැක්වෙන වස්තූන් නෙතට ප්‍රිය වන සේ තැන් තැන්වල සිටින සේ සකස් කිරීම අනුසන්ධානයයි. චිත්‍රයක අනුසන්ධානය කවියක වෘත්තයට සමානය. පළමුවන හා දෙවන සත්‍යයන් නොසලකා අනුසන්ධානයට මුල් තැන දෙන චිත්‍ර සම්ප්‍රදාය ඇතිවූයේ ඉතා මෑතකදීය. මේ සම්ප්‍රදාය අනුගමනය කරන චිත්‍රකාරයෝ වස්තූන්ගේ හැඩහුරුකම හෝ බුද්ධීන්ද්‍රීයෙන් වටහාගත යුතු සත්‍යය හෝ නොසලකති. මේ සම්ප්‍රදායට අනුව කළ චිත්‍රයක් ශබ්ද මාධූර්යය පමණක් සලකා අර්ථ ශුන්‍ය වචන යෙදීමෙන් රචනය කළ පද්‍යයකට සමානය.

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය නමැති නවකථාවෙහි පිට කවරයෙහි එන චිත්‍රය, මේ චිත්‍ර සම්ප්‍රදාය අනුගමනය කොට කළ එකකැයි සිතමි. චිත්‍රකලා විචාරණය පිළිබඳව යට සඳහන් කළ කරුණු මා දැක්වූයේ ඒ චිත්‍රය වටහා ගන්නා සැටි පෙන්නා දීමටම නොවේ. මේ කරුණ චිත්‍රකලා විචාරණයට මෙන්ම සාහිත්‍ය විචාරණයට ද පොදුය. ශ්‍රේෂ්ඨ නවකථාවක් ලෙස සැලකිය යුත්තේ විෂයෙන්ද්‍රීයයන් ගෙන් වටහා ගත් සත්‍යය ද බුද්ධීන්ද්‍රීයෙන් හෝ භාවේන්ද්‍රීයෙන් හෝ වටහාගත් සත්‍යය ද අනුසන්ධානය හෙවත් සන්දර්භය ද එක ලෙස ප්‍රධානකොට සලකාගෙන කරන ලද කථාවය. කවරයෙහි එන චිත්‍රය අනුසන්ධානය හෙවත් සන්දර්භයට ගරුකොට සලකා ගෙන කරන ලද්දක් වුවද පොතෙහි එන කථාව මේ කරුණු තුනම සමව සිටින ලෙස කළ රචනයකි.

චරිතය හා සමාජය පිළිබිඹු කරන නවකථාය, චරිතයන්ගේ සංඝට්ටනය දක්වන නවකථායයි නවකථා දෙකොටසකට බෙදිය හැකැයි සිතමි. මෙසේ නවකථා බෙදීමේදී චරිතාලේඛනය නොසලකා ලියූ නිසරු කථා මා විසින් නවකථා ලෙස නොසලකන ලදී. ගම්පෙරළිය චරිතාලේඛනය ද සමාජ තත්ත්වය ද පිළිබිඹු කොට දැක්වීම සඳහා කළ නවකථාවකි. ගමක විපර්යාසය දැක්වීම වික්‍රමසිංහ මහතාගේ අදහස හෙයින් නවකථාවට තබන ලද නම බෙහෙවින් උචිතය. ගම්පෙරළිය ලියන ලද්දේ දකුණු පළාතේ කොග්ගල නමැති ගමෙහි සමාජ තත්ත්වය විපර්යාස වූ සැටි දැක්වීමකට වුවද එයින් විස්තර වන්නේ නවීන සභ්‍යත්වය නිසා ලොව සියලුම රටවල ගම් වෙනස් වන සැටිය.

ඉතා කුඩා ගමක සමාජයක් වුවද ස්ත්‍රී පුරුෂයන් සිය ගණනකින් යුක්ත වෙයි. එහෙත් සමාජය පිළිබිඹු කොට දක්වන නවකථාවකට සාමාන්‍යයෙන් ඇතුළත් කළ හැක්කේ චරිත කීපයක් පමණය. වික්‍රමසිංහ මහතා නවකථා කලාවෙහි ශූරයෙකු බව ගමක සමාජයෙහි විපර්යාසය චරිත කීපයක උපකාරයෙන් පිළිබිඹු කොට දැක්වූ සැටියෙන් පැහැදිලි වෙයි. සමාජයක පුද්ගලයන් චරිතයට අනුව කොටස් වශයෙන් බෙදා කොටස්වලට පොදු වූ ගතිගුණ ඇති චරිතයන් නිර්මාණය කිරීමෙන් සමාජය පිළිබිඹු කිරීම සාමාන්‍යයෙන් නවකථාකාරයන්ට හුරු වූ උපක්‍රමයකි. මෙවැනි චරිත මෙරට නවකථාවලට ද නාට්‍යවලට ද බොහෝ සෙයින් සුලභය. ගමේ වෙදා ද මඟුල් කපුවා ද උඩඟුකම හා කුල ගර්වය නිසා විනාශයට පත්වන මුදලිද එවැනි චරිත කීපයකි. මේ චරිත සමාජයේ ඇතැම් පක්ෂයන් හඳුන්වන ලකුණු වශයෙන් මිස පුද්ගලයන් වශයෙන් නොසැලකිය හැක.

සමාජය පිළිබිඹු කොට දක්වන නවකථාවක එන චරිත ශූර නිර්මාණයන් විය හැක්කේ, සමාජයේ නොයෙක් පක්ෂයන් හඳුන්වන ලකුණු වශයෙන් පෙනී සිටින තරම පෞද්ගලික ගතිගුණ ඇත්තවුන් ද වූවොත් පමණය. වික්‍රමසිංහ මහතා ගමෙහි විපර්යාසය දක්වන්නේ කුල ගර්වයම දැඩිකොට ගත් පැරණි ධනවත් පවුලක් ක්‍රමයෙන් පිරිහෙන සැටි ද ගර්වය උපදවා ගැනීමට තරම් පරම්පරාවක් නැති පවුලක් ක්‍රමයෙන් ධනවත් වන සැටි ද දැක්වීමෙනි. මේ දෙපවුලෙහි චරිත මෙන්ම ගමෙහි සෙසු සමාජය පිළිබිඹු කොට දැක්වීම ඇතුළත් කොට තිබෙන චරිත ද පුද්ගලයන් මෙන් හඳුනාගත හැක්කෝය. නන්දා කොග්ගල ගමෙහි ඉතා පැරැණි පරපුරක් ඇති පවුලක තරුණියකි. පියල් පසුව තරමක් වත්පොහොසත් කමක් ඇතිකොට ගත් ධනපතියකුගේ පුතෙකි. ඉංග්‍රීසි උගතකු වූ පියල් නන්දාට ද ඇගේ සොහොයුරියට ද ඉංග්‍රීසි ඉගැන්වීමට ඔවුන්ගේ ගෙදරට ආවේය. නන්දා කෙරෙහි ආලය කරන්නා වූ පියල් නන්දාට විවාහ යෝජනාව කළේය. තමන්ගේ දෙමවුපියන් විවාහය අනුමත කරතොත් තමා ඔහු හා විවාහ වීමට කැමැති බව නන්දාගේ පිළිතුර විය.

“උන්ට කවුද හිර දෙන්නෙ” යනු විවාහ යෝජනාව ගැන ඇසූ නන්දාගේ මවගේ හෙවත් මාතර හාමිනේගේ මුවින් නිතැතින් නිකුත් වූ පිළිතුර විය. උගත් කමක් හෝ වත්පොහොසත්කමක් හෝ නැතත් වැදගත් පරපුරක් ඇති ජිනදාස හා නන්දා විවාහ විය යුතු යයි දෙමවුපියන් යෝජනා කළ විට ඈ කිසිවක් නොකියා ඊට කැමැති විය. නන්දාගේ චරිතය ගම්බද කුලගෙවල දැරියන්ට පොදු වූ චරිතයක් වුවද ඈ වෙනත් කුල දැරියන් ගෙන් වෙන් කොට හඳුනාගත හැකි වන ලෙස නිර්මාණය කොට ඇත. නවකථාවක් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වීමට නම් එහි එන ජීවිතය පිළිබඳ ප්‍රවෘත්තීන්හි දෙවැදෑරුම් වූ සත්‍යයක් ගැබ් විය යුතුය. නවකථාවෙහි එන සිදුවීම් හා චරිත ද නවකථාවට අරමුණු වූ කාලය ප්‍රදේශය සිරිත් විරිත් ආදිය හා ගැළපිය යුතුය. මෙය එක සත්‍යයකි.

විෂයෙන්ද්‍රීයයෙන් වටහාගත යුතු සත්‍යය යයි යට කියන ලද්දේ මෙය. නවකථාවෙහි දැක්වෙන ජීවිත ප්‍රවෘත්තීන් ද චරිත ද සියලුම මනුෂ්‍ය වර්ගයාට පොදු වීම බුද්ධීන්ද්‍රීයෙන් වටහාගත යුතු සත්‍යයයි යට කියන ලද අනික් සත්‍යය වික්‍රමසිංහ මහතා විස්තර කරන ප්‍රවෘත්ති කොග්ගල ගමට මෙන් මිනිසුන් වසන සියලුම පෙදෙස්වලට පොදුය. මෙරට ගමක ජීවිතය මෙන්ම මනුෂ්‍යත්වය ද පිළිබිඹු වන ලෙස මේ නවකථාව ගොතා තිබෙන සැටි සලකන විට මා තුළ ඇති වන්නේ වික්‍රමසිංහ මහතා, ලොව ජීවත්ව සිටින අති ශ්‍රේෂ්ඨ නවකථාකාරයන් අතර ලා සැලකිය යුතු ය යන අදහසය. ගම්පෙරළිය, නවකථා කලාව හදාරන්න වුන් විශේෂයෙන් කියවිය යුත්තකි.

- ජී. බී. සේනානායක – සිළුමිණ, 1944 මැයි 21

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...