ලංකාවේ ජනගහණයෙන් අති බහුතරය තවමත් ජීවත් වන්නේ ගම්වලය. ඉන් අදහස් වන්නේ ඔවුන් නිෂ්පාදනයට සහ හුවමාරු ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ ගමේදී යන්න නොවේ. ගම්වල පදිංචි මිනිසුන්ගෙන් ‛යම්’ පිරිසක් තම යැපුම් මාධ්‍ය සොයා අසල නගරවලට පැමිණෙති. ගමනාගමනය සාපේක්ෂ වශයෙන් පහසු වූ රටක ගැමියෙකුට තම අසල වූ නගරයට යෑමට එතරම් අපහසුවක් නැත. මේ තත්ත්වය නිසා වැඩ කරන ස්ථානය සහ පදිංචිව සිටින ස්ථානය යනු එකක් නොව දෙකකි.

Here is the rose, dance here

අනෙක් අතට ගම සහ නගරය අතර ප්‍රතිවිරෝධය පුළුල් මට්ටමේ එකක් නොවේ. නිශ්චිත මාසික වැටුපක් අතට එන නිසා ගම්වල ජීවත් වන දුගීන්ගෙන් මෙම පිරිස වෙනස්ය. ඔවුන්ගේ ජීවන තත්ත්වය දුගී ගොවියාට සහ ග්‍රාමීය කම්කරුවාට වඩා ඉහළය. ගම්වලින් උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේද බොහෝ විට මෙම ස්ථරයයි. මේ නිසා ඔවුහු නගරයේ ඇති වන නොයෙකුත් ව්‍යාපාරයන් ගම සමඟ සම්බන්ධ කරන පුරුක්ය. මින් බොහෝ පිරිසක් තවම ගමේ පදිංචිව සිටින්නේ ගමේ නිවසක් හා යම් ඉඩම් ප්‍රමාණයක් ඔවුන් සතු නිසාය. මේ සන්දර්භය තුළ ඔවුන් මූලික වශයෙන් ග්‍රාමීය සන්දර්භය තුළ නොව ජාතික පරිසරය තුළ සූරා කෑමට ලක් වන්නන්ය.

ගෝලීයකරණය තුළ ගැමි විඥානයට සිදු වන්නේ කුමක්ද?

බංගලිදේශයේ ඩැකා අගනුවර පවත්වාගෙන ගිය ඇඟළුම් කම්හල් කිහිපයක් පැවති මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමකට ලක් විය. මේ හදිසි අනතුර නිසා මිය ගිය කම්කරුවන් ඇතුළු පිරිස මේ වන විට 305ක් පමණය. ඇඟළුම් කර්මාන්තයෙන් බංගලිදේශය වාර්ෂිකව ලබන ආදායම වසරකට ඩොලර් බිලියන 4කි. නමුත් එම කර්මාන්තය තුළ සේවය කරන අයගෙන් 90%ක් දෙනා තම සේවක අයිතිවාසිකම් ගැන කිසිවක් නොදනිති. ඔවුහු තම නෛතික අයිතිවාසිකම් ගැන ද කිසිවක් නොදනිති. එපමණක් නොව තමන් කම්කරුවෙකු ලෙස කුමන වගකීමක් දරන්නේ ද යන්න ද නොදනිති.

මෙම කඩා වැටුණු කම්හල් සමූහය විසින් නිෂ්පාදනය කරන ඇඟළුම් විකිණීම සඳහා යවන්නේ යුරෝපයටයි. ඉනුත් ලන්ඩනය ප්‍රමුඛය. පොළොවටම සමතලා වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පරිවර්තනය විය. තරමක සමාජවාදී සම්ප්‍රදායකින් පැවතී ගෙන එන BBC ආයතනයේ නිවේදිකාවක් තරමක් අපූර්ව වැඩක් කළේය. ඇය තම කැමරාකරුවා සමඟ ලන්ඩනයේ අගනාගරික ප්‍රදේශයට ගොස් පදික වේදිකාවේ ගමන් කරන විවිධ සමාජ ස්ථරවලට (මේ බොහෝ දෙනා පහළ මැදපන්තිකයන්ය) අයත් විවිධ වයස් කාණ්ඩයේ අයගෙන් මෙලෙස ප්‍රශ්න කළේය. ‛ඔබ ඔය හැඳ සිටින ඇඳුම ලන්ඩනයට ළඟා වන්නේ කොහෙන්ද?’ බහුතරයක් දෙනාගේ උත්තරය වූයේ ‛දන්නේ නැත’ යන්නය. තමන්ගේ රටට ඇඳුම් එන්නේ ආසියාවේ දුප්පත් රටවලින් යැයි කීවේ එක් පුද්ගලයෙක් පමණි. මෙම සිදුවීම මාක්ස්වාදයට අනුව විග්‍රහ කළහොත් එංගලන්තය විසින් ගොපණ නලයක් හරහා බංගලිදේශය සූරා කයි. අගනාගරික ලන්ඩන් මැදපන්තිකයාට ‛සංඥාමය’ නාම සහිත ඇඳුම් මිලදී ගත නොහැකි නිසා ඔවුන්ට ඇති එකම විකල්පය වට්ටම් සහිත ඇඳුම්ය. ඩැකා නගරයට ඈත ගම්වලින් එන කම්කරු ස්ත්‍රිය ඇඳුම් මහන්නේ ලන්ඩන් වීදිවල උසස් නෝනා මහත්වරුන් ලෙස ගමන් කරන මැද පන්තිකයන්ටය.

ඩැකා සහ ලන්ඩන් අතර අතරමැදි පුරුක –

ඩැකාවලින් ලන්ඩනයට නිමි ඇඳුම් එවන ඇඟළුම් කම්හල් සහ එංගලන්ත ගැනුම්කරුවා වන Primark සමාගම අතර මැද පුරුක වන්නේ ඩැකාහි පිහිටි  Nuk (Centre for Women’s Initiative) නම් ආයතනයයි. ‛ප්‍රයිමාර්ක්’ සමාගමේ වෙබ් අඩවියට අනුව ඔවුන්ගේ වෙළඳාම සාධාර්මිකය. එය Ethical ය, (ආචාර ධාර්මිකය). ඔවුන්ගේ සමාගමේ ආචාර ධර්ම පද්ධතිය ‛සමාජීය විගණනයක්’ හරහා පරීක්ෂා කරන්නේ Penneys සමාගමය. Nuk  සමඟ සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වන්නේ ඔවුන්ය. ඩැකාහි පිහිටි මෙම මිලියන ගණනක් වටිනා ඇඟළුම් ව්‍යාපාරයේ එක අයිතිකරුවෙක් වන්නේ පාලක ‛අවාමී ලීගයේ’ තරුණ සංවිධාන නායකයාය. ඩැකාහි සේවය කරන ගැමි තරුණිය තමන් මහන්නේ කාටදැයි නොදන්නා අතර ලන්ඩන් අගනගරයේ ඉබාගාතේ ඇවිදින පන්ක් මැදපන්තික තරුණිය තමා හැඳ සිටින ඇඳුම මහන්නේ කොහේදැයි නොදනියි.

 

ඉහත රූපසටහන් අංක 01ට අනුව ඩැකාහි නිෂ්පාදිත නිමි ඇඳුම් (පාරිභෝගික භාණ්ඩය) ගුවනින් එංගලන්තයට යන අතර එම රටට ඩැකා සමඟ සෘජු සම්බන්ධයක් නැත. ග්‍රාම්ස්චිගේ භාෂාවෙන් කිවහොත් BBC බලන කොළඹ මැද පන්තිකයෙකුට ලන්ඩන් අගනගරයේ ඇවිදින පහළ මැද පන්තිකයන් පෙනෙන්නේ පොහොසත් මිනිසුන් ලෙසිනි. එපරදිම ‛ඩැකා’ සිට තම ගමට යන ‛ඇඟළුම් සේවිකාව’ (ලස්සන යෙදුමක්) ඇගේ ගමේ දුගීන් දකින්නේ ‛ලස්සන කෙල්ල’ ලෙසය. (ලංකාවෙන් මැද පෙරදිගට ගිය වහල් සේවකයෙකුගේ මවක් ඩිලාන් පෙරේරා දකින්නේ ‛ෂාරුක් ඛාන්’ ලෙසින්ය.)

80 දශකය අගභාගයේදී ‛නිදහස් වෙළඳ කලාපය’ ප්‍රදේශයේදී නව සමසමාජ පක්ෂය මුහුණ දුන් උභතෝකෝටික ගැටලුව වූයේ ඉහත ප්‍රතිවිරෝධය විසඳීමයි. එනම් නගරයේදී අත්තඛිලමතානුයෝගී ආර්ථිකයක් (පටි තද කර ගන්නා) නඩත්තු කරන කම්කරු ස්ත්‍රියක් ගමට ගිය පසු කාමසුඛල්ලිකානු ආර්ථිකයකට මාරු වෙයි. එහිදී ඇය අත ගහැර තම පවුලට වියදම් කරයි. අලුත් අවුරුද්දට ජාතික රූපවාහිනියෙන් අප දකින්නේ රසවත් ලෙස අලුත් අවුරුද්ද සමරන කම්කරු ස්ත්‍රීන්ය.

ගැමියන්ගේ විඥානය විප්ලවවාදීව වෙනස් කළ හැක්කේ නගරය තුළ සූරාකැවෙන කම්කරුවා හරහා බවට විවාදයක් නැත. ගමත් නගරයත් අතර පවතින විප්ලවවාදී පුරුක වන්නේද මෙම වැටුප් ශ්‍රමික කාන්තාවයි. නමුත් ගැටලුව වන්නේ මෙම වැටුප් ශ්‍රමික කාන්තාව යළිත් පදිංචිය සඳහා ගමට යාමයි. එහිදී විවාහයක් කරගෙන අවශ්‍ය නම් යළි මැද පෙරදිග සේවයටද යාමයි. මෙම කරුණ නිසා ඇගේ විප්ලවවාදී විඥානය පළුදු වෙයි. නගරය ඇගේ අධෝ-ව්‍යුහය වූවත් ‛ගම’ තවම ඇගේ උපරි-ව්‍යුහයයි. මෙම තල දෙක ඇගේ ජීවිතය හඳුනා ගන්නේ අසම්පාතයක් (Parallax Gap) ලෙසිනි. එක් භූගෝලීය ස්ථානයකදී ඇය තමාව ‛දුප්පත් අසරණ’ කෙනෙකු ලෙස හඳුනා ගන්නා අතර තවත් භූගෝලීය ස්ථානයකදී (ගම) ඇය තමාව හඳුනා ගන්නේ ෂාරුක් ඛාන්ගේ ෆැන්ටසි වස්තුවක් (ලස්සන කෙල්ල – අවුරුදු කුමාරි – සිරස කුමරිය – පබා – නදීෂා හේමමාලි) ලෙසිනි. ‛සමාජ ක්‍රමයක්’ ලෙස ධනවාදය ලෙනින් කීවාට වඩා තරමක් වෙනස්ව ගෝලීයකරණය තුළදී, අධිරාජ්‍යවාදී යුගයට වෙනස්ව තමන්ගේම වූ පසුජාතික සංස්කෘතියක් නිපදවයි. නගරය තුළදී විවිධ විපර්යාස දකින ගැමි තරුණයා හෝ තරුණිය රූපවාහිනියෙන් නරඹන්නේ කොත්තු සංස්කෘතියකි. (TLC චැනලය) ‛ශ්‍රමය’ ජාතික සීමාවේම රැඳී පවතින අතර (කොළඹ, ඩැකා) විඥානයට හමු වන්නේ ජාතික සීමා ඉක්මවූ ආයතන පද්ධතියකි. (Nak, ඔක්ස්ෆෑම්, Penney’s) මෙවැනි පසු ජාතික අත්දැකීමක් විඳින සූරාකන්නන්ව (සමාජයේ සුන්බුන්) ජාතිකව සංවිධානය කරන්නේ කෙසේද?

Deepthi Kumara gunarathne

2013

 

ඔබේ අදහස කියන්න...