විශේෂ ප්රාතිහාර්යයක් සිදු නොවුණහොත් ඉදිරි වසර දහය එළඹෙත්ම දේශීය සිංහල සිනමාව අවසන් ගමන් යනු ඇත. 83 ජූලි කෝලාහලවල සිට රට පුරා පැතිර ගිය සිවිල් යුද්ධය දක්වා වූ හේතු සාධක දේශීය සිනමාවේ අවසානයට මඟ පෙන්වීය.
ජාතික අනන්‍යතාවක චිරස්ථිතිය සඳහා විවිධ කලාංග රැකගත යුතු වුවත් පසුගිය දශක තුන තුළ සිදු වූයේ නාට්‍යය, නවකතාව, කෙටි කතාව, කවිය, සිනමාව ආදී කලාංග පොදු මහජන අවකාශයෙන් වියැකී යාමයි. බොහෝ දෙනා සිතීමට හුරුපුරුදු වී සිටින්නේ මෙම ප්‍රවණතාව විවෘත ආර්ථිකයේ ඵලයක් බවයි. දීර්ඝ කාලයක් ඔස්සේ දිග හැරී ගිය කි‍්‍රයාවලියක් ගැන දාර්ශනිකව සිතීමට කිසිවකු තවමත් පෙලඹී නැත.
සිනමාවට පමණක් අදාළ කරගෙන මහජනයා ඉන් ඉවත් වූයේ මන්ද යන කාරණය සලකා බලමු. ඕනෑම සංස්කෘතියකට යටි බඩක් ඇත. අශ්ලීල රහසිගත පැත්තකින් තොරව සංස්කෘතියකට ජීවමාන පැවැත්මක් නැත. එක් එක් සංස්කෘතිය එකිනෙකින් වෙනස් වන්නේ ඒ ඒ සංස්කෘතිය අශ්ලීලත්වය රස විඳින ආකෘති වෙනස් නිසාය. උදාහරණයක් ලෙස ගතහොත් සිංහල සංස්කෘතිය යනු එක මානයකින් ගත් විට අඳුරේ රමණය කිරීමෙන් අශ්ලීල රසයක් විඳින ජාතියකි. එය උසස් හෝ පහත් දෙයක් නොවේ. එය අපගේ සාමූහික අනන්‍යතාව නිපදවන දෛනික හුරු පුරුද්දකි. විමලසුරේන්ද්‍ර නම් විදුලි ඉංජිනේරුවරයා විදුලිය ජාතික වශයෙන් බෙදා හැරීමත් සමඟ රටටම ආලෝකය පැතිර ගියේය. නමුත් තවමත් අප ජාතියක් ලෙස විනෝද වන්නේ අඳුරේ ලිංගික කටයුතු කිරීමෙන්ය. සංස්කෘතියේ අවිච්ඡින්න භාවය රඳා පවතින්නේ අර්ථ ශූන්‍ය මෙවැනි දෛනික වත්පිළිවෙත් තුළ මිස අප සිතන බාහිර ශිෂ්ටාචාරය මත නොවේ. දේශීය සිනමාව යනු ජාතියක් ලෙස රිදී තිරය මත අශ්ලීල විනෝදය සංවිධානය කරන ආකාරයයි.
ආර්. පල්ලේවල නම් හිටපු වාරණ මණ්ඩල සභාපතිවරයා වරක් ස්වීඩන් ජාතික සිනමාකරුවකු වූ බර්ග්මාන්ගේ ‘ෆැනී සහ ඇලෙක්සැන්ඩර්’ නම් සිනමා කෘතියේ එක්තරා ලිංගික ජවනිකාවක් වාරණය කළේය. මතක තරමින් එම දර්ශනය මඟින් ප්‍රකට වූයේ කතා නායකයා යතුරු හිලකින් බලා සිටින විට තම පියා නිවසේ ගෘහ සේවිකාවක සමඟ වෘෂභ ලීලාවෙන් රමණයේ යෙදීමයි. පල්ලේවල මහතා මෙම දර්ශනය කපා දමමින් කීවේ ‘ඒ කොටස හිතින් හිතා ගන්න’ කියාය. මිනිස් ආත්මයේ හැටි පල්ලේවල මහතා නිර්වචනය කළේ එසේය. පසුව එය පේ‍්‍රමදාසගේ අවරසිකත්වය සමඟ තිස්ස අබේසේකර මනාවට ගැළපුවේය.
නමුත් මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ නවකතාව සහ ඒ මත පදනම් වූ චිත්‍රපටය අතර ප්‍රධාන වෙනසක් ඇත. නවකතාවේ ප්‍රධාන අශ්ලීල රසය ගොඩනගන්නේ අරවින්ද සහ බතී අතරය. නවකතාව සිය ආඛ්‍යානය මඟින් ඔවුන් අතර ගොඩනගන්නේ අලිංගික සම්බන්ධයකි. නමුත් කියවන අප හිස්තැන් පුරවා ඔවුන් අතර අශ්ලීල රහස් ලිංගික සම්බන්ධයක් ෆැන්ටාස්මැතිකව ගොඩනඟයි. නමුත් නවකතාව කියවීමෙන් පසු අප සහභාගී වන ‘විරාගය’ පිළිබඳ සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී පොදු සංකේත නීතිය ඉදිරිපිට (එනම් සාහිත්‍යය නම් දෙවියා ඉදිරිපිට දී) අප කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරෙන්නෙමු. එය කුහකකමක් නොවේ. එය අපගේ ජාතිය (?) ලිංගික සතුට විඳින අශ්ලීල ආකෘතියයි. නමුත් අවාසනාවකට තිස්සගේ ‘විරාගය’ චිත්‍රපටය මඟින් ප්‍රකට වූයේ අරවින්දගේ අපිස් දර්ශනයයි. ‘සිනමාව’ යනු අශ්ලීලව ආශා කරන්නට උගන්වන ස්ථානයක් මිස සිත පිරිසිදු කරන භාවනා මධ්‍යස්ථානයක් නොවේ. නමුත් පසුගිය දශක තුන තුළ සිදු වූයේ සිනමාවට පමණක් සුවිශේෂී මෙම අශ්ලීල අඩංගුව සෝමා එදිරිසිංහගේ පවුල් සිනමා නියමය නිසා කඩා වැටීමයි. සෝමාට අවශ්‍ය වූයේ සිනමාව තුළ පැවති ඓතිහාසික අශ්ලීල අඩංගුව ඉවත් කර පවුලේ කාටත් රසවිඳිය හැකි චිත්‍රපට නිෂ්පාදනය කිරීමයි. එක ටිකට් එකක් විකුණනවාට වඩා පවුලකට ටිකට් විකිණීමට ඇය උත්සාහ කළාය. මින් අදහස් වූයේ ඇගේ ජීවිතයට අඳුරු පැත්තක් නැති වීම නොව සිනමාවේ අඳුරු පැත්ත නැති කර ලාභ ඉපදවීමයි. මෙමඟින් සිදු වූයේ කුඩා ළමයින්ටත් වැඩිහිටියන්ටත් යන කොට්ඨාස දෙකටම නැරඹිය නොහැකි විකාරසහගත ජාතික සිනමාවක් බිහි වීමයි.
අනෙක් අතට චිත්‍රපට නිළියන් යනු අපගේ අශ්ලීල ෆැන්ටසිවල උත්කර්ෂවත් වස්තු මිස පරිහාසාත්මක මාධ්‍ය වැඩසටහන් නොවේ. රුක්මණී දේවී, ෆරීනා ලායි, ශ්‍රියාණි අමරසේන, ගීතා කුමාරසිංහ, මාලනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවාරච්චි යනු පිරිමින්ගේ තෙත සිහින මිස සදාචාරාත්මක පණිවුඩකරුවන් නොවේ. ‘සිංහල සිනමාව’ අඳුරු චිත්‍රපට ශාලාවලින් පලවා හරිනු ලැබුවේ අශ්ලීල මදය ඉවත් කළ ජාතික සංස්කෘතියක් නිපදවීමට තැටමීම නිසාය. චිත්‍රපට නරඹන්නට අප යන්නේ සෝමා එදිරිසිංහගේ සිනමා ශාලාවල පෙපර්මින්ට් හපන්නට නොවේ. ඒ වෙනුවට අපට අවශ්‍ය කරන්නේ අපගේ අවිඥානික ආශාවන් රිදී තිරයේ රඟන නළු නිළියන්ට ප්රක්ෂේපණය කරන්නටය. ඔවුන් ලවා අපගේ උපත, විපත සනිටුහන් කරන අශ්ලීල රහස් ෆැන්ටසි කි‍්‍රයාකාරී කරවන්නටය. ඒ ගැන අපි සුනිල් ටීගෙන් ඇසුවාට ඵලක් නැත. ඉදිරියේ දී සිංහල සිනමාව මිය යනු ඇත.