උදය ආර්.තෙන්නකෝන් සහ ටෙරල් අබේසිංහ යන සහෝදරවරුන් විසින් රචිත පහත ලිපියට අලුතින් ආතතියක්  එකතු කිරීමට අවශ්‍ය බව අපගේ හැඟීමයි. ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වූවාට පසුව පවතින-ක්‍රමයට-system- එරෙහිව වසර 35ක පමණ උද්ඝෝෂණවාදී විරෝධය පෑමේ ආකෘතිය අවසන් වී ඇත. 70 දශකය අගසිට පටන්ගත් විවෘත ආර්ථික මොඩලයට එරෙහිව යොදාගත් සිවිල් උද්ඝෝෂණ ආකෘතිය මින් ඉදිරියට යල්පැන යනු ඇත. එය ‘යුක්තිය’, ‘රාවය’ හරහා පටන්ගෙන චන්ද්‍රිකා බලයට ගෙන ඒමෙන් අවසන් විය. මෙම  උද්ඝෝෂණ දේශපාලනයට, ආණ්ඩු බලය වෙනස් කිරීමට හැකි වුවත් එයට ලංකාවේ සැබෑ දේශපාලනය වෙනස් කිරීමට නොහැකි විය.[94/2015] අනෙක් අතට, ලංකාවේ පවතින පරායත්ත ආර්ථික ක්‍රමයට දේශීය වශයෙන් අර්බුදය-Economic Crisis; ඩොලර් බිලියන 92 ක පමණ කුඩා ආර්ඵිකයක්– යනුවෙන් අභියෝගයක් හමුවීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය. එබැවින්, ලංකාවේ දේශපාලන අනාගතය ඛණ්ඩනය කරනු ඇත්තේ බාහිර බලවේග මඟිනි. උදාහරණයක් ලෙස, ලබන වසරේ පවත්වන ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කළහොත් එය රාජපක්ෂවාදයට තීරණාත්මක ලෙස බලපානු ඇත. 

                                 ගෝලීය වශයෙන් සංවිධානය වන වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට අප උත්සාහ කරන්නේ නම්, ධනවාදය තුළම සිදුවී ඇති සුසමාදර්ශී ඛණ්ඩනයක්-Paradigm Shift– ගැන නාභිගත විය යුතුය. ගෙවී ගිය ඓතිහාසික පර්යාවලෝකනය තුළ බහුතර ක්‍රම විරෝධීන් සමපේක්ෂණය කරන ලද්දේ, ‘ධනවාදය’ ඇත්තේ අපේ මනසට පිටතින්-Capitalist Realism– බවයි. මෙය දැන් මිත්‍යාදෘෂ්ටික අදහසක් වී ඇත. 19 වන සියවසේ හටගත් නිෂ්පාදනය ඉලක්ක කරගත් ධනවාදයට අවශ්‍ය වූයේ, විධිමත් ශ්‍රමිකයන් සහ සිහිය ඇති මිනිසුන් නම්, තත්ත්වය දැන් සහමුලින්ම කණපිට හැරී ඇත. ‘මිචෙල් ෆූකෝ’ විසින් ගොඩනඟන ලද නව ඉතිහාසයට අනුව ධනවාදය උමතු වූවන්, අලසයන්,අපරාධකාරයන්, ළමයින්, ස්ත්‍රීන්, යටත්විජිත වැසියන්, සමලිංගිකයන් පවතින බල රටාවෙන් පිටමන් කරයි. නමුත් නූතන ධනවාදය විසින් ඉහත සියලු දෙනාවම ක්‍රමයේ උන්නතිය සඳහා සහභාගී කරගනියි. ඉතිහාසයේ මේ නිමේෂයේ මිචෙල් ෆූකෝ විඥානවාදියෙක් වී ඇත. ‘Google Lense’ මෘදුකාංගය නිසා ලෝකයම අන්තර් වියමනක් (Intertexual) වී ඇත. ‘Facebook’ මෘදුකාංගය උන්මන්තකයන්ගේ සිට අපරාධකරුවන් දක්වා යන සියලු දෙනාවම  ක්‍රමයට සහභාගි-participate- කරවයි. නලින් ද සිල්වාට උපන්දින සුභපැතුම් පවා යවන උන්මන්තකයන් වම්මුන් වී ඇත. දැන් ධනවාදය අපට පිටින් ඇති දෙයක් නොව අපගේම අවිඥානය බාහිරට දිගු වීමක් නිසා, ”ධනවාදය” අභ්‍යන්තරික ප්‍රපංචයකි. සැබෑ ජීවිතයේ නිෂ්ක්‍රිය පුද්ගලයන් තමන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ට බාහිරින් පවතින ආයතන සහ පුද්ගලයන් වෙතට විසන්ධි කොට ඇත.

[[[[]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]][[[]]]]]]]]]]]]]]]]]]]]]]]]][[]]]]]]]]]]]]]]]]]

ගෝඨාභයානු රාජ්‍ය උතෝපියාව පිළිබඳ ඥාණ විභාගයක්

පශ්චාත් යටත් විජිත දේශපාලනය හා රාජ්‍ය ගොඩ නැගීම යන කාරණය යටත් විජිත රාජ්‍යයක්ව පැවැති ලංකාව නිදහස ලබා ගැනීමෙන් අනතුරුව වරින් වර බලයට පත් වූ ආණ්ඩුවලින් වර නැඟුනු කාරණයක් වූ අතර එයට ඇති නො හැකියාව විවිධ මානයන්ගෙන් පෙන්නුම් කරන්නට විය. මෙම බහුවිධතාවන් සමස්ථයක් ලෙස ගැනීමේ දී පෙන්විය හැකි ගැටලුව ලෙස ගත හැකි වන්නේ දැනුම පිළිබඳ ඇති දේශපාලන සමාජ ආගමික හා දාර්ශිනික ප්‍රශ්නයන් ය. මෙම රාජ්‍ය ගොඩ නැගීම යන කාරණය නව වටයකින්  පෙර නොවූ විරූ ලෙස යළි පැමිණ ඇත. නමුත් දැනුම පිළිබඳ න්‍යාය එනම් ඥාණවිභාගය (Epistemology) පිළිබඳ අවබෝධය හා රාජ්‍ය ගොඩ නැගීම අතර ඇති පරස්පරතාවන් නැවත විග්‍රහ කරගත යුතු වන්නේ ඥාන විභාගයන්ගෙන්ම පමණි. මෙම ලිපියෙන් පටන් ගෙන ඉදිරියට සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.


සංකීරණ ගැටලුව


ව්‍යවස්ථානුකූලව වසර පහින් පහට අප හමුවේ තබන දේශපාලනික උද්යෝගය යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විසින් රටක පාලනය සිදු කළ යුත්තේ කෙසේද යන්න ජනතාවට තීරණය කිරීමට දී ඇති න්‍යායික මෙවළමකි වූ අතාර්කික දැනුමකි. ඒ අනුව රටක් පාලනය කළ යුත්තේ කෙසේද යන කාරණාවට වඩා රටක් පාලනය කළ යුත්තේ කවුරු විසින් ද යන්න තීරණය කිරීම පශ්චාත් යටත් විජිත ආණ්ඩුකරණය තුල පෙන්නුම්කරන ලක්ෂණයක් වී ඇත. පාලනයකට අවශ්‍ය සාධනීය ප්‍රතිපත්ති වෙනුවට ඓතිහාසිකව පරිණාමය වෙමින් පවතින දේශපාලන පක්ෂවල නායකත්වය හා එහි දේශපාලන සංස්කෘතිය වෙත කෙරෙන අවධානය සෑම මැතිවරණයක දීම කැපී පෙනෙන්නට හේතු වී ඇත. එය විධායක ජනාධිපති ක්‍රමය මෙන්ම පාර්ලීමේන්තු නියෝජිත මහජන මන්ත්‍රීන් හා ඇමැති පදවි  විසින් තව තවත් ශක්තිමත් කර ඇත. මෙම සාධක දෙක තුල ප්‍රධාන වන ආණ්ඩුකරණය රටෙහි ජාතිය ගොඩ නැගීම හෝ රාජ්‍යය ගොඩ නැගීම යන සාධානීය ඉලක්කය සෑම විටම පැහැර හැරී ඇත.

රටක පවතින ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීම යන්න කුමන රාජ්‍යයක්  විසින් වුව ද ඇති කර ඇති සම්මුතියක් වේ.  එම සම්මුතිය ව්‍යවස්ථාව හා රාජ්‍යය සතු නීතිය මගින් පාලනය කිරීම කරනු ලබන්නේ ව්‍යවස්ථාව උල්ළංඝණය කිරීමෙන් වළක්වා ලීමට ය. එය පොදු සම්ප්‍රධාය වුවත්, ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාවේ ජීව ගුණය කඩ කරමින් පැහැර හැරීමක් සිදු වීමේ දී, එහි නෛතිකභාවය වෙනස් වීම කෙරෙහි ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නාට පවා පෙනී සිටීමට අවකාශයක් ඇත. නමුත් එය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රීය දැයි යන ගැටලුව පවතින්නේ ජනතාව සංවිධානය වී ඊට එරෙහි වීමට යාමේ දී, රාජ්‍ය මර්ධනයට මුහුණ දීමට සිදු වීමෙන් ය. දෙන ලද සම්ප්‍රධාය අනුව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුලින් විධායකය අධිකරණය හා ව්‍යවස්ථාදායකය යන ආයතන තුන සාධනීය දිශාවකට වෙනස් කර ගැනීමේ අවස්ථාවන්වලදී, ප්‍රතිපත්තිමය සුභවාදයක් වෙතට ඇති වන සම්මුතිය රටේ දේශපාලන සංස්කෘතියට හුරු පුරුදු දෙයක් වී නැත. එය නිතරම අභියෝගයට ලක්කරනු ලබන්නේ දේශපාලන සංස්කෘතියේ බල සාධකය පදනම් වීමෙනි. එවැනි අවස්ථාවන් සඳහා කුමන යෝජනාවන් පැමිණිය ද රටේ අභිවෘද්ධිය හෝ ජනතාවගේ යහපත යන්න නිර්චනය කර ගනු ලබන්නේ දේශපාලන බලය යන සාධකය පදනම් කර ගැනීම නිසා නිතරම රටක හා ජනතාවගේ අභිලාෂයන් නියෝජනය කිරීමට ඇති හැකියාව ඇත්තේ අවම වශයෙනි. මේ නිසා ලංකාව රාජ්‍යයක් ලෙස ඊට අදාල මෙවළම් විසින් සැකසී ඇතැත් මෙම මෙවලම් නිර්මාණය වීම හා ඒවායේ භාවිතාව පිළිබඳ දැනුම, නියම දැනුමක් වීමට අදාල කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත්වීම පශ්චාත් යටත් විජිත රාජ්‍යය ගොඩ නැගීමේ ප්‍රධාන ගැටලුව වී ඇත. මෙතෙක් පවතින හා පැවැති රාජ්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස ව්‍යවස්ථාව නම් කිරීමට සිදු වන්නේ, රටක සමාජයක පුරවැසියාගේ සංස්කෘතිය හා ජාතිය පිළිබඳ මෙන්ම පුද්ගලයාගේ හා රට අතර ඇති බැඳීම හා අනන්‍යතාවට නෛතිකබව ලබා දෙනු ලබන්නේ ව්‍යවස්ථාව විසින් වීම ය. මෙය මෙකෙත් බිහි නො වූ උතෝපියානු රාජ්‍ය මොඩලයකට පවා අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.


ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හා නව රාජ්‍ය පිළිබඳ දැනුම


ගෝඨාභය රාජපක්ෂ බහුතර ඡන්දයෙන් බලයට පත් වීමෙන් පසු ගෙවී යන කෙටි කාලය තුල ඇති වී ඇති හා ඇති කර ඇති භාවිතාව හා දෘෂ්ටිවාදී ප්‍රකාශනය වන්නේ පෙර සඳහන් කළ කාරණය උඩුයටිකුරු කරමින් අතීත ජනතා අභිලාෂයන් වර්තමාන ජනතා අභාලාෂයට සමපාත කිරීම ය. ව්‍යවස්ථාව උල්ලංඝනය යන කාරණයට ඔහු සෘජුව බැස ඇත්තේ ජනතා පොරොන්දුවක් ලෙසත් සිය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ය. නිදසුනකට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් ඔහුට හා ඔහුගේ පැරණි ක්‍රියාකාරකම්වලට අදාල නීතිමය තීන්දු තීරණ ඔහුට අනුව සිදුවීම ය. පැවැති ආණ්ඩුව විසින් දඬුවමකට යටත් කළ හමුදා නිලධාරියෙක් හැකි ඉක්මනට නිදහස් කිරීමට තරම් අධිකරණ බලය ඔහුට ලැබෙන්නේ ව්‍යවස්ථාවට හා රාජ්‍ය ව්‍යුහයේ පැවැතිය යුතු ආකාරයට ද යන්න අභියෝගයක් වන්නේ විධායක බලය තුල ඇති අද්විතීය බව පමණක් නොව, ස්වාධීන යැයි පවතින නීතියේ ඇති චංචල බව ද ප්‍රකට කිරීමෙනි. නමුත් එයට බහුතර ජනතා අනුමැතිය ඇත. ඒ ගෝඨාභයගෙන් බහුතර රටවැසියා බලාපොරොත්තු වූවක් නම්, ව්‍යවස්ථාවට ගරු කිරීම හෝ කඩ කිරීම පිළිබඳ රට වැසියා තුල ඇති දැනුම හා රාජ්‍ය සතු දැනුම අසමාන වුවත් සමානබවක් ඇති කිරීමක් ලෙස හඳුනා ගත හැකි ය.

මේ නිසා පුද්ගලයෙකු හා රටේ නායකයා ලෙස ජනතාවට දුන් පොරොන්දු අනුව ඔහුගේ ප්‍රතිපත්ති  සම්බන්ධ සාධනීය බලාපොරොත්තුවක් ඇති බව ද පෙන්වන්නකි.  ඔහුගේ ප්‍රතිපත්තිය භාවිතයට නැගීමේ දී, පෙන්නුම් කරන ඇඟවුම් තුල මීට පෙර පැවැති මාදිලියට වඩා වෙනස් මාර්ගයක ගමන් කරන ඉඟි පෙන්නුම් කරයි. ඇතැම් ඒවාට ගෝඨා විරුද්ධවාදීන්ට පවා විරුද්ධ විය නො හැකි සාධනීය ලක්ෂණ පෙන්නුම් කරන්නේ, ලාංකීය දේශපාලන සංස්කෘතියේ මෙතෙක් පැවැති භාවිතාවන්ට වඩා වෙනස් ස්වභාවයක් පෙන්නුම් කරන බැවිනි. සාමන්‍ය පොදු ව්‍යවහාරයට අනුව ” අලුත්පිට කවුරුත් ඔහොම තමයි” යන්නට වඩා ගෝඨාභයාගමනය විසින් පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමට ආ එකම හා සුදුසුම පුද්ගලයා ලෙසිනි. නමුත් රාජ්‍යයක් ලෙසත්, ලංකාවක් ලෙසත් මෙතෙක් අපොහොසත් වූ රාජ්‍යය හෝ ජාතිය ගොඩ නැගීම ඔුහු පෙන්නුම් කරන දර්ශනය හා භාවිතාව තුලින් ඉටුවේ ද නැතිනම් කුමක් සිදු වේද යන්න නො දැනුමේ ඥාණවිභාගයට අයත් වන්නකි.


ගෝඨාභයට ජාතිය ගොඩ නැගීමේ හැකියාව


ජනාධිපතිවරණ ඡන්ද සිතියම අනුව වාරගික ධ්‍රැවියකරණයක් දක්නට ඇත. සිංහල බහුතර ප්‍රජාවගේ කැමැත්ත හා අනුමැතිය ඔහුට ලැබෙන විට දෙමළ හා මුසුලිම් අනුමැතිය ලැබෙන්නේ නැත. මේ තුලින් කෙරෙන ඇඟවුම වන්නේ  වාර්ගික ගැටලුව හා එම ජනයාගේ අභිලාෂයන් ය. ඒ තුල ආරක්ෂාව, නිදහස හා භීතය යන කාරණා මත දෙමළ මුස්ලිම් ප්‍රජාව තුල ඇති අවිශ්වාසයන් ය. මේ සියලු කාරණා ඕපපාතිකව ඇති වූවක් නොවේ. දීර්ඝ කාලීන ගැටුම් ද අවසන් යුද්ධය ද, යුද්ධයෙන් පසු එම ප්‍රජාවන් මුහුණ දී ඇති හා මුහුණ දෙමින් තිබෙන යථාර්ථයන් ය. මුස්ලිම් ප්‍රජාවගේ පැත්තෙන් මෑත කාලයේ සිදු වූ සිදුවීම් විසින්, එම ජනයා ආන්තික තත්ත්වයකට පත් කරමින් ඇති කළ අවිනිශ්චිතතාව හා පාස්තු ප්‍රහාරයෙන් පසුව ඇති වූ ආතිතිය විසින් ගෙන දී ඇති භීතිය පිළිබඳ කාරණාවන් ප්‍රමුඛ වී ඇත.

මෙම ධ්‍රවීය වීම ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව තුනටම ඔවුන්ගේ අභිලාෂයන් හා යථාර්ථයන් අනුව සාධාරණීය වේ. එවිට මතු වන ගැටලුව වන්නේ රටක් වශයෙන් දැනුම යන්න අංගයට නිසි ඥාණවිභාගත්මක පදනම්ක් නැති වීමකි. ඒ වෙනුව ඇත්තේ ලංකාව නැමැති ජාතික රාජ්‍ය තුල දැනුම පිළිබඳ ඥාණ විභාගයන් තුනක් පැවැතීම ය. එය තම තම ප්‍රජාවන්ගේ පරිමානය අනුව ප්‍රකාශ වීමක් සිදු වී ඇති අතර තර්කයක් ලෙස මීට විරුද්ධව ද පෙන්වා දෙන අදහසක් වන්නේ දෙමළ ජනයා ජාතිවාදී නම් ඇයි දෙමළ නායකයෙකු වූ සිවාජිලිංගම්ට නො දී, සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්නේ යන්න ය, එසේම ඉස්බුල්ලාට ඡන්දය නුදුන්නේ යන තර්කය ය. මෙම තර්කයට පිළිතුරු සොයා ගැනීමට නැවත අපට යොමු වීමට සිදු වන්නේ දැනුම පිළිබඳ න්‍යායික ක්‍රමවේදයටය. එනම්, ආරක්ෂාව හා නිදහස යන කරුණු දෙක වැදගත් ප්‍රපංචයන් ලෙස ගතහොත්, දෙමළ හා මුස්ලිම් ජනයාගේ දැනුමට පදනම් වන සත්‍ය, විශ්වාසය හා සාධාරණීයකරණය යන මූලිකාංග තුන විසින් ඇති කරන දැනුම හා එය තුල ගොඩ නැගෙන දෘෂ්ටිවාදයන් තුල මෙකී අංග ගෝඨාභය කෙරෙහි සමපාත වන්නේ නැත. එහෙත් එක් එක් අංගයන් තුල අඩු වැඩිකම් පැවැතියත් සජිත් ප්‍රේමදාස තෝරා ගනු ලබන්නේ, ගෝඨාභයට වඩා ඇති කරන විශ්වාසය සාධාරණීයකරණ කිරීමට තම දේශපාන නියෝජන දෘෂ්ටිවාදයන්ගේ ඇති බලපෑම හේතුවෙනි. යම් කිසි හේතුවක් නිසා දෙමළ හා මුස්ලිම් බහුතර දේශපාලන නියෝජිතයන් මැතිවරණයේ දී ගෝඨාභය පාර්ශවයට සහාය දැක්වූයේ නම්, ඔහු සම්බන්ධ දැනුමේ අංග සාධාරණීයකරණය කරන්නා වූ දෘෂ්ටිවාදයන් ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය.

ඒ අනුව සුළු ජාතීන්ගේ තීරණය දැනුමක් ලෙස තේරුම් ගැනීමේ දී, එය සිංහල බහුතර ප්‍රජාවගේ දැනුමෙන් වෙනස් වන බව තේරුම් ගත යුතු ය. දෙමළ වෙනම ජන වර්ගයක් වීම නිසා සුවිශේෂී ප්‍රශ්න ඇතැත්, ඔවුන් වර්ගවාදී යැයි කීම හා  මුස්ලිම් ජනයා ද වර්ගවාදී යැයි කීම කොතරම් දුරට සාධාරණ ද යන කාරණය ගැන සිංහල බහුතර දෘෂ්ටිවාදී දැනුම තුල විනිශ්චය වන්නේ කෙසේ ද.  මෙම ජනවර්ග දෙකටම ලංකාව තුල වෙන් වී සිටීමේ අභිලාෂයන් ‍මෙම මැතිවරණය තුලින් පෙන්නුම් නො කළ ද එම වෙන් කිරීම කරනු ලබන්නේ සිංහල වර්ගවාදී දෘෂ්ටිවාදය විසිනි.

මේ නිසා වාර්ගික අනන්‍යතාව මත දැනුම් ප්‍රභේද තුනක් ප්‍රධාන වශයෙන් රට තුල තිබෙන්නේ නම්, හා ඒ අතරින්න් ජාතිය ගොඩ නැගීම සඳහා වන සහාය සුළුජාතීන් විසින් තවමත් ප්‍රකට කරන්නේ ය. එය තාර්කිකව බලය නැති කම යන සාධකය අභිමුඛ කර ගත හැකි වුවත්, සංස්කෘතික හා ජීවන රටාවන්ට අනුව, ඓතිහාසික හේතූන්ට අනුව ඔවුන්ට එක රටක් තුල සිය අනන්‍යතාව යුතුව ජීවත් වීමේ අවශ්‍යතාව ප්‍රත්‍යක්ෂයෙන් දැනෙන අත්දැකීම් ඔවුන්ටම සපයා ඇත. ඊට බාධකය වී ඇත්තේ සිංහල වර්ගවාදය විසින් ඇති කර ඇති විවිධත්වය හා අනෙකාගේ අනන්‍යතාව පිළි නො ගැනීම හා එහි ගුණාත්මක විපරිවර්තනයන් සඳහා ගමන් කිරීමට දර්ශනයක් නැති කම ය.

දැන් ගෝඨාභයට රැඩිකල් ප්‍රතිසංස්කරණයන් කිරීමට උවමනාවක් හා කැපකිරීමක් පැවැතිය ද සිංහල බෞද්ධ වර්ගවාදය විසින් දී ඇති දර්ශනයට කිසිවිටක ජාතිය ගොඩ නැගිය හැකි වන්නේ නැත. අවම වශයෙන් යහපත් ආණ්ඩුකරණයක් පවා සිදු කිරීමට මෙම දර්ශනය සමත්වන්නේ යැයි සිතිය නො හැකි ය.


උදය ආර්. තෙන්නකෝන්/ ටෙරල් අබේසිංහ

ඔබේ අදහස කියන්න...