එක් තැනක බුදු දහම විසින් කර්මය යන්න යම් අයෙක් විසින් වැපුරූ දෙයහි අස්වැන්නට සමාන කරන විට තවත් තැනක කර්මය යන්න මිනිසා පසුපස එන සෙවනැල්ලට සමාන කරයි. අංගුත්තර නිකායේ සඳහන් ආකාරයට චේතනාව විසින් මෙහෙයවනු ලැබ සිත, කය, වචනය ඔස්සේ සිදු කරන ක්‍රියාව කර්මය ලෙස ගැනේ (willed act). බුද්ධ හෝ අරහත් තත්වයට පත් වූ අයෙක් පමණක් ඉහත චේතාන්විත කර්ම ක්‍රියා නිර්මාණය කරන්නේ නැත (creative acts). මන්ද යටපත් කළ ආශාව පදනම් කරගත් අවිඥාණික අන්තර්ගතය එවැන්නෙකු ට භාවනාව ඔස්සේ විසංයෝජනය කල හැකි බැවිණි. උසස් අභිඥා තත්වය ලද එවැන්නෙකු ට මවගේ මතකය (unconscious memory) මෙන් ම මවගේ පාර්ශවිය වස්තු රැගත් ෆැන්ටසි ස්ත්‍රිය (fantasy = object a) යන දෙකෙන් ම සවිඥාණිකව ඉවත් විය හැකි නිසා ය (මේ පිලිබඳ දළ විස්තරයක් ‘මගේ ලෝකයෙන් පසු ලෝකය’ කෘතිය තුළ ඇතුළත් කර ඇත). පෙරදිග ආගම් ඔස්සේ විමසා බැලුව හොත් අහම (මමංකාරය) විසින් කරනු ලබන චේතනා නිෂ්පාදනය කිරීම (නොහොත් කර්ම ක්‍රියා නිෂ්පාදනය) විශ්වීය (cosmic) ලෙස චේදනය කර දැමීම ඉහල මානසික අවධියක ට ළඟාවූ කෙනෙකුට කල හැකිය. එයට එක ම මඟ සිත දියුණු කිරීමයි. පුද්ගල සතුට මෙන්ම දුක ද තීරණය කරන්නේ ඉහත කර්ම විපාකයන් විසින් ය යන්න පෙරදිග ඉගැන්වීම යි. අප දේශපාලනය කරන්නේ අනුන්ගේ සතුට මෙන් ම අපගේ ද සතුට වෙනුවෙන් නම් එහිදී අපගේ ක්‍රියා සදාචාර විනිශ්චන්ට යටත්ව කල යුතු වන්නේ එම ක්‍රියාවන්හි ප්‍රථිපල (කර්ම) ගැන සවිඥානික බවකින් යුක්තවය. එනයින් සදාචාරය යනු හුදු පංති සවිඥානික බවකට හෝ අධිපති පංතියේ සදාචාර උවමනා වන්ට පමණක් ඌනනය කිරීම සමස්ත අර්ථයෙන් නුවණට හුරු නොවේ. මන්ද මිනිසාට භෞතික ලෝකය ඉක්මවා ගිය පරමාර්ථ සහ පැවැත්මක් ගැන හැඟීමක් පුර්ව ඓතිහාසික අවධියේ සිට පැවති හෙයිනි. එස්. රාධාක්‍රිෂ්ණන් ට අනුව කර්ම යන සංකල්පය ව්‍යුත්පන්න වන්නේ මොහෙන්දජාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරයේ සිට වන අතර එතැන් පටන් එයට බොහෝ විට තිබුණේ දයලෙක්තික පැවැත්මක් නොව පරම පැවැත්මකි (අවසන් හැඟවුමකි). පෙරදිග ශිෂ්ටාචාර තුල දයලෙක්තික චින්තනය අධිනිශ්චය නොවුනේ පෙරදිග ලෝකයේ තිබු මෙම පරම සහ පාර-අනුභූතික පැවැත්මේ ස්වභාවය නිසාය. එය බටහිරින් තීරණාත්මක ලෙස පෙරදිග වෙනස් වන සාංදෘෂ්ටික තත්වයකි (රාධාක්‍රිෂ්ණන්. ඉන්දීය දර්ශනය 1923). බාහිර ලෝකය පිළිවෙල කිරීම වෙනුවට භෞතික ලෝකයෙන් මෑත් වීම මුලික කොට ගත්  ආගමික ස්වරුපයක් සමස්ත පෙරදිග පුරාම දක්නට හැකිවිය. ඇරිස්ටෝටලියානු ‘ඥානය’ වෙනුවට පෙරදිග සොයා ගියේ අභිඥා තත්වයකි. ‘දැනුම’ යන්න භෞතික මිනිස් පැවැත්ම සඳහා අවශ්‍ය වුවත් පාර ලෞකික ලෝකයක දී මිනිසා දැනුම ඉක්මවා යා යුතු බව පෙරදිග දී උගන්වයි. 

ඉදින් පෙරදිග ලෝකය තුල දයලෙක්තික භෞතිකවාදය ඔස්සේ යමෙක් දේශපාලනය කරන්නේ නම් ඔහු හෝ ඇය විසින් මෙම ලෝකයේ පවතින මිනිස් චින්තනය මෙහෙයවන බරපතල සද්භාවී බෙදුම් කඩනයක් මුණ ගැසීමට සුදානම් විය යුතුය. නැත්නම් සිදු වන්නේ මාවෝ ගිය පාරේ ගොස් මහත් විනාශයක් අත්කර ගනිමින් අවසානයේ බටහිර ධනවාදය ඉදිරියේ දණ නැමීමට ය. පෙරදිග ලෝකය සහ එහි සද්භාවය සහ බටහිර ට පරස්පරව පෙරදිග චින්තනයේ ඇති ප්‍රභලතාව හඳුනාගත් දේශපාලන චරිතයක් ලෙස ගාන්ධි ඉස්මතු වන්නේ මෙතැනදී බව මීට ඉහත අප යෝජනා කලේ මේ නිසාය. කෙසේ වුවද ඉහත පුර්විකාව ලිවුවේ යටපත් වූ දෙය වඩාත් ප්‍රභල ලෙස ඉස්මතු වූ (ෆ්‍රොයිඩ් කියන පරිදි) කර්ම අවස්ථාවක් වර නැගීම වෙනුවෙනි. මිය ගිය අයෙක් ජීවමාන අයෙකුට වඩා අවතාරම ය (spectral presence) ප්‍රභල තාවයක් අත්පත් කරගන්නේ ඉහත කර්මය නම් ධර්මතාවය ඉස්මතු කරමිනි. එම සිද්ධිය නම් මිට ටික කලකට පෙර නවක වධය නිසා මියගියා යැයි සැලකෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ අමාලි චතුරිකා දියණිය ගේ මරණය ආශ්‍රිත ව ඊයේ පෙරේදා ඉස්මතු වූ සිදුවීම් ජාලාවයි. එම අවතාරමය ‘දේශපාලනික’ ප්‍රාදුර්භුත වීම කොතරම් ප්‍රභල ද යත් උසස් අධ්‍යාපන ඇමති වරයා පමණක් නොව අතිගරු ජනාධිපති තුමා පවා විවෘත ව නවක වධය ට එරෙහිව අදහස් පළකරන මට්ටමට එය අද වනවිට සමස්ථ සමාජය ට ප්‍රක්ෂේපනය වී ඇත. භෞතිකවාදීන් ට ‘අවතාරය නැවත ප්‍රාදුර්භුත’ වීම වැනි විඥානවාදී යමක් තේරුම් ගැනීමට නොහැකි වුවද මෙය ආගමික අර්ථයෙන් ප්‍රගතිශීලි තත්වයකි. ජීවමාන පුද්ගලයින්ට සංකේත පිළිවෙල නැවත ගොඩ නැගීමට නොහැකි වන විට අවතාරය වලෙන් නැගිට අවුත් අපගේ විනෝදය සීමා කිරීම නම් තත්වය පුළුල් පශ්චාත් ලැකානියානු ඉගැන්වීමකි. එම අවතාරයේ ක්ෂිතිමය ප්‍රභලතාවය සඳහා උදාහරණය වන්නේ පසුගිය දිනක ලියා තිබු ‘දිවයින’ කතු වැකිය යි.             

ඉහත නවක වධය ආශ්‍රිතව මතු වී ඇති සිද්ධිය පාදක කර ගනිමින් ලියා ඇති ‘දිවයින’ පුවත්පතේ කතුවැකිය (කියවන්න දිවයින පුවත්පතේ කතුවැකිය) තරම් ආවේගශීලි කතුවැකියක් යම්කිසි අයෙක් මීට පෙර කියවා නැතැයි කියුව ද එය පුදුමයක් නොවිය හැකිය. අප ‘දිවයින’ මතවාදය සමඟ එකඟ නොවුන ද ලාංකික ජාතියේ අනාගතය වන දරුවන් ට වැදගත් වන යම් යම් උපනතීන් පිලිබදව කවුරුන් හෝ නිර්භීත ව අදහස් දැක්වීම සතුට ට කරුණකි. ඉහත සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද ව වැදගත් ගැටළු මතුවී තිබුන ද එම සිද්ධිය විසින් අධිනිශ්චය කර ඇති සමාජ ගැටළුවේ බරපතල කම අතිශයින් වැදගත් ය. අප දන්නා ආකාරයට ‘දිවයින’ යනු සාමාන්‍යයෙන් ජාතිවාදී පුවත්පතකි. දේශපාලනිකව මිනිසුන් සිටිය යුත්තේ විශ්වීය තැනක මිස ජාතිවාදී තැනක නොවේ (නවක වධය ට වඩා මිනිසුන් ජාතිවාදය විසින් මරා දමා ඇත). එය එසේ වුවත් ඉහත සිද්ධියෙන් ඉස්මතු වන නවක වධය නම් මිනිස් කමට නොගැලපෙන තිරස්චීන ක්‍රියාව (primordial act) සම්බන්ද ‘දිවයින’ ප්‍රතිචාරය තුලින් ගම්‍ය වන ‘වධ’ දීම යනුවෙන් හඳුන්වන පුද්ගල සුවිශේෂතාවයන් ලජ්ජාවට (humiliating the individual uniqueness) පත් කිරීමේ ක්‍රියාවලිය (විශ්ව විද්‍යාල තුල ‘සාමුහික බව’ ඇතිකිරීමේ ක්‍රියාව යනුවෙන් හඳුන්වන දෙය) සහ පුද්ගල සමාජ පසුබිම් හෙළා දැකීම නම් ක්‍රියාව තුල ඇති මානව විරෝධී ප්‍රවණතාව අප සැමගේ ම අවධානයට ලක්විය යුතුය (යම් යම් පන්ති හෙළාදැකීම ඔස්සේ සමානතාව ඇතිකළ නොහැක). ග්‍රාමීය දුෂ්කරතා තුළින් එන දරුවෙක් කළ යුත්තේ නගරයෙන් එන දරුවකුට වෛර කිරීම නොවේ. බස් වලින් කොළඹ අවුත් අනවරතව කුමක්දෝ නිදහසක් ඉල්ලීම නොවේ. පංති හීනමානයෙන් මිදී තම දක්ෂතාවය ඔස්සේ නගරය පවා ඉක්මවා ගමන් කිරීමයි. යටත් විජිත මානසිකත්වයෙන් මිදී ඉංග්‍රීසි වැනි විදෙස් භාෂා නිදහස්ව ඉගෙන ගැනීම යි.  

නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ට සිදුවන්නේ ස්පාටකස් කෙනෙක් බවට පත් වීමට ය. එතැනදී දෘෂ්ටිවාදය වන්නේ මාක්ස් වාදයයි. ඊට අමතරව රැවුල සහ කොණ්ඩය අමුතු ලෙස වැවිය යුතුය. චින්තනයෙන් නිදහස් දරුවෙක් වෙනුවට දම්වැල් අත් දෙකේ දරාගත් වහලෙක්ගේ රූපකය (පැරණි ‘සිත්තර’ පත්තර වල ඇති ටෝගා, ස්කාගස්, ස්පාටකස් වැනි ග්‍රීක රෝම වහල්-නිදහස පිළිබද ෆැන්ටසි වලින් මිදීමට නොහැකි වීම මෙහි ඓතිහාසික මනෝ විශ්ලේෂණය යි. ‘ස්පාටකස්’ වැනි ග්ලැඩියේටර් ලා කරනු ලැබුවේ තම ශරීර ශක්තිය සහ සටන් හැකියාව ඔස්සේ රෝම වංශවතුන් පිනවීම ය. අද පවා වන්නේ ඉහත ඉතිහාසය පුනරුක්ති වීම පමණි. මාධ්‍ය පැත්තෙන් ගත්තොත් මෙය දිනපතා විනෝදයකි. වෙළඳ පලකි) අධිනිශ්චය කර ඇති ‘රැඩිකල් කරණය’ කරන ලද නව ශිෂ්‍ය දේශපාලනයේ ඇති අවිඥානික බටහිර ගැති බව මනෝ විශ්ලේෂණ මානයක තේරුම් ගත යුතුය. විරු සිසු පිළිරූ බිහිවෙන්නේ පොතක් අතින් ගත් සිසුවෙකු සහිතව නොව දම්වැල් අතින් දරා ගත් රැඩිකල් මරණය වෙත යන සිසුවෙකු නිරූපණය කරමින්ය. ‘මාක්ස්වාදීන්’ යැයි ව්‍යාජ නමකින් පෙනී සිටින ලාංකික මාක්ස්වාදීන් ගේ බටහිර ට ඇති වහල් භාවය අප පැහැදිලිව තේරුම් ගත යුතුය. අපගේ ලෝකයේ කිසිදා වහලුන් සිටියේ නැත. පෙරදිග ලෝකයේ තිබුණේ සත්‍යය සොයායන්නන්ගේ (seekers) සංස්කෘතියකි. එම සොයා යාම කලේ තනි පුද්ගලයින් වශයෙනි. එය වඩාත් ගැඹුරු මානසික ක්‍රියාවක් විය. අපගේ ලෝකය තුල අති විශිෂ්ට පුද්ගලයින් බිහිවුවේ ඒ මානසික ක්‍රියාවේ ප්‍රථිපල හැටියට ය. ඒ වෙනුවට බටහිර ආගම් විසින් කළේ විශ්වාස කරන්නන් බිහි කිරීම ය (අවම වශයෙන් බටහිර ට සැක කරන්නට ඉගැන්වුවේ රේනේ ඩේකාට්ස් ය). විශ්වාස කරන්නන් හට තව පුද්ගලයින් දහස් ගණනක් තමන් විශ්වාස කරන දෙය ම විශ්වාස කිරීම අවශ්‍ය වේ (තමා විශ්වාස කරන දෙය විශ්වාස නොකරන්න වුන් මිළියන ගණනක් බටහිර විසින් මරා දමා ඇත. දැන් ඔවුන් අපට බහුත්වවාදයේ අගය කියාදීමට Multitude වැනි පොත් ලියයි. වැඩමුළු තියයි. ලෝක බැංකු ණය ලබාදෙයි). ඉතින් බටහිර ආගම් විසින් නිෂ්පාදනය කල විශ්වාස කරන්නවුන් (believers) විසින් තව ලක්ෂ ගණනක් තමා විශ්වාස කල දෙය ම විශ්වාස කරන්න වුන් බිහිකර ඇත. එසේ සාමුහික ව විශ්වාස නොකරන්නේ නම් ‘විශ්වාසය’ යන සංකල්පය අර්ථ විරහිත වන බව සද්ගුරු පවසයි (සවන් දෙන්න ඔහුගේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල දේශනය ට. මෙතනින් නරඹන්න). ඒ අර්ථයෙන් තනි පුද්ගල සොයායාම ඔවුන්ගේ ලෝකයේ අර්ථවත් වුවේ නැත. මාක්ස්වාදය පවා ගමන් කරන්නේ ඉහත සාමුහික මොඩලය දිශාවට ය. නමුත් බුදුන් වහන්සේ පවසන්නේ තමා විසින් ම සත්‍ය ගවේෂණ කල යුතු බවයි. විමුක්තියේ අත්දැකීම ලැබිය හැක්කේ තනි පුද්ගල ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසය. ලෝකය පිළිවෙල කිරීමට බටහිර ලෝකය උත්සුක වෙද්දී පෙරදිග උත්සාහ කලේ අද්විතීය මිනිසෙක් නිෂ්පාදන කිරීමට බව සත්ගුරු පවසන්නේ මේ නිසාය. ඒ අද්විතීය මිනිසුන් අතර බුදුන් වහන්සේ, වර්ධමාන, ගාන්ධි වැනි මිනිසුන් වෙයි. ඒ සියල්ලෝම අහිංසා වාදය වෙනුවෙන් පෙනී සිටිය අය වේ (ශරීර අධිනිශ්චය වූ ග්ලැඩියේටර් පන්නයේ පන්ති වෛරය ඇවිලිය යුතු නිසා මාක්ස්වාදීන්ට මේ මානසික-අධ්‍යාත්මික කතාව හරියන්නේ නැත. මාක්ස් ඇතුළු සියල්ලෝම ඉහත ග්‍රීක-රෝම, ස්වාමි-වහල් දයලෙක්තික චින්තනයේ ගොදුරු වන්නේ මේ හේතුව නිසාය).      
      
දෙවියන් සමග අනන්‍ය වුවන් වන ISIS සංවිධානය කරන්නේ තමන් විශ්වාස කරන දෙය සැබෑවක් බවට පත් කිරීමට ය. දෙවියන් යනු ඔවුන්ගේ අනන්‍යතා සීමාවයි. ඒ වෙනුවෙන් ඕනෑම නපුරක් වෙනුවෙන් ඔවුන් යොමුවේ. මාක්ස්වාදය සමඟ අනන්‍ය වුවන් වුව ද ඕනෑම නපුරක් වෙනුවෙන් යොමුවේ. නමුත් පොදුවේ නපුර කරා එළඹෙන බොහෝ අය අමතක කරන දෙයක් නම් තමා කළ ක්‍රියාවේ ශේෂයන් යම් විශ්ව ශක්තියක් ලෙස තමා කරා නැවත සම්බන්ද (සන්ධි) වන බවයි. එය සාමාන්‍යයෙන් බුදු දහම තුලත් පැරණි භාරතීය සංස්කෘතිය තුළත් හැඳින් වෙන්නේ ‘කර්ම’ යනුවෙනි (කර්ම = ක්‍රියාවෙන් ශේෂ වන අවිඥානික දෙය). එවකට ක්ෂිතියක් වූ අමාලි ගේ සියදිවි නසා ගැනීම නම් මීට වසර ගණනාවකට පෙර (2015) සිදුවූ මෙම සිදුවීම තුළ දක්නට ඇත්තේද කර්මය නම් ශක්තිය (cosmic energy) නැවත වර්තමානය සමග ආපතික ලෙස සම්බන්ද වීමයි (ප්‍රති සන්ධි වීමයි). කාලයේ වැලි තලාවෙන් වැසී යනු ඇතැයි සැවොම සිතා සිටියත් කර්ම බලය විසින් එම සිද්ධිය නැවත ඉස්මතු කිරීම සඳහා කරුණු බොහෝ ගණනක් පාදක වනු මෙහිදී දැකිය හැකිය (එක් හේතුවක් නොව හේතු ගණනක් = පටිච්ච සමුප්පාද). එම කරුණු දේශපාලනයේ සිට මුහුණු පොත දක්වා පරාසයක පිහිටා ඇත. එම සෑම බලවේගයක්ම එකිනෙකට වෙනස්ව බලපෑම් සහගත වෙමින් ඉහත අඳුරු සිද්ධිය  ඉස්මතු කිරීම ට බලපෑම් සහගත විය. මෙම ක්‍රියාවට යම් අයෙක් සම්බන්ධ වුවේ නම් ඒ සම්බන්ද වුවන් සියල්ලෝ ම එම අසත් පුරුෂ ක්‍රියාව අමතක කර (සවිඥානික මතකය = memory) ‘සාමාන්‍ය ජිවිත’ ගත කරනු පෙනුණත් කර්ම ශක්තිය ඉස්මතු වී (නිරපේක්ෂ කාලය) සියල්ලන්ගේ ජිවිත දැන් තැති ගන්වමින් ඇත. ඔවුන් විඳිමින් සිටි සාපේක්ෂ කාලය (විනෝදය) අර්බුදයට ගොස් ඇත. ඉතින් නලින් විසින් ‘කාලය’ යන්න මෙතරම් වැදගත් ලෙස සිතන්නේ ඇයිද යන්න පැහැදිලි වනු ඇතැයි සිතමු (පාපී ක්‍රියාවක මෙන්ම යහපත් ක්‍රියාවක ශේෂය ලෙස ගත හැකි අවිඥානය සහ අතීත ස්මෘතිය අමතක කරන වර්තමානය නම් සවිඥානය ගැඹුරු ලෙස ගැට ගසන්නේ කාලය විසිනි). අනුභූතිකව අප අත්දකින කාලය නම් සාපේක්ෂ දෙය වැදගත් වන්නේ භෞතික (කාබනික) ලෝකයේ දී පමණි. අනුභූතික භෞතික ලෝකයෙන් ඔබ්බට කාලය යන්න අදාල නොවේ. ඉතින් අමාලිගේ මරණය තුලින් නැවත ප්‍රති සන්ධි වී ඇති කර්මය ඇත්තේ ඉහත ‘පැවැත්මේ නිරපේක්ෂ කාලය’ තුලය. ආපතික ලෙස අනතුරු දායක වී ඇත්තේ ඉහත සිද්ධියට දායක වූ (එසේ වුවේ නම්) අසත් පුරුෂයින් විසින් මෙලොව ජිවිතයේ සදාකාලික යැයි සිතා සිටි විනෝද යයි. ඉතාම කෙටියෙන් බුදුන් වහන්සේ වදාළේ ‘කර්මය යනු චේතනාව’ බවයි (චේතනාහන් භික්ඛවේ  කම්මං වදාමි). යටපත් කිරීමට උත්සාහ කල ද අවිඥානික මතකය බවට පත් වන්නේ ඉහත චේතනාවයි (intention = act = suppression = unconscious memory). ඉතින් ලංකාවේ හැටියට දේවල් නැවත යටපත් වීමට ඉඩ ඇතුවා වුවත් චේතනාන්විතව කරන ලද ක්‍රියාවේ ප්‍රතිථල දෙස අප බලා සිටිමු. ගැලෙහි බඳින ලද ගොනු පිටිපස එන කරත්ත රෝදය මෙන් කර්මය අප පසුපස එනු ඇත.         

 

නෙලුම් මල යනු කර්මය සංකේතීයව පෙන්වන පෙරදිග ප්‍රපංචයකි. මල පිපෙන විට එහි බීජයන් පවා එවිට ම දැකගත හැකි ලොව ඇති මල් කිහිපයකින් එකක් ය නෙලුම් මල. එය බුදු පුදට යොදා ගන්නේ හේතුව සහ ප්‍රතිපල එකවිටම විකසිත කරන හෙයිනි.  Lotus symbolically represents karma  (ශේෂ වූ දෙය) in many Asian traditions. A blooming lotus flower is one of the few flowers that simultaneously carries seeds inside itself while it blooms. Seed is symbolically seen as cause, the flower effect. Lotus is also considered as a reminder  that one can grow, share good karma and remain unstained even in muddy circumstances (Wikipedia).  
 

කෙසේ වුවද ඉහත මරණය පිළිබදව අදහස් දැක්වීමේදී පොදුවේ ජනමාධ්‍ය (ඉහත ‘දිවයින’ පුවත ද සමග) සහ මුහුණු පොත කර ඇති වරදක් නම් බුදු දහමේ ම එන පටිච්ච සමුප්පාද තර්කනය ප්‍රතික්ෂේප කිරීමයි. ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියද ප්‍රපංචයේ මුලික ආවේගය නිසා (හෝ වෙනත් හේතුවක් නිසා) ඔවුන්ට ගැඹුරු බෞද්ධ තර්කණය මඟ හැරි යයි. එහි අර්ථය නම් යමක් උත්පාද (rising) වීමට එක් හේතුවකට වඩා හේතු ගණනාවක් (multiple of reasons) පසුබිම් විය හැකි බවයි. ඇපල් ගෙඩිය නිව්ටන් ගේ හිසට වැටීමේ ප්‍රපංචයේ දී තනිකරම එහි හේතුව ගුරුත්වා කර්ෂණය වෙතට බාර කිරීමට පෙරදිග දර්ශනය ගැන දැනුමක් ඇති අය මැළිවන්නේ මේ හේතුවෙනි. මන්ද යමක් උත්පාද වීම තනි හේතුවක් ඔස්සේ හට නොගන්නා හෙයිනි. සියල්ල පැටලුන නුල් බෝලයකට උපමා කරන බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට පවසන්නේ තෘෂ්ණාව ඇති විට දුක ද පවතින බවයි. තෘෂ්ණාව අතුරුදන් වූ විට දුක ද අතුරුදන් වී යන බවයි. ඒ අනුව දුකට හේතු වන්නා වූ හේතු ප්‍රත්‍යයන් ගණනාවක් උන් වහන්සේ දේශනා කරයි. තනි නිව්ටෝනියානු හේතුවක් වෙනුවට බහුත්ව හේතුන් වෙත පටිච්ච සමුප්පාදය ගමන් කරයි. ඒ ඔස්සේ සිතා බැලුව හොත් අමාලිගේ මරණය යනු පැටලුණ නුල් බෝලයකි. ඇයගේ මරණය නම් අප අද දන්නා සඥාව ඒ දක්වා ඇය ජිවිතයේ මුහුණ දුන් හේතු ගණනාවක ප්‍රතිඵලයක් විය හැකිය. නවක වධය යන්න එම මරණය යන ඇයගේ අවසන් තීරණය කෙරෙහි බලපා තිබිය හැකිය (ක්‍රියාව සම්පුර්ණ වීම). නමුත් මීට පෙර පවා ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇතුවා විය හැක. කෙසේ වුවද නවක වධය යනු මරණයේ හේතුන් ගෙන් එකකි (එහි බර වෙනස් විය හැක. වෙනත් විදියකින් කිවහොත් නවක වධය ට පසුත් ඇයට ජීවත් වීමේ ප්‍රභල හේතුවක් ජනනය වුවේ නම් නවක වධය තිබියදී පවා ඇයගේ මරණය සිදු නොවීමටත් හේතු වන්නට තිබුණි). කිසිවක් ස්වායත්තව (independent) නොපවතින බව සද්භාවී ලෙස පෙන්වා දෙන බුදු දහම අනුව ගත් විට ඉහත අමාලි ගේ මරණය සම්බන්ද මාධ්‍ය ඉස්මතු (rising) වීම පවා ස්වාධීන යමක් නොවිය හැකිය. එසේ ඉස්මතු වීමට අප දන්නා නොදන්නා හේතු ගණනක් පාදක වී තිබිය හැකිය. මන්ද අප ජිවත් වන්නේ දේශපාලන ලෝකයක ය.   එසේම මෙම සිද්ධිය නූල් බෝලයක් යන බුදු වදන සැබෑවක් යන්න සිහිගන්වන තවත් මානයක් ද ඉස්මතු වෙමින් පවතී. සියල්ල හුදු කතා බවට (fictions) පෙරළෙමින් ඇති නිසා සත්‍ය ය කුමක්ද යන්න තෝරා බේරා ගැනීම ඉහත නූල් බෝල සන්දර්භය තුල අසීරු ය. එම කතාව නම් ඉහත දැරිය විසින් හිතාමතා ම ඇයගේ පාසල් සමයේ මිතුරියන් දෙදෙනෙකු ගේ නම් සඳහන් කර සියදිවි නසාගෙන ඇති බවයි. මෙම මිතුරියන් දෙදෙනා සමග අමාලි දැරිය පාසල් යන දිනවල සිට ම යම් නොහොඳ නෝක්කාඩුවකින් සිට තමා මිය යන මොහොතේ ඔවුන් දෙදෙනාගේ නම් දෙක තම ලිපියේ සඳහන් කර ඇති බව ඇතැමුන් ගේ මතයයි (එසේ නිකම් ම යමෙකුගේ නම් සඳහන් කරයිද යනුවෙන් යමෙක් ප්‍රශ්න කලොත් එයට පිළිතුරක් දිය නොහැකි නමුත් මෙහිදී එම ප්‍රස්තුත යද සැලකිල්ලට නොගෙන සිටිය යුතු නැත). දැන් ගැටලුව ඇත්තේ මියගිය අයට නොව ජිවත් වන අයට ය. ඉහත සිද්ධියට ලැබූ මාධ්‍ය ආවරණය දෙස බැලූ කළ යම් විදියකින් එවන් නවක වධ සිද්ධියක් කෙසේවත් සිදුවී නැත්නම් හා මේ සිද්ධියේදී නම් සඳහන් කිසිවෙක් ඇත්ත වශයෙන් එම සිද්ධියට සම්බන්ද නැති නම් එවිට එය ජිවත් වන අයගේ පැත්තෙන් වඩාත් බරපතල ය. එවිට සමස්ත සිද්ධිය හුදු කතාවක් පමණක් බවට පෙරළේ. එවිට මාධ්‍ය යේ කාර්ය භාරය ගැන නැවත සිතීමට සිදුවේ. අප ජිවත් වන්නේ හුදු දෘශ්‍යමාන ය (appearance) පමණක් යථාර්තය ලෙස තේරුම් ගන්නා මායාවී (illusory) ලොවක ය යන බුදු වදන මෙහිදී වඩ වඩාත් සත්‍ය වේ. වෙනත් විදියකින් කිවහොත් ‘යථාර්තය යනු ශුන්‍යතාවයකි’ යන බුදු වදන මෙහිදී තවදුරටත් අදාල ය.   

දන්නා තරමට අමාලි යනු කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් පැමිණි දැරියකි. විශ්ව විද්‍යාලයට පැමිණීම ට පෙර පටන්ම ඇය මානසික සංකූලතාවය නිසා ප්‍රතිකාර සඳහා ද යොමුවූ අයෙකි. ඇයගේ පවුල් පසුබිම පැහැදිලි නැත. ඒ කෙසේ වුවද බහුතරයක් ගම් වලින් සරසවි පැමිණෙන සිසුන් කොළඹින් පැමිණෙන සිසු සිසුවියන් හට ඉර්ෂ්‍යා කරයි. විශ්ව විද්‍යාලය තුල ඉංග්‍රීසි කතා කරන සිසුන්ට වැඩියෙන් වධ බන්ධන පමුණු වයි (ලෙනින් විසින් සාර්ගේ බල්ලාට පවා වෙඩි තැබීමට පාදක වූ පංති වෛරය ලෙස හැඳින්විය හැකි තත්වය එයයි). පන්ති කාමරයෙන් පිටත ඉංග්‍රීසි කතා කිරීම සාමාන්‍යයෙන් තහනම් ය (ලෝක බැංකු ව්‍යාපෘති විසින් කුමන ආකල්ප දියුණු කරන්න හැදුවත් විශ්ව විද්‍යාල අධිපති මතවාදය වන්නේ දශක ගණනාවක් ලාංකික සමාජය තුල පැවති පංති වෛරය බව ඔවුන් තේරුම් ගත යුතුය). ගමෙන් අවුත් විශ්ව විද්‍යාල තුලදී රැඩිකල් කරණය වන සිසුන් සිතන්නේ කොළඹ අයට තමාට වඩා වැඩි දෙයක් අයිති බවයි (‘කොළඹට කිරි අපිට කැකිරි’ වැනි අසමාන තාවය ඉස්මතු වන ප්‍රකාශ නොමැතිව වමේ දේශපාලනයට පැවතිය නොහැක. ලෝක බැංකුව මුලින් කල යුත්තේ යථාවේ පරස්පර බව දෘෂ්ටිමය ලෙස අහෝසි කිරීමය. සද්ගුරු මුණි ට ලෝක බැංකුවේ දේශන ලැබෙන්නේ ඉහත දෘෂ්ටිමය පසුබිම තුලය). එසේම පැවති පීඩනය තුල අමාලි මිය යන්නේද වෛරය යෙනි. එනම් තමාගේ මරණ මොහොත (චුති සිත) තුළ නිෂ්පාදනය වුවේ වෛරී විශ්ව ශක්තියකි (revengeful cosmic energy). එනම් ඇය මෙලොව හැර යන්නේ ඇයගේ ක්‍රියාව විසින් වෛරය නම් පිය සටහන් (ලාඤ්ඡනය = imprints) ශේෂ කරමිණි. ඇයගේ වෛරය සබරගමු විශ්ව විද්‍යාල සමාජය කෙරෙහි ප්‍රක්ෂේපනය කර ඇත්තේ තමා විසින්ම ලියු ලිපිය තුලිනි. ඇය නිකම් මිය යන්නේ නැත. සියල්ල අමතක කරන්නේ ද නැත. හරියටම ‘හිතුමතේ ජිවිතේ’ මෙන් ඇයගේ වෛරය සඳහා පතුලක් නැත. අවසානයක් නැත. එම අවසානයක් නැති වෛරය ඔස්සේ ඇය භෞතික ශරීරය අත්හරිනු ලබයි (‘හිතුමතේ ජිවිතේ’ පවා තම ශරීරය දෙවැනි කොට සැලකු අවස්ථා ගණනාවක් ඇත). තමා දරා සිටින ශරීරයට ඇය වෛර කිරීමට පටන් ගනී. නමුත් ඇයගේ සෑම ශෛලයක් විසින්ම ඉල්ලා සිටියේ පලිගැනීමයි (කලකිරීම ඔස්සේ අනන්‍යතාව ස්වරූප රාගයක් වෙත ගමන් කිරීම). මේ වනවිට විශ්ව විද්‍යාල පද්ධතියට පමණක් නොව සමස්ත ලාංකික සමාජයට ම ඇය අවතාරයකි (මුහුණු පොත බලන්න). ඒ ඇය මරණය හරහා අප වෙත ප්‍රක්ෂේපනය කල විශ්ව ශක්තියයි (එම ශක්තිය පංති වෛරය සහ පන්ති අසමාන බව ඉක්මවා යයි). එම අවතාරය ජීවමාන අමාලි ට වඩා බලවත්ය. කර්ම ශක්තිය යනු එයයි. නමුත් තාවකාලික ‘රැඩිකල් කරණය’ (ISIS) ඔස්සේ ලාංකික මාක්ස්වාදීන් යැයි හඳුන්වන පිරිස් විසින් කරන්නේ කර්මය සඳහා පුද්ගලයා තුල ඇති බිය නැති කිරීමයි. පාපය සඳහා ඇති බිය නැති කිරීමයි*. බුර්ෂුවා සදාචාරය උල්ලංඝනය කරන නියාවෙන් ඔවුන් නව උච්චේද වාදයක් සමාජගත කරයි (එනයින් ‘බුදුන් ගේ රස්තියාදුව’ ඔවුන්ට නිර්මාණශීලි සාහිත්‍ය කෘතියක් බවට පත්වේ. එළිපිට බියර් බොන ගැහැණුන් වීර වරියන් ලෙස වර නැඟීම ගජ රාමෙට කෙරෙනු ලැබේ). ඔවුන්ගේ මුහුණු වල කිසිදු සතුටක් දක්නට නැත. මුහුණු සුදුමැලි වී ඇත (බුර්ෂුවා ධනවාදී පක්ෂවල මිනිසුන් මිට වඩා සතුටින් ඇත). ඉස්ලාම් අන්තවාදීන් කුරාණය යොදා ගන්නවා මෙන් මෙම මාක්ස්වාදීන් යොදා ගන්නේ පරණ මාක්ස් ගේ සාහිත්‍යය හෝ අලුත් මාක්ස්වාදීන් යැයි කියන ‘පණ්ඩිතයින්ගේ’ ගේ එකක් පිටුපස එකක් බැගින් එන වර්සෝ කෘතීන්ය.

කර්ම යන්න ”ස්ටාර් බක්” කෝපි සංස්කෘතිය සමග සම්බන්ද කරන ජිජැක් මෙසේ පවසයි. පරිභෝජන සංස්කෘතියක ගිලී සිටින අප අපගේ වරදකාරී බව සමහන් කර ගැනීම සඳහා ස්ටාර් බක් කෝපි කෝප්පයක ට වැඩිපුර මුදලක් ගෙවමින් ග්වාතමලාවේ සාගින්නෙන් සිටින දරුවෙක් වෙනුවෙන් ‘යමක්’ කළා යන හැඟීමෙන් යුතුව නින්දට යමු. නමුත් ග්වාතමාලාවේ යථාර්තය බිංදුවක් වත් වෙනස් නොවී සදාකාලික දුප්පත් කම ලෙස එසේම පවතී (eternal poverty). මෙයට අප ‘ධනේශ්වර කර්ම කෝපි’  (Capitalist Karma Coffee) යනුවෙන් හඳුන්වමු. එනම් සත්‍ය යථාර්තයෙන් දුරස් වෙමින් පවත්නා පරිභෝජන සංස්කෘතියේ තව දුරටත් ගැට ගැසීම වෙනුවෙන් යොදන දෘෂ්ටිමය උපක්‍රමයක් ලෙස ඉහත ‘නව මානුෂික බව’ (අමතර ඩොලර් එක) සැලකිය හැකිය. එවිට අපගේ කර්මයෙන් අප ගැලවී යමු. ඔබගේ කර්මය ද ඔබගේ මිලදී ගැනීම තුළට ම ඇතුලත් කර ඇත (not buying but buying into). බැලු බැල්මට සිත් ගන්නා සුළු රූපකයක් ලෙස කර්මය යන්න ජිජැක් විසින් තම බුද්ධිමය වෙළඳ පොළට අර්ථකතනය කලද කර්මය යනු එවන් දෙයක් නොවේ. කර්මය යනුවෙන් බුදු දහම තුල ඉගැන්වෙන්නේ ප්‍රති සන්ධිය සඳහා බලපාන චිත්ත ශක්තියක් ජනනය කිරීම ය. එය ‘කම්මජ තේජෝ ධාතුව’ ලෙස මුලින්ම මව්කුස තුළ පිළිසිඳ ගන්නා බව බෞද්ධ අට්ට කථා ආදියෙහි දක්වා ඇති බව පණ්ඩිත හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් ගෙනහැර දක්වයි (බෞද්ධ දර්ශනය. පිටුව 102-3). ඒ අනුව අමාලි විසින් ද නැවත සන්ධි වීම සඳහා බරපතල ශක්තියක් (නිශේදන) උත්පාද කරගෙන ඇත. ‘විඥාණය පටිච්ච සමුප්පන්න ධර්මයකි. එය කර්ම බලයෙන් පහල වන්නක් බව පටිච්ච සමුප්පාදයේ ම දක්වා ඇත. එවිට විඥාණය ඵලයකි. කර්මය එහි හේතුව ය’ (107). නිවනෙහි ආරම්භය යනු විඥාන නිශේදනයේ ආරම්භය යි (සංඛාර නිරෝධ විඥාන, අවිජ්ජා නිරෝධ සංඛාර වශයෙන්). කර්මයෙන් විඥාණ ශක්තිය පහල වුව ද මවු කුසක කර්ම ශක්තිය විසින් බිහි කරන්නේ තේජෝ ධාතුවකි (වැඩිදුර කියවන්න පිටු 110-1). ඒ අනුව කර්මය යනු මූල හේතුවකි. නාම රූප ප්‍රත්‍යයන්ගේ පහල වීම උදෙසා උපකාරී වන දෙයකි. ජිජැක් මතුපිටින් හඳුනා ගන්නා අයුරින් ‘කර්ම’ යනු හුදු වචන සෙල්ලමක් හෝ නරුම ලෙස යථාර්තයෙන් දුරස් වීමක් හෝ නොවේ. ඇත්ත වශයෙන් ගතහොත් යථාර්තය වෙත වඩාත් ලං වීමක් මේ තුළ දක්නට ලැබේ. බුදු දහම ට අනුව (මෙන්ම බොහෝ ඉන්දීය ආගමික දර්ශනයන් ට අනුව ද) කර්ම යනු මිනිස් විමුක්තියේ අතිශයින්ම වැදගත් කොන්දේසියකි.            

එසේම සත්ගුරු ගේ අර්ථකතනය ද මෙහිදී වැදගත්ය. සත්ගුරු ට අනුව කර්මය යනු මිනිස් පැවැත්ම තුල ම ඇති යම් මෘදුකාංගයකි. යමෙක්ගේ මනස, හැඟීම් සහ ශරීරය ක්‍රියා කරන්නේ එම මෘදුකාංගය ඔස්සේය. ඔබගේ මෘදුකාංගයේ සීමාව යනු ඔබගේ පැවැත්මේ සීමාවයි (the limit of your karmic software is the limit of your existence). ශරීරය (දෘඩාංගය) කොතරම් ලොකුවට හැඩි දැඩි වට තිබුණද තම පැවැත්මේ මෘදුකාංගය සීමා සහිත නම් එවිට එම ශරීරය සහිත ආත්මයේ ක්‍රියා කාරීත්වය ද සීමා සහිතය. අප දන්නා පරිදි පරිඝනක ඉංජිනේරුවන් විසින් නව පරිඝනකයක දෘඩාංග මට්ටම ඉහල යන විට ම මෘදුකාංග ද ඉහල දමයි. නමුත් අපේ අයගේ ඉහල යන්නේ ‘ස්පාටකස්’ ශරීර කූඩුව පමණි. මනස තිබුණ තැනම ය (හැත්තෑව දශකයේ ය). වික්ටර් අයිවන්, ජයදේව උයන්ගොඩ වැනි කිහිප දෙනෙක් නිදහස් වුවද බොහෝ අය මිය යන්නේ අතීතයේ සිර කරුවන් ලෙසිනි*(2). ජේ. ආර්. ගෙන් පසු සමාජ විපර්යාසය තේරුම් ගැනීමට සහ අදට ගැලපෙන න්‍යාය නිෂ්පාදනය කිරීමට කුළියට කිහිප දෙනෙකු හයර් කරගෙන තිබුණද ඔවුන් මෙම බිම්ගත මාක්ස්වාදී පක්ෂය අවසන් විනාශය කරා තව වසර දෙකක් වැනි කෙටි කාලයකදී ගෙන යනු ඇත. වර්සෝ පොත් ඕනෑම කෙනෙකුට කියවිය හැකි මුත් ඒවා අපගේ සන්දර්භය සමග ගැළපීම හැමෝට ම කළ හැකි දෙයක් නොවේ. දේශපාලන සද්භාවය (political ontology) එතැනදී අවශ්‍යය. දැනුම දිය හැකි මුත් සද්භාවය උගැන්විය නොහැක. සංස්කෘත විචාරයේ සහජ ප්‍රතිභා (inborn talent) යනු වෙන් සමහර විට හැඳින් වෙන්නේ එය විය හැක. එය උත්පත්ති කර්ම ඵලයකි.  

‘කර්මය යනු ඔබ වෙනුවෙන් ඔබ ට ම කරගන්නා පුජාවකි’ (සත්ගුරු මුණි). 

Mahesh Hapugoda

සටහන්       

 

……………………..
*(1) කර්මය වන් ආගමික පාර-භෞතිකයක් කෙරෙහි විශ්වාස තැබීම ‘ප්‍රගතිශීලි’ සමාජ පෙරළියක් කරා යන විප්ලවීය ක්‍රියාවක් තුළදී ‘පසුගාමී’ දෘෂ්ටිමය බාධාවක් ලෙස හැත්තෑ එකේ සහ අසු අට අසූ නමය විප්ලව අවධීන් වලදී සලකන ලදී. එසේම විමුක්ති කොටි සංවිධනය විසින් පවා එම පෙරදිග වටිනාකම තම අරමුණ කරා ළඟා වීම කෙරෙහි බාධාවක් ලෙස සැලකුවාට සැක නැත. බණ්ඩාරවෙල (වැල්ලවාය) ප්‍රදේශයේ අසූ අට නමය කාලයේ විප්ලවය තුළ යම් සන්නද්ධ කාර්යයක් කළ කාඩර් වරයෙක් (දැන් වයස පනස් අටයි) ඉතාම මෑතක මෙවන් දෙයක් පවසන ලදී. “අපි හැමදාම ගණුදෙනු කරපු හොඳ මුදලාලි කෙනෙක් හිටියා අපේ ගමේ. සාධාරණ මිනිහෙක්. හොරට කිරුවේ නැහැ. නැති බැරි මිනිස්සුන්ගේ ණය පිටිපස්සේ ගියේ නැහැ. ඒ මනුස්සයාගේ ගෑනු කෙනා අර මනුස්සයට හොරෙන් ගමේ දුප්පත් අයට නිකං බඩු දුන්නා (පිරිමියාගේ රෝග ලක්ෂණය ලෙස මනෝ විශ්ලේෂණය තුළ හඳුනා ගන්නා දෙය. ඔහුගේ ආශාව ඔහුටත් වඩා රඟ දැක්වීම යනුවෙන් බටහිර පණ්ඩිතයින් එය හඳුන්වයි). නමුත් මිනිහ හොඳ යූ. එන්. පී. කාරයා. ඒ නිසා අපිට නියෝගයක් ආවා මිනිහ ඉවර කරලා දාන්න කියල. ඒ වගේ අය තියන එක අපිට පාඩුයි කියල කිව්වා. මගෙ ඇඟ හිරිවැටිලා ගියා ඒක අහපුවම. මට හිතුණා තුවක්කුව අරගෙන අරක කියපු එකාට වෙඩිල්ල තියල දාන්න. කොහොමද අපේ අප්පෝ අර වගේ හොඳ මිනිහෙකුට වෙඩි තියන්නේ යූ. එන්. පී. කියල. එදා මම තුවක්කුව තියල ආපහු ආව ආවාමයි ඔය පක්ෂය පැත්ත හැරිලා බැලුවේ නැහැ. අද වුනත් චන්දෙ ඉල්ලන්න අවොත් මම දෙකක් කියල එළවනවා පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. පුදුම කාලකන්ණි ටිකක් මනුස්සකම නැති. දන්න කියන කෙනෙකුටවත් චන්දෙ දෙන්න නම් දෙන්නේ නැහැ. මම ඊට පස්සේ ආයේ චන්දයක් දුන්න නම් දුන්නේ මහින්ද මහත්තය ට”. නමුත් සමහර විට ලෙනින් හෝ මාවෝ විසින් ඔවුන්ට හමුවූ ඉහත ඉහත වර්ගයේ සංශය ආත්මයන් (skeptical souls) මීට වඩා විප්ලවීය කරණය කළා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඔහු තුළ පවතින ‘හොඳ’ යනු සත්‍ය ලෙස හොඳක් නොව ප්‍රතිගාමී බවක් ලෙස එහිදී හඳුනා ගනු ඇත. අවසන් අරමුණේ නාමයෙන් එවිට අර වෙඩිල්ල ඔහුට තැබිය හැකි වනු ඇත! මේ වනවිට කුමාර ගුණරත්නම් ගේ මනස වැඩ කරන ආකාරයට ගතහොත් එවිට විප්ලවය ජය ගනු ඇත! තවත් දශක තුන හතරක ට පසුව නැවත අර පරණ වෙළඳ පොළ ම ගෝලීය ලෙස අප ආක්‍රමණය කරනු ඇත (අර වෙළෙන්දා බේරුනාට තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, විජය කුමාරණතුංග වැනි අයට හමු වුවේ අරමුණ සමඟ කිසි පරතරයක් තබා ගත්තේ නැති නියම රැඩිකල් විප්ලවවාදීන් ය!). 
    *(2) අවසානයේ සියදිවි නසාගත් විජේවීර ගේ මස්සිනා යනු සැබෑ ම අර්ථයෙන් ලංකාවේ ප්‍රත්‍යෙක අධ්‍යයනයක් (politico-psychoanalytical case study) සඳහා සුදුසු ය. විශේෂයෙන් දේශපාලන විද්‍යාව කරන අය ඒ සඳහා උත්සුක විය යුතු යැයි යෝජනා කරමි. ඔහු මිය යන්නේ විප්ලවය යන්න ම උපාදානයක් වූ නිසා ය. මෙය ජිජැක් ගේ මතයට පරස්පර ය. ජිජැක් කියන්නේ තම ආශාව (විප්ලවය ලෙස ගතහොත්) සමඟ පරතරයක් (distance or gap) තබා ගත යුතු නැති බවයි. සම්පුර්ණයෙන් ම ආශාව ට ඇද වැටිය යුතු බවයි. ‘ක්‍රියාව’ සම්පුර්ණ වන්නේ සම්පුර්ණ ලෙස ක්‍රියාවට සහභාගී වීම තුළ බවයි (fully participate). මරණය දක්වා ම එම ක්‍රියාව තුළ ගමන් කරන්න යනු ජිජැක් ගේ ඉගැන්වීම යි. නමුත් උපාදානය යනු ඕනෑම දෙයක් සමග අධි-අනන්‍ය වීමයි (over-identify). එය දුකට සහ විනාශයට මුලකි. විශේෂයෙන් සසර දිගු කර ගැනීම ට හේතුවකි (දිගින් දිගට මෙම මරණය විවරණය කළහැකි වුවත් අප එම පවුලේ වර්තමාන ජීවමාන පරම්පරාව ගැන ද සිතිය යුතුය).

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. සද්ගුරු දීප්ති කුමාර ගුනරත්න සමග ඉතිහාසයේ අවසානය

  2. දැන් මේක අර්ථ දක්වන්නේ කොහොමද හපුගොඩ=නලින් ද සිල්වා කියලද කර්මය=පෙරටුගාමී පක්ෂය කියලද
    සමහර දේවල් වලට එකඟයි . අර නවක වාදය ගැන කතාව. එතන දෙපැත්තම වැරදියි ශිෂ්‍ය ව්‍යාපාරය හා විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව , පෙරටුගාමී සමාජවාදීන්ට අවිශිබ සමාග් ඔයිට වැඩිය දෙයක් කරන්න පුළුවන් අවශ්‍ය නම්. කරන්නේ නැහැ.
    ලිපියේ කර්මය පුනර්භවය ආදිය ගැන කියන්න තියෙන්න – හපුගොඩ ටත් නලින්ද සිල්වාගේ නාථ දෙවියෝ වැහිලා කියල උපකල්පනය කිරීම .
    ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය මේ තියෙන විධිහට නම් විහිළුවක් බවත් පිළිගන්න වෙනවා හැබැයි. හපුගොඩ මහත්මය එතන හරි.

    • ” එතන දෙපැත්තම වැරදියි ශිෂ්‍ය ව්‍යාපාරය හා විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ”

      දෙපැත්තම වරදින්න බැහැ, වරදින්න පුලුවන් එක පැත්තක් විතරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here