වසර 25 ක පමණ අපගේ දේශපාලන අරගල භූමිය පිළිබඳව සිද්ධාන්තමය වශයෙන් පැවති විවාදයේ අවසන් ඉමකට අපි දැන් පැමිණ ඇත්තෙමු. ලංකාවේ මිනිසුන් දේශපාලනිකව සංවිධානය කර යම් යම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවත් අපට සමස්ත වශයෙන් ‘පශ්චාත්-යටත්විජිත රාජ්‍යය’ නුතනවාදී රාජ්‍යයක් කරා තල්ලු කිරීමට නොහැකි වී ඇත. වසර 2000 දී එනම්, නව සහශ්‍රකයේ දී දෙමළ ජාතික විමුක්ති අරගලය හරහා අලිමංකඩ ජයග්‍රහණය කිරීමෙන් පසුව ‘තමිල් ඊළාම්’ නම් ‘නූතන රාජ්‍යයක්’ [modern state]වසර නවයක් වැනි කෙටි කාලයකට නිර්මාණය කළ හැකි විය. දැන් අප දන්නා පරිදි, එම ‘රාජ්‍යය ද’ දකුණේ ‘පශ්චාත්-යටත්විජිත රාජ්‍යය’ (මෙය සිංහල රාජ්‍යයක් නොවන අතර එය සුදු ස්වාමියාගේ අඛණ්ඩත්වයකි) බාහිර අධිරාජ්‍යයන්ගේ සහාය ලැබ විනාශ කර දමන ලදී. අද එම යුධ ජයග්‍රහණයට පසුව අප සිටින්නේ, විජයග්‍රහණයක නොව බාහිර අධිරාජ්‍යවාදයේ අතකොලු බවට පත් වීමෙනි.

                   ‘සමසමාජ පක්ෂයේ’ නායකයන්ට හමු වූයේ, නාගරික වෘත්තීය සමිති නායකයන් සහ ග්‍රාමීය බුද්ධිමතුන් ය. ඉන්පසුව, 60 දශකය අග සිට විජේවීර සෝවියට් සහ චීන නොවන ”සපත්තුවක්” සොයා ගත්තේය. එය, සිංහල ජාතිකත්වය යි. වික්‍රමසිංහගේ සිට අමරසේකර දක්වා කුඩා දේපළ හිමි පන්තිය මේ දෘෂ්ටිවාදයට අනන්‍ය විය. විජේවීර විනාශ වී ගියත්, මේ ජාතික දෘෂ්ටිවාදය හරහා බටහිර නොවන දේශීය අනන්‍යතාවයක් නලින් ද සිල්වා නිර්මාණය කරන ලදී. ඔහුට අනුව, ‘මාක්ස්වාදය’ පවා බටහිර අධිරාජ්‍යවාදයේ චින්තන උපකරණයකි. මේවාට උත්තර දීමට, රටේ පවතින අපරිණත මාක්ස්වාදී චින්තනයට නො හැකි විය.

                    අප උත්සාහ කරන්නේ, ජාතිකවාදය සහ ජාතිවාදය නම් වංකගිරියේ ඔබව අතරමං කිරීමට නොවේ. සිද්ධාන්තමය වශයෙන් අපගේ යොමුව රැඩිකල් ලෙස ජාතිකවාදයෙන් වෙනස් විය. ජාතිකවාදීන් සහ මාක්ස්වාදීන් (මෙයට සමාජවාදීන් සහ ලිබරල්වාදීන්ව ද ඇතුළත් කළ යුතු ය) අතර පොදු සම්මුතියක් තිබෙන බව වටහා ගැනීම ‘රහසක්’ හෙළිදරව් කිරීමකි. 

                   ‘දෘෂ්ටිවාදයේ’ පැත්තෙන් ගතහොත්, සමාජවාදය, ජාතිකවාදය සහ ලිබරල්වාදය කියන්නේ රැඩිකල් වෙනස්කම් සහිත සමාජ සබඳතා යෝජනා කරන ව්‍යාපෘති තුනකි. නමුත්, සමාජ සංසිද්ධියක් ලෙස ‘පාවා දීම’ නම් ක්ෂේත්‍රයේ දී මේ ගොඩවල් තුන තුළම තිබෙන්නේ පොදු ගුණාකාරයකි.

  1. ජාතිකවාදය තුළ පාවා දීම් ;

          2015 දී සිරිසේන මහතා මහින්ද රාජපක්ෂව පාවා දීම. 

           2010 ට පෙර විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිස ජවිපෙ පාවා දීම.

           2011 දී යළිත් කුමාර් ගුණරත්නම් සහ පිරිසක් යළි ජවිපෙ ‘මැද පන්තියට’ පාවා දීම. 

           2000-2005 කාලයේ දී LTTE නැගෙනහිර නායකයා වූ, කරුණා සංවිධානය පාවා දීම. 

           නලින් ද සිල්වා ව 2000 සිට කෙළවරක් නැතිව පාවා දීම. 

 

  1. සමාජවාදය තුළ පාවා දීම් ;

                     රනිල්ගේ පියාගේ සිට අද දක්වා මේ පාවා දීම්වල ද කෙළවරක් නැත.

 

  1. ලිබරල්වාදය තුළ පාවා දීම්;

                      රජීව් විජේසිංහ විසින් රාජපක්ෂලාට ලිබරල්වාදය පාවා දීම.

                      එකට කා බී පසුව පාක්‍යසෝති සරවනමුත්තුව, උවිඳු කුරුකුලසූරිය නම් කොට කලිසම් හැඳ සමාජ අනන්‍යතාවයක් හදාගත් ගැටවර කොල්ලාගේ සිට සුනන්ද දේශප්‍රිය දක්වා වූ පිරිස විසින් පාවා දීම.

 

                     ඉහත දෘෂ්ටිවාදයන් තුනටම අදාළව පොදු ගුණාකාරයක් ලෙස ‘පාවා දීම’ නම් ප්‍රපංචය විද්‍යාමාන වන්නේ මන්ද? මෙය, අපගේ පර්යේෂණ ගැටලුවයි. මේ සඳහා, අපි අපගේ නිරීක්ෂණ පහත ඉදිරිපත් කරන්නෙමු.

                     අප කෙතරම් මානසික තලයේ දී ‘නිදහස් මිනිසුන්’ ලෙස සිතුවත්, සමාජ සබඳතා ක්ෂේත්‍රයට අප ඇතුළු වීමේ දී අප හැසිරෙන්නේ නිදහසට පෙර ‘යටත්විජිත සමාජ-සබඳතා’ තුළ දී මෙන්ය. අපි මේ සඳහා, සංයුක්ත තනි උදාහරණයක් ගනිමු.

                     1995 වර්ෂයේ සිට, මා සමඟ සමීපව සහ දෛනික ජීවිතයේ දී පවා දුක සැප බෙදා ගත් පිරිසක් එක්වරම මෙසේ කියන ලදී.

“දීප්ති කියන්නේ මාස්ටර්වරයෙක්; අපි වහල්ලු”.

ඉහත විරෝධාකල්පය විමතිකයන් මගින් මාධ්‍යවල සහ වෙනත් තැන්වල ප්‍රකාශයට පත් වන විට, තමන් ඉතාම තාර්කික තලයක වැඩ කරන බව කියූ වම්මුන් (බාහු හැර) බහුතරයක් ඉහත අදහස සමඟ අවිඥාණකව අනන්‍ය විය. වඩා වැදගත් වන්නේ, ‘අවිඥාණය’ නම් පදය යි. මන්ද, ඔවුන් සියලූ දෙනා ඉහත අදහස තාර්කික තලයක දී නො පිළිගත් නිසා ය.

                       න්‍යායවේදියෙක් සහ අරගලකරුවෙක් ලෙස මට පහසුවෙන් ඉහත විමතික අදහස ඛණ්ඩනය කළ හැකිව තිබුණි. උදාහරණයක් ලෙස, ජිජැක්ව හෝ හේගල්ව වැරදියට වටහා ගැනීමක් මත මේ විමතික අදහස පදනම් වී ඇත යන ප්‍රවාදය ගොඩනැඟිය හැකිව තිබුණි. නමුත්, ඉන් එතරම් කාටවත් ප්‍රයෝජනයක් නැත. වඩා වැදගත් වන්නේ, විමතිකයන් කිසිවෙකු වසර 15 ක් ගත වීත් ස්ලාවෝජ් ජිජැක් හෝ අර්නෙස්ටෝ ලැක්ලෝ මාස්ටර්වරුන් ලෙස හඳුනා නො ගත්තේ මන්ද යන කාරණය යි. ඉන් අදහස් වන්නේ, ‘බැද්දේගම’ චිත්‍රපටයේ සිළිඳු ඉදිරිපිට සිටින විනිශ්චයකාරවරයා සහ ජිජැක් අතර වෙනසක් නැති බවයි.

                       එසේ නම්, අප මේ කියන්නට යන්නේ, ජිජැක් විසින් හේගල් කියවා එන නිගමනය එනම්, පශ්චාත්-යටත්විජිත වැසියා හෝ බුද්ධිමතා තම රටට යටත්විජිත ස්වාමියා ඒමට පෙර පැවති සාරය යළි සොයා යෑම යන අදහස වැරදි බව ද?

නැත. ”ජිජැක්” පශ්චාත්-යටත්විජිත ආශාව ගැන කියන ප්‍රවාදය නිවැරදි ය. නමුත්, ජිජැක්ට හමු නොවන භාෂාවක් අපට අපගේ විමතිකයන් (කරුණා, විමල්, උවිඳු, සුදා, මින්නේරියේ ගොවියා, රත්නපුරයේ වැලි අදින්නා, යක්කල ඉබාගාතේ හැසිරෙන ගැමියා, මාතර සිවුරු ගලවා කලිසම් ඇඳගත් මහත්මයා…..) හරහා හමු වෙයි. මේ නිර්ප්‍රභූ භාෂාව සතු ව්‍යාකරණය හේගල්ට හෝ ජිජැක්ට හමු නොවේ.

                        නිර්ප්‍රභූන්ගේ මෙම කතිකාව අදාළ වන්නේ, හුදු දේශපාලන සබඳතාවලට පමණක් නොවේ. එය ප්‍රේමය, විවාහය, ලිංගික සබඳතා වැනි අතිපුද්ගල සබඳතා ලෝකයට ද අදාළ වෙයි. 

                        ලංකාවේ මිනිස්සු ඕනෑම විමුක්ති කතිකාවකට (බුදු දහමට පවා) හෝ දේශපාලන අරගලයකට සහභාගී වීමට පෙර ඔවුන් ඔවුන්ව සලකන්නේ, ”සුදු ස්වාමියාගේ” වහලෙකු ලෙසිනි. අපි දැන්, ඉතාම අතිපුද්ගලික ආශාවක් ලෙස ගත හැකි ලිංගික ආකර්ෂණය ගමු. සිංහල අධිපති පිරිමියා ආශා කරන්නේ, සුදු හම සහිත ස්ත්‍රියට ය. මේ ආශාව ඔහුට එන්නේ, ඕපපාතිකව ය. එනම්, සුදු හමට කලු හම සහිත පිරිමියෙකු ආශා කිරීම එන්නේ යටත්විජිත සුදු ස්වාමියාගේ කතිකාවෙනි. එවිට, එවැනි ආශාවක් සහිත පිරිමියෙකුට කැමති වන ස්ත්‍රියක් ‘ස්ත්‍රියක්’ නොවන අතර වහලියකි. ඇයට ඇත්තේ, වහල් විඥාණයක් පමණක් වන අතර ඇයට ඇත්තේ මියගිය ශරීරයකි. එබැවින්, මෙම ‘නූතන සන්දර්භය’ තුළ විජේවීර යනු, උපතිස්ස ගමනායකට හේගල් සිතූ පරිදි “අනෙකාගේ විඥාණයක්” නොව ස්වාමියෙක් නැතහොත් මාස්ටර්වරයෙකි. ඔවුන් අතර අන්තර්-පුද්ගල සබඳතා හෝ Inter-subjectivity යනුවෙන් සහසම්බන්ධයක් හට ගන්නේ නැත. මේ නිසාම, විජේවීර සහ ගමනායක අතර හේගල් සිතු පරිදි ආත්මීය ගමනක් (ඉන්ද්‍රිය ගෝචරත්වයේ සිට පරම අවබෝධය කරා යන ආත්මීය ගමන- Phenomenology of the Spirit) නොමැත. කරුණාට ‘ප්‍රභාකරන්’ යනු, මාස්ටර්වරයෙක් මිස මනුෂ්‍යයෙක් නොවේ. චතුරිකාගෙන් ජංගි හෝදා උගත් දේ මෙසේ ය. මෛත්‍රීපාල සිරිසේන යනු, මහින්ද රාජපක්ෂගේ වහලෙක් මිස මිනිස් සම්බන්ධයක් නොවේ. එපරිදිම මහින්ද යනු, අනුර හෝ චන්ද්‍රිකා හෝ සිරිමා බණ්ඩාරනායකගේ බත් පැකට් ගෙන එන වහලා ය. සිරිමා බණ්ඩාරනායක යනු, එංගලන්ත රැජිනගේ වහලියක් මිස නිදහස් පුරවැසියෙක් නොවේ. නිර්මාල් යනු, මැරෙනතුරු දීප්ති චින්තනයෙන් විගාමික වන වහලෙකි.

                        අප පුද්ගලිකව කැමති වූවත්, නැතත් අපට අතිශය පුද්ගලික සබඳතාවයකට (ලිංගික ක්‍රියාවක සිට විවාහය නම් සංස්ථාපිතය දක්වා – පෙම්වතාගේ අර්බුදය වටහා ගන්න නම්; පෙම්වතියගේ උත්කර්ෂවත්කම වටහා ගන්න නම්…. මේ පැත්තෙන් එන්න කිව්වත් සබඳතාවයේ දී පෙම්වතා මාස්ටර් වීම හෝ පෙම්වතිය වහලියක් වීම ව්‍යුහාත්මක ය. එනම්, මෙම ඩෙකාට්ස්මය වාක්‍යය පවා විසංයෝජනය කළ හැකි ය. ”මම ආදරය කරමි; එබැවින් මම සිටිමි”. ලංකාවේ දී ඩෙකාට්ස්ට පෙර ස්වාමියා අපට මුණ ගැසෙයි) හෝ සමාජ-දේශපාලන සබඳතාවයකට ඇතුළු වීමට හැකි වන්නේ, ස්වාමියා සහ ප්‍රවේණිදාසයා පැසේජය හරහා ගොස් ය. උවිඳු නම් කොට කලිසම්කාරයා ඉංග්‍රීසි වෙබ් අඩවියක කතුවරයා වන්නේ, මිනිසෙක් වීමට නොව පාක්‍යසෝති මාස්ටර්වරයා වීමටයි. ස්වාමියා කසයක් ගෙන වැඩ ගැනීම නවත්වා පශ්චාත්-නූතන තත්වය තුළ මෙසේ කියන්නේ නම් තත්වය තවත් මුලාවකි: “උවිඳු ඔබගේ අනන්‍යතාවයට යටින් ඇති අශ්ලිලත්වයට අනුරාගික වන්න! [පාකිගේ තරු පහේ කෑම බිල් විශ්ලේෂණය කරමින් උවිඳු බැස ඇත්තේ මේ වැඩේට ය”.]

 

                      ඔබ දැන් වංකගිරියකට ඇතුල් වූ වගක් හැඟේ නම්, එය නිවැරදි අදහසකි. අපට දැන් විකල්ප දෙකක් ඇත.

 

a. හේගල්ගේ දයලෙක්තික තර්කනය ඔස්සේ පසුආවර්තිතව සිතා ‘සුදු ජාතික ස්වාමියා’ අපේ රටට ඒමට පෙර පැවති ‘ශුද්ධ වූ සාරය’ යළි ගවේෂණය කිරීම මුලාවක් බව අවබෝධ කර ගැනීම.

 

b. ජාතිකවාදීන්ගේ පැත්තෙන් තර්ක කර අපගේ සාරය අපිරිසිදු කරන ලද සුදු ස්වාමියාගේ චින්තනයෙන් ඉවත් වී ආදිරාසයන චින්තනයට අනුග්‍රහ දැක්වීම.

 

                       A නම් විකල්පය ඔස්සේ ගමන් කරන අයට යළි යළිත් හමු වන්නේ, විප්ලවවාදී චින්තනයක් නොව සුදු ස්වාමියාගේ පශ්චාත්-නූතන අනන්‍යතා අවතාරය යි.[post-modern identity politics] B නම් විකල්පය ඔස්සේ ගමන් කරන අයට බටහිර නූතනත්වයට විකල්පයක් ලෙස ”පෙරදිග -ෆැසිස්ට්- විකල්ප- නූතනත්වයක්” සම්මුඛ වෙයි. දෙකම කෙළවර වන්නේ, ශුන්‍යතාවාදයන්ගෙනි. දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපය තුළ පැවති විකල්ප දෙක වූයේ, ක්‍රිස්තියානි ආගම සහ ස්ටැලින්වාදය යි. මේ දෙකෙහිම නිස්සාරත්වය දුටු හෛඩගර් ‘ආත්මය’ අතහැර ‘සත්තාවට’ (ගැඹුරින් පැවැත්මට) යොමු විය. එය අවසන් වූයේ, පන්ති-අරගලය නිශේධනය කළ ෆැසිස්ට්වාදයෙනි.

                         1982-1990 දක්වා මා හට විකල්ප දෙකක් අනාගතයේ ජීවත් වීම සඳහා ඉතිරි විය. එකක්, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ රැඩිකල් සෞන්දර්ය ජීවිතය යි. (මහාචාර්ය ගම්ලත්) අනෙක වූයේ, විජේවීර විසින් ඉදිරිපත් කළ ඉන්දීය අධිරාජ්‍යයට එරෙහි සිංහල ජාතික විමුක්ති අරගලය යි.

                        මා ඉහත විකල්ප දෙකම නිශේධනය කරමින් ජීවත් වීමට උත්සාහ කරන ලද්දේ චින්තන ආකෘති දෙකක් ඔස්සේ ය.

1. රනජිත් ගුහා ඉදිරිපත් කළ, ගයාත්‍රි ස්පිවැක් විකාශය කළ පශ්චාත්-යටත්විජිත කතිකාව. ඇයගේ ප්‍රධාන න්‍යායගත කිරීම අඩංගු වූයේ, Can the Subaltern Speak? (නිර්ප්‍රභූවරයාට කතා කළ හැකි ද? / සිවිල් නොවන මනුෂ්‍යයාට කතා කළ හැකි ද?) මට ග්‍රාම්ස්චි හමු වූයේ, මාක්ස්වාදය හරහා යාමෙන් නොව නිර්ප්‍රභූන්ගේ සාධාරණත්වය සංකල්පය හරහා ය. මෙය මාක්ස්වාදයේ කතා කරන පන්ති සූරා කෑමට වෙනස් ය.

 

2. ෆර්දිනද් සෝෂියර් විසින් ඉදිරිපත් කළ ව්‍යුහවාදය සහ එය විකාශය කළ ජැකොබ්සන් සහ ලෙවී ස්ට්‍රාවුස් ඉදිරිපත් කළ ව්‍යුහාත්මක මානවවාදය. මෙම ‘ව්‍යුහවාදය’ මාක්ස්වාදය සතුව පැවති ”අත්දැකීම්වාදය” නම් අනුභූතිවාදය විසංයෝජනය කරන ලදී. මෙම විසංයෝජන ව්‍යාපෘතිය තහවුරු කරන ලද්දේ, ඉන්ද්‍රිය ඥානයට වඩා තර්ක ඥානය උසස් බවයි. මන්ද, ඉන්ද්‍රිය ඥානයට වඩා තර්ක ඥානය දෘෂ්ටිවාදයට සම්බන්ධ නිසා ය. මා ජාක් ඩෙරීඩා, ෆෙඩ්රික් ජෙම්සන්, මිචෙල් ෆූකෝ, ලුවී අල්තූෂර්, මිඛායල් බාක්තීන්, හාන්ස් ගදමර්, හර්බමාස්, ජාක් ලැකාන්, ජාක්-ඇලන් මිලර්, එටියන් බලිබාර්, ජාක් රොන්සියාරේ, රිචඩ් රෝටි, අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ෂන්තාල් මුෆ්, ෆෙරී ඇන්ඩර්සන්, ඩලුස් සහ ගතාරි සහ අවසන් වශයෙන් ‘ලුබ්යානා ගුරුකුලය’ කියවූයේ ව්‍යුහවාදී සම්ප්‍රදාය තුළ සිට ගෙනය. ඔවුන් බහුතරය අත්දැකීමට වඩා ව්‍යුහාත්මක භාෂාව ප්‍රාථමික කරන්නන් වේ. 

 

                     බටහිර සමාජයේ බහුතරය ‘නිදහස’ ලබාගත් ආඛ්‍යානය හේගල් තම ඉතිහාස පොතේ සඳහන් කරන්නේ මෙසේ ය. පෙරදිග සමාජයේ නිදහස් එක පුද්ගලය යි. ඒ රජතුමා ය. ග්‍රීක සමාජයේ ටික දෙනෙක් නිදහස් ය. ඒ, රජ සහ වහල් හිමියන් ය. බටහිර සමාජයේ සියලු දෙනා නිදහස් ය. මන්දයත්, ප්‍රංශයේ ලුවී රජතුමාගේ හිස ගිලටීනයෙන් කපා දමා ‘බලය’ රඳන තැන හිස් කරන ලද නිසා ය. මේ හිස්තැනට බටහිර දී ප්‍රජාතන්ත්‍රවාදීව හෝ යම්කිසි සමාජ දෘෂ්ටිවාදයකින් ඕනෑම පුරවැසියෙකුට පාලකයෙකු ලෙස ආදේශ වීමට පුළුවනි.[Lenin]

                       

                    මේ තත්වය ව්‍යූහාත්මක වශයෙන් පෙරදිග දී විශේෂයෙන්, ලංකාවේ දී වෙන්නේ මෙහෙමයි. අපේ රටේ රජතුමාව ‘බලයෙන්’ (Power) ඉවත් කරන්නේ මහජනයා විසින් කැරැල්ලකින් නොව බටහිර සුදු ජාතිකයා විසිනි. එම තත්වය විසින් රජතුමාගේ අන්තේවාසිකයන්, යටත්වැසියන්ව එකවරම සුදු ජාතිකයාගේ ‘වහලුන්’ බවට විස්ථාපනය කරයි. මෙය සිදු වන්නේ, පාලන තන්ත්‍රයේ මට්ටමින් මිසක් පාලිතයන්ගේ මට්ටමින් නොවේ. මේ හිස්තැන නිසා යටත්විජිතයේ පාලිතයන් ‘අදත්’ සුදු ජාතික ස්වාමියා 1948 දී ලංකාවෙන් ගියා කියලා දන්නේ නැත. මේ නිසා, අදටත් ලංකාවේ මිනිහෙක් කුමන හෝ සමාජ හෝ දේශපාලන හෝ පුද්ගලික වැඩකට ‘සමාජ සංකේත ලෝකය’ හරහා ගියහොත් ‘ස්වාමි-වහල්’ සම්බන්ධයක් නිර්මාණය වනවා මිස වෙන දෙයක් වෙන්නේ නැත.

                     මේ පිළිබඳව ඉතාම විශිෂ්ට නිරීක්ෂණය කර තිබෙන්නේ, ඇල්ජීරියාවේ කලු ජාතිකයකු වූ ‘ෆ්‍රාන්ස් ෆැනන්’ විසිනි. ඔහු තමන්ගේ ‘කලු හම සමඟ සුදු වෙස්මුහුණු’ නම් කෘතියට පහත පළ වන පාද සටහන එලන ලදි. 

         “හේගල්ගේ දර්ශනවාදය තුළ අන්‍යෝන්‍යභාවය පිළිබඳ සංකල්පයක් ඇත. නමුත්, ‘යටත්විජිත ස්වාමියා’ (Master) යටත්විජිත වැසියාගේ (වහලා-Slave) විඥාණයට හෝ දැනුමට සිනාසෙයි. යටත්විජිතය තුළ දී ස්වාමියාට යුරෝපයේ දී මෙන් නොව යටත්විජිත වැසියා නොහොත් වහලාගෙන් අවශ්‍ය වන්නේ, සමාජ පිළිගැනීම නොව ශ්‍රමය යි.[Work] නැතහොත්, ඔහු/ ඇය විසින් කරන කාර්යයි.

                  එලෙසින්ම, හේගල්ගේ ‘විඥාණයේ ස්වයංවර්ධනය’ වෙනුවට යටත්විජිතය තුළ සිදු වන්නේ වෙනස්ම විපරිවර්තනයකි. හේගල් තුළ දී මෙන් තම අනෙකාගේ ‘සිතීම’ හරහා තමාව වස්තුවක් වන හැටිත්, එම වස්තුව නිශේධනය කිරීමෙන් විමුක්තිය ලබා ගැනීමේ විවරයක් ද, යටත්විජිතය තුළ හෝ පශ්චාත්-යටත්විජිතය තුළ සිදු වන්නේ නැත. ඒ අනුව, වහලාගේ ශ්‍රමය හරහා ස්වාමියාට හෝ වහලාට යන දෙදෙනාටම අනන්‍යතාවයක් නිපදවෙන්නේ ද නැත. නීග්‍රෝ වහලාට හෝ දකුණු ආසියාවේ වහලාට අවශ්‍ය වන්නේ, ‘මාස්ටර්’ මෙන් වීමටයි. කරුණාට අවශ්‍ය වන්නේ, සිංහල පීඩනයෙන් විමුක්තිය ලැබීමට නොව ප්‍රභාකරන් මෙන් මාස්ටර් කෙනෙකු වීමට ය. ඔහු ආශා කරන්නෙක් නොව ප්‍රභාකරන් මෙන් වීමට අවශ්‍ය කෙනෙකි. එසේ කරන්නේ, ඔහුගේ අනන්‍යතාවය යට ඇති අශ්ලීල ප්‍රමෝදය තෘප්ත කර ගැනීමට ය. එබැවින්, කරුණා හෝ උපතිස්ස ගමනායක හෝ නිර්මාල් හේගලියානු වහලාට වඩා ස්වාධීනත්වයෙන් අඩු කෙනෙකි.හේගල්ගේ දර්ශනයේ දී වහලා තම ස්වාමියාගේ ප්‍රතිරූපයෙන්-image- ඉවතට හැරී ඔහුගේ විඥාණ ආකෘතිය දෙසට සමතික්‍රමණය උදෙසා හැරෙයි. නමුත්, දකුණු ආසියාවේ දී, අප්‍රිකාවේ දී වහලා මාස්ටර්වරයා දෙසට අනුරාගයෙන් හැරී ඔහුගේ සීමාව අතහරියි. 

  • ෆ්‍රාන්ට්ස් ෆැනන්; පරිවර්තනය නවීකාරක කර ඇත –

Post-modern-post-colonial recognition? [ Deconstructed Spivak?]

                      ඉහත උපුටා ගැනීම සමාජ පරිවර්තනය උදෙසා අප පාවිච්චි කරන්නේ නම්, අපට දේශපාලනය පිළිබඳව මෙතෙක් පැවති පුරුදු අත හැරීමට සිදු වෙයි. ඉහත උපුටනය අප සිංහල සන්දර්භයට අනුව අර්ථකථනය කරන්නේ නම්, තත්වය මෙලෙස වටහා ගත හැකි ය. පළමුවෙන්ම, බටහිර දී මෙන් දයලෙක්තික පරිවර්තනය ලංකාවේ දී සම්පූර්ණ වන්නේ නැත. මන්දයත්, ‘විනෝදය’ මිස ‘පිළිගැනීම’ ලංකාවේ දී වහල් විඥාණයට වැඩක් නැති නිසා ය. එබැවින්, සමාජීය වශයෙන් අපට ඇත්තේ ‘නො පැවැත්මකි’.[non-being]

                    අපි උදාහරණයක් ගමු. බොහෝ ලිබරල්වාදීන්ට අනුව ‘මංගල සමරවීරට’ ලිබරල් අනන්‍යතාවයක් බුර්ෂුවා සමාජයෙන් ලැබී ඇත. නමුත්, රනිල් වික්‍රමසිංහ නම් මාස්ටර්වරයාගේ පැත්තෙන් ගත් කළ තත්වය කෙසේද? මා මේ කියන සිදුවීම මට කියන්නේ, රනිල්ගේ රසිකයෙකි. ඔහුගේ නිර්ණායකයට අනුව පුද්ගලයෙකු ඉහළ පන්තියට අයත් වන්නේ, විස්කි වීදුරුවට විස්කි පුරවන ආකාරය අනුවයි. රනිල් කරන්නේ, මුලින් වීදුරුවට අයිස් කැටයක් දමා අසළ අයෙකුට විස්කි පිරවීමට ආරාධනා කිරීමයි. මංගල කරන්නේ, ‘විස්කි’ කෙලින්ම වීදුරුවට හෙතෙම විසින්ම දමාගෙන පසුව අසළ අයෙකුට කියා අයිස් කැටයක් දමා ගැනීම ය. මෙතැනදී, විස්කි උදාහරණයේ අන්තර්ගතය අදාළ නැත. රනිල් රසිකයා විසින් මංගලව කියවන ආකෘතිය -form- අප ඉහත පහදන ලද ෆැනන් ආකෘතිය යි. රසිකයාට අනුව මංගල යනු, රනිල් මාස්ටර්වරයාට අනන්‍ය වූ සහ අනුකරණය කරන්නෙක් මිස රනිල්ගෙන් විමුක්තිය ලබන්නෙකු නොවේ. මංගල ලිබරල්වාදියෙක් යැයි කියන (ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන නිසා සහ ඉහළ පන්තියේ සන්නාහ නාම එල්ලාගෙන ඇති නිසා) පහළ පන්තියේ ගැමියන්ට රනිල් සහ මංගල අතර අවිඥාණක තලයක පවතින Master-Slave සම්බන්ධය නො වැටහෙන අතර ඔවුන් සිතන්නේ, රනිල්-මංගල සුසංයෝගය ලිබරල් එකක් බවයි. ඔවුන්ගේ ලිබරල්වාදය යනු, බයියන්ට විනෝදය සපයන බයි මිථ්‍යාවකි.

                    අප නැවතත් යටත්විජිත හිමියා හැරගිය ‘පශ්චාත්-යටත්විජිත සංකේත ලෝකය’ පරීක්ෂාකර බලන්නේ නම්, ඒ තුළ දී මවුන්බැටන් නිශේධනය කර ගාන්ධි නිර්මාණය කිරීම අනන්‍යතා හුවමාරුවක් බව වැටහේ. අප සංකේත අනන්‍යතාවල සහසම්බන්ධ ප්‍රතිපක්ෂ වලට (ශේක්ස්පියර්/ සයිමන් නවගත්තේගම, මාක්ස්/ නලින් ද සිල්වා) එහා යා යුතු ය. කොටින්ම, යටත්විජිතහරණය යටත්විජිත සුදු ස්වාමියා භූමියෙන් ඉවත්ව ගියාට පසුව ද සිදු විය යුතු ය. යටත්විජිත ස්වාමියා තනා නිම කළ ‘සංකේත යථාර්ථය’ පවතින තුරු අප නිදහස් නැත. අප මෙතැන දී භයානක ලෙස නලින් ද සිල්වාට සහ සිංහල ජාතිවාදයට සම්පාත වන බවක් පෙනේ ද?

නැත. අප අතර පැහැදිලි බෙදුම්කඩනයක් ඇත. නලීන් අපගේ ‘පශ්චාත්-යටත්විජිත සංකේත අනන්‍යතාවයන්ට’ (මහාවංශය, රුවන්වැලි සෑය, සිංහල වෙදකම, අපේ ප්‍රවාද, ජාතික චින්තනය) තදාත්මික වෙයි. අප මේ කිසිවකට අනන්‍ය නො වන්නේ, ඒවා සියල්ල ද සුදු ස්වාමියාගේ සංකේත ලෝකයේම කණපිට පැත්ත නිසා ය. මංගල නම් වහලාට ඉංග්‍රීසි ඉගෙන ගත්තාට, ඒ සංස්කෘතියේ සන්නාහනාම පාවිච්චි කළාට විමුක්තිය ලැබිය නො හැකි ය. මැල්කම් X කියන්නාක් මෙන් අප අපගේ මූලයන් සොයා ගෙන අප්‍රිකානු වනාන්තරයට හෝ රුවන්වැලිසෑයට පසු බැසිය යුතු නැත.

                   ෆැනන් කියන්නාක් මෙන් අප ‘මනෝවිශ්ලේෂණය’ යුරෝපීය නොවන ආකාරයකින් භාවිතා කළ යුතු ය. එහි දී, අප විශ්ලේෂණය කළ යුත්තේ අපගේ ‘සංකේත අනන්‍යතාවයන්’ [Symbolic identities] නොව එමගින් අපට පොරොන්දු වන අශ්ලීල විනෝදයන් ය.[enjoyments] මංගලගේ සමලිංගිකත්වය Ethical Homosexuality නොවී Vulgar වන්නේ, ඔහු එමගින් සෙව්වේ අශ්ලීල විනෝදයක් මිස ආදරය නොවන නිසා ය. අප ටයි කෝට් දැම්මාට ශීලාචාර නො වන බව මතක තබා ගන්න!

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ජාතිවාදයෙන් ජාතික විමුක්තිය වෙන් කිරීම.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //සිංහල අධිපති පිරිමියා ආශා කරන්නේ, සුදු හම සහිත ස්ත්‍රියට ය. මේ ආශාව ඔහුට එන්නේ, ඕපපාතිකව ය. එනම්, සුදු හමට කලු හම සහිත පිරිමියෙකු ආශා කිරීම එන්නේ යටත්විජිත සුදු ස්වාමියාගේ කතිකාවෙනි. එවිට, එවැනි ආශාවක් සහිත පිරිමියෙකුට කැමති වන ස්ත්‍රියක් ‘ස්ත්‍රියක්’ නොවන අතර වහලියකි.//දැන් මම බැඳලා ඉන්නේ සුදු ගැහැනියක්. මම හිතන්නේ මම එයාව බැන්දේ මට කතා කරන්න පුළුවන්, ඇවිදින්න යන්න පුළුවන් ගැහැනියක් නිසා කියල. සුදු පාට මට පෙනුන කියල මට හිතෙන්නේ නැහැ. අපි මුලින් හොන්ඩ යහළුවෝ දෙන්නෙක් විතරයි. මට ඒ වගේම කළු ගැහැනියක් ලැබුන නම් බඳින්න ඉඩ තිබ්බ. අනික ඇය මට හමුවුණු පළමු සුදු ගැහැණියත් නොවේ. ඒ නිසාම මේම මට අදාල වෙන්නේ කොහොමද? හයි ලංකාවේ එහම “සුදු” ප්‍රශ්නයක් තිබෙන බව නම් පේනවා.

Comments are closed.