”1980 සහ 90 දශකයේ තමා නිරත වූ දේශපාලනය ගැන ආවර්ජනය  කරමින් ස්ලෝවේනියානු දාර්ශනික ස්ලෙවෝයි ජිජැක් මෙසේ පවසයි. ”මම දේශපාලනයට එනකොට මම පූර්වයෙන් දේශපාලන ධාරා දෙකක් තිබුණා. එකක් ෙහෙඩගර්වාදීන්. අනෙක පශ්චාත් – මාක්ස්වාදීන්. මම මේ දෙකෙන්ම මඳක් වෙනස් මඟක හිටියෙ. මගේ දේශපාලනය කොටුවෙලා තිබුණෙ ඉතාම සීමාසහිත රාමුවක. මට වුවමනා වුණේ ස්ලෝවේනියාව තවත් එක් ක්‍රෙඒෂියාවක් හෝ සර්බියාවක් වෙන එක වළක්වන එක. මොකද ඉතාම ප‍්‍රබල ස්ලෝවේනියානු ජාතිවාදී ව්‍යාපාරයක් මේ වන විටත් ස්ලෝවේනියාව පුරාම හෙජමොනික වෙමින් පැවතුණා. මගේ මූලිකම දේශපාලනය වුණේ ඒක. (ජිජැක් සමඟ සංවාදය – පිටුව 49 – පොලිටි ප‍්‍රකාශන 2004). ජිජැක් විසින් කරන ලද මෙම ආවර්ජනය අපගේ දේශපාලනය සඳහා ද කොතරම් අදාළ වේදැයි මඳකට සිතන්න. මන්ද එය: අප අක‍්‍රිය බුර්ෂුවා විචාරකයන් පිරිසක්ද, න්‍යාය පමණක් කතා කරන ප‍්‍රායෝගික නැති හුදු චින්තකයන් පිරිසක් පමණක්ද, ‘20 වන සියවසේ වාමවාදය අවසන්’ යන ප‍්‍රස්තුතය සමාජගත කරන හුදු නාස්තිකවාදීන් පිරිසක් පමණක්ද යන ප‍්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙන බැවිනි.”

ප‍්‍රධාන ධාරාවේ වම 1990 දශකය පුරාම අධි-ක‍්‍රියාකාරී ලෙස නිමග්නව සිටියේ දක්ෂිණාශිකයන්ටත් වඩා අන්ත ජාතිවාදයකය. 2000 දශකය ගෙවී ගියේද එම ජාතිවාදයේම භෞතිකකරණය වෙනුවෙනි. අද ඔවුන් එම සළු ගලවා වීදි සටන්වල නියැළෙයි. අද දිනයේ ද එම අරුම පුදුම පන්ති සටන් සඳහා වැඩිම සහයෝගය සහ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ ලාංකික ජාතිවාදයට පක්ෂ බලවේග විසිනි.

එනයින් එක් අතකින් අප ජාතිවාදයට එරෙහි බැවින් අපගේ වැඩපිළිවෙළට විශාල මාධ්‍ය අවකාශයක් හසුරුවන ජාතිවාදීන් ඉඩක් දෙන්නේ නැත. අනෙක් අතට මාක්ස්වාදී යැයි කියාගන්නා බලවේග ද අවසාන විග‍්‍රහයේ දී ජාතිවාදීන් වීමට නියමිත බැවින් ඔවුන් අප සමඟ නරුමවාදී දුරක් නඩත්තු කරයි. අපට යම් හෝ ඉඩක් දෙන්නේ දක්ෂිණාංශික ලිබරල් බලවේග වන අතර ඔවුන් ද ඡුන්ද පදනම් කරගත් ජනප‍්‍රියවාදයේ ගොදුරු වීමට ඉඩ ඇති බැවින් අපගේ කතිකාවේ රැඩිකල් අන්තර්ගතය සමඟ දුරස්තය. අප මේ සටහන් කළේ අපගේම සීමා ගැනය. නමුත් වඩා රැඩිකල් වනු ඇත්තේ වීදි සටන් කිරීම ද නැත්නම් සත්‍යය දෘෂ්ටිවාදය ප‍්‍රශ්න කිරීම ද යන්න අනාගතය විසින් තීන්දු කරනු ඇත.

සත්‍යය ලෙස බලය බෙදී යන්නේ නම් සහ ආන්තික සුළු ජන කොටස් වෙත ස්වයං – තීරණ අයිතීන් ලබා දෙන්නේ නම් කුමන ආකාරයක හො නව ව්‍යවස්ථාවකට පක්ෂපාතී වී තම අතීත කතිකාව තුළ ශේෂ වී ඇති මස් – ලේ – ඇටවලින් නිදහස් වන ලෙස අප නරුම වාමාංශිකයන්ගෙන් ඉල්ලා සිිටිමු. ඊට පසුව අපි ලෙනින් ගැන සහ පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර ගැන කතා කරමු. මොන මඟුලක් වුවත් වගේ වගක් නැතිව සිටින ‘බුද්ධිමතුන්’ හට අප මෙසේ කියමු. අපේ වැඬේ කරදීමට පිටින් කවුරුත් එන්නේ නැත. අපේ වැඬේ කරගන්න වෙන්නේ අපටමය. නැවත ලේ ගංගාවක් ගලා යෑම නතර කිරීමට වෙන කවුරුත් පෙරට නොඑන අතර එය කළ යුත්තේ අපමය. එයද කළ යුත්තේ මේ මොහොතේමය. ලෙනින්ගේ පාඩම එයය.

 

ඔබේ අදහස කියන්න...