මා 2015 සැප්තැම්බර් මාසයේ මා “ කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ” මැයෙන් ලිපියක් ලීවෙමි. මේ ලිපිය අවසානයට මා  කෝබින් හැඳින්වූයේ පශ්චාත් නූතන මාක්ස්වාදියෙකු ලෙසය. පසුගිය වසර එකහමාර තුල තම පක්ෂය තුල දෙවන ඡන්ද විමසිමකටද මුහුණ දී දැවැන්ත ඡන්ද සංඛ්‍යාවකින් ප්‍රබල ලෙස නැවතත් නායකයා  ලෙස තේරී පත්වුණු කෝබින් දැන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා  මේ සමග මහා මැතිවරණයකට මුහුණ දී සිටියි.

එම වසර එකහමාර තුල මා කෝබින් ගේ දේශන  මෙන්ම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ දේශපාලනය පිලිබඳ දැඩි විමසිල්ලකින් පසුවීමි.  කෝබින් මාක්ස්වාදියෙකු හෝ පශ්චාත් නූතන මාක්ස්වාදියෙකු නොවේය යන තීරණයට එළඹුණේ ඉන් පසුවය.

මාක්ස්වාදියෙක් යනු අප කවුරුත් දන්නා පරිදි මාක්ස්ගේ “ප්‍රාග්ධනය” කෘතිය කියවා හෝ උඩින් පල්ලෙන් කියවා  හෝ  නොකියවා හෝ මාක්ස් සහ එංගල්ස් ගේ ආර්ථික නියමයන් සහ අදහස් අනුමත කරන්නෙකි. එසේම ඒ අනුව විප්ලවීය වෙනසක් ඇති කිරීම තුලින් කොමියුනිස්ට් වාදී  සමාජයක් පිහිටුවීමට කටයුතු කළ හෝ කරන්නෙකි.

ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් ආදීන් මාක්ස්වාදීන් වූහ.

මාක්ස්ගෙ හා එංගල්ස් ගෙන් පසු මාක්ස් ගේ නියමයන් හා ආර්ථික විද්‍යා තර්ක වඩා දියුණු කළා යයි සැලකෙන ලෙනින්, ට්‍රොට්ස්කි හා ස්ටාලින් ගෙන් ඒ  ඒ වාදයන් ද පසුව මාඕ ගෙන් මාඕ වාදයද බිහි විය. මේ අනුව  මාක්ස්ලෙනින්වාදය, ට්‍රොට්ස්කි වාදය, ස්ටාලින් වාදය සියල්ලම පශ්චාත් මාක්ස්වාදී  (post-marxist) ගණයට දැමිය හැකිය.  චේ ගුවේරා හා කස්ත්‍රෝ මාක්ස්වාදීන් වූයේ පසුවය. මාඕ සේතුන්,  කාම්බෝජයේ පොල්පොට්, වියට්නාමයේ හෝචි මින්,  උතුරු කොරියාවේ කිම් ඉල් සුන් මෙන්ම ලංකාවේ විජේවීර ද පශ්චාත් මාක්ස්වාදීන් ලෙස සැලකිය හැකිය. ඔවුන් මාක්ස්ලෙනින්වාදය මෙන්ම මාඕ වාදයද අනුගමනය කළහ.

පශ්චාත් නුතනවාදය හෙවත් postmodernism ගැන සම්පුර්ණ පොත් පවා ලියා  පළ කර ඇති හෙයින් ඒ ගැන වඩා කිසිවක් නොලියමි. ගූගල් සෙවුමේ බොහෝ ලිපි තිබේ.

පශ්චාත් නුතනවාදීන් ගෙන් සමහරක් මාක්ස්වාදය හා පන්තිය (පන්ති අරගලය)  මියගොස් ඇති බවත් ඇත්තේ භූගෝලීය (වශයෙන් සම්බන්ධ) ප්‍රාදේශීය තත්වයන් පමණක් බවත් කියති.  පශ්චාත් නුතනවාදී බහුත්ව වාදය (pluralism), බලය සහ ආශාව, සුළු පරිමාණ නිෂ්පාදනය, ප්‍රාදේශීය කථනය (narrative), ස්වදේශීය ගෘහනිර්මාණය හා ස්වදේශීය ස්ථානයන් වඩා වැදගත් ස්ථානයක් ගනී. (ජුලී ග්‍රැහැම් – post-modernism and marxism)

මේ කුලකය තුල සැඟවෙන පශ්චාත් නූතන  මාක්ස්වාදීන් බොහොමයක් සිටි.  පශ්චාත් නුතන මාක්ස්වාදීන් ගැන කතා කිරීමේදී මුලින්ම මතකයට නැගෙන්නේ ෆ්‍රෙඩ්රික් ජැමිසන් බව සැබෑය. නමුත් පශ්චාත් නුතන මාක්ස්වාදියා යනු මාක්ස්වාදී අඩිතාලමේ හිඳිමින්ම සියළුම අනිකුත් වාදයන් (ලෙනින්/මාඕ ආදී වශයෙන්) අතික්‍රමණය කරමින් නුතන ධනවාදයට සාර්ථකව මුහුණ දීමට හෙවත් මාක්ස්වාදයේ පසුබෑමට හේතු සොයන්නෙකි යයි කිවහොත් නිවැරදි යයි සිතමි.

පශ්චාත් නුතන මාක්ස්වාදීන් මාක්ස්වාදය මියගොස් ඇති බවක් විශ්වාස නොකරයි. මාක්ස්වාදී අඩිතාලමේ සිට ඉදිරියට යාමට හැකි මං පෙත් සෙවීමක්  සඳහා ඔවුහු නොයෙකුත් ගුරුකුල නිර්මාණය කිරීමේ කාර්යයක යෙදී  සිටිති.  මගේ අදහස නම් ඒ බටහිර චින්තකයන් වන ඇලන් බදියූ, පියරේ බදියූ, අන්තෝනියෝ  ග්‍රාම්ස්චි, එර්නේස්ටෝ ලක්ලව්,  ඇලෙක්සැන්ඩර් ටරාසොව් හා ස්ලාවොයි ජිජැක් ආදීන් බවයි.  විකිපෙඩියා හි මේ යොමුවේ එවැනි චින්තකයන් ගේ නම් හා විස්තරයක් දක්වා තිබේ. 

මේ අනුව මා  ඉහත මුල් ලිපියේ (කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ) සඳහන් කළ අන්දමට කෝබින් පශ්චාත් නූතන  මාක්ස්වාදියෙකු වන්නේ නැත. කෝබින් රූපවාහිනී සාකච්චාවකදී  කීවේ ඔහු මාක්ස් ආර්ථිකය පිලිබඳ විශේෂන්ඥයකු ලෙස අගයන බවයි. එසේම ඔහු ඇඩම් ස්මිත් හා රිකාඩෝ ආදීන්ගේ ලේඛන ද කියවූ බව පැවසීය.    නමුත් හේතුව එයම පමණක් නොවේ.

උත්තරය ඇත්තේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලය. කම්කරු පක්ෂයේ ඡායා මුදල් ඇමති ජෝන් මැක්ඩොනල්ඩ් කියුවේ මාක්ස් ගේ “ප්‍රාග්ධනය ” කියවීමෙන් ඔහු බොහෝ දේ දැනගත් බවයි. ඔබ එම පොතට එකඟ වූවත් නොවූවත් එය කියවීම වැදගත්ය. “ප්‍රාග්ධනයට” එරෙහිව බවෙර්ක් වැනි අය පොත් පළකලේ එය කියවාය.

නමුත් කම්කරු පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ ඇත්තේ නෝර්ඩික් මොඩලයයි. එනම් එහි දැක්වෙන්නේ ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය හා නොර්වේ රටවල ආර්ථික  මොඩලයට සමාන ආර්ථික ක්‍රමයකි . මෙය බ්‍රිතාන්‍ය ආර්ථික විශේෂන්ඥයකු වන ජෝන් මේනාර්ඩ් කේන් කෙය්නිසියානු (Keynesian) ගේ ආර්ථික  දැක්මට වඩාත්  සමානය.

උදාහරණයක් වශයෙන් මේ මැතිවරණ ප්‍රකාශනයේ ඇත්තේ දුම්රිය සේවා නැවත රාජ්‍ය පාලනයට හෙවත් මහජන පාලනයකට යටත් කරන බවයි. (public ownership). මෙය තැචර්වාදයෙන් පිට පැනීමකි. ඇත්තටම බ්‍රිතාන්‍යයේ දුම්රිය සේවා මිල අධික (ටිකට් පත්) වන අතරම සේවාවන්ද දුර්වලය.  වෙලාවට වැඩ කරන ලාභ ලබන රජයට අයත් දුම්රිය සේවා ජර්මනිය, ප්‍රංශය , ඉතාලිය, ස්වීඩනය හා අනිකුත් යුරෝපා  රටවල තිබේ. ඒ කියන්නේ මේ ගෙනෙන්නට හදන්නේ යුරෝපයේ නොතිබෙන ප්‍රතිපත්තියක්   නොව යුරෝපීය ජනතාව අතර ජනප්‍රිය(populist)  ප්‍රතිපත්තියක් බවයි.

මේ අක්ෂය වෙබ් අඩවියේ ලිපියේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතත් එහි අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධ ලියවිල්ල අපැහැදිලිය. ලිපියේ මාතෘකාව වන්නේ “තම ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන බවට බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂය ප්‍රතිඥා දෙයි” යන්නකි.  මේ මාතෘකාවම  වරද සහගතය. මගේ ඉහත මුල් ලිපියේද සඳහන්  අයුරු බ්‍රිතාන්‍යයේ නිදහස් අධ්‍යාපනය නැති වූයේ නැත. එංගලන්තයේ  අධ්‍යාපනය පළමු පන්තියේ සිට විශ්ව විද්‍යාලවල තෙක් 1998 වසර දක්වා නොමිලේ ලබා දුන් අතර රාජ්‍ය විශ්ව විද්‍යාල බොහොමයක්ද පෞද්ගලික විශ්ව විද්‍යාල 7ක්  පමණද විය. 1998 දී එවකට ටෝනි බ්ලෙයාර් ගේ කම්කරු පක්ෂ ආණ්ඩුව මගින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වසරකට පවුම් 1000 ක මුදලක් අය කිරීමට යෝජනා කර සම්මත කර ගති. මේ මුදල පසුව කම්කරු පක්ෂ ආණ්ඩුව මගින්ම වැඩි කරන ලද අතර කොන්සර්වටිව් ආණ්ඩු කාලයේ දී මේ ටියුෂන් ගාස්තුව සරකට පවුම් 9000 දක්වා වැඩිවිණි. සියලුම සිසුන්ට පොලී  රහිත සිසු ණයකට අයදුම් කළ හැකිය. වසරකට පවුම් 10,000 වඩා පඩි ඇති රැකියාවක් කරන්නේ එම ණය කපා ගනු ලැබේ. නමුත් මේ අය කිරීම ක්‍රියාත්මක වූයේ එංගලන්තයේ පමණි. වේල්සය හා ස්කොට්ලන්තය දිගටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන තුරුම අධ්‍යාපනය නොමිලේ ලබා දේ. 

කෝර්බින් ගේ කම්කරු පක්ෂ ප්‍රකාශනයේ අහෝසි කරන්නට යෝජනා කරන්නේ කම්කරු පක්ෂයම පැනවූ මේ  එංගලන්තයේ විශ්ව විද්‍යාල අය කරන ගාස්තුවයි. එනම් 1998 තිබු තත්වයට රැගෙන යාමයි. එසේම තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල සුළු ප්‍රමාණය  අහෝසි වන්නේද නැත. පදනම් (trust – ලාභ නොලබන ආයතන ) මගින් පාලනය වන විලියම් කුමරු උගත් ස්කොට්ලන්තයේ සෙන්ට් ඇන්දෘව්ස් වැනි විශ්ව විද්‍යාල , ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල වලට දිගටම ළමුන්ගෙන් මුදල් අය කිරීමට  හැකිය. ඒවා නැති  කරන්නේද නැත.  එයට හේතුව එම විද්‍යාල වලට  ලැබෙන මුදල් පර්යේෂණ ආදිය  සඳහා නොමසුරුව වැය කරන බැවින් හා ඒවා පාලනය වන්නේ ලාභ නොලබන පදනම් වලින් බැවිනි.

ඊළඟට කෝබින්ලා කියන්නේ බලශක්තිය (විදුලිය , ගෑස් ) හා ජලය විකුණන ව්‍යාපාර මහජන පාලනයට පවරා ගන්නා බවයි. මිට ද හොඳ හේතු  කිහිපයක් තිබේ. එකක්  නම් මේ පෞද්ගලික ව්‍යාපාර වල තරඟකාරීත්වය නිසා වඩා හොඳ අඩු මිල සේවාවක් ජනතාවට දෙතියි බලා පොරොත්තු වූවත් එය සිදු නොවීමයි. එම ආයතන එකිනෙකා  හා සාකච්චා කර මිල ඉහල නැංවූ අතර ලාභය නැවත ආයෝජනය කරන්නටද මැලි වුනි. ජලය සපයන තේම්ස් වෝටර් කොම්පැනියේ ජල  නාස්තිය පසුගිය අවුරුදු වල ලීටර ලීටර දශ ලක්ෂ ගණනක් විය.  එනිසා මේවා පවරා ගැනීමට මහජන සහය තිබෙන බව ජනමත විමසුම් වලින් පෙනී යයි. 

අනිකුත් ප්‍රතිපත්ති ගැන කතා කරනවා නම් පෞද්ගලික රක්ෂණය මගින් අවශ්‍ය අයට  පුද්ගලික රෝහල් වල පෞද්ගලික ප්‍රතිකාර ලබා ගත හැකි අතර නිදහස් සෞඛ්‍ය සේවයට යොදන මුදල් ප්‍රමාණය වැඩි කර එය දියුණු කිරමට යෝජනා කරනු ලැබේ. එහි සේවා පෞද්ගලික ආයතන වලට දීම නතර කෙරේ.  

මේ සියල්ල අඩු  වැඩි වශයෙන් යුරෝපා රටවල හා නොර්ඩික් රටවල ක්‍රියාත්මක වේ. මේ නිසා මේ රටවල ජනයාගෙන් අය කරන බදු මුදල වැඩිය.  කම්කරු පක්ෂ ප්‍රකාශනයේද සඳහන් වන්නේ වසරකට පවුම් 123,000 වැඩියෙන් වේතන ලබන අයගෙන් 50% බදු අය  කරන්නටය. බ්‍රිතාන්‍යයේ ඉහල වේතන ලබන 5% ප්‍රමාණයක් මේ බදු වැඩි කිරීම බල පායි. මහා පරිමාණ ව්‍යාපාර  (corporate tax)  බදු 19% සිට 26% දක්වා වැඩි කෙරේ. මෙය එක්සත් ජනපදයේ 39% හා ප්‍රංශයේ 33% ට වඩා අඩු බදු ප්‍රමාණයකි. එසේම දැනට බදු නොගෙවා කුඩා කැරිබියන් රටවල  (tax heavens නමින් හැඳින්වෙන )  ලියා  පදිංචි කර ඇති මහා පරිමාණ ව්‍යාපාර වලට බදු ගෙවන්නට අණ කෙරේ.

මේ යෝජනා මාක්ස්වාදී කොමියුනිස් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. එවැන්නක නම්  අනිවාර්යයෙන්ම පෞද්ගලික දේපල අයිතිය තහනම් කරේ.  පෞද්ගලික ව්‍යාපාර නඩත්තුවක් නැත. කෝබින්  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය දීමට ඒවායේ බදු අඩු කිරමටද ණය මුදල් පහසුවෙන් ලබා දීමේ ක්‍රමයක්ද යෝජනා කරයි.  පෞද්ගලික නිවෙස් පවරා  ගැනීමක් මෙහි නැත. ඒ වෙනුවට නිවාස 100000 ඉදි කිරමට යෝජනා කර තිබේ.

කෝබින් සහ පිරිස තමන්ව හඳුන්වා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් පිරිසක් වශයෙනි.

තෙරේසා මේ හා කෝබින් පාර්ලිමේන්තු ප්‍රශ්න වාරයේ 

එසේ තමන් හඳුන්වාගත් රටවල් දෙකක් මගේ සිහියට නැගේ. එකක් නම් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයයි (නැගෙනහිර ජර්මනිය) . (DDR).  නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයට අමතරව තවත් ගොවි ජන පක්ෂ දෙකක් රාජ්‍ය පාලනයේ සිටි අතර රටවැසියන්ගේ නිවාස සහ සමහර ඉඩම් පවරා ගත්තේ නැත. මේ නිසා ඔවුන් සමාජවාදී රටක් වශයෙන් නම් කරන්නට සෝවියට් දේශය කැමැත්ත පල කෙළේද නැත. සමාජවාදී කඳවුරේ  සිටියත් ස්ටාසි ඔත්තු සේවා හරහා දරුණු පාලනයක් ගෙන ගියත් ඔවුන් තමන් නම් කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදීන් වශයෙනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදීන් ලෙස හඳුන්වන තවත්  රටක් තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 ව්‍යවස්ථා වෙනසක් කර ජනාධිපති ධුරයට  පත්වන විට ශ්‍රී ලංකාව නම් කලේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙසයි.  නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය සහ රජය මගින් පාලනය වන දුම්රිය සේවයක් මෙන්ම පර්මිට් වලට සුඛෝපභෝගී වාහන ලබා ගන්නා නිලධාරී පන්තියක් ද සිටින හෙයින් මෙසේ නම් කළා වෙන්නට පුළුවන.

මෙම මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කළ දවසේ සිට කෝබින් හා කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය වැඩි වී තිබේ.

පහත සඳහන් අනුපිලිවෙල බලන්න-

1.මැයි 21 දා වනවිට – මැතිවරණයක් පවත්වන බව ප්‍රකාශ කරද්දී කොන්සර්වටිව් හෙවත් ටෝරින් ගේ පක්ෂය කෝබින් ට වඩා 20% ප්‍රතිශතයකින් ඉහල සිටියේය. (කොන්සර්වටිව් 49%, ලේබර් 29%) පසුගිය 21ද වනවිට මේ තත්වය සහමුලින්ම වෙනස් වී කොන්සර්වටිව් 44% සහ ලේබර් 35% වී පරතරය 9% දක්වා පහත වැටුණි. බ්ලෙයාර් දිනන විට ඔහුට තිබුනේ 34% ජන මත විමසුම් සහයකි (poll ratings)

2. ප්‍රථම වරට වේල්සයේ ලේබර් පක්ෂය අංක 16% ඉහල ගියේය. එනම් මැතිවරණයට සති දෙකක් තිබියෙදී කෝබින් ගේ ජනප්‍රියත්වය වේල්සයේ දෙගුණ විය.

3. චන්දයට ලියා පදිංචි කරන අන්තිම දවසේ තරුණ තරුණියන් 250,000 ලියා පදිංචි වුනහ.  ඔවුන්ගෙන් වැඩි හරියක් කෝබින්ට ඡන්දය දෙන බවටද ප්‍රකාශ කළහ.

4.  හදිසියේම ලිබියන්  අන්තවාදියෙකු බෝම්බයක් පුපුරවන ලදී. ළමුන් හා වැඩිහිටියන් ඇතුළු 22 ක් මියගොස්  64ක්  තුවාල ලැබූහ.  තරුණ තරුණියන් රැස්වූ සංගීත සංදර්ශනයකදී බෝම්බකරු පුපුරුවා  ගත්තේය.

5. මේ ලිබියන් අන්තවාදියා අබේදී ගේ පියා ගඩාෆි ඉවත් කිරීමට  ඇමෙරිකන් සහය ඇතුව සටන් කළ ගරිල්ලා කණ්ඩායමේ අයෙකි.  අබේදී  සිරියාවේ අසාඩ් ට විරුද්ධ සටනේ සිටි අතර ඔහු සිරියානු අයිසිස් වරුන් සමග පුහුණු වූ අයෙකි.

5.  මේ ලිබියන් “අබේදී” බවට මුලින්ම කරුණු ප්‍රකශ කළේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන්ය. ඔත්තු සේවාවන් ඔහු ගැන දැන සිට ඇත.

6. මැන්චෙස්ටර් යනු ලේබර් බලකොටුවකි. එහි නගරාධිපති ඇන්ඩි බර්න්හම් 62% ඡන්දයක් ලබා පසුගිය සතියේ බලයට පත් විය.

7. තෙරේසා  මේ පවසන්නේ  ඇය කෝබින්ට වඩා තීරණාත්මක නායිකාවක් බවත් කෝබින් වැනි දුර්වල අයෙකුට ත්‍රස්තවාදය පරදවන්නට නොහැකි බවත්ය.  බ්‍රිත්නය් හමුදා රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමට කැඳවා ඇත.

ඉදිරි සති දෙක බ්‍රිතාන්‍යයට තීරණාත්මකය.

බොහෝ විට කෝබින් සමාජ  ප්‍රජාතන්ත්‍රවාදියෙක් (social democratic)  හා  ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙක් (democratic socialist) අතර දෝලනය වන චරිතයක් බවට පත්ව තිබේ. ජූනි 8 දා පවත්වන මැතිවරණයෙන් දිනනේ කවුරුන්ද යන්න  මත බ්‍රිතාන්‍ය ඉතිහාසය වෙනස් වීමට නියමිතය.

මුලාශ්‍ර:
1. කෝබින් ගේ ජයග්‍රහණය හා වමේ වම හා දකුණේ දකුණ
2. postmodernism 
3. ජුලී ග්‍රැහැම් – post-modernism and marxism)
4. post marxists 
5. JEREMY CORBYN  has read the works of both Karl Marx and free market pioneer Adam Smith 
6. තම ආණ්ඩුවක් යටතේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන බවට බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂය ප්‍රතිඥා දෙයි – අක්ෂය 
7. බ්‍රිතාන්‍යයේ පෞද්ගලික විශ්ව විද්‍යාල
8.  කෙය්නිසියානු (Keynesian) ගේ ආර්ථික  දැක්ම
9. කියුබාව ගැන කීමට ප්‍රථම – නැගෙනහිර ජර්මනියේ නිවෙස්

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...