ජෝසෆ් ස්ටාලින් සෝවියට් දේශයේ සාමූහික වියසනයක් ඇති කරන ලද නිර්මාපකයා විය. ආඥාදායකයෙකු වූ ස්ටාලින් විසින් මිලියන ගනනක් ජනතාව මරා දැමුවේය. එසේම මිලියන ගනනක් ගුලාග් ශ්‍රම කඳවුරු වල සිරගත කලේය. එහෙත් ජෝසෆ් ස්ටාලින් රුසියාව තුල තවමත් ගෞරවයට ලක් වන නායකයෙකි. මොස්කව් ටයිම්ස් පුවත් පත වාර්තා කරන පරිදි 2012 වසරේදී පවත්වන ලද සමීක්‍ෂණයක් අනුව මාෂල් ජෝසෆ් ස්ටාලින් ගේ ජනප්‍රියතාව පහල ගොස් නොමැත. තවමත් බොහෝ දෙනෙකු ස්ටාලින් ගේ ක්‍රියා මාර්ගයන් අනුමත කරති.
1991 වසරේදී ගර්බචොව් ගේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය කඩාකප්පල් කරනු වස් නිලධාරී මාෆියාව කටයුතු කලහ. රට පුරා ආහාර බෙදා හැරීම අඩපණ විය. උග්‍ර භාණ්ඩ හිඟයක් වෙළඳ පොල තුල මතු විය. මේ කාලයේ දිනක් මම ටැක්සියක නැගී ශෙර්මිතෝවා ගුවන් තොටුපළට යමින් සිටියෙමි. ටැක්සි රියැදුරා මහළු මිනිසෙකි. ජන ජීවිත කඩා වැටීම නිසා ඔහු සිටියේ කෝපයෙනි. “ මේ රටට අවශ්‍ය දෙමොක්‍රාතියා (ප්‍රජාතන්ත්‍රවාදය) නෙවෙයි මේ රටට අවශ්‍ය ස්ටාලින්” ඔහු ආවේගශීලීව කීවේය. ස්ටාලින් තවමත් මිනිසුන්ට වීරයෙකි. තවමත් ඔහුව හඳුන්වන්නේ අත්සා නරෝදා (ජාතියේ පියා) විලීකෙයි ස්තාලින් (ශ්‍රේෂ්ඨ ස්ටාලින්) යන ගෞරව නාම වලිනි. මිනිසුන් තවමත් අතීතයේ සිටි පීඩකයාට පෙම් බඳිති.
ස්ටාලින් 1924 සිට ඔහුගේ මරණය සිදු වූ 1953 වසර දක්වා සෝවියට් දේශයේ නායකයා වෙමින් සර්වාධිකාරවාදී (Totalitarian ) පාලනයක් ගෙන ගියේය. ඔහු තම දේශපාලන ක්‍රමවේදය වූ ස්ටැලින්වාදය හඳුන්වා දුන්නේය. මේ හරහා සමාජවාදය නිර්මාණය කල හැකි බව ඔහු විශ්වාස කලේය. පසු කාලයක පොල් පොට් වැනි නායකයන්ටද ස්ටැලින්වාදය ඉමහත් සේ බලපාන ලදි.
ජෝසෆ් ස්ටාලින් ගේ චරිතය බොහෝ දෙනෙකුගේ විවාදයට පාත්‍ර විය. අවසාන කාලයේදී ව්ලැදිමීර් ලෙනින් ස්ටාලින් අවිනීත සහානුභූතියකින් තොරවූ පුද්ගලයෙකු ලෙස නම් කලේය. ලියෝන් ට්‍රොස්කි හට ස්ටාලින් ගේ අසමබර මනෝ භාවයන් ගෝචර විය. නිකොලායි බුහාරින් බලය කෙරෙහි තිබූ අධි ආශක්ත බව ස්ටාලින් අනුසාරයෙන් දුටුවේය. 1942 යල්ටා සම්මන්ත්‍රණයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ජන ඝාතන කෙරෙහි ස්ටාලින් දැක්වූ අසාමාන්‍ය මානසික ප්‍රතික්‍රියා නිරීක්‍ෂණය කලේය. යූගෝස්ලාවියානු කොමියුනිස්ට් නායකයෙකු වූ Milovan Đilas ස්ටාලින් තුල තිබූ අශිෂ්ටත්වය සහ මෑනවීම් (manipulative ) ගැන සඳහන් කලේය.
ජෝසෆ් ස්ටාලින් ගේ මානසික තත්වය පිලිබඳව සෝවියට් මෙන්ම අන්තර්ජාතික විද්වතුන් අදහස් පළ කොට තිබේ. 1927 වසරේදී වෛද්‍ය ව්ලැදිමීර් බෙක්තරේයෙව් ස්ටාලින් තුල පැවති පැරනොයිඩ ලක්‍ෂණ හඳුනා ගත්තේය. එහෙත් එම රෝග විනිශ්චය මතු කොට බෙක්තරේයෙව්ට පැය 72 වත් ජීවත් වීමට ස්ටාලින් ඉඩ දුන්නේ නැත. 1953 වසරේ ස්ටාලින් ගේ කායික වෛද්‍යවරයා වූ ඇලෙක්සැන්ඩර් ම්‍යාස්නිකෝව් ස්ටාලින් ගේ අසාමාන්‍ය චර්‍යාවන් මෙන්ම අපචය වූ (impaired) විනිශ්චයන් සඳහා මස්තිෂ්ක රුධිර නාලිකා සිහින් වීම ( atherosclerosis ) හේතුවක් වූ බව විශ්වාස කලේය.
ජෝසෆ් ස්ටාලින් උපත ලබන්නේ 1879 වසරේ ගුරුසියාවේ ( ජෝජියාවේ ) ගෝරි ප්‍රදේශයේදීය. ඔහුගේ නියම නම වූයේ යියූසුෆ් ෂුගාශ්විල්ලී ය. ඔහුගේ පියා වූ විසාරියොන් ෂුගාශ්විල්ලී සපතෝරුවෙකු විය. මධු ලෝලියෙකු වූ ස්ටාලින් ගේ පියා ඔහුට අධික ලෙස ශාරීරික දඞුවම් පැමිනුවේය. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා ඔහුගේ මවද පීඩා වින්දාය. ළමා කාලයේ සිටම කුඩා යියූසුෆ් ෂුගාශ්විල්ලී කායික මානසික පීඩාවන්ට ලක් විය. ඔහුට තම මව වූ යෙකැතරිනා ග්ලාඩ්සේ වෙතින් පවා ආදරයක් හිමි වූයේ නැත. ඔහුට තම මව සමග බන්ධන (attachment) ගැටළු තිබුනේය. මේ නිසා ඔහුගේ ළමා කාලය අතිශයින්ම නීරස විය.
අසල් වැසියන් යෙකැතරිනා ග්ලාඩ්සේ සහ යියූසුෆ් ෂුගාශ්විල්ලී ගේ ඤාණ පියා වූ Yakov Egnatashvili අතර අයථා සබඳතාවයක් පිලිබඳ සැක පහළ කලහ. එසේම යියූසුෆ් ෂුගාශ්විල්ලීගේ ජීව විද්‍යාත්මක පියා විසාරියොන් ෂුගාශ්විල්ලී නොව ඤාණ පියා Yakov Egnatashvili බව කීහ. තවද ඔහුගේ මව යුදෙව් ජාතික ධනවත් වෙලෙන්දෙකු වූ ඩේවිඩ පිස්මාමෙඩෝව් ගේ නිවසේ මෙහෙකාරියක ලෙසටද සේවය කලාය. එම කාලයේදී ඩේවිඩ පිස්මාමෙඩෝව් සහ යෙකැතරිනා ග්ලාඩ්සේ අතර තිබූ ලිංගික සබඳතා ගැන අසල් වැසියෝ ඕපාදූප කීහ. මේ කරුණු නිසා බීමත් විසාරියොන් ෂුගාශ්විල්ලී ස්ටාලින් ගේ මවට නිතරම පරිභව කලේප . එසේම නිබඳවම පහර දුන්නේය. මේ සියල්ල ළමා ස්ටාලින් දුටුවේය. පියා මෙන්ම මව කෙරෙහි ඇල්මක් ඔහු තුල නොවීය. ඔහු ක්‍රමයෙන් වැඩෙත්ම තැබෑරුමක සිදු වූ කළහක් නිසා පියා මරු දුටුවේය. පසුකාලීනව 1937 දී ඔහුගේ මව මිය ගිය අතර ස්ටාලින් ඇයගේ අවමංගල්‍යය උත්සවයට පැමිනියේ නැත.
කුඩා කාලයේ සිටම ස්ටාලින් තුල හීනමානතා සංකීර්ණය වර්ධනය විය. ඔහුගේ ශරීර ප්‍රමාණය කුඩාය. මුහුණ මසූරිකා (small pox) ළප නිසා විරූපි වී තුබුනේය. ඔහුගේ වම් අතේ ආබාධයක් තිබුනු අතර වම් අත නිසි ලෙස ක්‍රියා කලේ නැත. එය උපතින්ම දකුණු අතට වඩා කොටවී තිබුණි. උත්පත්තියෙන්ම ඔහුගේ වම් පාදයේ ඇඟිලි පුරුක් හාවී තිබුණි. මේ නිසා ඇවිදින විට කොරයක් තිබුනි. ඔහු තමාගේ ශාරීරික ලක්‍ෂණ නිසා සිටියේ මානසික පීඩනයෙනි. ඔහු සම වයස් මිතුරන් ඇසුරු කලේ නැත. ඔහු ගත කලේ හුදකලා වූ ජීවිතයකි .
යෙකැතරිනා ග්ලාඩ්සේ නූගත් ගැමි කාන්තාවක් වූවාය. ඇයට අවශ්‍ය වූයේ තම පුතාව පූජකයෙකු කිරීමටය. මේ නිසා මූලික පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහුව ටිබිලිසි නගරයේ පූජකාරාමයකට යවන ලදි. එහෙත් වසර කිහිපයකට පසුව යියූසුෆ් ෂුගාශ්විල්ලී පූජකාරමයෙන් නෙරපනු ලැබීය. ඒ සඳහා ඔහුගේ අධ්‍යාපන දුර්වලතාත් මාක්ස්වාදී සාහිත්‍ය කියවීමත් හේතු කාරක විය. එහෙත් පූජකාරාමයේ ජීවිතය ස්ටාලීන් ගේ පසුකාලීන ජීවිතයට බෙහෙවින්ම බලපෑවේය. පූජකාරාමයේදී ඔහු බොහෝ කායික වධයන්ට පාත්‍ර විය. එසේම පූජකයන් ගේ දෙබිඩි ජීවිත ඔහු නිරීක්‍ෂණය කලේය. මේ නිසා දේව ධර්මය වෙනුවට චාලස් ඩාවින් ගේ කෘති සහ මාක්ස් ගේ කෘතීන් වෙත ඔහු යොමු විය.
තරුණ යියූසුෆ් ෂුගාශ්විල්ලී යෙකැතරිනා ස්වනීඩ්සේ නම් තරුණියට ආදරය කලේය. ඔහු ඇයව හැඳින්වූයේ කතෝ යන සුරතල් නමුනි. ඔවුන් දෙදෙනා විවහා වූ අතර යෙකැතරිනා ස්වනීඩ්සේ ස්ටාලින්ට දාව පුතෙකු වැදුවාය. ඔහුව යාකොව් නමින් හඳුන්වන ලදි. නොබෝ කලකින් යෙකැතරිනා ස්වනීඩ්සේ ටයිපස් උණ නිසා මිය යන ලදි. මෙය ස්ටාලින් හට දැරිය නොහැකි චිත්තාවේගී පහරක් විය. ඇය භූමිදානය කල දින ස්ටාලින් තමා තුල තිබූ අවසන් මානව හැඟීමද ක්‍ෂය වී ගිය බව කීවේය. ඉන්පසු ඔහු තම කුඩා ළමයාවද අත හැර ගියේය. ඔහු විප්ලවවාදීන්ට එකතු විය. මේ කාලයේදී ඔහු කෝබා නමින් පෙනී සිටියේය.
විප්ලවවාදී ක්‍රියා ලෙස ඔහු සිදු කලේ මං පැහැරීමයි. ඔහු සතුව කල්ලියක් සිටියේය. මෙම මංකොල්ල වලදී ඔහු නිර්දය ලෙස ක්‍රියා කලේය. එසේම මිනිසුන් අනුකම්පාවකින් තොරව මරා දැමුවේය. කොල්ල කන මුදල් වලින් කොටසක් ඔහු විප්ලවවාදීන් වෙත දෙන ලදි. බලයට පත්වූ විගස තම අපරාධ අතීතය වළ දමනු වස් ස්ටාලින් තම අතීත කොල්ල සගයන් මරා දැමීය.
බොල්‍ෂවික්වරුන්ට එකතුවූ ස්ටාලින්ව විප්ලවවාදී ක්‍රියා නිසා අත් අඩංගුවට පත්වී සයිබීරියාවට පිටුවහල් කරන ලදි එහෙත් 1904 දී ඔහු පළා ගියේය. ස්ටාලින් නම් නිර්දය චරිතය ක්‍රමක් ක්‍රමයෙන් ලෙනින් ගේ අවධානයට ලක් විය. ස්ටාලින් බොල්‍ෂවික්වරුන්ට මුදල් සෙවීම සඳහා බැංකු මංකොල්ල කන බව ලෙනින් දැන සිටියේය. මාක්ස්වාදය පිලිබඳ උසස් දැණුමක් ඔහුට තිබුනේ නොමැති වූවද ප්‍රායෝගිකවාදියෙක් වීම නිසා ලෙනින් ස්ටාලින්ව ප්‍රිය කලේය. බොල්‍ෂවික්වරුන් අතර ස්ටාලින් ක්‍රමයෙන් ජනප්‍රිය විය. කෝබා ස්ටාලින් බවට රූපාන්තරණය විය. ස්ටාලින් යනු යකඩින් තනන ලද යන්නයි. නමේ අරුතට සමරූපී ලෙසින් ඔහු සිත් පිත් නොමැති යකට මිනිසෙකු විය. ‘ලොව හෙල්ලූ දස දවස ලියූ ඇමරිකානු මාධ්‍යවේදී ජෝන් රීඩ් ස්ටාලින් ගැන මෙසේ සඳහන් කරයි ; ඔහු නූගතෙකි. එහෙත් තමන්ට අවශ්‍ය කුමක්ද කියා දන්න සහජ ඉවක් ඔහුට තිබේ.
රුසියානු විප්ලවය සිදු වන විට ස්ටාලින් විශාල වැඩ කොටසක් සිදු කලේ නැත. විප්ලවය සිදු වූ දිනයේ ඔහු සර්ජි අලිලූයෙව් ගේ නිවසේ තේ පැන් බොමින් අලසව කාලය ගත කලේය. එහෙත් පසුව සංස්කරණය කල ඉතිහාසය ඔස්සේ ස්ටාලින් ලෙනින් සමග උරෙන් උර ගැටී නාවිකයන් සහ කම්කරුවන් අමතමින් විප්ලවය සිදු කල බව ලියවිනි.
එහෙත් රුසියානු සිවිල් යුද්දය සමයේ ලෙනින් ස්ටාලින්ට සුවිසල් වැඩ කොටසක් පැවරීය. නිර්දය ක්‍රම මගින් ඔහු තම ඉලක්කය වෙත යන බව ලෙනින් දැන සිටියේය. ස්ටාලින් වයිට් ගාඩ්ස් හෙවත් ප්‍රති විප්ලවවාදීන්ට සහාය දුන් ගම් පවා විනාශ කර දැමුවේය. එසේම වරක් තමන්ට පක්‍ෂපාතී නොවූ රතු හමුදාවේ නිලධාරීන් පිරිසක් ගිල්ලවා මරා දැමුවේය. පසුව ඔහු පැවසුවේ එය හදිසි අණතුරකින් සිදුවූ මරණ ලෙසටය. ස්ටාලින් ගේ භීෂණ ක්‍රියා නිසා ට්‍රොස්කි වරක් ලෙනින් හට පැමිනිලි කලද ලෙනින් ගත්තේ ස්ටාලින් ගේ පැත්තය. මෙලෙස ලෙනින් ගේ අනුග්‍රහය ලැබූ ස්ටාලින් නායකයෙකු ලෙස ඉහලට මතු විය. ට්‍රොස්කි ස්ටාලින්ව අප්‍රිය කල අතර ට්‍රොස්කි ඔහුව හඳුන්වන ලද්දේ අවිනීත කොකේසියානු කඳුකර වාසියා යන නමිනි.
1922 වසරේ ඔහු පක්‍ෂයේ මහ ලේකම් බවට පත් විය. කෙමෙන් කෙමෙන් ඔහු තම අශිෂ්ට ගති ලෙනින් ඉදිරියේද පෙන්වීය. වරක් අසභ්‍ය වචනයෙන් ඔහු ලෙනින් ගේ බිරිඳ වූ කෘප්ස්කයාට බැණ වැදීම නිසා ලෙනින් ඔහු සමග මිතුදම් අත හැර දැමීය. ලෙනින් ගේ මරණය සිදු වූ 1924 වසරට ස්වල්ප කාලයකට පෙර ලෙනින් මධ්‍යම කාරක සභාවට ලිපියක් ලියමින් ස්ටාලින්ව පක්‍ෂයේ මහ ලේකම් තනතුරින් ඉවත් කොට වඩාත් ඉවසිලිවන්ත විනීත පුද්ගලයෙකු ඒ සඳහා පත් කල යුතු බව පෙන්වා දුන්නේය. එහෙත් මෑනවීම් බහුලව තිබූ ස්ටාලින් බුහාරින් , කාමිනියෙව් , සිනවියෙව්, කීරොව් , වේචෙස්ලාව් මෝලතොව් යනාදීන් ගේ සහයෝගය ලබා ගෙන කෘප්ස්කයා සහ ට්‍රොස්කි ගේ වෑයම පරාජය කලේය.
ඇතැම් ඉතිහාසඥයන් පෙන්වා දෙන ආකාරයට ස්ටාලින් විසින් ලෙනින් හට විශ හතු ආහාරයට දී තිබේ. ( ලෙනින් හතු ආහාරයට ගැනීමට ලොල් විය) අවසාන කාලයේදී ලෙනින් දර කොටයක් මෙන් ඇඳට සීමා වූ අතර ස්ටාලින් , ලෙව් කාමිනියෙව් සහ ග්‍රිගෝරි සිනවියෙව් ඔත්පල වූ ලෙනින් වෙනුවට රට පාලනය කළහ. එහෙත් ලෙනින් ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳව ජනතාවගෙන් වසන් කරන ලදි.
සෝවියට් දේශයේ නව නායකයා වූ ස්ටාලින් තුල විරක්‍ෂීභාවයන් (insecurities ) බොහෝ තිබුනේය. ඔහු ක්‍රමක් ක්‍රමයෙන් තමාට සහාය දුන් ජ්‍යෙෂ්ඨ බොල්ශෙවික්වරු විනාශ කරන්නට පටන් ගත්තේය. ඔහුගේ මුල්ම ගොදුර වූයේ ට්‍රොස්කිය. මුලින්ම සෝවියට් දේශයෙන් පිටුවහල් කරන ලද ට්‍රොස්කිව පසුව බේර්යා මගින් මැක්සිකෝවේදී ඝාතනය කර දමන්නට ස්ටාලින් සමත් විය.
සර්ජි කීරොව් ඉතා ජනප්‍රිය තරුණ බොල්ශෙවික් නායකයෙකු විය. කීරොව් ගේ ජනප්‍රියතාවය ස්ටාලින් ගේ බියට හේතු විය. 1934 දී ලෙනිඞ්‍රාද් නගරයේදී කීරොව් ඝාතනයට ලක් විය. කීරොව් ඝාතනය කුමන්ත්‍රණයක් බව කියූ ස්ටාලින් මේ සඳහා කාමිනියෙව් සහ සිනවියෙව් යන බොල්ශෙවික් නායකයන් සමග සෝවියට් විප්ලවයට සහාය දුන් බොහෝ පිරිසක් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එදිරිව ව්‍යාජ නඩු විභාගයක් පැවැත්වීය. 1936 වසරේදී කාමිනියෙව් සහ සිනවියෙව් සිර ගෙදරදී වෙඩි තබා මරා දමන ලදි. ඉන්පසු ස්ටාලින් ගේ ඉව යොමු වූයේ බුහාරින් වෙතය.
සර්ජි කීරොව් ගේ මරණය සිදු වන්නේ ස්ටාලින් ගේ අනු දැණුම ඇතුවය. ඔහු මේ සඳහා ගෙන්රික් යෙගෝදා නම් රහස් පොලිස් නිලධාරියාගේ සහාය ලබා ගත්තේය . පසුව යෙගෝදාටද බොරු චෝදනා ගොනු කොට ඔහුව මරා දමා නිකොලායි යේශොව් හට යෙගෝදා ගේ තනතුර දුන්නේය. යම් කාලයකට පසු යේශොව්ටද අත් වූයේ යෙගෝදා ගේ ඉරණමය. පසුව එන් .කේ .වී. ඩී හෙවත් රහස් පොලිසිය ලොරෙන්ති බේරියා හට භාර දෙන ලදි. බේරියා ස්ටාලින් විසින් අණ කරන ලද සියළු ඝාතන නොවලහා කලේය.
ස්ටාලින් මෙන්ම ගුරුසියානු (ජෝර්ජියානු) බොල්ශෙවික් නායකයෙකු වූ සර්ජි ආර්ජෙනීත්ස්කි සෑම කාලයකදීම ස්ටාලින්ට පක්‍ෂපතී විය. ස්ටාලින් ඔහු වෙත ගොස් කීරොව් ඝාතනයේදී බුහාරින්ද කුමන්ත්‍රණයේ කොටස්කරුවෙකු වූ බවට සාක්‍ෂි දෙන ලෙස බල කලේය. එහෙත් සර්ජි ආර්ජෙනීත්ස්කි එය පිලිකෙව් කලේය. මේ නිසා ස්ටාලින් තම භීෂණය සර්ජි ආර්ජෙනීත්ස්කි වෙත යොමු කලේය. මෙම පීඩනය නිසා සර්ජි ආර්ජෙනීත්ස්කි වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. එහෙත් ඔහුගේ මරණය සෝවියට් මාධ්‍ය වාර්තා කලේ හෘධ ආබාධයක් නිසා ඇති වූවක් ලෙසටය. මේ කාලය වන විට ස්ටාලින් රතු හමුදාවේ 40 , 000 ආසන්න නිලධාරීන් පිරිසක් අඩංගුවට ගෙන මරා දමා තිබුනි. මින් බොහෝ දෙනෙකු ඔක්තෝබර් විප්ලවයට සක්‍රිය ලෙස දායක වූ සහ සිවිල් යුද්දයේදී වීරත්වයෙන් යුතුව සටන් කල අවංක කොමියුනිස්ට්වාදීන් වූහ.
ස්ටාලින් විසින් මුදා හරින ලද භීෂණය නිසා බුහාරින් ගේ තත්වය එන්න එන්නට අවදානම් සහගත විය. බුහාරින් උගත් පුද්ගලයෙකු මෙන්ම ලෙනින් ගේ ඇල්මටද ලක්වූ මධ්‍යස්ථ මතධාරී බොල්ශෙවික්වාදියෙකු විය. බුහාරින් මානුෂිකවාදී සමාජවාදය වෙනුවෙන් පෙනී සිටි අතර ස්ටාලින් බුහාරින්ව තර්ජනයක් ලෙස දුටුවේය. මේ නිසා කීරොව් ඝාතනය ගැන ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගත් බුහාරින්ව මරා දමන ලදි. එසේම ඔහුව ද්‍රෝහියෙකු ලෙස නම් කරන ලදි. එහෙත් 1988 දී මිහායෙල් ගර්බචොව් විසින් බුහාරින් ගේ වැන්දඹු බිරිඳ හමුවී ඔහුට තිබූ ව්‍යාජ චෝදනා නිෂ්ප්‍රභ කොට බුහාරින් ගේ නිර්ද්‍යෝෂභාවය සනාත කලේය.
ජ්‍යෙෂ්ඨ බොල්ශෙවික්වාදීන් ඝාතනය කිරීමෙන් පසුව ස්ටාලින් සංස්කරණය කරන ලද ප්‍රයෝගකාරී ඉතිහාසයක් ප්‍රචලිත කලේය. මේ අනුව රුසියානු විප්ලවය සිදු කලේ ලෙනින් සහ ස්ටාලින් විසිනි. මෙම ඉතිහාසය පාසල් වල උගන්වන ලදි. ඔහු තම අතීතය සැඟවීමට වෑයම් කල අතර ව්‍යාජ උපන් දිනයක්ද ඉදිරිපත් කලේය. තමන් ගේ අතිතය දැන සිටි පුද්ගලයන් ඝාතනය කලේය , නැතහොත් සිරගත කලේය.
ස්ටාලින් ජනතාව වෙත ඔහුගේ මහා භීෂණය මුදා හැරියේය. කලෙක්තිවිසාත්සියා හෙවත් සමූහ ගොවිපොළවල් ක්‍රමය ආරම් භ කරනු වස් යූක්‍රයීනයේ කෘත්‍රීම සාගතයක් ඇතිකලේය. හොලදමෝර් යනුවෙන් හඳුන්වන මෙම ජන ඝාතනයේදී ආසන්න වශයෙන් මිලියන 7 කට ආසන්න සංඛ්‍යාවක් මිය යන ලදි.
රුසියානු විප්ලවයෙන් පසු මහා ගත්කරු මැක්සිම් ගෝර්කි ජාතික සම්පතක් බඳු විය. ඔහුගේ කීර්තිය සෝවියට් දේශයේ පමණක් නොව අන්තර්ජාතිකවද පැතිරී ගියේය. ස්ටාලින් හට තම බොරුවෙන් පිරි ජීවිත කතාව වීරාඛ්‍යානයක් ලෙස මැක්සිම් ගෝර්කි ගේ අතින් ලියවීමට අවශ්‍ය විය. එහෙත් එවැනි ප්‍රයෝගකාරී ක්‍රියාවකට මැක්සිම් ගෝර්කි කැමති නොවීය. මේ නිසා 1936 දී මැක්සිම් ගෝර්කි අභිරහස් මරණයකට ලක් විය. තමන් ගේ මායාවෙන් සපිරි සංස්කරණය කරන ලද ජීවිත කතාව ලිවීමට ස්ටාලින් පසු කාලීනව නොබේල් ත්‍යාගලාභී මිඛායෙල් ශෝලෝහොව් හටද බලපෑම් කලේය. වරක් තමා හමු වීමට එන ලෙස ස්ටාලින් මිඛායෙල් ශෝලෝහොව්ට නියෝග කලේය. ස්ටාලින් ගේ යටි අරමුණ තේරුම් ගත් මිඛායෙල් ශෝලෝහොව් කොන්යැක් බෝතලයක් පානය කොට බීමතින් ස්ටාලින් ඉදිරියේ පෙනී සිටියේය. මේ නිසා ස්ටාලින් ගේ අරමුණ ඉටු වූයේ නැත.
ස්ටාලින් තමාව වන්දනා කරන ලබ්ධියක් (cult) ලෙස තම පෞරුෂත්වය හුවා දැක්වීය. ඔහුගේ පින්තූර ප්‍රතිමා රට පුරා ඉදි විය. ඔහු තමාව දේවත්වයට ඔසවා තැබුවේය. ස්ටාලින් ගේ චරිතය වර්ණනා කරමින් චිත්‍රපට , නාට්‍ය , ගීත නිර්මාණය විය.
ස්ටාලින් සෝවියට් සමාජය තුල බිය සැක වර්ධනය කලේය. ජනතා සතුරන් කියා එන් කේ වී ඩී ඔත්තු සේවයට ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමේ බලය තිබුනේය. මේ නිසා මිනිසුන් පසු වූයේ භීතියෙනි. සෝවියට් දේශය සංවර්ධනය කිරීම සඳහා ඔහු මහා වහල් හමුදාවක් තැනුවේය. රට පුරා ගුලාර්ග් වද කඳවුරු ඉදි කොට කිසිදු හේතු රහිතව මිනිසුන් අත් අඩංගුවට ගෙන ඔවුන් මගින් දැවැන්ත වේලි මහා මාර්ග ඉදි කරන ලදි. ඔහුගේ මහා සංවර්ධන යෝජනා ක්‍රම මිනිස් ජීවිත දස දහස් ගනනින් බිලි ගත්තේය. ගුලාර්ග් වද කඳවුරුවල මිලියන ගනකක ජනතාව සිරගතව සිටියහ. බොහෝ දෙනෙකු ගුලාර්ග් වද කඳවුරුවල මිය යන ලදි.
ස්ටාලින් උගතුන් කෙරෙහි බියක් දැක්වීය. ඔහු ජාන විද්‍යාව , මනෝ විද්‍යාව වැනි විශයන් සඳහා තහංචි දැම්මේය. අන්තර්ජාතික කීර්තියට ලක්වූ මහාචාර්‍යවරු වූ වවිලෝව් , කොල්ට්සොව් , සෙරෙබ්‍රොව්ස්කි ,නිකොලායි ඕසිපොව් යන උගතුන් ඔහු ඇකඩමියාවෙන් ඉවත් කලේය. එසේම බෙක්තරේයෙව් , වාගෝත්ස්කි වැන්නවුන් ගේ පොතපත ජනතාවගෙන් ඈත් කර දැමීය.
හිට්ලර් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීමට අර අඳින බව ඔත්තුකරුවන් විසින් දැන්වූවද ස්ටාලින් එය විශ්වාස කලේ නැත. තම පැරනොයිඩ ස්වභාවය නිසා සියල්ලන්මව සැක කල ස්ටාලින් තම නියම සතුරා වූ හිට්ලර්ව සැක කලේ නැත. එහෙත් හිට්ලර් විසින් සෝවියට් දේශය ආක්‍රමණය කල විට පුරා සති දෙකක් ස්ටාලින් තම කාර්‍යාලයට ආවේ නැත. හිට්ලර්ව පරාජය කිරීම සඳහා මාෂල් ගියෝර්ගි ෂූකොව් ඇතුළු රතු හමුදාවේ නිලධාරීන් සමත් වූවද ජයග්‍රහණයෙන් පසු ඔහු මාෂල් ෂූකොව්වද විනාශ කිරීම සඳහා අර ඇන්දේය. නමුත් ගියෝර්ගි ෂූකොව්ට තිබූ ජන ප්‍රසාදය නිසා ඔහුට අත තැබීමට ස්ටාලින් බිය විය. එහෙත් යුද්දයෙන් පසුව ඔඩෙසා නගරයට මාෂල් ෂූකොව් හට ස්ථානමාරුවක් ලබා දී ඔහුව බල රහිත කරන ලදි.
ස්ටාලින් ගේ චරිත ලක්‍ෂණ හෙලි කරමින් ඔහු දැඩි ආවේගික චරිතයක් බව නිකිතා කෘශෙව් පසුකාලයක ප්‍රකාශ කලේය. මෙම ආවේගශීලීත්වය මත ඔහු බොහෝ තීරණ ගත්තේය. ක්‍රෙම්ලිනයේ වෛද්‍යවරයෙකු වූ මහාචාර්‍ය ප්ලේත්නේව් ස්ටාලින් තුල මෝහයන් මත චෝදනා කිරීමේ තත්වයන් (delusions of persecution) තිබෙන බව වටහා ගත්තේය. එහෙත් මහාචාර්‍ය ප්ලේත්නේව් හට තම මතය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුනේ නැත. ස්ටාලින් ගේ නියෝග මත 1941 වසරේදී ඔහුව වෙඩි තබා ඝාතනය කරන ලදි.
මනෝ විශ්ලේෂකයෙකු වන රොබට් ටකර් ස්ටාලින් ගේ මනෝ භාවයන් විරක්‍ෂීභාවය සහ අධි මහන්තත්වකම අතර දෝලනය වූ බව පවසයි. ස්ටැන්ෆඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රසල් ලී ස්ටාලින් තුල පෞරුෂ අක්‍රමතාවයක් තිබූ බව පෙන්වා දෙයි. ස්ටාලින් උණුසුම් මානව චිතාවේගයන් ගෙන් තොර අයෙකු විය. ඔහු තම බිරිඳ වූ නාදියා අලිලූයෙවාට දිවි නසා ගැනීම දක්වා පීඩනයකට ලක් කලේය. එසේම තම දරුවෙකු වූ යාකොව් හට පීතෘ සෙනෙහස නොපෑවේය. ඔහු ස්වීය මධ්‍යගත (self centered) චරිතයක් විය. ඔහු කුමන්ත්‍රණ පිලිබඳ බියකින් පෙලුනේය. ඔහු තමා අවට සිටි අයට ඔත්තුකරුවන් කියා චෝදනා කලේය. ඔහු සැකය මධ්‍යගත කරගත් චරිතයක් විය. ස්ටාලින් ගේ වෙනස් වන මනෝ භාවයන් ගැන පසු කාලයක ඔහුගේ අභ්‍යන්තර කවයේ සිටි ලාසර් කගනෝවිච් විසින් සඳහන් කරන ලදි. ස්ටාලින් තම විදේශ අමාත්‍ය මෝලතොව් ඇමරිකානු රහස් ඒජන්තයෙකු කියා චෝදනා කලේය. තමන් ගේ භීෂණයන් ක්‍රියාත්මක කල ලොරෙන්ති බේරියා හට බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු කියා චෝදනා කලේය.
ස්ටාලින් අන්‍යන් ගේ මරණය කෙරෙහි ආශක්ත විය. වරක් ඔහු මෙසේ කීවේය. : yest’ chelovek – yest’ problema: net cheloveka – net problemi” (“[there] is [a] person; [there] is [a] problem: [there] is no person, [there] is no problem. මිලියන ගනනකගේ මරණයන් යනු හුදු සංඛ්‍යා ලේඛන බව හෙතෙම ප්‍රකාශ කලේය. ස්ටාලින් විසින් ඝාතනය කරන ලද සංඛ්‍යාව අති විශාලය. ජෝර්ජියානු ඉතිහාසඥයෙකු වන රෝයි මෙද්වේදොව් එම සංඛ්‍යාව මිලියන 20 බව අනුමාන කරයි. ඇලෙක්සැඩර් ශොල්ත්සිනෙත්සින්ට අනුව ස්ටාලින් විසින් ඝාතනය කරන ලද සංඛ්‍යාව මිලියන 60 කි. බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වන නෝර්මන් ඩේවිස් පෙන්වා දෙන අන් දමට ස්ටාලින් විසින් මිලියන 50 ඝාතනය කොට තිබේ.
1953 වන විට ස්ටාලින් තම අභ්‍යන්තර කවයේ සිටි බේරියා, නිකිතා කෘශෙව් , වොරෂීලොව් , මෝලතොව් යනාදීන් විනාශ කිරීම (purge) සඳහා උත්සුක විය. වරක් රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව තම අභ්‍යන්තර කවය ඇමතූ ස්ටාලින් ඔබලාගේ අවසානය ලඟාවී තිබෙන බව කීවේය. තමන් ගේ මරණය අනිවාර්‍ය බව දැනගත් බේරියා වහාම ක්‍රියාත්මක විය. දින කිහිපයක් ඇතුලත ස්ටාලින් තද බල ලෙස අසනීප විය. ඔහු මරණාසන්නව වැතිර සිටියද ලොරෙන්ති බේරියා වෛද්‍යවරු කැඳවූයේ නැත. 1953 මාර්තු 5 දින ස්ටාලින් මිය යන ලදි. ස්ටාලින් ගේ පුතා වූ ජෙනරාල් වැසිලි ස්ටාලින් නුඹලා මගේ පියා මරා ගත්තා කියා බේරියා ඇතුළු අභ්‍යන්තර කවයට චෝද්න කරන ලදි. ස්ටාලින් ගේ මරණයෙන් පසු බේරියා නිකිතා කෘශෙව් අමතා මම ඔහු ගෙන් ඔබලාව බේරා ගත්තා යැයි කීවේය.
ස්ටාලින් ගේ අවමගුල පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පවත්වන ලදි. ස්ටාලින් ගේ මරණය නිසා ඔහු විසින් ගුලාර්ග් ශ්‍රම කඳවුරු වල සිර ගත කරගෙන සිටි සිරකරුවන් දහස් ගනනක්ද අඞා වැළපුන බව වාර්තා වේ.[?] එසේම ඔහුගේ අවමගුල දින ගැලූ ජන ගංගා නිසා දහස් ගනනක් තෙරපී මිය යන ලදි. ස්ටාලින් තම අභහාවයෙන් පසුවද ජනතාවට මරණය ගෙන ආවේය.
ජෝසෆ් ස්ටාලින් යනු ඉතා සංකීර්ණ චරිතයකි. ඔහු සෝවියට් දේශය පරමාණු යුගය දක්වා ගෙන ගියේය. සෝවියට් දේශය සුපිරි බලවතෙකු බවට පත් කලේය. එහෙත් මේ සංවර්ධය ඔහු විසින් කරන ලද්දේ සෝවියට් දේශයේ සාමූහික ව්‍යසනයක් (Collective Trauma) ඇති කරමිනි. එම ව්‍යසනයේ දුර්විපාකයන් පශ්චාත් සෝවියට් රාජ්‍ය වල තවමත් දැකිය හැක.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
ආශ්‍රිත ග්‍රන්ථ
1) PTSD in the Soviet Union by Ruwan M Jayatunge (Godage Publishers)
2) Stalin: Paradoxes of Power – by Stephen Kotkin
Personal communications
1) Personal communication with the Right Honourable Doctor the Lord Owen CH PC FRCP MB BChir
2) Personal communication with Vladimir Lerner, M.D., Ph.D., Professor of Psychiatry, Ben Gurion University of the Negev, Head of Department Be’er Sheva Mental Health Center
3) Personal communication with Professor Helena Sheehan Dublin City University Dublin Ireland
4) Personal communication with the late Professor Alexander Bukhanovskiy -The former Professor Head of the Psychiatry and Narcology Department at Rostov State Medical University.
5) Personal communication with Roger Brooke, Ph.D., ABPP Professor of Psychology Director, Military Psychological Services Department of Psychology Duquesne University
6) Personal communication with Marina Stal MA. – Teachers College at Columbia University, New York, NY, USA.
7) Personal communication with Prof. Mikhail Reshetnikov, MD, PhD, Russia
8) Personal communication with Professor Alexander Karayani PhD Russia
9) Personal communication with Ivanov E.I -Senior Teacher in the Soviet History: Vinnitsa Medical University Ukraine
“මොස්කව් ටයිම්ස් පුවත් පත වාර්තා කරන පරිදි 2012 වසරේදී පවත්වන ලද සමීක්‍ෂණයක් අනුව මාෂල් ජෝසෆ් ස්ටාලින් ගේ ජනප්‍රියතාව පහල ගොස් නොමැත.”
ස්ටාලින් පාලන කාලයේ ජිවත්වූ කි දෙනෙක් මේ 2012 ‘සමීක්ෂණයට’ සහභාගී වෙන්න ඇත්ද?
කේසේ වෙතත් වෛද්‍ය රුවන් එම් ජයතුංග රනිල් වික්‍රමසිංහ ගැනත් ඉතා වර්ණනාත්මක ලිපියක් ලියා තිබුනා වගේ මතකයි. මතක හැටියට ඒ ලිපියට ‘ඌන පුරණයක්’ ලියල දීප්ති තමන්ගේ credibility සහ integrity කියන මහත් කැපවීම් වලින් ගොඩනගාගත් පෞරශීය ගතිගුණ (personality traits) වලට බලවත් හානියක් කරගෙන තිබුනා.
මම හිතන්නේ ඇත්තටම ස්ටාලින්ට මුහුණ දෙන්න වුනේ කුමකටද?ලෙනින් විප්ලවය කරාට පසු මොකක්ද කරන්නේ කියලා බොල්ෂෙවික්වරැන්ට අදහසක් තිබුණද?අවුරැදු සියගණනක් රැසියානුවන් පීඩනයට පත් කරනු ලැබු එහෙත් ඔවුන්ව ජීවත් කරවනු ලැබු ක්රමය විනාශ කරාට පසු ගොඩනගන අලුත් ක්රමය ගැන ඔවුන්ට අදහසක් තිබුණද?
ස්ටාලින් විසින් සිදු කරනු ලැබුයේ එක්තරා අන්දමකට ලෙනින්ගේ විප්ලවය ආරක්ෂා කර ගැනීමකි.ඒ කෙසේ වෙතත් ලෙනින් කෙනෙක්ගෙන් පසු ස්ටාලින් කෙනෙකු බිහිවීම සමාජවාදයේ අනිවාර්යක්ද?
ලෙනින් කෙනෙක්ගෙන් පසු ස්ටාලින් කෙනෙකු බිහිවීම සමාජවාදයේ අනිවාර්යක්ද? – Excellent question.
Comments are closed.