අප මීට කලින් නතර කළ තැනින් සාකච්ඡාව පටන් ගමු. නිව්ටන් ගුණසිංහ තම සමාජ විද්‍යා සීමාවේ සිට ප්‍රකාශ කළ පරිදි ‘56 විපර්යාසය’ යනු, දේශපාලනයේ පන්ති විග්‍රහය සමතික්‍රමණය කළ මොහොතයි. නැතහොත් ලංකාවේ වාමාංශික දේශපාලනයේ අඥාන ලක්ෂය යි. එතැන් සිට, ලංකාවේ වම ගත කර ඇත්තේ දෘෂ්ටිවාදී අඳුරක් තුළ ය. නමුත් නිව්ටන් ගුණසිංහගේ න්‍යායික පර්යාවලෝකනය තුළ ම පැවති ඥාණ විභාග ගැටලුව කුමක්ද? ඔහු තම නිබන්ධනය අවසන් කරන්නේ, ‘දේශපාලන නායකත්වය සහ සමාජ පදනම’ අතර යම්කිසි ද්විඝටනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරමිනි. ඔහු මෙසේ පවසයි. 

        “1956 වසරේ දේශපාලන විපර්යාසයන් සිදු වුයේ, බලවේග පහක- එනම්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු- සන්ධානයක් හේතුකොට ගෙන බවට ජනප්‍රිය මතයක් පවතියි. මේ සන්ධානයේ මුලට සංඝයා වැටෙන අතර අගට කම්කරුවන් වැටීම හුදු අලංකාරිකයක් නොවේ. නමුත් බණ්ඩාරනායක ඝාතනය කරනු ලැබුවේ, භික්ෂුවකගේ අනුබලය සහිතව භික්ෂුවක් විසිනි. මෙහිලා මා අවධාරණය කිරීමට කැමති විධික්‍රමික සාධකය වන්නේ, පාලකයාගේ අවශ්‍යතා සහ ඔහු නියෝජනය කරනවා යැයි කියනු ලබන යම් යම් සමාජ කොටස්වල අවශ්‍යතා අතර ‘වෙනස’ ය. නිදසුනක් ලෙස, බණ්ඩාරනායක නියෝජනය කළේ සෝමාරාම සහ බුද්ධරක්ඛිතගේ අවශ්‍යතා නම්, ඔවුන් ඔහු ඝාතනය කලේ මන්ද? දකුණු ආසියාව තුළ පාලකයා සහ ඔහු/ ඇය නියෝජනය කරන සමාජ ස්ථර අතර වෙනස අප හිතන තරම් සරල නොවේ.”

 

               ගුණසිංහගේ බණ්ඩාරනායක පිළිබඳ ප්‍රවාදය යම් උභයාවේගයක් ජනිත කරන සන්ධිය පහත දැක්වෙයි.

           “ජනප්‍රිය සිංහල-බෞද්ධ ජාතිකත්වය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය එක් අතකින් බලය අත්කර ගැනීම සඳහා සමාජ යථාර්ථයක් නිර්මාණය කළ අතර අනෙක් පසින් උතුරු-නැගෙනහිර, මධ්‍යම පළාත්වල ‘දෙමළ’ ජනයා තම පාලන තන්ත්‍රයෙන් දුරස් කළේය. පුද්ගලයා හඳුනා ගත හැක්කේ, තමන්ගේ ‘අනෙකාට’ (Other) සාපේක්ෂව යන මිචෙල් ෆූකෝගේ න්‍යායික අදහස මෙතැනදී අවධාරණය කිරීම වැදගත්ය”.

 

          ගුණසිංහ තවදුරටත් මෙසේ පවසයි.

                “සමාජ න්‍යායෙහිලා වඩාත්ම දුෂ්කර කාර්යය වනුයේ, සංවාදයේ ක්ෂේත්‍රය සනිටුහන් කෙරෙන සේ ප්‍රශ්නය නිවැරදිව ඇසීම යි”.

 

            නිව්ටන් ගුණසිංහගේ න්‍යායික පර්යාවලෝකනයේ ඇති සංවර්ධනවාදී ගැටලුව කුමක්ද? සමාජයක් යම්කිසි තාර්කික අන්තයක් කරා තල්ලු වී ගමන් කරයි යන ‘අදහස’ [ඉතිහාසය පිළිබඳ මේ අදහස හේගල්ගේ ය. මාක්ස්ට අනුව ඉතිහාසය චලනය වන්නේ, අර්ථයේ මානයෙන් නොව පන්ති අරගලයේ මානයෙනි.] එක් අතකින්, ගුණසිංහ විසංයෝජනය කරයි. නමුත් අනෙක් අතට බණ්ඩාරනායකව මිනිසුන් තෝරා ගත්තේ ඡන්දයෙනි. එසේ නම්, තර්කයට හිමි නිසි සන්දර්භය අප සලකුණු කොට ගත යුතු නැද්ද? මෙතැන දී තර්කය පාරභෞතිකවාදයකට යොමු වෙයි.

              නිව්ටන්ගේ කතිකාව තුළ ‘දේශපාලනය’ ජනප්‍රිය සංස්කෘතිය නම් ප්‍රවාදය හරහා වටහා ගැනීමේ යතුරක් නැත. මන්ද, ඔහුගේ යුගය තුළ ජනප්‍රිය සංස්කෘතිය පහත් ලෙස සලකා බැලූ නිසා ය. නමුත් 80 දශකය අග වන විට, ජෝතිපාලගේ මළගෙදරට මිනිසුන් පොර කෑවේ මන්ද අරභයා සරත් අමුණුගම ගොඩනගන ලද ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය හරහා සංස්කෘතියේ දේශපාලන මානය විග්‍රහ කරන ලදී. ඉන්පසුව, නිහාල් පීරිස් මගින් අසෝක හදගම සහ විජය කුමාරණතුංග හරහා ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විවාදය ක්‍රමක්‍රමයෙන් ටැබ්ලොයිඩ් පුවත්පත් හරහා දේශපාලනයට විසරණය විය.

               ‘දේශපාලනය’ ජනප්‍රිය සංස්කෘතිය හරහා යළි අර්ථකථනය කිරීමේ න්‍යායික භාවිතාව ආරම්භ වූයේ, X කණ්ඩායම මඟින් ය. නමුත් එම න්‍යායික භාවිතාව නිව්ටන් ගුණසිංහගේ න්‍යායික භාවිතාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? නිව්ටන් ‘ව්‍යුහය’ – Structure-කියා න්‍යායගත කළේ, සමාජ සබඳතා ය. අප ‘ව්‍යුහය’ කීවේ, භාෂාවට යි. එය සෝෂියර්ගේ ‘සාධාරණ වාග් විද්‍යාව’ මත පදනම් විය. (විද්‍යාමාණයන්ගේ පාරභෞතිකයන්ට යටත්ව.)

                 නිව්ටන් ගුණසිංහ විසින් ‘ඛණ්ඩනය’ (Break) නම් අල්තූෂර්ගේ අදහස විදාරණය කරන විට, අප විසින් ‘සාධාරණ වාග් විද්‍යාව’ මගින් හඳුන්වා දෙන ‘ඛණ්ඩනය’ වඩා රැඩිකල් ය. පාලකයා සහ පාලනය කරන අදහස් අතර ඛණ්ඩනයක් සිදු වන බව ඔහු හඳුනා ගනියි. නමුත් ‘පාලකයා’ තුළම සිදුවන ඛණ්ඩනය ඔහු නොතකා හරියි. මේ හේතුව නිසා ගුණසිංහ අතින් දෘෂ්ටිවාදයේ බාහිර මානය විග්‍රහ වූවත් එහි ඕපපාතික මානය-post-ideology- අවධානයට ලක් වන්නේ නැත. බණ්ඩාරනායක සහ ඔහුගේ පාලිතයන් අතර ‘පරතරයක්’ (Gap) පවතිනවා පමණක් නොව බණ්ඩාරනායක තුළමත් යම් පරතරයක් පවතියි. බණ්ඩාරනායක UNPයෙන් ඉවත් වන්නේ, රටේ පාලකයා වීමට පමණක් නොවේ. ඒ තුළ යම් ඊට වැඩි අර්ථයක් ද තිබේ. ඔහුගේ තීරණය තුළ යම් ‘අතිරික්ත අර්ථයක්’ නැතහොත් යම් අර්ථයක් නැති ක්‍රියාවක් ද අන්තර්ගත ය. එනම්, ඔහුගේ මරණ ආශය (Death Drive) යි. ඔහුගේ තීන්දුව යට, ඔහුගේ ජීවිතය විනාශ කරන සාධකයක් ද තිබී ඇත. මේ පරස්පරය අප විසඳන්නේ කෙසේ ද?

             ගුණසිංහ බණ්ඩාරනායක සම්බන්ධයෙන් දක්වන්නේ තර්කයේ මානය පමණි. බණ්ඩාරනායක තමන්ගේ විනාශය ද ඒ සමගම සලකුණු කර ගැනීම ගැන ඔහු න්‍යායිකව නිහඬ ය. ගුණසිංහගේ න්‍යායේ උභයාවේගය වන්නේ, එක් අතකින් ඔහු පාලකයා සහ ඔහුගේ අනන්‍යතාවය අතර පරතරයක් පෙන්වන අතරම ඊට පරස්පරව පාලකයා අර්ථයේ මානය තුළම විග්‍රහ (Unity) කරයි. කෙටියෙන් සහ සරලව එය මෙසේ විග්‍රහ කිරීමට හැකි ය.

                හරීන් ප්‍රනාන්දු අනුරාධපුරයේ ඥාණක්කා මිථ්‍යාවක් බව පාර්ලිමේන්තුවේ කියන අතරම ඔහු ද ඥාණක්කා හමු වීමට යයි. නිමල් බණ්ඩාර නම් අප සංවිධානයේ පැරණි සාමාජිකයෙක් මා ගැනම මතු කළ ගැටලුව මෙසේ ය. ‘ඔබ මාක්ස්වාදියෙක් වන අතරම කැලණිය පන්සලට ගියේ ඇයි?’ බණ්ඩාර මෙතැන දී දේශපාලන භාවිතාව පිළිබඳ ගැඹුරුම මානය හෙළිදරව් කරයි. එනම්, ”බෙදුණු පුද්ගලයා” -split- පිළිබඳ ගැටලුවයි. නිමල් බණ්ඩාරගේ ගැටලුව වන්නේ, ඔහු මගේ දෙබිඩිකම දන්නවා පරිදිම ඔහුගේ ”දෙබිඩිකම” නොදන්නා බවයි.

             ගුණසිංහගේ න්‍යායික විග්‍රහයට මේ ‘දෙබිඩිකම’ ඇතුළත් කර ගන්නා ක්‍රමයක් නොමැත. මන්ද, එය ‘අවිඥාණයට’ අයත් ක්ෂේත්‍රයක් වන නිසාය. එසේ නම්, අපගේ ඊළඟ න්‍යායික පිම්ම ඇත්තේ, අවිඥාණයට අදාළ අඩවියේ ද? එනම්, මනෝවිශ්ලේෂණය තුළ ද? ඍජු ලෙස කියන්නේ නම්, උත්තරය ‘නැත’ යන්න ය.

                      අතිවිශාල වාමාංශික සහ ලිබරල් සාහිත්‍යයක් දැන් අපට කෙටි පරාසයකට ඌනනය කිරීමට සිදු වෙයි. කොටින්ම 70 දශකයේ ‘පන්ති දේශපාලනය’ ගැන නිකොස් පූලන්ට්සාස්, රැල්ෆ් මිලිබෑන්ඩ් සහ අර්නෙස්ටෝ ලැක්ලාව් අතර ඇවිලී ගිය විවාදය මෙහි දී මතක් කිරීම වැදගත්ය. මේ කිසිවක් අවබෝධ කර ගැනීමට අවශ්‍ය තරම් කාලයක් නිව්ටන් ගුණසිංහ ජීවත් වූයේ නැත. විවාදයකින් තොරව ඔහු සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ තමන්ට විග්‍රහ කළ හැකි හොඳම දේ කළේය.

              දළ වශයෙන්, පසුගිය වසර 25 ක පමණ කාලය තුළ මා සහ මා අනුදත් අනෙක් අය අතින් ඉටු වූයේ, ‘ඛණ්ඩනය’ පිළිබඳ දෙවන අදහස විදාරණය කිරීමයි. ජනප්‍රිය සංස්කෘතිය විශ්ලේෂණය කිරීම, ව්‍යුහවාදය, පශ්චාත්-ව්‍යුහවාදය ලෙස ඇමරිකාවේ ස්ථානගත වූ දෙවන ලෝක යුද්ධයට පසු බටහිර දර්ශනය, අර්ථකථනවේදය, ව්‍යුහාත්මක මාක්ස්වාදය, ව්‍යුහාත්මක මානව විද්‍යාව, ලැකානියානු මනෝවිශ්ලේෂණය, ග්‍රාම්ස්චි විසින් පහදන ලද කැමැත්තෙන් පාලනය කිරීම යනාදී මෙකී නොකී න්‍යායික සාහිත්‍යයක් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට පිටත සිට රටට දායක කරන ලද්දේ, ‘දෙවන ඛණ්ඩනය’ (Second Break) හඳුන්වා දීමට ය. සාරාංශගත කර කිවහොත් මෙසේ ය. 

              දේශපාලනයට අර්ථය ඉක්මවා ගිය අර්ථයක් ඇත. එය විනෝදය යි. විනෝදය යනු, වේදනාවෙන් සතුටු වීමයි. ඒ අනුව, දේශපාලනයට අර්ථය පිළිබඳ මානයක් පමණක් නොව වේදනාත්මක මානයක් ද ඇත. එය වේදනාවේ දේශපාලන මානය යි. ගුණසිංහට අනුව මිනිසුන් දේශපාලනය කරන්නේ, ‘අර්ථයේ අඩවිය’ තුළ පමණි. නමුත් අපගේ විග්‍රහයට අනුව මිනිසුන් දේශපාලනය කරන්නේ, ‘වේදනාව’ එන්නත් කර ගැනීමට ය. මම කැලණි විහාරයට යෑම නිසා නිමල් බණ්ඩාර මාව මාක්ස්වාදයේ අර්ථයේ මානයට අනුව මිථ්‍යාදෘෂ්ටිකයෙක් කරවයි. නමුත් දේශපාලනය ගැන ඔහු නොසිතන මානය කුමක්ද? මම කැලණි පන්සල් යන්නේ ඔහුගෙන් නින්දා විඳීමට ඇති අවිඥාණක ආශාව නිසා යැයි ප්‍රකාශ වුවහොත් එය මාක්ස්ගේ අර්ථයේ මානයට ඇති රැඩිකල් නිශේධනය යි. බණ්ඩාරනායක ඇමතිකම් වලින් ඉල්ලා අස් වූයේ, අගමැති වන්නට ය. නමුත් ඔහු අගමැති වන්නට දකින ලද සිහිනය තුළ වෙඩි කා මිය යාම ඇතුළත්ව ඇත්නම්?[Homo Desire] දේශපාලනය මගින් ‘සිතීම’ තුළ නොව ‘ක්‍රියාව’ තුළ වේදනාත්මක මරණයක් අත්පත් කර ගැනීම පිළිබඳ විදග්ධ උදාහරණයක් බණ්ඩාරනායක මනෝ විශ්ලේෂණයට සපයන්නේ නැති ද? ‘56 පෙරළිය’ නම් සමාජ විප්ලවය අරලියගහ මන්දිරයට ඇතුල් වූ පසු ‘සිරිමාවෝ’ නම් භූමිකාව බවට පොළා පැන්නෙ ඇයි?

             ශ්‍රී ලංකාවේත්, ලෝක මට්ටමේත්, ලෝක වාමාංශික ව්‍යාපාරයත් අන්දමන්ද වන්නේ, ඉහත විපර්යාසය සිදුවන්නේ කෙසේ ද කියා වටහා ගත නොහැකි නිසා ය. 89 කැරැල්ල ජනාධිපති ප්‍රේමදාස බිහි කළ අතර 2009 යුධ අවසානය ජනාධිපති රාජපක්ෂ බිහි කළේය.

              ඉහත පරිවර්තනය පිළිබඳව මාක්ස්ගේ ‘බොනපාට්’ පිළිබඳ තිසීසය අතික්‍රමණය කරන තිසීසයක් සමකාලීන ධනවාදය තුළ අපට අවශ්‍යය. දේශපාලනයේ ආකෘතික – Formal – වෙනස්වීම් කදිමට නිදර්ශනය වන්නේ, නාට්‍ය කෘති හරහා ය.

                 මෙතැනදී, කෙටි මතක් කිරීමක් කිරීමට අවශ්‍යය. අප විසින් මේ ඉදිරිපත් කරන නව ප්‍රවාදය විසින් අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් ඉදිරිපත් කරන ලද ‘ජනප්‍රියවාදය’ (Populism) පිළිබඳ වර්ධනයන් ද , ස්ලාවෝජ් ජිජැක් විසින් ඉදිරිපත් කරන සහ තවමත් කරමින් සිටින ‘රැඩිකල් නිශේධනය’ (Radical Negativity) පිළිබඳ අදහසත් ඉක්මවා යයි. මේ ඉක්මවීම පරයා යාමක් නොව නව අදහසක් ඉදිරිපත් කිරීමකි. (ජිජැක්ගේ දේශපාලනය තුළ දක්නට ලැබෙන ‘ජනප්‍රියවාදය ‘ පිළිබඳ එක පසෙකින් නිශේධනාත්මක අදහසත් අනෙක් පසින්, යළිත් ‘වටලෑමේ ව්‍යාපාර’ හරහා ගොඩනඟන ධනාත්මක ප්‍රතිචාරත් – people – යන උභයාවේගය සැලකිල්ලට ගත යුතුය.)

            පිරිමින් සහ ස්ත්‍රීන් දීර්ඝ ලිංගික ආශ්වාදයක් වෙනුවෙන් ගංජා ඉරීමේ පුරුද්දකට ඇබ්බැහි වී ඇත. න්‍යායික ඇබ්බැහිකරුවන්ට අපගේ නව ප්‍රවාදයට පෙර අවවාදයක් දීමට අපි කැමැත්තෙමු. අපගේ විග්‍රහය තුළ සිදු වන්නේ, න්‍යාය විසින් විග්‍රහයට පාදක වන උදාහරණය විශ්ලේෂණය වීම නොවේ. ඒ වෙනුවට, එහි පරස්පරය වන උදාහරණය විසින් න්‍යාය විශ්ලේෂණය කරනු ඇත. ඒ නිසා, නූතනවාදය තුළට වඩා වෙනස්ව න්‍යාය විභාග කිරීමට ඔබට හැකි වනු ඇත. දාර්ශනිකයෙකුට විශ්ලේෂකයෙකු වීම දුෂ්කර ය.

                 නූතනත්වය තුළ න්‍යාය සහ සමකාලීන පශ්චාත්-නූතනත්වය තුළ ඇති ‘න්‍යාය’ අතර වෙනසක් සලකුණු කළ හැකි ය. පැරණි නූතන යුගයේ දී, න්‍යාය ඔබට අපූරු අත්දැකීමක් ලබා දෙයි. ‘අහා, දැන් තමයි මට මනමේ කුමාරිය කඩුව වැද්දාට දුන්නෙ ඇයි කියලා තේරෙන්නේ.’ නැතිනම් ‘දැන් තමයි මට වැටහෙන්නේ, දීප්ති කියන්නේ ජීවත් වෙන්න වෙන ක්‍රමයක් දන්නෙ නැති නැති නිසා Game එකක් ගහලා ජීවත්වෙන කෙනෙක් කියලා’.

              නමුත් පශ්චාත්-නූතන සමකාලීනත්වය තුළ න්‍යාය ඔබට පෙන්වන්නේ, ප්‍රදීපාගාරයක් නොවේ. මේ යුගයේ සත්‍යය ඔබට සම්මුඛ කරවන්නේ, සරත් අමුණුගම, ජයදේව උයන්ගොඩ නොව මධූෂ්, රංජන් රාමනායක වගේ අය යි. මහා ව්‍යාකූලත්වය මැද ගෙදර ඉන්න ආච්චි අම්මාටත් දැන් දෙයක් වැටහෙනවා. රංජන් සහ සොක්‍රටීස් සම්පාත වෙනවා.

              අප යම්කිසි උදාහරණයක් පාවිච්චි කිරීම හරහා උත්සාහ කරන්නේ, එමගින් යම් න්‍යායික වැඩක් කර ගැනීමටයි. න්‍යායික වැඩක් මඟින් සිදු වන්නේ, දෘෂ්ටිවාදය විචාරය කිරීමයි. නැතහොත් යමක් ඥාණනය කිරීමට අවකාශ සලසා ගැනීමයි. මේ අනුව, ජනප්‍රිය තලයේ උදාහරණ මගින් (ජෝතිපාල සිට ෆේස්බුක් දක්වා) අප උත්සාහ කරන්නේ, සංජානන හැකියාව වර්ධනය කිරීමයි. මෙම සංජානන හැකියාව වර්ධනය වීමෙන් සිදු වන්නේ කුමක්ද? එමගින් සිදු වන්නේ, ධනවාදී ආර්ථික ක්‍රියාවලියේ හදවත තුළ සිදුවී ඇති දේශපාලන අරගලයේ විස්ථාපනය (සැබෑ ගැටුම ව්‍යාජ ගැටුමක් දක්වා පොළා පන්නවා තිබෙන ආකෘතිය පන්ති සතුරා වෙනුවට දෙමළා) සංජානනය කිරීමයි.

        මීට කලින් ද ප්‍රකාශ කළ පරිදි, අප පටන් ගන්නේ ජනප්‍රිය සංස්කෘතිය න්‍යායගත කිරීමෙනි. පසුව, එය ස්ත්‍රීවාදය, ලිංගික වෙනස, ලිංගික දේශපාලනය, ජාතිකත්වය මත පදනම් වූ සුවිශේෂයන් අධ්‍යයනය, මනෝ විශ්ලේෂණය, ලැක්ලෝ සහ ෂන්තාල් මුෆ් පිළිබඳ අධ්‍යයනය සහ රෝග ලක්ෂණය සහ රෝගී චරිතය අතර වෙනස සහ අවසන් වශයෙන් දෘෂ්ටිවාදී විශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර දක්වා පුළුල් විය. අඳුරු කලාපයකින් පටන් ගත් අරගලය දැන් ආලෝකය දෙසට දිශානත වී ඇත.

         ලොව පුරා ‘ජනප්‍රියවාදය’ සහ ‘ජනප්‍රිය රෙජීමයන්’ (ට්‍රම්ප්, අර්ඩොගාන්, රාජපක්ෂ, මෝදි) පිළිබඳ කරන ලද බොහෝ න්‍යායික අධ්‍යයන වනාහි ඒ ගැන කරන ලද විවිධ විනිශ්චයන් ය. උදා:- එය ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරය; ඒවා සර්වාධිකාරීය; ඒවා විපරීතය; ෆැසිස්ට්ය; ජනප්‍රියවාදී ය. නමුත් ජනප්‍රියවාදයේ ධනාත්මක පැත්ත මේ අය සලකා නැත. එනම්, මිනිස්සු ‘බලය’ වෙතට ඇදී යාමේ ශෲංගාර මානය ගැන බොහෝ න්‍යායවේදීන් නිහඬය. (Love for Power)

          මිචෙල් ෆූකෝ සහ ක්ලෝඩ් ලෙෆර්ට් කියන න්‍යායවේදීන් දෙදෙනා ‘බලය’ විග්‍රහ කරන ආකාරය පළමුව සලකමු. ෆූකෝට අනුව ප්‍රංශ විප්ලවය මගින් ගිලටීනය හරහා දේශපාලන ශරීරය එහි කඳෙන් වෙන් කරා. ඒ නිසා, සමකාලීන න්‍යායටත් හිසක් නැති කඳ විග්‍රහ කිරීමේ අලුත් නියායක් අවශ්‍යයි. ලෙෆර්ට් ට අනුව රජා ඝාතනය කළාට පසුව පාලන තන්ත්‍රයේ කේන්ද්‍රය හිස් එකකි. එතැනට, ඕනෑම කෙනෙකුට ආදේශ වෙන්න පුළුවනි. මේ ආදේශනය මඟින් විකට ජවනිකාවක් මතු කරයි.

         අපි හැම කෙනෙක්ම ශේක්ස්පියර්ගේ සාහිත්‍යමය අදහසක් ප්‍රබුද්ධ ලෙස වෙරි මරගාතයේ කියනවා. “මේ මුළු ලෝකයම රඟමඩලක්. අපි එහි විවිධ චරිත රඟපාන නළු-නිළියන් විතරයි.” නමුත් ඔහුගේ මේ කතාව සන්දර්භගත වන්නේ, වැඩි වශයෙන් වැඩවසම් ලක්ෂණ තියෙන සමාජයකට ය. නමුත් විසිවන සියවස මුල් කාර්තුව වන විට ධනවාදී සමාජයේ මූලික ව්‍යුහය වෙනස් වේ. එය කාර්මිකකරණය වෙයි. ෆෝඩ්වාදය මගින් කළමනාකරණය වෙයි. පොදුජන විඥාණය, මහජන මාධ්‍ය (පුවත්පත, රේඩියෝව, රූපවාහිනිය…) මහා පරිමාණයේ නිලධාරී තන්ත්‍රය වගේ අලුත් ප්‍රපංච පහළ වෙයි. පරාරෝපණය සංකල්පයක් ලෙස ස්ථාවර වෙයි. මානසික රෝගීත්වය බිහිවේ. පොදුජන නායකයන් බිහි වෙයි.

            මෙවැනි තත්ත්වයක දී ශේක්ස්පියර් ප්‍රති සන්දර්භගත කරන්න වෙයි. ‍ප්‍රංශ කලාකරුවෙක් වන ‘ජීන් ජෙනේ’ අතින් ඉහත ප්‍රති සන්දර්භගත කිරීම නිර්වචනය වන්නේ මෙසේ ය. “මුළු ලෝකයම වේසමඩමක්. අපි එහි චරිත රඟපාන ගණිකාවෝ විතරයි”. 

             ඔහු විසින් 1958 වර්ෂයේ රඟදක්වන ලද ‘The Balcony’ නම් නාට්‍යය නූතන ‘බලය’ පිළිබඳ අපූරු අර්ථකථනයකි. ඔහු නාටකය තුළ කතා කරන්නේ, බලයේ හුදු විරුද්ධාභාසය නෙවි . ඔහු කරන්නේ විප්ලවයේ දෘෂ්ටිකෝණයෙන් ගණිකා නිවාසයක් දෙස නැරඹීම වෙනුවට ගණිකා නිවාසයක දෘෂ්ටිකෝණයෙන් විප්ලවය දෙස නැරඹීමෙන් බව ය.

Jean Genet

             නාට්‍යයේ කෙටි අදහස මෙසේ ය. අර්මා නම් ගණිකාවක් විසින් (ගණිකාව යන වචනය ලියන්නේ දැනුවත්ව) ‘මායා මන්දිර’ නමින් ගණිකා නිවාසයක් පවත්වාගෙන යයි. එහි ක්‍රියාකාරීත්වය අපූර්ව ය. සමාජයේ ජීවත්වන සුළු ධනේශ්වර මිනිසුන්ට සමාජයේ තමන් කැමති භූමිකාවක් ‘මායා මන්දිරයට’ පැමිණ රඟ දැක්වීමට හැකිය. නාට්‍ය  පිටපතට අනුව බාහිරින් එන සාමාන්‍ය මිනිසුන් තිදෙනෙක් ගණිකා නිවාසය තුල දී විනිශ්චයකාරයා, බිෂොප්, ජෙනරාල් යන චරිත 3න් රඟ දක්වයි. අර්මාගේ ගණිකා නිවාසය විසින් ඉහත තනතුරු තුන සඳහා අවශ්‍ය කරන ‘අමතර විනෝදය’ ඇයගේ ගණිකාවන් හරහා ලබා දෙයි. උදාහරණයක් ලෙස, ගණිකා නිවාසයට පැමිණ විනිශ්චයකරුගේ භූමිකාව රඟන මිනිසා ගණිකාවගේ බූට්ස් ලෙව කයි. ජෙනරාල්වරයාට අශ්වයෙකු පිට යාමට සලස්වයි.

           මෙහි ඊළඟ අංශය වන්නේ, ‘ගණිකා නිවාසයට’ පිටත ලෝකය යි. එහි ඇත්තේ, විප්ලවයයි. ‘මායා මන්දිර’ නම් ගණිකා නිවාසයට පිටතින් පවතින ලෝකය යනු, විප්ලවය සිදුවන ලෝකය යි. තර්ජනය එන්නේ, පිටතිනි. විප්ලවය සිදුවන ලෝකයේ සිටින සාමාන්‍ය මිනිසුන් ‘මායා මන්දිරයට’ පැමිණ ඔවුන් ෆැන්ටසිකරණය කරන භූමිකා ඒ තුළ රඟ දක්වයි. එක් මොහොතක දී, ‘මායා මන්දිරය’ තුළ සිටින පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ, රැජින ඇතුළුව පාලක පන්තිය විප්ලවය විසින් ඝාතනය කළ බවයි. විප්ලවයට පසු ‘අලුත් ලෝකයේ’නායකයන් වන්නේ, මායා මන්දිරයේ භූමිකා රඟ දැක්වූවන් ය. පැරණි ලෝකය යළිත් පුනස්ථාපනය වෙයි.

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

                  – ඊළඟ කොටසට – 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here