2002 වර්ෂයේ දී අශෝක හඳගම විසින් නිර්මිත ‘තනි තටුව’ චිත්‍රපටයේ රැඩිකල් මානය වූයේ එමඟින් නිරූපණය වූ ලිංගික වෙනසේ ප්‍රබන්ධමය මානයයි.

චිත්‍රපටය රිදී තිරය මත වැක්කෙරෙන තුරු අප ‘ලිංගික-වෙනස’ ස්වභාවික එකක් ලෙසින් අවබෝධ කරගෙන සිටියෙමු. නමුත් ‘තනි තටුව’ චිත්‍රපටය විසින් ලිංගික වෙනසේ (ස්ත්‍රී-පුරුෂ භේදය) ප්‍රබන්ධ මානය (Fictional Nature) තහවුරු කරන ලදී. ශ්‍රී ලාංකිකයන් බහුතරය ලිංගික වෙනස හෝ ලිංගික සංස්කෘතිය ස්වභාවික එකක් ලෙස පිළිගනිති. නමුත් එම ගතානුගතික අදහස වෙනුවට චිත්‍රපටය යෝජනා කරන්නේ ලිංගය යනු කායික විද්‍යාව හෝ දෛවය නොවන බවයි. ලිංගික දේවල්වලට ලාංකේය ඉතිහාසය තුළ එතෙක් පැවති සොබාවික අදහස චිත්‍රපටය නිසා විසංයෝජනය විය. චිත්‍රපට කලාවේ රැඩිකල් මානය යනු ජීවිතය දෙන ලද දෛවයක් ලෙස වටහා නොගෙන එය සතු ප්‍රබන්ධ මානය තහවුරු කිරීම බව චිත්‍රපටය ප්‍රදර්ශනය වූ යුගයේදී එතරම් පැහැදිලි නොවීය.

මනෝවිශ්ලේෂණයේත්, චිත්‍රපට කලාවේත් විජයග්‍රහණය වන්නේ යථාර්ථයේ ප්‍රබන්ධමය මානය තහවුරු කිරීම බව වටහා ගැනීම දුෂ්කරය. අපගේ සමාජ යථාර්ථය යනුම ප්‍රබන්ධයක්, එනම් ෆැන්ටසියක් නම්, එවිට චිත්‍රපට කලාව යනු යථාර්ථය වෙනුවට ප්‍රබන්ධයක් වටහා ගැනීමට පෙළඹීම නොවේ. මීට ප්‍රතිපක්ෂව මනෝවිශ්ලේෂණය සහ සිනමා කලාව මඟින් තහවුරු වන්නේ ‘යථාර්ථය’ ප්‍රබන්ධයක් ලෙස අත්විඳීමයි. හඳගම විසින් නිර්මාණය කළ ‘තනි තටුව’ චිත්‍රපටය යනු වැලිකන්ද ප්‍රදේශයේ ජීවත් වූ තරුණියක් තමන්ගේ ලිංගය පුරුෂ ලෙසින් වටහාගෙන (ලිංගය ප්‍රබන්ධයක් ලෙසින් ගැනීම) සමාජයේ ක්‍රියා කිරීම පාදක කරගත් සිනමා කෘතියකි.

චිත්‍රපටයේ මූලාශ්‍රය සැබෑ සිදුවීම්ක පාදක කොට ගත් පුවත්පත් විශේෂාංගයකි. එය පළ වී තිබුණේ ‘ලක්බිම’ – 2003, මාර්තු 2, පිටුව 36 – පුවත්පතේය. වැලිකන්දේ විසූ තරුණියගේ නම කුසුමලතා වූ අතර පසුව ඇය පදිංචිය සඳහා තරමක නාගරික ප්‍රදේශයක් වූ මාරවිල ප්‍රදේශය තෝරාගෙන ඇත. ඇය තම නම දේවින්ද දිසානායක නමින් වෙනස් කරගෙන සිටි අතර විවාහය සඳහා තෝරාගත් කෙනාගේ නම බුද්ධිමා විය. ඒ යුගයේ දී සමාජය කළඹන ලද තේමාව වූයේ සංක්‍රාන්ති ලිංගිකත්වය නොව ලිංගිකත්වයේ පන්ති මානයයි. කුසුමලතා පිරිමියෙක් බවට පත්වූයේ දුප්පත්කමේ අහේනිය නිසාද? නැතහොත් සංස්කෘතික පීඩනය නිසාද? ජීවිතයේ ප්‍රබන්ධ මානය යන සාධකයට වඩා සංවාදයේ දී වැදගත් වූයේ මෙම කතාවේ තාත්විකත්වයයි. ලිංගික අනන්‍යතාවය වෙනස් කිරීමට තුඩු දුන්නේ අන්ත දරිද්‍රතාවයද? නැතහොත් ආත්මීය උවමනාවක්ද? 2003 වර්ෂයේදී එවකට X කණ්ඩායම විසින් රචිත ‘කෘතිය මේ තරම්’ නම් ග්‍රන්ථය තුළ සාකච්ඡා කරන ලද්දේ ද ‘ලිංගිකත්වය’ පන්ති දේශපාලනය තුළ ස්ථානගත කළ හැකිද යන්නය. අතීතාවලෝකනයකදී අද අපට වැටහෙන්නේ විසිඑක් වැනි සියවසේ මුල් දශකය යනු පන්ති දේශපාලනයේ අවසන් නිමේෂය බවයි. ඉන්පසු ආරම්භ වූයේ අනන්‍යතා දේශපාලනයයි.

අශෝක හඳගම තම නිර්මාණය තුළත්, මම ඉහත ග්‍රන්ථය තුළත් වරද්දා ගත් දේශපාලන පාඩමක් ඇත. අප බොහෝ දෙනා එවකට පරිකල්පනය කරන ලද්දේ ලිංගිකත්වය සහ ලිංගික වෙනස (ස්ත්‍රී/ පුරුෂ භේදය) හුදු නිදහසට අදාළ මාතෘකා ලෙසින්ය. ‘කෘතිය මේ තරම්’ නම් X කණ්ඩායමේ කෘතියට 2003 වර්ෂයේදී මැදපාන්තික ස්ත්‍රීවාදී කණ්ඩායම්වලින් සහ කොළඹ ඇකඩමික මැදපාන්තික විවේචකයන්ගෙන් එල්ල වූ විරෝධය වූයේ අපගේ කෘතියේ නිගමනය වූ ‘සංක්‍රාන්ති ලිංගිකත්වය’ (Trans-Sexual-ism) යනු විපරිතභාවයකි (perversion) යන න්‍යායික අදහසයි. කෘතියට අප එල්ලා තිබූ එල්ෆ්‍රිඩේ එලිනෙක්ගේ ‘පියානෝ ගුරුවරිය’ (2002 – අධ්‍යක්ෂණය මයිකල් හාන්ක) නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන එරිකාගේ ආත්මමූලිකත්වය විපරිත වේ යැයි යන අදහස ද එකල අතාර්කික විය. හිස්ටෙරිකයකු විපරිත විය හැකිද?

කෙසේ වෙතත් මේ වන විට ‘තනි තටුව’ කෘතිය ප්‍රදර්ශනය වී දශක එකහමාරක් පමණ කාලය ගත වී ඇත. ලිබරල් මානව සබඳතා සහ ධනවාදය අතර ඇති ආතතිය උත්සන්න වී ඇත. අද දවස වන විට භූමි හරන්ද්‍රන් වැනි සංක්‍රාන්ති ලිංගිකයන් කිසිදු බියකින් තොරව තම ලිංගිකත්වය සමාජය සහ මාධ්‍ය ඉදිරිපිට ප්‍රකාශ කරයි. සංක්‍රාන්ති ලිංගිකත්වය සංස්කෘතික නිර්මිතයක් ලෙසින් පිළිගැනීමට සිංහල කතිකාව දැන් සූදානම්ය. මෙම තත්ත්වය සඳහා පස සකස් කරන ලද්දේ ‘තනි තටුව’ සමාජ-දේශපාලන සංවාදයයි. ඒ සඳහා පවුලක් සහ X කණ්ඩායම වන්දි ගෙවන ලදී.

‘තනි තටුව’ චිත්‍රපටය මඟින් ඉදිරියට ගෙන එන ලද යථාර්ථයේ ප්‍රබන්ධ මානය යන දේශපාලනික මානය ක්‍රමයෙන් වියැකී ගියේය. මේ චිත්‍රපටය මඟින් උත්පාද වූ නව-දේශපාලනික මානය වූයේ පවුලේ ප්‍රබන්ධ මානයයි. ‘තනි තටුව’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව එවකට රඟ දක්වන ලද්දේ අනෝමා ජනාදරී විසින්ය. 2004 වර්ෂයේදී ප්‍රාථමික සිදුවීම් දෙකක් සිදු විය. එකක් වූයේ අනෝමා ජනාදරී හඳගමගෙන් වෙන් වී යාමයි. ඉන්පසු ඇය විසින් ‘තනි තටුව’ චිත්‍රපටය සඳහා ඇය කළ රංගනය සඳහා ගෙවීමක් කළ යුතු යැයි අවධාරණය කරන ලදී. අනෙක් සිදුවීම වූයේ X කණ්ඩායම 2004 වර්ෂයේ අග බිදී විසිරී යාමයි. මෙම දෙවන සිදුවීමද කේන්ද්‍ර කර ගත්තේ ස්ත්‍රී චරිතයකි. නමුත් සමාජයක් ලෙස මෙම සිදුවීම් දෙක විචාරකයන් විසින් ප්‍රශ්න කරනු ලැබුවේ පුරුෂත්වය සහ එහි ස්ත්‍රී විරෝධී මානයයි. කෙටියෙන් කිවහොත් ස්ත්‍රී නිදහස තවදුරටත් පුරුෂ වාග් අලංකාරයෙන් මර්දනය කළ නොහැක.

‘තනි තටුව’ චිත්‍රපටයට අදාළව ඊට වසර 15 කට පසුව ඒ තුළම අන්තර්ගත වූ X නම් යමක් නැවත මතුකර ගැනීමට නොහැකිද? ‘තනි තටුව’ ගැන එකල සංවාදයට එක්වූ බහුතරය මතු කළ වැදගත් දේශපාලන මානය වූයේ සංස්කෘතික මර්දනයයි. (Cultural Repression) සොබාවිකව ස්ත්‍රී ශරීරයක් ලද පුද්ගලයෙක් ආත්මයක් ලෙස සමාජයෙන් පුරුෂයෙක් ඉල්ලයි. නමුත් අනෝමා ජනාදරීගේ ගැටලුව චිත්‍රපට ආඛ්‍යානයේ සංක්‍රාන්ති ලිංගිකයාගේ ඉල්ලීමෙන් සපුරා වෙනස්ය. අශෝක හඳගම විසින් නිෂ්පාදනය කළ චිත්‍රපටයේ ඇය රඟපාන ලද්දේ නොමිලයේය. ‘පවුල’ (Family) සංස්කෘතික නිෂ්පාදනයක්ය. ඒ තුළ පුරුෂයාගේ මර්දනයක් ඇත. ඒ තුළ අනෝමා හඳගම යනුවෙන් කෙනෙකුට පැවතිය හැකි වුවද අනෝමා පුනර්ජීව යනුවෙන් කෙනෙකුට පැවතිය නොහැක. මේ හේතුව නිසා පවුල තුළ සංස්කෘතික මර්දනයක් ඇත. මෙම අනන්‍යතාවයන් දෙක මැද යම් ආත්මයක් (Subject) අතර වෙනස කියවන්නේ නැත. චිත්‍රපටයේ සංක්‍රාන්ති ලිංගිකයා සමාජයෙන් ඉල්ලා සිටින්නේ ලිංගික විප්ලවයකි. නමුත් අනෝමා ජනාදරී සමාජයෙන් ඉල්ලා සිටින්නේ විනෝද වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. නැතහොත් වස්තුවට හිමි ප්‍රජාතන්ත්‍රවාදයයි. ඔබ මා ගුප්ත වස්තුවක් ලෙස ෆැන්ටසිකරණය කර ස්වයං මෛථුනයේ යෙදුනා නම් ඒ සඳහා වූ මිල ගෙවන්න! චිත්‍රපටය සිනමාත්මක (සමාජ ප්‍රශ්නයක්) වන්නේ මෙම නිමේෂයේදීය.

ඉතා කල්පනාවෙන් ‘තනි තටුව’ චිත්‍රපටය වියමනක් (Text) ලෙස කියවුවහොත් එහි සංස්කෘතික සන්දර්භය අලුත් දැනුමක් නිෂ්පාදනය කරයි. මෙම දැනුම අතීතයට බලපාන දැනුමකි. චිත්‍රපටය නිර්මාණය කරද්දී අශෝක හඳගම පිරිමියෙකු ලෙස හිතන්නේ අනෝමා යනු මගේ බිරිඳ බවයි. එනිසා චිත්‍රපට නිෂ්පාදනය පවුලේ වැඩකි. පවුල තුළ පවතින ලිංගික තෘප්තිය සඳහා කිසිවෙක් මිලක් බලාපොරොත්තු වන්නේ නැත. එසේ වුවහොත් එය ගණිකා වෘත්තියයි. (දේශපාලන නිවැරදිභාවය දැනුවත්ව උල්ලංඝනය කොට ඇත) එපරිදිම ස්වාමි-පුරුෂයා නිෂ්පාදනය කරන චිත්‍රපටයක් සඳහා ඔහුගේ බිරිඳ රඟපාන්නේ නොමිලයේය. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපොළ’ ලිපියට අනුව පවුල යනු පුද්ගලික දේපොළවල සමාජීය ප්‍රකාශනයයි. ඒ අනුව අශෝක හඳගම පවුල තුළ පවතින සංස්කෘතික මර්දනය ස්වභාවික කර ඇත. අනෝමා ජනාදරී සිදුකොට ඇත්තේ පවුල සතු මෙම ස්වභාවික මානය ප්‍රශ්න කොට එහි ප්‍රබන්ධමය මානය (එනම් පවුල පවා වෙළෙඳපොළ ආර්ථිකය මඟින් මෙහෙය වෙයි) හෙළිදරව් කිරීමයි. ලිබරල් සමාජ සබඳතා වඩ වඩා තහවුරු වන තත්ත්වයක් තුළ සංස්කෘතික මර්දනය නම් ප්‍රපංචය යල් පැන ගිය තත්ත්වයක් ලෙසින් මිනිසා අවබෝධ කර ගනියි. පවුල, පල්ලිය හෝ පන්සල, පාසල, දේශපාලන පක්ෂ සහ සමාජය අතර ඇති සම්බන්ධය උඩුයටිකුරු කර තේරුම් ගැනීමට කෙනෙක් මනේවිශ්ලේෂණය දෙසට හැරිය යුතුය. ඉහත කී ආයතන සඳහා පොළොවක් නිර්මාණය වී ඇත්තේ මර්දනය හරහාය. මෙම මර්දනය විකේන්ද්‍රීය, අපුද්ගල, මනෝ විද්‍යාත්මක නොවන එකකි. මර්දනය ස්ථානගත වන්නේ ආත්මීය ඇතුලත සහ සමාජීය බාහිර යන අංශ දෙක අතර පවතින තාප්පය මතය. සමාජ යථාර්ථයටත්, පුද්ගල යථාර්ථයටත් සංකේතීය පැවැත්මක් ලැබී ඇත්තේ මේ නිසාය. දේශපාලන අවකාශයට සංගතභාවයක් ලැබී ඇත්තේද මේ ‘මර්දනය’ නම් ප්‍රපංචය නිසාය.

ලිබරල් ධනවාදය විසින් ඉහත සංස්කෘතිය නම් මර්දනයට පැවති නිශේධනාත්මක අවකාශය හකුලා දමයි. ධනවාදය ‘මර්දනය’ අහෝසි කරනවා වෙනුවට එය වෙළඳපොළ හරහා අලුත් වටයකින් හඳුන්වා දෙයි. අනෝමා ජනාදරීගේ අරගලය වටහා ගැනීමට අවශ්‍ය අය පවුලෙන් ධනවාදය දෙසට හැරිය යුතුය.

දීප්ති කුමාර ගුණරත්න

LANKANEWSWEB

ඔබේ අදහස කියන්න...