For Anusha!

අහස්තල පොලෝතල ඔබට මට පොදු වෙලා හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ . . . ඔබ මගේ . . .

හැඳින්වීම –

‛පවතින තත්ත්වය’ වෙනස් කිරීමට උත්සාහ කරන විට අපට මුණ ගැහෙන දෘශ්‍යමානය (සංකේත ප්‍රබන්ධය) අපට යළි ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි වටහා ගැනීම එතරම් සරල නැත. මේ නිසාම යථාර්ථය වෙනස් කිරීමේ අරගලයේදී අපට හමු වන්නේ රතු පලස් එලන ලද මාවතක් නොව මුලාකිරීම් බහුල වංකගිරියකි. එබැවින් යථාර්ථය වෙනස් කිරීමට ක්‍රියා කිරීමට පෙර යථාර්ථය අප නිවැරදිව සංකල්ප රූපවලට පරිවර්තනය කර ගත යුතුය. යථාර්ථය ගැන අප දන්නා න්‍යායන් නැවත නැවතත් පුනරීක්ෂණය කළ යුතුය.

නිදහස් සංසදයේ අත්දැකීම-

අලුත් ලෝකයක් තැනීමට අපට කලින් උත්සාහ කළ අයගේ අත්දැකීම්වලින් අප ඉගෙන ගැනීමට සූදානම් විය යුතුය. උදාහරණයක් ලෙස එවකට සමාජවාදය ක්‍රියාත්මක වූ නැගෙනහිර යුරෝපයේ රටක් වන නැගෙනහිර ජර්මනිය ආශ්‍රිතව 1989 වර්ෂයේ බිහි වූ Neues Forum (නව සංසදය) නම් දේශපාලන එකමුතුවේ ඉරණම තීන්දු වූ ආකාරය ගවේෂණය කරමු. මෙම ‛නව සංසදයේ’ බුද්ධිමය කවය තමන්ගේ දේශපාලන මතය ඉතාම පැහැදිලිව මෙලෙස සඳහන් කළේය. ‛අපේ රටේ පවතින්නේ විකෘති කරපු සමාජවාදයක්. මෙයට විකල්පය විය යුත්තේ වෙළඳපොළට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින බටහිර-ධනවාදය යළි ස්ථාපිත කිරීම නෙවෙයි. සැබෑ විකල්පය විය යුත්තේ වෙනසට ඉඩ දෙන ප්‍රජාතන්ත්‍රවාදය සහිත සමාජවාදයකි.’

ලෝකයේ පළමුවෙන්ම, 60 දශකයෙන් පසු බිහි වූ විධිමත් ‛නව-සමාජ-ව්‍යාපාරයක්’ (New Social Movement) ලෙස මෙම නව සංසදය සැලකිය හැක. මේ වටා සංවිධානගත වූ බුද්ධිමතුන් කණ්ඩායම ඉතාමත් ආවේගකාරී හැඟීම්බර පුද්ගලයන්ය. ඔවුන් එතෙක් නැගෙනහිර යුරෝපයේ විවිධ රටවල පැවති සමාජවාදය ඉතාමත් බැරෑරුම් ප්‍රපංචයක් ලෙස සලකා බැලීය. එම අවබෝධය හුදු බුද්ධිමය ආවේගයක් බවට පමණක් පත්වීමට නොදී පවතින විකෘති සමාජවාදය බිඳ දැමීමට වැඩපිළිවෙළක් ද යෝජනා කළේය. නමුත් ඔවුන් කල්පනා නොකළ කරුණක්ද මෙතැනදී අවධාරණය කළ යුතුය. ඇයි මෙතරම් කාලයක් සංගතව පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතිය ඉතාම සරල ආකාරයකට බිඳ වැටුණේ? මෙම සරල ප්‍රශ්නය ඔවුන් ඔවුන්ගෙන්ම ඇසූ නැති නිසා ඔවුන්ගේ අලුගෝසුවන් බවට පත් වූයේ ඔවුන් විමුක්තිකාමීන් යැයි සිතූ පිරිසමය. නිදහස් සංසදයේ බුද්ධිමතුන්ගේ විශ්වාසය පදනම් වූයේ කිසිඳු සාරයක් නැති පදනම් වටා -People- බව පැහැදිලි වන විට ඔවුන්ගේ දෛවය ඉතිහාසය විසඳා තිබිණි.

නොසිතූ දෙය සිදුවූයේ කෙසේද? ප්‍රඥාව අප කරා එන්නේ බස්සකු මෙන් ගොම්මනේදී යැයි හේගල් කියන ආප්තය වටහා ගත යුත්තේ කෙසේද?

ඔවුන් ඒ ගැන නොදැන සිටියා නොව , නිහඬව සිටියාය –

‛නව සංසදයේ’ බුද්ධිමතුන්ගේ තක්සේරුවට අනුව සැබැවින්ම පැවති සමාජවාදය යටතේ මිනිසුන් ජීවත් වූයේ පුරවැසියන් ලෙස නොව වහලුන් හැටියටය. මෙහිදී නව සංසදයට අයත් බුද්ධිමතුන්ගේ ඥානයට ‛දෘෂ්ටිවාදය’ (Ideology) යන ප්‍රපංචය සමාජවාදී-ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැන වැටහීමක් නොතිබුණි. මිනිසුන් යම් දෘෂ්ටිවාදයකට යටත් වන්නේ එමගින් යම් අර්ථයක් ලබා දෙන නිසා නොව එමගින් යම් අශ්ලීල විනෝදයක් සහතික කරන නිසාය. මෙම පාඩම ගැන අවබෝධයක් අපට මේ වන විට ඇත.


මෙම අවබෝධය පැවති සමාජවාදය තුළ මිනිසුන් ජීවත්වූයේ කෙසේද යන්නට ආදේශ කළහොත් සිදුවන්නේ කුමක්ද? ‛සමාජවාදය’ යටතේ ජීවත්වූ මිනිසුන්ට ජීවිත දෙකක් පැවතිණ. ඉන් ප්‍රකාශිත ජීවිතය, එනම් ඔවුන්ගේ සමාජ-ජීවිතය තුළ ඔවුන් තමන්ට ‛සමාජවාදය’ කෙරෙහි ඇති භක්තිය විවිධ සංකේත, චාරිත්‍ර මගින් ප්‍රකාශ කළහ. නමුත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය ඊට හාත්පසින් වෙනස් එකක් විය. ඊට අනුව ඔවුන් හැමවිටම ‛සමාජවාදය’ නින්දාවට පත් කළ අතර එය සහ තමන් අතර නිශ්චිත-නිහඬ පරතරයක් දිගටම නඩත්තු කළේය. මේ තත්ත්වය තුළ ‛නිදහස් සංසදයේ’ බුද්ධිමතුන් මෙන් පැවති සමාජවාදය මහජනයා කිසිඳු ආකාරයකින් බැරෑරුම් ලෙස තදාත්මික නොවන අතර ඔවුන්ගේ ජීවිතය සහ ‛සමාජවාදී-සංකේත-ප්‍රබන්ධය’ අතර පැවතියේ පිරවිය නොහැකි පරතරයකි. අප දැනටත් දන්නා රූපකයකින් කියන්නේ නම් මහජනයා පැවති සමාජවාදය තුළ ජීවත් වූයේ නරුමවාදීන් (Cynics) ලෙසිනි. ඔවුන්ට ගෝර්කි හෝ බ්‍රෙෂ්ට් සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණේ නැත.

1990 දී ජර්මනිය එක්සත් වී පසුව නිදහස් ඡන්දය පැවැත්වීමෙන් පසු ‛නව සංසදයට’ ලැබුණු ඡන්ද ප්‍රතිශතය වූයේ 3% කි. ‛සමාජවාදය’ බිඳ වැටීමෙන් පසු ජර්මනියේ බලය ලබා ගත් පිරිස (ඔවුන් බහුතරයක් පැවති මර්දනකාරී සමාජවාදය තුළ දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අයයි) වහාම ප්‍රකාශ කරනු ලැබුවේ ‛නිදහස් සංසද’ බුද්ධිමතුන් යනු අතීතයට අයිති, මෝඩ, රහසිගත කොමියුනිස්ට් බුද්ධිමතුන් රංචුවක් බවයි. මේ නිසා නැගෙනහිර ජර්මනිය එකවර විවෘත වූයේ විධිමත් සමාජවාදයකට අරාජික ධනවාදයකටය. ඉන්පසු නිදහස් සංසද බුද්ධිමතුන් දවල් සිහින දකින්නන් ලෙස ඉතිහාසයට එකතු විය. ඔවුන්ගේ ඉරණම ඉතිහාසය විසින් අවසාන කරන ලදී.

‛නිදහස් සංසදය’ ‛විභවිය’[1991-5 ] ලෙස ලංකාවෙන් මතු වීම

”හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ . . . ඔබ මගේ . . . නා ගසක් දළු දමා වසන්තය එළඹිලා මඳ පවන් රැල් වැදී සැලෙන විට කැළඹිලා මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ . . . ඔබ මගේ . . . යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ . . . ඔබ මගේ . . .”

80 දශකයේ බිහි වූ දෙමළ දේශපාලනයට සහ නව-ලිබරල්වාදය විසින් හිස් කරන ලද සිංහල අර්ථලෝකය සහ එහි සුබසාධන රාජ්‍යයේ විඛාදන ක්‍රියාවලියට ප්‍රතිචාරයක් ලෙස ‛ජනතා විමුක්ති පෙරමුණ’ විසින් ආරම්භ කරන ලද සිවිල් යුද්ධය අවසන් වූයේ ඔවුන්ගේ කොඩිය තමන් අතට ගත් ආර්. ප්‍රේමදාස ජනාධිපති වීමෙනි. නමුත් LTTE ය හරහා සිදු වූ ඔහුගේ නූතනවාදී ඝාතනයට පසු ලංකාවේද විවෘත දේශපාලන අවකාශයක් බිහි විය. මෙම බුද්ධිමය අවකාශය තුළ නිදහස් රැඩිකල් බුද්ධිමතුන් විසින් බිහිකළ සංවිධානයේ නම වූයේ ‛විභවියයි’. ‛විභවියේ’ ප්‍රාර්ථනාව වූයේද ඛාදනයට ලක්වූ නොමිනිස් ධනවාදය වෙනුවට ආකෘතිගත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රාජ්‍යයක් බිහිකිරීමයි. ව්‍යාපෘතියේ නායකයා වූයේ චාල්ස් අබේසේකර මහතාය. උප නායකයා වූයේ ලංකාවට ජොන් රෝල්ස්ගේ න්‍යායන් හඳුන්වා දුන් බුද්ධිමතා වූ ජයදේව උයන්ගොඩය. පසුව මේ ව්‍යාපෘතියට අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ උප-කුලක (යුක්තිය, රාවය) එකතු විය. අවසානයේ මෙම ක්‍රියාවලිය සංගත වූයේ ‛රාවය’ පුවත්පත ප්‍රමුඛව වික්ටර් අයිවන් කේන්ද්‍රකොට ගෙනය. ව්‍යාපෘතියේ අවසානය සලකුණු වූයේ ‛මව-වෙනුවට-දුව’ නම් අයිවනියානු සටන් පාඨයෙනි.

නැගෙනහිර ජර්මනියේ ‛නව සංසද’ බුද්ධිමතුන්ට මුහුණදීමට වූ කටුක යථාර්ථයටම මුහුණ දෙන්නට ‛විභවි’ බුද්ධිමතුන්ට සිදු විය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව පිහිටුවා-1994- ටික කලක් ගත වන විට ‛විභවිය’ දිය වී ගිය අතර චාලි සහ උයන්ගොඩ චන්ද්‍රිකාගේ ව්‍යාජ ක්‍රියාවන් නිසා අපවාදයට ලක් විය. පසුව චාලි ඉක්මනින් මිය ගිය අතර උයන්ගොඩ පොත් ලිවීම සඳහා යොමු විය. නමුත් ඉන්පසු අයිවන් කියන්නාක් මෙන් අදටත් චන්ද්‍රිකාගේ අවතාරය 19 වන සියවසේ කොමියුනිස්ට්වාදය යුරෝපයේ අවතාරයක් වූ පරිදි සිංහල ලෝකය තුළ තවමත් හොල්මන් කරයි.

දෘෂ්ටිවාදය – Ideology- පිළිබඳ ගැටලුව –

ඉතිහාසයේ ඉහත සංයුක්ත උදාහරණ දෙක (නැගෙනහිර ජර්මනිය සහ ශ්‍රී ලංකාව) හරහා අප විසින් සංනිදර්ශනය කළ යුතු දෘෂ්ටිවාදය පිළිබඳ අදහස කුමක්ද? පළමුවෙන්ම කිව යුත්තේ ‛දෘෂ්ටිවාදය’ යන්න නියෝජනාත්මක ප්‍රොබ්ලමැතිකයෙන් (Representational Problematic) වෙන් කළ යුතුය. එම අදහස වටහා ගැනීමට උදාහරණ යොදා ගනිමු. එක්තරා මොහොතක ‛ජනතා විමුක්ති පෙරමුණ’ සතුව පැවති ඉන්දියන් විරෝධය නිශ්චිත මොහොතකට පසු ප්‍රේමදාස ඩැහැ ගැනීමත්, ජවිපෙම සතුව 2005 වසරේ පැවති යුදවාදය සහ දේශප්‍රේමය යම් මොහොතකට පසු මහින්ද ඩැහැ ගැනීමත් මගින් ප්‍රකාශ වන්නේ දෘෂ්ටිවාදය මගින් නිශ්චිත කිසිවෙකු නියෝජනය කරන්නේ නැති බවයි. දෘෂ්ටිවාදයට මුලා කිරීම සමඟ කරන්නට දෙයක් නැත. දෘෂ්ටිවාදය යනු නිශ්චිත සමාජීය අන්තර්ගතයක් විකෘති කරන, ව්‍යාජත්වයට පත් කරන අදහස් සමූහයක් නොවේ. මේ අදහසම අපට තවත් ආකාරයකින් වටහාගත හැක. වාස්තවික කරුණු අතින් සත්‍ය වන අන්තර්ගතයක් සහිත දේශපාලන දෘෂ්ටිකෝණයක් දෙන ලද මොහොතකදී සත්‍ය විය හැකි මුත් එය අත්‍යන්තයෙන්ම දෘෂ්ටිවාදී විය හැක. (උදා 93 දී ලංකාවේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් දීමට හැකි යැයි ‛විභවි’ බුද්ධිමතුන් සිතීම සත්‍යය. නමුත් එම අදහස දෘෂ්ටිවාදීය.) අනෙක් අතට දෙන ලද මොහොතකදී යම් සමාජීය අන්තර්ගතයක් වාස්තවික කරුණු මගින් බොරු බව පැහැදිලිව ඔප්පු කළ හැකි මුත් එය දෘෂ්ටිවාදී නොවිය හැක. (උදා -2004 වර්ෂයේදී චන්ද්‍රිකාව යළි බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කරළියට ගෙනෙන ලද සමාජ අන්තර්ගතය තිත්ත බොරු වුවත් එම අන්තර්ගතය දෘෂ්ටිවාදී වූයේ නැත. දේවල් මෙසේ වූයේ ඇයි?)

90 දශකය දෙස ආපසු හැරී බැලීමක් –

90 දශකයේ මුලදී ‛විභවි’ බුද්ධිමතුන් පරිකල්පනය කළේ උතුරේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් දීමෙන් පසු අප අවධානය යොමු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බවයි. මීට ප්‍රතිපක්ෂව 94 ට පසු ඡන්දයට ඉල්ලීමට අවතීර්ණ වූ ජවිපෙ උපායමාර්ගය වූයේ සිංහල රාජ්‍යය හරහා LTTE ය පරාජය කර එම හිස්තැනට තමන් ආදේශ වන්නටය. නමුත් ඔවුන් කොට්ඨාස දෙකේම අදහස්වලින් ‛සමාජ යථාර්ථය’ භ්‍රමණය නොවීය. විභවියත්, ජවිපෙත්, LTTE යත් අවසානයේ සිහින දකින්නන් වූ අතර චන්ද්‍රිකා සහ මහින්ද ‛ද්‍රව්‍ය’ (Matter) සහ කීර්තිය (බාග විට අපකීර්තිය) එකතු කරගත් පුද්ගලයන් විය. මේ බොහෝ දෙනාට ධනවාදයටත්, සමාජවාදයටත් එරෙහිව තුන්වැනි මාවතක් විවෘතව පැවතිණි. ඇත්තටම ලංකාවේ ඒ මොහොතේ ‛පසමිතුරුභාවය’ (Antagonism) මකා දැමුවේ මෙම තෙවැනි මාවතේ දෘෂ්ටිවාදයන්ය.[Identity politics] එයට නම් දෙකක් ලංකාවේදී ආදේශ විය.

(1) නව සමාජ ව්‍යාපාර – x කණ්ඩායම, ස්ත්‍රී කණ්ඩායම්, පරිසර සංවිධාන, NGO.

(2) ජාතිකවාදය – සිංහල හා දෙමළ.

මෙම තෙවැනි මාවතේ ගමන් කළ අය නිසා ලංකාවට සිදු වූයේ කුමක්ද? ජාතිවාදය, ප්‍රාදේශීයවාදය, දෙමළ සහ මුස්ලිම් විරෝධය, අනෙකා නොඉවසීම, ජාතික ආරක්ෂාව පිළිබඳ විවිධ මතිභ්‍රමයන්, ස්ත්‍රී විරෝධය, බහුතරදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය, ගබ්සා විරෝධය, සිගරට් – අරක්කු විරෝධය – නි වචනයකින් කියන්නේ නම් මෙම තෙවන මාවතේ ගමන් කිරීම නිසා අපට හමු වූයේ “සමාජය” (Society) නොව “විනෝදයයි” ( Enjoyment). ඉන්පසුව දේශපාලනය යනු බුද්ධි විරෝධයයි∎

දීප්ති කුමාර ගුණරත්න – Feb 12th, 2014

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “2004 වර්ෂයේදී චන්ද්‍රිකාව යළි බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ කරළියට ගෙනෙන ලද සමාජ අන්තර්ගතය තිත්ත බොරු වුවත් එම අන්තර්ගතය දෘෂ්ටිවාදී වූයේ නැත”. ඒ ඓතිහාසික මොහොත අදටත් ගැලපෙනව නේද.
    එ අනුව මෙ මොහොතේ ජවිපෙ කල යුතු වන්නේ ⁣එජාපය සමග යම් එකගතාවයට ඒම නේද (මහ මැතිවරණයක් ආවොත් යමි හෙයකින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here