නොමිලේ ලැබෙන දේවල් වැඩියෙන් ප්‍රිය කරද්දී, ඒ නිසා තමන්ට මිල දී ගත හැකි දේවල් සීමිත වී අනතුරුව ඒවා සහමුලින් නැති වී යන බව දන්නවා ද?

ඔබෙන් කවුරු හරි ඇහැව්වොත් දන්සැලක සහ අවන්හලක ඇති වෙනස කුමක් දැයි කියා ගත් කටටම ඔබ කියනුයේ එකක් නොමිලේ කෑම දෙනකොට අනෙකට ගියාම කන කෑම වලට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියා ද?

ඒත් අයෙක් කිව්වොත් දන්සැලක සහ අවන්හලක දකින්නට ඇති ප්‍රධානතම වෙනස්කම නම් පාරිභෝගික කැමැත්ත ඍජු ලෙසින් දැනගන්නට හැකියාව දන්සැලක නැතිකමත් අවන්හලක ඇතිකමක් කියා, ඔබ එය පිළිගනීවි ද?

නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව ගැන පාරිභෝගිකයාගේ ප්‍රසාදය දැනගැනීමට ව්‍යාපාරිකයාට දැඩි උනන්දුවක් ඇත්තෙ කැමැත්තෙන් මිල දී ගන්න අයට වැඩියෙන් බඩු විකුණුවාම ලාබ ලබන්න හැකි නිසයි. ඒත් සහනාධාර සමිතියකින් බෙදන දන්සැලකින් කන්නට එන අයගේ කැමැත්ත දැනගැනීමට වඩා සංවිධානය කරන අයට උනන්දුවක් ඇත්තේ දන්සැලට ආධාර දෙන්න අය සොයාගැනීමටයි.

කිරිටොපි විකුණන ව්‍යාපාරයක් මට ඇතැයි අපි උදාහරණයකට ගනිමු. ‘ඔයා හදන කිරිටොපි හරිම රසයි,’ කියා මගේ ගෙදර අය, නෑදෑයන් හා හිතවතුන් කියනු ඇත. එහෙත් ඉන් කී දෙනෙක් මුදල් ගෙවා ඒවා මිල දී ගනීවි ද? අන්න ඒ අය වෙළඳපොලක පාරිභෝගිකයන් වෙති. මම හදන කිරිටොපි අනිත් අය හදන කිරිටොපි වලට වඩා රසයෙන් වැඩි යැයි පිළිගන්නේ ද ඒවා මගෙන් මිල දී ගැනීම තමන් හදාගන්නවාට වඩා හෝ වෙන තැනකින් මිල දී ගන්නවාට වඩා අගනා යැයි ඔවුන් පිළිගන්නේ ද, එවිට මට පාරිභෝගික කැමැත්ත ගැන දැනගන්නට ලැබේ. මගේ කිරිටොපි ව්‍යාපාරය වැඩි දියුණු වීමත්, මගේ ගෙදර අය, මගේ හිතවතුන් ඔවුන්ගේ හිතවත් අයටත් කීමත් නිසා ඉල්ලුම වැඩි වී කිරිටොපි වලට අමතරව අල දෝසි හදන්නට පවා මම දිරිමත් වෙන්නට ඉඩ ඇත.

ව්‍යාපාරයක දී තම වෑයම ගැන ගුණ අගුණ දැනගන්නට හැකියාව ඍජුව පමණක් නොව ඒ දැනුම ඉතාමත් ඉක්මණින් දැනගන්නට ව්‍යාපාරිකයාට ලැබේ.

සහනාධාර සමිතියකින් කිරිටොපි දන්සැලක් දැම්මා යයි අපි උදාහරණයකට ගනිමු. එහි දී මම හදන කිරිටොපි නොමිලේ බෙදා දෙනු ලැබේ. මම දැන්සැලට ආධාර දෙන අයට ගොස් කියන්නේ ‘බලන්න දන්සැලට එන අය මේ කිරිටොපි වලට කොච්චරක් කැමැති ද? ඒ අය හරි ආසාවෙන් කන්නෙ. කිරිටොපි දන්සැලට දාහක් ආවා පැයක් ඇතුලත දී. ඒ නිසා දෙන්න තව ආධාර මට මෙහෙම කිරිටොපි හදලා බෙදන්න.’

දැන් මෙතැන දී කිරිටොපි හදන්න දන්සැලට ආධාර දෙන අයට ඒ කිරිටොපි වල රහ බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. ඔවුන් කිරිටොපි පිළිබඳ දැනුමක් ලබාගන්නේ මම ඔවුනට කියන විස්තරයෙන් පමණයි. මට ආධාර ලැබෙන්නේ ඒ විස්තරය කියන්න මම කොතරම් දක්ෂ ද අනුවයි. ඒ විස්තරය මම ගිහින් ආධාර ඉල්ලන කොතරම් පිරිසකට කියනවා ද යනාදිය අනුවයි.

දන්සැල් ක්‍රමයට අවන්හල් පවත්වා ගෙන යාම ගැන සටහනක් ඉහත කලක දී ලිව්වෙමි. සමාජවාදීන් මෙවැනි ක්‍රම ඉතා අගය කරති. එහෙත් එයින් සිද්ධ වෙන්නේ දානමාන කරන අයගේ කැමැත්තට අනුව ඉදිරිපත් කරන ආහාර පාන කන්නට අවස්ථාව ලැබී මිල දී ගන්නට කැමති ආහාර පාන විකුණන තැන් අඩු වී, නැති වී යාමයි.

ඉතින් මෙහි දී “ආණ්ඩුව වගා කරන්න දන්නේ නැතැයි කිව්වාම අපි මිනිස්සු බඩගින්නේ ඉන්නවාට කැමති යැයි කියනවා නොවේ,” යැයි ෆෙඩරික් බැස්ටියාට්ගේ කියමන මතක් කරදෙන්නම්. දන්සැල් දමනවාට හෝ අයෙක් කැමැත්තෙන් කරන පරිත්‍යාගයන්ට එරෙහි වෙනවා යැයි වරදවා වටහා ගන්නට එපා. මෙය ආයෝජන වෑයම් වෙනුවට එවැනි දන්සැල් උත්සාහයන් ප්‍රිය කරද්දී වෙළඳපොලේ තමන්ට ලැබෙන තෝරාගැනීම් සීමිත වී පසුව නොමැති වී යන ආකාරය පහදා ගන්න යැයි කියා දෙන්නට ගන්නා උත්සාහයක් පමණි.

පාරිභෝගිකයෙක් හැටියට ඔබ ඉල්ලා සිටිය යුත්තේ කුමක් ද?

ඔබ පරිභෝජනය කරන භාණ්ඩයක් හෝ සේවාවක් ගැන ප්‍රසාදය භාණ්ඩය මිල දී ගැනීමෙන් සහ මිල දී නොගැනීමෙන් කෙළින්ම නිෂ්පාදකයාට දන්වන්නට හැකි මාර්ගය ද?

නැත්නම්, ආධාර හැටියට බෙදන ක්‍රමයක, දන්සැල් මාර්ගයෙන් ඔවුන් සුදුසු යැයි තීරණය කරන ලද්දක් ඔබට ලැබෙන මාර්ගය ද?

ඔබ තෝරාගන්නේ කුමක් ද ඒ මාර්ගය තව තවත් වැඩියෙන් වෙළඳපොලේ දකින්නට ඔබට අවස්ථාව පෑදෙනු ඇත.

arunishapiro

ඔබේ අදහස කියන්න...