අප ජීවත් වන සමාජය යනු පාරිභෝගික භාණ්ඩ සහ මුල්‍ය සංඥා වලින් සමන්විත සමාජයකි. එම සමාජය තුල බහුතරයක්  පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට සියලු දේ සදහා ප්‍රවේශ වීමට අවස්ථාව නැත. දෘෂ්ටිවාදය යනු එවැනි සමාජයක් පාලනය කරනු ලබන සැබෑ බලවේගයයි.පුබුදු ජයගොඩ සහ කුමාර් ගුණරත්නම් යන සම්ප්‍රදායික වාමාංශිකයන් පවතින සමජය වෙනස් කිරීම සදහා දිගින් දිගටම පෙනී සිටියද, පවතින සමාජ ක්‍රමය යනු කුමක්ද යන්න නිවැරදිව අර්ථකථනය කිරීම සදහා විද්‍යාවක් ඔවුන්ට නැත. සුමිත් චාමින්ද හෝ X කණ්ඩායම හැර ගිය  දීප්තිගේ අභාෂය ඇතැයි උපකල්පනය කරන ඊනියා සටන් කරුවන්ගේ සහාය ලබා  ගත්තද (වඩා  නිවැරදි ලෙස එකී පුද්ගලයන්ගේ සේවය කුලියට ලබා ගත්තද – වසර 7ක් වෙර දරන ලද ) ඔවුන්ගේ දේශපාලනය තව තවත් දිය වී යනවා මිස වර්ධනය වීමක් පෙනෙන්නට නොතිබේ.  X කණ්ඩායමේ මිනිස්සු පමණක් නොව එහි උරුමය ඉදිරියට රැගෙන ආ පෙරටුගාමී සංඥාවද සොරාගෙන ඉබ්බා  සහ හාවා අතර තරගයේ හාවා මෙන්  වේගයෙන් දිව ගිය පුබුදු ඇතුළු පිරිස නිදා ගන්නා මොහොත දැන්  උදා වී තිබේ.  

පුබුදු සහ කුමාර් දෙදෙනා සමාජය නමැති වාස්තවික යතාර්ථය දෙස තමන්ගේ කුඩා ලෝකය තුල සිට බලන විට එය දකින ධනපතියෙක් පස්ස පැත්තෙන් හිනා වෙමින් ‘මුන් ටික නම් මරු, වැඩක් ගන්න පුළුවන්’ යැයි සිතයි. ඒ අනුව පුබුදු  ඇතුළු පිරිස තමන් වෙනස් කිරීමට උත්සහ කරන ක්‍රමයේම කොටස් කරුවන් බවට පත්වෙමින්  ක්‍රමය පෝෂණය කිරීම සදහා  නොදැනීම  දායක වෙයි. නොදැනීම සදහා හේතුව න්‍යාය, පවතින ක්‍රමය අර්ථකතනය කිරීම සහ ක්‍රියාවට පෙර සිතීම යන සමකාලීන දේශපාලන මුලධර්ම හමුවේ ඔවුන් නිද්‍රාශීලී වීමයි.

වෙනත් කිසිම දාර්ශනිකයෙකු ගැන  කතා නොකරන  නිසා පුබුදු සහ කුමාර් දෙදෙනාට දේවල් ඉගැන්විය හැක්කේ සාමාන්‍ය දැනුමෙන් පමණකි. ‘දෙයක් කිරීමට පෙර සිතන්න’ යන්නෙන්   අදහස් කරන දෙය   පැරැන්නෝ ‘පනින්න පෙර සිතා බලනු’ යැයි කී උපමාවට තරමක් සමානය. ධනවාදය හෝ වෙනත් ඕනෑම සමාජයක් වෙනස් කිරීමට  පාරට බහින්න පෙර එවැනි සමාජයක් යනු කුමක්ද යන්න අර්ථකථනය කරගත යුතුය. එවැනි සමාජ ක්‍රමයක්  පිළිබද න්‍යාය මත පදනම් වෙමින් සිතිය යුතුය.   වැඩි කාලයක් මිඩංගු කල යුත්තේ සිතීම සදහාය. පවතින  ක්‍රමයේ බලවේගයන් පරාජය කල හැකි මතවාදී අරගලයක් ගොඩනැගිය හැක්කේ එවිටය.  පවතින සමාජය ”නව-ලිබරල්”-Neo liberal-  සමාජයක් යැයි සිතා වලට පැන්න පුබුදු සහ කුමාර් දෙදෙනාට යළි ගොඩ ඒමක් නැත.

ලංකාවේ පවතින්නේ නව-ලිබරල් ධනවාදය  යැයි වූ වැරදි අර්ථකතනයේ සිට මාක්ස්වාදයේ සමකාලීන වලංගුභාවය පිළිබද සාකච්ජාවේ දෙවන කොටසට දැන් අපට  ප්‍රවේශ විය හැක. මුලින්ම අප ලිබරල්වාදී සහ ලිබරල් යන සංකල්ප දෙක  යනු  කුමක්ද යන්න අර්ථකථනය කල යුතුය. ලිබරල්වාදී  යන අදහස මගින් කියවෙන්නේ කෙනෙකුට සීමාවකින් තොරව විනෝද විය හැකි බවයි. ලිබරල් යනු එම විනෝදය මිලදී ගත යුතු වීමයි. මේ අනුව ලිබරල් සමාජයකදී අප නිදහස් යැයි සිතීම දෘෂ්ටිවාදයකි. වංගීස ගැහැණුන්ගේ පස්සවල් මිරිකමින් භුක්ති විදීමට උත්සහ කරන අශ්ශීල විනෝදය යනු ලිබරල්වාදී  නිදහස නොවේ. ලිබරල් සමාජයක සියලු දේ සදහා මිලක් ඇත. එවැනි සමාජයකදී වංගීසට වැන්නෙකුට ගැහැණුන්ගේ පස්ස මිරිකීමේ  ආශාවක් ඇත්නම් ඔහු මුදල් ගෙවා ශම්මි කුමාර් මුණගැසිය යුතුය.  ”දේශපාලන න්‍යාය” යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ගොඩනගන දෙයක් හෝ  පෞර්ෂ වර්ධනය කරන දෙයක් නොවේ.

‘අර්නෙස්ටෝ ලැක්ලෝ’ නම් දේශපාලන දාර්ශනිකයා අන්තෝනියෝ ග්‍රාමිස්චි කියවන විට ඔහු (ග්‍රාමිස්චි) සෝෂියර්ගේ ව්‍යුහවාදය ඥාණ විභාගයක් ලෙස නොදන්නා බව වටහාගෙන ඇත. නමුත් ලංකාවේ ඊනියා සිංහල – බෞද්ධ ග්‍රාමිස්චි කියවීම තුළ ලැක්ලෝගේ ව්‍යුහවාදය ග්‍රාමිස්චිට එන්නත් වන්නේ නැත. මෙය ”නොදැනුම” නොව වැරදි දෙයක් නිවැරදි යැයි කියා සිතා ක්‍රියා කිරීම නිසා සිදු වන නොමඟ යාමකි. දැන් මෙම තත්වය ලංකාව තුළ යලි නිවරද කිරීම පහසු නැත. දීප්තිගේ ආභාෂයේ හිර වූ මැට්ටන්ගේ උරුමයේ කරුමය මෙම තත්වයයි. 

නමුත් අද දේශපාලන න්‍යායවේදීන්, දේශපාලන විශ්ලේෂකයන් වී ඇති Facebook තුල චන්ඩි න්‍යාය යොදා  ගන්නේ එකී අරමුණ වෙනුවෙනි. න්‍යාය වැදගත්  බව  දිගින්  දිගටම විශ්වාස කරන අප සංවිධානය තුලින්ම අවසානයේ න්‍යාය  හරහා විනෝද-enjoying theory- වන පුද්ගලයෙකු බිහි විය. මම ලියන දෙයට කැමති  කෙනාට  අචාර කිරීම මගින්    මම වාමාංශිකයෙකු නොව ලිබරල්වාදියෙක්  බව සනාථ කෙරේ. මේ මොහොතේ වඩා  වැදගත්  දෙය වන්නේ  මිනිස්සු එකතු කරන්නේ කෙසේද ? යන ගැටලුව නොවේ.

සජිත්  , ගෝටා , අනුර වටා සෙනග එකතු වීම දකින විට ‘අපිත්  කොහොමද මේ වගේ පිරිසක් එකතු කර ගන්නේ’ යැයි  සිතීම දෘෂ්ටිවාදයකි. එසේ ජනතාව එකතු  කර ගැනීම සදහා ව්‍යාපාර ගොඩනැගීමද දෘෂ්ටිවාදයකි. මේ දේවල්  නිසා කිසිදු සමාජ පෙරලියක් සිදු නොවේ. එසේ නම්  අප  කල යුත්තේ කුමක්ද? මිනිස්සු එකතු කරන්නේ කෙසේද? යන ප්‍රශ්නය  අසනවාට වඩා මිනිස්සු සජිත්  , ගෝටා , අනුර  වටා  එකතු වන්නේ ඇයි? යන ප්‍රශ්නය අප  විසින්  මතු  කල යුතුය. සිතීම  තහනම්  කර ඇති යුගයක වාමාංශිකයන්ගේ සැබෑ ආස්ථානය විය යුත්තේ සිතීම හරහා සිදුවෙමින් පවතින  දෙය  අර්ථකථනය  කිරීමයි. සියලු  දෙනා ජනප්‍රිය දේශපාලනය පසුපස ලුහුබදින විට අප  පොත්  කියවීම සිදුකල  යුතුය. මන්ද ක්‍රමයට අවශෝෂණය කරගත නොහැකි , ක්‍රමයට ආර්ථික වශයෙන් වැදගත්කමක් නැති ක්‍රියාව වන්නේ එයයි. ජයසුරිය  ක්‍රිකට් ක්‍රීඩා  කරන අකාරය  බලාගෙන ප්‍රේක්ෂකයාටද පුටුවක් උඩට වී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උත්සහ කල හැක. නමුත් මෙම ක්‍රියාව ව්‍යාජයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ  ඇති වේදනාව දන්නේ ජයසුරිය පමණි.  

මාක්ස් ගේ ෆොයබාග් තිසිසයේ 11  වන තිසීසය වන  ‘දාර්ශනිකයන් ලෝකය අර්ථකථනය කර ඇත. නමුත් ගැටලුව වන්නේ  එය  වෙනස්  කිරීමයි’ යන අදහස   නැවත අර්ථදැක්විය යුත්තේ  ඉහත සන්දර්භය තුලය.  මේ යුගයේ ගැටලුව වන්නේ ලෝකය වෙනස් කිරීම සදහා සියලු දෙනා මැදිහත් වන නමුත් එය අර්ථකතනය කිරීම සදහා කිසිවෙක් මැදිහත් නොවීමයි. දර්ශනයේ කාර්යය වන්නේ වියනොහැකි දෙයක් පිළිබද සිතීමයි. මේ මොහොතේ සමාජයට කිසිදු සදාචාරාත්මක දිශානතියක් නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දර්ශනය විසින් ඒ සදහා පිළිතුරක් ලබා දිය යුතුය. ”ඇලන් බදියු” නම් දාර්ශනිකයාට අනුව  පැවැත්ම පිළිබද වන මුලධාර්මික ප්‍රශ්න ගැන අලුත් අකාරයකට සිතිය හැකි විඥානවාදයේ පුනුරුදයක් (renaissance of idealism) බිහි කිරීම අන් කවරකටත් වඩා වැදගත් වේ. දීප්තිගේ දේශපාලන ව්‍යාපෘතිය නොනැසී පුරා දශක දෙකක් මේ සමාජය තුල පැවතීම එක්තරා ප්‍රතිහාර්යකි. ඉන් ගම්‍ය වන්නේ ඉතා නරක , අතිශයින් නොදියුණු , සදාචාරාත්මකව පරිහානියට ලක්වූ මේ සමාජය තුලම එය වෙනස් කිරීම සදහා වූ ශක්‍යතාවය පවතින බවයි. ලාංකික භුමිය මත බිහිවූ මිනිස් චින්තනයේ පුනුරුද ව්‍යාපෘතිය විවිධ බලවේග හා ගැටෙමින් ඉදිරියට ගමන් කරයි.පක්ෂය විසින් ජනතාවගෙන් කරන එකම ඉල්ලීම වන්නේ ‘අධ්‍යයනය කරන්න’ යන ඉල්ලීමයි. මේ යුගයේ නිර්ධනයා යනු දේපල අහිමි ශ්‍රමය පමණක් හිමි පුද්ගලයා නොවේ.ඒ වෙනුවට සිටින්නේ බුද්ධිමය නිර්ධනකි. දීප්ති මධ්‍යම පාන්තික යැයි චෝදනා කරන්නේ මෙවැනි නිර්ධනයන් විසිනි.දීප්ති විසින් දැඩි ශ්‍රමයක් වැයකොට ගොඩනැගු බුද්ධිමය සංඝටක, අදහස් කොල්ලකාගෙන යන අය ජ.වී.පෙ. සහ පෙ.ස.පෙ.  විසින් භාර ගනී. ජ.වී.පෙ. සහ පෙ.ස.පෙ.  යනු සත්‍යට මුහුණ දීමට භය පක්ෂ දෙකකි. දීප්ති සමග කතා කිරීමට , අලුත් දෙයක් ගැන සිතීමට ඔවුන් භිය වේ . දීප්ති ගැන කතා කලොත් ඔවුන්ගේ දේවල් නැති වේ යැයි අනියත භියකින් පෙලේ. කෙසේවෙතත් ඔවුන් විනාශ වන්නේ මේ මග හැරීම නිසාමය. ජ.වී.පෙ. සහ පෙ.ස.පෙ.  පක්ෂ මෙන් නොව ලෝකයේ සිටින  ඕනෑම බුද්ධිමතෙක් අප පක්ෂය විසින් දේශපාලන න්‍යාය ගොඩනැගීම සදහා යොදා ගනී. ලංකාවේ වමේ ව්‍යාපාර අපේ බුද්ධිමය ගොඩනැගීම් සොරකම් කරගෙන  භාවිතා කරයි.වමේ තක්කඩි  එක් පැත්තකින් දීප්තිගේ ශ්‍රමය මංකොල්ල කන අතර තව පැත්තකින් ඔහුට නින්දා අපහාස සිදුකරයි.

ජනප්‍රියවාදය තුල මේ මොහොතේ  ජ.වී.පෙ. සහ පෙ.ස.පෙ.  මැදිහත්වීම් මගින් ක්‍රමය වෙනස් නොකරන බව  ඕනෑම තක්කඩියෙකු හොදින්ම දන්නා දෙයකි. ඒ පිළිබද විවේචනය නොකර එම රැල්ලත් සමග නරුමවාදීව අනන්‍ය වී සිටින පිරිස් කරමින් සිටින්නේ රාජපක්ෂලාට වඩා නපුරකි. අප බලයට පත්වූ පසු මේ සියලු දෙනාගේ ව්‍යපෘති අවසන් වන බවත් ඔවුන් හොදින්ම දනී.මේ නිසා අපව සෑම විටම මගහැරීමට  කටයුතු කරන විවිධාකාරයේ අය තත්වය කණපිට පෙරළුණු විට තමන්ට අත්විය හැකි ඉරණම පිළිබදවද කල්පනා කිරීම වැදගත්ය. මේ යුගයේ මිනිසුන් අතර ඇති පන්තිමය වෙනස අවලංගු වී ඇති අතර සංස්කෘතික වෙනස්කම් පමණක් පෙනෙන්නට තිබේ.ග්‍රාම්ස්චි යනු මාක්ස්වාදී බුද්ධිමතෙක් වන නමුත් ලංකාවේදී ඔහුව අර්ථකථනය කර ඇත්තේ සංස්කෘතික බුධ්ධිමතෙකු වශයෙනි.මේ නිසා ග්‍රාම්ස්චි විසින් සිදුකල ෆැසිස්ට් විරෝධී අරගලය අමතක කර ඇත.ලංකාව තුල ග්‍රාම්ස්චි යනු දෘෂ්ටිවාදයකි. ග්‍රාම්ස්චි නිසා මාධ්‍ය වලට ලිපි ලියමින් තමන්ගේ විනෝදය සංවිධානය කර ගැනීමට හැකියාව ඇතත් දේශපාලන වෙනසක් සිදු කිරීමට නොහැකිය. පවතින ජරා ක්‍රමයේම යැපෙමින් එයම විවේචනය කරන ඊනියා විශ්වවිද්‍යාල බුද්ධිමතුන්  සහ අන්ධ උද්ගෝෂකයන්ගේ දේශපාලන දිශානතිය වමේ දේශපාලනය තව දුරටත්  පසුපසට ඇද දමයි.

පුබුදු සහ කුමාර් දෙදෙනාට මඩ මතින් නැගී සිටින නෙලුම් මල් දෙකක් මෙන් සමාජය තුල පිපෙන්නට නොහැකිය. මන්ද කලින් පැහැදිලි කල පරිදි ඔවුන්ද මෙම ක්‍රමයේ කොටස්කරුවන් වන බැවින් ක්‍රමය වෙනස් කල පසු ඔවුන්ද මේ භූමියෙන් වියැකී යන නිසාය. පවතින තත්වය දැඩි ලෙස අවුල් සහගත බව සියලු දෙනා පිළිගනු ලබන දෙයකි. මෙම අවුල් සහගත තත්වය කුමක්ද යන්න  පැහැදිලි ලෙස අර්ථකථනය කරනු ලබන්නේ දීප්ති විසිනි. දීප්ති කරන දෙයම තමන් කල යුතු යැයි සිතා මෝඩ කතා කීම  පුද්ගලයන්ගේ විනෝදය පිළිබද ගැටලුවකි. මේ මොහොතේ සමාජය වෙනස් කිරීමට සැබෑ වුවමනාවක් ඇති ඕනෑම කෙනෙක් කල්පනාකාරීව දීප්තිට සවන් දිය යුතුය. 

අනුෂ්ක ආරියරත්න.

ඔබේ අදහස කියන්න...