ලාංකීය දේශපාලනයේ අප හැර වෙනත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තම  දේශපාලන ව්‍යාපෘතියේ ඉතිහාසය දෙස විධිමත් පසු විපරුමක් සිදුකරන්නේ නැත. නමුත් අප ව්‍යාපෘතියේ අනාගතය නිර්මාණය වන්නේ අතීත සිදුවීම් ආවර්ජනය කිරීමත් , අතීතයේ සිදු වූ වැරදි සහ අතපසු වීම් මොනවාද යන්න සාකච්ජා කිරීමත්  හරහාය. එක් පැත්තකින් ඇතැම් පිරිස් මෙම  ක්‍රියාවලිය දකින්නේ විවේචනාත්මක ඇසකිනි. ඔවුන්ගේ මතය වන්නේ අපට තවමත් අතීත සගයන්ගෙන් සහ සිදුවීම් වලින් ගැලවීමට නොහැකි වී ඇති බවයි. අපගේ දේශපාලනය මතුපිටින් පමණක් පරීක්ෂා කරන්නෙකුට එසේ සිතීම ස්වාභාවිකය. මීට පෙර සාකච්ජාකර  ඇති පරිදි අපගේ දේශපාලනය යනු සායනික අවකාශයකි.

නොදන්නා රෝගයකින් පෙළෙන්නෙකුගේ රෝගය කුමක්දැයි විනිශ්චය කර ඊට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය සායනයක සිදු කරන්නකි. නමුත් රෝගියා සුවය නොලබා මිය ගියහොත් සායනය භාර වෛද්‍යවරයා ව්‍යජේදය මගින් හෝ ඊට හේතු ගවේෂණය කල යුතුය. ඒ සදහා ඔහු ඕජස් ගලන මියදුන ශරීරය කපා පරීක්ෂා කල යුතුය. ඉන්පසු මෙම වෛද්‍යවරයා තමාට සිදුවූ අතපසු වීම්,  තමාට මගහැරුණු තැන් තම ශිෂ්‍ය වෛද්‍යවරුන්ට  ඉගැන්විය යුතුය. මියගිය රෝගියාගේ ඉරණමට  අනාගත පරපුර ගොදුරු නොවන්නේ එසේ නිෂ්පාදනය වන  දැනුම නිසාවෙනි. රෝගියා මියගිය පසු හඩා වැලපෙන්නේ රෝගියාගේ ඥාතීන් සහ මිතුරන්ය. ඔවුන් වෛද්‍යවරයාට බැන වදී. නමුත් වෛද්‍යවරයා රෝගියා ගැන දුක් වන්නේ නැත. ඒ වෙනුවට ඔහු උත්සහ කරන්නේ අනාගතයේ එවැනි මරණයක් සිදුවීම වැලක්වීමටයි. මෙම සිදුවීම තුල වඩා සදාචාරාත්මක වන්නේ වෛද්‍යවරයාය. වරාය ලිපිකරුවෙකු දේශපාලඥයෙකු කිරීම සංවිධානයේ එක් සායනික අත්හදාබැලීමක් විය. මෙම අත්හදා බැලීම අසාර්ථක වූ අතර අවසානයේ ලිපිකරුවා ආත්මීය මරණයකට ගොදුරු විය. මෙම සිදුවීම නැවත සලකා බැලීම මගින් අදටත් අපට වරදින තැන් බොහොමයක් හදුනාගත හැක. අපට තවමත් අතීත සගයන්ගෙන් සහ සිදුවීම් වලින් ගැලවීමට නොහැකි බව සිතන්නෙකුට නොපෙනී යන්නේ මෙම සායනික වැදගත්කමයි.

විසංයෝජනය (Deconstruction) පිළිබද සංවිධානය තුල පැවති දැනුම අධිනිශ්චය වූ කාල පරාසය වන්නේ 2003-2004 දක්වා වූ කාලයයි. එකල මනෝවිශ්ලේෂණය පිළිබද දැනුම පැවතියේ අවවර්ධිත මට්ටමකය. මෙම කාල වකවානුව තුල පැවති දීප්තිගේ පන්තියක සාකච්ජා වුයේ විසංයෝජන දැනුමෙන් මනෝවිශ්ලේෂණය වෙත විතැන් වීම පිලිබදවයි. මෙම වකවානුව තුල සංවිධානයට  විරුද්ධව ලියන බොහෝ දෙනෙකුගේ වියමන් ඉතා පහසුවෙන් විසංයෝජනය කිරීමට අවශ්‍ය දැනුම අප සතු විය. සුචරිත ගම්ලත්, කුමුදු කුසුම් කුමාර, අර්ජුන පරාක්‍රම, ඩෙස්මන් මල්ලිකාආරච්චි, නලීන් සුවාරිස් වැනි එකල බුද්ධිමතුන් යැයි සම්මත සියලු දෙනාගේ ලිවීම් විසංයෝජනය හමුවේ නිරර්ථක ලිවීම් බව සනාථ විය.වියමන තුල  කතෘගේ මුඛ්‍ය අභිමතාර්ථය වෙනුවට වෙනත් අභිමතාර්ථයක් ඇති බව පෙන්වා දීම විසංයෝජනයි. උදාහරණයකට සීගිරි චිත්‍ර වල සෞන්දර්යය කාන්තාව යැයි ගම්ලත් ප්‍රකාශ කරන විට අප එය පුරුෂ කේන්ද්‍රීය බව පෙන්වා දුන්නේය. අපට කලින් ගම්ලත්ගේ මතය  සාර්වත්‍රික විය. මෙම සියලු දේ පැරණි ලන්ඩන් සගරා තුල ලියවී ඇත. කෙසේ වෙතත් අපගේ න්‍යායික සොයාගැනීම සහ එය සමාජගත කිරීම සදහා  කලින් සදහන් කල බුද්ධිමතුන් කිසිවිටෙකත් සහයෝගය නොදැක්වීය. ඔවුන් අපට පෙරළා මඩ ගැසීය. දීප්තිට කොහොමද දැනුම ආවේ ? දීප්තිට ඉංග්‍රීසි පුලුවන්ද? යන ප්‍රශ්න ඔවුන් අසන්නට විය. අදටත් කුමුදු කුසුම් කුමාර කතිකා අධ්‍යයන කවය නමින් න්‍යායික බොළද ලිපි ලියන්නේ දීප්තිට විරුද්ධවය. ඔහු අද නතර වී  ඇත්තේ ෆැසිස්ට් ජාතිකත්වය තුලය. මීට අමතරව අපගේ ව්‍යාපෘතිය තුල හමුවන  ස්වයං -ප්‍රතිරෝධී ගුණාංගය ද කුමුදු කුසුම් ගේ උදාහරණය මගින් පෙන්නුම් කරයි. කුමුදු කුසුම් යනු මුල් අවධියේදී සංවිධානයට උදවු කල සගයෙකි. නමුත් සංවිධානයේ තවත් අවධියක ඔහු සංවිධානට විරුද්ධ පුද්ගලයෙකි. අපගේ  පැත්තෙන් බලන විට  එක්තරා මොහොතක අප පක්ෂපාතී වන කුමුදු කුසුම් ගේ චින්තනය තවත් මොහොතක අපට අනුව යල් පැන ගිය එකකි. මෙම උභතෝකෝටිකය විසදන්නේ හේගල් විසිනි. කුමුදු විශ්වාශ කරන්නේ චින්තනය ස්ථිතික බවය. නමුත් හේගල්ට අනුව චින්තය සෑම මොහොතකම වර්ධනය වෙයි. මේ නිසා අපට  එක තැනක  රැදී සිටීමට හැකියාවක් නොමැත.

2003-2004 වසර වල දීප්තිගේ පන්තිය හරහා මනෝවිශ්ලේෂණ දැනුම සංවිධානය තුලට පැමිණෙන විට සංවිධානය පැරණි වම සහ මනෝවිශ්ලේෂණය සමග ඉදිරියට යාම ලෙස කොටස් දෙකකට බෙදීමට පටන් ගැනින. පැරණි වම තම දේශපාලන ආස්ථානය කරගත් සාමාජිකයන් මනෝවිශ්ලේෂණය නිසා බරපතල අර්බුධයකට මුහුණ දුන්නේය. ඔවුන්ට එය ආගන්තුක වූ අතර ඔවුන් දැන සිටියේ ස්වයං විවේචනය පමණි. අවිඥානය පිළිබද දැනුමක් ඔවුන්ට නොතිබිණ. නමුත් තවත් පිරිසක් මනෝවිශ්ලේශණයේ සාකච්ජා වන අවිඥානයට වැදගත්කමක් ඇති බව දුටුවේය. අවිඥානය පිළිබද ෆ්‍රෑන්ක්ෆර්ට්  ගුරුකුලයේ අදහස වුයේ අවිඥානය යනු ව්‍යාජ විඥානයක් බවයි. මෙම ව්‍යාජ විඥානය විවේචනය කල විට මිනිසුන් ධනවාදයෙන් ගැලවෙන බව ඔවුන්ගේ මතය විය. සාන්දෘෂ්ටිකවාදීන් සහ අධිතාත්විකවාදීන් අවිඥානය නිර්මාණශීලී දෙයක් බව විශ්වාස කළේය. සර්පයා වැනි අයගේ කෘති මගින් හෙළිවන අවිඥානය මෙකී මතයට අනුව නිර්මාණශීලී වේ. නමුත් අවිඥානය පිළිබද අපගේ අදහස වුයේ එය දේශපාලනික ප්‍රපංචයක් බවයි. අපට මෙම ස්ථාවරය සදහා  බලපානු ලබන්නේ ජිජැක් ගේ තවත් එක් වැදගත් කෘතියකි. The Ticklish Subject – කිතිකවන සුළු ආත්මය නම් මෙම කෘතිය එළිදක්වන්නේ 1999 වසරේ දී වන අතර 2001 වසර අවසානයේ මෙම පොත සංවිධානයට රැගෙන එන්නේ වංගීස සුමනසේකර විසිනි.

හිස්ටීරියාව නම් ආත්මීය ස්ථාවරය ධනවාදයට විරුද්ධ අරගලයකදී ඉතා වැදගත් බව The Ticklish Subject කෘතියේදී ජිජැක් සදහන් කරයි. එමෙන්ම ෆුකෝ ව විවේචනය කරන ජිජැක් ෆුකෝ දාර්ශනික විපරීතයෙකු බව සදහන් කරයි. ෆුකෝ අවිඥානය සහ දෘෂ්ටිවාදය යන ප්‍රපංච දෙකම ප්‍රතික්ෂේප කරයි. ෆුකෝ සදහන්  කරන නිදහස යනු  තමන්ට කැමති දෙයක් කිරීමේ නිදහසයි. අධිපත්‍යන් බිද දමා ගොස් තමන්ගේ නිදහස උදා කරගැනීම යනු බුරුෂුවා අදහසකි. නමුත් ආධිපත්‍යන් බිද දැමීම නම් සටන් පාඨයට වම ආකර්ෂණය වේ. අවසානයේ මෙම විරෝධතා ක්‍රමය විසින්  අවශෝෂණය කර ගනී.

හිස්ටීරියාව සහ විපරීතභාවය අතර වෙනස පැහැදිලි කරගැනීම මෙහිදී වැදගත් වේ. විපරීතයා  පවතින ආධිපත්‍යන්ට එරෙහිව ගොස් තමාගේ විපරීත ෆැන්ටසි වල ඇති විනෝදය උකහා ගැනීමට උත්සහ කරයි. ඔහු /ඇය ආශාව සහ නීතිය අතර මරු උගුලක පැටලේ. තහංචිය බිද දැමීම මගින් ඇතිවන පුපුරා යන සුළු අධිකතර විනෝදය ලබා ගැනීම විපරීතයාගේ අරමුණයි. මීට පටහැනිව හිස්ටෙරිකයා යනු  ආශාව කුමක්ද යන්න අපැහැදිලි පුද්ගලයෙකි.ඔවුන් තම ආශාව ඉෂ්ඨ කරගැනීම පිළිබද අඩමානයක සිටී. ආධිපත්‍යන්ට විරුද්ධ වීම වෙනුවට ආධිපත්‍ය නිසා හට  ගන්නා  ආශාව ප්‍රශ්න කිරීම හිස්ටෙරිකයා සිදුකරයි. හිස්ටෙරිකයා බලාපොරොත්තු වන්නේ නීතිය කඩ කිරීම හරහා ලබා ගන්නා විනෝදයක් නොව නීතියට ඉහලින් ඇති විනෝදයකි. ඔහු/ඇය පවතින නීතියෙන් සතුටු නොවන අතර අලුත් නීතියක් ගොඩනැගිය යුතු බව සිතයි. හිස්ටෙරිකයාට බිරිද යැයි අමතන ස්වාමිපුරුෂයෙකුගෙන් හිස්ටෙරිකයා අසන්නේ ‘ඔයා ඇයි මට බිරිද කියන්නේ?’ යන ප්‍රශ්නයයි. වාමාංශික දේශපාලනය ඉදිරියට රැගෙන යා හැක්කේ විපරීතයන්ට නොව හිස්ටෙරිකයන්ට පමණි.

අපට හේගල්ව වැදගත් වන්නේ මෙතැනදීය. “චින්තනයේ ප්‍රවර්ග  වලට චින්තනයේම විජාතිකත්වය උපුටා ගත නොහැකි නම් එහි අදහස වන්නේ චින්තනයට චින්තනයම ගුප්ත වීමයි. සමස්ත ඉතිහාසය සහ සකල සංස්කෘතියම චින්තනයේ ක්‍රියාකාරීත්වය බාහිරකරණය වීමක් පමණි. එතැන වෙනත් කිසිදු ගුප්තකරණයක් නොමැත. චින්තනය බාහිරකරණය වුවත් පෙරලා එය නැවත ඒ තුලටම රැගෙන ආ හැක. එවිට සිදුවන්නේ චින්තනය තම ගමනේදී තමා පසුකල සියලු අවධි සහ අවස්ථා නැවත සංකල්ප සහ ප්‍රවර්ග ලෙස තමා තුලටම රැගෙන එන්නේය යන අදහසයි”. හේගලියානු අදහස පිළිබද ඉහත උපුටා දැක්වීමට අනුව අවිඥානය යනු මිනිස් චින්තනය බාහිරකරණය කරන දෙයක් මිස දන්නා දෙයක් නොවේ. නමුත් එය චින්තනයේ ප්‍රවර්ග මගින් තේරුම් ගත හැක. සොෂියර් ට ලැකාන් ගෙනෙන විවේචනයක් වන්නේ ඔහු හැගවුම්කාරකයකට එරෙහිව අර්ථයක් පමණක් ඇති බව සොයා ගැනීමයි. ලැකානියානු සොයා ගැනීම වන්නේ හැගවුම්කාරකය මගින් අර්ථය පමණක් නොව විනෝදයද රැගෙන එන බවයි. අවිඥානය නිර්මාණය වන්නේ මෙම තේරුම නොදන්නා කොටස මගිනි. ලැකාන්ට අනුව පවතින්නේ යථාර්තයන් දෙකක් පමණි. එනම් කතිකාමය යථාර්ථය සහ විනෝදයට අදාළ යථාර්ථයයි.

අප සංවිධානයන් ඉවත් වූ සාමාජිකයන් මනෝවිශ්ලේෂණයේ විශ්ලේශිතයා පත් වන අවස්ථාවක් වන ප්‍රති- තිරෝහරණයට ලක් වී ඇත. මේ නිසා ඔවුන්ට නැවත සංවිධානයට එකතු වීමට නොහැක. ඔවුන්ට ධනවාදය මගින් සපත කරන විනෝදය මගින් සැහීමකට පත්වීම හැර වෙනත් කළහැකි දෙයක් නොමැත. මුල්කාලීන රැඩිකල් ක්‍රම විරෝධීන් අවසන් වන්නේ ක්‍රමය මෙහෙයවන දක්ෂ කළමණාකරුවන් බවට පත් වීමෙනි. දේශපාලනයේ වම දකුණ භේදය පසෙකලා අද දේශපාලනය විභේදනය කල යුත්තේ විපරීත සහ හිස්ටෙරික ලෙසය. ජ.වී.පෙ න් වෙන් වූ අය අද වන විට විපරීතයන් බවට පත් වී ඇත.

2003-2004 වසර හා සසදන විට වර්තමානයේ මනෝවිශ්ලේෂන න්‍යායේ දේශපාලනික වැදගත්කම අප හොදින්ම තේරුම් ගෙන ඇත. අප ඉදිරියේ මහා විප්ලවවාදියෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකුගේ නිශාචර ලිංගික ජීවිතය කුමදැයි විමසා බැලීමට දැන් අප පුරුදු වී ඇත. එය බොහෝ දෙනෙකු දකින්නේ කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට ඇගිලි ගැසීමක් ලෙසය. නමුත් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. පුද්ගලයාගේ කතිකාමය ජීවිතය තීන්දු වන්නේ ඔහුගේ/ඇයගේ විනෝදය කේන්ද්‍ර කර ගනිමින්ය. පුද්ගලයා හබා යන්නේ විනෝදය පසුපසය. එම විනෝදය ළගා කර ගැනීම සදහා ඔහු/ඇය විවිධ ව්‍යාපෘතීන් වල යතාර්ථය තුල නිරත වෙයි. ජාතිවාදයට එරෙහිව ගොඩනැගූ Rights Now ව්‍යාපෘතිය විනෝදය විසින් සම්පුර්ණයෙන්ම ගිල ගනු ලැබීම මීට හොදම උදාහරණයයි. කෙනෙකු ජාතිවාදයට විරුද්ධ විප්ලවීය සංවිධානයක් ලෙස සලකා  Rights Now සමග අනන්‍ය වුයේ නම් අද ඔහුට සිදුවන්නේ සියදිවි හානි කර ගැනීමටය. අවසාන වශයෙන් අපට විකල්පය ඇත්තේ මෙම විනෝද සාධකයට එපිටින්ය. පවතින යතාර්ථය ප්‍රශ්න කරනු ලබන්නේ හිස්ටෙරිකයා පමණි.

අනුෂ්ක ආරියරත්න

.

 

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here