මෑතකදී මහවැලි කේන්ද්‍රයේ පැවති විමල් කැටිපෙආරච්චිගේ පොත් දොරට වැඩීමේ උත්සවය දෘෂ්ටිවාදය (Ideology) සම්බන්ධයෙන් අලුත් මංසන්ධියක් සලකුණු කළේය.

කැටිපෙ යනු 2011 වර්ෂයේ දී කුමාර් ගුණරත්නම් මැදිකොට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වූවෙකි. එසේ ඔහු ඇතුළු බහුතර පිරිසක් පක්ෂයෙන් ඉවත් වූයේ ජාතික ගැටලුව අරබයාය. නමුත් වසර කිහිපයක් ගත වන විට කැටිපෙ ඇතුළු ක්‍රියාකාරී බහුතර පිරිසක් ඔවුන් ඒකරාශී වූ අලුත් පක්ෂයෙන් ද ඉවත් විය. ඉන්පසු ඔවුන් ‘නිදහස් දේශපාලනය’ සඳහා විවෘත අවකාශයක් නිර්මාණය කර ගත්තේය. සමහරු වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට ඇතුළු වූ අතර තවත් අය මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රයට (විශේෂයෙන් කවිය) එක් විය. පරමාදර්ශයක් වශයෙන් ගත් කල ‘සමාජවාදය’ යනු අපූර්ව පරමාදර්ශයකි. බොහෝ දෙනාට එය සැබෑ පරමාදර්ශයක් වන්නේ ඉන් ඉවත් වූ පසුවය.

පසුගියදා අවසන් වූ කැටිපෙආරච්චිගේ පොත් තුනක් දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේද පක්ෂයේ හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකි. පුද්ගලයෙක් ස්ත්‍රීවාදී පරමාදර්ශවලින් ඉවත් වී පුරුෂ හිතවාදියෙකු වීමට වඩා සමාජවාදයෙන් ඉවත් වී ධනවාදියෙක් වීම දෘෂ්ටිවාදීමය වශයෙන් ඉතා දුෂ්කරය. ජාතිවාදියෙකුට සමාජවාදියකු හෝ මාක්ස්වාදියකු වීම දුෂ්කර හෝ කළ නොහැකි කාර්යයකි. උදාහරණයක් වශයෙන් චම්පික රණවකට හෝ අතුරලියේ රතන හිමියන්ට නැවතත් සමාජවාදීන් වීමට හෝ ධනපති විරෝධීන් වීමට නොහැක. නමුත් සමාජවාදියෙකුට ඉතා පහසුවෙන් කම්බ ජාතිවාදියෙක් විය හැක. මේ පිළිබඳ කුප්‍රකට උදාහරණය වන්නේ නලීන් ද සිල්වාය.

නමුත් කැටිපෙ ඇතුළු සමාජවාදයෙන් 2011 වර්ෂයේ විගාමික වූ පුද්ගල ලැයිස්තුවේ සමාජ ගැටලුව අප හිතනවාට වඩා සංකීර්ණය. න්‍යායක් හෝ ඉදිරි දැක්මක් ලෙස ඔවුන් කිසිදා කෙනෙක් සමාජවාදය තවදුරටත් විකල්පයක් ලෙස සලකන්නේ නැත. නමුත් ඔවුන්ගේ අවිඥානය (Unconscious) සකස් වී ඇත්තේ සමාජවාදී භාෂාවක ව්‍යුහයෙනි. සරලව කිවහොත් ඔවුන්ගේ සිහිබුද්ධිය තදින් සමාජවාදයට සහ එහි න්‍යායන්ට විරුද්ධය. නමුත් ඔවුන්ගේ අවිඥානක ආශාව වන්නේ සමාජවාදී රාජ්‍යයකි. මේ හේතුව නිසා ඔවුන් අවට සිටින්නන් – හිතවතුන් – අපූර්ව ආකාරයකට ධ්‍රැවීයකරණය වෙයි. කැටිපෙ වැනි පුද්ගලයන් අවට සිටින සමීප ප්‍රේක්ෂකයන්ට සමකාලීන යුගයේ විශේෂ භූමිකාවක් හිමි වී ඇත. ඔවුන්ව අපට මෙසේ නාමකරණය කළ හැක. “කිසිදු සැබෑ අයිතිකරුවෙක් නැති වෙනත් මිනිසුන්ගේ විශ්වාසයන් වෙනුවෙන් සේවය කරන දූතයන්.’’

දෘෂ්ටිවාදයේ මෙම නවතම ස්වරූපය වන අයිතිකරුවන් නැති විශ්වාසයන්-Illusions Without Owners – අහසේ ලඹ දීම වටහා ගන්නේ කෙසේද?

අපි නැවතත් කැටිපෙආරච්චිගේ පොත් දොරට වැඩීමේ උත්සවයට අවධානය යොමුකරමු. අප සියලුදෙනා දන්නා පරිදි කැටිපෙආරච්චි යනු තවදුරටත් සමාජවාදය පිළිගන්නා කෙනෙක් නොවේ. නමුත් ඔහුගේ කෘතිවල අන්තර්ගතය සකස් වී ඇත්තේ සමාජවාදී අදහස්වලිනි. අප මේ ජීවත් වන අන්තර්ජාල යුගයේදී කලාකරුවා යනු ආකෘති නිපදවන්නෙක් නොවේ. ඔහු/ ඇය ගූගල්, Facebook, Amazon වැනි අන්තර්ජාල මත පදනම් වන ගෝලීය සමාගම්වලට විවිධ අන්තර්ගතයන් (Content giver) සපයන්නන් පමණි. සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක සමාන වන්නේ, ඔවුන් දෙදෙනා යථාර්ථයේදී කෙතරම් පරස්පර වුවත් ක්‍රියාව පැත්තෙන් ගත් කල ඔවුන් දෙදෙනාම යනු කොක්ටේල් අවන්හල් වලට විවිධ අන්තර්ගතයන් සපයන කලාකරුවන් දෙදෙනෙක් පමණි. අද දවසේ කාසිමීර් මාලවිච් මෙන් ආකෘතිය (Form) වෙනුවෙන් ගැටෙන්නට නොහැක. ධනවාදය සමකාලීන යුගයේදී ‘නිදහස’ මායාමය ප්‍රබන්ධයක් බව තේරුම් කර දෙනවා මිස ‘නිදහස’ සීමා කරන්නේ නැත. සමකාලීන ගෝලීයකරණය තුළ අපගේ නිදහසේ සතුරා අපගේම අවිඥානයයි.

කැටිපෙආරච්චිගේ පොත් දොරට වැඩීමේ උත්සවයට සහභාගි වූ අප සියලුදෙනා, ඊට සහභාගි වන්නේ ඔහු සමාජවාදියකු යයි අප පිළිගන්නා නිසා නොවේ. සත්‍යය වන්නේ එහි විකෘති විලෝමයයි. කැටිපෙආරච්චි විශ්වාස කරනව ඔහු තවමත් සමාජවාදියෙක් බව විශ්වාස කරන මෝඩයන් පිරිසක් ලංකාවේ සිටින බව. උත්සවයට සහභාගි වූ මෝඩයන් රංචුව අපි වෙමු. නමුත් ඔහු හිතන තරම් මෝඩ නොවන්නට තරම් සමකාලීන මිනිස් වානරයා බුද්ධිමත්ය. උත්සවයට දෛනික ජීවිතයේ පුරුද්දක් ලෙස සහභාගි වන අප ඔහු ඉදිරියේ රඟ දක්වන භූමිකාව කුමක්ද?

(1) කැටිපේම දන්නා පරිදි ඔහු තවදුරටත් සමාජවාදියෙක් නොවේ. නමුත් ඔහු තුළ තවම සමාජවාදය විශ්වාසයක් ලෙස ශේෂව පවතී. ඔහු ආත්මයක් වන්නේ එතැනිනි. ඔහු විශ්වාස කරනව; ඔහු සමාජවාදියෙක් ලෙස විශ්වාස කරන පිරිසක් සිටින බව. මෙවන් දූතයන් පිරිසක් මේ ලෝකයේ ඇතැයි ඔහු අනුමාන කිරීමෙන් ඔහු විනෝද වෙයි. තමන්ගේ ගැඹුරු විශ්වාසයන් අනුනනට පැවරීමෙන් අපගේ කර්තව්‍ය වෙනත් අයට පවරා අපට අලසව ජීවත් විය හැක. මේ තත්ත්වය අන්තර් අක්‍රියතාවයයි. මම ඉන්නේ නිකංය. නමුත් මම නිකං ඉන්නා බව මටවත් වැටහෙන්නේ නැත. මන්ද මගේ ක්‍රියාව මටම අවිඥානක නිසාය.

(2) මෙම පොත් දොරට වැඩීමේ උත්සවයට සහභාගි වන අප කවුද? විචාරකයන්ද? නැත. කොහෙත්ම නැත. අනුන්ගේ විශ්වාසයන්ගේ සැබෑ අයිතිකරුවන් වීමේ අවධානම ඉතා වැඩිය. ඒ අනුව අප කරන්නේ අනුන්ගේ විශ්වාසයන් අප තදින් විශ්වාස කරන බව අනන්‍යයාට පෙන්වීම පමණි. ඒ අනුව ‘අයිතිකරුවන් – නැති – විශ්වාසයන්ට’ සමකාලීන යුගයේ පැවැත්මක් ඇත. සමකාලීන යුගයේ දෘෂ්ටිවාදය යනු කිසිවකු විශ්වාස නොකරන විශ්වාසයන්ට රහසින් සිනහා වීමයි.

Deepthi kumara Gunarathne

Lankanewsweb

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here