දෘෂ්ටිවාදය යනු කුමක් ද? එය වටහා ගැනීම සඳහා අපි මුලින් ම දෘෂ්ටිවාදය පිළිබඳ ඉතිහාසය සැකෙවින් විමසා බලමු. ඒ පිළිබඳ ව විවිධ චින්තකයින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. ටෙරී ඊගල්ටන් දෘෂ්ටිවාදය පිළිබඳ පළ වී ඇති විවිධ මත රැසක් ඉදිරිපත් කර ඇත. ඒවායින් කිහිපයක් නම්, දෘෂ්ටිවාදය යනු,

  1. සමාජ ජීවිතයේ අර්ථ සංඥා හා වටිනාකම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය
  2. විශේෂ වූ සමාජ කණ්ඩායමක් හෝ පන්තියකට ආවේණික වූ අදහස් පද්ධතිය
  3. අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන අදහස්
  4. අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන ව්‍යාජ අදහස්
  5. විෂයයට (subject) තත්ත්වයක් සපයන යමක්
  6. සමාජ ම ය වශයෙන් අවශ්‍ය මායාව
  7. කතිකාව හා බලය සම්බන්ධ වීම
  8. සමාජ ජීවිතය ස්වාභාවික යථාර්ථය බවට පත් කරන ක්‍රියාවලිය

 

දෘෂ්ටිවාදය පිළිබඳ මෙම අර්ථ දැක්වීම් ඇතැම් විට ආසන්න ලෙස එකිනෙකට අනුරූපී වන අතර ඇතැම් විට එකිනෙකට අනුරූපී ද නො වේ. එමෙන් ම දෘෂ්ටිවාදය ඇතැම් විටෙක මායාවක් ලෙසත් තවත් විටෙක භෞතික ක්‍රියාවලියක් ලෙසත් අර්ථ දැක්වෙන අයුරු පෙනේ. තව ද එය සවිඥානක ක්‍රියාවලියක් ලෙස එක් මතයකින් කියවෙන විට තවත් මතයකින් එය අවිඥානක ක්‍රියාවලියක් ලෙස හැඟවෙයි. විටෙක එය දැනුමට (ඥානවිභාගයට) සම්බන්ධ ගැටලුවක් වන විට තවත් විටෙක එය සද්භාවාත්මක ගැටලුවක් බවට පත් වේ. දෘෂ්ටිවාදය පිළිබඳ මෙවැනි විවිධ මත පළ වීමට හේතුව වන්නේ විවිධ දෘෂ්ටිකෝණ මඟින් එය අර්ථකථනය කිරීමට යාමට වඩා ideology නමැති ඉංග්‍රීසි වචනයෙහි “ology“ යන කොටසෙහි අර්ථය අපගමනය වීම බව ඊගල්ටන් සඳහන් කරයි. එමඟින් අදහස් වන්නේ යම් ප්‍රපංචයක් පිළිබඳ විද්‍යාව හෝ ඒ පිළිබඳ කරනු ලබන අධ්‍යයනය වන නමුත් මෙම “ology“ පදය අපගමනය වීමෙන් හැදෑරීමෙන් ලබා ගනු ලබන ක්‍රමානුකූල දැනුම වෙනුවට එය අර්ථයකට ලඝු වේ.

දෘෂ්ටිවාදය යන පදයේ ඉතිහාසය විමසීමේ දී දැනට ලැබී තිබෙන සාක්ෂ්‍ය අනුව එය ප්‍රංශයේ ඩෙස්ටුට් ඩී ට්‍රේසි විසින් හඳුන්වා දුන් පදයක් ලෙස සැලකිය හැකි ය. eidos නමැති ග්‍රීක වචනය “දෘශ්‍ය රූපය“ නමැති අරුතින් ගෙන ඔහු ideology නමැති වචනය නිපදවා ඇත. ඔහුට අනුව දෘෂ්ටිවාදය යනු මානව අදහස් පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම ය. නමුත් පසු කාලීන ව දෘෂ්ටිවාදය යනු අදහස් පද්ධතියක් යැයි විග්‍රහ කෙරී ඇත. ඩී ට්‍රේසිට අනුව දෘෂ්ටිවාදය යනු මානව සත්වයා පිළිබඳ විද්‍යාවේ කොටසකි. එමඟින් ඔහු අදහස් මූලික කොටස්වලට විච්ඡේදනය කිරීම අරමුණු කරයි. ඩී ට්‍රේසිගේ මෙම මැදිහත් වීම එතෙක් පූජකයින්ගේ හා පාලකයින්ගේ මිථ්‍යාදෘෂ්ටික අදහස්වලට එරෙහි විද්‍යාත්මක නැඟී සිටීමක් ලෙස හඳුන්වයි. ඒ අනුව පාලකයින් හා පූජකයින් සතු ව පැවති දැනුම පිළිබඳ ඒකාධිපතිත්වය ප්‍රභූ හා විද්‍යාත්මක න්‍යායාචාර්යවරුන් අතට පත් විය. නමුත් පසුකාලීන ව නැපෝලියන් බොනපාට්ගේ අදහස් නිසා නැවතත් ආගම පාලනයට අත්‍යවශ්‍ය කොටසක් බවට පත් විය. එහි දී ඩී ට්‍රේසිගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස් යළිත් ගර්හාවට ලක් විය.

දෘෂ්ටිවාදය පිළිබඳ සංකල්පය ලාංකේය දේශපාලනය හා කලා කෘති සම්බන්ධයෙන් තවමත් භාවිතා වන්නේ මාක්සියානු අර්ථයකිනි. එබැවින් කාල් මාක්ස් දෘෂ්ටිවාදය පිළිබඳ පළ කර ඇති අදහස් මී ළඟට සලකා බලමු.

අදහස්, සංකල්ප හා සවිඥානකත්වය නිෂ්පාදනයවීම මිනිසුන්ගේ භෞතික ක්‍රියාවලිය හෙවත් සැබෑ ජීවිතය සමඟ සම්බන්ධ බව ඔහු පෙන්වා දෙයි. මෙම අදහස්වල නිර්මාතෘවරුන් වන්නේ මිනිසුන් ම ය. මේ සඳහා නිෂ්පාදන බලවේගවල වර්ධනය බලපාන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මාක්ස්ට අනුව ඇතැම් සමාජ තත්ත්ව තුළ මානව බලය නිෂ්පාදනය හා ක්‍රියාවලි මිනිසුන්ගේ පාලනයෙන් වියුක්ත ව ස්වායත්ත පැවැත්මක් අත් කර ගනියි. එමඟින් මිනිසා තමන්ගේ නිෂ්පාදනය පිළිබඳ පරාරෝපිත අදහස් ඇති කර ගන්නා බවත් මෙම පරාරෝපණය නම් අදහස භාණ්ඩ මඟින් මිනිසා මෙහෙයවන බවට වන අදහස සමඟ ද සම්බන්ධ කරන ආකාරයක් ද දැකිය හැකි ය. මෙම ක්‍රියාවලිය පිළිබඳ ව සරළ ව සඳහන් කරන්නේ නම් මාක්ස් සඳහන් කරන්නේ භෞතික තත්ත්ව මත සවිඥානකත්වය තීරණය වන බව ය. සෑම යුගයක දී ම පාලක පන්තියේ අදහස් පාලක අදහස් බවට පත් වන බවත් මාක්ස් සහ එංගල්ස් පෙන්වා දෙති. සමාජයේ භෞතික බලවේග පාලනය කරන පන්තිය ම පාලක බුද්ධි ම ය බලවේගය බවට පත් වන බව ඔවුහු ඉන් අනාවරණය කරති. දෘෂ්ටිවාදය සමඟ ව්‍යාජ විඥානය නමැති අදහස සම්බන්ධ කරන්නේ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ය. එහි දී පුද්ගලයින්ට බලපාන සැබෑ තත්ත්ව සඟවාලීම සඳහා ඔහු තුළ ව්‍යාජ විඥානයක් ගොඩනඟන බව අදහස් වේ.

Althusser

දෘෂ්ටිවාදය නමැති සංකල්පය අධ්‍යයනය කරන විට තවත් වැදගත් දාර්ශනිකයෙකු වන්නේ ලුවී අල්තුෂර් ය. දෘෂ්ටිවාදය හා දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ නමැති සංකල්ප හඳුන්වා දුන් තැනැත්තා ඔහු ය. ඒ සඳහා මනෝවිශ්ලේෂණය ද ඔහු උපයෝගී කර ගනියි. දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වීමේ දී ඒ තුළ පවතින අවිඥානක ස්වරූපය පෙන්වා දෙන්නට ඔහු උත්සාහ දැරී ය. අල්තුෂර්ට අනුව රාජ්‍යය යනු මර්දනකාරී උපකරණයක් වන අතර එමඟින් පාලක පන්තියට වැඩ කරන පන්තිය මත ආධිපත්‍යය පැතිරවීමට අවස්ථාව ලබා දෙයි. ඔහු රාජ්‍යයට අදාළ මර්දනකාරී උපකරණ (රජය, පරිපාලනය, හමුදාව, පොලීසිය, අධිකරණය, බන්ධනාගාර ආදිය) හා දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ පවතින බව පෙන්වා දෙයි. දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ඔහු පහත පරිදි වර්ගීකරණය කරයි. එනම්, ආගමික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, අධ්‍යාපන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, පවුල් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, නෛතික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, දේශපාලන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, වෘත්තීය සමිති දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, සන්නිවේදන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ හා සංස්කෘතික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ වේ.

ඔහු සඳහන් කරන්නේ මර්දනකාරී රාජ්‍ය උපකරණ ප්‍රමුඛ ව මර්දනකාරී ලෙස ක්‍රියාකාරී වන බවත් ද්විතියික ව එය දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වන බවත් ය. ඒ ආකාරයෙන් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ප්‍රමුඛ ව ම දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වන අතර ද්විතියික ව එය මර්දනය මඟින් ක්‍රියාකාරී වේ. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම දෘෂ්ටිවාදය පුද්ගලයින්ගේ පරිකල්පනයට සම්බන්ධ වන බවත් ඒවා යථාර්ථයට අනුරූපී නො වන බවත් ය. එය ඔහු ගොඩනගන පළමු තිසීසය යි. ඔහුට අනුව දෙවියන් යනු සැබෑ රජුගේ පරිකල්පනීය නිරූපණයකි. ඔහු ගොඩනගන දෙවන තිසීසය නම් දෘෂ්ටිවාදයට භෞතික පැවැත්මක් ද පවතියි යන්න ය. එම තිසීස දෙක මඟින් ඔහු පෙන්වා දෙන්නේ දෘෂ්ටිවාදයේ සැබෑ සබඳතා පරිකල්පන සබඳතා වන නමුත් එම පරිකල්පනීය සබඳතා භෞතික පැවැත්ම තහවුරු කරන බව ය.

දෘෂ්ටිවාදය පැහැදිලි කිරීමේ දී ඔහු භාවිතා කරන තවත් අදහසක් වන්නේ පොලාපැනීම (interpellation) යන්න ය. ඔහු සඳහන් කරන්නේ දෘෂ්ටිවාදය මඟින් පුද්ගලයන් විෂයයක් බවට පොලාපන්නන බව යි. ඒ සඳහා ඔහු යොදා ගනු ලබන උදාහරණය වන්නේ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවකි. පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයකුට හඬ නගා අමතන විට එම පුද්ගලයා හැරී බලන්නේ යයි උපකල්පනය කරමු යැයි ඔහු යෝජනා කරයි. අංශක 180 ක් හැරී බලන විට ඔහු විෂයයක් බවට පත් වන බව අල්තුෂර් පෙන්වා දෙයි. එය සිදු වන්නේ එම ආමන්ත්‍රණය තමන් වෙනුවෙන් සිදු කරන ලද්දක් බව එම පුද්ගලයා හඳුනා ගන්නා නිසා බව අල්තුෂර් වැඩි දුරටත් සඳහන් කරයි. පොලිස් නිලධාරියෙකු මෙසේ ආමන්ත්‍රණය කරන විට අවස්ථා දහයෙන් නමයක දී ම නිවැරදි පුද්ගලයා හැරී බලන බව ඔහු ප්‍රකාශ කරයි. එහි දී එම පුද්ගලයා විශ්වාස කරන්නේ, සැක කරන්නේ ඔහු වෙනුවෙන් එම ආමන්ත්‍රණය සිදු කළ බව ය. දෘෂ්ටිවාදයට අනුකූල විෂයයන් හොඳ විෂයයන් බවටත් ඊට එරෙහි වන විෂයයන් නරක විෂයයන් බවටත් පත් වන අතර නරක විෂයය මර්දනකාරී රාජ්‍ය උපකරණ සඳහා ඉඩ විවර කරන බවත් ඔහු පෙන්වා දෙයි. සැබැවින් ම දෘෂ්ටිවාදය යනු වැරදි හඳුනා ගැනීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස මඟින් ද අල්තුෂර් මෙන් දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය කිරීමක් අදහස් වන අතර ඔහු හඳුන්වා දුන් හෙජමොනිය නමැති අදහසට තවමත් වලංගුභාවයක් පවතියි. ඒ අනුව ග්‍රාම්ස්චි ඇසුරින් දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම අයත් වන්නේ ඥානවිභාගයට ය. ජාතිවාදය න්‍යාය ගත කිරීමට ඔහු අසමත් වන්නේ ඒ නිසා ය. එනම්, මිනිසෙක් ෆැසිස්ට්වාදී වන්නේ ඇයි ද යන්න න්‍යාය ගත කිරීමට ඔහු අසමත් විය. එය වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ෆැසිස්ට්වාදියා සෑම විට ම යථාර්ථය සමඟ පරතරයක් පවත්වා ගැනීම ඔහුගේ දැනුමට විෂය නො විණ. නමුත් කොමියුනිස්ට්වාදය තුළ මෙම පරතරය නො පවතියි. මන්ද යත් එහි දී මිනිසුන් විශ්වාසය තබන්නේ ක්‍රියාකාරීවීම පිළිබඳව ය.

දෘෂ්ටිවාදය පිළිබඳ ස්ලෝවීනියානු පාසැල මඟින් පළ කර ඇති අදහස් මීළඟට අපි සලකා බලමු. අල්තුෂර් පොලාපැනීම මඟින් දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය කිරීමක් ලෙස සලකන විට ස්ලෝවීනියානු පාසැල දෘෂ්ටිවාදය යනු බහිෂ්කරණයක් ලෙස සලකයි. එනම්, දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය අසමත් වන විට මනෝවිශ්ලේෂණ ආත්මය බිහි වේ. ආත්මය තමන්ගේ විනෝදයෙන් ගැලවීම සඳහා දෘෂ්ටිවාදී අදහස් පද්ධතිය වැළඳ ගනියි. ආත්මය යථාර්ථය සමඟ පරතරයක් පවත්වා ගන්නේ ඒ ආකාරයට ය. මාටින් ‍හෛඩගර් ඇතුළු සත්තාව පිළිබඳ සද්භාවවේදී අදහස් පළ කරන දාර්ශනිකයන්ට පටහැනි ව මනෝවිශ්ලේෂණය පාදක කර ගන්නා දාර්ශනිකයින් වෙනස් වන්නේ මනෝවිශ්ලේෂණයේ අද්විතීය සොයා ගැනීම වන අවිඥානය නිසා ය. අවිඥානය ආචාරධාර්මික ය. එම ආචාරධාර්මිකබව නිසා ආත්මය “මම“ යන ආස්ථානයෙන් “මා නො වෙයි“ යන ආස්ථානයට මාරු වේ.

Party Note

Refer PDF-

 

 

 

ඔබේ අදහස කියන්න...