90 දශකය මැද මොහොතක ලුම්බිණි නාට්‍ය ශාලාවේ පැවති නාට්‍යයක් නැරඹීමට ගිය මොහොතක, එතැන සිටි පුද්ගලයෙකු මා හට පෙන්වමින් මගේ හිතවතෙකු මෙසේ කතන්දරයක් ගෙතුවේය. “ අර ඉන්න සහෝදරයා ජවිපෙ ජාතිවාදයට විරුද්ධව දයාන් ජයතිලකලා ගොඩනඟපු විකල්ප කණ්ඩායමේ අවංක-හිතහොද සගයෙක්”.  ‘යථාර්ථය’ කියන්නේ ෆැන්ටසියක් කියලා වටහා ගන්න මේ කතන්දරය හොඳ උදාහරණයක්. මිනිසාට පරිබාහිරින් පවතින යම් දෙයක් හෝ යම් පුද්ගලයෙක් ගැන අපට අසන්නට ලැබෙන මෙම කතාවට අපට කියන්න පුළුවන් ෆැන්ටසියේ එක මුහුණතක් කියලා. අපි ගොඩක් වෙලාවට මිනිස්සු ගැන අහන්නේ මේ වගේ කතා. අපි මේ කතාවට කියමු ‘ෆැන්ටසිය 1’ කියලා.

Inhuman

                   දළ වශයෙන් ඊට අවුරුදු 10කට විතර පස්සේ, X  කණ්ඩායමේ බෙදීමක් ඇති වෙච්ච වෙලාවේ මා ඉහත කී අවංක- හිත හොඳ සහෝදරයා තමයි මා පිළිබඳව වඩාත්ම නරක තොරතුරු සමාජයට පැතිරවීමට උත්සාහ කරන ලද්දේ. 

             අප පළමුව හඳුන්වා දුන්නේ, ‘අවංක-හිත හොඳ’ සහෝදරයෙකු පිළිබඳව මගේ දේශපාලන හිතවතෙකු කියූ කතාවකි. අපි එය යථාර්ථය (පරස්පරයන් තොර සුමට කතාව)  පිළිබඳ ප්‍රථම ෆැන්ටසි මානය ලෙස හැඳින්වූවෙමු. එනම්, ෆැන්ටසිය 1. ඒ අනුව, යථාර්ථය යනු ෆැන්ටසියකින් සරසන ලද කතාවකි. නැතිනම් නියම දේ නැතහොත් සැබෑව වසන තිරයක් ලෙස මා ඇසූ කතාව සැලකිය යුතුය. (ෆැන්ටසිය සැබෑවෙන් – real -අපව  ආරක්ෂා කරන ප්‍රබන්ධයයි.) අපි දැන් යථාර්ථය පිළිබඳ දෙවන කතාවට යමු. එහිදී මතු වන්නේ, අප මීට පෙර කිසිදා අපේක්ෂා නොකළ කතන්දරයකි. පළමු කතාව මා ඇසූ කතාවක් නම් දෙවන කතාව මා ගැන අර කලින් කී හිත හොඳ අවංක සගයා කියන කතාවයි. එය මා පිළිබද ඉතා දුෂ්ට භයානක කතාවකි. මෙම භයානක කතාව මගේ පැත්තෙන් ගත් කළ ක්ෂතිමය අත්දැකීමකි. මගේ දේශපාලන හිතවතා කී කතාව උඩුයටිකුරු කරන්නකි. ඒ අනුව මට පහත නිගමනයට පැමිණීමට හැකිය.

               මගේ දේශපාලන හිතවතාට හිත-හොඳ අවංක සේ පෙනී ගිය මිනිසා තුළ දුෂ්ට මානයක් ද තිබී ඇත. නමුත් ඔහුගේ සංකේත ප්‍රබන්ධය ප්‍රබල කාර්යක්ෂමතාවයක් නිසා එම කතාවට දුෂ්ට මානයක් තිබිය හැකියි යන අදහස නොසලකා හැර ඇත. එවිට, යථාර්ථයට සෑම විටම පැති දෙකක් ඇති බව පැහැදිලි වෙයි.

1. ෆැන්ටසිය 1–  යථාර්ථය පිළිබඳව මා විසින් අහන දකින කතන්දරයට අනුව මගේ ආත්මය විසින් සටහන් කර ගන්නා කතාව. මෙහිදී මා වෙනුවෙන් ‘මම’ – ආත්මය නම් හිස් බවින් එළියට ගමන් කර මගේ හිස් බව භාෂාමය කතාවකින් පුරවා ගනී. අහා!  ඔහු හිත-හොඳ අවංක කෙනෙක්. මේ තත්ත්වය ආත්මීයත්වය (subjectivity) යනුවෙන් හැඳින්වෙයි. සිංහල ප්‍රජාවේ සාමාජිකයෙක් ලෙස යථාර්ථය අත්විඳීම මේ යථාර්ථයේම ෆැන්ටසියකි. නමුත් මට ඒ තත්ත්වය අවිඥාණකය.

2. ෆැන්ටසිය 2– පළමු ෆැන්ටසියේ සාර්ථකත්වය වැඩි වන්නට වන්නට මම දේශපාලන සගයන් ගැන හිතන යථාර්ථය (හිත හොඳ/ අවංක) සාර්ථක වෙයි. එවිට, අප නොසිතන කලාපයක් විවෘත වෙයි. හිත හොඳ අවංක දේශපාලන සගයන් යනු, අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් රහිත පුද්ගලයන් යන සාධකයයි. යථාර්තය නම් කාසියේ දෙවැනි පැත්ත නිරාවරණය වන්නේ මෙම ස්වයං ප්‍රතිවිරෝධය තුළදීයි. අප යහපත් යැයි සිතන මිනිසුන් ඔවුන්ද නොදන්නා තත්වයක් තුළ යක්ෂාවේශ වූ පුද්ගලයන්ය. ඔවුන්ගේ මෙම යක්ෂාවේශය මතු වන්නේ ද ෆැන්ටසි මානයක් තුළදී ය. එය යථාර්ථය පිළිබඳ දෙවන ෆැන්ටසියයි. යථාර්ථය යනු, සුසංවාදී සමස්තයක් නොව පසමිතුරුභාවයක් ආත්ම කොටගත් ”අසම්පූර්ණ කතාවක්”-Incomplete Fiction– බව මට වැටහෙන්නේ මෙම නිමේෂයේදී ය. මෙම නව සන්දර්භය තුළ විශාල කාලයක් මා විසින් වෙනත් මිනිසෙකු පිළිබඳව නඩත්තු කරන මිත්‍යාව ඔහු සතු එකක් නොව මා සතුම සාරයක් බව මට අවබෝධ වෙයි. කතාවේ භයංකර පැත්ත එයයි. කතාවේ අවංක පැත්ත ද එයමය.

Being and time ? – Being and Fucking ?

                 ‘හැනා අරෙන්ඩ්’ යනු, තරමක් ඔබ අසා ඇති යුදෙව් ජාතික ජර්මානු දේශපාලන දාර්ශනිකයෙකි. ඇය සමඟ ජර්මානු ජාතික දාර්ශනිකයෙකු වන මාර්ටින් හෛඩගර්ට  අපයෝජනාත්මක ලිංගික-ප්‍රේම සම්බන්ධයක් විය. එය නූතන බටහිර ලිබරල් විශ්ව-විද්‍යාල අධ්‍යාපනය තුළ නීති විරෝධී ලිංගික අපයෝජනයකි. දන්නා අය දන්නා පරිදි හෛඩගර් යනු,  ග්‍රාමීය ජර්මන් ජාතිකයා තුළ අව්‍යාජත්වය සොයා ගිය ගතානුගතික ජාතිකවාදියෙකි. ඔහුට අනුව ලිබරල්වාදය ව්‍යාජයකි. ඒ තුළ දී සැබෑ මිනිස් ගැටුම නිරූපණය නොවේ. ලෝකය තුළ අප සිටිනා බවක් ලිබරල්වාදය පිළි නොගනී. අනෙක් පැත්තෙන්, හැනා අරෙන්ඩ් යනු, ප්‍රථම හෛඩගරියානු ලිබරල්වාදිනියයි.  අප මෙම පසමිතුරුභාවය දැනුමකට රැගෙන එන්නේ කෙසේද? හැනා උත්සාහ කරන ලද්දේ, හෛඩගර්ගේ දේශපාලන දර්ශනයේ ඇති ‘අව්‍යාජත්වය’ ලිබරල්වාදයේ පුද්ගල නිදහස සමඟ කලවම් කිරීමටයි. ඇත්තටම, ‘හැනා අරෙන්ඩ්’ යනු, බුර්ෂුවා පුද්ගලවාදය පිළිකුල් කළ ස්ත්‍රියකි. ඇයට අවශ්‍ය වූයේ, පරහිතකාමී පුද්ගලවාදයකි. (praxis සහ poiesis අතර වෙනස අවධාරණය කිරීම- ඇරිස්ටෝටල් අනුදත්ව) ඒ අනුව, ඉතාම ‘අව්‍යාජ ජාතිකවාදයක්’ පවා අරෙන්ඩ්ගේ විග්‍රහයට අනුව බුර්ෂුවා පන්තියේ නිර්ණායකයකි. එනම්, විප්ලවයකින් තොරව ධනවාදයේ ප්‍රතිවිරෝධතා ඉවත් කිරීමයි. අනෙක් පැත්තෙන්, ඇරිස්ටෝටලියානු දේශපාලනය මගින් යුරෝපීය නූතනත්වයෙන් නාස්තිකත්වය ජයගත නොහැකි යැයි හෛඩගර් පවසන විට එය ද නිවැරදිය. එතැනදී, අරෙන්ඩ් දෘෂ්ටිවාදියෙකි.

                 එසේ නම්, ජර්මානු ජාතිවාදී පිරිමියෙක් වන හෛඩගර් ප්‍රගතිශීලී යුදෙව් දාර්ශනික ස්ත්‍රියක් වන හැනා අරෙන්ඩ් තුළ දුටු අශ්ලීල අතිරික්තය කුමක්ද?  නැතහොත් හෛඩගර් තුළ හටගත් සංසර්ග මානය කුමක්ද? යුදෙව් පිරිමියා ජර්මානු සංස්කෘතියේ සංගතභාවයට හානි කරන විට ආ ප්‍රබල චෝදනාවක් වූයේ, ජර්මානු ස්ත්‍රියව අශ්ලීල යුදෙව් පිරිමියා වසඟයට පත් කර දූෂණය කරන බවයි. එසේ නම්, ජර්මානු සංස්කෘතියෙන් යුදෙව්වා පැහැරගත් ‘විනෝදය’ යළි හොරකම් කර ගත හැක්කේ, යුදෙව් වර්ගයේ ස්ත්‍රී ශරීරයක් විනිවිදීමෙනි. ජාතිවාදයේ යථාර්ථය පිළිබඳ ඥානවිභාගය විපරිතය.  එසේ නම්, එහි ලුබ්ධි-ආර්ථිකය ස්වපීඩා-පරපීඩා එකකි. යුද්ධය අස්සේ වද දී ඉසප්‍රියා ඝාතනය කරන්නේ ඒ නිසාය. මේ සූත්‍රය හෛඩගර්ට ද අදාළ ය. ඔහුට හැනා අරෙන්ඩ් හරහා අවශ්‍ය වන්නේ, පරපීඩා ලිංගිකත්වයකි. මෙම තත්වය සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ නම් හෛඩගර් තෘප්තිමත් වන්නේ දාර්ශනික සංවාද වලින් (මනස) නොව හැනා අරෙන්ඩ්ගේ ශරීරයට පහර දීමෙනි. එසේ නම්, හැනා එයට ඉඩ දෙන්නේ ඇයි? මෙය ඇයට අප කිවහොත් ඇගේ මුහුණ රතු වනු ඇත. ඒ ලැජ්ජාව නිසා ය. හෛඩගර් විසින් හැනාව පහර දීමට තෝරා ගැනීමට හේතුවක් ඇතැයි හැනා සිතයි. එම හේතුව කුමක්ද? ඇයට ඇය තුළින් ඊට විරුද්ධ වීමට නොහැකිය. එය ඇය සලකුණු කරනු ඇත්තේ, ඇගේ ආත්මීය මානයක් ලෙසිනි.

Lust

                හැනාට අනුව ඇය හෛඩගර් තෝරා ගනු ලබන්නේ, ඇගේ වාර්ගික අනන්‍යතාවය නිසාය. එනම්, පාරිශුද්ධ ජර්මානු ස්ත්‍රියකගෙන් ලැබිය හැකි අශ්ලීල විනෝදයට වැඩි විනෝදයක් වල්  යුදෙව් ස්ත්‍රියකගෙන් ලැබිය හැකිය යන හෛඩගරියානු ෆැන්ටසියයි. ඒ නිසා, මේ තත්ත්වය ඇය තුළ මරණයට වඩා භයානක ලැජ්ජාවකි. හෛඩගර්ගේ මරණයට ආසන්නව ඇය ඔහුව යළි හමු වන්න එන්නේ ඇයි? (එය ඇගේ අවිඥානක ආශාව යළි පුනරාවර්තනය වීමක්ද?)

                 ඉහත විග්‍රහයට අනුව හෛඩගර්ගේ දර්ශනය යනු, හෛඩගර් තමන්ගේ ක්ෂතිමය සැබෑවෙන් ( ජර්මානු ප්‍රජාවගේ අශ්ලීල ප්‍රබන්ධ කතාවේ සැබෑව- ස්ත්‍රී දූෂණය) ගැලවෙන්නට තනන සිවිල් ඇකඩමික ශිෂ්ට සංකේත ප්‍රබන්ධයයි;(ෆැන්ටසිය 1). අනෙක් පැත්තෙන් ඇත්තේ, දාර්ශනික යුදෙව් ස්ත්‍රියකගේ ෆැන්ටාස්මැතික ස්වපීඩක ප්‍රබන්ධ කතාවයි;  (ෆැන්ටසිය 2).

           ඉහත ෆැන්ටසිය 1  ප්‍රතික්ෂේප කර එය සවිඥාණක කර ගැනීම ”ආත්මීයහරණය” යි.[Subectivization]

             ඉහත ෆැන්ටසිය 2  ‍ප්‍රතික්ෂේප කර අපගේ ක්‍රියාවන්ට බාහිරින් සිට අර්ථයක් දෙන ඒජන්තයෙකු ( මහා අනෙකාBig Other) නැති බව ඥාණනය කිරීම ”ආත්මීය නිස්සරණය” යි. [Subjective Destitution]

               දේශපාලන සංවිධානයක් ගොඩ නැගීමේදී, ඉහත ආත්මීය ස්ථාවර 2 න්‍යායික වශයෙන් ඉතා වැදගත් ය.

==============================++++++++++++++++++=

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...