වෙනත් දේශපාලකයන් රටේ ආර්ථික ගැටලු සහ ජාතියේ ගැටලු ගැන සාකච්ඡා කරද්දී අප  විසින් “කුමරියක පා සළඹ සැලුනා” ගීතය පිළිබඳ රසවින්දනයක් කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම, තාර්කික මනසක් ඇත්තෙකුට බොළඳ ක්‍රියාවක් ලෙසින් නිරූපණය කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩිය. 

                 පසුගිය දශක තුනක කාලය තුළ ‘පරමාදර්ශයන්ගේ’ ස්ථාන මාරුව ගැන විභාගයක් අපි දැන් කරමු. 20 වැනි සියවස අවසන් වන විට අප දකිමින් සිටියේ “ජනතා විමුක්ති පෙරමුණේ” නැඟ ගෙන එන රැල්ලයි. නමුත් 21 වැනි සියවසේ දෙවන දශකය වන විට අප දකිමින් සිටින්නේ “විමල් වීරවංශගේ” නැඟ ගෙන එන රැල්ලයි. ඔහු 2030 දී රටේ ජනාධිපති වීමට අපේක්ෂා කරයි. මෙවන්  වෙනසක් සිදුකළ සමාජ-දේශපාලනික පෙරළිය කුමක්ද?

                      අපි දැන් සරල උදාහරණයකට යමු.  දික්වැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති වැවුරුකන්නල පන්සලට 20 වන සියවස අග විශාල සෙනඟක් සංක්‍රමණය විය. නමුත් යුද්ධයෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය විවෘත වූ පසුව කතරගම දක්වා යන වන්දනා නඩ අධිවේගී මාර්ගය ඒ සඳහා පාවිච්චි කරන නිසා මහ සෙනඟක් රැස් වූ වැවුරුකන්නල පන්සල දැන් ජනශූන්‍ය කොන්ක්‍රීට් වනාන්තරයක් වී ඇත. පන්සලේ මහනායක හිමියන්ට ඇති වූ අලූත් තත්වය ගැන ඥාන-විභාගයක් නොමැත. පසුගිය දිනෙක උන්වහන්සේගෙන් මේ ගැන විචාරය කළ විට අපට ලැබුණු පිළිතුර මෙසේ ය. 

                 “බලන්න මහත්තයෝ, වෙච්ච නස්පැත්තියක්, බල්ලෙක්වත් එන්නේ නැහැ. මම කරන්නේ සමාධි පිළිමයේ ශීර්ෂය දක්වා තිබෙන තරප්පු පෙළ දිගේ නැඟලා ඈත පේන දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන Volvo, BMW, Audi  මෝටර් රථ දිහා බලන් ඉන්න එකයි. ඇත්තටම මොකක්ද මහත්තයෝ අපට මේ වෙච්ච විපත”.

 

                 මහනායක හිමියන් සිතාගෙන සිට ඇත්තේ “වැවුරුකන්නල” පන්සලට මහ සෙනඟ එන්නේ බෞද්ධ මහා සම්මතය නිසා බවයි. නමුත් අධිවේගී මාර්ගය විවෘත කර ටික කලක් ගතවන විට ‍’ප්‍රාග්ධනය’ සමහර මහනගර වලින් වෙනත් තැන්වලට පියඹා යන්නාක් මෙන් පන්සලේ කොන්ක්‍රීට් ගොඩනැගිලි අතහැර මහසෙනඟ ඉන් ඉවත් වී ඇත. මේ නොපැමිණීම ගැන සමාජ විචාරයක් හෝ වෙනත් විරෝධාකල්පයක් ද නැත. 

                         කුමාර් මහත්තයාට හෝ අනුර මහත්තයාට මේ ගැන අප පැමිණිලි කළහොත් ඔවුන් ළඟ එන පෝයදාට ඩිජිටල් පෙරහැරක් සංවිධානය කරනු ඇත. නමුත් ඊට පසුදා සිට නැවතත් ‘පන්සල’ හිස් ය.

                        ජවිපෙ හෝ වෙනත් ඕනෑම තර්ක බුද්ධියක් රජ කරන වමේ සංවිධානයකින් “වැවුරුකන්නල” ගැටලුව ගැන ඇහුවොත් ලැබෙන්නේ සරල උත්තරයකි. එනම්, “ඕවා සියල්ල simple ප්‍රශ්න. අපි ඉන්නේ ධනවාදයේ අති මූලික ප්‍රතිවිරෝධතා සමඟ අනවරත ගැටුමක ය” යන්නයි.

                    එසේ නම්, ලංකාවේ ඊනියා සංවර්ධන සැලැස්ම ඌණ සංවර්ධනය ද? කලුතර බෝධියේ සිට තංගල්ල දක්වා ගමන් කරන පැරණි මහ පාර ආශ්‍රිත සියලු ව්‍යාපාර සහ ඒවායින් යැපෙන පවුල් සියල්ල මේ වන විට හේතුවකින් තොරව ආර්ථික අර්බුදයක පැටලී ඇත. එසේ මුත්, ඔවුන්ගෙන් එන විරෝධයක් ද නැත. මෙතැනින් පසුව ඔවුන්ට කිමිදෙන්නට සිදු වන්නේ ‘ණය ආර්ථිකය’ මත ය. අධිවේගී මාර්ගය සැලසුම් කරන අයට කර්මාන්ත පිහිටුවීමට නොහැකි වූ විට රටේ දකුණු ප්‍රදේශය “ධනේශ්වරකරණය” වීම අතහැර “වැඩවසම්කරණය” වීම ඇරඹී ඇත. මෙතැනින් පසු දකුණේ පොදු ආර්ථිකය වනු ඇත්තේ, පොලියට සල්ලි දීම සහ පොලියට සල්ලි ගැනීම ය. මෙමගින් හට ගන්නා මානව සම්බන්ධතා අයත් වන්නේ, ගම්පෙරළියට පෙර පැවති වැඩවසම්වාදයටයි.

                      “වැවුරුකන්නල” පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ සංයුක්ත ගැටලුව කොමියුනිස්ට් ගැටලුවකි. “මහත්තයෝ ආයිමත් කොහොම ද පන්සලට මිනිස්සු ගෙන්න ගන්නෙ?” මෙය භක්තිය හෝ විශ්වාසය පිළිබඳ වියුක්ත ගැටලුවක් මිස තාර්කික ඥාණයේ ගැටලුවක් නොවේ. ‘පන්සලට’ නැවතත් සෙනඟ ගෙන්වා ගැනීමට වෙනස් කළ යුත්තේ, ‘අතීතය’ මිස වර්තමානය හෝ අනාගතය නොවේ. දැනට පවතින වාමාංශික සංවිධානයක මුඛ්‍ය ගැටලුව විය යුත්තේ ද පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ගැටලුවයි. එය සන්නිවේදනය පිළිබඳ ගැටලුවක් නොව භක්තිය පිළිබඳ ගැටලුවකි. සැක නොකරන හැඟවුම්කාරකය කුමක් ද? 

2.

                     X කණ්ඩායමේ ලිංගික සහකරුවන් X  කණ්ඩායම ගැන කතා කිරීමට තම මුඛය අරින පළමු මොහොතේම කියන්නේ, එය දැන් අතීතයට අයිති ප්‍රපංචයක් බවයි. නමුත් X කණ්ඩායමේ නායකත්වය හැටියට මට ඇසීමට ඇති ප්‍රශ්නය වන්නේ මෙය යි. “X අතීතයට අයිති ප්‍රපංචයක් වන නමුත් අතීතය වෙනස් වෙලා නැහැ. X එකෙන් ඉවත් වූ කිසිවෙකුට අලුත් දෙයක් කියන්න බැහැ. අඩුම වශයෙන්, පැවති දෙය එනම්, පන්සලට දැන් සෙනඟ එන්නේ නැහැ යන ප්‍රවාදයවත් මේ අයට ග්‍රහණය වෙන්නේ නැහැ. ජාතිවාදය කියන අධිවේගී මාර්ගය හැදුවට පසුව වාමාංශික දේශපාලනයට වන්දනා නඩ එන්නේ නැහැ. මෙයයි මූලික ප්‍රශ්නය. ඒ අදහස අත්දැකීමක් නොව මානසික වේදනාවකි”. 

                       වැවුරුකන්නල පන්සලේ ලොකු හාමුදුරුවෝ සමාධි පිළිමයේ ශීර්ෂයේ ඇති කවුළුවෙන් පිටත නරඹා ප්‍රශ්නයක් අසයි. “ඇයි මහත්තයෝ දැන් මෙහෙට සෙනඟ එන්නේ නැත්තේ?” මේ ප්‍රශ්නය අලුත් සිතීමක ආරම්භයක්. ධනවාදයට විරුද්ධ ආත්ම භාෂකයන්ට වඩා මේ ප්‍රශ්නය ‘දාර්ශනික ප්‍රශ්නයකි’. හාමුදුරුවන්ගේ උත්සාහය දාර්ශනික වන්නේ ඇයි? උන්වහන්සේ දර්ශනයේ කාර්යය තමන් ජීවත්වන යුගය සංකල්පීයකරණය කිරීම බව වටහාගෙන තිබේ. චින්තනයේ මුල්ම කාර්යය වන්නේ, ‘යුගයට’ හැඩයක් දීමයි.

                        “කුමරියක පා සළඹ සැලුනා” නම් ගීතයට ස්ත්‍රීවාදී විචාරයක් ලබාදීම ‘සමකාලීන’ යුගයේ දී ඉතාම පහසු වැඩකි. 80 දශකයේ පටන්ගත් ස්ත්‍රීවාදය ලංකාවේදී කාර්යයන් දෙකක් ඉෂ්ට කළේය. එකක් මධ්‍යම පන්තික ය. 80 දශකයේ දී අනන්‍යතා අර්බුදවල ගිලී ගිය ස්ත්‍රීන් විශේෂයක් තමන්ගේ අර්බුදය විසඳන කම්කරුවන් (රෝස් Titanic හී දී ජැක් සොයාගත්තාක් මෙන්) පිරිසක් සොයාගෙන පවුල් පන්සල් විය. අනෙක, පීඩිත පන්තික ය. එහිදී සිදු වූයේ, 80 දශකයේ සමාජ අර්බුදය හමුවේ කොළඹට ආ පීඩිත ස්ත්‍රීන් තමන්ට ගැළපෙන වෘත්තික සහකරුවන් කොළඹින් (විශ්ව-විද්‍යාල ගුරුවරුන්, ඉංජිනේරුවන්, සිවිල් නිලධාරීන්, මාධ්‍යවේදීන්) සොයා ගත්තා ය. ලංකාවේදී ස්ත්‍රීවාදය එතැනින් අවසන් විය. මෙහි න්‍යායික වරද වූයේ , ස්ත්‍රී-පුරුෂ වෙනස අනන්‍යතා වෙනසක් ලෙස පමණක් සලකා බැලීමයි. 

                       ෆ්‍රොයිඩ් අනුදත් මනෝවිශ්ලේෂණයට අනුව ස්ත්‍රී-පුරුෂ වෙනස බිහි වන්නේ, ධනාත්මක අනන්‍යතාවයක් මගින් නොවේ. තල දර්පණයක් ඉදිරිපිට දී තමන්ගේ ස්ත්‍රිත්ව ශරීරයේ ”හැඩය මදි” යැයි සිතන ස්ත්‍රියක් රූපලාවණ්‍ය විද්‍යාවක් ආශිර්වාද කොට ගනිමින් ‘වඩා-ස්ත්‍රියක්’ වෙයි. මෙම ක්‍රියාව මගින් හැඟවෙන්නේ, ශරීරයක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීම සොබාදහම හෝ හුදු බාහිර සංවාද භාෂාව හරහා පමණක් සිදු නොවන බව ය.

                         ලිංගික-Sex- සහ ලිංගිකත්වය- Sexuality- යනු, මනෝවිශ්ලේෂණයේ මෞලික සංකල්පයන් ය. මෙම සංකල්ප දෙක හරහා විද්‍යාමාණ වන්නේ, යමක් ‘නම්’-naming- කිරීම හෝ යම් යම් ක්‍රියාවන් හඳුනා ගැනීම පමණක් නොවේ. කොටින්ම ලිංගිකත්වය යනු, ධනාත්මක හෝ කිසියම් හිස් භාජනයකට වතුර පුරවනවා වැනි අදහසක් නොවේ. සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව ලිංගිකත්වය බොහෝ ගැටලුවලට පාදක වන මූල හේතුවක් වන අතර එය උත්තරයක් නොව සංකීර්ණ ගැටලුවකි. ‘ලිංගිකත්වය’ යනු, ඕනෑම මිනිස් ආත්මයකට සටන් කිරීමට අදාළ වන ඉබේ පහළ නොවන නිශේධනාත්මක (තමා විසින් ම පොදු අවකාශයක හෙළා දකින) දෙයකි. එහි පදනම ධනාත්මක නැත. 

                      ලිංගිකත්වය කෙනෙකුගේ කායික විද්‍යාව සමග ඍජු ලෙස සම්බන්ධ නැත. ඒ නිසා, කෙනෙකුගේ ශරීරය මඟින් ඔහුගේ හෝ ඇයගේ දෛවය තීන්දු නොවේ. අනන්‍යතාවය සහ ශරීරය අතර පීලි පැනීමක් සිදු විය හැකිය. ජීව විද්‍යාව, කායික විද්‍යාව යනු, කරුණු පමණි. කෙනෙකුගේ ලිංගය තීන්දු වන්නේ, ඔහු හෝ ඇය අනුසාරිකයෙක් (පොදු යහපතට යටත් නොවන්නෙක්) නොවන  තැනදී ය.

              ජීව විද්‍යාව සහ සමාජය යනු, එකිනෙකට පරස්පර ප්‍රපංච දෙකක් නොවේ. ‘සමාජය’ යනු, ජීව විද්‍යාත්මක ශරීරයේ සරල විරුද්ධ පැත්ත නොවේ. ශරීරය පැත්තෙන් හෝ ව්‍යුහවාදී පැත්තෙන් ගත් විට සමාජය යනු, අවම වශයෙන් සමීපතාවයක්වත් නොවේ. ‘සමාජය’ යනු, ශරීරයට ඇති රැඩිකල් තවත් එක සම්බන්ධයක් පමණි. මේ අර්ථයෙන් ගත් විට, ශරීරය සහ සමාජ කතිකාව අතර යම් පරතරයක් (Gap), අන්තරාවක්, නො පෑස්සිය හැකි බවක් ඇත. පුද්ගලයෙක් ‘තමා’ යැයි හඳුනා ගැනීම තුළ පවා රැඩිකල් පරතරයක් තිබේ. මේ අර්ථයෙන්, කෙනෙකුට අනෙකා සම්බන්ධයෙන් පමණක් නොව තමා සම්බන්ධයෙන් ද ෆැන්ටසි වර්ෂාවක් සම්මුඛ වෙයි.   ‘අනන්‍යතාවය’ ඒ අර්ථයෙන් අවිඥාණක තේරීමකි. ‘මම’ මම වීම මටවත් සවිඥාණක නැත. මෙම රැඩිකල් සන්දර්භය මත ජීව විද්‍යාත්මක ලිංගික අනන්‍යතාවය යනුවෙන් දෙයක් නැත. ෆ්‍රොයිඩ්ගේ න්‍යායට අනුව කුඩා දරුවන් තමන්ව ලිංගික කරණය කර ගන්නේ මේ නිසා ය. මිනිස් ජීවියා උචිතෝන්නතිගත වන්නේ, ස්වභාවයට අනුව නොව සමාජ යථාර්ථයට අනුව යැයි කියන්නේ ද මේ නිසාය. පරිණත වූ වැඩිහිටි මනස තුළ ‘කුඩා දරුවෙකුගේ’ ෆැන්ටසි ලෝකය ෆ්‍රොයිඩ් විසින් කල්පනාවට ගන්නේ ද ඉහත පසුබිම නිසා ය. වැඩි පුද්ගලයාව වැඩිහිටි ජීවිතය තුළ පීලි පන්නවන්නේ මේ කුඩා නො දරුවා ය.

                         අනෙක් පැත්තෙන්, මනෝවිශ්ලේෂණ න්‍යාය අප විශ්වාස කරන්නේ නම් ඊට අනුව අප ‘ගැහැණු-පිරිමි’ භේදය වටහා ගන්නේ, සාමාන්‍ය මහජන මතය පරිදි නොවේ. මින් අදහස් වන්නේ, ස්ත්‍රී සහ පුරුෂයන් අතර ඇත්තේ වෙනස්කමක් බවයි. මනෝවිශ්ලේෂණ සහ හේගලියානු අර්ථයෙන් ගත් විට ‘ලිංගික වෙනස’ යනු, පුද්ගලයන් අතර ඇති වෙනස්කමක් නොව පුද්ගලයන් තුළම ඇති වෙනස්කමකි. 

                      ඉහත අර්ථයෙන්, ‘ලිංගිකය’ (Sex)  යනු, අන්තර් (Inter) නොව අන්තරස්ථ-immanent- දෙයකි. ලිංගිකය ධනාත්මක නොවන අතර එය නිශේධනයකි.[negation] පුද්ගලයා යන අනන්‍යතාවය නැතහොත් වෙස් මුහුණ යනුම මෙම නිශේධනයෙන් ගැලවීමට මිනිසා දරන වෑයමකි. සමහරුන්ට මනෝවිශ්ලේෂණය මර්ධනකාරී ගැටලුවක් වන්නේ එමඟින් ලිංග දෙකක් අතර ගැටුම පමණක් ප්‍රාථමික කරන නිසා ය. මනෝවිශ්ලේෂණයට අනුව ඇත්තේ, ස්ත්‍රී සහ පුරුෂ ලිංග දෙක පමණි. අන් ඕනෑම ලිංගයක් (සමලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලෙස්බියන්, කලු, දුඹුරු, කහ- කෙටියෙන් LGBT+) ස්ත්‍රී-පුරුෂ පසමිතුරුභාවයේ විපාකයක් පමණි. මින් අදහස් වන්නේ, ‘ලිංගික වෙනස’ බහුත්වයක් නොවන බව ය. බහුත්වය තුළදී ඔබට හමු වන්නේ, ‘වෙනස්කම්’ පමණි. නමුත් ‘ලිංගික වෙනස’ තුළ වෙනසට අමතරව ‘නිශේධනයක්’ ද ඇත. ‘වෙනස’ නිර්මාණය කරන්නේ මෙම නිශේධනය විසිනි. එවිට, ලිංගික අනන්‍යතාව සමමිතික ප්‍රපංචයක් නොවේ. එය අසමමිතික ය. අසංගතය. අසම්පූර්ණය.

                      මනෝවිශ්ලේෂණ අර්ථයකින් ගත් විට, ‘ලිංගික වෙනස’ අසමමිතික නිසා ම ඒ තුළ විමුක්තිකාමී අදහසක් ද ගැබ්ව පවතියි. ලිංගික වෙනස මඟින් ගම්‍යමාණ වන අසමමිතික මානය යනු, අන්කවරක්වත් නොව මේ ‘වෙනස’ නිෂ්පාදනය කරන සංකේත ලෝකය ද එම ගුණයෙන් යුතු බවයි. අප මෙතන සාකච්ඡා කරන්නේ, ලිංගික සමානාත්මතාවය පිළිබඳව නොවේ. ‘ලිංගික වෙනස’ දෙදෙනකු අතර පවතින දෙයක් නොව ‘කෙනෙකු’ තුළම පවතින දෙයක් නම් එය ‘ආත්මීය ගැටලුවක්’ (සද්භාවාත්මක- Ontological) මිස බාහිර සමාජ යථාර්ථය (Reality- Epistemological) තුළ පවතින බාධාවක් නොවේ.

                       පුද්ගලයෙක් (එසේ සිටින බවට අප කල්පිතයක් ගොඩ නගන්නේ නම්) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වීමට ලිංගික වෙනස තුළ දී නිශේධනය සමඟ සටන් කළ යුතුය. මෙම සටන හෝ අරගලයේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය තෝරා ගැනීමකි (Choice). එය ජීව විද්‍යාත්මක කරුණක් නොවේ. මංගල සමරවීරගෙන් මේ මෑතක දී නිවේදකයෙක් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අසයි. “ඇයි ඔබ විවාහ නොවුණේ?” ඊට පිළිතුරු දීම වෙනුවට මංගල පෙරළා ප්‍රශ්නයක් අසයි. “ඇයි ඔබ විවාහ වුණේ?[2]”  ඉන්පසු දෙදෙනා අතර එකඟතාවයක් ඇති වෙයි. ඊට අනුව, විවාහ වීම හෝ නොවීම පුද්ගලයෙකුගේ තෝරා ගැනීමකි. 

                      ලිබරල් තෝරා ගැනීමක් ලෙස ලිංගික අනන්‍යතාවය අප පිළිගන්නා විට අමතක නොකළ යුතු කරුණක් ඇත. පුද්ගලයෙකු තම ‘ලිංගය’ තෝරා ගැනීමේ දී එය කරන්නේ සංකේත ලෝකය තුළ සංඥාවන් සමග ක්‍රීඩා කිරීමෙන්  නොවේ. පුද්ගලයෙක් තම ‘ලිංගය’ තෝරා ගන්නේ, අවිඥාණකවය (Unconscious choice) තුලය. පුද්ගල ආත්මමූලික අන්තර්ගතය තීරණය කරන්නේ මෙම අවිඥාණය විසිනි. පුද්ගලයෙකුගේ ‘ලිංගය’ තීන්දු වන්නේ අවිඥාණය ( මම දන්නවා මම ආශා කරන්නේ ස්ත්‍රියකට කියලා. නමුත් මම එය විස්ථාපනය කරනවා පිරිමියෙකුට. ඔහු පිරිමියෙක්. මම ස්ත්‍රියක්- මේ තමයි සමලිංගික පුරුෂයෙකුගේ ෆැන්ටසිය. මෙම යථාර්ථය ජනමාධ්‍ය වලට නිරූපණය කරන්න බැහැ.) මඟින් යනුවෙන් අදහස් වන්නේ, විරුද්ධ ලිංගිකයා (පිරිමියා හෝ ස්ත්‍රිය) පවතින්නේ බාහිර ලෝකයක නොව තම ආත්මීයත්වය (Subjectivity) තුළම බව වටහා ගැනීමයි. ලිංගිකත්වය තුළ පරමත්වය (Absolute) යනුවෙන් අදහස් වන්නේ මෙය යි.

                      ජර්මන් විඥාණවාදය මඟින් විස්තර වන ජර්මානු දර්ශනය මඟින් ගවේෂණය කරන ‘පරමත්වය’ යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? ‘මිනිසා ද’ ගස්, ගල්, මල්, පලතුරු සේ බාහිරව පවතින ද්‍රව්‍යමය වස්තුවකි. ඒවා කාල-අවකාශය තුළ ගිලී පවතින අතර අනෙක් වස්තුවලට මෙන් මිනිසා නම් ද්‍රව්‍යමය වස්තුවට ද ස්වභාවික නීති රීති අදාළ වෙයි (ජාති, ජරා, මරණ). මේ අර්ථයෙන් ගත් විට, අනෙක් මිනිස්සුන්ට අපව පෙනෙන්නේ ද වස්තූන් අතර තවත් වස්තුවක් ලෙසින් ය. මෙහි තව පැත්තක් ද ඇත. අනෙක් මිනිසුන් අපව සිතන මිනිසෙක් ලෙස ද (Subject) සලකා බලයි. ලෝකයේ සිටින අනෙක් මිනිසුන් අප දෙස එක තලයක වස්තූන් (Objects)  ලෙස බලන අතර අනෙක් පසින් අප දෙස සිතන පතන අය ලෙස ද [SUBJECT]සලකා බලයි. මේ තල දෙක අතර පරතරය යා කළ නො හැකි වන අතර කළ හැක්කේ එම පරතරය තුළ සිට තමන්ව වස්තුවක් සහ ආත්මයක් වන ආකාරය ගැන කල්පිත ප්‍රවාද ගොඩ නැගීම පමණි[SPECULATION]. මෙම දැනුම ‘ආත්මීය දැනුම’ සහ ‘වාස්තවික දැනුම’ සමතික්‍රමණය කරන ‘පරම දැනුමකි’. මෙහි ‘පරම’ යනු, පරිපූර්ණ යන්න නොව චින්තනයේ සීමාව අභ්‍යන්තරිකයක් යන්න දන්නා දැනුමකි. (යථාර්ථය එකවර සාරයක් සහ ආත්මයක් ලෙස සැලකීම)

                   දැන් අපට “කුමරියක පා සළඹ සැලුනා” ගීතයට ප්‍රවේශ මාර්ගයක් තනා ගැනීමට හැකිය. අප මේ කරන්නේ, ගීත විචාරය නොව ‘රසවින්දනය’ නිසා ගීතය මඟින් සාකච්ඡා වන ‘ස්ත්‍රිය’ සිටින්නේ පුරුෂ මනසෙන් එලියෙන් නොව ඒ තුළම ය බව වටහා ගැනීමය. එවිට, මෙය පුද්ගල ගැටුමකට එහා ගිය සංකල්පීය ගැටුමක් වේ. චිරාත් කාලයක් මා සම්බන්ධයෙන් ඇති කුතුහලය වන්නේ “ඔබට ස්ත්‍රී ශරීරය පෙනෙන්නේ කෙසේ ද?” යන්න ය. අපි ඒ දෙසට ගමන් කරමු. 

Deepthi Kumara gunarathne-

|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මෙන්න නියම “hybrid” article එකක්. එනම් “දීප්ති ගේ ඔරිජිනල් style එක + දීප්තිගේ advance style එක” සුසංයෝග කල වචනයක් අහක දැමිය නොහැකි ලිපියක්.
    Dear Deepthi,
    I hope you would continue to write this kind of analytical articles based on your unique political-philosophical-psychoanalytical theory rather than those that simply criticize the Rajapaksa Govt. in the same style and manner the liberal [Colombo 7] “civil society” HYPOCRITES do.
    THANK YOU SO MUCH for the article!
    අමතරව යමක් කියනවනම්, ශ්‍රී ලාංකික දේශපාලනය තුල කොන්ද පණ ඇති නායකත්වයක් තුලින් නියම ජනතා බලවේගයක් ගොඩනැගීමට නම් ජාතිකත්වය සහ ජාතිවාදය අතර නියම බෙදුම් රේඛාව නිවැරදිව නිර්වචනය කිරීම මූලික වශයෙන් වැදගත් කරුණකි. Identity Politics මර උගුල හරහා රටවල් වල ජනතාව නොයෙක් ආකාරයෙන් ධ්‍රැවීකරණය කරමින් තම පැවැත්ම ඒ හරහා ස්ථාපිත කරන නව ධනවාදී උපක්‍රමයෙන් ජනතාවක් බේරාගත හැක්කේ එවිටය. එහෙම නැතිව සුමන්තිරන්, හකීම්, රිෂාඩ් සහ අනෙකුත් පට්ට ජාතිවාදීනට සුදුහුණු ගාමින් රාජපක්ෂලා, ගලබොඩ අත්තේ හාමුදුරුවන්, විමල්, ගෙවිඳු වැනි අය ජාතිවාදින් හැටියට හංවඩු ගැසීම ජෙහාන් පෙරේරා , ජූඩ් ෆර්නැන්ඩෝ (see Colombo Telegraph), චන්ද්‍රගුප්ත තේනුවර, වියන්ගොඩ වැනි මේ කි නොකී NGO වලින් බඩවියත රැකගන්නා “සිවිල්” ඊනියා ‘මානව හිමිකම්’ නඩයට සහ ඔවුන්ට උඩගෙඩි දෙමින් බඩවියත රැකගන්නා දේශපාලනයේ කුණු කුඩයට තල්ලුවෙමින් පවතින ජවිපෙ වැනි බංකොලොත් ඊනියා වාමන්ශිකයින්ට සුදුසු වෙන නමුත්, විප්ලවවාදී විකල්ප චින්තනයක් ජනතාවතුල ගොඩ නැගීමට මහත් පරිශ්‍රමයක් දරන ඔබ සහ ඔබගේ පක්‍ෂයට කොහෙත්ම නොගැලපෙනවා පමණක් නොව එය දේශපාලනිකව අහිතකර ප්‍රතිපල ඇතිකරන බව (politically counterproductive) නිසැකය.
    “Multiculturalism” මරඋගුල විවේචනය කරමින් Zizek පවා “…my God! there ARE Real enemies…” යයි කියන්නේ එබැවිනි. ශ්‍රී ලංකික [හෝ ලෝකයේ කුමන රටක] හෝ සුලුකණ්ඩායම් (minority groups) හාපැටවුන් නොවේ. ඒ එම කණ්ඩායම් “මහජාතියට” හෝ ප්‍රධාන ප්‍රවාහයේ සංස්කෘතියට එරෙහිව උසිගන්නමින් බඩ වඩාගන්න කණ්ඩායම් බෙහෙවින් ඇති බැවිනි.
    ශ්‍රී ලාංකික සන්ධර්භය තුල මුසල්මානුවන්, දමිලුන් තොටිල්ලේ දමා කිරි පොවා නලවන ගමන් සිංහල බෞද්ධයාට මඩුවලිගෙන් තැලීම නැවතිය යුතුව ඇත.

Comments are closed.