අපිට අපි කවුද කියා අන්‍යයන්ට සහ සමාජයට පෙන්වීමට ප්‍රබන්ධයක් අවශ්‍යය. අපි ජනප්‍රිය සංයුක්ත උදාහරණයක් ගමු. අපි මේ ගත කරන දුෂ්කර සමාජ ජීවිතයේ දී 2019 දී ”වැඩකාරයා”යැයි හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ 2021 දි අවලංගු කර ඇත. තමන්ව වීරත්වයට නැඟුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ LTTE ය බව අමතක කර ඔහු ආත්ම රාගය නම් අයිස් වතුරේ නොපෙනී ගියේ ය. 2005 දී අප මහින්ද රාජපක්ෂ නමින් වීරයෙක් සමාජයට හඳුන්වා දුන් අතර එය 2015 දී වාෂ්ප වී ගියේ ය. පපඩමක් මෙන් මෛත්‍රීපාල සිරිසේන ඉන්පසු වේදිකාවට ගොඩ වූ අතර පහන් දැල්ලක් සුළඟට නිවී යන්නාක් මෙන් ඔහු ද නිවී ගියේ ය. චන්ද්‍රිකාගේ සිට අපි ප්‍රජාතන්ත්‍රවාදය වඩා රැඩිකල් කිරීමට ‘සමාජ යථාර්ථයට’ බාහිරෙන් පරමාදර්ශ ගවේෂණය කරන්නෙමු. දැන් වසර 25ක් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත.
දැන් නැවත ‘වැඩකාරයෙකු’ ලෙස බැසිල් අභිෂේක වී ඇත. බැසිල් යනු, 2015 දේශපාලන වේදිකාවේ දී දූෂිතයෙකු ලෙස හංවඩු ගසන ලද්දෙකි. ඔහු චීනයෙන් වාණිජ වශයෙන් වැඩි පොලියක් අය කරන බැංකුවලින් මුදල් ණයට ගෙන රටේ පාලම්, බෝක්කු, අධිවේගී මාර්ග, නගර නිර්මාණවලට යට කළේ ය. මේ අධෝ ව්‍යුහයේ සංවර්ධන වලින් පොදු සමාජයට ප්‍රතිලාභ ලැබෙන්නේ නැත. ඉන් යහපතක් වන්නේ, පුද්ගලික යාන වාහන සහ විවේක කාලය තිබෙන මධ්‍යම පන්තියට පමණි. මෝටර් බයිසිකල් වලින් වැඩට යන, ත්‍රීරෝද රථවල ගමන් යන අයට මේ අධිවේගී මාර්ග වලින් වැඩක් නැත. නමුත් මේ නාගරික භෞතික සංවර්ධනයට නිදහසින් පසුව මධ්‍යම පන්තිය වශී විය. අද ඩොලර් බිලියන ගණන් ණය වී ඇත්තේ ‘මිනිස් සම්පත’ දියුණු නොකොට භෞතික සංවර්ධනයට ගිය මිලයි. ඊට අමතරව, බැසිල් විසින් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට පඩියට එල්ලන ලද දීමනා තොගය නිසා ඔවුන් වාහන සේල්කාරයන්, එළවළු ලොරි අයිතිකරුවන්, සංචාරක හෝටල් අයිතිකරුවන්, සල්ලි පොළියට දෙන්නන් ආදී වශයෙන් විකරණය වී ඇත. උසස් අධ්‍යාපනයට ඔහු කළ හානිය තක්සේරු කිරීමට පවා තව වසර 20 ක් පමණ ගත වනු ඇත.
නමුත් නැවත ‘බැසිල්’ වැඩකාරයෙකු ලෙස මතු කිරීමට මාධ්‍ය ව්‍යාපාරිකයන් උත්සුක වී ඇත. යථාර්ථය මත තම දැනුම රඳා පවත්වන විවිධ බුද්ධිමතුන්, විමතිකයන් සහ මාධ්‍යකරුවන් යළිත් පරණ සෙල්ලම පටන් ගෙන ඇත. අප සියලු දෙනා බැසිල් දූෂිත බව දන්නා පරිදිම එය නොදැන සිටීමට ද උත්සුක වෙති. 2005 වර්ෂයේ සිට අපි සියලු දෙනා බැසිල් කවුද කියා සහසුද්දෙන් දන්නෙමු. නමුත් බැසිල් ගැන අප මේ හොඳින් දන්නා ‘දැනුම’ විශ්ලේෂණය කළ යුතු දැනුමකි. මේ දැනුමේ ස්වභාවය නම් ඔහු ගැන අප දන්නා බව නොදන්නවා සේ සිටීමයි. යම් කෙනෙකු හෝ යම් දෙයක් ගැන අප දන්නා මුත් එය අප නොදන්නේ නම් – Unknown Knows – එය අපව රැගෙන යන්නේ මායා ලෝකයකට හෝ දෘෂ්ටිවාදය වෙතට ය. දෘෂ්ටිවාදය යනු, සත්‍යයේ කණපිට පැත්ත හෝ දෙයක් ගැන හෝ පුද්ගලයෙකු ගැන වැරදියට වටහා ගැනීමක් නොවේ. අධිපති පන්තීන් විසින් අටවන උගුලක් හෝ බොරුවක් හෝ මුළා කිරීමක් යනු ද දෘෂ්ටිවාදය නොවේ. කොටින්ම, දෘෂ්ටිවාදයේ කාර්යය දැනුමේ කාර්යයට වඩා හාත්පසින්ම වෙනස් ය. දෘෂ්ටිවාදයේ මූලික ස්වරූපය වන්නේ මිනිසුන්ගේ ‘සැබෑ ලෝකයට’ ඇති පරිකල්පනීය සම්බන්ධයකි. ඒ අනුව, ප්‍රධාන තලයේ දී දෘෂ්ටිවාදය යනු යථාර්ථයේ රහස වසා දමන මායාවක් නොවේ. දෘෂ්ටිවාදය කරන්නේ සමාජ යථාර්ථයේ ‘රහසින්’ විනෝද වීමට ඉගැන්වීම ය. ඒ අර්ථයෙන්, දෘෂ්ටිවාදය අනුභූතික යථාර්ථයෙන් ෆැන්ටසිය දෙසට ගමන් කරයි. දෘෂ්ටිවාදය සමාජ යථාර්ථයේ වසා දමන්නේ එහි කතිකාමය මානය නොව කතිකාවේ අසමත්කමයි.
ඇල්ෆර්ඩ් හිච්කොක් විසින් නිර්මාණය කළ Vertigo නොහොත් ‘හිස කරකැවිල්ල’ නම් සිනමා කෘතියේ ප්‍රධාන චරිතය වූ ස්කෝටීගේ ෆැන්ටසිය අපි දැන් පරික්ෂා කරමු. චිත්‍රපටයේ කතාව සැකැවින් මෙසේ ය. ගැවින් අල්ස්ටර් නම් ධනපතියෙක් තමන්ගේ නීරස විවාහ ජීවිතයෙන් සමුගන්නට තම බිරිඳ වන මැඩලීන්ව සියුම් සිදුවීම් මාලාවක් හරහා ඝාතනය කිරීමට සැළසුමක් සකස් කරයි. සැළසුමට අනුව ඔහු ස්කෝටී නම් රහස් පරීක්ෂකයෙකුට සියදිවි නසා ගැනීමට පෙළඹවීමක් ඇති මැඩලීන් නම් බිරිඳගේ සුපරීක්ෂාව භාර දෙයි. ඔහු ඇයගේ දෛනික දින චර්යාව පරික්ෂා කිරීමට ඇයගේ පසුපසින් ගමන් කරයි. දිනක්, ඔහු ඇය පසුපස හඹා යද්දී ඝණ්ඨාර කුළුණක් උඩට ගොස් ඉන් බිමට පැන සියදිවි නසා ගනියි. නමුත් මේ වනාහි ගැවින් නම් සැමියාගේ රැවටිල්ලකි.
කතාවේ ප්‍රධාන කතාව ඉහත පරිදි වූවත් එහි අතුරු කතාවක් ද ඇත. එමඟින් නිරූපණය වන්නේ, ස්කෝටීගේ ආදර කතාවයි. මැඩලීන්ගේ දවසේ ජීවිතය පසුපස ස්කෝටී ඇවිදින විට ඇයට ඔහු ආලය කරයි. ඇයගේ මරණයෙන් පසුව ස්කෝටීට අහම්බෙන් හමුවන ජූඩී නම් ග්‍රාමීය, චපල, මුදලට ගිජු ස්ත්‍රියකට ඔහු යෝජනා කරන්නේ මැඩලීන්ගේ භූමිකාව ඔහු වෙනුවෙන් රඟ දක්වන ලෙස ය. එය ‘ඇය’ විසින් කදිමට රඟ දක්වයි. අහම්බයකින් ගැවින්ගේ කුමන්ත්‍රණය හසු වන අතර එහි දී සිදුවී ඇත්තේ කිසිවෙකු නොසිතූ සිද්ධි දාමයකි. මැඩලීන් යන චරිතයම ගැවින් විසින් ස්කෝටීගේ දෑස සඳහා නිර්මාණය කරන ලද්දකි. ඒ සඳහා, ඔහු ගමෙන් නගරයට ආනයනය කළ දුප්පත් යුවතියක් යොදා ගනියි. ඒ ජූඩී ය. චිත්‍රපටය තුළ මැඩලීන් යනුවෙන් අප අත් විඳින්නේ ඇත්ත මැඩලීන් කෙනෙක් නොව ජූඩී විසින් පළමු අවස්ථාවේ දී ගැවින්ට අනුව රඟ දක්වන ව්‍යාජ මැඩලීන් කෙනෙකි.
‘මැඩලීන්’ ලෙස අපත් ස්කෝටීත් යථාර්ථය තුළ අත්විඳින ‘ඇත්ත මැඩලීන්’ යනු ව්‍යාජයකි. වෙනත් අවශ්‍යතාවයක් සඳහා නිර්මාණය කළ සිමියුලේ ක්‍රමයකි. නමුත් මෙම ව්‍යාජය ස්කෝටී ට මෙන්ම ප්‍රේක්ෂක අපට ද පෙනෙන්නේ සත්‍යයක් ලෙසිනි. මින් අදහස් වන්නේ, ‘යථාර්ථය’ පිළිබඳ දැනුම ගැටලුව දෘෂ්ටිවාදය වටහා ගැනීමට අදාළ නොවන බවයි.
ස්කෝටී සිය දෛවෝපගත ආදරය මැඩලීන් නම් ප්‍රතිරූපය පාදක කොටගෙන ජූඩී හරහා නිර්මාණය කරන විට (ආදර සයිකෝසියාව) ඔහුට හමුවන යථාර්ථය කුමක් ද ? මැඩලීන් යනු, ජූඩී විසින් මවන වේශ නිරූපණයකි. ‘මැඩලීන්’ යනු, ජුඩීගේ නිර්මාණයක් බව ස්කෝටී හොඳින් දනියි. ඒ අනුව, ස්කෝටී ට සම්මුඛ වන කටුක සත්‍යය වන්නේ ජූඩී මායාවක් බව අවබෝධ වීම නොව ‘මැඩලීන්’ යනු ද ‘මායාවක්’ බවයි. එමඟින්, ඔහුට අතීතයේ හිමිව තිබුණා යැයි සිතූ දෙය ද අහිමි විය. මෙය අහිමි වීමත් අහිමි වීමකි (negation of negation). මන්ද, ඔහු දුටු පළමු මැඩලීන් පවා ජුඩීගේ රංගනයක් වන නිසා ය. මේ හේතුව නිසා, ‘අතීතය’ (Past) පිළිබඳ අලුත් අදහසකට යෑමට ස්කෝටී පෙළඹෙන අතර අනාගතය ඔහුගේ ඊට අනුකූලව වෙනස් වෙයි. ආදරය ඉදිරිපිට සියලු පිරිමින් නිර්ධනයන් ය. මෙම නිර්ධන පිරිමියාට පරිකල්පනය කිරීමට සිදු වී ඇත්තේ, ආදරය අඥාත ස්ත්‍රිය පාදක කොට ගෙන ෆැන්ටසිකරණය කළ යුතු බවයි. ආදරයට අවශ්‍ය වන්නේ, ජීවවිද්‍යාත්මක හෝ යථාර්ථමය ස්ත්‍රියක් නොව ප්‍රබන්ධමය ස්ත්‍රියකි. ‘නොදන්නා ස්ත්‍රිය’ (Unknown Woman) නම් ප්‍රවාදය මගින් අදහස් වන්නේ, ඇය ගැන යම් දිනෙක දැන ගැනීම නොවේ. ඊට ප්‍රතිපක්ෂව, අප ස්ත්‍රියකට ආදරය කරන්නේ ඇය නොදන්නා කෙනෙක් ලෙස පරිකල්පනය කරන විටදී ය. මේ ‘නොදන්නා බව’ ඇත්තේ, යථාර්ථ මානය තුළ නොව ප්‍රබන්ධ මානය තුළ ය. අප ආදරය කරන කෙනෙකුව ‘යථාර්ථය’ තුළ අත් නො විඳින්නේ මේ නිසා ය. එය අවිඥාණය විසින් සකස් කරන ෆැන්ටසියකි. ආදරය කරන කෙනා පිළිබඳ දැනුම අප යථාර්ථය තුළ ක්‍රියා කරන විට අතහැර දමයි.
‘වර්ටිගෝ’ නම් චිත්‍රපටයේ දී දේශපාලනයේ දී අප අත් නොවිඳින මානයක් විද්‍යාමාණ වෙයි. දේශපාලනය මෙම තත්වය සලකා බලන්නේ, පාරභෞතික ලෙසින් ය. ‘වර්ටිගෝ’ යනු, අපට අපවම නැරඹීමට ඇති උපමා කතාවක් හෝ කවුළුවකි. අප චිත්‍රපටය නරඹන විට, අපි අපවම නරඹමින් සිටින බව වටහා ගන්නෙමු. මේ චරිත පිටුපස කිසිවෙකු නැත. ඔවුන්ගේ රහස වන්නේ, අප ඔවුන් සමඟ අනන්‍ය වීමයි. අපට නොවැටහෙන සාධකය වන්නේ, ඔවුන් අප සඳහා පමණක් වේදිකාගත කිරීමයි. අප ඔවුන්ව නැරඹීමට පෙර ඔවුන් පවතින්නේ නැත. සාංදෘෂ්ටික සත්‍යය එය යි. කෙනෙකුට හැකි නම් යථාර්ථය තුළ තමන්ගේම ‘බද්ධ දෘෂ්ටියත්’ (Gaze) ඇතුළත් කියලා නැතහොත්, තමන්ගේ ඇස් ඇත්තේ තම ශරීරයේ අක්ෂි කුහර තුළ නොව යථාර්ථයේ කියලා අන්න එතැනදී ඒ කෙනාට තමන්ගේ ආශාව රෝගයක් සහ දෘෂ්ටිවාදයක් කියලා වැටහෙයි. යථාර්ථයට අප ඇලී ඇති තැනින් එවිට අප නිදහස් වෙයි. ගැටලුව වන්නේ, මේ නිරාවරණයට අප ඉඩ දෙනවා ද කියන එකයි.
ස්ත්‍රියක් යථාර්ථ මානය ඇතුලේ පිරිමියාගේ සමාජ බලය පුස්සක් කියලා දන්නවා. නමුත් ඇය එම ‘බලය’ සමඟ වසඟ ක්‍රීඩාවක් පටන් ගැනීම හරහා පිරිමියා තමන් ගැනවත් තමන් නොදන්නා දේවල් (more than factor) ගවේෂණය කරයි. ඇයට පිරිමියාගේ අතිශය පුද්ගලික සිතුවිලි සහ ආශාවන් කියවීමට පුළුවනි. අඩුම වශයෙන්, ඔවුන්ටවත් නො තේරෙන විදිහට ඒ ආශාවන් යථාර්ථවාදී කරන්න ඔවුන් දන්නවා. ස්ත්‍රියක් යනු, පිරිමියා තුළ ඊට වැඩි දෙය නිරූපණය කරන්නියකි.
දැන් අපි සිනමා ප්‍රබන්ධයෙන් ‘දේශපාලන විද්‍යාව’ වෙතට හැරෙමු. විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශයට යටත් නැති අලුත් අන්තර්ගතයක් අපි හදුන්වා දෙමු. අපගේ ගැටලුව වන්නේ, ‘ස්කෝටීගේ මැඩලීන් ෆැන්ටසිය’ සහ සිංහල ජනතාවගේ ‘බැසිල් ෆැන්ටසිය’ අතර යම් ලුහු කිරීමක් හරහා අවබෝධ කර ගැනීමයි. මෙතැන දී, අවබෝධය (Understanding) නම් සංකල්පයෙන් සමපේක්ෂණය – speculation- නම් සංකල්පය වෙතට ගමන් කරමු.
අප මේ ජීවත් වන සමකාලීන ධනවාදී ලෝකය තුළ විරාජමාන වන විරුද්ධාභාසය (Paradox) කුමක් ද? එක පැත්තකින්, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය උරුම කළ යුරෝපීය දේශපාලන පරමාදර්ශ සහ හර පද්ධතිය ඇත. මැද පන්තිය සහ ලිබරල්වාදීන් අපට යෝජනා කරන්නේ, ඉහත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ප්‍රතිජීවනය සහ ප්‍රතිචක්‍රීයකරණය කරන ලෙසයි. එනම්, පුද්ගල නිදහස යි. එය භාෂණයේ සිට පුද්ගලික දේපළ අයිති දක්වා දිගු වෙයි. නිදහස් වරණය තවත් තේමාවකි. අනන්ත වූ අවස්ථාවන් නිර්මාණය කිරීම, අන්‍යයන්ගේ සංස්කෘතීන් ඉවසීම, මෙය බහු සංස්කෘතිකවාදය යි. එය ජාතික තලයේ නීති රාමුවකි. මේ වනාහී බටහිර තේමාවන් ය.
අනෙක් පස ඇත්තේ කුමක් ද? කිසිදා වෙනස් කිරීමට හැකියාවක් නැති දෛවය සේ පෙනෙන ධනවාදය අනෙක් පසින් ඇත. මොන දේවල් කරත්, මොන රැඩිකල් දේවල් කරත්, ධනවාදය වෙනස් කිරීමට නො හැකි ය. කිසිවෙකුට ‘ප්‍රාග්ධනයට’ අතවත් තැබීමට නො හැකි ය. ලෝකය විනාශ වී ගියත් ධනවාදයට වෙනස් සමාජ ක්‍රමයක් ගැන අපට පරිකල්පනය කළ නො හැකි ය. බුදුදහමත් ඇතුළත්ව බොහෝ ආගම් ධනවාදයට අවශෝෂණය වී ඇත.
පසුගිය කාලයේ නැවතත් උද්ඝෝෂණ රැල්ලක් වීදිය මුල් කොටගෙන බිහි විය. මෙමඟින් අභියෝගයට ලක් වූයේ, තමන්ගෙන් බාහිරව පවතිතැයි විශ්වාස කරන ධනවාදය සහ එහි අතිරික්තයට එරෙහිව ය. නමුත් පාරට බැස්සේ නිර්ධනයන් ද? නැතහොත්, පවතින ධනවාදී රාමුව තුළ නිශ්චිත වැටුප මාසයේ අග සාක්කුවට වැටෙන ජෝසෆ් ස්ටාලින්ලා, සමන් රත්නප්‍රියලා ද? කෙටියෙන් කිවහොත්, පාරට බැස්සේ රාජ්‍යයෙන් තම ආර්ථිකය සුරක්ෂිත කරගෙන එහි මදි අඩුපාඩු කප්පම් කේවල් කිරීමට ද? කුමාර්ලා පවතින ක්‍රමය ප්‍රති නිෂ්පාදනය කරන MBBS සහතිකය වෙනුවෙන් පෙනී සිටීම කෙතරම් ප්‍රතිගාමී ද යත් ඔවුන් පෙනී සිටින්නේ වරප්‍රසාදලාභීන් ප්‍රති නිෂ්පාදනය කරන A/L විභාගය වෙනුවෙනි.
ලෝක මට්ටමින් මේ තත්වය ශන්තාල් මුෆ් න්‍යායගත කරන්නේ මෙසේ ය.
“ ලැක්ලෝ සහ මා 80 දශකයේ දී උත්සාහ කරනු ලැබුවේ, වාමාංශික දේශපාලන චින්තනයට නව සමාජ ව්‍යාපාරවල (සමලිංගික, පරිසර, ස්ත්‍රීවාදී, බහුසංස්කෘතික, සාම) ඉල්ලීම් බද්ධ කිරීමට ය. එනම්, සාම්ප්‍රදායික කම්කරු පන්ති ව්‍යාපාරයට නව සමාජ ඉල්ලීම් බද්ධ කිරීමට ය. නමුත් පසුගිය වසර 35ක පමණ කාලය තුළ මෙම ඉල්ලීම් බහුතරය ධනවාදී රාජ්‍යය සහ අධිපති දෘෂ්ටිවාදය තමන් තුළට අවශෝෂණය කරගෙන ඇත.
දැන් සිදුවී ඇත්තේ, 80 දශකයේ කණපිට පැත්තයි. සැබෑ නිර්ධනයන්ගේ ඉල්ලීම් අහකට විසි වී ගොස් මාසික වැටුප්ලාභීන් උද්ඝෝෂකයන් වී ඇත ”.
ශන්තාල් මුෆ්ගේ අදහස නිවැරදි ය. ලංකාවේ වැඩ කරන පන්තියේ ජනතාවගෙන් 60% කට විධිමත් ආදායමක් හෝ සමාජ සංරක්ෂණයක් නැත. රාජ්‍යයේ සුභසාධනය කපා දමා ඇති නිසා ඔවුන්ගේ ජීවන තත්වය බිඳ වැටී ඇති අතර තමන්ට රාජ්‍යය සමඟ කේවල් කිරීමට දේශපාලන ආකෘතියක් නොමැති වී ඇත. පක්ෂ ආකෘති පවතින්නේ, සාම්ප්‍රදායික වාමාංශික, සාම්ප්‍රදායික (ජාතිවාදී) සහ ලිබරල් අදහස් ඇති අය වෙනුවෙන් පමණි. ත්‍රීරෝද රථ රියදුරන්, පුද්ගලික බස් රථ සේවකයන්, තාවකාලික සේවා සපයන්නන්, සේවා ආර්ථිකයේ අවදානම් රැකියා කරන්නන්, මැදපෙරදිග සේවිකාවන් යන මේ විශාල ජනගහනය නියෝජනය කරන්නට වාමාංශික ව්‍යුහයක් ලංකාවේ නොමැත. මේ නිසා සිදු වී ඇත්තේ, ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය වරප්‍රසාදිත ගොන්නට වැටී රාජ්‍යය ත්‍රස්ත කර තම වැටුප් කේවල් කිරීමේ නව දේශපාලනයකට අවතීර්ණ වීමයි. කාර්මික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ සිදු වූ සෘජු සූරාකෑම් එනම්, ප්‍රාග්ධනය සහ ශ්‍රමිකයා අතර ද්වන්ධ සටන වියැකී ගොස් නව කේවල් කිරීමේ ආකෘතියක් බිහි වී ඇත. ස්වාමියෙක්ගෙන් තොරව ක්‍රියාත්මක වන නූතන ධනවාදය තුළ සියලුම මිනිසුන් සූරා කන්නන් බවට පත් වී ඇත.
ඉහත අර්ථයෙන් ගත් විට, නූතන මිනිසාට බුද්ධිමය සහ සදාචාරමය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වී ඇත. අලුතින් අප වාමාංශික ආකෘතියක් ගැන සිතා බලන්නේ නම්, දැනට පවතින වීදි සටන් යනු, ධනවාදය යුක්තිසහගත කරන සටන් ය. උන්මුල වශයෙන් ධනවාදය ක්‍රියාත්මක වන්නේ, අභ්‍යන්තරික තර්කයක් ලෙස මිස ඉන් පිටත නොවේ. මේ හේතුව නිසා, පවතින ක්‍රමයට බාහිරින් දේවල් පවතී යැයි සිතීම දෘෂ්ටිවාදී ය.
අනුර කුමාර සිට කුමාර් මහත්තයා දක්වා වාමාංශිකයන් සිර වී ඇති ‘හේතු-ඵලවාදී චින්තනය’ විසින් ඔවුන්ව යම් සීමාවකට කොටු කර ඇත. දේශපාලනය තුළ දැනට ක්‍රියාශීලී වන ලුබ්ධිමය අනන්‍යතා ඉහත කී වාමාංශිකයන් මනස්ගාත සේ සලකා පැහැර හැර ඇත. දේශපාලනයේ දී ආවේදනයන් සහ අනුරාගයන් විසින් ඉටු කරන ඉතාම සියුම් සාධක අප වසර 20 ක් තිස්සේ රටට කියා ඇති අතර අපගේ මොහොත දැන් කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතියි. මනෝවිශ්ලේෂණය පිළිබඳ ලංකාවේ වමට ඇති දැඩි පිළිකුල ඔවුන්ව තව තවත් ප්‍රතිගාමීන් බවට පත්කොට ඇත.
මනුෂ්‍යයාගේ මනස සිහිය සහ අවිඥාණය වශයෙන් කොටස් දෙකකට බෙදී ඇත. දේශපාලනයේ දී මිනිසුන් ක්‍රියාකාරී වන්නේ, සිහියෙන් නොව අවසිහියෙනි. මේ අවසිහිය ඇත්තේ, අවිඥාණය පැත්තේ ය. බැසිල් රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂය අප වෙතට එන්නේ, මේ පැත්තෙනි. මිනිසා දේශපාලන ජීවියෙක් වන්නේ, අවිඥාණක ෆැන්ටසි ක්ෂේත්‍රයේ ය යන්න තවදුරටත් මනෝ විකාරයක් ලෙස බැහැර කළ නො හැකි ය.
බැසිල් රාජපක්ෂ කවුද කියා ජූඩී ගැන මෙන් අපි සියලු දෙනාම දන්නෙමු. නමුත් එම දැනුම පරයා අප ‘බැසිල්’ ෆැන්ටසිකරණය කරන්නේ මන්ද? ස්කොටී මෙන් සිංහල ජනතාව සශ්‍රීක හෙට දවසක් වෙනුවෙන් බැසිල් නම් අව්‍යාජත්වයක් වෙනුවෙන් ක්‍රියා කරයි. නමුත් ඇත්තටම ඔහු ජූඩී මෙන් අවලස්සන අතීතයක් හිමි පුද්ගලයෙකි. වාමාංශය වරප්‍රසාදිත මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින විට සාමාන්‍ය ජනයා බැසිල්ව මැඩලීන් ලෙස සමපේක්ෂණය කිරීම අහම්බයක් නොවේ. නමුත් බැසිල් යනු, ජූඩීවත්, මැඩලීන්වත් නොවේ. එය සමාජයට කියා දෙන්නට කෙනෙක් නැත.
Deepthi kumara Gunarathne
අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
සමබිම පක්ෂය.
ඔබේ අදහස කියන්න...
“ඔහු ගමෙන් නගරයට ආනයනය කළ දුප්පත් යුවතියක් යොදා ගනියි. ඒ ජූඩී ය. “
එහෙම දුප්පත් පොහොසත් කතාවක් නෑ . මේක දීප්ති විසින් එකතු කරපු එකක්!
Comments are closed.