”70 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කළ Godfather චිත්‍රපටය පදනම් වූයේ කල්පිත ඉතාලි මාෆියා පවුලක් කේන්ද්‍ර කොටගෙනය. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට ජීවය දෙන මාලන් බ්‍රැන්ඩෝ නම් චරිතාංග නළුවා ගෝඩ්ෆාදර් චිත්‍රපටය සඳහා අපූර්ව ක්‍රමවේදයක් අනුගමනය කළේය. සාමාන්‍යයෙන් හොලිවුඩ් අපරාධකරුවන්ගේ චරිත රිදී තිරය මත දිගහැරෙන්නේ අතික්‍රියාකාරී පුද්ගලයන් ලෙසය. නමුත් ගෝඩ්ෆාදර් චිත්‍රපටයේදී බ්‍රැන්ඩෝ තම චරිතය නිරූපණය කරන්නේ සාන්තුවරයෙකුගේ හැඩයෙනි. වඩා සිත්ගන්නා සුළු කාරණය වන්නේ මෙය නොවේ. චිත්‍රපටය නැරඹූ බාහිර ලෝකයේ සැබැවින්ම මාෆියා  භූමිකා රඟ දක්වන පුද්ගලයන් ක්‍රම ක්‍රමයෙන් බ්‍රැන්ඩෝගේ  රංගනය උපුටා ගැනීමට උත්සාහ කරන ලදී. සාමාන්‍යයෙන් සිදුවිය යුතු වන්නේ සැබෑ ජීවිතයේ අපට හමුවන මාෆියා  කාරයන් ගේ චර්යාවන් බ්‍රැන්ඩෝ විසින් අනුගමනය කළයුතු වීමයි.නමුත් සිදුවුයේ කණපිට පැත්තයි.එනම් චරිතාංග නළුවෙකුගේ කල්පිත රංගනය බාහිර ලෝකයේ සිටින සැබෑ චරිත විසින් අනුකරණය කිරීමයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් මිනි මැරිම සංවිධානය කරන විට පුසෙකුගේ  බඩ අතගාන අතර චිත්‍රපටය නැරඹූ මාෆියා  අපරාධකාරයන් ද පුසන් මිලට ගෙන බඩ අතගාන්නට පටන් ගත්තේය. ඇමරිකාවේ ජීවත්වන මාෆියාකාරයන් ගෝඩ්ෆාදර්  චිත්‍රපටයේ චරිත වලට ආශක්ත  වූයේ මන්ද?”

ඉහත ප්‍රශ්නයට උත්තරයක් සොයන විට මේ මෑතකදී පොත් දෙකක් සිංහලයට පරිවර්තනය කළ ලේඛකයකු ගැන සාකච්ඡා කිරීමට සිදුවෙයි. වාමාංශික දේශපාලනයේ නිරත වූ පුද්ගලයන් දන්නා පරිදි නලින් මහේෂ් පෙරේරා  යනු 80 දශකයේ සිට ක්‍රියාකාරී වූ නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ඔහු ඉතා මෑතක දී සුවිශේෂ පොත් දෙකක් සිංහලයට පරිවර්තනය කළේය. පිළිවෙළින් ඒවා මෙසේය. පළමුවැන්න වූයේ  මැක්ස් වෙබර්ගේ Politics as a Vocation (දේශපාලනය රක්ෂාව කරගත් විට). දෙවැන්න වුයේ පියරේ බෝදියුගේ “අපේ කාලයේ මහා මිත්‍යාව- ගෝලීයකරණය” නම්  කෘතියයි. දශක තුනක පමණ කාලයක් සම්භාව්‍ය ආකෘතිය යටතේ ධනවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයන් 21වන  සියවසේ දෙවැනි දශකය වනවිට හෙම්බත් වූ ස්වභාවයක් පෙන්නුම් කිරීම අහම්බයක් නොවේ. ගෝඩ්ෆාදර් චිත්‍රපටය නැරඹූ සැබෑ මාෆියාකාරයන් බ්‍රැන්ඩෝගේ රංගනයට වශී වී එය  අනුකරණය කළා සේ නලින් මහේෂ්ටද විපර්යාසයක් සිදු වී ඇත. ඔහු තමන්ගේ දෘෂ්ටිකෝණය වෙනස් කරගෙන ඇත. බොහෝ   කාලයක් අප වස්තුවක් නැරඹූ කවුළුව වෙනස් කර එම වස්තුව වෙනත් කවුළුවකින් නැරඹූවිට අමුත්තක් දැනෙයි. මිනිසෙකු  තම කටහඬට බිය වන්නේ නැත. නමුත්  තම කටහඬ පටිගත කර එම මිනිසාට ම ඇසෙන්නට සැලැස්වූ විට අමුත්තක් නිර්මාණය වෙයි. නලින් මහේෂ් තම අලුත් මිතුරන් තමාගේ  පරිවර්තන කෘතියේ පෙරවදන  තුළ මෙසේ හඳුන්වා දෙයි.

Name of the Father

“ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ශාස්ත්‍රපති පාඨමාලාව අපට ඉගැන්වූ, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශ ප්‍රධානී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා සමග ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, මහාචාර්ය ප්‍රේමකුමාර් ද  සිල්වා, මහාචාර්ය ලක්සිරි ප්‍රනාන්දු මහතුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ලබාදුන් දැනුමත්, නිමක් නොවන සංවාද හා වාදයන්හි පැටලී සිටි ඒ පංතියේ සිසු සිසුවියන්ගෙන් ලැබුණු තල්ලුව නොවන්නට වෙබර් සහ බෝදියු පරිවර්තනය කරන්නට මා තුල  නොපෙළඹෙනු ඇත.”

නලින් මහේෂ් පෙරේරා  විසින් පරිවර්තනය කරන ලද පොත් දෙකෙහි ඔහු  ලියූ පෙරවදන් කියවන විට මීට  පෙර ඔහු විසින් රචිත කෘති තුළ නොතිබූ අලුත් අදහසක් ඔහු තුළට කාන්දු වී ඇත. නලින් මහේෂ් මීට පෙර රචනා කළ නලින් ද සිල්වාගේ ජාතිකවාදී අපගමනය පිළිබඳ කෘතියේ දී ඔහු ඥානවිභාගය ලෙස සලකන්නේ පන්ති අනන්‍යතාවයයි. නමුත් අලුත් මිතුරන් හමුවූ විට ඔහු තම ඥානවිභාගය අනන්‍යතා දේශපාලනය දක්වා වෙනස් කරගෙන ඇත. පන්ති දේශපාලනය සහ විවිධ අනන්‍යතා දේශපාලනය (සමලිංගික, ජාතිකවාදී, පරිසර, සාමය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ධනවාදය කළමනාකරණය) අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇත. පන්ති දේශපාලනය පසමිතුරුභාවය (Antagonism) ආත්ම කොට ගත්තකි.නමුත් අනන්‍යතා දේශපාලනය තුළ ඇත්තේ සම්මුතිකාමි දේශපාලනයකි. මාක්ස්වාදය විග්‍රහ කරන්නේ පන්තීන් අතර පවතින පසමිතුරු ස්වභාවය මිස පන්තීන් අතර ප්‍රතිවිරෝධය නොවේ.

 පළමුවෙන්  අප පසමිතුරුභාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර ගමු. සම්ප්‍රදායික ස්ත්‍රීවාදය තුළ ක්‍රියාකාරී වන ස්ත්‍රියක් පරිකල්පනය කරන්නේ තමන්ගේ නියම ස්ත්‍රී ස්වභාවය තමන්ට උරුම නොවන්නේ පුරුෂයාගේ පැවැත්ම නිසා බවය. සරලව කිවහොත් ස්ත්‍රීවාදී ස්ත්‍රියක්  සිතන්නේ තමන්ගේ පරිපූර්ණ අනන්‍යතාවයට බාධාව පවතින්නේ තමන්ට බාහිරින් පවතින පුරුෂ ලෝකයේ බවයි. තමාට පරිපූර්ණ වීමට ඉඩ නොදෙන මෙම බාහිර බාධාව නොමැති නම් තමාට නියම ස්ත්‍රියක් වීමට  හැකි යැයි ඇය ෆැන්ටසිකරණය කරයි. නමුත් මෙම තත්ත්වය දෘශ්‍යමානයට වශී වීමක් පමණි. තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්නේ නම් මෙම ගැලවිම මායාවක් බව අවබෝධ වෙයි. එනම් පරිපූර්ණ සාරය සහිත ස්ත්‍රිය  (අනන්‍යතාවය) යනුම  දෘෂ්ටිවාදයකි. යම් මොහොතක දී ස්ත්‍රියක් තම බාහිර සතුරා වන පුරුෂයා සහමුලින්ම වනසා දැමුවා යැයි  මොහොතකට නිගමනය කරමු. එවිට  සිදුවන්නේ කුමක්ද? පසමිතුරුතාවය පිළිබඳ සංකල්පයේ  දයලෙක්තික ස්වභාවය අපට සම්මුඛ වන්නේ මෙම බාහිර සතුරා විනාශ කළාට පසුව එන තත්ත්වය තුළදීය. තම බාහිර සතුරා සහමුලින්ම විනාශ කළහොත් සිදුවන්නේ ස්ත්‍රියට තම අනන්‍යතාවය  අහිමි වී යාමය. ඒ අනුව ගැටලුවේ නියම හරය වන්නේ බාහිර සතුරා නොවේ. ඊට වඩා ක්ෂිතිමය අත්දැකීමක් විඥානය  අත්විඳියි. එනම් ස්වයං-බාධාවයි. ස්ත්‍රියක් තම පුර්ණ අනන්‍යතාවය  වෙනුවෙන් පුරුෂයකුට එරෙහිව සටන් කරන විට ඔහුව පරිපූර්ණ ලෙස නිශේධනය කරන්නේ නැත. මන්දයත් එවිට තම හිස්කම තමන්ටම අවධාරණය වන නිසාය.ඉන්  ගැලවීමට තමයි ඇය බාහිර ලෝකයෙන් පුරුෂයා නමින් සතුරකු ගවේෂණය කරන්නේ. මේ නිසා ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පවතින්නේ සරල ප්‍රතිවිරෝධයක් හෝ  ප්‍රතිපක්ෂයක් නොවේ. ඔවුන් අතර ඇත්තේ පසුමිතුරු සම්බන්ධයකි. එක පැත්තකින් ඔවුන් අතර සතුරු සබඳතා පවතින අතර, අනෙක් පසින් මිතුරු සබඳතා ද ඇත. ධනවාදය තුළ ඇති පන්ති සබඳතාවයන්ද පසමිතුරුය. ඒවාට අනන්‍යතාවයන්ගෙන් පිළිතුර ලැබෙන්නේ නැත.

 පසුගිය දශක තුනක පමණ කාලය තුළ ධනවාදයට එරෙහි අරගලය පැවතියේ බාහිර සතුරෙකු ලෙස එය සලකාය. වාමාංශික දේශපාලනයේ මුල් පදනම පැවති වෘත්තීය  සමිති දේශපාලනය යනු ධනවාදය බාහිර සතුරෙකු ලෙස හඳුනා ගැනීමයි. නමුත් ගෝලීයකරණය සමඟ පැමිණි පාරිභෝජනවාදය සමග ධනවාදය දැන් මානසික වශයෙන් අභ්‍යන්තරීකරණය වී ඇත.ඇති වී ඇති අලුත්  තත්වය රැඩිකල් ලෙස මෙසේ පැහැදිලි කළ හැක. සමකාලීන යථාර්ථය තුළ ධනවාදය සහමුලින් විනාශ වුවහොත් පුද්ගලයාගේ මනසද ඒ ක්ෂණයෙන් අතුරුදහන් වෙයි. මේ හේතුව නිසා නලින් මහේෂ් ද ඇතුළුව සියලු වාමාංශිකයන්ට තම කැඩපත අහිමි වී ඇත. මේ ක්‍රමය පවත්වාගෙන යාම ගැන ස්වයං-දෝෂාරෝපණයක් ඔවුන් ඔවුන්ටම කර ගනිති. ගැටලුව වන්නේ තමන්ගේම ස්වයං-බාධාව ජයගැනීමයි. ඒ සදහා වීදියට පැමිණීමෙන් හෝ කඳුකරයට යෑමෙන් ඵලක්  නැත.

Book 1

 

Book 2

DKG

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here