ලංකාවේ වාමාංශික පක්ෂ තුල තිබෙන නරැම පුරැෂවාදය රහසිගතව නඩත්තු කරන බොහෝදෙනා දෛනික ජීවිතයේ දි ස්ත්‍රීවාදීන්ය.
මෙවැනි සිදුවීමක් නිසා පසුගිය දිනක ස්ත්‍රියක් මිය ගිය අතර එය කිසිවකුට ප්‍රවෘත්තියක්වත් නොවුයේය.
මෙම නිහඩතාවය ගැන අප පුදුම නොවන්නේ ව්‍යූහාත්මක ලෙසම ලංකාවේ වාම පුරැෂයන් ස්ත්‍රී විරෝධී සහ සමලිංග විරෝධීන් නිසාය.
පහත සටහන අප සටහන් කරන්නේ මේ වීරෝධාර පිරිමින් අතරින් බහුතරය මේ ගැන නිහඞ වන්නේ අහම්බයකින් නොවන බව පෙන්වීමටය.
]]]]]]]]]]]]]
අප ඇතුළු බොහෝ වාමාංශික ව්‍යාපාර වල අභ්‍යන්තර (බොහෝ විට ඒළියට නොකියන) ගැටළුවක්, එසේ නැතහොත් ප්‍රභල සීමාවක් වනුයේ ලිංගිකත්වය නැමැති විෂය වාමාංශික අරමුණක් සහිත මනුෂ්‍ය කොට්ඨාසයක් තුළ සමනය කරන්නේ කෙසේද යන්නයි. ඉතා සරලව කිවහොත් කොමියුනිට්ස්වාදය වැනි උත්තරීතර පරමාදර්ශයක් වෙනුවෙන් වොහසෙන කාඩර්වරු ලිංගිකත්වය නැමැති ලෞකික හා පටු අපගමනයෙන් වලක්වා ගන්නේ කෙසේද යන්නයි. දීප්ති සහෝදරයාගේ භාෂාවෙන් පැවසුවහොත් “ලෝකය වෙනස් කිරීම වැනි ඉතා ගැඹුරු දේවල් කියමින් සිටි පිරිමින් කවුරු හෝ ගැහැණියක් හමුවීමෙන් පසු පූස් පැටව් බවට පත් වීම” යන තත්වයෙන් එම සහෝදරවරු බේරා ගන්නේ කෙසේද යන්නයි.
ඇලෙන්කා සුපන්චිත් සඳහන් කරන පරිදි (ආරොන් ශස්ටර් උපුටමින්) රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයෙන් පසු නම් එම ඉහළ කාඩර් පැළැන්තිය විසින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ ලිංගික-හරණ යන්ත්‍රයක් ද නිපදවීමට උත්සහ කර ඇත. එනම් වැරදි අතට සිත යොමු වීමට ප්‍රථමව අදාළ කාඩර්වරයාගේ සිත අකර්මන්‍ය කරන ආකාරයේ යන්ත්‍රයකි. ඒ තරම්ම ‘ලිංගිකත්වය’ විප්ලවයට හා දේශපාලනයට කරදරයකි. අප අසා ඇති පරිදි මෙය ජවිපෙට ද තම විප්ලවීය කාලයන්හීදී ඉතා ගැටළුකාරීව තිබී ඇත. බොහෝ අවස්ථාවන් වලදී ඔවුන් තම කාඩර්වරුන්ට ආදර සබඳතා තහනම් කර තිබිණි.
නොයෙකුත් විචක්ෂණශීලී විචාරකයන් පවසන පරිදි ඉරාන විප්ලවය තුළද අභ්‍යන්තර දැවෙන ගැටළුවක්ව තිබී ඇත්තේ ආදරය හා ලිංගිකත්වය නව ඉස්ලාම්වාදී රාජ්‍යය තුළ (ශා-වාදී ලෞකික රාජ්‍ය සංස්ථාපිතයේ අවසානයට පසු) කෙසේ පැවතිය යුතුද යන්නයි. බොහෝ දෙනෙක් දන්නා පරිදි අප සංවිධානයේද ඉතිහාසයේ වැඩි සංධිස්ථාන රැසක් හිමිකරගෙන ඇත්තේ ලිංගිකත්වය හා ආදර සබඳතා නිසා පක්ෂය දියාරු වී ගිය අවස්ථා වලින්ය.
මෙම ගැටළුවට පිළියමක් ලෙස බොහෝ වාමාංශික නායකත්වයන්ට තම ව්‍යාපාර බේරා ගැනීම සඳහා ඉතිරිව තිබී ඇත්තේ තලේඛාන් ස්ථාවරයට වඩා ඉතා වෙනස් ස්ථාවරයක් නෛාවේ. ඒනම් ස්ත්‍රී සාමාජිකත්වය මුළුමනින්ම තම සංවිධාන/ ව්‍යාපාර වලින් බැහැර කිරීමයි. තවද නායකත්වයන් ද මෙම ප්‍රශ්නයට මුහුණ දී නැතුවා නොවේ. ලිංගිකත්වය නිසා තම නායකත්වයේ සුදු රෙද්ද කැළැල් කර ගත්තේ ඇමරිකාවේ ට්‍රම්ප් හා ඉතාලියේ බර්ලස්කෝනි පමණක් නොවේ. ලංකාවේද එය එමට උදාහරණ ඇත. මේ ආකාරයෙන් ගත් විට දේශපාලනය හා ලිංගිකත්වය යනු ක්වොන්ටම් න්‍යාය මෙන් එකක් තෝරා ගතහොත් අනෙක අනිවාර්යයෙන්ම කැප කිරිය යුතු වන ආකාරයේ තත්වයක් බව මෙය විදාරණය කරන විට අපට හැගේ.
මෙම ලිංගික ගැටළුව ඇත්තේ දේශපාලනයට පමණක්ම නොවේ. ඉතිහාසයේ අප දන්නා තවත් මහා ආඛ්‍යාතයකට මෙම ඇබැද්දිය සිදු වී ඇත. එනම් ක්‍රිස්තියානියයි. ක්‍රිස්තියන් ආගම යනු විවාදාත්මකව ලිංගිකත්වයට දරුණුම අපක්ෂපාතී ආගමකි. ක්‍රිස්තියානි දහමට අනුව ලිංගික සබඳතා පැවැත්විය හැක්කේ විවාහය තුළ පමණයි. විවාහයෙන් පිට ලිංගිකත්වය යනු දස පනත උල්ලංඝණය කරන අන්දමේ පාපයකි. විවාහය ක්‍රිස්තියානියට අනුව දෙවියන් විසින් සෘජුව තෝරා ගන්නා ලද දෙපළකගේ සබඳතාවයක් නිසා, විවාහය තුළ ලිංගිත ක්‍රියාව යනු දේව සැලැස්මට දෙවැනි වූ ක්‍රියාවකි.
‘තෝමස් ඇක්වයිනාස්’ වැනි දාර්ශනිකයින්ට ස්වර්ග රාජ්‍යයේදී ලිංගික ක්‍රියාවක් යනු කෑම බීම වැනි එදිනෙදා සිදු වන තවත් ජීව විද්‍යාත්මක ක්‍රියාවකි. ලිංගික ආශාව යනු දවල් කෑමට ඇති බඩකින්න වැනි දෙයකි. ඒ අර්ථයෙන් ක්‍රිස්තියානිය ලිංගිකත්වය තම උසස් අධ්‍යාත්මික හරයට දෙවැනි කොට සලකයි. එය දෙවියන් කෙරෙහි ඇති භක්තියට බාධාවකි. ගැහැණු පිරිමි අතර ලිංගික සම්බන්ධයක් යනු තවත් මනුෂ්‍යයෙකු ප්‍රජනනය සඳහා වන ක්‍රියාවක් පමණි.
නමුත් ගැටළුව වන්නේ ලිංගිකත්වය නිසාම ඇරඹි විද්‍යාවක් වන මනෝවිශ්ලේෂණයට අනුව මනුෂ්‍ය ලිංගිකත්වය යනු සත්ව ලිංගික ක්‍රියාව වැනි ශරීර/ජීව විද්‍යාත්මක ක්‍රියාවක් නොවේ. ලිංගිකත්වය යනු අප ”මනුෂ්‍යයන්” බවට පත්වන වරප්‍රසාදිත වූ සුවිශේෂීම පාරභෞතික අවකාශයකි. අපගේ ආධ්‍යාත්මයේ පළමු පාරභෞතික අත්දැකීම ලිංගිකත්වයයි. තෝරා ගත් එක් ගැහැණියක් හෝ පිරිමියෙක් වෙත වන කොන්දේසි විරහිත ආදරය හෝ විවිධ ලිංගික විපරිත චර්යාවන් (Sado – Masochism etc.) යනු සත්ව ලෝකයට ඉතා ආගන්තුක දේවල්ය. අන් යමකට වඩා ලිංගිකත්වය යනු අපගේ අත්‍යන්ත අධ්‍යාත්මයේ ප්‍රකාශ වීමකි. මනුෂ්‍ය ලිංගික ක්‍රියාවක් යනු ප්‍රජනනය මායිමකටවත් ගණන් නොගන්නා, අරමුණක් නැති, එම ක්‍රියාවට පමණක් දිශානත වූ දෙයකි.
ජිජැක් විශේෂයෙන්ම සඳහන් කරන පරිදි, මේ ආකාරයෙන් ක්‍රිස්තියානිය ‘ලිංගිකත්වයට’ (මනුෂය) විරුද්ධ වන්නේ එය දෙවැනි කොට සලකන්නේ එය ක්‍රිස්තියානි ආධ්‍යාත්මික හරයට පහළින් ඇති අපිරිසිදු ක්‍රියාවක් නිසා නොවේ. ඊට පරස්පරව ක්‍රිස්තියානිය හොඳින් දන්නේ මනුෂ්‍ය ලිංගිකත්වය යනු තම ආධ්‍යාත්මික සාරයත් සමඟ කරන / පොර බඳින විකල්ප ආධ්‍යාත්මික ස්ථාවරයක් නිසාවෙනි. එනම් ක්‍රිස්තියානියේ යුක්තිසහගත බිය වනුයේ ලිංගික ආධ්‍යාත්මිකත්වය (කොන්දේසි විරහිත ආදරය, විපරිත ලිංගික ක්‍රියා , etc.) විසින් තමන් සිටින අධ්‍යාත්මික අවකාශය ඩැහැ ගනු ඇතැයි යන්නයි. උදාහරණයක් ලෙස ගතහොත් ක්‍රිස්තියානිය බිය වන්නේ දෙවියන්ට වඩා තම ආදරවන්තියට ආශා කරන භක්තිවන්තයන් ගැනයි. මෙය දේශපාලන පක්ෂයකදී තම උත්කෘෂ්ඨ අරමුණට වඩා කාඩර්වරයා තම බිරිඳට හෝ පෙම්වතියට ආශා කිරීම වැනිය. පක්ෂ රැස්වීමකට වඩා පෙම්වතිය සමඟ යහන්ගතවීමට ඇති ආශාව වැනිය.
දැන් ක්‍රිස්තියානියේ මෙම ගැටළුව සඳහා ඇති විසඳුම ලිංගිකත්වය තහනම් කිරීමයි. තම අණසකට යට කිරීමයි. මගේ අදහසට අනුව බොහෝ දේශපාලන ව්‍යාපාර ද කළේ මේ ආකාරයෙන් ක්‍රිස්තියානි ක්‍රියා පිළිවෙතයි. එනම් ස්ත්‍රීන් සමඟ සබඳතා තහනම් කිරීමයි. ක්‍රිස්තියානියේ ස්ත්‍රී පූජකවරුන් නැති ආකාරයට දේශපාලන පක්ෂවල නායකත්වය ස්ත්‍රීන්ට අහිමි කිරීමයි. දැන් ගැටළූව වන්නේ නූතනවාදී වාමාංශික ව්‍යාපාරයකට මෙම ක්‍රිස්තියානි විසඳුම හැරුණු කොට වෙනත් විසඳුමක් නැති ද? පිළිතුරක් සොයා යනු වස් ඇරඹුමක් පමණක් සටහන් කිරීම වැදගත්.
ජුදා හා ක්‍රිස්තියානියේ මෙන් ඉස්ලාමයේ අල්ලා යනු පිරිමි පියෙක් නොවේ. අල්ලාට ලිංගයක් නොමැති වූවත් විතක්ෂණශ්‍රීලී විචාරකයන්ට අනුව ඉස්ලාමයේ අල්ලා සඳහන් සියලු සඳහන් කිරීම් ආදරවන්තියකට වන වදන් වැනිය. (එම නිසා ස්ත්‍රියක් වෙත). බුර්කාවෙන් එහා ස්ත්‍රීත්වයක් නැතිවාක් මෙන් කුරාණයෙන් එහා දෙවියෙක් නැති බව ඉස්ලාමීය සත්‍යයකි. ඒ අනුව දෙවියන් හා ලිංගිකත්වය අතර ඇති පෑස්සිය නොහැකි පරතරය දෙවියන්වම ලිංගිකකරණය කිරීමෙන් (ස්ත්‍රීයක් කිරීමෙන්) – Sexua-lized Absolute- විසඳා ගත නොහැකි වනු ඇතිද?.
Dishan Fernando
හොඳ ලිපියකි. ලෙනින්ගේ සෝවියට් සමාජයේද , නිකිතා කෘෂෙව් ගෙන් පසුව පැවති සමාජයේද පිරිමි සහ ගැහැණු අතර ලිංගික නිදහස උපරිමයෙන් පැවතුනි. එක්තරා ප්‍රමාණයකට කොමියුනිස්ට් පක්ෂයේ සමහර අනීතික විකාර මිනිසුන් ඉවසුවේ ඒ නිසා විය හැක.
Comments are closed.