ධනවාදියාගේ කතිකාව ඇසුරින් සමාජ මාධ්‍ය දාර්ශනිකයන් හෙවත් ඩිජිටල් ව්‍යවසායකයන් විමසීම

ඇමරිකා එක්සත් ජනපදයේ නව උප ජනාධිපතිනිය ලෙස තේරී පත් වී සිටින කමලා හැරිස් සිය ජයග්‍රහන සැමරුම් කතාවේ දී ඡන්දදායකයින් අමතා ප්‍රකාශ කර තිබුණේ ඡන්දදායකයින් සත්‍යය තෝරාගෙන ඇති බව යි. ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව අපට සඳහන් කළ හැක්කේ ඡන්දදායකයා තෝරාගෙන ඇත්තේ සත්‍යය නො ව සමරූපයක් (semblance) බව ය. මනෝවිශ්ලේෂණයට අනුව සමරූපය යනු සත්‍යය නො ව ආත්මය සඟවා බිහිවන යමකි. අප සමරූප තෝරා ගැනීමේ දී පරෙස්සම් සහගත විය යුත්තේ එමඟින් සත්‍යය අවරෝධනය කර පවතින නිසා ය. ප්‍රංශ මනෝවිශ්ලේෂක ෂාක් ඇලෙන් මිලර් 2017 වසරේ ප්‍රංශ ජනාධිපතිවරණයේ දී මැරින් ලා පෙන් වෙනුවට එමානුවෙල් මැක්‍රෝන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම ඵලදායී බව ඒත්තු ගැන්වීමට කරනු ලැබූ උත්සාහය ද මේ හා සමාන ය. ඒ ආශ්‍රයෙන් ද අප වටහා ගත යුත්තේ පවතින සමරූප තෝරා ගැනීමෙන් ඵලක් නො වන බව ය. අප සැබැවින් ම සිදු කළ යුතු වන්නේ පවතින යථාර්ථයේ ඛණ්ඩාංක වෙනස් කළ හැකි යමෙකු පිළිබද විශ්වාස කිරීම ය. තමාට විසඳුම් ඇතැයි ප්‍රකාශ කරන ව්‍යාජ සමාජ ආස්ථානවලට එකඟ වීම මනෝවිශ්ලේෂණයට අනුව දේශපාලනික නො වේ. තත්ත්වය එසේ නම් අප මෙතරම් යථාර්ථයට වශී වන්නේ ඇයි? එසේත් නැත්නම් අප පවතින සමරූප සරණ යන්නේ ඇයි? එනම්, අප සෑම විට ම සත්‍යය මග හැර යන්නේ ඇයි?

කමලා හැරිස්ගේ ප්‍රකාශයට අප බැඳෙන තැන වන්නේ අපගේ ආත්මීය මැදිහත් වීමකින් තොර ව යථාර්ථයක් පවතින්නේ ය යන විශ්වාසය යි. මනෝවිශ්ලේෂණය හා හේගලියානු දර්ශනය අනුව එය සාවද්‍ය අදහසකි. ආත්මය බැහැර කර ඇති යථාර්ථය එසේත් නැත්නම් වාස්තවික යථාර්ථය යන අදහස අදාළ වන්නේ ලැකානියානු විශ්වවිද්‍යාලයීය කතිකාවට ය. එමෙන් ම පරිපූර්ණ වූ යථාර්ථයක් පවතින්නේ ය යන අදහස සමපාත වන්නේ ධනවාදියාගේ කතිකාවට (Capitalist’s Discourse) ය. මනෝවිශ්ලේෂණයේ සැබෑ ක්‍රියාව වන්නේ සංස්ථාපිත යථාර්ථයට වශී වීම නො ව එය අත්හිටූවීම යි. මෙහි දී ක්‍රියාව (act) යනු ක්‍රියාකාරීත්වය (action) නො වේ. මෙම ක්‍රියාවේ දී ආත්මය හිස් බවකට ඌනනය වේ. එය එක් අතකින් සංකේතීය සිය දිවි නසා ගැනීමකි. මන්දයත් එය ආත්මය ඇලී සිටින සමාජ සංකේතීය යථාර්ථයෙන් ඛණ්ඩනය වීමකි. එවිට කිසිවක් වෙනස් නො වෙමින් පවතින පසුබිමක ක්‍රියාව මඟින් පැල්මක් ඇති වේ. මනෝවිශ්ලේෂණය මඟින් සිදු වන්නේ යථාර්ථය වෙනස් කිරීම නො ව ආත්මය යථාර්ථය යැයි විශ්වාස කරන දෙය දකින ආකාරයේ ඛණ්ඩාංක වෙනස් කිරීම යි. සැබෑ සමාජ වෙනසක් සිදු වන්නේ ඒ අනුව ය. එනම්, ආත්මය වඩ වඩාත් සමාජයට හුරු කරවීම මනෝවිශ්ලේෂණය මඟින් සිදු නො කරන අතර ඒ වෙනුවට නව ස්වාමි හැඟවුම්කාරකයක් නිෂ්පාදනය කරයි.

නමුත් එදිනෙදා දේශපාලනය විශ්ලේෂණය කරන විශ්ලේෂකයින් බොහෝ විට වෙනත් කිසිවෙකු ප්‍රකාශ කරන වාස්තවික දේ පුනරුච්චාරණය කරනු මිස වාස්තවිකත්වය තුළ පවතින ආත්මීය මැදිහත්වීම පෙන්වා නො දෙයි. ඔවුහු යමක් විශ්වාස කරන්නේ අනෙකා මඟිනි. එබැවින් ඒ කිසිවෙකු සත්‍යයට සම්බන්ධතාවයක් දක්වන්නේ නැත. අප වටහා ගත යුතු වන්නේ බොහෝ විශ්ලේෂණවල ධනවාදයට විරුද්ධ වීමේ තර්කය පවා ගොඩ නැඟෙන්නේ ධනවාදය හැර වෙනත් විකල්පයක් නොමැති ය යන අදහස පාදක කර ගෙන බව ය. එය වෙනස සමාජයීය මට්ටමින් සිදු වන තෙක් බලා සිටීමක් වැනි ය. එවිට අපි කිසියම් වූ සමරූපයක් සරණ යමු. නමුත් පෙර ද සඳහන් කළ පරිදි සැබෑ විප්ලවය සිදු විය යුත්තේ ආත්මමූලික මට්ටමේ ය. ආත්මමූලික විප්ලවය කෙනෙකුගේ තාර්කික, ආචාර ධාර්මික හා භාෂාමය තල මඟින් නිරූපණය විය යුතු ය. නො එසේ නම් දේශපාලන විශ්ලේෂකයා වෙනසක් බලාපොරොත්තු නො වී වචන මඟින් ක්‍රීඩා කරන්නෙකු බවට පත් වේ. ඒ සමඟ ම ලැකානියානු කතිකා ඇසුරින් අප වටහා ගත යුත්තේ අප වචන භාවිතා කරමින් ක්‍රීඩා කරනවාට වඩා වචන අප ව ක්‍රීඩා කිරීමට යොදා ගන්නා බව ය. එනම්, අප සම්බන්ධ වන කතිකාව අපගේ විශ්ලේෂණවලට අදාළ වන බව ය. මත්ස්‍යයා තමන් ගිලී සිටින ජලය පිළිබඳ නො දන්නා සේ අපට ද ආත්මය දරා සිටින කතිකාව පිළිබඳ අවබෝධයක් නො පවතියි. මෙම කතිකාව යනු ආත්මය නියාමනය කරනු ලබන ව්‍යුහය හා එය විනෝදයට ඇති සම්බන්ධය වේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් මේ මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් රකුසෙකු බඳු යැයි සඳහන් කරමින් විවේචනය කිරීමෙන් ද කිසිවක් සිදු නො වේ. අප වටහාගත යුත්තේ ට්‍රම්ප් යනු රෝග ලක්ෂණයක් බව ය. එසේ නම් සැබෑ ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් කුමක රෝග ලක්ෂණයක් ද යන්න ය. එහි ම තවත් මානයක් වන ආතුරකරණය (කිසිවෙකු නිසා අප පීඩාවට පත් වී ඇති බව) හෙවත් ගොදුරුමයභාවයට (victimization) පත්වීම ලිබරල් දෘෂ්ටිවාදයේ තවත් ප්‍රකාශන මානයක් පමණි. එහි දී අඩු නපුර තෝරා ගැනීම නමැති දෘෂ්ටිවාදයට ද අප නතු වේ. එමඟින් සැබෑ දේශපාලන ක්‍රියාව තව තවත් අවහිර කරවයි. මෙම ගොදුරුමයභාවය පිළිබඳ ව අදහසක් ලබා ගැනීමට පසුගිය දා පළ වී තිබූ ගාමිණී වියන්ගොඩගේ “බයිඩන්ගේ ජයග්‍රහනයට වඩා ට්‍රම්ප්ගේ පරාජය අපට වටී“ ලිපිය කියවන්න. වියන්ගොඩ පළ කරන ආකාරයේ බිය සහ ගොදුරුමයභාවය සමාජ මාධ්‍යවලින් ද නිතර අපට අත්දකින්නට ලැබේ. සමාජ මාධ්‍ය මඟින් (අද වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද මෙයට ඇතුළත් කළ හැකි ය.) දිගින් දිගට ව්‍යාජ අනතුරු ඇඟවීම් සිදු කරමින් සෑම දෙයකට ම බිය වෙන ලෙසට අපට දන්වයි. එමඟින් කිසිවක් වෙනස් වීමට නියමිත නො මැති අතර බිය මඟින් විනෝදවීම පමණක් එමඟින් සිදු වේ.

ධනවාදී දෂ්ටිවාදය මඟින් අප මත පටවා ඇති මෙම ගොදුරුමයභාවය යනු කුමක් ද? එය වරදකාරීත්වයෙන් අප ව මුදවා ගනු ලබන ඉතා පහසු මාර්ගයකි. අප තුළ වරදකාරීත්වයක් පවතිනවා යන්නෙන් අදහස් වන්නේ අප සාකච්ඡාවට බඳුන් කරනු ලබන ප්‍රස්තුතයට අපගේ දායකත්වයක් හා  අප එය මත පරායත්ත බවක් පැවතීම ය. එවිට ඒ පිළිබඳව අපට ද වගකීමක් දරන්නට සිදු වේ. එම වගකීම දැරීම මඟින් ආත්මයක් ලෙස තමන්ට ද ඊට පිළිතුරු සැපයීමට පසුබිමක් නිර්මාණය වේ. නමුත් ගොදුරුමයභාවය තුළ සිදු වන්නේ අප නිෂ්ක්‍රීය ලෙස දේවල් විග්‍රහ කිරීමට පෙළඹීම යි. ට්‍රම්ප් යනු අප ද සම්බන්ධ වී පවතින ධනවාදයේ රෝග ලක්ෂණයක් ය යන්න ගොදුරුමයභාවය නිසා අප පහසුවෙන් අමතක කර බයිඩන් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් ලෙස පහසුවෙන් සැලකිය හැකි ය. එවිට ප්‍රජාතන්ත්‍රවාදය යනු ද අර්චනකාමී යමක් බවට පත් වේ. එනම්, අප සැබැවින් ම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරනු වෙනුවට ඇමෙරිකන් ජනතාව එය විශ්වාස කරනු ඇතැයි සිතා අප ද ඔවුන්ගේ විශ්වාසය මත පරායත්ත වේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පළවන බොහෝ ලිපි, විරෝධතා ව්‍යාජ ඒවා බවට පත් ව ඇත්තේ එබැවිනි.

බර්ට්‍රන්ඩ් රසල්ට අනුව පද්ධතියක් අසම්පූර්ණ හා සංගත (incomplete and consistent) හෝ සම්පූර්ණ හා අසංගත (complete and inconsistent) වේ. නමුත් ධනවාදය මඟින් ගොඩනගන ඩිජිටල් අවකාශය තුළ ලෝකය සෑම විට ම සම්පූර්ණ එකක් බවට පත් කරවීමට (පරිපූර්ණ රූප හා ශබ්ද සහිත යැයි සැලකෙන 8K රූපවාහිනී තාක්ෂණය, යතුරු සිදුරු ශල්‍යකර්ම, ක්‍රිකට් ක්‍රීඩාවේ විනිශ්චයකරුගේ තීරණ සඳහා භාවිතා වන snickometer, hotspot වැනි තාක්ෂණ සම්පූර්ණබව සඳහා නිදසුන් කිහිපයකි.) උත්සාහ කරවන අතර එයට ආශක්ත වන අයෙකුට දැනෙන්නේ ලෝකය සම්පූර්ණ වුව ද ලෝකයේ සිදු වෙමින් පවතින දේ අනුව තමන් සිතා සිටින ලෝකයේ යම් අසංගත බවක් ද දක්නට ලැබෙන බව ය. මෙම අසංගතභාවය පිරවීමට යාම පාර කපන්නේ අධිකාරිවාදයට ය. වර්තමානයේ අධිකාරිවාදී පාලකයන් වඩ වඩා ජනප්‍රිය වෙමින් පවතින්නේ මේ නිසා ය. මෙහි පවතින්නේ පරිපූර්ණත්වය පිළිබඳ ෆැන්ටසිය යි. තව දුරටත් මෙහි හිස්තැනක්/අඩුපාඩු තිබිය නො හැකි ය. මනෝවිශ්ලේෂණය මෙයට අදාළ කළ විට මෙම හිස් තැන යනු කුමක් ද? එම හිස්තැන යනු පියාගේ භූමිකාව යි. මනෝවිශ්ලේෂණයට අනුව පියාගේ භූමිකාව යනු භෞතික යමක් නො ව නො පැමිණි යමකි. සියල්ල නාමකරණය වන්නේ පියාගේ භූමිකාව නිසා ය. නමුත් අද වන විට පියාගේ භූමිකාව පිළිබඳ විශ්වාසය හීන වී ඇති විට අප තේරුම් ගන්නේ ක්‍රමය පරිපූර්ණ වී ඇති ලෙස ය. එබැවින් පියාගේ මැදිහත්වීම තවදුරටත් අවශ්‍ය නො වන ලෙස හැඟේ. අද ඒ වෙනුවට සිදු ව ඇත්තේ අප ව නම් දරන්නෙකු බවට පත් කර තිබීම ය. (උදා – මුඛ ආවරණ පළඳින්නා, ජිජැක්ගේ දැනුම බෙදන්නා ආදී ලෙස) එහි අර්ථය නම් අනවශ්‍ය ආකාරයට ප්‍රශ්න නො කරන්න, කියන දේ පිළිපදින්න, යටත් වන්න යන්න ය. මෙහි සරල අදහස විනෝද වන්න යන්න ය. මෙය ධනවාදියාගේ කතිකාවේ මූලික ලක්ෂණය යි. එසේ සිදු නො වන විට කාංසාවක් ජනිත කරන අතර ම අපරාධකාරී බවක් ද ජනිත කරවයි.

අප වටහා ගත යුතු වන්නේ අප අද සිටින්නේ වචනය විශ්වාස කරන හෝ වචනය වෙනුවෙන් ජීවිතය අවදානමකට පත් කර ගන්නවුන් සිටින සමාජයක නො වන බව ය. එනම්, අප සිටින්නේ වග නො වීම සහිත සමාජයක ය. විනෝදය තහනම් කර තිබූ සමාජයක සිට විනෝදවීමට බල කෙරෙන සමාජයකට අපි අවතීර්ණ වී සිටිමු. නිෂ්පාදනය හා පරිභෝජනය මත තීන්දු වන මෙවැනි සමාජයක ආත්මය තවදුරටත් තවත් ආත්ම සමඟ සම්බන්ධ නො වන අතර මෙවැනි සමාජයක ආත්මය සම්බන්ධ වන්නේ වස්තු හා විනෝදය සමඟ ය. එමඟින් සමාජ සම්බන්ධයක් ගොඩ නො නැගේ. විනෝදය ආත්ම දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩ නො නගන අතර ආත්ම දෙකක් අතර සම්බන්ධතාව ගොඩ නගන්නේ ආදරය යි. පශ්චාත්-නූතන පරිභෝජන සමාජයක වස්තු මඟින් තෘප්තිය ලැබේ ය යන අදහස පවතින නමුත් අනවරත පරිභෝජනය සඳහා කොන්දේසිය වන්නේ අතෘප්තිය/වේදනාත්මක සතුට නැත්නම් විනෝදය යි. ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධ ධනවාදය යනු බාහිර ගැටලුවක් නො ව අපගේ ම ආත්මීය ආයෝජනය සම්බන්ධ යමක් බව අවබෝධ කර ගැනීම ද මනෝවිශ්ලේෂණ පාඩමකි.

මනෝවිශ්ලේෂණයේ දේශපාලන මානය මඟ හැරීමට එක් හේතුවක් වන්නේ අප ධනවාදියාගේ කතිකාව  (Capitalist’s Discourse) මත යැපීම ය. වර්තමානයේ ස්වාමි කතිකාව බවට පත් ව ඇත්තේ මෙම ධනවාදියා ගේ කතිකාව ය. එම කතිකාවේ උදාන වාක්‍යය වන්නේ “මා සමඟ සියලු දේ ම විය හැකි යි“ (with me everything is possible) යන්න ය. මන්ද යත් එමඟින් බැරියාව (impossibility) ඉවත් කරන නිසා ය. ධනවාදයේ දී ස්වාමියාගේ හඬ බාහිරෙන් පැමිණෙන්නක් නො ව අභ්‍යන්තරික ව පැමිණෙන්නක් ලෙස සඳහන් කළ හැක්කේ මෙම කතිකාව ඇසුරිනි. එහි අවසාන අර්ථය “විනෝද වන්න“ යන්න ය. මෙම ලැකානියානු ධනවාදියාගේ කතිකාව යනු කුමක් ද? එය අප පහත රූප සටහන් ඇසුරින් වටහා ගැනීමට උත්සාහ කරමු.

 

(ධනවාදියාගේ කතිකාවට අදාළ රූප සටහන)

(ප්‍රධාන කතිකා හතරට පොදු රූප සටහන)

 

ධනවාදියාගේ කතිකාවේ දී ස්වාමියාගේ කතිකාවේ වම් පස කොටසේ ඉහළ සහ පහළ පැවති සාධක තැන්මාරු වී ඇත. ස්වාමියාගේ කතිකාවේ නියෝජිතයා වූ ස්වාමි හැඟවුම්කාරකය (S1) ධනවාදියාගේ කතිකාවේ දී සත්‍යයේ ස්ථානයටත්, ස්වාමියාගේ කතිකාවේ සත්‍යයේ ස්ථානයේ පැවති බෙදූණු ආත්මය ($) ධනවාදියාගේ කතිකාවේ දී නියෝජිතයාගේ ස්ථානයටත් ස්ථාන ගත කර ඇත. ඒ අතර ම ලැකානියානු ප්‍රධාන කතිකා හතරට අදාළ පොදු ලක්ෂණයක් වූ ඒවායේ වම් පස සත්‍යයේ සිට නියෝජිතයා වෙත (ඉහළට) යොමු වී තිබූ ඊතලය මෙම කතිකාවේ දී නියෝජිතයාගේ සිට සත්‍යය වෙත (පහළට) යොමු වී ඇත. ඒ අතර ම අනෙක් කතිකා හතරේ දී නියෝජිතයාගේ සිට අනෙකා වෙත යොමු වී තිබූ තිරස් ඊතලය මෙම කතිකාවේ දී දක්නට නො ලැබේ. ඒ අනුව අනෙක් කතිකා හතරට ම අනන්‍ය වූ ලක්ෂණය වූ බැරියාව මෙම කතිකාවේ දී දක්නට නො ලැබීම විශේෂත්වයකි. එමඟින් අනෙක් කතිකාවල මෙන් සමාජ බන්ධනයක් ඇති නො කරයි. මෙහි සියලු ආස්ථාන එකකට එකක් සම්බන්ධ වන සේ ඊතල පිහිටා ඇති අතර ඒ තුළ දක්නට ලැබෙන්නේ නො නවතින චක්‍රීය බවකි.

ධනවාදියාගේ කතිකාවේ ආත්මය ($) සිතන්නේ තමන් යමක් ප්‍රකාශ කරන බවත් එය සත්‍යය බවත් ය. ඒ අනුව මෙහි ආත්මය ($) ස්වාමි හැඟවුම්කාරකයට (S1) ඉහළින් පවතියි. ආත්මය පිළිඹිබු කරන්නේ හැඟවුම්කාරකය නිර්මාණය කරන්නේ තමන් බව ය. තවදුරටත් හැඟවුම්කරණය මඟින් ආත්මය ස්ථාපනය වීම වෙනුවට හැඟවුම්කරණය ආත්මයෙන් ජනිත වන යමක් හා හැඟවුම්කාරකයට ආරෝපණය ලබා දෙන යමක් බවට ආත්මය පත් වේ. මෙම කතිකාවේ දී වම් පස ඊතලය පහළට යොමු වී තිබීම මඟින් එය නිරූපනය වන අතර බෙදුණු ආත්මය පරිකල්පනය කරන්නේ තමන් භාෂාව මෙහෙයවන බව ය. එහි ස්වාමි හැඟවුම්කාරකය (S1) දැනුමට (S2)  සම්බන්ධ වන අතර එමඟින් එම කතිකාවේ නිෂ්පාදනය වන වස්තුව (objet a) බිහි වේ. එම වස්තුව නැවත ආත්මයට සම්බන්ධ වේ. මෙම කතිකාව බැරියාව නො මැති කතිකාවක් ලෙස සඳහන් කළ හැකි වන්නේ එහි ක්‍රියාකාරීත්වය ඉහත ආකාරයට චක්‍රීය ව සිදුවන බැවිනි. සැබැවින් ම මෙය වර්තමානයේ අධිපති කතිකාව තුළ භාෂාව ක්‍රියාකාරී වන ආකාරය ද වේ.

මෙය වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් බෙදුණු ආත්මයේ සිට ස්වාමි හැඟවුම්කාරකයට යොමු වුණ ඊතලය මඟින් බෙදුණු ආත්මය ස්වයං පාලක තත්ත්වයක පිහිටුවයි. ආත්මය යනු ව්‍යූහාත්මක ව බෙදුණු යමක් ය යන අදහස ඉන් මඟ හරවයි. ඒ අනුව එය වඩාත් ආසන්න වන්නේ බෙදුණු ආත්මයට වඩා පුද්ගලත්වයකට ය. ධනවාදයේ දී ප්‍රධාන ම සාධකය වන්නේ පුද්ගලයා ය. ආත්මය මඟින් හැඟවුම්කාරකයට කරනු ලබන ආමන්ත්‍රණය මඟින් ආත්මයට තමා උත්පාදන ශක්තියකින් සමන්විත වන්නේ ය යන ව්‍යාජ හැඟීම ලබා දෙයි. එනම්, ආත්මයේ බෙදුණු බව ස්වාමි හැඟවුම්කාරකය මත පරායත්ත වෙමින් මැඪ පැවැත්විය හැකි වේ ය යන අදහස ලබා දෙයි. වස්තුවේ (objet a) සිට බෙදුණු ආත්මය වෙත යොමු වන ඊතලය මඟින් දැක්වෙන්නේ වස්තුව බෙදුණු ආත්මයට බලපෑම් සහගත වන බව ය. එමෙන් ම වස්තුවේ (objet a) සිට බෙදුණු ආත්මයට ($) යොමු වූ එම ඊතලය මඟින් ආත්මය හා වස්තුව අතර පරතරය ද අවම වී ඇති බව පෙන්වා දෙයි. මෙහි දී සිදුවන්නේ අතෘප්තිකර බෙදුණු ආත්මය යනු සමරූපයක් බවත් එම ස්වභාවය ස්වයංපෝෂිත, පරිපූර්ණ ෆැන්ටසියක් මඟින් මග හැර යා හැකි ය යන අදහස ලබා දීම ය. අනෙක් කතිකාවල පැවති පූර්ණත්වයට පත් වීමේ නෛසර්ගික නො හැකියාව මෙමඟින් ඉවත් කර තිබේ. ඒ අනුව මෙමඟින් සංවෘත පරිපථයක් නිර්මාණය වී ඇත.

මෙම ධනවාදියාගේ කතිකාව වෙළඳපල සමඟ සෘජු ව සම්බන්ධ වේ. භාණ්ඩ පරිභෝජනය පිළිබඳ අප ව පොළඹවන්නේ මෙම කතිකාව මඟිනි. ලැකාන්ට අනුව මෙම ක්‍රියාවලිය නිසා සැබැවින් ම නියෝජිතයාගේ ස්ථානයේ ආත්මය පිහිටන බව සැලකිය නො හැකි ය. ඒ වෙනුවට ලුබ්ධිමය විනෝදයේ වස්තුවක් නියෝජිතයාගේ ස්ථානයේ පවතියි. ඒ අනුව සාම්ප්‍රදායික අර්ථ දැක්වීම මෙන් ධනපතියා විසින් සූරාකෑම වෙනුවට මෙහි සිදු වන්නේ ලුබ්ධිමය විනෝදයට අයත් වස්තුවක් විසින් ආත්මය සූරාකෑම ය. ලැකාන් පෙන්වා දෙන්නේ මාක්සියානු න්‍යාය තුළ වටිනාකමෙහි පවතින අතිරික්තය යනු ශ්‍රමය නො ව විනෝදය බව ය. එය ධනවාදය බිඳ දමනු වෙනුවට ධනවාදය තව තවත් සාර්ථක කරවන බව ඔහු පෙන්වා දෙයි. ධනවාදියාගේ කතිකාව පැහැදිලි කරමින් ලැකාන් පවසන්නේ සියලු දෙනා නිර්ධනයන් බව ය. මන්ද යත් එහි දී සූරාකන්නේ ආශාව ය. සාම්ප්‍රදායික වාමාංශිකයෙකු කම්කරුවකු අමතා “බලන්න, ඔබේ ජීවිතය පවතින්නේ නරකාදියක“ යැයි පැවසූ විට ඔහුට මඟ හැරෙන්නේ එම නරකාදියට බද්ධ වී තිබෙන කම්කරුවාගේ ආත්මීය සාධකය හෙවත් විනෝදය යි. කම්කරුවා සම්බන්ධ වී සිටින නිෂ්පාදන ක්‍රියාවලිය යනු ද අද වන විට වසඟකාරී යාන්ත්‍රණයකි. මන්ද යත් මනෝවිශ්ලේෂණයට අනුව ඔහු සැබවින් ම සම්බන්ධ වන්නේ ශ්‍රමයට වඩා විනෝදයට වන නිසා ය.

ධනවාදය තුළ ආත්මය පිරවෙන්නේ භෞතික දේට වඩා විනෝදය මඟින් බව අප පෙර සාකච්ඡා කළෙමු. එවිට කෙනෙකු ක්‍රමය තුළ උපයන මුදල් යනු අතුරු නිෂ්පාදනයක් බවට පත් වේ. ඔවුන් සැබැවින් ම ක්‍රමයට බැඳ තබන්නේ මුදල් මඟින් නො ව විනෝදය මඟිනි. ඒ තුළ කෙනෙකුට ස්වයංවිනාශය සඳහා මත්ද්‍රව්‍ය, මත්පැන් පවතින අතර ස්වයංවිකසිත වීම සඳහා සමාජ මාධ්‍ය අවකාශය පවතියි. ධනවාදියාගේ කතිකාවේ තර්කනය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ආදේශ කළ විට අපට මුණගැසෙන්නේ පරිශීලකයෙකුට වඩා භාණ්ඩයක් බඳු වූ අස්මි මාන පුද්ගලයෙකි. මෙයට බලපාන්නේ ආත්මය තමාගෙන් පරාරෝපණය වූ ස්වාමි හැඟවුම්කාරකය යි. එවිට අනෙකාට අභිමුඛ වන්නේ බෙදුණු ආත්මයක් නො ව ස්වාමි හැඟවුම්කාරකයකි. මේ පිළිබඳ ව ආත්මයට වැටහීමක් නො මැති නමුත් එමඟින් සිය අනන්‍යතාවය ගොඩනගා ගනියි. ඒ අනුව ආත්මය එම හැඟවුම්කාරකය මඟින් තමන් පූර්ණ ලෙස නිරූපනය වේ යැයි වරදවා වටහා ගනියි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට ආත්මය තම අනන්‍යතාවය පරමාදර්ශී පුද්ගලත්වයක් ලෙස තමන් විසින් ම ප්‍රදර්ශනය කරවා ගනියි. එය පුද්ගලත්වය රඟ දැක්වීමක් ලෙස ද නම් කළ හැකි ය. මෙම පුද්ගලත්වය යනු වස්තුකරණය වූ ආත්මයක් ලෙස ද අපට නම් කළ හැකි ය. එවිට සමාජ මාධ්‍ය දෘෂ්ටිවාදය ආත්මමූලිකත්වය නිර්මාණය කරනු වෙනුවට ආත්මය වස්තුකරණය කරයි. මෙම වස්තුකරණය වූ පුද්ගලත්වය චරිත සටහන් පිටුව (profile page) ඇසුරින් හඳුනාගත හැකි ය. එහි එක් ඉලක්කයක් වන්නේ තමන් පිළිබඳ කීර්තියක් ගොඩනඟා ගැනීම ය. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් එය සමාජ මාධ්‍ය තුළ තමා පිළිබඳ ව වෙළඳ ලකුණක් ගොඩනගා ගැනීමකි. ස්වයං වෙළඳනාමකරණය (self branding) යනු සමාජ මාධ්‍ය ශ්‍රම වෙළඳපොලේ තමන් විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් ලෙස තමන් ව විකිණීමට තබා තිබීම යි. එහි දී ඇති වන්නේ වෙළඳපළ තුළ ඇති වන ආකාරයේ තරඟකාරීත්වයකි. එවිට මෙම පුද්ගලත්වය සමාජ මාධ්‍ය තුළ අදහස් හුවමාරු කර ගැනීමට වඩා අදහස් පිළිබඳ තරගකාරීත්වයක යෙදෙයි. මෙහි දී සමාජ මාධ්‍ය පරිශීලකයා භාෂාවට සම්බන්ධ වී සිටිය ද සමාජ බන්ධනයක් ඇති කර නො ගන්නේ එම තරගකාරීත්වය තුළ ඔහු ස්වයංපරිභෝජකයෙකු ලෙස තමා ව ම පෝෂණය කරගනු ලබන නිසා ය.

සමාජ මාධ්‍ය නමැති පද තුල “සමාජ“ නමැති වචනය අන්තර්ගත වී තිබුණ ද අප වටහා ගත යුත්තේ ඒ තුළ අප දන්නා සමාජය තුළ පවතින තහනම ක්‍රියාත්මක නො වන බව යි. තවදුරටත් ඔවුන් පොදු නීතිය හා අයිතිවාසිකම් මත පාලනය නො වන අතර ස්වයං ආයෝජනය හා දැනුම සඳහා වන තරගකාරීත්වය මත පාලනය වේ. එය එම පුද්ගලත්වයේ ආචාරධාර්මික මානය යි. එනම්, ඔහු තමන් දර්ශනය, දේශපාලනය, සිනමාව, සංගීතය, චිත්‍ර කලාව ආදිය පිළිබඳ දන්නා පැකේජයක් ලෙස තමන් ව ඉදිරිපත් කර ගනියි. එවිට අද වන විට මෙවැනි පුද්ගලයන් සඳහා පවතින්නේ ඩිජිටල් ප්‍රසිද්ධියකි. එය ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවයක් ලෙස ද හැඳින්විය හැකි ය. තමා නමැති වෙළඳ භාණ්ඩයේ නාමය කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. එම ස්වයංපෝෂිත ව්‍යවසායකත්වයේ ස්වයං ප්‍රවර්ධනය සිදුවන්නේ තමන් ලියූ දෑ වෙනත් වෙබ් අඩවිවල පළ වූ විට ඒවා හුවමාරු කිරීම, තමන් සහභාගී වූ උත්සව, සම්මන්ත්‍රණ ආදී ස්ථානවල දී ගත් ඡායාරූප, වීඩියෝ හුවමාරු කිරීම ආදිය මඟිනි. එවිට ධනවාදය තුළ පාරිභෝගිකයන්ට වඩා ස්වෝත්සාහී ව්‍යවසායකයින් බිහි වේ. ඔවුන් එක් අතකින් උද්යෝගිමත් පාරිභෝගිකයන් වන අතර ම තවත් අතකින් තමන්ගේ අභිලාෂ මඟින් පාලනය වෙමින් තමන්ගේ ජීවිතය ම ව්‍යාපාරයක් බවට පත් කර ගනිමින් දැනුම වෙළඳපලේ නියෝජිතයන් බවට පත් වේ.

මෙහි දී තමන්ට ලැබෙන ප්‍රතිචාර තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම සඳහා ආයෝජනයක් ලෙස සලකයි. (මෙම ප්‍රතිචාර ද ඔහුට ඔහුගේ ම පණිවිඩය අපවර්තනය වී ලැබීමකි.) මෙම පුද්ගලත්වය ප්‍රවර්ධනය යනු වටිනාකම් නිෂ්පාදන ක්‍රියාවක් බවට පත් වේ. එහි දී like, share, comments මඟින් පුද්ගල ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සිදු වේ. ඊට පටහැනි හෝ තමන්ට විරුද්ධ මත ඉදිරිපත් කරන විට එය තම ප්‍රතිරූපයට හානියක් යැයි සිතා එවැනි ප්‍රතිචාර දක්වන්නන් මිතුරු ලේඛනයෙන් ඉවත් (unfriend) කිරීමේ විභවයක් ද මෙම පුද්ගලත්වය තුළ දක්නට ඇත. සමාජ මාධ්‍ය තුළ මෙම ප්‍රතිරූප ප්‍රවර්ධනය අනාගත ආදායමක් ලෙස ද සැලකේ. නිදසුනකට තමා සමාජ මාධ්‍ය තුළ ලියන දෙයක් උපුටා ගෙන වෙනත් වෙබ් අඩවියක, පුවත්පතක පළ කරනු ඇති ය හා වෙනත් මාධ්‍ය සාකච්ඡා සඳහා තමන්ට ආරාධනා කරනු ඇති ය යන විශ්වාසය මත එය ගොඩනැගේ. මෙහි විශේෂත්වය වන්නේ තම මානව ප්‍රාග්ධනය මත ආයෝජනය කිරීම දත්ත පරිභෝජනය හා සමාජ මාධ්‍ය අවකාශය පරිභෝජන අවකාශයක් බවට පත් කිරීමකට වඩා තමා ව ම නිෂ්පාදනය කරනු ලබන දෙයක් ලෙස සැලකීම යි. එවිට සමාජ මාධ්‍ය අවකාශයේ පුද්ගලත්වය වාණිජමය අර්ථයෙන් ඒක පුද්ගල සමාගමක් බඳු ආකෘතියක් ගනියි.

චරිත සටහන් පිටුව (Profile Page) දිගු කාලයක් පවතින ආකාරයට සහ තමන් ව පැහැදිලි ව දැක්වෙන ආකාරයට නිතර යාවත්කාලීන කරමින් නිර්මාණය වේ. එමඟින් තමන් වස්තුකරණයට ලක් කිරීම පහසු වේ. එවිට සමාජ මාධ්‍ය තුළ ලියවෙන දර්ශනයට හා දේශපාලනයට අදාළ දේ යනු අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවිවල පළවන ලිපි කියවමින් හා පොත් කියවමින් කාලය ගත කරන්නන් සමාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමක් නො ව තමන් විසින් තමන්ව ම අනෙකාගේ ආශාව බවට පත් වන පරිද්දෙන් නිර්මාණය කර ගැනීමක් බවට පත් වේ. එනම්, සමාජ මාධ්‍ය තුළ සංසරණය වන දර්ශනය යනු ශෘංගාරකරණය කරන ලද දර්ශනයකි. මෙය වර්තමානයේ අනන්‍යතා අර්බුදයකින් පෙළෙමින් සිටින පුද්ගලයන් සඳහා වලංගු වේ. මින් බිහි වන්නේ ශාස්ත්‍රඥයින්, බුද්ධිමතුන් නො ව දැනුමේ පාරිභෝගික නියෝජිතයන් ය. එහි දී දැනුම යනු තවත් පරිභෝජන භාණ්ඩයක් බවට පත් වේ. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙහි දී දැනුම හා දර්ශනය මඟින් රැඩිකල් ආත්මීය වෙනසක් සඳහා න්‍යාය බිහි වනු වෙනුවට දැනුම හා දර්ශනය පරිභෝජනය කිරීමක් පමණක් සිදු වේ. මෙමඟින් සමාජ මාධ්‍ය පරිශීලකයෝ තමන් දන්නා සහ නො දන්නා විවිධ පුද්ගලයින් තම චරිත සටහන් පිටුවට එක්කර ගනිමින් සමාජ ප්‍රාග්ධනය ද, තම දැනුම, රසඥතාවය හා සුදුසුකම් ආදිය සඳහන් කිරීම මඟින් සංස්කෘතික ප්‍රාග්ධනය ද, කීර්තිය ගොඩනඟා ගැනීම මඟින් සංඛේතීය ප්‍රාග්ධනය ද ගොඩනඟා ගනිති.

මෙම සමාජ මාධ්‍යවල විශේෂ ලක්ෂණයක් වන්නේ අන්තර්ජාලයේ අනෙක් වෙබ් අඩවි මෙන් මේවාට තමන් කැමති ආකාරයෙන් පිවිස ඒ තුළ සැරිසැරිය නො හැකි වීමයි. ඒ වෙනුවට තමන්ගේ පිළිබිඹුව අදාළ සමාජ මාධ්‍ය ජාලයේ චරිත සටහන් පිටුවක් මඟින් සටහන් කළ යුතු ව ඇත. මෙම චරිත සටහන් පිටුව සම්බන්ධ වන්නේ පුද්ගලභාවය හා ‘අස්මි මානය’ සමඟ බව මීට පෙර පෙන්වා දුන්නෙමු. මෙම ක්‍රියාවලිය සඳහා සමාජ මාධ්‍ය ව්‍යුහය විසින් දෘෂ්ටිවාදයක් අපට ඉදිරිපත් කරයි. එනම්, සමාජ මාධ්‍ය විනෝද මාධ්‍යයක් වන අතර ම සහභාගීත්ව දේශපාලන සන්නිවේදනයක් ද එමඟින් සිදු කළ හැකි බව ය. සමාජ මාධ්‍යවලට දායක වීම පුද්ගලයා බලපෑමකින් තොර ව ස්වෙච්ඡාවෙන් ම සිදු කරන්නක් නිසා ඉහත සන්නිවේදන විභවතාවය යනු දෘෂ්ටිවාදයක් බව අපට නො වැටහේ. එමඟින් පරිශීලකයා සූරාකෑමට ද ලක් වේ. එනම්, එය එක් ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදය (සහභාගිත්වය) පෙන්නුම් කරන අතර සූරාකෑම හා පාලනය ද සිදු කරයි. මෙම පරිශීලකයා සූරාකෑමට ලක් වන්නේ කෙසේ ද? පරිශීලකයා ස්වකැමැත්තෙන් සමාජ මාධ්‍ය ජාලාවලට ඇතුළත් කරන පෞද්ගලික දත්ත මහා දත්ත (Big Data) බවට පරිවර්තනය කරමින් තෙවන පාර්ශවවලට විකුණා දැමීමක් මෙහි දී සිදු වේ. සූරාකෑම සිදුවන්නේ සමාජ මාධ්‍ය ආයතනවලින් පරිශීලකයාට සපයන සේවාවේ වටිනාකමට වඩා පරිශීලකයා සමාජ මාධ්‍ය වලට සපයන දත්ත වලට වැඩි වටිනාකමක් ලබාදීම මත ය. නමුත් මෙම සත්‍යය ප්‍රකාශ කළ පමණින් නිර්ධනයන් ධනපතියන්ට එරෙහිව විරෝධය දක්වන්නා හා කැරලි ගසන්නා සේ මිනිසුන් සමාජ මාධ්‍ය වලට එරෙහි ව විරෝධය දක්වන්නේ ද? පිළිතුර නැත යන්න යි. එයට හේතුව කුමක් විය හැකි ද?

විශේෂයෙන් සමාජ මාධ්‍යවල දේශපාලන සහභාගිත්වය වැනි කරුණු නිසා එහි ප්‍රයෝජ්‍ය වටිනාකමක් පවතින බව බැලූ බැල්මට පෙනුන ද එහි පවතින හුවමාරු වටිනාකම එතරම් විෂද නො වේ. පරිශීලක දත්ත විශාල මුදලකට අලෙවි වීම මෙහි දී පැහැදිලි ව පෙනෙන්නට නො තිබීම එම තත්ත්වයට එක් හේතුවකි. එමඟින් සූරාකෑමකට ලක් වන බවක් ද නො ඇඟ වේ. ඒ අනුව පුද්ගලයින් වස්තු බවට පත්වෙමින් දාර්ශනික සංවාද සිදු කිරීම සමාජ මාධ්‍ය සමාගම්වලට ලාභ උපයන මාදිලියක් බවට පත් වේ. තව ද බොහෝ දෙනා සමාජ මාධ්‍ය භාවිතය සඳහා සිය විවේක කාලය යොදා ගනියි. නමුත් අප විවේක කාලය යනුවෙන් අදහස් කරන දෙය මාක්සියානු අර්ථයෙන් ශ්‍රම බලය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන කාලයකි. ඒ අනුව මෙම විවේක කාලයේ දී සමාජ මාධ්‍ය තුළ කෙනෙකු පුද්ගලත්වය ප්‍රවර්ධනය කිරීමට වැය කරන ශ්‍රමය යනු සමාජ මාධ්‍ය සමාගම් විසින් ශ්‍රමිකයාට (සමාජ මාධ්‍ය පරිශීලකයාට) මිලක් නො ගෙවූ නිදහස් ශ්‍රමයක් හා කාලයක් බවට පත් වේ. මෙහි දී පරිශීලකයා සමාජ මාධ්‍ය තුළ හැකි තරම් ක්‍රියාශීලී විය යුතු බවට හා නිර්මාණාත්මක විය යුතු බවට බල කෙරේ. තව ද සමාජ මාධ්‍ය තුළ බොහෝ මිතුරු සබඳතා ගොඩනගා ගත යුතු ව ඇත. (මෙම සමාජ මාධ්‍ය තුළ පවතින්නේ මිත්‍රත්වය හෙවත් සාරය නො මැති මිතුරුකමකි.) මේ සියලු දේහි පවතින විශේෂත්වය අපට දක්නට ලැබෙන්නේ සූරාකෑමේ ආකෘතියෙන් නො ව විවේක කාලය ගත කිරීමේ ආකෘතියෙන් ය. අප වටහා ගත යුතු වන්නේ සූරාකෑම සිදු වන්නේ යමෙකු සපයන ශ්‍රමයේ වටිනාකමට වඩා අඩු මුදලක් වැටුප් ලෙස ගෙවීම නිසා නො ව ඔවුන් සේවයේ යෙදෙවිය යුතු කාලයට වඩා වැඩි කාලයක් ඔවුන් සේවයේ යෙදවීම නිසා බව ය. එම අමතර කාලයට ගෙවීමක් නො කිරීම මඟින් ධනපතියා අතිරික්ත වටිනාකම උපයා ගනියි. කම්කරුවන් තමන් උපයා ගන්නා වැටුපෙන් තම භෞතික අවශ්‍යතා සපුරා ගන්නා අතර ම ශ්‍රම බලය වැඩි දියුණු කර ගැනීමේ මාර්ග සඳහා ද තම වැටුප උපයෝගී කර ගනියි. සාමාන්‍යයෙන් කෙනෙකු  තම සේවා කාලයෙන් පසු ආහාර ගැනීම, නිදා ගැනීම හා විවේකයෙන් සිටීම අවශ්‍ය වන්නේ ශ්‍රමය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා එය අත්‍යවශ්‍ය වන බැවිනි. තමන්ගේ මානව ප්‍රාග්ධනය තුළ කෙනෙකු ආයෝජනය කරමින් සමාජ මාධ්‍ය තුළ කාලය ගත කිරීම යනු තම ශ්‍රම බලය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ මාර්ගයක් ලෙස හඳුනාගත හැකි නො වන්නේ ද?

ඉහත සඳහන් කළ වසඟකාරී නිදහස් වාතාවරණය මෙන් ම අප වටහා ගත යුත්තේ වර්තමාන තාක්ෂණ යුගයේ දී අන්තර්ජාලය තුළ කෙනෙකුට සිය අනන්‍යතාවය සැඟවීම ඉතා අසීරු වී ඇති බව ය. ඒ අනුව කෙනකුට පෙර පරිදි තමාගේ ම සමාන්තර ද්විත්ව රූපයක් ගොඩනැගීම අසීරු වී ඇත. ගෝලීය ආවේක්ෂණ හා පාලක පද්ධති වැඩි දියුණු කර තිබීම ඊට හේතුව ය. ඒ වෙනුවට ඒකල අනන්‍යතා ගොඩනැගීමට බල කෙරේ. මෙම අනන්‍යතාවය ආරක්ෂක අංශ හා මහා දත්ත සමාගම් අතර හුවමාරු වේ. මෙම තත්ත්වය මත පරිශීලකයින්ට බල කෙරෙන්නේ හැකි තරම් යථාර්ථවාදී ලෙස තම නිර්ව්‍යාජ පුද්ගලත්වය සමාජ මාධ්‍ය තුළ ගොඩනගන ලෙස ය. මෙය මෙම යුගයේ පුද්ගලයින් තුළ දක්නට ලැබෙන ව්‍යාධිවේදීමය ස්වරූපරාගය (pathological narcissism) සමඟ සම්බන්ධ වේ. එනම්, සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන අධික්‍රියාකාරීභාවය මඟින් අනන්‍යතා අර්බුදයෙන් පෙළෙන ස්වරූපරාගී පුද්ගලයන්ගේ අර්බුදය විෂද කරවයි. එවිට සමාජ මාධ්‍ය යනු විවිධ අනන්‍යතා වෙනුවට තනි, නිර්ව්‍යාජ හා යථාර්ථවාදී ස්වයං-ප්‍රවර්ධන ලක්ෂණ සහිත ස්වරූපරාගී ව්‍යවසායකයන් නිෂ්පාදනය කරනු ලබන යන්ත්‍රයක් බඳු වේ. එමෙන් ම තමන්ගේ පුද්ගලත්වය නඩත්තු කිරීම පූර්ණ කාලීන රැකියාවක් තරමට ම ඇබ්බැහියක් වන අතර එමඟින් වෘත්තීය හා පෞද්ගලික ජීවිතය අතර සීමාව ද බොඳ කරයි. එම ක්‍රියාකාරිත්වය මඟින් අප විශිෂ්ට, ඉතා යුහුසුළු හා කැපී පෙනෙන පුද්ගලයන් බවට ගොඩනැගේ. එමෙන් ම මෙම සමාජ මාධ්‍ය තුළ වැසුම් ස්විචයක් (off switch) නො මැති නිසා එහි පැය 24 x 7 තුළ ම කෙනෙකුට ක්‍රියාකාරී විය හැකි ය. ඒ නිසා යමෙකුට තම චරිත සටහන් පිටුවේ පළ කිරීමට යමක් නො මැති වූ විට ඇතිවන්නේ සාංකාවකි. එනම්, තම අන්තර්ජාල පෙනී සිටීම මොහොතකට හෝ නො මැති වීම තම වෘත්තීයමය බිඳවැටීමක් තරමට ම ඒත්තු ගැන් වේ.

සමාජ මාධ්‍ය තුළ තමන් ලියා ඇති දේ බැරෑරුම් ලෙස නො සලකන්න, බැරෑරුම් දේ inbox සංවාද මඟින් හෝ වෙනත් අවකාශ තුළ සිදු කළ හැකි ය වැනි දේ ලිවීම තවදුරටත් තේරුමක් නැත්තේ තමා විසින් ම තමාගේ නිර්ව්‍යාජ යථාර්ථවාදීබව චරිත සටහන් පිටුව (profile page) තුළ ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් කර ඇති නිසා ය. අප සිතන්නේ බැලූ බැල්මට බාහිර ලෙස පෙනෙන අනන්‍යතාවයට වඩා අප තුළ බාහිරට නො පෙනෙන කුළුපග සත්‍යයක් රහසක් ලෙස සැඟව ඇති බව ය. නමුත් එසේ සිතීම මඟින් සිදු වන්නේ අප අප ව ම පාවාදීමකි. එය වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් මෙහි දී ඔවුන් නො සිතන දේ ප්‍රකාශ කරනවා නො ව ප්‍රකාශ කරන දේ මඟින් සිතයි. මෙහි දී සිතනවා යන්නට වඩා ප්‍රකාශ කරනවා යන්න මූලික වී ඇත. මෙය වර්තමාන සමාජය බැරෑරුම් ලෙස කියවන්නන්ගේ සමාජයක සිට පිළිඹිබුව මත පරායත්ත සමාජයකට පරිවර්තනය වී ඇති බවට නිදසුනක් නො වන්නේ ද? මෙහි දී අප හඳුනාගත යුතු අස්ථාන දෙකක් වේ. එක් ආස්ථානයක් නියෝජනය කරන්නේ තමන් එතරම් දෙයක් නො දන්නා බව පුන පුනා ප්‍රකාශ කරන එහෙත් තමන් දන්නා බව මිනිසුන් විශ්වාස කරනවාට කැමති පුද්ගලයින් ය. ලෝකය තුළ සිදුවන දේ මාධ්‍ය අවකාශය තුළ විශ්ලේෂණය කරමින් යම් ආකාරයක සහතිකයක් නිකුත් කරන්නන් බවට ඔවුහු පත් වෙති. එනම්, තමන්ගේ විශ්ලේෂණය කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ යැයි ඔවුහු විශ්වාස කරති. අනෙක් ආස්ථානය නම් සැබැවින් ම ලෝකය සුවපත් කිරීමට ක්‍රියාකාරී වන්නන් ය. ඔවුන් දන්නේ කෙනෙකුට සියල්ල දැන ගැනීමට හා විශ්ලේෂණය කිරීමට නො හැකි බව පමණ ය. යථාර්ථය තුළ තමන් ද පැල්ලමක් ලෙස පවතින බව ය. අප සාකච්ඡා කරන මනෝවිශ්ලේෂණයේ අරමුණ වන්නේ යථාර්ථයට වඩාත් ගැතිවීම (පළමු ආස්ථානය) නො වේ. යථාර්ථය ගොඩනැගීම සඳහා තමාගේ දායකත්වය (දෙවන ආස්ථානය) හඳුනා ගැනීම ය.

පළමු ආස්ථානයට අදාළ ඇතැමුන් කාලයකට ග්‍රාම්ස්චි හා හෙජමොනිය අලෙවි කරන අතර වසංගත කාලයක දී ජිජැක්ගේ “Pandemic” අලෙවි කරයි. එම පුද්ගලයින් තමන්ගේ මෙම ක්‍රියා මඟින් දැනුම සම්පාදනය කර දෙමින් සිටින බව කෙනෙකුට කිව හැකිමුත් අප එසේ සඳහන් කරන්නන්ගෙන් අසන්නේ එම දැනුම මඟින් වෙනස් වූ ජීවිත හෝ සමාජයක් පෙන්වා දෙන ලෙස ය. මෙම ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයා සමාජ වෙනසක් සිදු නො වන බව දන්නා නමුත් එම ක්‍රීඩාව තුළ ගොඩනැගෙන මෝහනීය බවට වශීකෘත වීම නිසා දැනුමට ආශක්ත ව කටයුතු කරයි. මෙය අපට වෙළඳ භාණ්ඩ හා පරිභෝජනය ඇසුරෙන් පැහැදිලි කරගත හැකි ය. පාරිභෝගිකයා සැබැවින් ම දන්නා දෙය නම් භාණ්ඩ පරිභෝජනය මඟින් අවසානයේ ලැබෙන්නේ තෘප්තියක් නො ව අතෘප්තියක් බව ය. නමුත් ඔහු එහි පවතින යම් උත්කර්ෂවත් යමකට ද ආකර්ෂණය වී සිටියි. ඉහත සඳහන් කළ පුද්ගලයින් සිදු කරමින් සිටින්නේ එවැන්නක් නො වේ ද? එබැවින් මෙම දැනුම අලෙවිකරුවන් ක්‍රමය මත පරායත්ත ක්‍රමයට මුක්කු ගසන්නන් මිස ක්‍රමය වෙනස් කරන්නන් නො වේ. දැනුමට අදාළ ලැකානියානු විශ්වවිද්‍යාලයීය කතිකාව පිළිබඳ මීට පෙර ලිපියක දී ද පෙන්වා දුන් පරිදි දැනුම මඟින් සිදු වන්නේ ක්‍රමය වඩ වඩාත් ප්‍රතිනිෂ්පාදනය වීම මිස වෙනස් වීම නො වේ. ස්ලැවෝ ජිජැක්ගේ “Pandemic” ග්‍රන්ථය කියවීමෙන් සමාජය වෙනස් වන්නේ කෙසේ ද? එය වඩා නැඹුරු ව පවතින්නේ මනෝවිද්‍යාවට මිස මනෝවිශ්ලේෂණයට නො වේ. සමාජයක් වෙනස් කළ හැකි විප්ලවීය මානය හෙවත් විභවතාවය පවතින්නේ මනෝවිද්‍යාව තුළ නො ව මනෝවිශ්ලේෂණය තුළ ය. මෙවැනි දැනුම ව්‍යවසායකයන් පිළිබඳ ඩබ්. ජයසිරි කලකට පෙර සඳහන් කර තිබූ ආකාරය මෙහි දී සිහිපත් කිරීම වටියි. එය අප නැවත සිහිපත් කරන්නේ ඩබ්. ජයසිරි සිදු කරනු ලබන Youtube සංවාද දෙස බැලීමේ දී ඔහුට ද මෙය අමතක ව ඇති බව පෙනෙන නිසා ය.

“සිරිසේන රැකියාවක් නමින් කිසිවක් කළේ නෑ, ඔහු ඒ ඒ කාලයට ගැලපෙන නොයෙකුත් දේවල් කළේ ය. වැඩියෙන් කළේ වෙළඳාම ය. රඹුටන් වාරයට රඹුටන් වික්කේ ය. අඹ වාරයට අඹ වික්කේ ය. මැංගුස් වාරයට මැංගුස් වික්කේ ය. පළතුරු කිසිවක් නො හැදෙන අවාරයට මුදල් ඉපයීමට සමලිංගික චර්යාවේ ස්ත්‍රී භාවිතාව තෝරාගත්තේ ය.“

(පිටුව 14, “සිරිසේන තෙපානිස් සහ වැඩිහිටියන්ගේ කතා“)

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ ලිපියක් , අපි සමාජ ජාල ථුඅ හැසිරන ආකාරය ගැනත් හොඳ විවේචනාත්මක බැලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here