The goal of psychoanalysis is precisely to bring you to the point where you can finally forget about that piece of bullshit which is yourself or myself, and finally work for a cause (political, religious, love, etc).

 

කුමාර් ගුනරත්නම් ප්‍රමුඛ අන්ධ උද්ගෝෂකයන් පිරිස ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති නව ලිබරල්වාදී යැයි වූ වැරදි නිගමනයක  එලබගෙන ඇත. මෙය ඔවුන් විසින් පර්යේෂණ කර සොයාගත්  නිගමනයක් නොව පවතින අවාසනාවන්ත  තත්වය ග්‍රහණය කර ගැනීමේ දුෂ්කරතාවය හමුවේ  ගොඩනගන ලද එක්තරා දෘෂ්ටිවාදයකි. දිනෙන් දින උග්‍ර වන මාධ්‍ය ආයතන වල පාලනය හමුවේ දේශපාලකයාගේ කාර්යභාරය මාධ්‍ය විසින් භාර ගෙන ඇති අතර ලෝකයේ හරි වැරැද්ද  පිළිබද විනිශ්චය ලබා දෙනු ලබන්නේ දේශපාලකයා නොව මාධ්‍ය විසිනි. කිසිදු ප්‍රබුද්ධත්වයක් හෝ  න්‍යායික පදනමක් නොමැතිව එකිනෙකා තම තමන්ගේ අදහස් සහ හැගීම් සමග වාද විවාද කරමින් මාධ්‍ය අවකාශයේ වෙළද දැන්වීම් අතර මැද පවතින කාලය ගෙවා දමයි. මෙම දෘෂ්ටිවාදාත්මක ප්‍රවේශය දේශපාලනය ලෙස තෝරා ගැනීම නිවැරදි නොවන බව දීප්ති විසින් දිගින් දිගටම න්‍යායාත්මකව පැහැදිලි කල නමුත් සම්ප්‍රදායික වමේ  කිසිවෙක් එම අදහස තේරුම් නොගත්තේය.

නව ලිබරල්වාදය බටහිර තුල ව්‍යාප්ත වන්නේ මාග්‍රට් තැචර්ගේ ආර්ථික ප්‍රතිපත්තියක් ලෙසය. රොනල්ඩ් රේගන් විසින් එය ඇමරිකාවට ආදේශ කරන ලදී. නව ලිබරල්වාදයේදී වෙළදපල තර්කනය මිනිස් ජීවිතයේ සියලුම අංශ වෙත ගමන් කරන අතර ආර්ථිකය පාලනය කිරීමෙන් රාජ්‍ය ඉවත් වේ.මිනිස් සහ අමු ද්‍රව්‍ය යන සම්පත් ඉතා කාර්යක්‍ෂම ලෙස භාවිතාවේ යොදවනු ලැබේ. නමුත් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති  මීට හාත්පසින්ම පටහැනි වේ. රාජ්‍ය විසින් සියලුම වැදගත් ව්‍යාපාර සදහා මැදිහත් වේ. චිත්‍රපට සංස්ථාව, ගුවන් විදුලිය, රුපවාහිනිය, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, දුම්රිය, ලංගම ආදී අකාර්යක්‍ෂම පාඩු ලබන ආයතන රජය විසින් පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව ලංකාවේ රජය අයවිය යුතු බදු මුදල් ටික පවා ක්‍රමවත්ව එකතු කර නොගනී. පවතින තත්වය නිවැරදි ලෙස න්‍යායගත නොකර පෙ.ස.ප වැනි පක්ෂයක්  ලංකාව වෙනස් කරන්න යනවා යැයි විශ්වාස කිරීම මගින් සිදුවන්නේ අපත් අමාරුවේ වැටීමකි. පෙ.ස.ප යනු අවුරුදු පහක් එකම දෙය කරමින්  එකතැන පල්වෙමින් තිබෙන පක්ෂයකි. 

ලංකාවේ ආර්ථික දත්ත විශ්ලේෂණය කරමින් සිදුකරන ලද අධ්‍යනයකින් පසුව ලංකාවේ තවමත් පවතින්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් බව අප විසින් නිගමනය කර තිබේ. රාජ්‍ය විසින් රටේ විශාලම ව්‍යාපාර පාලනය කරනු ලබයි (උදා: ගුවන් සමාගම, ඛණජ තෙල් , ජලය , විදුලිය ). මේ නිසා මෙම ආර්ථිකය රාජ්‍ය ධනවාදය ලෙසද හැදින්විය හැක. ප්‍රධාන පක්ෂ දෙක තුල  දේශපාලකයන් ලෙස රවී කරුණානායක වැනි ව්‍යාපාරිකයන් පිරිසක් සිටින අතර ඔවුන් විසින් මේ සියලු ව්‍යාපාර සහ අනෙකුත් ව්‍යාපාර පාලනය කරනු ලබයි. රාජ්‍ය බලය භාවිතා කරමින් ව්‍යාපාර සිදුකරන දුෂිතම රාජ්‍ය ධනවාදයක් තුල අපගේ ජීවිත ගෙවෙමින් තිබේ. අපගේ ජීවිත වල ඛණ්ඩාංක කුමක්ද යන්න තීරණය  වනු ලබන්නේ නව ලිබරල්වාදයකින් නොව මෙකී රාජ්‍ය ධනවාදය මගිනි. ලංකාවේ වෙනත් ධනපතියන්ටද ඉහත දේශපාලකයාගෙන් ස්වායත්තව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැක. මේ අනුව පහල පන්ති වලට පමණක් නොව ධනපතියන්ටද සමානාත්මතාවයක් ලංකාව තුල හිමි නොවේ[post-capitalist condition].  

ලංකාවේ කොටස් වෙළදපල යනු කෘත්‍රීමව පාලනය වන දෙයකි. ලංකාව නව ලිබරලවාදී නම් කොටස් වෙළදපල ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. එසේම එය කෘත්‍රීමව පාලනය කරන පුද්ගලයන් සිරගත කල යුතුය. ඒ වෙනුවට එම පුද්ගලයන් විසින් පුබුදුලා සහ ඊනියා ග්‍රම්ස්චිවාදීන්ගෙන්ද වැඩ ගනිමින් සිටී.  ලංකාවේ මුල්‍ය ප්‍රාග්ධනය හිගය. බැංකු වලින් සාමාන්‍ය මිනිසුන් වෙත මුදල් නිකුත් කරන්නේ නැත. මේ නිසා පහල පන්ති වල අයට ඔට්ටු ඇල්ලීම සදහා මුදල් නැත. ඔට්ටු ඇල්ලීම සදහා හිමිකම් ඇත්තේ එක්තරා පැලැන්තියකට පමණි. ලංකා බැංකුව, මහජන බැංකුව, EPF , ETF අරමුදල, සහ වෘත්තීය සමිති පමණක් මේ සදහා සහභාගී වේ. විශේෂයෙන්ම බැංකු සේවක සංගමය වැනි වෘත්තීය සමිති යනු සේවකයන්ගේ මුදල් ඔට්ටු ඇල්ලීමේ  තැරැව්කරුවන් පිරිසකි. සමෘද්ධි බැංකුව යනු  දුප්පතුන් වෙනුවෙන් වෙන්කර ඇති විශාල අරමුදලක් ඔට්ටු දමන ආයතනයකි.

පවතින ආර්ථික ක්‍රියාවලිය තුල ලංකාවේ සාමාන්‍ය ජනයාට කිසිදු සමාජ ආරක්ෂණයක් නැත. නව ලිබරල් සමාජයකදී රැකියාවක් අහිමි වන පුද්ගලයෙකුට නැවත රැකියාවක් ලැබෙන තුරු රජය විසින් දීමනාවක් ලබා දෙයි. නමුත් ලංකාවේදී රැකියාවක් අහිමි වීම යනු සියලු දේ අවසන් වීමයි. ලංකාවේ පවතින දුප්පත්කමද නිධන්ගත දුප්පත්කමකි (Chronic Poverty). සමෘද්ධිය හරහා පොහොසත් වූ සමාජ ස්තරයක් නැත.ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් රාජ්‍ය ධනවාදයේ හිමිකාරීත්වය ලබා ගන්නා අතර ඔවුන් විසින් ආර්ථිකය හසුරුවනු ලබයි. මේ ලංකාවේ පවතින සැබෑ ගැටලුවයි. මෙම ක්‍රමය පහල පන්ති තුල පවත්වා ගැනීම සදහා වැටුප් ලබන බුරුෂුවා පන්තියට රාජ්‍ය විසින් කප්පම් ගෙවනු ලබයි. වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ගුරුවරු, මාධ්‍යවේදීන් ආදී වෘත්තිකයන් සදහා වාහන බලපත්‍ර , නිවාස ණය ආදිය ලබා දෙන්නේ කප්පම් වශයෙනි.මෙවැනි පන්තියක් නඩත්තු කිරීම සදහා රට තුලට  මුදල් ගෙන එනු  ලබන්නේ වතු කම්කරුවන්, ඇගලුම් සේවිකාවන් සහ  විදෙස් ගත ශ්‍රමිකයන් විසිනි. කිසිදු ප්‍රතිලාභයක්,ආරක්ෂණයක් නොමැතිව තමන්ගේ ශ්‍රමය රට වෙනුවෙන් ලබා දෙනු ලබන්නේ මෙම පිරිස විසිනි. නමුත් එහි ප්‍රතිලාභ එක්තරා පන්තියක් විසින් හිමිකර ගනී.

මෙම තත්වය තුල විදෙස් ගත ශ්‍රමිකයන් හෝ වතු කම්කරුවන් හෝ සංවිධානය කිරීම හරහා ක්‍රමය බිද දැමිය හැකි යැයි විශ්වාස කිරීමද දෘෂ්ටිවාදයකි. මන්ද අවසානයේදී මෙකී පිරිසේ ආශාව වන්නේද ඉහත සදහන් කල වැටුප් ලබන බුරුෂුවා පන්තියට ඇතුලත් වෙමින් රාජ්‍ය විසින් ලබා දෙනු ලබන කප්පම් ලබා ගැනීමයි. අප විසින් මෙම කරුණු අනාවරණය කරනු ලබන්නේ පවතින ක්‍රමයේ ආකෘතිය කුමක්ද යන්න තේරුම් ගැනීම සදහාය.සමාජ පෙරලියක් සිදුවන්නේ මෙම ආකෘතිය වෙනස් කිරීම තුලින් පමණි. යුරෝපයේ,රුසියාවේ,ලතින් ඇමරිකාවේ,චීනයේ, බිහි වූ වාමාංශික ව්‍යාපාර ආකෘතිය හෝ යුරෝපයේ බිහි වූ දාර්ශනිකයන්ගේ, සමාජ විද්‍යාඥයින්ගේ දැනුම් පද්දති ඒ අකාරයෙන්ම ලංකාවට ආදේශ කිරීම කිසිසේත් සිදුකල නොහැක. එසේම එවැනි Copy Paste කිරීමක් හෝ පරිවර්තනය කිරීමක් දේශපාලනික ක්‍රියාවක් නොවේ.ලංකාව තුල සමාජ පෙරලියක් සිදුකල හැක්කේ ලංකික සන්දර්භය තුල ගොඩනැගුන  දේශපාලන පක්ෂයකට සහ නායකයෙකුට පමණි. දීප්ති සහෝදරයා සහ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ව්‍යාපෘතිය වන්නේ මෙයයි.1935දී ආරම්භ වූ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ඒ තුලම වූ අවවර්ධිත බව නිසා නෂ්ඨාවශේෂ බවට පත් විය.විසි එක්වන සියවසේ දීප්ති සහෝදරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ වන්නේ නව වාමාංශික ව්‍යාපාරයයි.පැරණි වමේ අගතීන්ගෙන් තොර පවතින ක්‍රමයට අභියෝග කළහැකි එකම ව්‍යාපෘතිය වන්නේ එයයි.රටට අලුත් දේශපාලනයක් අවශ්‍ය බව සිතන බුද්ධිමත් ජනතාවට දැන් පක්ෂයත් සමග එකතු විය හැක. අපගේ ආරම්භය වන්නේ උද්ගෝෂණ , පෙළපාලි නොව අධ්‍යාපනයයි.

අනුෂ්ක ආරියරත්න.

 

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here