X කණ්ඩායම සහ මොරටුව විශ්වවිද්‍යාලය යනු එකිනෙකින් වෙන්කළ නොහැකි ලෙස සම්බන්ධ වී ඇති සමාජ සංස්ථාපිතයන් දෙකකි. මෙම සම්බන්ධය ලෝක ඉතිහාසය පවා වෙනස් කරයි. දේශපාලන සංවිධානයක් සහ ඉංජිනේරු පීඨයක ශිෂ්‍යන් අතර මෙතරම් වූ සම්බධයක් පවතින උදාහරණයක් අපට වෙනත් තැනක හමුවන්නේ නැත. බොහෝ විට දේශපාලනය සමග  සම්බන්ධ වන්නේ කළා පීඨය හෝ දේශපාලන විද්‍යා අංශයයි. නමුත් ලංකාවේදී නම් තත්වය හාත්පසින්ම වෙනස්ය.  මෙම තත්වය හේතුවෙන්  ගෝලීය මට්ටමේ දේශපාලන න්‍යායන් ලංකාවේදී සාර්ථක වන්නේ අර්ධ වශයෙනි. එම තත්වය කෙසේවෙතත් මෙතැනදී මොරටුව විශ්වවිද්‍යාලය සිහිපත් කරන්නේ අද අපගේ ලිපියේ කතා නායකයාද මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙකු වන බැවිනි. නාලක මොරටු විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ පේෂකර්ම ඉංජිනේරුවෙකු වශයෙනි. ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක ඉතා හොද රැකියාවක් තිබියදී ඉන් සැහීමකට පත් නොවන නාලක මොකක්දෝ වටිනා දෙයක් සොයා X කණ්ඩායමට  පැමිණෙයි.

නාලක  X කණ්ඩායමේ සාමාජිකයන්ට හමුවන මොහොතේ ඔහු පිළිබද ප්‍රථම මුද්‍රාව (1st impression) වන්නේ නාලක යනු නොන්ජල් , පිටුපස සිට සහයෝගය දක්වන සාමන්‍ය චරිතය බවය. නාලක පක්ෂයේ ව්‍යුහය සමග සියයට සියයක් අනන්‍ය නොවන අතර පක්ෂය සමග කිසියම් පරතරයක් තබා ගනිමින් වැඩකටයුතු වලට සම්බන්ධ වේ. එකතරා දිනෙක පැවති සාකච්ජාවක් අතරතුර නාලක ‘බඩුව’ යන වචනය පාවිච්චි කිරීම හේතුවෙන් දීප්ති විසින් ඔහුට තරයේ අවවාද කරනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නාලක X කණ්ඩායම හැර යයි. නමුත්  වසරක පමණ කාලයකට පසු තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් නැවත  x කණ්ඩායම සමග සම්බන්ධ වීම සදහා නාලක පැමිණෙයි. කාලය ගතවෙත්ම නාලක පිළිබද සංවිධානය තුල කතිකාවක් බිහි වෙයි. එම කතිකාවට අනුව නාලක යනු ඉතා හිත හොද මනුෂයෙකි. ගුණ ගරුක, අන්‍යයන්ට සලකන, පරිත්‍යාගශීලී කෙනෙක් වශයෙන් සංවිධානය ඔහුව හදුනාගනී. කෙසේවෙතත් නාලකගේ දෙවන ආගමනයෙන් පසුවත් ඔහු පක්ෂය තුල කටයුතු කරන්නේ පැරණි පුද්ගලයා ලෙසය.

x කණ්ඩායමේ විවිධ සමාජ දේශපාලන කටයුතු වලදී සාමාජිකයන්ට රාජකාරී පවරනු ලබන්නේ ඔවුන් පිළිබද  සංවිධානයට ඇති ඉහත සදහන් කල අනන්‍යතාවය අනුවය. ඒ ආකාරයට නාලකට හිමිවන්නේ Barman ගේ රාජකාරියයි. නාලක අනෙක් අය මෙන් Drinks නොගන්නා අතර සංග්‍රහ කටයුතු ඉතා හොදින් සිදුකරයි. ඉංජිනේරුවෙකු වන නාලක තේ පවා හදමින් සංග්‍රහ කටයුතු කරන අකාරය දකින බොහෝ දෙනා ඔහුගේ නිහතමානී බව සහ මානුෂික බව පිළිබද තව තවත් අගය කරනු ලබයි. කෙසේවෙතත් එක්තරා දිනෙක රැස්වීමක අනන්‍යන්ට සංග්‍රහ කරන අතරතුර නාලකද අධික ලෙස මත්පැන් පානය කරයි. අවසානයේ සංග්‍රහයෙන් ටික වෙලාවකට පසු නාලක සිහි නැති වී ඇද වැටෙයි.

නාලක සංවිධානය තුල කාලය ගත කරනු ලැබුවේ නිවසෙන් පරාරෝපනය වෙමින්ය. එකල සංවිධානයේ මතය වුයේ එවැනි පුද්ගලයන් සංවිධානයේ කටයුතු ඉදිරියට ගෙන යාමට සුදුසුම පුද්ගලයන් බවය. දිනක් නාලක නිවෙස බලා යාමට බස් නැවතුමක රැදී සිටියදී ක්ලාන්ත වී ඇද වැටී ඇති බව සංවිධානයේ සාමාජිකයන්ට ආරංචි වෙයි. ඔවුන් වහාම නාලක සිටි තැනට ගොස් බලන විට නාලක දරුණු තුවාල සහිතව අනතුරට ලක් වී තිබුන අතර සංවිධානය වෙත රැගෙන විත් ප්‍රතිකාර කර ඔහුව සුව කිරීමට කටයුතු කරයි. මෙම අනතුර නිසා නාලකගේ මුහුණ සිදුරු කරගෙන යන  මට්ටමේ  තුවාල සිදු වී තිබිණ.  නාලක නිවසෙන් ඈත් වී සිටින්නේ ඇයි? නාලකට මෙවැනි අනතුරු සිදුවන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්න සදහා පිළිතුරු එකල සංවිධානයට නොතිබුනා පමණක් නොව එවැනි ප්‍රශ්න පැනනැගුනේද නැත.

කාලය මෙසේ ගතවන අතර x කණ්ඩායමේ එතිහාසික සිදුවීම එනම් 2004 ඛණ්ඩනය සිදුවන දවස් උදා වෙයි. මෙම දිනවල සංවිධානය තුල ඉතා කලබලකාරී තත්වයක් පැවතින. නාලක සාමාන්‍යයෙන් සංවිධානයට පැමිණෙන්නේ සෙනසුරාදා හවස්වරුවේ වන අතර ඉරිදා දින සංවිධානයේ පංති ආදියට සහභාගී වී නැවත සදුදා පිටවී යයි. නමුත් මේ දිනවල පැවති තත්වය මත පංති පැවැත්වුයේ නැති අතර නාලක නිකරුනේ එහා මෙහා ඇවිදිමින් සිටින අතර දීප්ති සහ මහින්ද මුණගැසෙයි. ‘අපිට මොකද වෙලා තියෙන්නේ ?’ යැයි මහින්දගෙන් අසන නාලකට පෙරලා ‘මෙයා මොකුත් දන්නේ නැහැ’ යනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ දීප්ති විසිනි. මෙම පිළිතුර නිසා දැඩි ලෙස කිපෙන නාලක බණ්ඩාර – බස්නායක-ප්‍රභා කණ්ඩායම සමග x එකෙන් වෙන් වී ඔවුන්ගේ මහරගම පිහිටි නව නිවස්නය වෙත යයි.

නාලක සංවිධානයට සම්බන්ධ වන්නේ දීප්ති සමග ඇති  පරමාදර්ශී සම්බන්ධය නිසාය. ඔහුට දීප්ති කෙරෙහි දැඩි ආකර්ෂණයක් තිබිණ. නමුත් අවසානයේ ඉහත සදහන් කල පිරිස සමග සංවිධානයෙන් වෙන් වී යන්නේ ඇයිද යන්න ගැටළුවක් විය. නාලකගේ ප්‍රථම දේශපාලනික අත්දැකීම x දේශපාලනයයි. මීට පෙර ඔහුට වෙනත් කිසිම වාමාංශික පක්ෂයක් සමග සම්බන්ධයක් තිබී නැත. දීප්තිගේ විවේචන නිසා ඔහු සංවිධානයෙන් වෙන් වුයේ යැයි සිතීම ව්‍යාජයකි. ඊට හේතුව ලෙස ප්‍රශ්නාර්ථයක් ඉතුරු කිරීම පමණක් මේ මොහොතේ අපට සිදුකල හැක.

කාලය කෙමෙන් ගතවෙත්ම නාලක දාර්ශනික බුද්ධිමතෙකු ලෙස පුනුරුප්පත්තිය ලබයි. ඔහු ලැකාන්ගේ ලිපි සහ  පොත් පරිවර්තනය කිරීමට පටන් ගනී. ඊට අමතරව මෙම විෂය කරුණු පිළිබද දේශන පැවැත්වීමටද ඔහු කටයුතු කරයි. මේ අතර අධික ප්‍රවේගයෙන් ත්වරණය වන ඉලෙක්ට්‍රොන අංශුවක් මෙන් වූ ස්ත්‍රියක් සමග ප්‍රේම සම්බන්ධයක්ද ගොඩනගා ගනී. මෙම ස්ත්‍රිය සමග එකතු වී දිගින් දිගටම ලැකාන්ගේ ලිපි පරිවර්තනය කිරීම නාලක විසින්  සිදුකරයි. අවසානයේ නාලකගේ ප්‍රේම සම්බන්ධය විවාහයකින් කෙලවර වෙයි. මේ සදහා පැවැත්වෙන විවාහ උත්සවය සුවිශේෂී එකකි. විවාහ උත්සවයේ කටයුතු මුලිකත්වය ගනිමින් සිදුකරනු ලබන්නේ x කණ්ඩායමෙන් වෙන් වී ගිය පැරණි සාමාජිකයන් විසිනි. උත්සවයේ මංගල කේක් අමුත්තන්ට පිලිගන්න්වන්නේ අමුතු ආකාරයකටය. එක් පැරණි සාමාජිකයෙක් කේක් තැබූ බන්දේසිය නටමින්  අමුත්තන් අතර රැගෙන යයි. අමුත්තන් ඔහු බන්දේසිය වනන අතර අත දමා ක්ෂණිකව තමාගේ කේක් කැබැල්ල ලබා ගත යුතුය. විවාහ උත්සවය අවසන් කර පැරණි සාමාජිකයන් සියලු දෙනා නටමින් මත්පැන් පානය කරයි. එක දිගට මධ්‍යම රාත්‍රිය වන තෙක් ප්‍රභා සහ බුද්ධික නර්තනයේ යෙදෙයි. මෙම නර්තනයන් යනු සංස්කෘතික නැටුම් නොව කොණ්ඩය කඩාගෙන උමතුවෙන් ආරූඩ වී සිදුකරන රංගනයන්ය.

විවාහයෙන් පසු සුළු කාලයක් විවේකයෙන් සිටින නාලක නැවතත් මනොවිශ්ලේෂණය පිළිබද පරිවර්තන කටයුතු ආරම්භ කරයි. බිරිදගේ පියා සමග එකතු වී බටහිර දර්ශනය කියවීමට පටන් ගනී. නාලක තම මාමණ්ඩිය සමග ගොඩනැගෙන දාර්ශනික සංවාදය ඉතා දුරදිග යයි. දිනක් නාලකගේ බිරිද නාලකට මෙසේ කියයි. ‘ තමුසේ තාත්තද බැදලා ඉන්නේ මාවද , තමුසේ දිගටම ඔය විධිහට හිටියොත් මම වෙන මිනිහෙක් එක්ක යනවා’. බිරිදගේ කීම සතයකටවත් මායිම් නොකරන නාලක මාමණ්ඩිය සමග දිගටම දාර්ශනික කටයුතු කරගෙන යයි. අවසානයේ බිරිද වෙනත් කෙනෙකු සමග යන අතර නාලක මාමණ්ඩිය සමග බිරිදගේ නිවසේ නතර වෙයි. මාස දෙකක් පමණ මාමණ්ඩිය සමග නාලක සිටින්නේ බිරිද නැවත නිවසට පැමිණේ යැයි විශ්වාස කරමිනි. අවසානයේ බිරිද නිවසට පැමිණෙන අතර නාලකව  ඇගේ  නිවෙසෙන් පන්නා දමයි.  

මෙම සංකේතීය මරණයෙන් පසුව නාලක යලි උප්පත්තිය ලබන්නේ උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙසය. මෙම  නාලක යනු සම්පුර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක්ය. ඔහු තුල කිසිදු දේශපාලනික රැඩිකල් භාවයක් ඉතුරු වී නැත. ඔහු කතා කරන්නේ භෞතික විද්‍යාව පිළිබද පමණි. භෞතික විද්‍යාව පිළිබද Facebook සංවාද පවා පවත්වයි. මේ අතර නාලකට තවත් ස්ත්‍රියක් හමු වෙයි.ඇය කලින් ස්ත්‍රිය තරම් සුන්දර නොවන අතර ඇය තරම් නාගරික ස්ත්‍රියක්ද නොවේ. නාලකගේ කලින් බිරිදගේ සාරය ගැටුම නම් නැවත හමුවන ස්ත්‍රිය යනු ගැටුම ඉවත් කල කෙනෙකි. ඇය සම්ප්‍රදායික ස්ත්‍රියයි. M Butterfly චිත්‍රපටයේ සිටින ආසියාතික ස්ත්‍රියයි. ඇය පත්වීමට බලාපොරොත්තු වන්නේ තම සැමියා නිවසට පැමිණෙන විට වතුර ටික රත් කර නාවා කන්න දී නිදි කරවන බිරිදක් බවටය. ඉතා ඉකමනින් ඇගේ සිහිනය සැබෑ කරමින් නාලක ඇය විවාහ කරගනී. මෙම විවාහ උත්සවය පැවැත්වෙන්නේ ග්‍රාමීය සම්ප්‍රදායික උත්සවයක් අකාරයටය. මෙම උත්සවයේ විශේෂත්වය වන්නේ කලින් විවාහයට සහභාගී වූ x කණ්ඩායමේ පැරණි සාමාජිකයන් දරුවන් වඩාගෙන මෙම උත්සවය සදහා සහභාගී වීමයි. උත්සවය අතරතුර ඔවුන් කතා කරන්නේ මෙවැනි දේය. ‘ අපි ඉස්සර x එකේ හිටියනේ, මොන මෝඩ වැඩද අපි කලේ, නරක මිනිස්සු ආශ්‍රය කරලා ඒ අය කියන දේවල් කරන්න ගිහින් අපි මොන තරම් කරදර වලට මුහුණ දුන්නද , අපිට මොනතරම් නරක දේවල්ද සිද්ද වුනේ’. මේ කතා අහගෙන සිටින නාලක මෙසේ කියයි.’ ඔයාල හරියට හරි මට ගැලපෙන්නේ නැති ගැහැණියෙක් මුණ ගැහුණා, අනේ ඇති යන්තම් දෙවියනේ කියලා අපි එකෙන් ගැලවුනා’. ගෝලීයකරණය තුල නාලක වැනි චරිත ලංකාවේ පමණක් නොව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලද සිටී. මෙම  විවාහ උත්සවයට සහභාගී වීමට නොහැකි වූ පැරණි x සාමාජිකයන් වන ඔවුන්  නාලකට සුභපැතුම් එක් කල අතර නැවත කවදා හෝ මුණ ගැසීමට පොරොන්දු විය.

ඉතා දිගු කතාවක් වන නාලකගේ ජීවිතය යනු කුමක්ද යන්න අර්ථදක්වන්නේ කෙසේද? නාලකගේ ජීවිත කතාව තුල අනන්‍යතාවයන් තුනක් හදුනාගත හැක. පළමු අනන්‍යතාවය වන්නේ නාලක පිළිබද ප්‍රථම මුද්‍රාව හෙවත් නොන්ජලයා නම් අනන්‍යතාවයයි. දෙවන අනන්‍යතාවය වන්නේ රැඩිකල් වාමාංශික බුද්ධිමතා  නම් අනන්‍යතාවයයි. තෙවැනි අනන්‍යතාවය වන්නේ සම්ප්‍රදායික සැමියා (මම දැන් තාත්තා වගේ) නම් අනන්‍යතාවයයි. මෙම අවසාන අනන්‍යතාවය යනු සැබෑ සමාජ යථාර්ථයයි. ඊට සාපේක්ෂව පළමු සහ දෙවැනි අනන්‍යතාවයන් ෆැන්ටසි දෙකක් වේ.  නාලකට මෙවැනි ෆැන්ටසි දෙකක් අවශ්‍ය වන්නේ ඇයි?

The Women in the Window චිත්‍රපටයේ මහාචාර්යවරයාට ප්‍රකාශවීම සදහා Hollywood සිනමාව අවශ්‍ය වෙයි. මිනීමරුවෙකු වීමට ආශා කරන පුද්ගලයෙකු එම ආශාව පවතින සමාජ වටපිටාව තුල ඉටු කර ගැනීමට නොහැකි නිසා මහාචාර්යවරයෙකුගේ භූමිකාවට පොළාපනී. යලිත් මහාචාර්යවරයාට තමාගේ ආශාව කුමක්ද යන්න පෙන්වාදෙනු ලබන්නේ  Hollywood සිනමාව විසිනි. නාලක අහිංසක, නොන්ජල්, තැම්පත් , නිහතමානී ඉංජිනේරුවෙකු ලෙස ඇතිකරගන්නා  ප්‍රථම මුද්‍රාව යනු දීප්තිට වරදින තැනකි.  නාලක සංවිධානයෙන් යන්නේ ප්‍රභා නමැති සුදු හම සහිත ස්ත්‍රියක් නිසාය. ප්‍රභා නිසා නාලකගේ ෆැන්ටසිය කුමක්ද යන්න ඔහු ඉදිරියේ මැවී පෙනෙයි. නාලකට අවශ්‍ය වන්නේ කලින් සදහන් කල ප්‍රතිරූපය නොව  Rocco Siffredi මෙන් දගකාර ගැහැනියක් සමග ලිංගික සබදතා පැවැත්වීමටය. අවසානයේ මෙම ෆැන්ටසිය යථාර්ථයක් වන අතර M- Butterfly චිත්‍රපටයේ අවසානය මෙන් ඇදුම් ගලවාගෙන , වමනේ දාගෙන නාලකගේ ජීවිතයද සංකේතීයව අවසන් වෙයි.

ඉහත සදහන් කල සංකේතීය මිය යාමෙන් පසු  භෞතික විද්‍යා ගුරුවරයෙකු ලෙස  යලි උපදින අවස්ථාවේ නාලක යනු තවදුරටත් මනුෂයෙකු නොව zombie – (in popular fiction) a person or reanimated corpse that has been turned into a creature capable of movement but not of rational thought, which feeds on human flesh- කෙනෙකි. මේ මොහොතේ නාලකට විඥානයක් නොමැති අතර ඇත්තේ ඇග පමණි. වර්තමානයේ අපට උරුම වී ඇති බහු සංස්කෘතිකභාවය  බොහෝ දෙනා  දකින්නේ රැඩිකල් වෙනසක් ලෙසය. අපට කැමති තොප්පියක් දා ගැනීමේ අවස්ථාව බහු සංස්කෘතිකභාවය විසින් උදා කරයි. මෙම අනන්‍යතා මාරු කිරීම මගින් පුද්ගලයාට ඇත්ත මම කවුද යන්න වසන් කර ගැනීමට හැකියාව ලැබේ. දැන් අපට ඇතිවන ගැටලුව වන්නේ මෙවැනි සමාජයක් පවතින්නේ කෙසේද යන්නයි? වඩා හොද සමාජයක් ගොඩනැගීමට අප උත්සහ කලද ඉන් ප්‍රතිඵලයක් අත් වුයේ නැත. ලැකාන්ගේ පොත් පරිවර්තනය කල කෙනාට පවා  අවසානයේ අත්වන්නේ මනෝවිශ්ලේෂණය මගින් අර්ථකථනය කල යුතු විනාශයකි. මේ නිසා අපගේ නිගමනය වන්නේ මෙම තත්වය වෙනස් කිරීමේ දී  ලැකාන් පවා අසමත් වන බවයි. ඉහත උදාහරණයට අනුව මනෝවිශ්ලේෂණය අවසානයේ විනෝද සාධකයක් බවට පත් වී ඇත. එනම් මනෝවිශ්ලේෂණය ගැන කතා කිරීම, පොත් ලිවීම , දේශණ පැවැත්වීම හරහා පුද්ගලයාට විනෝද විය හැක. මේ නිසා මේ යුගයේ පුද්ගලයන්ව අර්ථකථනය කිරීමට නොහැකි වන අතර විනෝද වීම හැර වෙනත් සාරයක් පුද්ගල ජීවිතය තුල ඉතුරු වන්නේ නැත. නාලක ඉදිරියටත් දීප්ති සමග සිටියේ නම් x දේශපාලනය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට අවස්ථාව තිබිණ. නමුත් ඔහු විසින් හබා යන  විනෝදය ඊට වඩා ප්‍රභල දෙයක් විය. ලැකානියානු කතිකාව ගුප්ත දෙයක් බවට පත් වුවද නාලක කවුද යන වග ඔහුගේ දෙමාපියන් හොදින්ම දන්නා කාරණයකි.

 වර්තමානයේ කෙනෙකු රැකියාවට යන්නේ අනන්‍යතාවයක් බලාපොරොත්තුවෙනි. ඊට සමගාමීව කෙනෙකු දේශපාලනයට පිවිසෙන්නේද අනන්‍යතාවයක් බලාපොරොත්තුවෙනි. මේ නිසා මේ සෑම තැනකටම පුද්ගලයා විසින් තමන්ගේ රෝග ලක්ෂණය රැගෙන යයි. නාලකගේ පළමු විවාහය ඉහල පාන්තික විවාහයකි. එම විවාහය තුල කිසියම් more එකක් පැවතින. දෙවන විවාහයේදී මෙම more එක අඩු කිරීමකට ලක්වේ. ජිජැක් විසින් පැහැදිලි කරන දයලෙක්තිකයේ අඩු කිරීම වන්නේ- subtraction- මෙයයි. එනම් දයලෙක්තික ක්‍රියාවලියකදී නැවත මුල් අවස්ථාවට පැමිණෙන විට ආත්මයෙන් යමක් අඩු වී යයි.

x ආකෘතියෙන් පැවති දීප්තිගේ දේශපාලනය අවසන් වීමෙන්  වසර 14 කට පසුව පවා එම දේශපාලනය නැවත කියවීම සදහා අවස්ථාවන් එකල x සාමාජිකයන් විසින් ඇති කරයි. ඔවුන් සහ දීප්ති අතර ඇති නැවත කිසිදා සමකල නොහැකි වෙනස වන්නේ පැරණි x සාමාජිකයන් තවමත් එකම තැනක පල් වෙමින් සිටින අතර දීප්ති තම දේශපාලනය ඉදිරියටත් වර්ධනය කරමින් සිටීමයි. මේ නිසා පැරණි x සාමාජිකයන් යනු පක්ෂයට අභියෝගයක් නොවේ. නමුත් පක්ෂයට ඔවුන් අධ්‍යයන උපකරණ සපයයි. බොහෝ දෙනා මෙය සදාචාරාත්මක වැරද්දක් ලෙස සලකයි. දේශපාලනය සහ සදාචාරාත්මක විනිශ්චය යනු ක්ෂේත්‍ර දෙකකි. අපට අනුව පැරණි සදාචාරාත්මක විනිශ්චය යනු තවදුරටත් වලංගු දෙයක් නොවේ. අපගේ දේශපාලනය හරහා නව  සාර්වත්‍රික සදාචාරයක් බිහි කරමින් සිටින්නෙමු.  නාලක ඇතුළු බොහෝ පැරණි x සාමාජිකයන් දීප්තිට කල දේ සහ  x දේශපාලනයට කල දේ පිළිබද සදාචාරාත්මක විනිශ්චයක් කිසිවෙක් සිදුකරන්නේ නැත. මිනිස්සුන්ගේ විඥානය  සමග දේශපාලනය   කිරීමට  යාම තුල පෙරලා ලැබෙන අපවාදයන් සියල්ල දරා ගනිමින් දීප්ති තමාගේ දේශපාලනය ඉදිරියට රැගෙන යයි. දීප්තිගේ දේශපාලනය නොවන්නට මේ වන විට  අප සියලු දෙනා Zombi බවට පත් වී හමාරය. නැවත කිසි දිනෙක අප සමග එකතු වීම සදහා තිරෝහරණය වීමට  නාලකට නොහැකි බව අප හොදින්ම දනිමු. අපද  කිසි දිනෙක එවැනි දෙයක් කිසිදු පැරණි x සාමාජිකයකුගෙන් බලාපොරොත්තු නොවන්නෙමු.    

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Excellent Analysis. Well Done Anushka!
    “මිනිස්සුන්ගේ විඥානය සමග දේශපාලනය කිරීමට යාම තුල පෙරලා ලැබෙන අපවාදයන් සියල්ල දරා ගනිමින් දීප්ති තමාගේ දේශපාලනය ඉදිරියට රැගෙන යයි. දීප්තිගේ දේශපාලනය නොවන්නට මේ වන විට අප සියලු දෙනා Zombi බවට පත් වී හමාරය.”

    සම්පුර්ණයෙන්ම ඇත්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here