ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » නිකොටින් නැති දුම්වැටි

නිකොටින් නැති දුම්වැටි 

neighbour

 

අසල්වැසියා සැක කිරීමේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂී පදනමත්, එම සැක කිරීම තුළින් ඉස්මතු වන අනේකත්වය පිළිබඳ සයිකෝටික තත්ත්වය පිළිබඳවත් අපි පසුගිය සතිවල සාකච්ඡා කළෙමු. අසල්වැසි අනේකත්වය පිළිබඳ ‘බිය’ ඉස්මතු වන මූලික ම ව්‍යුහය නම් අනෙකා විඳිනු ඇතැයි අපි අපේක්ෂා කරන ‘අතිරික්ත ප‍්‍රමෝදය’ සමඟ මෙම තත්ත්වය සම්බන්ධකමක් පැවැත්වීමයි. අතිරික්ත ප‍්‍රමෝදය යන්න ෆ්‍රොයිඩියානු තෘප්ත මූලධර්මයට (Pleasure principle) ඔබ්බෙන් ස්ථානගත වූවකි. එනම් එය තෘප්තියේ වේදනාව සමඟ විරුද්ධාභාසී සම්බන්ධයක් පවත්වයි. සාමාන්‍යයෙන් මිනිස් විෂයය තෘප්තිමත් වීමට ඔබ්බෙන් පිහිටි වේදනාව සමඟ අවිඥානික ආශා සම්බන්ධයක් පැවැත්වීම මෙම මූලධර්මය බිහි වීමට ආසන්න හේතුවයි. එනම් තෘප්තිය යන්න ‘වේදනාවේ තෘප්තිය’ සමඟ සම්බන්ධ වීම නිසා මිනිස් විෂයය නිෂේධනය සමඟ දිගින් දිගට ම ආශා සම්බන්ධයකට ගමන් කරයි. (කියවන්න ජිජැක්ගේ The Ticklish Subject ග‍්‍රන්ථයේ 43, 44 පිටු) ජේසුස් වහන්සේ බඳු පුද්ගලයෙක් මෙම ‘වේදනාවේ තෘප්තිය’ සමඟ පවත්වන ආශා – නිශේධනයේ පොරොත්තු වීම තුළින් උත්කෘෂ්ට වස්තුවක් නිෂ්පාදනය වන බව ඉහත ග‍්‍රන්ථය තුළ ජිජැක් පෙන්වා දෙයි.

එම උත්කෘෂ්ට බවට පාදක වන ‘වේදනාවේ තෘප්තිය’ විසින් නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත ප‍්‍රමෝදය කුමක්ද යන්න අනෙකාට වටහා ගැනීමට නොහැකි දෙයකි. එවිට සිදු වන්නේ අසල්වැසියා විසින් ඉහත විෂය සැකයට භාජනය කරනු ලැබීමයි; ඔහු පිළිබඳව වඩාත් කුතුහලයකින් සොයා බැලීමයි. මෙම කුතුහලය විශේෂයෙන් ජනප‍්‍රිය චරිත සම්බන්ධයෙන් විශාල අදාළතාවක් දක්වන බව සමකාලීන මුහුණුපොත් සමඟ බැඳුණු තත්‍යමාන අවකාශයේ උදාහරණ තුළින් අපිට දැකගත හැකිය. උත්කෘෂ්ට, ආචාරධාර්මික සහ උතුම් මනුෂ්‍යත්වයක් යැයි හැඳින්විය නොහැකි එහෙත් ජනප‍්‍රිය චරිතයක පෞද්ගලික ලිංගික සම්බන්ධයක් අඩංගු වීඩියෝ පටයක් මෑත දිනවල මුහුණුපොත් අවකාශයේ සංසරණය වූවා ඔබට මතක ඇතැයි සිතමු. මෙහි දී ඉහත චරිතය කර ඇත්තේ තමන් පමණක් ම පෞද්ගලික අවකාශයක ‘විඳින’ ලිංගික සම්බන්ධයක් යම් ආකාරයකට තමා විසින් ම වීඩියෝගත කරනු ලැබීම යි.  

දැඩි ආත්මීය තෘප්ත කලාපයක් ඉහත ජනප‍්‍රිය චරිතය විසින් ම වීඩියෝවට නඟනු ලැබීම ඔස්සේ ඔහුගේ තෘප්ත මූලධර්මයට ඔබ්බෙන් ඔහුගේ පැවැත්ම ඔහු විසින් ම ස්ථාපනය කරනු ලබයි. ලිංගික තෘප්තිය තම පෞද්ගලික කලාපය තුළ ලැබීමට අමතරව ඔහු විසින් ‘වීඩියෝ කරනු ලැබීම’ නම් ක‍්‍රියාව තුළින් හෙතෙම අපි වෙත ප‍්‍රක්ෂේපණය කරන්නේ ‘මගේ අතිරික්ත ප‍්‍රමෝදය මෙය යි’ යන්නය. ඒ සඳහා යමෙක් (අනෙකත්වයක්) ඔහුගේ යතුරු හිල අසල පොරොත්තු වේ නම් ඔහුගේ ප‍්‍රමෝදය තව තවත් තීව‍්‍ර වේ. ඔහුට තෘප්තිමත් වීමට තවත් කෙනෙකුගේ නිරීක්ෂණ ස්ථානයක (Gaze point) පැවැත්ම අවශ්‍ය වන අතර එය ඔහු විසින්ම (ඔහුගේ ආශාව ගැහැනිය විසින් රඟ දක්වනවාට අමතරව) ඉල්ලා සිටියි. ඉහත වීඩියෝව ලොව පුරා ලිංගික වෙබ් අඩවි විසින් වාර්තා කරනු ලැබීමෙන් පසු තම චරිතයට වූ ආචාරධාර්මික හානියෙහි සමස්තය ඔහුගේ පීඩාකාරී වේදනාවයි. ඔහුට අවශ්‍ය වූවේ ද එවන් ආපතික වේදනාවකි. පසු – නූතන ධනේශ්වර යුගයේ සාර්වත‍්‍රික විපරීතභාවය යනුවෙන් අදහස් කරන්නේ ඉහත අතිරික්ත ප‍්‍රමෝදයට විෂය ය දක්වන ආශා සම්බන්ධය යි. උත්කෘෂ්ට මනුෂ්‍යත්වයක නිෂේධනය (වේදනාව තුළ තාවර වීම) සහ එම ජනප‍්‍රිය චරිතයේ ස්වයං හෙළාදැකීම සහ පෞරුෂ ඝාතනය අවස්ථා දෙකක් ලෙස වටහාගත යුතු ය.

ඩේවිඩ් ලින්ච්ගේ Blue Velvet චිත‍්‍රපටයේ මෙන් කාමරයක් තුළ සිටින මෙම ජෝඩුව ලිංගික අධි ක‍්‍රියාකාරී (උදාසීන ආසියාතික ස්ත‍්‍රියගේ පැත්තෙන් ගත්විට) බවකට ගමන් කරයි. ලිංගික ක‍්‍රියාව තුළ එම ක‍්‍රියාවේ තෘප්තියට අමතරව යුවළ තුළින් ඇසෙන අනෙකා ඇසිය යුතු යැයි අපේක්ෂා කරමින් ජනනය කරන කෑ ගැසීම් හඬ මේ ප‍්‍රමෝදයේ අතිරික්තයට උදාහරණයකි. එය තම තෘප්තියට ඔබ්බෙන් පවතින (තෘප්තිය සමඟ සම්බන්ධ නැති) අතිරික්ත දෙයකි. ජිජැක් සිය The Metastases of Enjoyment (1994) නම් කෘතියේ පෙන්වා දෙන පරිදි තුන් වැන්නෙක් තමා දෙස බලා සිටිනු ඇතැයි උපකල්පනය කරන මෙම යුවළ එම බලා සිටින්නා (බොහෝ විට මුහුණුපොතේ සහ තවත් තත්‍යසමාන අවකාශයේ නරඹන්නන්) වෙනුවෙන් සිය ලිංගික ක‍්‍රියාව කරගෙන යන බව එම වීඩියෝව අධ්‍යයනය කරන විට පෙනී යන කරුණකි. Blue Velvet හි මෙන්ම මෙම තුන්වැන්නාගේ නිරීක්ෂය නැතිව (අතිරික්ත විනෝදය බාහිර අනෙකෙකුට ප‍්‍රක්ෂේපණය නොකර) ලිංගික සතුට ලැබීම අද දවසේ දුෂ්කර දෙයක් බවට පත්ව ඇත. සාර්වත‍්‍රික (Universalized perversion) බව දේශපාලනිකව පරාජය කළ යුතු වුව ද අප එම අසල්වැසියාගේ අතිරික්තයට බිය විය යුතු නොවේ. මන්ද, අතිශය පෞද්ගලික ක‍්‍රියාවක් පවා අසල්වැසියාගේ නිරීක්ෂය නැතිව කරගෙන යා නොහැකි බවට එම යුවළ අපිට උගන්වති. ශාමි කුමාර් ඇය ට ගණිකාවක් වීමට අවශ්‍ය යැයි අපට කියන්නේ ද මෙම අසල්වැසි අනේකත්වයේ මනෝ විශ්ලේෂී අවශ්‍යතාව නිසාය. දෙවියන් බලා නොසිටින හෙයින් තම ‘ගුප්ත ආශා අතිරික්තය’ (Excessive mysterious content) හෙවත් ‘ෆැන්ටස්මතිකය’ අසල්වැසියා ලවා ෙඡ්දනය කරවා ගැනීම ඔවුන්ගේ අභිප‍්‍රාය යි. මෙලන්කොලියාවෙන් ගැලවීමට අසල්වැසියා යනු කොතරම් වැදගත් ප‍්‍රපංචයක්ද යන්න ඔබට දැන් පැහැදිලි වනු ඇත.

උත්කෘෂ්ට මනුෂ්‍යත්වයක නිෂේධනය වෙනස් දෙයක් යැයි අපි ඉහත කීවෙමු. එවන් මනුෂ්‍යත්වයක අතිරික්ත ප‍්‍රමෝදය සමඟ බැඳුණු නිෂේධනයේ වේදනාව කාන්ටියානු හේතුව සමඟ බැඳී පවතී. ජේසුස් වහන්සේගේ වේදනාව සඳහා ‘මනුෂ්‍යත්වය දුකෙන් මුදවාලීම’ නම් විශ්වීය හේතුව සමඟ සම්බන්ධයක් පවත්වයි. එය විශ්වීය යහපත (Universal good) සමඟ බැඳුණු දෙයකි. නමුත් නව ධනේශ්වර යුගයේ සාර්වත‍්‍රික විපරිතයා අතින් සිදු වන්නේ අනෙකාගේ ආශාව තමා විසින් රඟ දක්වනු ලැබීමයි. එය නිල් චිත‍්‍රපටයක නළු – නිළි යුවළකගේ හැසිරීමට සමාන ය. මුහුණුපොත් අවකාශයේ ඉහත ජනප‍්‍රිය චරිතය දෙස බලා සිටින අයට සිදු වන්නේ ඔහුගේ ආශා ප‍්‍රහේලිකාවේ විපරිත වස්තුවක් වීමට ය. ඔහු විසින් ම ආශා කරන ලද, ඔහු විසින් ම ප‍්‍රක්ෂේපණය කරන ලද ආශාවක යතුරු හිල අසබඩ පොරොත්තු වන තවත් විපරිත වස්තු (විෂය) ගණනාවක් ඔහුගේ මේ වීඩියෝ ක‍්‍රීඩාව නිසා නිෂ්පාදනය වේ. මේ දෙපාර්ශ්වයට ම කාන්ටියානු ‘යහපත් සංකේතය’ බවට පත්වීමට නොහැකි වන අතර තවකෙකුගේ ආශාවේ නිරීක්ෂණ වස්තු බවට පමණක් ඌනනය වේ.

කෙසේ වුව ද අපි අනේකත්වය සමඟ සැක සහිත සම්බන්ධයකට ගමන් කරන්නේ අනෙකා තුළ ඇති ඉහත ‘අතිරික්ත ප‍්‍රමෝදය’ පාදක කරගෙන ය. මෙම අතිරික්තය සැම විට ම ‘භයානක අන්තර්ගතයක්’ (Dangerous content) යැයි අපි සැක කරන්නෙමු. එම නිසා අපි ආශා කරන්නේ එම භයානක අන්තර්ගතය අහිමි කළ වස්තුවට ය. මෙය හරියට ම නිකොටින් නැති සිගරට්, මේද රහිත බටර් හෝ මත්ද්‍රව්‍ය අහිමි බියර්වලට සමාන ය. අපිට අපේ අසල්වැසි අනේකත්වය මේ අනුව ඔහුගේ හෝ ඇගේ සත්‍යය සාරය (අතිරික්තය) අහිමි කළ දෙයකි. නමුත් අපි ඇත්ත වශයෙන් ම අසල්වැසියා වශයෙන් අවබෝධ කරගත යුත්තේ ‘විවෘතභාවයක්’ (Openness) වශයෙන් The Neighbor කෘතියේ Towards a political Theology of the Neighbor ලිපිය තුළින් කෙනත් ෙරෙන්හාර්ඞ් (Kenneth Reinhard) විසින් ඇලන් බදියු උපුටමින් සඳහන් කරයි (පිටුව 66). එම විවෘත අවකාශය තුළ විවෘත සැකසුම් දෙකක් ලෙස වටහාගත යුතු ‘මම’ සහ ‘අනෙකා’ යන සැකසුම් දෙක වනාහි තවදුරටත් විවෘත සැකස්මකි (Open set). එම සැකසුම් විසින් නව අවකාශයක් ජනිත කරනු ලැබ හැකි බව බදියුගේ මතය බව ෙරෙයන්හාඩ් සඳහන් කරයි. එනම් පොදු අවකාශයක වැඩ කරන කල්හි ඉහත සැකසුම් දෙක විසින් විශ්වීය බවක් වෙනුවෙන් වූ ස්ථානයක් නිර්මාණය කරන බව බදියු සඳහන් කරයි. එයට පදනම ආදරය (Love) බවත් ඔහු සඳහන් කරයි (පිටුව 67).

දේවත්වය (සංකේතීය), ස්ව ආත්මය (පරිකල්පනීය) සහ අසල්වැසියා (යථ) යන අවස්ථා (මූලිකාංග) තුන එකට සම්බන්ධ කරන ෙරෙන්හාඞ් (රූප සටහන බලන්න) දේශපාලන දේවධර්මවාදයට අදාළව අසල්වැසියා යන්න සංකේතනය කරයි. ස්වාත්මය (මම) සහ අසල්වැසියා අතර සම්බන්ධය නිශේධනාත්මක එකක් වුව අනෙකාගේ ප‍්‍රමෝදයේ අගාධය මා තුළ පැලපදියම් වී ඇති බැවින් එම ප‍්‍රමෝදය කුඩා වස්තුවේ (Object a) පූර්වජ දෙයෙහි හැඩය ගන්නා බව ෙරෙන්හාඞ් නිරීක්ෂණය කරයි. ස්වාත්මය සහ දෙවියන් අතර ෙඡ්දනය ප‍්‍රාථමික හැඟවුම්කාරකයේ ස්වරූපය ගන්නා බව සඳහන් කරන ෙරෙන්හාඞ් පියාගේ නම විසින් විෂය සංකේතීය පිළිවෙළ තුළට ඇදදමන බව අවධාරණය කරයි. තමා (ස්වාත්මය) මෙන්ම අසල්වැසියා ද බැඳ තබන හුය දෙවියන් නම් ප‍්‍රාථමික හැඟවුමයි (කුරානය සහ භගවත් ගීතාව මාරුවෙන් මාරුවට එකට කියවිය හැකි යයි මහත්මා ගාන්ධි කියන්නේ එබැවිනි – චිත‍්‍රපටය බලන්න). අනෙකාගේ ප‍්‍රමෝදය මට යථක් වුව ද අපි දෙදෙනා ම සංකේතනය තුළ පියාගේ නම විසින් කප්පාදුවට ලක් කරනු ලැබ ඇත. එසේ කප්පාදුවට ලක් වුවත් ‘සියල්ලම-නොවන’ යම් දෙයක් අසල්වැසියා තුළ ශේෂව ඇත. එම ‘නොදන්නා’ කොටස (ඇතැම්විට ගැහැනිය) ශුන්‍ය (හිස්) කලාපය යි. අපි බිය වෙන මෙම අතිරික්ත (නොදන්නා) කොටස යනු අපි පරිකල්පනය කරන භයානක අන්තර්ගතය යි. එය කුඩා වස්තුව (Object a) ලෙස අපි නම් කරන අතර අපි අනෙකා කෙරෙහි ආශා කරන්නේ ඉහත ‘ගුප්ත අන්තර්ගතය’  පදනම් කරගෙන ය. නමුත් එය පවා දේවත්වයේ හැඟවුම විසින් ෙඡ්දනය කරනු ලැබ ඇත.

එනයින් ගත් කල ‘අසල්වැසියාට පේ‍්‍රම කරන්න’ යන දිව්‍යමය හැඟවුම විසින් අපි එකිනෙකා තුළ ඇති ගුප්ත – ෆැන්ටාස්මතික අන්තර්ගතය විශ්වීය ලෙස ෙඡ්දනය කර ඇති හෙයින් විවෘත අවකාශයක සංකේතීය පිළිවෙළ තුළ අපිට ජාති, ආගම්, කුල සහ ප‍්‍රාදේශීයවාද රහිතව සාමූහික විය හැකි ය. විශේෂයෙන් ජාතිකත්ව අනන්‍යතා දේශපාලනයක තිස් වසරක යුද්ධයෙන් පසුව සහජීවනය කතා කරන මේ මොහොතේ ඉහත ෙරෙන්හාඩියානු ප‍්‍රවේශය අපිට අතිශයින් වැදගත් විය හැකිය යන්න මේ මොහොතේ පෙන්වා දිය යුතු ය. ආගම්වාදය, ප‍්‍රාදේශීයවාදය, (උතුර, දකුණ, උඩරට සහ පහතරට) කුල භේදය සහ පක්ෂ භේද තුළ සිර වී ඇති අපිට විවෘත සාමුහික අවකාශයක් තනාගැනීමට ඉහත අසල්වැසියා සමඟ පැවැත්මේ සහ ආදරයේ සම්බන්ධයක් ගොඩනඟා ගැනීම අතිශයින් තීරණාත්මක ය. ද්‍රවිඩ මෙන්ම මුස්ලිම් අසල්වැසියා තුළ ඇති ‘භයානක’ යැයි අපි පරිකල්පනය කරන ‘ගුප්ත අන්තර්ගතය’ අපි දෙවියන්ට බාර දී ‘අනෙකාගේ ප‍්‍රමෝදය’ පිළිබඳව ඇති කුකුස විවෘත අවකාශයක විමුක්ති මාර්ගය සඳහා ගමන් කරද්දී ද්විතීයික ලෙස සැලකිය යුතු ය. දේශපාලන විමුක්තිය සැම විට ම ප‍්‍රමුඛ වන අතර අනෙකාගේ අතිරික්ත ප‍්‍රමෝදය ද්විතීයික වැදගත්කමක් දරයි. එනයින් අසල්වැසියාගේ කුඩා වස්තුව (Object a) වෙනුවට අවධාරණය විය යුත්තේ සංකේතීය කලාපය තුළ දියත් කළ හැකි දේශපාලනික සාමූහිකත්වය යි.

මේ අර්ථයෙන් අපි මෙම ලිපියේ මුල් අවස්ථාවේ පෙන්වා දුන් ජනප‍්‍රිය චරිතයේ ‘අභ්‍යන්තර ආත්මීය කුණු‘ ජංගම දුරකථන වීඩියෝවක් ඔස්සේ තමා විසින් ම වමාරනු ලැබීම (Spilling out all the dirt of his inner life) (කියවන්න මීට පෙර සඳහන් කළ ජිජැක්ගේ Neighbors and Other Monsters නම් ලිපියේ 135 වන පිටුව) තුළින් අපිට විද්‍යමාන වුණු ඔහුගේ ‘කුඩා වස්තුව’ හෙවත් ආත්මීය ගුප්ත ෆැන්ටාස්මතිකය අපි සාමූහික බව ඉදිරියේ අමතක කර දැමිය යුතු ය. නමුත් අපි අසල්වැසියාට ආදරය කරන්නේ ද ඉහත ගුප්ත බව හරහා ම බව අපි අමතක නොකළ යුතු ය. මෙම පූර්වජ ක්ෂිතිමය තුවාලය (Primordial traumatic wound) ඔහුගේ ආත්මයේ කේන්ද්‍රය ලෙස ගතහොත් අපි ඔහුට ආශා කරන්නේ ද ඉහත හැඟවුම්කරණය කරගත නොහැකි ‘ගුප්ත අභ්‍යන්තර බව’ පදනම් කරගෙන බව අමතක කළහොත් අපි මූලික සාන්දෘෂ්ටික – දේශපාලනික වරදක් කළ බවට පත් වන්නෙමු. ඒ අර්ථයෙන් අපි අනෙකාගේ ‘ගුප්ත භයානක අන්තර්ගතය’ මකා දැමීමට හෝ විනාශ කර දැමීමට උත්සාහ කිරීම නිකොටින් නැති සිගරට් නිෂ්පාදනය කිරීමට  සමාන වන්නෙමු. සෞඛ්‍ය සම්පන්න විය හැකි වුව ද අප එවිට බොන්නේ සිගරට් නම් නොවේ!

 

Mahesh Hapugoda

සාකච්ඡාව – ජයසිරි අලවත්ත

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...