තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘නිනෝ ලයිව්’ (2011) චිත්‍රපටය දෙවියන් මියගිය ලෝකයක තමාගේ ජීවිතයෙන් විගලිත වූවෙකු පිළිබඳ කතාවකි. එහෙත් චිත්‍රපටය ආරම්භයේ තිරය මත පතිත වන වාක්‍ය ඛණ්ඩයක තීන්දු ලබා දීම දෙවියන්ට වෙන්කර ඇති බව සඳහන් වේ. දෙවියන් මියගොස් ඇති බව නිර්මාණය තුළ ගොඩනැඟෙන විට තමා තවදුරටත් සමාජ  අපේක්ෂාවන් අනුගමනය කරන බව දැක්වීම බොහෝ දෙනා වටහාගන්නේ සමාජය තුළ නොඉඳ ඉඳීමක් ලෙස ය. නමුත් අප වටහා ගත යුත්තේ එවැනි අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීමක් යනු කෙනෙකු මුග්ධ අනෙකෙකු හරහා විශ්වාස කිරීමක් බව ය. නොඉඳ ඉඳීමක් වෙනුවට එම ආත්මමූලිකත්වය ස්ථාපිත සමාජ සම්මත කෙරෙහි කිසිදාටත් වඩා රැඩිකල් ලෙස අනුකූලතාවක් දක්වයි. මන්ද යත් පසු නූතන ධනවාදයේ සංස්කෘතික තර්කනය තුළ පරම සංකේතීය නීතිය වෙනුවට අපට නීති සමූහයකට [Symbolic unwritten rules] අනුකූල විය යුතුව තිබීමයි. එහිදී මාධ්‍ය හා අන්තර්ජාල අවකාශය මඟින් පිළිබිඹු කරන පරිකල්පිත පරමාදර්ශ (රූපලාවන්‍ය, ශරීර වර්ධනය, ඉක්මනින් ධනවත් වීම, සමාජ සාර්ථක භාවය, Facebook ආදිය) මඟින් ඉහත සඳහන් නීති සමූහය සකස් වේ. ධනවාදය මඟින් ලබාදෙන ලුබ්ධිමය පගාව ද එයයි.              

‘නිනෝ ලයිව්’ චිත්‍රපටයේ කතා සාරාංශය පහත පරිදි ය.

            තමන් ගෙවමින් සිටින ජීවිතය රූපවාහිනි ප්‍රේක්ෂාවක් බව වටහා ගන්නා නිනෝ (නිනෝ ජයකොඩි) නැමැති තරුණයා ඉන් පළා යයි. නිනෝ ලයිව්නැමැති මෙම තථ්‍යසමාන ප්‍රසංගයේ නිෂ්පාදක වරයා වන්නේ නිනෝගේ පියා වන නෝමන් (ස්ට්ව් ඩී ලා සිල්වා) ය. නිනෝගේ පළා යාමෙන් පසුව සිත්තැවුලෙන් සිටින නෝමන්ට “නිනෝ ලයිව්“ රසිකාවියක් වන රුචී (උමාලි තිලකරත්න) අහම්බයකින් හමු වේ. එම හමුවීමෙන් පසු රුචී හා ඇගේ පෙම්වතා වන නිශාන්ත (දසුන් පතිරණ) යොදා ගනිමින් නෝමන් “නිනෝ ලයිව්“ ප්‍රසංගයේ දෙවන අදියර නිෂ්පාදනය කිරීමට පෙළඹේ.

            බැලු බැල්මට මෙම චිත්‍රපටය පීටර් වෙයර් අධ්‍යක්ෂණය කළ “The Truman show” (1990) චිත්‍රපටයේ අභාසය ලබා ඇති බව පෙනේ. ඒ පිළිබදව ‘නිනෝ ලයිව්’ චිත්‍රපට කතාව තුළ ද ඉඟි පවතී. “The Truman show“ චිත්‍රපටයේ කතාවට අනුව එහි ප්‍රධාන භූමිකාව වන ටෘමන් බර්බෑන්ක් (ජිම් කේරී) තමා පැය 24 පුරා විකාශනය වන රූපවාහිනි වැඩසටහනක වීරයාගේ භූමිකාවට පණපොවමින් සිටින බව වටහා ගනී. “නිනෝ ලයිව්“ හි නිනෝ මෙන් ටෘමන් ද එම වැඩසටහනින් පළා යයි. ඔහු එසේ පළා යන්නේ එම සීමාසහිත අවකාශයෙන් පිටත සැබෑ යථාර්ථය පවතින්නේ ය යන විශ්වාසය මත ය.

            මෙම චිත්‍රපට දෙකම අන්තර්ගතමය ලෙස සමාන්තර බවක් පෙන්වුව ද  කතා වස්තුවල ව්‍යුහ තුළ පවතින්නේ එකිනෙකට පටහැනි බවකි.  “The Truman show“ හි කතාව ප්‍රබන්ධය හා යථාර්ථය ලෙස  දෙකට පැලෙන්නේ ටෘමන්ට පියවරුන් දෙදෙනෙක් සිටින බැවිනි. එක් අයෙක් ඔහුගේ ජීව විද්‍යාත්මක සංකේතීය පියා ය. අනෙකා රූපවාහිනී වැඩසටහන මඟින් ඔහුව මෙහෙයවන එහි නිෂ්පාදක වන මතිභ්‍රමවාදී  (Paranoiac)  යථමය පියා ය. ටෘමන්ව  අවෘත අවකාශයක සිර කර රැකබලා ගන්නේ ඔහු ය. ටෘමන්ට එම අවෘත අවකාශයෙන් පළා යාමට පෙළඹවීමේ අනුබලය ලැබෙන්නේ සංකේත පියාගේ අදෘශමාන භූමිකාව නිසා ය. නමුත්නිනෝ ලයිව්චිත්‍රපටයේ නිනෝගේ ජීව විද්‍යාත්මක පියා හා රූපවාහිනි ප්‍රසංගය මෙහෙවන නිෂ්පාදකවරයා (මතිභ්‍රමවාදී බෙලහීන පියා) එකම අයෙකි. එබැවින් මෙම චිත්‍රපටයේ නිනෝගේ ක්‍රියාව “The Truman show“  හි ටෘමන්ගේ ක්‍රියාව පරිදි ප්‍රබන්ධය හැර දමා සැබෑ ලෝකයට පළා යාමක් ලෙස නම් කරමින් විශ්ලේෂණය කිරීම චිත්‍රපටයේ දෘෂ්ටිවාදයට අනුගත වීමකි. දෙවියන් මිය ගිය ලෝකයක ව්‍යාජ ටෙලිවිෂන් දෙවිවරු අදහන පසුබිමක මෙහි පවතින්නේ විකල්ප යථාර්ථය පිළිබඳ අදහසකි. චිත්‍රපට ආඛ්‍යානය තුළට රූපවාහිනි ආඛ්‍යානයක් අන්තර්ගත  වන්නේ විකල්ප යථාර්ථය ලෙසින් ය. වෙනත් අයුරකින්  සඳහන් කරන්නේ නම් මෙහි පවතින්නේ යථාර්ථයේ ප්‍රබන්ධමය මානය පෙන්වා දෙන කිස්ලොව්ස්කියානු විශ්වයකි.

            විකල්ප යථාර්ථය පිළිබඳ අදහසට අනුව අපට චිත්‍රපටය වෙන් කළ හැක්කේ නිනෝගේ ලෝකය හා නිශාන්තගේ ලෝකය ලෙසට ය. නිනෝගේ ලෝකය ෆැන්ටසියේ කලාපය නම් නිශාන්තගේ ලෝකය යනු ආශාවේ කලාපයයි. නිශාන්තගේ උභතෝකෝටික ගැටළුව වන්නේ රුචිගේ ආශාව කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ය. එබැවින් ඇගේ ආශාව හීලෑ කර ගත හැකි ප්‍රබන්ධයක් ‘නිනෝ ලයිව්’ නමින්  ඔහු ගොඩ නඟයි. රුචී වෙනුවට නුනූ (යුරේනි නෝෂිකා) මඟින් ආඛ්‍යානය තුළ පරමාදර්ශී ආදරයක් ගොඩ නැඟෙන්නේ ඒ නිසා ය. ඒ  අනුව චිත්‍රපටයේ නුනූගේ අතුරුදහන්වීම නිශාන්තගේ ප්‍රකාශනයක් බවට පරිවර්තනය කළ විට අපට මෙසේ ලිවිය හැකි ය.  “සමහරවිට මට කිසිදා හමු නොවූ ආදරවන්තිය ඔබ ය”.

            චිත්‍රපටයේ හඬ පටයට අදාළව බැලු බැල්මට චිත්‍රපටය ගොඩ නැඟෙන බව පෙනෙන්නේ නිනෝගේ ආඛ්‍යානයක් ලෙසිනි. චිත්‍රපටයේ තිර කාලය පුරාම නිනෝගේ ආත්ම කථනය අපට ඇසෙයි. නිනෝගේ භූමිකාව තිරයෙන් වියැකුණු පසු ද ඔහු හඬක් ලෙසින් චිත්‍රපටය තුළ (ආශාවේ කොටසේදී හැර) ජීවමාන වෙයි. චිත්‍රපටයේ රූප සමෝධානය හා හඬ පටය අතර දයලෙක්තික ආතතියක් ඇති වන්නේ ද මේ නිසා ය. චිත්‍රපටයේ හඬ නිනෝගේ ආත්මමූලික දෘෂ්ටිකෝණය අනුව ගොඩ නැඟුණ ද චිත්‍රපටයේ රූප අපට දක්නට ලැබෙන්නේ වාස්තවික දෘෂ්ටිකෝණයෙනි. එම වාස්තවික දර්ශන නිනෝ අපට විස්තර කරයි. අනෙකුත් චිත්‍රපට වල මෙන් චරිත ගොඩ නැඟීම හා ආඛ්‍යානය අතර සම්බන්ධය වෙනුවට මෙම චිත්‍රපටයේ රූප සමෝධානය හා හඬ මඟින් චිත්‍රපටයේ අර්ථ සම්පාදනය වේ. එමඟින් පොදු අවකාශයක් වෙනුවට ගොඩ නැඟෙන්නේ හුදෙකලා බවකි.          එනම් පශ්චාත් ගොලීය ධනවාදය තුළ අපගේම ලෝකයෙන් අප කෙතරම් පිටමංවී ඇත්ද යන්නයි. නිනෝගේ ආත්ම කථනයක් ලෙස චිත්‍රපටයේ මුල සිට අග දක්වාම අපට ඇසෙන්නේ එම පරාරෝපණයේ හුදෙකලා බවයි. නමුත් එම ආත්ම කථනයේ පවතින හු‍දෙකලා බව පරයන සැහැල්ලු බව හා රුප වල පවතින හුදෙකලා බව පරයන සුන්දරත්වය අපව නොමඟ යවයි. එබැවින් සමස්ථ චිත්‍රපටය තුළ පවතින්නේ ඇතුළතින් කඩා වැටුණු ජීවිත වල මතුපිට සුන්දරත්වයයි. මෙහි රූපය ද්වීතියික වී කථනය මූලික වන බවක් දැනෙන්නේ ද එබැවිනි. සැහැල්ලු බව තුළ පවතින හු‍දෙකලා බව පිළිබඳ ඉඟියක් අපට යුරේනි නොෂිකා මඟින් ලබා ගත හැකි ය. ඇය එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශ කළේ වරෙක ඇගේ සාරියේ කටුවක් ගලවා ගැනීමට කෙනෙකු සොයා ගැනීම සඳහා නාරහේන්පිට සිට බොරලැස්ගමුව දක්වා යෑමට සිදු වූ බවයි.

            මෙම චිත්‍රපටයේ රූපයේ සහ හඬෙහි පරස්පරය වටහා ගැනීම සඳහා අප චිත්‍රපටයේ ආරම්භය වෙත යා යුතු ය. චිත්‍රපටය ආරම්භයේ නිෂ්පාදන තොරතුරු තිරය මත පතිත වන විට අපට ඇසෙන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවකගේ හඬකි. එනම්, චිත්‍රපටයේ ආරම්භයේදීම හඬ හා රූපය එකිනෙකින් වෙන්කර ඇත. එම ප්‍රවෘත්ති මඟින් කියවෙන්නේ නැගෙනහිර පළාතේ ඉදිවන දැවැන්ත චිත්‍රාගාරයක් පිළිබඳව ය. ඒ තුළ ද ප්‍රබන්ධයක් ගොඩ නැඟිය හැකිවීමේ විභවයක් පිළිබඳ පූර්ව ඉඟියක් පවතී. එම නිෂ්පාදන තොරතුරු හා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු තිරය එක්වරම කළු පැහැ ගැන්වෙන අතර තප්පර කිහිපයකට පසු “හායි මගේ නම නිනෝ, නිනෝ කිව්වම ටිකක් අමුතුයි වගේ නේද?” යනුවෙන් නිනෝ ගේ ආත්ම කථනය (ආඛ්‍යානය මත නිනෝගේ හඬ) අසන්නට ලැබේ. නිනෝ තමා කවුදැයි පැහැදිලි කිරීමෙන් පසු  චිත්‍රපට ආඛ්‍යානය තුළ රූපවාහිනි ආඛ්‍යානයක් ලෙසින් ‘නිනෝ ලයිව්’ ආරම්භ වේ. කතා වස්තුව එලෙස ද්විත්ව ස්වරූප ගැනීම මඟින් ප්‍රබන්ධය තුළ තවත් ප්‍රබන්ධයක් ගොඩ නැඟෙයි. එනම්, නිශාන්තගේ ෆැන්ටසි ලෝකය ලෙසින් නිනෝගේ ලෝකය ගොඩ නැඟෙයි. මෙහිදී නිනෝගේ ආත්ම කථනය ආරම්භ වන මුල් තත්පර කිහිපයේදී තිරය කළු පැහැ ගැන්වීම මඟින් මොහොතකට එය අදිසි (කර්තෘ අඥාත) කථනයක් බවට පත් වේ. එහිදී හඬ පුද්ගල ශරීරයෙන් වෙන් වේ.

            මිචෙල් චියොන්ට අනුව හිමිකාරීත්වයක් නොපෙනෙන හඬ මඟින් ගුප්ත සර්වඥතා  ඥානයක් සහිත අයෙකු පිළිබඳ අදහසක් ජනිත කරයි. මෙම ශරීරය රහිත හඬ රූපයට හෝ ශබ්දයට මූලිකත්වයක් නොදෙන අතර රූපය හා ශබ්දය අතර විසම්බන්ධය පෙන්වා දෙයි. එමෙන්ම එමඟින් ශබ්ද මූලය කැමරාවට හසු නොවන තැනක පවතින බවට වන හැගීම ද ගොඩ නඟයි. එය තිරයෙන් පිටත රූපරාමුවෙන් ඔබ්බෙහි පවතින්නේ ය යන හැඟීම ලබා දෙන අතරම එමඟින් තිරය මත පතිත වන ප්‍රබන්ධ ලෝකයට වඩා වැඩි යමක් පවතින්නේ ය යන අදහස ද ලබා දේ. එබැවින් චිත්‍රපටය ආරම්භයේදීම අප දකින්නට යන්නේ හඬ මඟින් අපව මුලා කරවන ප්‍රබන්ධයක් ය යන ඉඟිය ඒ තුළ පවතියි. නමුත් එම හඬ නිනෝගේ රූපය (ශරීරය) සමඟ බද්ධ කිරීමත් සමඟ හඬෙහි පැවැති ගුප්ත, නොකිලිටි බව බිඳ වැටෙන අතරම එමඟින් එය බෙලහීන යමක් බවට පත් වේ.

             ඒ අයුරින් තප්පර ගණනක්  තුළ හඬෙහි සර්වඥතාබව බිඳ වැටී එය බෙලහීන හඬක් බවට පරිවර්තනය වීමත් සමඟ නිනෝ (සර්වඥතාවය) ලෙසින් අපට සැබැවින්ම ආමන්ත්‍රණය කරන්නේ දුෂ්කර ජීවිතයකින් පීඩා විදින හා තම පෙම්වතියගේ ආශාව කියවා ගත නොහැකිව ලතැවෙන නිශාන්තගේ දුබල හඬ බව තේරුම් කරවයි. ඒ අනුව අප වටහා ගත යුත්තේ සර්වඥතා බව ඇති වන්නේ බෙලහීනතාවයේ ප්‍රතිඵලයක් ලෙස බව ය. එමෙන්ම සර්වඥතාබව ෆැලික හැඟවුම්කාරකය පිළිබඳ සංඥාවක් වුව ද මෙම චිත්‍රපටයේ සංකේතීය පියා වෙනුවට නිරූපනය වන බෙලහීන පීතෘ හැඟවුම්කාරක නිසාම එම සර්වඥතාව බවට පැවැත්මක් නොමැති වෙයි. මෙම චිත්‍රපටයේ ද “The Truman show“  හි මෙන් ප්‍රබන්ධය හා යථාර්ථය ලෙස ආඛ්‍යානය දෙපළු වුව ද මෙහි සිදු වන්නේ යථාර්ථයෙන් ප්‍රබන්ධයට (විකල්ප යථාර්ථයට) පලා යාමක් මිස ප්‍රබන්ධයෙන් යථාර්ථයට පලා යාමක් නොවේ.  

            ‘නිනෝ ලයිව්’ හි නිශාන්ත, නෝමන් වැනි මතිභ්‍රමවාදී පියෙකු ෆැන්ටසිකරණය කරන්නාක් මෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මඟින් තහවුරු වූයේ පශ්චාත් නූතන ලාංකේය ආත්මය ෆැන්ටසිකරණය කරන්නේ මතිභ්‍රමවාදී, සංරක්ෂක, යථමය පියෙකු බව ද?

පුෂ්පජිත්-

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මඟින් තහවුරු වූයේ පශ්චාත් නූතන ලාංකේය ආත්මය ෆැන්ටසිකරණය කරන්නේ මතිභ්‍රමවාදී, සංරක්ෂක, යථමය පියෙකු බව ද?” – ඒක එහෙම යැයි මොහොතකට සිතුවොත් ඊළඟට අපිට මුණගැසෙන ප්‍රශ්ණයවන්නේ ජිප්සීස් සුනිල් පෙරේරාගේ “එහෙම වෙන්නේ ඇයි?” කියන ප්‍රශ්ණය. මන් කැමතියි පුෂ්පජිත් මේ ප්‍රශ්ණයට දෙන පිළිතුර දැනගන්න. මම ප්‍රශ්ණය සම්පුර්ණයෙන් ඇහැව්වොත් ” පශ්චාත් නූතන ලාංකේය ආත්මය මතිභ්‍රමවාදී, සංරක්ෂක, යථමය පියෙකු ෆැන්ටසිකරණය කරන්නේ ඇයි?”

    මිට අමතරව මගේ අනෙකුත් ප්‍රශ්ණ වන්නේ:
    1) පශ්චාත් නූතන අමෙරෙකානු ආත්මය පසුගිය ජනාධිපති වරණයේදී ෆැන්ටසිකරණය කරන ලද්දේත් මෙවන්ම පියෙකු නේද?
    2) පුෂ්පජිත් හිතන හැටියට පශ්චාත් නූතන ලාංකේය ආත්මය ප්‍රංශයේ Macron වැනි “පියෙකු” ෆැන්ටසි කරණය කරනවා කියන්නේ දැන් තිබෙනවාට වඩා “දියුණු “ තත්වයක්ද? එහෙමනම් අමෙරෙකානු ආත්මය අද සිටින්නේ ප්‍රංශ ආත්මයට වඩා පිටුපසින්ද?
    3) එහෙමනම් එතනට (ප්‍රංශ ආත්මයේ තැනට)පශ්චාත් නූතන ලාංකේය ආත්මය යන්නටනම් සිදුවිය යුතු විපර්යාසය කුමක්ද?, එය පටන්ගත යුත්තේ කොතනින්ද? කොහොමද?
    4) පශ්චාත් නූතන ඉන්දියානු ආත්මය ගැන පුෂ්පජිත් මොකද හිතන්නේ?
    5) මේ “ෆැන්ටසි කරණයේ” පොදු සාධකයක් (common denominator)තියනවද? තියෙනවනම් ඒ මොකක්ද?

Comments are closed.