ලෝකය වෙනස් කිරීම පිළිබඳ ගැටලුව ගැට ගැසී ඇත්තේ, ප්‍රායෝගිකත්වය නම් මිනිස් කලාපය තුළ යැයි විප්ලවවාදීන් විශ්වාස කරති. තමන් කරන්නේ ‘දේශපාලනය’ යැයි තදින් අදහන මිනිසුන් මගේ න්‍යායික අවලෝකනය සලකා බලන්නේ, කලාත්මක සහ සෞන්දර්ය මානයක දෘෂ්ටිකෝණයෙනි. මේ මෑතකදීත්, සාහිත්‍යයට සහ කලාවට උනන්දුවක් දක්වන මගේ දේශපාලන ප්‍රේක්ෂිකාවක් මගේ දේශපාලන රචනා සලකනු ලැබුවේ කලාත්මක නිෂ්පාදන හැටියට ය. ඇයට අනුව, මම දේශපාලකයෙකුට වඩා කලාකරුවෙකි. මට මතක හැටියට, මෙම භෞතීෂ්මකරණය 2004 වර්ෂයට පෙර මා සමඟ කිට්ටුවෙන් වැඩ කළ කිහිපදෙනෙක් ද ප්‍රකාශ කරනු ලැබුවා මතකය.

                 1917 වර්ෂයේ ‘බොල්ෂෙවික් විප්ලවය’ ප්‍රාග්ධනයට එරෙහිව ජයගත් පසුව ලෙනින් ඇතුළුව බොල්ෂෙවික් නායකයන්ගේ මූලික ගැටලුව වූයේ, ‘නව මිනිසා’ පිළිබඳ ගැටලුවයි. පැරණි සමාජ මූලයන්ගෙන් උන්මුල ලෙස ගැල වී ගිය ‘අලුත්ම මිනිසෙකු’ නිර්මාණය කිරීම පිළිබඳ අභියෝගය ඔවුන්ගේ උර මතට වැටිණි.

               මිනිසාගේ වහල්භාවය පදනම් වන්නේ ශරීරය මත යැයි නිගමනය කළ ඔවුහු බුර්ෂුවා පන්තියේ අවසන් ගිමන්හල වන ‘ලිංගිකත්වයෙන්’ විප්ලවවාදී මිනිසා මුදා ගැනීමේ විජයග්‍රාහී මාවත වැටී ඇත්තේ තාක්ෂණය ඔස්සේ යැයි විශ්වාස කරන ලදී. ඒ යුගයේ දී, ඩිජිටල් තාක්ෂණය සොයා ගෙන තිබුණේ නැත. ආන්ද්‍රේ ප්ලාටනොව්ගේ නවකතාවලින් නිරූපණය වූයේ, ප්‍රතිලිංගික (Anti-sex) විප්ලවය පිළිබඳ අදහසකි. (ලංකාවෙන් රුසියාවට ගොස් යළි ලංකාවට පැමිණි සුනිල් විජේසිරිවර්ධනගේ සිට සුනිල් බැස්ටියන් දක්වා පුළුල් ක්ෂේත්‍රයක පශ්චාත්-විප්ලවවාදී බුද්ධිමතුන්ගේ කතිකාව තුළ අඩංගු වූයේ, මිනිස් සබඳතා ලිංගිකකරණය පිළිබඳ බටහිර සංවාදය මිස බොල්ෂෙවිකයන්ගේ අරගලය නොවේ. 80 දශකය අග දී, විප්ලවවාදී දේශපාලනයට ප්‍රතිලිංගික අදහසක් නැතහොත් Anti-sex අදහසක් ගෙන ආවේ රොහාන් පෙරේරාය. ඒ නිසා, ස්ටැලින්වාදය තුළ පැවති මේ ‘ලිංගික විරෝධී’ මතය වෙනුවට සුනිල්ලා ප්‍රචාරය කළ කතිකාව ලිංගිකය ප්‍රතිශෲංගාරකරණය කිරීමකි. මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය අයට ‘විභවිය’ ආශ්‍රිත ලේඛන පරීක්ෂා කිරීමෙන් ගවේෂණය කළ හැකි ය. විප්ලවය සමඟ ලිංගික නිදහස යන සටන් පාඨය බටහිර යුරෝපයේ ශිෂ්‍ය දේශපාලනය සමඟ බද්ධ වූ ව්‍යාපාරයක් මිස ස්ටැලින්වාදයට සම්බන්ධ ප්‍රපංචයක් නොවේ. බොල්ෂෙවික ජයග්‍රහණයට පසු මතු වූ සටන් පාඨය වූයේ, ප්‍රති-ලිංගිකත්වය යි.) 

            ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදය අනුදත් සමාජවාදය යනු, ලිබරල් ලිංගික නිදහස සමඟ වම සන්ධානගත කළ ව්‍යාපාරයකි. නමුත් ලියොන් ට්‍රොට්ස්කිට අනුව සමාජවාදී නව මිනිසා යනු, තමන්ගේ හැඟීම් පාලනය කිරීමට හැකි, අධිෂ්ඨානයක් සහිත සුපිරි මිනිසෙකි. (බලන්න- සාහිත්‍ය සහ විප්ලවය) බොල්ෂෙවිකයන්ගේ ‘ලිංගිකත්වය’ පිළිබඳ දෘෂ්ටිවාදයට අනුව එහි මූලය ඇත්තේ, ශරීරයෙහි ය. එබැවින්, පැරණි මිනිසා අලුත් වනවා යනු, රුධිරය සහමුලින් ඉවත් කර නව රුධිරය එන්නත් කර ගැනීමකි. මීට ප්‍රතිපක්ෂව, ලංකාවේ සමාජවාදීන්ට අනුව ලිංගිකත්වයට පන්ති භේදයක් හෝ ලිංගික වෙනසක් නැත. සියලු දෙනා ලිංගික දෙයට ආශා කරති. අවම වශයෙන්, එහි දෘෂ්ටිවාදී අඩංගුව ගැනවත් ලංකාවේ සමාජවාදීන් කතා කරන්නේ නැත. එය රහසක් වූ තරමට එහි රසය වැඩිය. මේ අදහස ‘ජනතා විමුක්ති පෙරමුණ’ හොඳින් තලු මරයි. මෙහි අනෙක් පැත්ත වන්නේ, රුසියාවේ එවකට පැවති ලිංගික නිදහස ගැන කතා කිරීමයි. නමුත් දේශපාලනයේ දී බොල්ෂෙවිකයන් ‘ලිංගික-විරෝධී’ වීම ගැන සංවාදයක් ලංකාවේ නැත. ‘ලිංගිකත්වය’ තුළ පවතින ප්‍රතිවිප්ලවීය අදහස් ගම්‍ය වීම ගැන කතා කරන (ආගමික නොවන අර්ථයෙන්) සමාජවාදියෙක් මට හමු නොවී ය. ලංකාවේ වම ඇමිබාකරණය වන්නේ, ලිංගික කතිකාව හරහා බව විශ්වාස කරන කෙනෙක් ද නැත. ඔවුන් සෑම විටම කතා කරන්නේ, ‘ප්‍රායෝගික බව’ මුත් හොරෙන් බඩු ගැසීම ගැන දන්නේම නැති බබාලාය. ෆුකෝවාදී අර්ථයෙන් ගතහොත්, ලංකාවේ වාමාංශික ලිංගිකත්වය යනු, පාපොච්චාරණ කේන්ද්‍රීය එකකි. ‘හමුදාව මට ලිංගික අතවර කරා’ යැයි කියන්නේ මෙවන් මහත්වරුය. ඔවුන්ගේ ‘විනෝද-ආර්ථිකය’ වරදකාරීත්වය මත පදනම් වෙයි.

            නවසිය විසි ගණන්වල දී බොල්ෂෙවික රුසියාවේ ස්ටැලින්වාදී යුතෝපියාව වූයේ, ලිංගිකත්වයෙන් පාලනය නොවන මිනිසෙකු නිර්මාණය කිරීම පිළිබඳ අදහසයි. එය ඔවුන්ට අනුව නව-මනුෂ්‍යත්වයකි. ඒ සඳහා, ඔවුහු තාක්ෂණය භාවිතා කිරීම අරඹා තිබුණි. (සමකාලීන ධනවාදී ලෝකය තුළ ද තාක්ෂණය හරහා ශාරීරික අත්දැකීම, යථාර්ථය වැනි ප්‍රපංචවල පැවති සාරය ඉවත් කිරීමක් සමපේක්ෂණය කරයි.) මා කියන්නේ රුසියාවේ පැවති මෙම සංවාදය ට්‍රොට්ස්කිවාදීන්ට මෙන්ම ස්ටාලින්වාදීටත් මගහැරී ගියේ මන්ද යන්නය. විප්ලවය අපට ගෙන එන්නේ ‘අලුත් ආර්ථිකයක්’ පමණක් නොව ‘නව – ලිංගිකත්වයක්’ ද රැගෙන එයි. ලංකාවේ සමාජවාදීන් ‘තිබෙන ලිංගිකත්වයේ’ ගතානුගතිකත්වය එලෙසම රඳවාගෙන දේශපාලන විප්ලවයක් සිදු කිරීමට තටමයි. X  දේශපාලනය එන්නේ මෙම මංසන්ධියේදී ය.

                 රොහාන් පෙරේරා හරහා ලංකාවට 90 දශකය මුල වන විට, ප්‍රංශ රැඩිකල් ස්ත්‍රීවාදය පැමිණි මුත් ස්ටැලින්වාදයේ පරමාදර්ශය වූ ලිංගිකත්වයෙන් තොර නව-මනුෂ්‍යයා යන පෙරටුගාමී අදහස ලංකාවට ආවේ නැත. Facebook වැනි සමාගම් විසින් අද දවසේ මිනිසාගේ අන්තරස්ථ ජීවිතය (inner life) පාලනය කිරීම පිළිබඳ සරල හෝ අදහසක් ලංකාවේ ගතානුගතික වාමාංශිකයන්ට නැතිවීම ගැන අප පුදුම විය යුතු නැත. ඔවුන්ට අනුව මිනිසාට අභ්‍යන්තරික, රහස්, අවිඥාණක ජීවිතයක් මිනිසුන්ට නොමැත. [‘ලිංගිකත්වය’ තාක්ෂණය හා බද්ධ වීමෙන් සිදු වන්නේ, විකාරයකි. ]

              බොල්ෂෙවිකයන්ගෙන් අප X දේශපාලනය වෙතට ආගමනය වන්නේ නම් ඔවුන්ට වෙනස්ව අප ලිංගිකත්වය සහ ලිංගික ආශා වටහා ගන්නේ ‘ශරීරය’ මත පදනම් වෙමින් නොව ‘හැඟවුම්කාරකය’ (භාෂාව) හරහා ය. මේ අර්ථයෙන් ගත් විට ශිෂ්ටාචාරය යනු, ‘පරිමිත මිනිසා’ භාෂාව පාදක කොටගෙන අපරිමිත විනෝදයක් බලාපොරොත්තුවන ශික්ෂණයකි. මේ හේතුව නිසා දේශපාලනයට සහභාගි වන්නේ, සබුද්ධික මිනිසෙක් පමණක් නොවේ. කරන වැඩ කඩාකප්පල් කර ගන්නා, ස්වයං විනාශයට මඟ පාදන අවිඥාණක ආත්මයක් ද (inhuman subject) දේශපාලනයට සහභාගි වෙයි. මේ අර්ථයෙන්, සෝභිත හිමියන් හමුවට යන අය එසේ යන්නෙම වැඩේ අසාර්ථක කරගන්නටය. එය ‘සිරිසේන-රනිල්’ පසුව අසාර්ථක කරා නොව ඊට පෙර ම එහි අසාර්ථකභාවය නම් අඩංගුව පැවැතියේ ය. උදා:- අප චිත්‍රපටියක් නැරඹීමට යාමට පෙර සිටම එය නැරඹිය යුතු ආකාරය අධ්‍යක්ෂකවරයා ව්‍යුහගත කර අවසානය. පැබ්ලෝ නෙරූඩාගේ ලංකා ගමන පාදක කොටගෙන දැනට වැඩ නිම වී ඇති හඳගමගේ අලුත් චිත්‍රපටය මා නැරඹිය යුතු ආකාරය දැනටමත් මගේ විනෝදය මගින් ව්‍යුහගත වී ඇත. මට අවශ්‍ය වන්නේ, දුඹුරු පැහැති සමක් සහිත ‘රිතිකා කොඩිතුවක්කු’ සුද්දෙකු සමඟ පිස්සුවෙන් රමණයේ යෙදෙනවා දකින්නටය. මේ මගේ ෆැන්ටසි දර්ශනය සහ ඇත්ත චිත්‍රපටය අතර තිබෙනු ඇත්තේ යම් පරතරයකි. චිත්‍රපටය සාර්ථක වනු ඇත්තේ, අධ්‍යක්ෂවරයා මේ ෆැන්ටසි රාමුව මෙහෙයවන ආකෘතිය අනුව ය.

                දැන් අපි අපේ මුඛ්‍ය ගැටලුවට ප්‍රවේශ වෙමු. X දේශපාලනයේ ප්‍රධාන සංවිධායකයා හැටියට මා එය සංවිධානය කළේ කෙසේ ද? ඒ ගැන යම් නිදර්ශනයක් දිය හැකි ද? එය යම් න්‍යායක් මත පදනම් වෙයි ද? එය ජිජැක්ගේ න්‍යායික දර්ශනය තහවුරු කිරීමක් ද?

                 ඒ සඳහා අවශ්‍ය මූලාකෘතිය (prototype) ඔබට හඳුන්වා දීමට මම උත්සාහ කරමි. මා හැර අනෙකුත් වාම සංවිධායකයන් මිනිසුන් සහ ගැහැණුන් (?) දේශපාලනයට එන්නේ සමාජ ගැටලු නිසා බව ඔබට සපථ කරනු ඇත. අංශුවක අඩුවක් නැතිව විප්ලවවාදියෙකු වූ ‘මහදැනමුත්තා සහෝදරයා’ මේ අදහස 2005 දෙසැම්බර් අග දී මෙසේ සාරාංශගත කරන ලදී.

      “මෙතැනදී JVPයට නැති සමාජ සම්බන්ධයක් අපට මුණගැහෙනවා. ඒ තමයි, ‘දැනුම’ ලබා දීම. මේ දේශපාලන අවකාශය හරහා සංවිධාන අවකාශයට කෙනෙක් එන්නේ සමාජ ප්‍රශ්නවල (දරිද්‍රතාවය, නව යටත්විජිතවාදය, ඉන්දීය විරෝධය, නිවාස හිඟකම, විරැකියාව, ජාතිවාදය, පරිසර විනාශය, M.C.C විරෝධය) පැටලීලා නෙවි දැනුමේ ආධිපත්‍යයට යටත් වෙලා ය.

       JVP අවකාශයේ සැරිසරන ‘අවම-දැනුම’ සහිත පක්ෂ සංවිධායකයාට, දේශපාලකයාට, අරගලකරුවාට අදාළව ‘දැනුම’ ඌණ සංවර්ධිත වුණාට X දේශපාලනයට එන අරගලකරුවාව අධිසංවර්ධිත ‘බලය සහ වසඟය’ සහිත දැනුම විසින් දැඩි අන්ධකාරයක් වෙතට රැගෙන යනවා. ඉහත හේතුව නිසා X දේශපාලනය තුළ සිටින අරගලකරුවා, දේශපාලකයා ද්විගුණනය වෙනවා. (බාහිර ලෝකය විසින් තමා දන්නවා ඇතැයි සිතන දැනුම සමඟ අරගලකරුවාම අනන්‍ය වෙනවා. උදා:- සුමිත් චාමින්ද . / නැතහොත් මේ දැනුම ගැන පැමිණිලි කරන්නෙක් හැදෙනවා. උදා:- ප්‍රභා මනුරත්න.) එක පැත්තකින්, X සංවිධායකයා දැනුම සමඟ තදාත්මික වෙනවා. අනෙක් පැත්තෙන්, දැනුමෙන් සන්නද්ධ X  සංවිධායකයාව පාලනය කිරීමේ මෙවලම් සංවිධානය සතුව නැහැ. තමන් දැනටමත් පුරුදු වී සිටින දෙයම ප්‍රසාරණය කිරීම නෙවි සංවිධානයක් කළ යුත්තේ. (උදා:- සුමිත්ව තෝරා ගැනීම නෙවි ගැටලුව. ඔහුට කොහොමටත් හුරුපුරුදු පොත් කියවීම තුළම ඔහුට අලුත් පොත් ලබා දීම.) ඊට පරස්පරව, සංවිධානය ඔහුගේ පුරුද්ද කඩන්න ඕනෙ.” 

 

                 මහදැනමුත්තා සහෝදරයාගේ ඉහත මාර්ගෝපදේශ X දේශපාලනය ලෙස භාර ගැනීම ඉතාම විනීත ලෙස 2004ට පසු මුල් යුගයේම මා ප්‍රතික්ෂේප කළේ මන්ද? සංවිධානයක බල රටාව ගැන ඉහත විවේචනය අදාළ වන්නේ, ශිෂ්‍ය දේශපාලනයට ය. ධනවාදයට එරෙහි දේශපාලනයේදී ඉහත මාර්ගෝපදේශ මනස්ගාත වෙයි. ඒ මන්ද?

                 ‘දැනුම සහ බලය’ යන සංකල්ප කට්ටලය සමාජ විශ්ලේෂණයේ දී මුලින්ම තාර්කික තලයක යොදා ගත්තේ, මිචෙල් ෆූකෝ ය. රජතුමා ඝාතනය කර පාලකයාගේ හිස පාලනයෙන් ඉවත් කළ පසු පාලකයාගේ පුටුව හිස් විය. ඒ තැනට ඕනෑම කෙනෙක්ට ආදේශ විය හැකි ය. සීතා අරඹේපොළ සිට කාන්ති කොඩිකාර දක්වා පරාසයක පාලකයෙක් බිහි වී ඇත්තේ මේ නිසා ය. ගිලටීනයට පසුව දේශපාලනය කරන්නට ඕනෑම කෙනෙක් එයි. අභියෝගය ඇත්තේ එතැන ය.

                අපි පළමුවෙන්ම මහදැනමුත්තා සහෝදරයා ‘දැනුම’ නම් සංකල්පය වටහාගෙන ඇති ආකාරයේ ‘ගැටලුව’ සාකච්ඡා කරමු. ඔහුට අනුව ‘දැනුම’ ඔබව බලය කරා දිශානත කරනු ඇත. නමුත් ව්‍යුහවාදී සිතන්නෙකු ‘දැනුම’ ගැන සිතන්නේ කෙසේද? ව්‍යුහවාදියෙකුට අනුව ‘දැනුම’ යනු, බලය වෙත නොව ‘වසඟය’ ඔබට හඳුන්වා දෙන ප්‍රපංචයකි. උදාහරණයක් ලෙස, සුමිත් චාමින්දගේ ‘ග්‍රාම්ස්චි’ යනු, ඔහුට බලයක් ආරෝපණය කරන ප්‍රපංචයක් නොව විනෝදයක් ආරෝපණය කරන ප්‍රපංචයකි. ‘ග්‍රාම්ස්චි’ ඔහුට ශෲංගාරයකි.[Erotic] ඔහු ග්‍රාම්ස්චි නම් ප්‍රතිරූපය (image) Brand Name එකක් කොට එමගින් (ප්‍රතිරූපයේ පැල්ම හරහා) ලිංගික තෘප්තියක් ලබයි. මෙතැන දී, ලිංගිකත්වයට නව මුහුණුවරක් ආදේශ වෙයි. පශ්චාත්-නූතන පරිභෝජන සංස්කෘතිය ලිංගික විනෝදයේ සැබෑ වස්තුව ‘ප්‍රතිරූපය’ සහ ‘අත්දැකීම’ බවට ඛණ්ඩනය කර ඇත. ලිංගික විනෝදයේ සැබෑ අරමුණ විරුද්ධ ලිංගිකයාගෙන් (සංසර්ගයෙන්) ප්‍රතිරූප වන්දනාවට දිශානත වී ඇත. මහදැනමුත්තා සහෝදරයා ‘දැනුම’ ගැන දරණ අදහස නූතන සමකාලීන සමාජය මත්තේ යල්පැන ගිය අදහසකි. ලැකාන්ගේ මනෝවිශ්ලේෂණයට අනුව ‘දැනුම, බලය, විනෝදය’ නම් ත්‍රීකය ඔබව අර්ථයක් වෙතට නොව චර්යාවක් වෙතට යොමු කරයි. ඒ අර්ථයෙන්, නූතන දැනුම බලයක් නොව විනෝද වීමට අවකාශ සලසන ප්‍රතිරූපයකි. (ලිංගික සතුටට නව මුහුණුවරක් ආරෝපණය කිරීම.)

            ‘දැනුම’, විශේෂයෙන් ‘X දැනුම’ ගැන තීක්ෂණ ප්‍රශ්න කිරීමක් සහ පැමිණිලි කිරීමක් කරන්නේ, ප්‍රභා මනුරත්නයි. මේ ඇගේ පැමිණිල්ලයි.

       “අන් බොහෝ තැන්වලදී ඉතා සියුම් විශ්ලේෂකයන් වන X විශ්ලේෂකයන්ට දේශපාලනය යනු, ධනාත්මක සංකේතීය අර්ථ ගැන්වීමක් නොවන බව පෙනී නොයාමේ දේශපාලනය කුමක්ද?”

 

               මෙහි දී ප්‍රභා විසින් ‘දේශපාලනිකය’ (the political) සහ ‘දේශපාලනය’ (politics) අතර විභේදනය නොතකා හරියි. ධනාත්මක නොවන්නේ දේශපාලනිකය මිස දේශපාලනය නොවේ. ප්‍රභාගේ ගැටලුව වන්නේ, යටත් විජිතයක ජීවත් වූ  X  විශ්ලේෂකයන්ට එරෙහිව නිවැරදි අර්ථය ගලා එන්නේ ජිජැක්, ලැකාන් වැනි යටත් විජිත හිමි, කේන්ද්‍රයේ රටවලින් එන චින්තකයන්ගෙන් වීම ගැටලුවක් නොවීමයි. ඇයට අනුව ‘ධනාත්මක අන්තර්ගතයක්’ ඉදිරිපත් කිරීම අපට අකැපය. මෙහි තාර්කික අන්තය වී ඇත්තේ, ‘බටහිර’ යන මුළු අදහසම ප්‍රතික්ෂේප කරන ජාතිකවාදීන් වූ නලීන් ද සිල්වා වර්ගය ගැන ඇය නිහඬ වීමයි. ජාතිකවාදීන් අසන්නේ, ප්‍රබුද්ධ විරෝධීව මෙවැනි ප්‍රශ්නයකි. “බටහිරට විතරද අලුත් දේවල් කියන්න පුළුවන්, අපිට බැරිද?” ප්‍රභා මනුරත්න ජාතිකවාදීන්ගේ ධනාත්මකය ගැන ප්‍රශ්න කරනවා අප දැක නැත.

Politics as a enjoying factor.

                දැන් අපි අපේ ප්‍රවාදය (ධනවාදය ගැන) ඉදිරිපත් කරමු. මිනිසුන් දේශපාලනය කරන්නට එන්නේ, සබුද්ධිකතාවයට අමතරව අතිරික්ත විනෝදයක් ද සහතික කර ගනු සඳහා ය. ගැටලුව වන්නේ, ‘දැනුම, බලය, විනෝදය’ නම් ත්‍රීකය සඳහා සංවිධාන ව්‍යුහයක් සකස් කරන්නේ කෙසේ ද කියාය.

                ‘ධනවාදය’ ඊට ප්‍රථම සමාජ ක්‍රමවලින් සපුරා වෙනස්ය. ඊට එරෙහිව යන බලවේග ඊට අවශෝෂණය කර ගැනීමේ විප්ලවකාරී ශක්තියක් ධනවාදයට ඇත. ඒ නිසා, අප පළමුව කළ යුත්තේ, ධනවාදය සහ ඊට එරෙහිව යන විප්ලවවාදී බලය පිළිබඳ පසමිතුරුභාවය වටහා ගන්නට අවශ්‍ය බල සබඳතා නිරූපණය කරන රූපසටහනක් ඇඳ ගැනීමයි. අප එම රූපසටහන අඳින්නේ, ‘ජින් ජෙනේගේ’ සෞන්දර්ය අත්දැකීමක් වන ‘බැල්කනි’ නම් නාට්‍යය සතු ව්‍යුහය දේශපාලනීකරණය (බෙන්ජමියානු අර්ථයෙන්) කිරීමෙන් ය.

                   ධනේශ්වර දේශපාලන-ආර්ථික ව්‍යුහය අර්මාගේ නාට්‍යයේ ගණිකා මඩම ලෙස ගෙන ඊට බාහිරින් සිදුවන විප්ලවීය ක්‍රියාවන් තුළ ජීවත් වන ‘චරිත’ සලකා බැලිය යුත්තේ, එක්වරම ‘විප්ලවය’ තුළත් ‘ගණිකා මඩම’ තුළත් ක්‍රියා කරන චරිත ලෙස ය.

 

ඊතලය දෙපසට ගමන් කිරීම තුළින් ගම්‍ය වන්නේ, විප්ලවවාදීන් පවා අවිඥාණකව පවතින ක්‍රමයට ආශා කරන බවයි. මේ හේතුව නිසා, ‘බැල්කනි’ නාට්‍යය ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය අපට පෙන්වන ව්‍යුහය තුළ ‘බලය’ තුන් ආකාරයට ක්‍රියාත්මක වෙයි.

 

1. මිනිසුන් බහුතර දෙනා ගණිකා නිවාසයේ සාම්ප්‍රදායික බලය හිමි භූමිකා සමඟ අනන්‍ය වෙයි. ඔවුන් විනිශ්චයකරුවන්, කාදිනල්වරුන්, ජනරාල්වරුන් වීමට තදින් කැමතිය.

 

2. ගණිකා නිවාසයෙන් පිටත පවතින ලෝකයේ සාමාන්‍ය මිනිසුන් සහ කැරළි ගසන විප්ලවවාදීන් ද ගණිකා නිවාසය විසින් ”කරෝකේකරණය” කරන ලද සමාජ භූමිකා රඟ දැක්වීමට යටි සිතින් කැමතිය. මන්දයත්, ඔවුන් එම චරිත වලට නොව ගණිකා නිවාසය එම භූමිකාවලට ලබා දෙන අමතර විනෝදය ගැන සමපේක්ෂණය කරන නිසා ය. 89 අරගලය මොහොතේ විප්ලවවාදී D.M. ආනන්ද වයස 17ක සොඳුරු ගැටවර තරුණියක් සමඟ ‘අමතර-විනෝදයක්’ ලැබුවේය. එමගින්, ඔහු එකවර ‘පවතින සමාජයත්’ ඊට එරෙහි ‘විප්ලවවාදී නායකයා’ යන චරිතයත් රඟපෑවේය. ‘දැනුම’ යනු, මෙතැන සන්නද්ධ අරගලය පිළිබඳ දැනුම නොව විප්ලවවාදියෙකුට සාමාන්‍ය මිනිසෙකුට වඩා විනෝදයක් ස්ත්‍රියකගෙන් හොරෙන් ලැබිය හැකි වන බවට වූ දැනුමයි.

 

3.‘සමාජ විප්ලවය’ ජයගෙන විප්ලවවාදීන් ප්‍රංශයේ, රුසියාවේ, කියුබාවේ, නිකරගුවාවේ මෙන් පැරණි පාලක පන්තිය විනාශ කර දමයි. නමුත් ‘බලය’ පිළිබඳ අදහසට මෙතැනදී රැඩිකල් අන්තර්ගතයක් එකතු වෙයි. අලුත් විප්ලවවාදීන් ද ආශා කරන්නේ, පැරණි සමාජ ක්‍රමයේ පාලන භූමිකාවලට ය. ඒ නිසා, සමාජ විප්ලවය බිහි කරන්නේ යළිත් පරණ සමාජ ක්‍රමයමයි. විප්ලවයේ සියලු බලාපොරොත්තු ඉන්පසු බිඳ වැටෙයි. විප්ලවයට උදව් කළ සාමාන්‍ය ජනයා ඊට සාප කරති.

 

               අපගේ අලුත් සංවිධාන ව්‍යුහය නිර්මාණය කළ යුත්තේ, ධනවාදී ‘දේශපාලන- ආර්ථිකය’ සහ එය මඟින් සහතික කරන ලුබ්ධි- ආර්ථිකය ද සැලකිල්ලට ගෙන ය. තවම මෙලොව එවැනි සංවිධාන බිහි වී නැත. අප උත්සාහ කරන්නේ, එය ‘ලංකාවේ’ කරන්නට ය. ඊට ඔබ සහයෝගය දෙන්න!

Deepthi

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හොඳ ලිපියකි //3.‘සමාජ විප්ලවය’ ජයගෙන විප්ලවවාදීන් ප්‍රංශයේ, රුසියාවේ, කියුබාවේ, නිකරගුවාවේ මෙන් පැරණි පාලක පන්තිය විනාශ කර දමයි. නමුත් ‘බලය’ පිළිබඳ අදහසට මෙතැනදී රැඩිකල් අන්තර්ගතයක් එකතු වෙයි. අලුත් විප්ලවවාදීන් ද ආශා කරන්නේ, පැරණි සමාජ ක්‍රමයේ පාලන භූමිකාවලට ය. ඒ නිසා, සමාජ විප්ලවය බිහි කරන්නේ යළිත් පරණ සමාජ ක්‍රමයමයි. විප්ලවයේ සියලු බලාපොරොත්තු ඉන්පසු බිඳ වැටෙයි. විප්ලවයට උදව් කළ සාමාන්‍ය ජනයා ඊට සාප කරති.//මේ වැටහීමට මම කැමතිය.

Comments are closed.