ත්‍රිමාන වෙබ් අඩවියේ සියලු පාඨක  පාඨකාවියන්ට සහ පොදු ජනයාට සුබ අලුත් අවුරුද්දක් වේවා !

 

         ක්ලාරා සෙට්කින් නම් දේශපාලන චින්තිකාව ලෙනින් නම් විප්ලවවාදියාගේ ජීවිතයේ නැති මුඛ ගුණාංග තුනක් මෙලෙස  කැටි කළේය .

             ( 1 ) කොන්ෆියුසියස් වැනි මුනිවර භූමිකාව.

                 ( 2 ) දොන් ජුවන් වැනි  වසඟකරුවාගේ

                         භූමිකාව.

                ( 3 ) සංස්කෘතිය අරබයා  පිළිස්තීනු භූමිකාව.

 

               විසි එක්වැනි සියවසේ  දෙවැනි දශකය අවසානය වන විට ලිබරල් වාමවාදයේ මුඛ්‍ය ප්‍රතිවිරෝධයන් එළිපත්තට පැමිණීමට පටන්ගෙන ඇත.  එහිදී අපට ලිබරල් වාමවාදය තුළ තුන් ආකාරයක හෝ දෙමුහුම් සත්වයන් ලෙස හෝ වාම පාරභෞතිකවාදීන් සම්මුඛ වී ඇත. සමහරුන් දේශපාලනය තුළ මුනිවරයන් ලෙස හැසිරෙමින් සංස්කෘතික භාණ්ඩ නිෂ්පාදනය සහ පරිභෝජනය තුළ අවරසිකයන් බවට  පත්වී ඇත. තවත් සමහරුන් කොළඹට හිස් අතින් පැමිණ පක්ෂවලින් කඩාගත් සංස්කෘතික ප්‍රාග්ධනය විකාර මොඩලයේ පශ්චාත්-නූතන ස්ත්‍රී ශරීර මතට ආයෝජනය කොට ඇත.

           තවත් සමහරුන්  ඉහත චරිත භූමිකා තුනම  එකවර රඟපෑමට ගොස් zombie බවට පරිවර්තනය වී ඇත.  සොම්බියෙක් යනු තම සංකේත මරණයට පසු කුමන හෝ ශරීරයක් හමුවන තුරු ගත කරන  අන්තරාභවික විඥාණයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායකයෙකු වූ උදුල් ප්‍රේමරත්න සංකේතීයව මියගිය පසු පසුජාතික මත්ද්‍රව්‍ය කාටල නායකයෙකු වූ මධුෂ්ගේ සොම්බියෙක් වී ඇත. උදුල්  මෙම නව ඩිජිටල්- තත්‍යසමාන ලෝකය තුළ LTTE කරුණාට වඩා ප්‍රබන්ධමය පිළිබිඹුවක් බවට පත්වී ඇත. නුතනවාදී වමට ‘නො-නිදහස’ ( Unfreedom ) නිදහසක් ලෙස සූත්‍රගත කරන ලිබරල් සංස්කෘතියක් තුළ සොම්බි කැලැන්ඩරයක් මිස වෙන දෙයක් හමු නොවේ. වාහන අනතුරක් නිසා සංකේතීයව මිය යන ලාල්කාන්ත  ජවිපෙන් භවංග වී සොම්බි විඥානය සහිතව කොළඹ දී චීත්ත රෙද්ද හැඳගත් කොළඹ යුවතියකට නිදි මරන්නට sms පනිවිඩ එවයි. එක තැනක අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් තවත් තැනක පුනරුප්පත්තියක් උපදවයි.

 

      ඩිජිටල්කරණය විසින් මිනිසාගේ ‘සන්ථවය’ -INTIMACY- ඩැහැගත් ලොවක මිනිස් මනස මඟහැර මිනිසා පාලනය කිරීම සඳහා අලුත් කේම්බ්‍රිජ් ඇනලටිකා මාදිලියක් බිහි වී ඇත. මිචෙල් ෆූකෝ තම  අවසන් දේශපාලන දේශනවලදී උත්සාහ කරන ලද්දේ අවිඥාණයෙන් තොරව නව ලිබරල් වාදයේ බල යාන්ත්‍රණය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කිරීමටයි.  ඔහු එය පහදන ලද්දේ ශරීර දේශපාලනය ( Bio Politics ) නමිනි. එනම් විඥානය හරහා නොගොස් ශරීර මෙහෙයවීම යි .-POLITICS WITHOUT FREUDIAN UNCONSCIOUS-

                    

        මිචෙල් ෆූකෝ පරිකල්පනය කරන ලද්දේ නව ලිබරල්වාදයේ  දේශපාලන මෙහෙයුමේ වක්‍ර යාන්ත්‍රණයයි. ඊට අනුව අද දවසේ අපගේ සමාජ ජීවිතය සහ ආර්ථිකය පාලනය කරන්නේ කවුදැයි අප කිසිවෙකු නොදනී. pick me යනු මධුෂ්ගේ ආයෝජනයක් නම් ජාතික රාජ්‍යය නළුවාට රංග භූමියක් දැන් නොමැත.  ෆූකෝ අමතක කළ අවිඥානය පිටුපස දොරෙන් යළි ඇතුල් වී ඇත. එසේ නම් අද තරුණ පරපුර යනු කවුද ? ඔවුන් පිළිබඳ මේ දක්වා පැවැති රෝමාන්තික අදහස බිඳ වැටී Facebook , Google , Youtube වැනි ප්‍රාග්ධන සංචිතයන්ගේ වක්‍ර වහලුන් බවට ඔවුන් පත්වී ඇත. ඔවුන් තමන්ගේ දම්වැල් සහ නොනිදහස නිදහසක් ලෙසින් උත්සවාකාරයෙන් සමරයි. මේ නිසා තරුණ දේශපාලනය ,  ශිෂ්‍ය දේශපාලනය මිථ්‍යා දෘෂ්ඨිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත. සොක්‍රටීස් තරුණ පරපුර සත්‍යය නම් නපුරෙන් විනාශ කරන නිසා රාජ්‍ය දෘෂ්ටිවාදීන් සොක්‍රටීස්ට වස දුන්නේ ය. අද තරුණයා මෙහෙය වන්නේ සොක්‍රටීස් නොව විපරිත දාර්ශනික ස්ථාවරයක සිටගත් ඩයොජීනස්ය. ඒ නිසා අද තරුණ පරපුර යනු පශ්චාත් දේශපාලනික අහසේ ලඹ දෙන අහස් චන්ද්‍රිකා ය. විචාර කලා සහමුලින් සමපේක්ෂණවාදීන්  විසින් විනාශ කොට ඇත. ඒ නිසා විචාරය සහ නරුමවාදය එකිනෙකින් වෙන් කළ නො හැකි පරිදි සමපාත වී ඇත.

PAMELA Anderson visited pal Julian Assange

 

             අවසාන වශයෙන් කිව යුත්තේ අවසාන ධනවාදී යුගයකට අප එළඹ ඇති පරිදිම එවන් ලෝකයක පවතින බල සබඳතා ව්‍යුහයන්ට නූතන හෝ පිළිසකර කළ පීතෘමූලික මතවාදයක් ( Patriachy ) අවශ්‍ය නොවන බවයි. පීතෘමූලිකත්වය යල් පැන ගිය ප්‍රපංචයක් වූයේ හිපි ව්‍යාපාරයට පසුව බවත් අමතක නොකළ යුතු ය. පීතෘමූලිකත්වයට විකල්පයක් ලෙස ‘හිපි සමාජය’  විකල්පයක් කළේ දේශපාලකයන් නොව විකල්ප සංස්කෘතික විමතිකයන් ය. නූතන ධනවාදය තමන්ගේ සතුරෙක් ලෙස පීතෘමූලිකත්වය සලකා බලන්නේ නැත.

 

                  නූතන ධනවාදය තුළ හෙජමොනික මොඩලය වන්නේ දරුවන් සහිත පීතෘ මූලික පවුල නොවේ. ඒ වෙනුවට සිටින්නේ මුඛ්‍ය ගිවිසුමක් සහිත යුවල (Contractual Couple ) සහ මෙම යුවළට සම්බන්ධ Boy friends ලා සහ Girl friends ලා වටකරගත් ජාලගත  පවුලකි.(Network Family ).  අපගේ පක්ෂයේ පූර්වජයා වූ X  කණ්ඩායම හෝ කිසිදු පීතෘ මූලිකත්වයක් දේශන කළේ නැත.  එය එසේ යයි කියන්නේ ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටි අර්ථකථනය කර ගැනීමට නොහැකි බයියන්ය. තමන්ගේ ලිංගික අසහනයේ  ක්ෂතිජය දීප්ති නම් මාස්ටර් හැඟවුම්කාරකය යැයි වසර දාහතරකට පසුවත් යමෙක් සිතන්නේ නම් ඒ තැනැත්තා යොමු කළ යුත්තේ මනෝ විශ්ලේෂකයෙකු වෙතට ය. දීප්ති යනු නමක්  මිස ඒ නම යට විනෝද වන්නෙකු නැත යන ප්‍රවාදය වලංගු වී බොහෝ කලක් ගත වී ඇත. ස්ත්‍රීන් හෝ වෙන කුමක් හෝ මනුෂ්‍යයෙකු සමග සතුටු වීමට නොදන්නා බහුබූතයන් දීප්ති තමන්ගේ සතුටේ සීමාව ලකුණු කරන්නේ යැයි අනුමාන කරන්නේ නම් එවැන්නෝ ‘දීප්ති  කතිකාවේ’ හුදු අනුකාරකයන් පමණි. පක්ෂයත්, එහි සතු අනුගාමිකයනුත් ඔවුන්ට වඩා බොහෝ දුර ගමන් කර ඇත. මෙම අලූත් තත්වය මෙලෙස නිර්වචනය කළ හැකිය. තවදුරටත් ධනවාදයට පීතෘමූලික රූපකයක් අවශ්‍ය නැත. ඒ වෙනුවට ධනවාදය ඊට වඩා කාර්යක්ෂම මාදිලියක් වූ ‘නරුමවාදය’  තෝරාගෙන ඇත.

Sri lanka Vanguard Party

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. 1984 – වින්ස්ටන් ස්මිත් සහ ජුලියා – වර්තමාන ජුලියන් අසන්ජ් සහ ස්නොව්ඩන් , මිනිස්සු මේක තේරුම් ගන්නේ තව පහු වෙලා

Comments are closed.