ධනවාදයට මානුෂීය හෝ ලිබරල් මුහුණුවරක් දීමට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක (SLFP සහ UNP) මේ වන විට නව-දක්ෂිණාංශික ජනප්‍රියවාදීන්ගේ අභියෝගය හමුවේ ක්‍රමිකව ජාතිවාදය දෙසට පසුබසිමින් සිටිති. නමුත් ගෝලීයකරණය සහ ජනප්‍රියවාදය ඉදිරියේ ශ්‍රී ලංකාවේ වාමාංශික සංවිධාන වලට සිදු වී ඇත්තේ කුමක්ද?.

මූලධාර්මික වශයෙන් කිව යුත්තේ ධනවාදයට එරෙහිව ලංකාවේ වාමාංශය සිදු කළ විරෝධයන් මේ වන විට තාර්කික අවසානයකට පත් වෙමින් පවතින බවයි. පරම්පරාවක් ලෙස සලකා බැලුවහොත් පූර්ණ වශයෙන් එක් වාමාංශික පරම්පරාවක් (නවසිය 30 ගණන්වල සිට පටත් ගත්) මිහිතලයෙන් අතුරුදහන් වෙමින් පවතියි. 60 දශකය මතින් ආරම්භ වූ දෙවන වාමාංශික පරම්පරාව අතරින් එක කොටසක් ජාතිකවාදයට ගමන් කර ඇති අතර ඉතිරි කොට්ඨාසය දැඩි අනන්‍යතා අර්බුධයක ගිලී ගොස් ඇත. දැන් ගැටළුව වී ඇත්තේ අනාගත පරම්පරාවක් වාමාංශික වීමේ විභවයක් පවතී ද යන්නය. නූතන පරම්පරාව වම අතහැරියහොත් ‘අදහසක්’ ලෙසට පවා ශ්‍රී ලංකාවෙන් වම අතුරුදහන් වනු ඇත.

දැනට පවතින වාමාංශික පක්ෂ ව්‍යුහයට අනුව ලංකාවේ වාමාංශික පක්ෂවල නායකයන් ඔවුන් මිය යන තුරුම පක්ෂ නායකයන් වනු ඇත. විවාද කිරීමෙන් ලංකාවේ වාමාංශික පක්ෂ ප්‍රතිසංවිධානය වන්නේ නැත. එනිසාම ජවිපෙ අතුළුව සියලු වාමාංශික පක්ෂ ඉදිරි දශකය තුළ මිය යාමට නියමිතය. එසේ වන්නේ ඒවාට අභ්‍යන්තරිකව වෙනස් වීමේ මාර්ගයක් නැති නිසාත්, ජවිපෙ හැර අන් සියළුදෙනා රාජ්‍ය බලය වෙනුවෙන් සටන් නොකරන නිසාත් ය. ජවිපෙ විද්වත් සභාව යනු මීට දශක දෙකකට පෙර පක්ෂයෙන් ඉවත් වී වෘත්තිකයන් බවට පත් වී ධනවත් වූ සමාජ කණ්ඩායමක හෘදසාක්ෂිය පමණි. සන්නද්ධ ව්‍යාපාරයක් නූතන ධනවාදය ඉදිරියේ ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේ ද යන්න ගැන න්‍යායික සාකච්ඡාවක් ජවිපෙ තුළ නැත. එය ඒ තුළ කළ නොහැක. ප්‍රතිව්‍යුහගත වීම පැත්තෙන් ගත් කළ “පෙරටුගාමී සමාජවාදී පක්ෂයට” කිසිදු විභවයක් නැත. එයට සිදු විය හැකි එකම දෙය සාමාජිකයන් අහිමි වී යාම පමණි. අපගේ සංවිධානය තුළ සිටි “සමාජ සදාචාරය” කෙළෙසා දැමූ ව්‍යාජ න්‍යායික කසකරුවන් කිහිපදෙනෙකු වටා ඔවුන් භ්‍රමණය වෙමින් පවතියි.

වාමාංශික දේශපාලන සංවිධානයක් අනාගතයේදී පවතිනවා නම් පවතින්නේ පහත අභියෝගයන් ග්‍රහනය කර ගැනීමට සූදානම් නම් පමණි.

ඉදිරි දශකය තුළ අපගේ පක්ෂ ව්‍යුහය සහ නායකත්වය වෙනස් වනු ඇත. එසේ සිදු වන්නේ ධනවාදය ගැන අපට තිබෙන අර්ථකතනය අන් අයගෙන් වෙනස් නිසාය. 21 වැනි සියවස සම්බන්ධයෙන් මාක්ස්ගේ එකළොස් වැනි තිසීසය මෙසේ නවසන්දර්භයකට රැගෙන ආ යුතුය.

“දැන් කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම නොව ලෝකය යළිත් සහමුලින්ම අර්ථකතනය කිරීමයි.”

පළමුවෙන්ම අප වටහා ගත යුත්තේ ධනවාදී සමාජයේ ව්‍යුහය මූලධාර්මික ලෙස වෙනස් වී ඇත යන්නය. පැරණි ධනවාදය පැවතියේ නිශ්පාදනය, ඒ නයින් ෆැක්ටරි  හෝ කර්මාන්ත ප්‍රජාතන්ත්‍රවාදය මතය. එහි දී පැවතියේ විනයගරුක, ශික්ෂිත සහ සංවිධානාත්මක මිනිසෙකි. එවැනි මිනිසෙකු පිළිබඳ කදිම උදාහරණයක් ලෙස හෙන්රි ෆෝර්ඩ් සලකා බැලිය හැක. 50 දශකයේ සිට 70 දශකය මැද දක්වා පැවතියේ සාමකාමී දෙකට බෙදුණු ලෝකයකි. එක පැත්තක ‘පුද්ගලික ප්‍රාග්ධනය’ (බටහිර ලෝකය) පැවති අතර අනෙක් පැත්තේ පැවතියේ “රාජ්‍ය ධනවාදයයි.” (රුසියාව සහ නැගෙනහිර යුරෝපය) ධනවාදී නිශ්පාදනය වඩා සංගත සහ සංකීර්ණ තත්වයකට පත් වන විට සමාජය ද වඩා සංවිධිත, ස්වායන්ත තත්වයකට පත් වෙයි. මෙවැනි සමාජයක ජීවත් වන්නේ සංවිධානාත්මක පුරවැසියෙක් ය. මෙම යුගයේදී ආශාව සම්බන්ධයෙන් මිනිසුන් ට පැවතියේ නිශ්චිත අදහසකි. මෙහිදී සියළු පුරවැසියන් තම පුද්ගලික අභිලාෂයන් වෙනුවට සමාජ අභිලාෂයන් තෝරා ගත යුතුය. මෙම කැප කිරීම අනිවාර්යය කි. මෙම කැප කිරීම නොමැති නම් ධනවාදයට ඒ දක්වා පැමිණි දුර පැමිණීමට නොහැක. මෙම නිශ්පාදනය අධිනිශ්චය වූ යුගයක දී සමාජයේ සියලු පන්ති වලට තමන්ට කැමති සේ පරිභෝජනයේ යෙදෙන්නට අවසර නැත. එනිසා ඉහත යුගය සීමාකාරී යුගයකි.

ධනවාදය යනු විප්ලවකාරී යුගයකි. ධනවාදය තම වර්ධනය තුළ දී තම නිශ්පාදන උපකරණවල වර්ධනය විප්ලවකාරී ලෙස වෙනස් කරයි. මෙම වෙනස් කිරීම හරහා ධනවාදය මිනිස් ශිෂ්ටාචාරය අප කලින් අත්නොදුටු විකල්පයන් කරා අප ගෙන යයි. ඊළගට සිදු වන වෙනස්කම පිළිබඳ පූර්ව අවබෝධයක් අපට ධනවාදය තුළ නොමැත. එබැවින් ධනවාදය නිපදවන්නේ පසුආවර්තිත දැනුමකි.

ධනවාදය නිශ්පාදනීය අවධිය හරහා ඊළඟට ඇතුල් වූයේ පරිභෝජනය මුල් කොටගත් සමාජ-ක්‍රමයක් වෙතට ය. ‘නිශ්පාදනය’ ධනවාදයේ කේන්ද්‍රීය රටවල් වලින් විස්ථාපනය වී ඒවා ඊලගට මුල් බැස ගත්තේ චීනය, තායිවානය, දකුණු කොරියාව වැනි රටවලය. කර්මාන්ත ඇමරිකාවෙන් සහ බටහිර යුරෝපයෙන් ඉවත් වී අන් ස්ථාන කරා සේන්දු වන විට බටහිර සමාජයේ සමාජ බන්ධනය ‘පරිභෝජනය’ බවට පත් විය. මින්පසු සිදු වූයේ ධනවාදය විසින්ම ගොඩනැගූ ධනවාදී ආයතනවල වලංගුභාවය බිඳ වැටීමයි. මනෝවිශ්ලේෂණය “පියාගේ සංකේත භූමිකාව අර්බුධයකට යෑම” ලෙස හඳුනා ගන්නේ ද ධනවාදී සමාජය “තහනමේ සමාජයේ” සිට “විනෝද සමාජය” වෙත සංක්‍රාන්ති වීමේ දී හමු වන වෙනස්කම් ය.

ධනවාදය ‘නිෂ්පාදනයෙන්’ තම කේන්ද්‍රීය අංශය “පරිභෝජනය” දක්වා විස්ථාපනය කරන විට එහි සංස්කෘතිය ස්වයං භක්ෂක ආකෘතියක් ලබා ගනියි. නිශ්පාදන යුගය තුළ තහංචිය අධිනිශ්චය වූ අතර පහළ සමාජ පන්ති වලට හිමිව තිබුණේ සීමිත පරිභෝජන වපසරියකි. නමුත් තත්වය “පරිභෝජනය” කරා විතැන් වන විට ලාභය වැඩි වන්නේ භාණ්ඩ හා සේවා අසීමාන්තිකව පරිභෝජනය කිරීමට ඉඩ සැලැස්වීමෙනි. ආහාර පාන, විලාසිතා, SMS, ජංගම දුරකතන ආදිය මීට උදාහරණ කිහිපයකි. ඒවා මිනිසුන් සීමාවකින් තොරව පරිභෝජනය කරයි.

නිශ්පාදනයට වෙනස්ව පරිභෝජනය සමාජ බලවේගයක් වූ තත්වයක් තුළ සියළුදෙනා වෙතට භාණ්ඩ සහ සේවා පතුරුවා හැරීමට ධනවාදය ක්‍රියා කරයි. එනිසා මුදල් ඇති නැති සියළු දෙනා පාරිභෝගිකයන් කිරීමට සමාජය තුළ ඇත්තේ තරඟයකි. නියමිත ප්‍රමිතියට මෝටර් රථයක් මිළට ගැනීමට නොහැකි පවුලකට ප්‍රමිතියක් නැති වාහනයක් විකිණීමට ධනවාදය උත්සහ කරයි. බොහෝ විට එවැනි පවුල් ලීසිං වාරිකය ගෙවීම සඳහා කුසගින්නේ සිටිති. එබැවින් මෙවැනි සමාජ-ක්‍රමයක් තුළ පවතින්නේ විනෝද වීම සඳහා විධානයකි. ඔබ විනෝද වන්න! යන බලහත්කාරී පණිවුඩය එහි හරයයි. සියලුදෙනා කිසිදු ආයතනගත විනයකින් හෝ සමාජ වගකීමකින් තොරව තම පුද්ගලික ආශාවන් ඉටු කර ගැනීමට පොර කති.

කෙනෙක් ඉහත විපර්යාසය ඇමරිකාවේ හෝ යුරෝපයේ සිදු වූ විපර්යාසයක් යැයි අනුමාණ කරනු ඇත. නමුත් කල්පනාවෙන් පරීක්ෂා කර බැලුවහොත් පසුගිය දශක තුනක පමණ කාලය තුළ අපගේ සමාජයද ක්‍රමිකව ඇතුල් වෙමින් සිටින්නේ ‘විනෝදය’ දෙසටය. ලංකාවේ සමාජ පරමාදර්ශය සහ ප්‍රතිරූප වල වෙනස් වීම මීට උදාහරණයකි. ජාතිකවාදීන්ගේ පරමාදර්ශය වී ඇත්තේ නලීන් ද සිල්වා නොව චම්පික රණවකය. පෙරටුගාමී සමාජවාදීන් මගෙන් න්‍යාය ඉගෙන ගැනීම නොකරන්නේ ද ඉහත විපර්යාසය නිසා ය.

1977 වර්ෂය යනු අතීතාවලෝකනයේදී මෙම ‘විනෝදය සමාජය’ ආරම්භ වූ වර්ෂය ලෙස සැලකිය හැක. ශිෂ්ටාචාරය බින්දුවේ සිට  රින [-] අගයන් කරා ගමන් කිරීම ඇරඹුනේ 1977ට පසුවය. මෙම නව සමාජ විපර්යාසය හරහා ගොඩ නැගුණු විනෝද සමාජයේ ලුබ්ධිය වද්‍යුත් මාධ්‍ය (FM රේඩියෝ / TV) හරහා ඈත ගම් නියම්ගම් කරා සම්ප්‍රේෂණය විය. ඒ අනුව සංස්කෘතිය ප්‍රභූන්ගෙන් තොරව ජනප්‍රිය සංස්කෘතිය හරහා ගමන් කළේ ය.

මේ නව සමාජය

(1) සියලු දෙනා අතට ජංගම දුරකතන ලබා දී ඇත.

(2) සියලු ස්ත්‍රීන්ට ඩෙනිම් අන්දවා, මුහුණ සහ අත් සුදු කර විලාසිතාවලින් ජවලනය කර ඇත. දැන් හැමදෙනාම ලස්සණය.

(3) සියලුදෙනාව සති අන්තයේ මැක්ඩොනල්ඩ්,KFC, පීසා.. ආහාර වේල් බඩ කට පුරා කෑමට පුරුදු කර ඇත.

(4) සියලුදෙනාටම වෙලාවක් කලාවක් රහිතව බණ ඇසීමට සහ සිල් ගැනීමට බල කෙරී ඇත.

(5) අන්තර්ජාලයට ගොස් පිස්සු වැටෙන තුරු මුහුණු පොතේ කාලය ගත කිරීමට උගන්වා ඇත.

ඉහත නව සමාජයේ අදහන පරමාදර්ශ වී ඇත්තේ අතපය පුම්බා ගත් පිරිමින් සහ පච්ච කොටාගත් වේෂ නිරූපණය වූ ස්ත්‍රීන් ය.

කිසියම් සමාජයක් තහංචි යුගයක සිට විනෝදයේ යුගයක් කරා විතැන් වන විට ප්‍රධෘන ලක්ෂණය වන්නේ අසීමාන්තිකව විනෝද වීමට උත්සහ කිරීමයි. මේ යුගයේ උණුසුම් මිනිස් සම්බන්ධයකට වඩා මිනිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ, ආත්මයන්ට වඩා ”වෙනස්- නොවන- සාරාත්මක- ද්‍රව්‍ය වලට”[Substance] අප තුළ ඇති අනුරාගික බැඳීම නිසා ය. එවිට අප සමාජ වගකීම් වලට ඇති බැඳීම සහ කැප කිරීම හාස්‍යයට ලක් කරයි. 2004 සිදු වීම අප යළි යළිත් අවධාරණය කරන්නේ එයට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳව අපට ඇති පිලිකුළ නිසා නොව එම ලක්ෂය මඟින් ඉහත සමාජ විපර්යාසය සලකුණු වන නිසා ය. එපමණක් නොව සමාජ වගකීම් නිසි ලෙස ඉටු කර ගැනීමට තිබූ ආයතනද (උදා-පාසැල, අධිකරණ,විශ්විද්‍යාල, පොලීසිය,පාර්ලිමේන්තුව, ආගම, දේශපාලන පක්ෂ) අවලංගු වී යයි. ඒ වෙනුවට විනෝද වීමට බලකරන සහ විනෝදයට ඉඩ සලසන ආයතන සීඝ්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙයි. (FM නාළිකා, සුපර් මාකට්, රූපලාවන්‍යගාර, උපදේශන සේවා, නිවාඩු නිකේතන,Spa, Fitness Center) ඒ සමගම සමාජ ජීවියා වෙනුවට හුදකලාව විනෝද වන්නෙකු බිහි වෙයි.

ධනවාදය ‘විනෝද සමාජයක්’ දක්වා විකරණය වන විට ඒ තුළ ජීවත් වන මිනිස් ජීවියා රෝග ලක්ෂණයක් වන තරමට තම ප්‍රතිරූපයට ආශා කරයි. (Pathological Narcissistic) එනම් ‘ආත්ම රාගය’ ආශාවෙන් විතැන් වී එය හඹා යාමක් බවට පරිවර්තනය වී ආත්ම රාගය ස්වයං-විනාශයක් දක්වා සංවර්ධනය වෙයි. කෙනෙක් තමන්ගේම ප්‍රතිරූපය රෝග ලක්ෂණයක් තරමට වර්ධනය කරගත්  විට එවැනි සමාජයක මිනිසුන් මළගිය ප්‍රාණීන් බවට පත් වෙයි.

දැන් ගැටළුව වන්නේ ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සම්භව වූ සමාජ- ආර්ථික පසුතලය සමකාලීනව විපර්යාස වී තිබීමයි. නිශ්පාදනය සහ පොදු අභිලාෂයන් සහිත මිනිසා සත්තාව වූ යුගයේ බිහි වූ දේශපාලන පක්ෂ ආකෘතිය විනෝද සමාජය තුළ දී වාෂ්ප වී යයි. නිශ්පාදනය අධිනිශ්චය වූ යුගයේ බිහි වූ දේශපාලන පක්ෂ ආකෘතිය, නායකත්වය, කාඩර්වරු යන මේ සියල්ල දැන් තෝරා ගැනීම, ඔවුන්ව ශික්ෂණය කිරීම පිළිබඳ සමාජවාදී පක්ෂ මොඩලය සහ ජවිපෙ මොඩලය ද – ඉන් ආභාෂය ලද LTTE සන්නද්ධ මොඩලය ද ඇතුළත්ව- යල් පැණ ගොස් ඇත. අප සංවිධානය 2004 වර්ෂයේත් 2014 වර්ෂයේත් පක්ෂ නිලධාරී තන්ත්‍රය තුළ අත් වින්ඳේ ඉහත යල් පැණ ගිය ආකෘතීන් ය.

Mysteries about the case of Fanny Kaplan: who shot at Lenin

2015 වර්ෂයේ සිට අප ”පක්ෂ – සංවිධානය” නම් ගැටළුවෙන් “දෘෂ්ටිවාදය” (Ideology)  නම් තේමාවට යොමු වූයේ ඕපපාතිකව නොවේ. අපගේ සංවිධානයේ විවිධ පුද්ගලයන් පිළිබඳ “ළදරු වලිප්පුව” ගැන ඊට පිටත සිට නරුමවාදීව ප්‍රශ්ණ කරන නොදරුවන් ගැන අපට ඇත්තේ හාස්‍යය මුසු වේදනාවකි. ඔවුන් ගැන කීමට ඇත්තේ “ඔවුන් කරන දෙය” ගැන ඔවුන්වත් නොදන්නා බවයි.

අපගේ අලුත් ගැටළුව වෙනත් එකකි. මිනිසා කලින් කළ දේශපාලන සංවිධාන වලට එකතු වන අතර ඒවා තමන් සම්බන්ධයෙන් අතෘප්ත වූ විට ඒවා හැර දමා පොදු සමාජයට එකතු වෙති. නමුත් අපගේ සංවිධානයේ වැඩි දෙනෙක් සංවිධානයෙන් ස්වකැමැත්තෙන් ඉවත් වූ පසුව අපව සහමුලින් අමතක නොකර ජීවත් විය නොහැකි රෝග ලක්ෂණයක් පෙන්නුම් කරති. මෙය අපගේ පැත්තෙන් වදයකි. අපගෙන් යළි යළිත් පහර කෑ ස්වපීඩාකාමියෙකු වීමට ඔබ තුළ ඇති රුචිය අපගේ පැත්තෙන් අපට පරපීඩා කාමය පුහුණු කරයි. කළ යුතු වන්නේ අපව සහමුලින් අමතක කර ඔබට හැකි අලුත් අදහස සමාජයට ලබා දීමයි. එසේ නොකර ඔබ අප වෙත ඇලී සිටින්නේ නම් ඔබ වෙනත් කෙනෙකුගේ යැයි ඔබගේ ම නපුරු සිහිනයක් තුළ පැටලී ඇත. අලුත් ‘ධනවාදය’ විනෝදය සංවිධානය කරන නිසා අපගේ පැත්තෙන් අප පැරණි පක්ෂ ආකෘතිය හැර දමා බොහෝ කල් ය. අප දෙස බලා සිටින ‘යහපත් වාම අනෙකෙක්‘ වෙනුවෙන් අප බලා සිටින්නේ නැත. එනිසාම අපට ඇත්තේ මහා අනෙකා වෙනුවෙන් නිම වූ පොදු විනයක් නොවේ. කල්පිත මහා අනෙකා යනුවෙන් කෙනෙක් නැති නිසා අප තුළ ඇත්තේ ස්වයං-විනයකි. එය බාහිර සාධක මඟින් තීරණය වන විනයක් නොවේ. ඔබ බැලිය යුත්තේ අප කියන දේවල් දෙස මිස අපගේ ඇඟිල්ල දෙස නොවේ.

විනෝද සමාජයක දී විප්ලවවාදී දේශපාලනය කළ යුතු ආකාරය ගැන කිසිදු ගුරුවරයෙකු මොළොව නැත. පක්ෂය යනු පහුරක් පමණි. එහි කීර්තිය උදෙසා අප වැඩ කරන්නේ නැත. එය අපගේම අතීත වර්තමාන සාමාජික සාමාජිකාවන් මඩෙන් නාවා ඇත. දේශපාලනය යනු ගණිකා වෘත්තියකි. අනුන්ගෙන් ඉල්ලා ගෙන කන රස්සාවකි. එබැවින් අපට ආත්ම ගෞරවයක් නැත. මේ රට වෙනස් කිරීමට යාමේ දී පක්ෂයට අප ආදරය කරන්නේ නැත. අලුත් දෙය බිහි වනු ඇත්තේ පැරණි දෙය මිය යාමෙන් පමණි. වේස කමේ ගොස් ජීවත් වන අපගේ පිරිසිදු බව සොයන වාමාංශික මහත්වරුන්ට අපට කීමට ඇත්තේ කෙටි දෙයකි. “ලෙනින් මෙන් මඩ නා ගැනීමට අප බිය නැත.” පිරිසිදු මාවත්වල ඔබ යන්න! අපට අපගේ මාර්ගයේ යන්න ඉඩ දෙන්න!.

Sri Lanka Vanguard Party

ඔබේ අදහස කියන්න...