සමකාලීන සමාජ ආර්ථික පසුබිම තුල සමාජ පන්තිය කුමක් වුවත් පුද්ගලයා  ගත කරමින් සිටින්නේ අර්බුද,  ගැටුම්, සහ ආතතියෙන් පිරුණු ජීවිතයක් බව අප සියලු දෙනා පිළිගත  යුතු සත්‍යකි. අද බොහෝ දෙනා ෆේස්බුක් සමාජ අවකාශය වෙත පිවිසෙන්නේ මෙම කටුකත්වය අමතක කර දැමීමටය. තමන්ගේ ජීවිතය පාලනය වන නියමයන් මොනවාද යන්න ඔවුන්  නොදනී. මේ  නිසා තමන්ගේ   ක්‍රියාව   පිළිබද සවිඥානික පරාවර්තනයක් ඔවුන්ට නැත. ධනවාදයේ මුලධාර්මික සංකල්පයක් වන දෘෂ්ඨිවාදය තුල පුද්ගලයා තමන්ගේ ජීවිතය ස්ථානගත කරගැනීමත් ඒ සදහා පුද්ගලයා සමාජ ක්‍රමය විසින් පුහුණු  කිරීමත් අතිශයින්ම සාර්ථක වී තිබේ. ඒ අර්ථයෙන් ලංකාවේ මහජනයා සමග ධනවාදය වෙනස් කිරීමේ අරගලයක් වෙනුවෙන්  පොරබැදීම සම්පුර්ණයෙන්ම අසාර්ථක විය හැකිය.-Capitalism as real- එසේම මහජනයා සමග බුද්ධිමය සංවාද කිරීම සහ ඔවුන්ට පවතින යථාර්තය තේරුම් කර දීමට උත්සහ කිරීමද සම්පුර්ණයෙන්ම අසාර්ථක උත්සාහයකි.-Capitalism as Realism-

වාමාංශිකයන් ලෙස අප සෑම මොහොතකම පවතින ක්‍රමය වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඒ සදහා මහජන සහය අපේක්ෂා කරන්නෙමු.මෙසේ මහජනයා සහ සමාජය ලෙස බාහිරට ප්‍රක්ෂේපනය කරන ප්‍රපංචයන් තුල සැබෑ ලෙසම බාහිරත්වයක් නැත. මන්ද මහජනයා සහ සමාජය යන සමස්තයන් තුල මාගේ පැවැත්මද ස්ථානගතවී ඇති නිසාය. වෙනත් අකාරයකට කිවහොත් ධනවාදය වෙනස් කිරීමට (රට වෙනස් කිරීමට මට ඇති ආශාව) උත්සහ කරන මම පවතින්නේද ධනවාදය තුල (වෙනස් කිරීමට උත්සහ කරන රට තුල) බව තේරුම් ගත් විට අපට අපගේම ක්‍රියාවේ පරස්පරතාවය(contradiction) මුණගැසේ.

පවතින සමාජ ක්‍රමය වෙනස් කල යුතු බව , රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රතිසංස්කරණය කල යුතු බව,ආර්ථිකය ගොඩනැංවිය යුතු බව ආදී වූ විවිධ විකල්ප ගැන අද බොහෝ දෙනා කතා කරයි. මෙම ප්‍රතිරෝධතාවයන් (resistance) යනු අවසාන අර්ථයෙන් පවතින සමාජ  ක්‍රමයේම නිශේධනාත්මක කොටසක් වී ඇත. උදාහරණයකට කෙනෙකු රාජ්‍ය බලයට දිගින් දිගටම විරුද්ධ වනවා නම් ඔහුගේ  පැවැත්ම සහතික වන්නේ රාජ්‍ය බලයේ පැවැත්ම මතය. වර්තමානයේ බොහෝ දෙනා මෙම ප්‍රතිරෝධතා දේශපාලනයට ආශක්ත වී  ඇත. නමුත් නව වාමාංශික ව්‍යාපාරයක් ලෙස අප මෙම උගුලෙන් ගැලවිය යුතුය. ඒ වෙනුවට අපට මේ මොහොතේ යෝජනා කල හැක්කේ ඉහත සදහන් කල ඕනෑම ක්‍රියාවලියක් තුල පවතින පරස්පරතාවය , ප්‍රතිවිරෝධතාවය හෝ පසමිතුරුතාවය හදුනාගැනීමයි. මෙතැනදී මතුවන ගැටලුව වන්නේ මෙම හදුනා ගැනීම සිදුකල පසු මීලගට කරන්නේ කුමක්ද යන්නයි. අප මෙම පරස්පරතාවයන් ජයගන්නවාද (overcome)?නැතිනම් ඒවා සමග ප්‍රතිසංධානගත වනවාද  (reconciliation)?

ඉහත  ගැටලුව  වලට   ප්‍රවිෂ්ට   වීමට  අප හේගලියානු දර්ශනය  ඇසුරෙන්    පරස්පරතා ප්‍රතිවිරෝධතා    සහ  පසමිතුරුතා   යනු  කුමක්ද යන්න   වටහා ගනිමු. හේගල්ට අනුව  ප්‍රතිවිරෝධතාවය යනු සංකල්පයේ  අනිවාර්ය ලක්ෂණයකි. ඔහු අපව රැගෙන යන්නේ මෙකී ප්‍රතිවිරෝධතාවයන් විසදීම හෝ ජය  ගැනීම වෙත නොව ඒවා සමග සමීප වීම වෙතය. පරස්පරතාවය හෝ ප්‍රතිවිරෝධතාවය  අපට ඕනෑම සංකල්පයක  දැකිය හැක. මම කවුද යනුවෙන් බාහිරෙන් මට ලබාදෙන අනන්‍යතාවය(ඔයා හොද ගුරුවරයෙක්, ඔයා හොද ශිෂ්‍යයෙක් ) මගින් සම්පුර්ණයෙන්ම මගේ ආත්මය නිරූපනය නොකරයි. මෙම අනන්‍යතාවයේ ඇති විශේෂණ පදය අසමත් වීම මගින් මම කවුද යන්න තීරණය කරයි( මම ගුරුවරයෙක් කීවට මම  තව වැඩ ටිකක් කරනවා).මේ අනුව පුද්ගලයාගේ අනන්‍යතාවයද අවසානයේ පරස්පරතාවයකි.

අවිඥානය මගින්   සංකේතවත්  වන්නේ අප අප සමගම ඇති විසංවාදී  බවයි. අපගේ සවිඥානික අභිමතයට අවිඥානික ආශාව විසින් නොදැනුවත්ව  බලපෑම් කරනු ලබයි. සවිඥානිකව  දැන්  සිටින   දේශපාලන  නායකයන්ට     වඩා  හොද දේශපාලන  නායකයන්ව   බලාපොරොත්තු වන පුද්ගලයන් විසින්  නැවතත් තෝරා ගනු  ලබන්නේ  පරණ නායකයන්ම හෝ ඊට  සම්පුර්ණයෙන්ම  සමාන පිරිසකි. මෙය  පුද්ගල ආත්මීයත්වයේ පරස්පරතාවයයි.  ධනවාදය ඉදිරියේ ඇති සියලුම විකල්ප දේශපාලනයන්  අවසානයේ පරණ එකම   බවට පත්  වී අවසන් වන්නේ මේ හේතුව නිසාය. මීට වෙනස්ව අප  නව   දේශපාලනයක් වෙනුවෙන්   වැඩ  කරනවා නම් පුද්ගල  අවිඥානයේ මෙකී පරස්පරතාවය නිසි ලෙස   තේරුම්ගත යුතුය. එක් පැත්තකින්   අපගේ අභ්‍යන්තරික ක්‍රියාවත් ,බාහිර  සමාජයේ බලාපොරොත්තුවත් අතිපිහිත වීමෙන් සියලු දේ පරණ දෙය බවට පත් වී  අවසන් විය  හැකිය.

හේගල්ට අනුව හේතුව (reason) යනු අප විසින් සාකච්ජා කරනු ලබන පරපරතාවය ග්‍රහණය  කර ගැනීමට ඇති දෙයයි. හේතුවට සීමාවක් නොමැත. නමුත් තේරුම්ගැනීමට (understanding) සීමාවක් පවතී.  ඔබ නොදන්නවා වුවත්  ඔබ දන්නා දෙයහි ඔබද කොටස්කරුවෙකි. මෙම   අදහස   පැහැදිලි  කරගැනීම සදහා හොදම උදාහරණය වන්නේ The Silence of the Lamb චිත්‍රපටයයි. හැනිබල්  ලෙක්ටර් නම්  ඝාතකයා විසින් කරනු  ලබන මනුෂ්‍ය  ඝාතන  සහ  මිනිසුන්  අනුභව  කිරීම මුලින් අප විසින් ප්‍රතික්ෂේප කලද චිත්‍රපටය අවසානයට  යන විට එය අපගේද   ආශාව බව පසක් වේ. චිත්‍රපටයේ  හැනිබල්  ලෙක්ටර්  ගේ  අසාමාන්‍ය  ආශාව යනු අපගේ  ආශාව මිස  අප දකින  දෙයහි පවතින්නක්  නොවේ – pervert desire. අප චිත්‍රපටයෙන් වෙන් වී සිටින බව  සිතුවත් අපගේ ආශාව ඒ  තුල ඇත. මේ නිසා අප  දකින  දෙයින් කිසිවිටෙකත් අපගේ ආශාව වෙන් කල  නොහැකිය.

හේගලියානු අර්ථයෙන් පරම දැනුම යන අදහස මගින් කියවෙන්නේ  සියලු දේ දැන ගැනීම නොවේ. ඒ වෙනුවට සිතීමේ මුලධර්ම එහි අවසානය දක්වා දැන ගැනීම ඉන් අදහස්  වේ. අවසාන වශයෙන් පරස්පරතාවයේ අනිවාර්යතාවය තේරුම් ගැනීම දැනගැනීමයි (knowing). කාන්ට්ට  අනුව අපට  දෙයෙහි  පෙනෙන  අකාරය  දැනගත හැකි අතර එහි-එහිම වූ ස්වරුපය (thing in it-self)   අප දන්නේ  නැත. නමුත් හේගල්  අසන  ප්‍රශ්නය   වන්නේ  ඔබ දෙයක් නොදන්නා බව කියන්නේ  කෙසේද යන්නයි.  දෙයෙහි  එහිම වූ ස්වරුපය  තමන් නොදන්නා බව කීමත් දැනුමේ  එක්තරා ක්‍රියාවකි. ඔබට  දැනුම තුලම  දැනුමට  බහිරත්වයක් (outside)  ගොඩනැගිය නොහැක. දැනුම යනු සමස්ථයයි.

හේගලියානු දර්ශනය  තුල එන සාර්වත්‍රිකය (universal) යන අදහස මගින් කියවෙන්නේ කුමක්ද  යන්න තේරුම් ගැනීමද  වැදගත් වේ. සාර්වත්‍රිකය යනු සුවිශේෂයන් (particulars) විසින්  තමන්ට  විමර්ශකයක් ලෙස  ගොඩනගා ගත් දෙයකි. එය සුවිශේෂයන් ට බාහිරින්  වූ දෙයක්  නොවේ. අප   කොතරම් සුවිශේෂී   ආස්ථානයන් වල සිටියද සාර්වත්‍රිකය  බව මගහැරිය නොහැක.ඔබ  ඔබගේම වූ පෞද්ගලික සුවිශේෂයන් වල ගිලී  සිටියද එය කරමින් සිටින්නේ නිශ්ශබ්ද  සාර්වත්‍රිකයකට  අනුවය.  උදාහරණයකට කෙනෙකු  ඩයරියේ ලිවීම මා වෙනුවෙන්ම  මගේම  සුවිශේෂී ක්‍රියාවක් ලෙස සිතුවද ඔහු  හෝ  ඇයට  සාර්වත්‍රිකයයෙන්  ගැලවිය නොහැක. මන්ද  භාෂාව යනු  සාර්වත්‍රිකයකි. බහුතරයක් මහජනයා  සමාජ ජීවිතයක් වෙනුවට සුවිශේෂී පෞද්ගලික ජීවිතයක්   වෙනුවෙන් දිවා රෑ කැපවී වැඩ කරයි. නමුත් පුද්ගලයන් මේ  සියලු දේ සිදු කරන්නේ එක්තරා   සාර්වත්‍රිකයයක්  විමර්ශකය  කරගෙනය.  එය  යනු ප්‍රග්ධනයයි. ප්‍රග්ධනය යන සාර්වත්‍රිකය  තමන්ව අනාගතයේ  ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් සිතයි.අනෙක් අතට  ප්‍රග්ධනයට  මෙවැනි සුවිශේෂයන්ගේ එකතුවක් නොමැතිව  සාර්වත්‍රිකයක්  බවට පත්වීමටද නොහැක.   

සාර්වත්‍රිකයයන් ප්‍රතික්ෂේප  කරමින් සුවිශේෂ අනන්‍යතාවයක්   (particular  identities) වෙනුවෙන් පෙනී සිටීම   එක්තරා පීඩාකාරී  භයානක සිදුවීමකින් අවසන් වෙයි.  උදාහරණයකට  ලංකික  සමාජයෙන් දෙමළා  ප්‍රතික්ෂේප     කල  යුතුය යන  ජාතිවාදී  සුවිශේෂ අනන්‍යතාවය  වෙනුවෙන් පසුගිය දශකයේ සිංහල   සමාජයේ පෙළගැසීම සලකා බැලිය හැක. ජ.වී.පෙ  ඇතුළු වාමාංශිකයන්ද  ඒ  යුගයේ  මෙම   සුවිශේෂ අනන්‍යතාවය  වෙනුවෙන් පෙනී සිටියහ.  2009   දී දෙමළා  සමූලඝාතනය  කර ජයග්‍රහණය  සමරුවද  එය සිංහල  බෞද්ධ ජාතිවාදයේ   ජයග්‍රහණයෙන්   අවසන් වුයේ නැත. යුද්ධය අවසන් වී  දශකයක් ගත වුවද තවමත්  අපගේ සැබෑ ගැටළු ඒ අකාරයෙන්ම නොවිසදී  පවතී. මේ  ආකාරයට ගොඩනැගෙන සුවිශේෂී  දේශපාලන ප්‍රවාහයන්   විසින් ,  ඇතැම් වාමාංශික ව්‍යාපාරද  ඇතුළුව,  පුද්ගලයා  එක්තරා  හුදකලා  තත්වයකට ඇද දමයි. අප  මේ  මොහොතේ  ධනවාදී  රාමුව තුල සිරවී   සිටින අතර එයින්  එලියට ඒමට අවශ්‍ය  සාර්වත්‍රික ව්‍යාපෘතියක්  පිළිබද   සිතිය යුතුය.

හේගලියානු අදහසක් වන පරස්පරතා සමග සන්ධානගත විය යුතුය  යන අදහස මගින් දේශපාලන ව්‍යාපෘතියක්   ඉදිරිපත් කරන්නේ නැත. පරස්පරතා ජය ගැනීමට උත්සහ කිරීම  යනු දේශපාලනික  ක්‍රියාවක්  නොවේ. මේ මොහොතේ ඇතැම් පිරිස්  පරස්පරතා මගහැර අන්නෝන්‍ය හදුනාගැනීම මගින්  සුසංවාදී  වමක්  බිහි  කිරීමත් ඒ වෙනුවෙන්  වූ පිතෘ   රුපිකයක්  ගොඩ  නැගීමත්  වැනි වූ  නිෂ්ඵල   සංකල්ප වල වෙලී සිටී. අනොන්‍ය  එකතුව මගින් සියලු  දෙනා  එකම දේශපාලනයට අයත් බව උපකල්පනය කරයි. එමගින් කිසිවෙකු  ඉන් ඉවත් කරන්නේ  නැත.  ස්වාමි  සේවක  සම්බන්ධය  ප්‍රතික්ෂේප   කරන අප  බලාපොරොත්තු වන්නේ  එක්අයෙකු  අධිනිශ්චය  නොවී සියලු දෙනාම සමාන්තර තලයක  සිටිනවා වැනි තැනකට යා යුතු  බවයි.නමුත් මෙතැනදී  පුද්ගලයා   කිසියම් සම්බන්ධයකට  යාමේදී ඔහුට   ආත්මීය බාධාවක් පවතින  බව  නොසලකා   හරී.

මේ   අනුව පරස්පරතා මගහැරීමත්  ඒ  වෙනුවෙන්  වූ  පීතෘ රුපකයක්  ගොඩනැගීමත්  අවසානයේ අපව රැගෙන  යන්නේ ඒකාධිපතිවාදයක් වෙතය. පරස්පරතා  නැති සමාජයක් යනු   ධනවදයේද  අවසාන බලාපොරොත්තුවයි. A=A. නමුත්   අපගේ න්‍යාය  වන්නේ  A ≠ A යන්නයි.එනම් ඔබට  සහ මට එකම පුද්ගලයන්   බවට පත් වීමට  නොහැකි බවයි. මෙය  අපගේ  ආත්මීයකරණයේ ලක්ෂණයකි. ඒ  අනුව අප  නව දේශපාලන ව්‍යාපෘතියක් කේන්ද්‍රගත  කල  යුත්තේ පරස්පරතාවය වටාය. පරස්පරතාවයන්, ප්‍රතිවිරෝධතාවයන් , විසංවාදයන්, පසමිතුරුතාවයන් මගහැරිය නොහැකි බව අපගේ දේශපාලන දර්ශනයට   ඇතුලත් විය යුතුය.  මෙම අදහසින්  පසු  අපගේ දේශපාලන සිතීම  තව අදියරක් ඉදිරියට පැමිණේ.

අනුෂ්ක ආරියරත්න

 

ඔබේ අදහස කියන්න...