වෙළඳපොළ ක්‍රම ක්‍රමයෙන් මිනිසාගේ සංස්කෘතිය ‘හුවමාරු වටිනාකම්’ බලයෙන් නෂ්ට කරමින් සිටින යුගයක ‘රාජ්‍යය’ පිළිබඳ විවාදය (සමාජවාදය තුළ දී මෙන්ම ධනවාදය තුළ දී ද ලිබරල් අදහස් නිසා රාජ්‍යය දිය වී යාම) මුල්ලකට විසි වී ගොස් පවුල පිළිබඳ විවාදය නැවතත් පෙරබිමට පැමිණ ඇත.

           අද බහුතර දෙනාට සංවාද කිරීමට සිදු වී ඇත්තේ, රාජ්‍යය, දේශපාලනය, රට, ජාතිය පිළිබඳව නොව ‘පවුල’ (Family) පිළිබඳව ය. මන්දයත්, පවුල නම් ආයතනය අන් සියලු ආයතන වලට වඩා අර්බුදයට ලක් වී ඇති නිසා ය.

             2023 වර්ෂයේ කාන්ස් චිත්‍රපට උළලේ හොඳම චිත්‍රපටය වූ ‘Anatomy of Fall’  (ඇදවැටීමක විච්ඡේදනය) මගින් සංවාදයට ලක් වන්නේ, මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගත් යුරෝපීය නූතන පවුල අභ්‍යන්තරයෙන් ආතතිගත වන ආකාරය යි. ජස්ටින් ට්‍රියට්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙම චිත්‍රපටය අපව මූලික හේගලියානු ප්‍රස්තුත කරා රැගෙන යයි. ජස්ටින් ට්‍රියට් සහ ඇගේ සහකරුවා වන ආතර් හරාරි විසින් චිත්‍රපටයේ තිරනාටකය සකස් කර ඇත. එම නිසා, මෙම චිත්‍රපටය අරභයා ස්ත්‍රීවාදී විචාරයක් හෝ පුරුෂාධිපත්‍යයට එරෙහි විචාරයක් හෝ වලංගු නැත.

Anatomy of a Fall.

            නූතන මධ්‍යම පාන්තික පවුල තුළ ජීවත් වන්නේ, ආර්ථික වශයෙන් ස්වාධීන ස්ත්‍රියකි. මේ නිසා, ඇය සාරාත්මක වශයෙන් පීඩිත ස්ත්‍රියගෙන් සහ ධනේශ්වර පවුලක ස්ත්‍රියගෙන් වෙනස් වේ. ආර්ථික වශයෙන් ස්වාධීන වූ මැදපාන්තික ස්ත්‍රියගේ ආත්ම මූලිකත්වය [subjectivity] සකස් වන බල රටාව කුමක් ද? මෙවන් ස්ත්‍රියකගේ ෆැන්ටසි ලෝකය තුළ ලිංගිකත්වය සහ පවුල් ගතිකය වෙනුවට අධිනිශ්චය වන්නේ, ආදරය යි.

              ආදරය නැතහොත් Love නම් වචනයේ සංස්කෘත මූලයට අනුව, එහි අදහස ‘තන්හා කිරීමයි‍‍; ආශා කිරීමයි’. ආදරය= සමීප කෙනෙකුට ලෝභ කිරීම.

              සමකාලීන මැදපාන්තික ස්ත්‍රිය ආර්ථිකව ස්වාධීන වෙන්න වෙන්න ආදරයේ ‘ලෝභ ස්වභාවය’ අධික වෙයි. ආදරය යථාර්ථයෙන් නිදහස් වී ආශාවේ ක්ෂේත්‍රයට එකතු වෙයි. පසුව, ‘ආදරය’ යන විෂය ස්ත්‍රීවාදී අදහසෙන් (පිරිමියෙකුට සේම ස්ත්‍රියකට ද සාරාත්මක පැවැත්මක් ඇතැයි ඔප්පු කරන ෆැන්ටසිය – Feminism) සහ පුරුෂත්වයට ආශා කිරීම (ෆැලික නැතහොත් පුරුෂ රාගය- පුරුෂාධික) යන ක්ෂේත්‍ර වලින් බැහැර වෙයි.

            21 වැනි සියවසේ ප්‍රථම වසර 5 තුළ (2000-2005) අප අපගේ ප්‍රකාශන මගින් ඉදිරිපත් කළ අදහසක් වන්නේ, ‘ස්ත්‍රිය යනු, පුරුෂයාගේ රෝග ලක්ෂණයක්’ (Woman is a symptom of Man) යන ප්‍රවාදය යි. මේ ලැකානියානු අදහස මතුපිටින් ස්ත්‍රී විරෝධී අදහසක් වූවත් ප්‍රබන්ධයක් ලෙස එය සත්‍යයකි. ප්‍රාග්ධනයේ වටිනාකම් න්‍යායට අනුව සංස්කෘතික ලෝකය ව්‍යුහගත වෙන්න වෙන්න අපගේ සමාජ සබඳතා සහ ලිංගික සබඳතා යථාර්ථයෙන් ගැලවී ප්‍රබන්ධ – virtual -නැතහොත් කෙප්ප බවට පත් වෙයි.

Home without a Outer Problem.

                 2004ට පසුව පුරුෂ අවරසිකයෙක් පවා ‘ස්ත්‍රිය යනු, පුරුෂ සංස්කෘතියේ රෝග ලක්ෂණයක්’ යන ප්‍රවාදයට සරදම්කාරී ලෙස අවඥා කරන ලදී. මන්දයත්, ඒ ප්‍රවාදය ගොඩනැගූ අප පුරුෂවාදීන් වී එයට විරුද්ධ වූවන් එක මොහොතකින් ස්ත්‍රීවාදීන් වීම නිසා ය.

                රෝග ලක්ෂණය (Symptom) පිළිබඳ පැරණි නිර්වචනයට අනුව එය ගුප්ත සංඥාවකි. එම නිසා, එම සංඥාව අර්ථකථනය කළ වහාම රෝග ලක්ෂණය අතුරුදහන් වෙයි. ‘රෝග ලක්ෂණය’ යන අදහස උභයාවේගී ය. අනෙක් අතට, රෝග ලක්ෂණය යනු බාහිර දෙයකි, කරුණු ගොඩක එකතුවකි. ස්ත්‍රියක් පුරුෂයෙකුගේ බාහිර ලක්ෂණවලට, හැකියාවන් වලට- ලස්සන, කඩවසම්, උගත්, උසස්, කුලවත්, බුද්ධිමත් ආදී වශයෙන්- ආශා වීමට පුළුවනි. කිසියම් විශ්ලේෂණයක දී හෝ අහඹු සිදුවීමක දී අපට හෙළිදරව් වන්නේ, රෝග ලක්ෂණයේ මෙම බාහිර අච්චුවයි. ඒ අනුව, පිරිමියෙකු ස්ත්‍රියකට ආශා කරයි. එම නිසා, ඔහු පාපයෙහි ගිලී මිය යයි. එමගින් නිරූපණය වන්නේ, එම පිරිමියාගේ ඇද වැටීමයි. බිල් ක්ලින්ටන් නම් බලවත් පුරුෂයා මොනිකා ලෙවින්ස්කි නම් ස්ත්‍රියට ආශා කිරීම නිසා දෙදෙනාගේම ජීවිතය නින්දාවට පත් විය. රෝග ලක්ෂණය අර්ථකථනය වූ වහාම ස්ත්‍රියගේ පැවැත්ම ද අහෝසි විය. [Existence]රෝග ලක්‍ෂණය යනු, ඒ අර්ථයෙන් කිසියම් ආත්මයකට සම්මුඛ විය නොහැකි ස්වාර්ථය යි. ස්වඅර්ථය සහ ස්වාත්මය අතර ගැටුමයි.

              අනෙක් අතට, ‘ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයකි’ යන ප්‍රවාදයේ ස්ත්‍රීවාදී පැත්ත මෙසේ ය. ඇය පුරුෂයාගේ පාපකාරී සිතුවිල්ලක භෞතික නිරූපණයක් පමණි. ඇයට ඉන් බාහිර ස්වාධීන පැවැත්මක් නැත. ඇයව විනාශ කිරීමට අවශ්‍ය පිරිමියා කළ යුත්තේ, දේවාලයකට හෝ පන්සලකට ගොස් තම සිත පිරිසිදු කර ගැනීම පමණි.

             ‘සමකාලීන යුගය’ තුළ ‘ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයකි’ යන ප්‍රවාදය දශක දෙකකට පසුව අභ්‍යන්තරයෙන් වෙනස් වී ඇත. අද වන විට මෙම ප්‍රවාදය විරුද්ධාභාසයකි (Paradox).

             අප මේ දක්වා දැන සිටි පරිදි ‘රෝග ලක්ෂණය’ අර්ථකථනය වූ වහාම ආත්මයට එය පය ගසා සිටින පොළව අහිමි වෙයි. පුරුෂයා තම පාපී සිතුවිල්ල විෂ්ණු ඉදිරිපිට හෝ රේරුකානේ චන්දවිමල ඉදිරිපිට පිරිසිදු ජලයෙන් සෝදා හැරිය විට දී එම පාපයේ මිනිස් මූර්තිය වූ ස්ත්‍රිය අතුරුදහන් වෙයි. මෙහි අනෙක් අක්‍ෂය වන්නේ, පුරුෂ පැවැත්ම විසිරී යන්නේ ස්ත්‍රිය තුළ බවයි. ඊට අනුව, පුරුෂයා යනු ලෙනක සැඟව සිටින ‘සිංහයෙකු’ නොව පාරේ ඉබාගාතේ යන බල්ලෙකි. මෙහි සරලාර්ථය වන්නේ, පුරුෂයාගේ පැවැත්ම සටහන් වන්නේ බාහිර ස්ත්‍රීත්වයක් තුළ බවයි. අනෙක් අතට, ස්ත්‍රියගේ සත්තාව (Being) පිහිටන්නේ ඇගෙන් පිටත ය. බාහිර පිරිමියෙකු තුළ ය. මේ බාහිර පිරිමියා මේ ස්ත්‍රිය අතහැරී වහාම ඇයට අහිමි වන්නේ, බාහිර යථාර්ථය පමණක් නොව ඇගේම සත්තාවයි. ඇගේ වටිනාම සම්පත යි. ඇගේ ජීවිතය යි.

Blue.

             එම නිසා, අපට දැන් ‘ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයකි’ යන ප්‍රවාදය ආර්ථික වශයෙන් ස්වාධීන ස්ත්‍රියක් ඉදිරියේ විසංයෝජනය කළ විට දී නව ප්‍රවාදයක් මෙලෙස සූත්‍රගත කළ හැකිය. 

       ‘ස්ත්‍රී විනෝදය නිසා පුරුෂයාගේ පැවැත්ම අවිනිශ්චිතතාවයක් නැතහොත් ආපතිකතාවයක් ලෙසින් ව්‍යුහගත වෙයි.’

                

       ‘රෝග ලක්ෂණය’ යනු, අර්ථකථනයක් බලාපොරොත්තුවෙන් සිටින කිසියම් ප්‍රහේලිකාවක් යැයි සිතුවේ නම් එය අහෝසි වී ඇත. දැන් අපට රෝග ලක්ෂණය මෙලෙස නිර්වචනය කළ හැකිය. ස්ත්‍රියගේ රෝග ලක්ෂණයට ෆැලික අර්ථ නැති අතර එය විනෝද වීමේ මාදිලියකි. ‘රෝග ලක්ෂණය’ සඳහා සිදු වී ඇති ඓතිහාසික ඛණ්ඩනය වටහා ගැනීමට අපි සිනමා උදාහරණයක් සලකා බලමු.

              කිසලොවිස්කිගේ ‘Blue’ නම් චිත්‍රපටයේ කථානායිකාව වන ජූලීගේ සැමියා සහ දරුවා හදිසි අනතුරකින් මිය යයි. ඇය ද එම අනතුරට ලක්වන අතර නූලෙන් බේරෙයි. ඇය විශාල කාලයක් තම සැමියා නිසා වේදනාවෙන් පසු වෙයි. නමුත්, ඇය වෙතට ලැබෙන හදිසි පුවතක් නිසා ඇය තවත් දරුණු කඩා වැටීමකට ලක් වෙයි. එම පුවත වන්නේ, ඇයගේ සැමියාට වෙනත් සම්බන්ධයක් තිබී ඇති අතර ඉන් දරුවෙක් ලැබීමට සිට ඇති අතර ඔහු එම නව පෙම්වතිය සමඟ නව ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් ය. ඇගේ අහිමි වීම සැමියා නම්, දෙවන වරට ඇගේ ආදරය ද අහිමි වී ඇත. එනම්, අහිමි වීමත් අහිමි වී ඇත.[Loss of the Loss] විප්ලවීය වන්නේ, මේ අවබෝධය යි.

            අප ජීවත් වන සංකේතීය සැකැස්ම තුළ එක්තරා ‘අතිරික්ත-දැනුමක්’ [Surplus Knowledge] ඇති අතර එම දැනුම අපට එකවර විනාශය සහ විමුක්තිය සහතික කරයි. ජූලී ට අදාළ අතිරික්ත-දැනුම සම්බන්ධ වන්නේ, ඇගේ සැමියාට ය. ඔහුගේ ඛේදනීය මරණයට පසුව ඔහු ඇයව අතහැර යාමට නියමිතව සිටි බව ඇය අවබෝධ කර ගනියි. එම ක්ෂතිමය අත්දැකීම ඇයව ඇගේ අර්ථාන්විත සංකේත සැකැස්මෙන් සහමුලින්ම උගුල්වා දමයි. එනම්, පවුල් ජීවිතය යනු ද සුරක්ෂිත ස්ථානයක් නොවේ ය යන්න ය. එමගින්, අලුත් සංකේත ලෝකයක් පිළිබඳව සිහින දැකීමට ජූලීට හැකියාවක් ලැබේ. මේ දක්වා අපට ‘පවුල් ජීවිතය’ නම් ආයතනය ලබා දුන් අර්ථාන්විත ලෝකය ලිබරල් ලෝකය තුළ තවදුරටත් වලංගු නැත. එසේ නම්, අප නව දෙවියෙකුට සම්බන්ධ කර අපගේ ‘පවුල’ පිළිබඳ භක්තිය යළි සූත්‍රගත කර ගත යුතුය.

             ‘නව-යුගය’ තුළ ස්වාධීන ආර්ථිකයක් ඇති මැදපාන්තික ස්ත්‍රීන්ට සිදු වී ඇත්තේ, එක්කෝ පිරිමින්ගේ චපලත්වය නිසා හෝ නැතහොත් තමාට සමීප පිරිමියාගේ පරිමිතභාවය නිසා හෝ අත්තෙන් අත්තට පැන යාමට ය. නමුත්, ‘රෝග ලක්ෂණය’ පණිවුඩයක් නම් එයට කිසියම් අර්ථකථනයක් හෝ කියවීමක් යෝජනා කළ හැකිය. නමුත්, අප ජීවත් වන මේ යුගයේ දී ‘රෝග ලක්ෂණය’ යනු සුවපත් කර ගැනීමට අකමැති තුවාලයක් නම් විකල්පය කුමක් ද? සමාජය තුළ තවදුරටත් අපට අර්ථයක් ලබා දෙන ආධිපත්‍යධාරී පිරිමින් හෝ වීරයන් නැත. අනෙක් අතට, සමාජය මෙහෙය වන්නේ හැඟීම්වලට අදාළ පර්යායකින් ය. හැඟීම් සමග පොර බදන ස්ත්‍රීන්ට ගැලවුමක් ලබා දෙන පිරිමි පර්යායක් මෙලොව තවදුරටත් නැත.

             අනෙක් අතට, අත්තෙන් අත්තට පැනිය හැකි කුරුල්ලන් විනාශ වී ගොස් ඇති අතර අත්තෙන් අත්තට පැනිය හැකි කිරිල්ලියන්ගේ ජනගහනය සීඝ්‍රයෙන් වැඩි වී ඇත. කිරිල්ලියන් දැනගත යුතු කාරණය වන්නේ, තමන්ගේ ජීවිතයේ අර්ථය තමන්ට බාහිරින් සිටින ‘කුරුලු ලැයිස්තුවකට’ භාර දීමෙන් හෝ ඔවුන්ට චෝදනා පත්‍ර යොමු කිරීමෙන් තවදුරටත් පළක් නැති බවයි. සරලව කිවහොත්, ස්ත්‍රීන් උත්සාහ කළ යුත්තේ සුව නොවන තුවාලයට අවධානය යොමු කිරීම මිස තුවාලය සුව කිරීමට පොරොන්දු වන පිරිමින් පස්සෙන් යාම නොවේ. මන්ද, හිඟන්නාට තුවාලය සුවපත් වීම යනු තමන්ගේ පැවැත්ම අහෝසි වී යාම නිසා ය.

              නූතන විවාහ සංස්ථාව යනු, ක්ෂතිය සහ විමුක්තිය එකවර සම්මුඛ වන ප්‍රාග්ධනයේ ව්‍යාකරණවලට අනුව ව්‍යුහගත වූ ප්‍රපංචයකි. මෙම සන්දර්භයට අනුව, ස්ත්‍රිය තමාට පිටින් සිටින, තම ජීවිතය විකසිත කිරීමට ඉඩ නොදෙන සතුරු පිරිමියෙකු පිළිබඳව ෆැන්ටසිකරණය කිරීම යල් පැන ගිය උපක්‍රමයකි. ස්ත්‍රීවාදයේ වියැකී යාම පසුගිය දශක තුළ දෘශ්‍යමාන වන්නට පටන් ගැනීම ඒ අනුව අහම්බයක් නොවේ. සමකාලීන ආර්ථික වශයෙන් ස්වාධීන මැදපාන්තික ස්ත්‍රියගේ විරුද්ධාභාසය වන්නේ:

1. තම රෝග ලක්ෂණය එනම්, වේදනාවෙන් සතුටු වීමට තමන්ගෙන් බාහිර යථාර්ථය තුළ පිරිමියෙකු සංගීත පුටු තරගයක දී ගවේෂණය කිරීම.

 

2. තම රෝග ලක්ෂණය එනම් තුවාලය වඩා තහවුරු කරන ‘අභ්‍යන්තරික පිරිමියෙක්’ හමුවන තුරු සූදු ක්‍රීඩාවේ නිරත වීම.

 

             ඉහත අර්ථකථන මොඩල දෙකෙන් පළමුවැනි ආකෘතිය හරහා කුරුල්ලන් විනාශ කිරීම කළ හැකිය. දෙවැන්න හරහා බාහිර බාධාව වෙනුවට තම ආත්මීයත්වය තුළ ඇති ස්වයං බාධාව නැතහොත් තමන්ම තුවාලයෙන් වද විඳින ආකාරය අවබෝධ කරගත හැකිය. 

       බටහිර රටවල සමහර මැදපාන්තික ස්ත්‍රීන් තමන්ව හඳුන්වා දීමේ දී නව උපක්‍රමයක් භාවිතා කරයි. ඔවුන් සෘජුව මෙසේ ප්‍රකාශ කරයි: 

“ මම වැඩියෙන්ම වේදනාත්මක සතුටක් ලබන්නේ මගේ Partner ට කසයෙන් පහර දීමට පසු එයා වේදනාවෙන් කෑ ගසන ශබ්දයෙනි.” මා සිතන්නේ, අනාගත විවාහය ගිවිසුමකට (Contract) එහා ආදරය මත පදනම් වූ විවාහයක් කරා ගෙන යාමේ දී මෙම පියවර ආරම්භක පියවරක් බවයි. මින් අදහස් වන්නේ, ඉන්පසු ජෝඩු නිර්මාණය වීමේ දී ඔවුනොවුන්ගේ CV බලා නොව රෝග ලක්ෂණවලින් විනෝද වන ආකාර අධ්‍යයනය කොට එකතු විය යුතු බවයි. පිරිමියාට එරෙහිව ස්ත්‍රී සාරය සෙවීම හෝ ස්ත්‍රියට එරෙහිව පිරිමිකම් සංස්කරණය කිරීම හෝ තවදුරටත් අනාගත ලෝකයට වලංගු නැත.

            නූතන ආදරය යනු, අර්ථයෙන් ධර්මයෙන් තම සහකරුවා හෝ සහකාරිය සමඟ ජීවත් වීම නොව එකිනෙකාගේ වේදනාත්මක සතුටට අන්‍යෝන්‍යව උදව් කිරීමයි. එම ආදරය අපව මැරෙණසුළු බවින් අමරණීයත්වය කරා රැගෙන යයි.

Love.

            ‘නිදහස’ පිළිබඳ ගැටලුවට අපට ඊළඟට ගමන් කළ හැකිය. නූතන මිනිසාගේ මූලික ලක්ෂණය වන්නේ, රාජ්‍යය, ප්‍රජාව, පවුල වැනි සංස්ථාපිත තුළ පරාරෝපණය වීමයි. නූතන ආර්ථික වශයෙන්, ස්වාධීන මැද පාන්තික ස්ත්‍රියගේ හදිසි පැමිණිල්ල වන්නේ, ‘පවුල’ නම් ආයතනය තුළ පරාරෝපණයෙන් අත්මිදෙන්නේ කෙසේ ද යන්නය.

              60 දශකයේ ස්ත්‍රීවාදයේ මූලික වරද වූයේ, නිදහස යන්න හුදු කේවලත්වය සමඟ සම්පාත කිරීමයි. නිදහස යනු, හුදු පුද්ගලික කරුණක් පමණක් නොව අනෙකාට සම්බන්ධ ගැටලුවකි නැතහොත්, ප්‍රහේලිකාවකි. නිදහස යනු, හුදු වරණයක් හෝ සාරය ඉවත් කළ අනෙකෙකු සමග කරන සහවාසයක් ද නොවේ. පළමුවෙන්ම වටහා ගත යුත්තේ, සමහර ආර්ථික ස්වාධීනත්වය ලැබූ ස්ත්‍රීන්ගේ ඥාණ-විභාගයට (දැනුමට) අනුව පිරිමින් යනු, හුරතලයට ඇති කළ හැකි සතුන් ය. මේ අදහස ස්වාධීන වූවත් අන්තර්ගතයෙන් භයානක පරායත්ත අදහසකි. මදය ඉවත් කළ පිරිමියෙක් යනු, ස්ත්‍රියකි. මේ කාලයේ දී ස්ත්‍රීන්ට හමුවන බොහෝ පිරිමින් ආශාවට අනුව ස්ත්‍රීන් ය. ස්ත්‍රියක් සිතිය යුත්තේ, පිරිමියා යනු තමන්ගේ පසමිතුරෙක් බවයි. එක් පැත්තකින්, ඔහු මිතුරෙකු වනවා සේම අනෙක් පසින්, තමන්ගේ සතුරෙකු ද වනවා ය. කෑවෝ කෑවෝ කියා මොර දෙන ගැහැණුන් බහුතරය බබ්බු නොවේ. පිරිමියෙකු තෝරා ගත යුත්තේ, අධිපති සංකේත රටාව තුළ නොවේ. එවන් අය සමඟ නිදා ගැනීම සුභ ය. ගෙදර ගෙනිහින් ඔවුන් සමග කරන්නට දෙයක් නැත. පිරිමින්ට සුභසාධනය දීම අවශ්‍ය නම් ඒ සඳහා භික්ෂුවක් තෝරා ගැනීම වඩා හොඳය.

             පවුල තුළ හෝ විවාහ සංස්ථාව තුළ කෙනෙකු පීඩනයක් හෝ නො නිදහසක් අත්විඳින්නේ නම්, එය පුද්ගලයෙකුගේ ගැටලුවක් නොව ආයතනගත සමාජයෙන් පරාරෝපණය වීම නිසා හටගන්නා ඵලයකි. අපට ‘පවුල හෝ විවාහය’ අපගේ නව රෝග ලක්ෂණයන්ට අනුව පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය නම්, අප අපගේ සුවිශේෂයන්ට – particular- ඇති බැඳීමෙන් ගැල වී සාර්වත්‍රිකයන් -Universal- දෙසට හැරිය යුතුය. පවුල තුළ පුද්ගල නිදහස ලබා දීමෙන් හෝ පීතෘ ආධිපත්‍යයෙන් පවුල නිදහස් කළ විට දී ඉදි වන්නේ, ශුද්ධ නිදහසක් හෝ ශුද්ධ ලිංගික නිදහසක් නොවේ. ඒ වෙනුවට, හිපියන්ගේ දේශපාලනය සහ 68 ශිෂ්‍ය දේශපාලනය අවසන් වූයේ, පෙරදිග ආගම්වල ගුප්ත ප්‍රහේලිකාවන්ගෙන්ය. 2004 වර්ෂයේ X කණ්ඩායම තුළ කැරළි ගැසූ රොක් ඇන්ඩ් රෝල් නායකයන් පවුල් තුළ ස්ත්‍රීන් ඇති කරන පූස් පැටවුන් වීම අහම්බයක් නොව ඓතිහාසිකත්වය නොසලකා හැරීමයි. සීමා විරහිත ලිංගික නිදහස අවසන් වන්නේ, ස්වයං මෛථූනයෙනි. කාන්ට්ගේ නිදහස පිළිබඳ සර්ව විධානය වැරදියට කියවන අය නිදා ගන්නේ සාද් විසින් පිළියෙල කරන ලද බහුදිශානත ලිංගික අපගමන යහනක ය.

             ස්ත්‍රී විමුක්තියේ අවසන් නිෂ්ටාව ඇත්තේ, බහු පුරුෂ සේවනය තුළ යැයි වරදවා වටහාගත් සමාජවාදීන් කොමියුනිස්ට්වාදය තුළ දුටුවේ රාජ්‍යයේ මෙන්ම පවුලේ ද වියැකී යාමයි. නමුත්, කිසලොවිස්කිගේ Red, Blue, White චිත්‍රපටවල කතා නායකයන්ගේ ඉරණම යොමු වී ඇත්තේ, සාර්වත්‍රිකයන්ගේ දිශාවට සහ ප්‍රංශ විප්ලවයේ මූලික සටන්පාඨ විපරිත කිරීමෙනි. එනම්, සමානාත්මතාවය, සහෝදරත්වය සහ නිදහස ධනවාදය තුළ සන්දර්භගත කිරීමෙනි. පිරිමියාව සතුරෙක් ලෙස පමණක් ගත් විට දී ස්ත්‍රියට අමතක වන්නේ (ස්ත්‍රීවාදය), ඔහු තමන්ගේ වේදනාව ධනාත්මක අනන්‍යතාවයකට පෙරළන පුද්ගලයා ද වන බවයි. ‘Blue’ චිත්‍රපටයේ කතා නායිකාව නිදහස් වන්නේ, සැමියාගේ වියෝවෙන් පසු උදාවන නිදහසෙන් නොව ඔහුගේ චපලත්වය නිසා අවබෝධ වූ අලුත් දැනුම නිසා ය.

             හේගල්ට අනුව, පවුල යනු හේතූන් හරහා නොව හැඟීම් හරහා එක්සත් වන සදාචාර ජීවිතයේ ප්‍රථම පියවරයි. එමගින්, පවුල් ඒකකයේ මූලිකයන් එකිනෙකාගෙන් පිළිගැනීමක් ලැබේ. එය ඔවුන් තුළ ප්‍රකාශ වන්නේ, ‘නිදහස’ ලෙසිනි. ‘Blue’ චිත්‍රපටයේ කතා නායිකාව වන ජූලීව ඇයගේ සැමියා ඔහුගේ ආශාව පාවා නොදෙමින් පාවා දෙයි. ජූලී ‘නිදහස’ කියා අන්තිමට වටහා ගන්නේ, තම සැමියාගේ ආශාව සමග තමන්ගේ ආශාව ප්‍රතිසන්ධාන (Reconciled) කිරීමෙනි. සැමියාගේ මරණයට පසු ඇය වටහා ගන්නේ, තමන්ගේ පරිබාහිර බාධාව නැතහොත් සතුරාට වඩා තමන් තුළම වන ස්වයං-ප්‍රතිවිරෝධය වඩා ප්‍රාථමික බවයි. අපගේ බාහිර සතුරා නිසා අප අපගේ සීමිතකම හෝ අවාසනාව අත්විඳිනවා නොවේ. මේ බාහිර සතුරා නොවේ නම්, මා තුළම ඇති අවිද්‍යාව, අසංගත බව මට වටහා ගැනීමට මාර්ගයක් නැත. ජූලී තම සැමියාගේ චපල බව මගින් ස්ථාපනය කර ගන්නේ නිදහසක් යැයි අප කියන්නේ එම නිසා ය. තමන්ගේ වේදනාත්මක විඳවීමට හේතුව ඇත්තේ බාහිර තැනක නොව තමන් තුළම ය. ‘නිදහස’ උදාකර ගැනීමට ජූලී ට තම සැමියාගේ චපලත්වය සහයෝගයක් මිස බාධාවක් කර නැත.

            ‘Anatomy of Fall’ චිත්‍රපටය අපට යෝජනා කරන්නේ, ආර්ථික අතින් ස්වාධීන මැදපාන්තික ස්ත්‍රියගේ විරෝධාකල්පය හිස් බවයි. ඇය තම සැමියාව තමන්ගේ ස්වාධීනත්වයේ සාරයට බාධාවක් යැයි විශ්වාස කරයි. සැමියාගේ මරණයට පසුව ඇයට අහිමි වන්නේම ඇය පැතූ ස්වාධීනත්වය යි. මන්දයත්, සැමියාගේ මරණය පිළිබඳව ඇයට ‘සිවිල් සමාජය’ සහ ‘රාජ්‍යය’ (උසාවිය) සමග ප්‍රතිසන්ධානගත වීමට සිදු වන නිසා ය. අවසානයේ දී, ඇය චෝදනාවෙන් නිදහස් වෙයි. ඇයට ඉන්පසු අවශ්‍ය වන්නේ, තවත් පිරිමියෙකුගේ රෝග ලක්ෂණයක් වීමට ද? නැතහොත්, අලුත් සංකේත ලෝකයක් තුළ තැනූ පවුල, සිවිල් සමාජය සහ රාජ්‍යයක් ද? 

Deepthi Kuamara Gunarathne



ඔබේ අදහස කියන්න...

SHARE
Previous articleTribute to 80’s Philosophy