අප පිළිගැනීමට අකමැති වුවත් මානවයා ‘පශ්චාත් මානවීය’ (Post-human) තත්වයකට පත්ව ඇත . එතිහාසික මානවයා තුල ( එනම් වැඩවසම් හා වහල් මානවයා ) නිදහස් කැමැත්තක් ( Liberal self ) පැවතුනේ යැයි අප පරිකල්පනය කලද ඇත්ත වශයෙන්ම එය නිදහස් කැමැත්තක් නොවේ . නිදහස් කැමැත්ත යනුම ධනවාදී ආර්ථික ක්‍රමය (market economy ) තුල හටගත් දෙයකි. උදාහරණයක් ලෙස භාණ්ඩ නිෂ්පාදනයේදී එම නිෂ්පාදන භාණ්ඩ හා ශ්‍රමය අතර ඇතිවන පරාරෝපිත තත්වය යනු ධනවාදයේම ප්‍රතිපලයකි. තවත් සරලව පැහැදිලි කලවිට පුද්ගලයාගේ කැමැත්ත ඔහු/ඇය විසින් තීරණය කිරීම හෙවත් ස්ව කැමැත්ත වරනැගීම යනු ධනවාදයට පෙර පැවති තත්වයක් නොවේ.වහල් හෝ වැඩවසම් ක්‍රමය තුල එය හුදෙක් බලහත්කාරී වරණයකි.මාගේ තෝරාගැනීමේ නිදහස ( freedom of choice ) වෙළදපල තුලින් නැවත නැවත යෝජනා කරන නිදහසක් පමණි. ‘අද ඔබ iphone X දුරකථනය භාවිතා කරන්නේ නම් එහි මීලග මාදිලිය වන iphone 11 කරා නොයන්නේ ඇයි ?’යනු වෙළදපල ආර්ථිකය විසින් අසන ප්‍රශ්නයයි.

මානවයාගේ සාරය යනු අනෙකාගේ බලහත්කාරයෙන් මිදී නිදහස් වීම( Human essence of freedom from wills of others ) ලෙස ගතහොත් පශ්චාත් මානවයා තුල ඇත්තේද නිදහසකි. නමුත් එම වරණය හුදු නිදහස් වරණයක් නොවේ. එය දෙන ලද තොරතුරු පද්දතියක් (Information body ) පමණි.ස්පයික් ජෝන්ස් ගේ “Her ” චිත්‍රපටය තුල “Samantha ” නමැති මෘදුකාංගය ශරීර සම්බන්ධයකින් ඔබ්බට ගොස් තියඩෝර් නම් චරිතය සමග සබදතා පවත්වයි. එහිදී එක්තරා වෙලාවක ඇය(Samantha) ඔහුට පවසන්නේ තමා එකවර දහස් ගණනක් සමඟ එකම මොහොතක ඒ ආකාරයටම සබදතා පවත්වනු ලබන බවයි.එය ඛේදාන්තයක් ලෙස අපට පෙනුනද මෙය ඇයගේ ස්ව කැමැත්ත හෝ බලහත්රිකාත්වයක් නොවේ. එය වෙළදපල ආර්ථිකය තුල ප්‍රාග්ධනය සමුච්චනය වන ආකෘතියයි.

මෙය දැන් හුදු පරිගණක පද්දතියක් මගින් පමණක් මෙහෙයවනු ලබන දෙයක්ද ? පශ්චාත් මිනිසා යනුම වෙළදපල ආර්ථිකයෙන් තම කැමැත්ත ප්‍රේරණය වන මානවයෙකි (Wired Brain -Post Human ).තවදුරටත් Space Odyssey චිත්‍රපටය තුල අපට හමුවන Hal නමැති පරිඝනක පද්දතිය හෝ Samantha නම් මෘදුකාංගය යනු තොරතුරු පද්දතියකින් පමණක් මෙහෙයවන දෙයක් නොව ඉතා සංවේදී හැගීම් පවා ජනිත කරවන පශ්චාත් මානවයෙක් බව අපට හගවයි.

මානවය හා පශ්චාත් මානවය අතර වෙනසක් නොමැති තරමට තාක්ෂනය හරහා (DATA Engineering / Machine Learning ) සියල්ල තොරතුරු ශරීරයක් කරා(information body) විතැන් වෙමින් සිටී .එතනදී තර්කය , හැගීම් සහ මානවයා සතු සියලු හැගීම් යාන්ත්‍රික මානවයා තුලද ජනිත කිරීමට සමත්ව ඇත.උදාහරණයක් විදිහට Hal ව විසන්දි කරන අවස්ථාවේ ඔහු ඉතාම දුක්බර කවියක් ගායනා කිරීමට පටන් ගනී.මනුෂ්‍යයා පදනම් වී ඇත්තේ තර්කය තුලද නැතිනම් හැගීම් තුලද? මානවයා හා පශ්චාත් මානවයා යනු වර්තමානයේදී එකම කෙනා නම් මට දැන් දැනෙන හැගීම යනු සැබෑ ලෙසම මට දැනෙන දෙයක්ද ? පශ්චාත් මානවයා ගේ දියුණුව මගින් අදහස් කරනු ලබන්නේ අප හා පශ්චාත් මානවයා අතර වෙනසක් නොව අපද අවසානයේ පශ්චාත් මානවයෙකු (Machine Human ) බවට පත්වී ඇති බවය. එනම් මේ සියල්ල මෙහෙයුම් පද්දතියක් හරහා ව්‍යුහගත වී තිබේ. කෑම බීම විලාසිතා පමණක් නොව උද්ගෝෂණ , සටන්පාඨ පවා පශ්චාත් මානවීය තත්වයක් තුල මෙහෙයවනු ලබන දෙයක් මිස අපගේම නිර්මාණ නොවේ.

-රුවන් හපුආරච්චි-

ඔබේ අදහස කියන්න...