සංකීර්ණ නාගරික ජීවිතයක් ගත කරන අප බොහෝ දෙනෙක්ට විවිධ, විෂම චරිත හමු වෙනවා. මෙම චරිත ප්‍රථම වතාවට හමු වුණාම, අපිට ඒ අය ගැන මුද්‍රාවක් සටහන් වෙනවා. නමුත් ටික කාලයක් යන විට, මෙම ප්‍රථම මුද්‍රාව (නැතහොත් දැක්ක ගමන් පහළ වන හැඟීම) ව්‍යාජයක් කියලා වැටහෙනවා. අපි මෙහෙම හිතමු. බැලූ බැල්මට, ආකර්ෂණීය පෙනුමක් සහිත පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට අසාධාරණ දේවල් දැක්කම ඇසට කඳුළු එනවා. අපිට හිතෙනවා, ඔහු කෙතරම් අව්‍යාජ මිනිසෙක් ද කියලා. ඔහු වැනි කෙනෙක් ලිබරල් දේශපාලනය වෙනුවට වාමාංශික දේශපාලනය තෝරා ගත්තම, අපිට හිතෙනවා ඒ තෝරා ගැනීම ඔහුට කෙතරම් ගැලපෙනවාද කියලා.

Lionel Wendt

                 කාලය ගතවන විට, රටේ ජන වාර්ගික යුද්ධයක් ඇවිලිලා යනවා. එහිදී, ඉහත පුද්ගලයා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වෙනවා. වැඩේ නැගලා යනවා. ඔහුට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු හැටියට සමාජ පිළිගැනීමක් ලැබෙනවා. ඔහු ජාත්‍යන්තර සංවිධාන සමඟත් වැඩ කරන්න පටන් ගන්නවා. ඔහුගේ සංවිධානයේ විශාල වෙනවා. එතනට ටික ටික මිනිස්සු වැඩි වෙනවා. ඔය අතරේ, එතැනට රස්සාවකට ඈත ගමකින් කොළඹ ආපු තරුණියෙකුත් එනවා. එකපාරටම, අපේ කතා නායකයා සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් වෙනවා.  ඔහු ඒ වෙනකොටත්, දරුවන් දෙදෙනෙකු ඉන්න ආදරණීය පියෙකි. හැම සති අන්තයකම තම බිරිඳට වටිනා ඇඳුම් අරන් දෙන ප්‍රේමණීය සැමියෙකි. දැන් අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ප්‍රශ්නය මතු වන්නේ, සාමාන්‍ය මිනිසෙකුට නොවේ. ඔබ දේශපාලන සංවිධානයක සංවිධායකයෙකු නම් ඔබට මෙහෙම ගැටලුවක් පැන නැඟේ.

(1) හිතින් ප්‍රේම කුරුල්ලෙකු වී සිටි කෙනෙකු, පසුකාලයකදී මානව හිමිකම් ක්‍රියාකාරකම් නම් සමාජ ක්‍රියාකාරීත්වය හරහා බියක් සැකක් නැතිව සැබෑ ජීවිතයේදීත් ප්‍රේම කුරුල්ලකු වූවා ද?

(2) නැතහොත් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූවාට පසුව සමාජයේ අව්‍යාජ නිදහස ප්‍රේම කුරුල්ලෙකු බව වටහා ගත්තා ද?

                    ඉතාම සරලව, ඉහත තිසීස දෙක අපට මෙලෙස සරල වාක්‍ය දෙකක් ලෙස සකස් කිරීමට හැකිය. ඉතාම අවංක ලෙස මහජන සේවයේ නියුතු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට දැඩි වෙහෙස සහ ඒකාකාරීත්වය නිසා නින්ද යයි. ඔහු සිහිනයක් දකියි. සිහිනය තුළ දී ඔහුට පරිසමාප්ත ලෙස ප්‍රේම කරන්නට තරුණ,බුද්ධිමත්,සුන්දර යුවතියක් හමුවෙයි. ඔහු තමා කෙතරම් සුන්දර ප්‍රේමවන්තයෙක් දැයි තමාවම අවලෝකණය කරයි. 

                 දෙවන වාක්‍ය අපගේ යථාර්ථය ගැන අනුභූතික අත්දැකීම හෝ ඉන්ද්‍රිය ගෝචර ඥාණය අවුල් කරවයි. දෙවන අදහස මෙසේය. ඇත්තටම, අපට පළමු හමුවේ දී පෙනෙන මුද්‍රාව බොරුවකි. දැන්, කතාව මෙසේ සකස් කළ හැකිය. ඇත්ත ජීවිතයේදී, අපගේ කතා නායකයා අසාර්ථක පෙම්වතෙකි.  ඔහු විවාහ වූයේ, නහර රිදෙන තරම් නීරස ජීවිතයක් තමාට හිමි කළ ස්ත්‍රියක් සමග ය. ඒ නිසාම, ඔහු ජීවිතයෙන් හෙම්බත් වූවෙකි. ඔහුට අවශ්‍ය වන්නේ, මෙම ‘සැබෑවෙන්’ ගැල වී තම සත්‍ය ස්වරූපය වූ පෙම්වතෙකු වීමටය. ඒ සඳහා ඔහුට උදව් වූයේ, ‘මානව හිමිකම්’ ආයතනය යි. ඔහුගේ අසාර්ථක ආශාවට  ‘යථාර්ථය’ තුළ යම් වාරණයක් සහිතව ප්‍රකාශ වීමට ඉඩ දුන්නේ, ‘මානව හිමිකම්’ ආයතනය නම් අර්ථකථන විශ්වයයි. ‘මානව හිමිකම්’ ලෝකය තුළ සිටින අය ‘ප්‍රේමය’ ගැන කතා නො කරන අතර ‘ප්‍රේමය’ ගැන කතා කරන අය ‘මානව හිමිකම්’ ගැන කතා නොකරයි. මේ කොටු පැනීම රාගික ය. 

            සමාජ ජීවිතයේ අපට හමුවන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන්, අපගේ සාමාන්‍ය දැනුමට අනුව තැනෙන ‘ප්‍රථම මුද්‍රාව’ ඉහත විග්‍රහයට අනුව මුග්ධය. යථාර්ථය පිළිබඳ අපගේ ප්‍රථම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය මෝඩ එකකි. මන්දයත්, අප ‘ප්‍රේමවන්තයෙකු’ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස වරදවා වටහාගත් නිසාය. යථාර්ථය පිළිබඳ පැතලි විග්‍රහයට අනුව එය සංගතය; සාමකාමීය; අහිංසකය. නමුත් ‘යථාර්ථය’ යනු, මුහුණු දෙකක් අතර පවතින අනවරත ප්‍රතිවිරෝධයකි. එක්කෝ අපට පෙනෙන්නේ එක මුහුණකි නැතහොත් තව මුහුණකි. නමුත් මෙම මුහුණු දෙක අතර පවතින අනවරත ගැටුම අප දකින්නේ නැත.

            යථාර්ථය යනු, ‘මුහුණු’ දෙකක් අතර ගැටුමක් බව අප වටහා ගන්නේ නම් එය විරුද්ධාභාසයකි.[Paradox] අපගේ කතා නායකයාට මුහුණු දෙකක් ඇත. එය අපට මෙන්ම ඔහුටත් යථාර්ථයකි. ඔහු අපව රවට්ටනවා නොවේ. ඔහු ඔහුවත් රවටා ගනියි. දැන් අපට අලුත් අභියෝගයක් ඇත. ඉහත අපට හමු වූ පුද්ගලයන් දෙදෙනා; එනම්, ‘පෙම්වතා’[a] සහ ‘මානව හිමිකම් ක්‍රියාකාරිකයා’[b] යන දෙදෙනාගෙන් සැබෑ පුද්ගලයා කවුද? බොහෝ දෙනා මෙතැනදී කරන ප්‍රකට වරද වන්නේ, මේ පුද්ගලයන් දෙදෙනා සංස්ලේෂණය කිරීමයි. එනම්, ‘පෙම්වතා’ යන පුද්ගලයා ප්‍රවාදය ලෙසත් ‘මානව හිමිකම් ක්‍රියාකාරිකයා’ යන පුද්ගලයා ප්‍රතිවාදය ලෙසත් ගෙන අලුත් ‘සහවාදයක්’ ගොඩ නැගීමයි. එනම්, වැරදි අඩුපාඩු නැති මිනිසුන් මේ ලෝකයේ නැත. ඒ නිසා, මේ ලෝකයේ සිටින සියලු ‘මානව හිමිකම්’ ක්‍රියාකාරිකයන් පෙම්වතුන්ය. එවිට, සහවාදය මෙසේය. ප්‍රේමය හෝ ප්‍රේම කිරීම නම් අඩුපාඩුව රහිත ‘මානව හිමිකම්’ ක්‍රියාකාරිකයන් මෙලොව නැත.

                     හේගල් නම් දාර්ශනිකයා උත්සාහ කරන ලද්දේ, අප ඉහත ‘යථාර්ථයේ’ දුටු විරුද්ධාභාසය විග්‍රහ කිරීමට ය. ඔහුට අනුව ‘යථාර්ථය’ පිළිබඳ ප්‍රථම මුද්‍රාව අමූලික බොරුවකි. නමුත් අප මේ රැවටීමට හසු නොවන්නේ නම් යථාර්ථය ක්‍රියාත්මක වන අභ්‍යන්තර තර්කනය අපට වැටහෙන්නේ ද නැත. ‘යථාර්ථය’ පිළිබඳ වරදක් නොකරන්නා විශාල පරිමාණයේ මෝඩයෙක් බවට පරිවර්තනය වෙයි. ‘යථාර්ථයේ’ ගතිකත්වය වටහා ගැනීම සඳහා හේගල් යෝජනා කරන ‘විධික්‍රමය’ (Methodology) වන්නේ, ‘දයලෙක්තිකයයි’

               ලංකාවේ බහුතර වාමාංශිකයන් සහ සාමාන්‍ය මහජනයාට අනුව අප ඉහත සාකච්ඡා කළ උදාහරණය දයලෙක්තික ක්‍රමයට අනුව පහත පරිදිය. (දෝෂ සහගත දයලෙක්තිකය) 

1.පෙම්වතා- වාදය- thesis.

2.මානව හිමිකම් ක්‍රියාකාරිකයා-ප්‍රතිවාදය- Antithesis.

3.මානව හිමිකම්’ වැඩ සමාජයට පෙන්වමින් රහසින් ආලය කරන්නා- බොරුකාරයා- සහවාදය – Synthesis.

                හේගල්ට අනුව ඉහත විධික්‍රමය ඔහුගේ දයලෙක්තික තර්ක ක්‍රමය නොවේ. මන්දයත්, ‘දයලෙක්තිකය’ (යමක හරය තුළ ම ඇති එහි විරුද්ධ දෙය) යනු, න්‍යායක් (Theory) මිස දර්ශනයක් නොවන නිසාය. ‘යථාර්ථය’ පිළිබඳ විවිධ අර්ථකථනයන් රඳා පවතින්නේ, එක්කෝ සාමාන්‍ය දැනුම මත පදනම් වූ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ  ඥානයෙනි . නැතහොත් සන්දර්භයට සාපේක්ෂව වෙනස් වන අර්ථ සමුදායක් ලෙසිනි. මින් අදහස් වන්නේ, අර්ථකථන ක්‍රියාවලිය යන්න ද අප කලින් අත්දුටු ප්‍රථම මුද්‍රාවේ මෝඩකමට සහය දෙන ප්‍රපංචවේදයක් බවයි. ‘අර්ථකථන වේදය’ යනු, ස්වයං සහතික කරන සංකල්ප රාමුවකි. දයලෙක්තික තර්කනය; ඒ අනුව අපව රැගෙන යන්නේ, අර්ථයේ දිශාවට නොව මිනිසාව වරදට බැඳෙන විපරිතභාවයේ (Pervert) දිශාවටය. මින් අදහස් වන්නේ, අපගේ සැබෑ කතා නායකයා යනු, ඔහු ගොතන කතා දෙකම නොවන බවය. එනම්, ඔහු පෙම්වතෙක් හෝ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ද නොවේ. ව්‍යාජ දයලෙක්තික තර්කය යනු, ඉහත ප්‍රතිනියෝජන යථාර්ථයන් දෙකෙන් එකක් ප්‍රාථමික කිරීමයි. එනම්, ඔහුව පෙම්වතෙකුගේ හෝ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් අර්ථකථනය කිරීම යි. එයට පෙර ආත්මයක්-subject– ඇතැයි අප නොසිතයි. 

                    හේගල්ගේ ප්‍රති-දර්ශනය [Anti-philosophy- මෙම ප්‍රති-දර්ශනය යනු ද දර්ශනයකි. නමුත් දර්ශනයට පරස්පරව මෙහිදී ප්‍රති-දර්ශනය යොමු වන්නේ, වාගීශ්වර පැත්තට (වචනවලට අර්ථ දීම නැතහොත් වචනවලට දිව්‍යමය මූලාශ්‍රයක් සවි කිරීම) නොව සැබෑව නොහොත් වේදනාවෙන් සතුටු වන ව්‍යුහය හෝ රෝග ලක්ෂණය මතු කිරීමටයි]. හේගල් විසින් අපගේ කතා නායකයාව ස්ථානගත කරන්නේ, ‘භූමිකා’ හෝ ‘පුද්ගලයා’ තුළ නොව ඔහුගේ විනෝද වන ස්ථානය තුළ ය. නැතහොත් ඔහුගේ ‘ඇටය’ (Bone) බවට පත් වන ස්ථානයයි. ‘ඔසාමා බින් ලාඩන්’ යනු, මූලධර්මවාදී ආත්මයකි. ඔහු වෙඩි කෑවේ ඔහු අස්ථියක් වන පවුල තුළදී ය. (ඔහුගේ සාරය) CIA සංවිධානය ඔහුව සෙව්වේ, ඔහු ආත්මයක් වන තැනින් නොව සාරයක්, ඇටයක්, ද්‍රව්‍යයක්, ස්ත්‍රියක් වන තැනිනි.

              මා ඉහත සියල්ල කීවේ ”වෛද්‍ය රුවන් ජයතුංගගේ”[වෛද්‍යවරයෙකු ලෙස තම වෘතිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය රුවන් එම් ජයතුංග  කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙසටද මිනිපේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල යන රෝහල් වල සේවය කරන ලදි. ඔහු එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාවද, කැනඩාවේ හම්බර් විද්‍යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්‍රතිකාර ආයතනයේ මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්‍රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිළිබඳ පරියේශන පත්‍රිකා කීපයක්ද පළ කොට ඇත​. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් හදාරන ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් කෘතීන් පල කොට තිබේ. ] විධික්‍රමික දෝෂය පෙන්වා දීමටය. ඔහුගේ විධික්‍රමික දෝෂය කණපිට හැරවූ විට නිවැරදි පැත්ත හමු වෙයි. ඔහු නිර්මාල් දේවසිරි ගැන පහත ප්‍රවාදය ගොඩනඟයි.

       ”නිර්මාල් හිටපු පාස්ටර්වරයෙකි / ඔහු කුල පීඩිතයෙකි. මේ හරහා ඔහු තුල තිබෙන බොදු විරෝධී ස්ථාවරය හඳුනා ගත හැක.

                වෛද්‍ය රුවන් ජයතුංගට අනුව ඔහුගේ ප්‍රවාදය[1] මෙසේය. නිර්මාල්ට සැඟවුණු අතීතයක් ඇත. වෛද්‍යවරයාගේ ප්‍රතිවාදය[2] ඒ අනුව මෙසේය. ඔහු බෞද්ධ විරෝධීයෙකි. වෛද්‍යවරයාගේ සහවාදය[3] මෙසේ සකස් කළ හැකිය. සමාජයේ පරපීඩනයට අතීතයේ පත් වූ පුද්ගලයෙකු තමන්ට විරුද්ධ ප්‍රතිවාදය සංස්ලේෂණය කර මේ වන විට, සමාජයේ පොරක් වී ඇත. දැන් ඔහු සිටින්නේ විසංවාදී තැනකය. 

            අවාසනාවකට මෙන් වෛද්‍ය රුවන් ජයතුංගගේ ඉහත උපන්‍යාසය මනෝ විශ්ලේෂණයට සහ හේගල්ගේ තර්ක ක්‍රමයට අනුව දෝෂ සහගතය. මේ හේතුව නිසාම නිර්මාල්ට වෙනස්ව ඔහුට මනෝවිශ්ලේෂණයේ දේශපාලන මානය පෙන්වා දීමට හැකිය. නිර්මාල්ට ‘කුලය’ සහ ‘වාමාංශික දේශපාලනය’ වැනි සංකල්ප පසු-ආවර්තිතව සවි කරන කෙනෙකුට අමතක වන්නේ, X  කණ්ඩායමයි. වෛද්‍ය රුවන් ජයතුංග අමතක කරන්නේ, X නම් නිශේධනය යි. හෙගල් තමන්ගේ විශ්ලේෂණය පටන් ගන්නේ, නිෂේධනයෙනි (Negation). X නම් දේශපාලන ව්‍යාපාරයක් නැත්නම් නිර්මාල් කෙනෙක් ද නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නැතිනම් ගාන්ධි සහ ඉන්දියානු නිදහස් සටනක් ද නැත. X  අමතක කළ විගස නිර්මාල්ගේ වාදය සහ ප්‍රතිවාදය මෙසේ සකස් කළ හැකිය. Xට පෙර නිර්මාල් නම් වාමාංශිකයෙක් සිටියා (වාදය). X  කණ්ඩායමට බැඳුණු නිසා ඔහුගේ වාමාංශික බවට හානි විය. දැන් ඔහු නැවතත් අව්‍යාජ වාමාංශිකයෙකි. මේ වනාහි ඔහු පිළිබඳ දෘෂ්ටිවාදය යි.

               වෛද්‍ය රුවන් ජයතුංගගේ විග්‍රහය තුළ ඇති බලවත් දෝෂය (මේ දෝෂය ප්‍රතිජනනාත්මකය) නම් හේගල් විසින් හඳුන්වා දී ඇති ‘නිශේධනය’ නම් අදහස පිළිබඳ ඔහුට ඇති නොසැලකිල්ලයි. නිර්මාල් යනු, ‘කුල පීඩිතයෙකු’ ලෙස රුවන් හඳුන්වන විටම නිර්මාල් සම්බන්ධයෙන් එය Title එකකි. මන්දයත්, X දේශපාලනයට පෙර (93-95 වැනි යුගයක) ඔහුට එවැන්නක් හෝ නොතිබුණි. කලු ඇමරිකානු නවකතාකරුවෙකු වූ ”ජේම්ස් බෝල්ඩ්වින්ගේ” සමහර කතාවල සුදු ජාතික යුවලවල් ලිංගික රමණයේ යෙදෙන කාමරවලට කලු ජාතික සේවකයන් සංඥා නොකොට ඇතුල්වී තේ කෝප්ප තබා ඇති ට්‍රොලිය තල්ලු කරගෙන යයි. එහිදී බෝල්ඩ්වින් මතු කරන තර්කය වන්නේ, සුදු ජාතිකයන්ගේ ‘නිදන කාමරය’ වැනි පුද්ගලික ස්ථානයක දී පවා කලු ජාතිකයා මනුෂ්‍යයෙක් වශයෙන්වත් නොසලකන බවයි. මේ තත්ත්වය නිර්මාල් සම්බන්ධයෙන් කියන්නේ නම්, X  දේශපාලනයට පෙර නිර්මාල් යනු ද වාමාංශික මධ්‍යම පංතිකයන්ගේ අශ්ලීල ලිංගික ජවනිකාවලට බත් පැකට් supply  කරන ලද කොල්ලෙකි. ඔහුව එකල තිරාණගම, දයාන් ජයතිලක, තිසරණී ගුණසේකර වැනි මධ්‍යම පංතිකයන් ‘මනුෂ්‍යයකු’ ලෙසවත් ගණන් ගත්තේ නැත. දැනටත්, ඔහුව උඩ දමන ”ඉහළ කුලවල අය” එසේ කරන්නේ යළි අල්ලන්නට නොව මට රිදවීමටය. නැකැත් කුලයේ විමල් වීරවංශව රාජපක්ෂලා උස්සන්නේ, ‘නිර්වාන් රාජපක්ෂලාට’ අවශ්‍ය පෙරහැරේ අලි බෙටි ඇහිදීමට මිස කරඬුව ගෙන යාමට නොවේ.

            දැන් අපට වෛද්‍ය රුවන් ජයතුංගට, දයලෙක්තික තර්කනයට අනුව සකස් කළ නිර්මාල්ව මෙසේ සකස් කළ හැකිය.

  1.  X නිශේධනය-  අමතක කිරීම, මර්ධනය = වාදය.
  2. කුල පීඩිතයා- X ට පෙර පැවති තත්ත්වය =  ප්‍රතිවාදය.
  3.  විශ්ව විද්‍යාල චින්තකයා- Xට පසු තත්වය = සහවාදය.

                  X කණ්ඩායම නැති ලොවකදි ඉහත ‘වාදය’ සහ ‘ප්‍රතිවාදය’ යන දෙකම අතුරුදහන් වෙයි. එනම්, නිශේදනයේ නිශේධනය යි. බ්‍රිතාන්‍යයට පෙර ඉන්දියාව නැති අතර බ්‍රිතාන්‍යය ඉන්දියාව හැරගිය පසු ‘බ්‍රිතාන්‍ය-ඉන්දියාව’ ද අතුරුදහන් වෙයි.

               හේගල්ගේ දයලෙක්තිකය සහ ලැකාන්ගේ ‘විනෝදය’ නම් සාධක දෙක එකතු කළ විට අපට පහත් ආකාරයේ නිගමනයකට එළඹීමට හැකි ය. අප මීට ඉහත කතා කළ මානව හිමිකම් ක්‍රියාකාරිකයා කුල මානය සහිත කෙනෙකි. (ගොවිගම කුලය උසස් යැයි ඔහු රහසින් අදහයි)  පසුගිය කාලයේ දිනෙක, ‘දීප්ති’ නම් විනෝද සාධකයට එරෙහිව වඩේ එකක් කන්නට පුංචි මේසයක අර කී මානව හිමිකම් ක්‍රියාකාරිකයා සහ නිර්මාල් එක්සත් වෙයි. ‘මටත් ප්‍රශ්න තියෙනවා’ යැයි මානව හිමිකම් ක්‍රියාකාරිකයා නිර්මාල්ට කියයි. වෛද්‍ය රුවන් ජයතුංග අමතක නොකළ යුතු ලුබ්ධි සාධකය කුමක්ද? මානව හිමිකම් ක්‍රියාකාරිකයාට අවිඥාණකව සිතෙන දෙය මෙසේ කීමට හැකිය. “මොනව වුනත් මෙයා පහල කුලයේ කෙනෙක්. පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහත් අර කිව්වේ, මේ අය ඉන්නේ අපට කරන්න බැරි වැඩ කරවගන්න විතරයි. මොකටද ඔඩොක්කුවේ වාඩි කර ගන්නේ කියලා”.[absolute Subject] කුල සාධකය එන්නේ ‘දීප්ති’ නම් විනෝදය පැහැර ගැනීමේ දී ය.

                 දැන් ගැටලුව වන්නේ, මෙවැනි ”සමාජ-දේශපාලන” ගැටලුවලදී විනෝදය ( වේදනාත්මක සතුට හඹා යාම) ක්‍රියාත්මක වන ආකාරය වටහා ගැනීමයි. පුද්ගල මානව විද්‍යාව පිළිබඳව සටහන් ලියන නන්දන වීරරත්නගේ එක්තරා ලිපියක ලෙස්ලි ගුණවර්ධනගේ බිරිඳ සමඟ ‘N.M. පෙරේරා’ ලිංගික සබඳතා පවත්වයි. ලෙස්ලි ‘විප්ලවය’ වෙනුවෙන් එම වේදනාව ඉවසයි. අපි එය ඊළඟ ලිපියේ දී සාකච්ඡා කරමු.

Deepthi Kumara Gunarathne.

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. i assume, the perspective of this analysis is caused by deepthi’s inferiority by the way, if he had a university degree it wouldn’t have happened in this naive way. I’M sorry for that.
    and another thing, I claim here precisely that you make flatteringly remarks on Ruwan jayathunge’s Bullshit.
    ,කලු ඇමරිකානු නවකතාකරුවෙකු වූ ”ජේම්ස් බෝල්ඩ්වින්ගේ” සමහර කතාවල සුදු ජාතික යුවලවල් ලිංගික රමණයේ යෙදෙන කාමරවලට කලු ජාතික සේවකයන් සංඥා නොකොට ඇතුල්වී තේ කෝප්ප තබා ඇති ට්‍රොලිය තල්ලු කරගෙන යයි. එහිදී බෝල්ඩ්වින් මතු කරන තර්කය වන්නේ, සුදු ජාතිකයන්ගේ ‘නිදන කාමරය’ වැනි පුද්ගලික ස්ථානයක දී පවා කලු ජාතිකයා මනුෂ්‍යයෙක් වශයෙන්වත් නොසලකන බවයි, this is zizek’s idea which was being told during his lecture … or your own ?

  2. වෙඩි වගේ ලිපියක්. දීප්ති ඉඳල ඉඳල ලියනවා කණ පැලෙන්න .තරහ කාරයෝ වැඩි ඒකයි 🙂

Comments are closed.