නූතනත්වය සහ සම්ප්‍රදාය අතර ගැටුමද?

“සමහර ප්‍රතිවිරෝධයන් එකමුතුය. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රතිවිරෝධයක් තිබෙන මුත් එය එකමුතුය. අනෙක් අතට මේ වනවිට රනිල් – මහින්ද අතර ප්‍රතිවිරෝධය ද එකමුතුය. නමුත් සමහර ප්‍රතිවිරෝධතාවයන් පසමිතුරුය. මහින්ද සහ මෛත්‍රී අතර ප්‍රතිවිරෝධය පසමිතුරුය. [Antagonistic]නමුත් පාර්ශවීය ප්‍රතිවිරෝධයන් සහ ප්‍රධාන ප්‍රතිවිරෝධය අතර වෙනස මැනැවින් හඳුනාගත යුතුය. තවමත් ලංකාවේ ප්‍රධාන ප්‍රතිවිරෝධය පවතින්නේ දෙමළ – සිංහල පසමිතුරුභාවය තුළය. අනෙක් ඕනෑම ප්‍රතිවිරෝධයක් මෙම ප්‍රතිවිරෝධයට ද්විතීයිකය. එය ආර්ථිකය සම්බන්ධයෙන් ද අදාළය. ජාතික ගැටලුව ඉස්මත්තේ පවතින යථාර්ථයක් තුළ බඩු මිල ඉහළ යාම දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමට නියමිත නැත. පෙනෙන විදියට ආණ්ඩුව ප්‍රධාන ප්‍රතිවිරෝධය ලෙස ගන්නේ මෛත්‍රීපාල සහ මහින්ද අතර ඇති ප්‍රතිවිරෝධයයි. නමුත් සිවිල් සමාජය තමන්ගේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ලෙස සලකන්නේ නූතනත්වය සහ සම්ප්‍රදාය අතර ගැටුමයි.”

මෛත්‍රීපාල – රනිල් – සම්බන්ධන් – හකීම් විසින් චලනය කරන ආණ්ඩුවට වසරක් ගත වී ඇත. ආණ්ඩුව ඇතුළත ඇති ප්‍රධාන ප්‍රතිවිරෝධයන් මෙලෙස හඳුනා ගත හැක.

(1) දේශපාලනික වශයෙන් රනිල් ප්‍රගතිශීලීය. ඉන් අදහස් වන්නේ ඔහු දෙමළ ප්‍රශ්නය ත්‍රස්ත්‍රවාදයට ඌණනය නොකර ඊට දේශපාලන විසඳුමක් දීමට රුචි නිසාය. නමුත් ප්‍රගතිශීලීන්ට අනුව රනිල්ගේ ආර්ථික මතවාදය ප්‍රතිගාමීය. එය ඉහළ සමාජ ස්ථරයන්ට ලිබරල්වාදයක් දේශනා කරන අතර පහළ සමාජ තට්ටුවලට පටි තද කරගැනීමට යෝජනා කරයි.

(2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිවාදි මහින්ද පාර්ශ්වයේ තෙරපුම නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදයට ජාතිකවාදී අඩංගුවක් එකතු වන අතර ආර්ථික වශයෙන් සමාජයේ පහළ තට්ටුවලට ඇමතීමක් කරයි.

(3)ආර්ථික මතවාදයක් රහිතව දේශපාලන ප්‍රතිසංස්කරණ වලට පමණක් ඌණනය වීමට සිදුවීම නිසා සිවිල් සමාජය රාජ්‍යය (State)  බවට පත්වීමට බල කෙරී ඇත.

(4) ඉන්දියාවේ බලපෑම පාලනය කිරීමට චීනයට අවශ්‍ය නිසාත් , අනෙක් පැත්තට ඉන්දියාවට චීනයේ බලපෑම අවම කිරීමට අවශ්‍ය නිසාත් විදේශ ණය සම්බන්ධයෙන් දෝලනයක් ඇති වී ඇත. එක පැත්තකින් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා යුරෝපය දෙසට හැරීමට බල කෙරෙන අතර අනෙක් පැත්තෙන් ආයෝජනය සඳහා චීනය දෙසට හැරීමට බල කෙරෙයි.

(5) එක පැත්තකින් උතුරේ ගැටලුව ගැන කේවල් කිරීමට මහින්ද පාර්ශ්වයට එරෙහිව සුළු ජාතික ඡන්ද අවශ්‍ය අතරම ඒ නිසාම මහජාතියේ වික්ෂිප්තබවට මුහුණ දීමට සිදු වී ඇත.

මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක් සේම යහපාලන ආණ්ඩුව ද නිර්මාණය වී ඇත්තේ ප්‍රතිවිරෝධතා සමස්තයකිනි. ඉහත දක්වා ඇත්තේ මෙම ප්‍රතිවිරෝධතාවල විවිධ පැති පෙනුම්ය. ඉන් සමහර ප්‍රතිවිරෝධයන් එකමුතුය. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රතිවිරෝධයක් තිබෙන මුත් එය එකමුතුය. අනෙක් අතට මේ වනවිට රනිල් – මහින්ද අතර ප්‍රතිවිරෝධය ද එකමුතුය. නමුත් සමහර ප්‍රතිවිරෝධතාවයන් පසමිතුරුය. මහින්ද සහ මෛත්‍රී අතර ප්‍රතිවිරෝධය පසමිතුරුය. නමුත් පාර්ශවීය ප්‍රතිවිරෝධයන් සහ ප්‍රධාන ප්‍රතිවිරෝධය අතර වෙනස මැනැවින් හඳුනාගත යුතුය. තවමත් ලංකාවේ ප්‍රධාන ප්‍රතිවිරෝධය පවතින්නේ දෙමළ – සිංහල පසමිතුරුභාවය තුළය. අනෙක් ඕනෑම ප්‍රතිවිරෝධයක් මෙම ප්‍රතිවිරෝධයට ද්විතීයිකය. එය ආර්ථිකය සම්බන්ධයෙන් ද අදාළය. ජාතික ගැටලුව ඉස්මත්තේ පවතින යථාර්ථයක් තුළ බඩු මිල ඉහළ යාම දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමට නියමිත නැත. පෙනෙන විදියට ආණ්ඩුව ප්‍රධාන ප්‍රතිවිරෝධය ලෙස ගන්නේ මෛත්‍රීපාල සහ මහින්ද අතර ඇති ප්‍රතිවිරෝධයයි. නමුත් සිවිල් සමාජය තමන්ගේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ලෙස සලකන්නේ නූතනත්වය සහ සම්ප්‍රදාය අතර ගැටුමයි. එබැවින් ප්‍රධාන ප්‍රතිවිරෝධය සම්බන්ධයෙන් ආණ්ඩුව සහ සිවිල් සමාජය අතර මතවාදී වෙනසක් ඇත. ඊජිප්තුවේදී නූතනත්වය නියෝජනය කළේ යුද හමුදාවයි. එහි සම්ප්‍රදාය නියෝජනය කරනු ලැබුවේ මුස්ලිම් සහෝදරත්වයයි. ජයග්‍රාහකයා වූයේ යුද හමුදාවයි. ශ්‍රී ලංකාවේදී තත්ත්වය තවම විවෘතය.

දීප්ති කුමාර ගුණරත්න

සමබිම මැයි කලාපයේ පලවු සටහනකි

ඔබේ අදහස කියන්න...