අප ජීවත් වන ලෝකය තේරුම් ගැනීම සඳහා විද්‍යාව යොදා ගත හැකි ය යන මතය මේ යුගයේ අධිනිශ්චය වී ඇත. එම තත්ත්වය ඇතුළු වර්තමානය වටහා ගැනීම සඳහා ලැකානියානු මනෝවිශ්ලේෂණයට අදාළ ස්වාමියාගේ (Master’s), විශ්වවිද්‍යාලයීය (University), හිස්ටෙරිකයාගේ (Hysteric’s) හා විශ්ලේෂකයාගේ (Analyst’s) කතිකා (Discourses) හතර ඉවහල් කර ගත හැක්කේ කෙසේ ද යන්න හා එම කතිකා හතර අතරින් විශ්වවිද්‍යාලයීය කතිකාව වර්තමානයේ ධනවාදියාගේ කතිකාව (Capitalist’s Discourse) සමඟ සම්බන්ධ වී පවතින ආකාරය මින් විමසා බැලේ.

අද වන විට විද්‍යාව යනු තාක්ෂණය, අලෙවිකරණය හා මූල්‍ය අරමුණු පෙරදැරි කර ගත් යමක් බවට පත් වී ඇත. (මේ සඳහා කෝවිඩ් 19 සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඇති වී ඇති තරඟය සිහිපත් කර ගන්න.) එමෙන් ම එය ‘සැබෑව හා ආත්මමූලිකත්වය’ ඉවත් කරන දෘෂ්ටිවාදයක් බවට ද පත් ව ඇත. නමුත් විද්‍යාවේ ආරම්භය සම්බන්ධ වන්නේ ලැකානියානු ‘හිස්ටෙරිකයාගේ කතිකාවට’ ය. එනම්, සරල ලෙස සඳහන් කරන්නේ නම් ලැකානියානු හිස්ටෙරිකයාගේ කතිකාව මඟින් ප්‍රශ්න කරනු ලබන්නේ ස්වාමියාගේ පවත්නා දැනුම ය. පවතින දැනුම අභියෝගයට ලක් කරමින් එය නව දැනුමක් නිෂ්පාදනය කරනු ලබයි. එමඟින් පවතින දැනුවත්භාවය අර්බුදයට ලක් කරයි. එම නව දැනුම පවත්නා සත්‍යයට කිසිඳු ආකාරයකින් සම්බන්ධ කළ නො හැකි ය. මෙම සත්‍යය යනු පවත්නා දැනුමේ බිඳවැටීමක් ලෙස ද නම් කළ හැකි ය. එම නව සත්‍යයේ ආස්ථානය දැරීම ජීවිතයෙන් වන්දි ගෙවීමක් දක්වා ද දුරදිග යා හැකි ය. නිදසුනකට සොක්‍රටීස් සහ යේසුස් වහන්සේ නව සත්‍යය ප්‍රකාශ කිරීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූහ. එවිට අප වටහා ගත යුත්තේ එම සත්‍යයේ ආස්ථානය දරා සිටීම අනතුරුදායක බව ය. කල් ගත වත්ම මෙම සත්‍යය දැනුමක් බවට පත් වන අතර එය සම්බන්ධ වන්නේ ලැකානියානු විශ්වවිද්‍යාලයීය කතිකාවට ය. එය ‘දැනුමක්’ පමණක් ලෙස භාවිතා කළ විට ක්‍රමය නඩත්තු කිරීමක් විනා වෙනසක් සිදු නො වේ. එබැවින් විද්‍යාව ලෝකය තේරුම් ගැනීම පිළිබඳ දැනුමක් (විශ්වවිද්‍යාලයීය කතිකාව) ලෙස හා ලාභය අරමුණු කරගත් භාවිතාවක් (ධනවාදියාගේ කතිකාව) වන විට ලැකානියානු කතිකා ඇසුරින් අප වටහා ගත යුත්තේ එය ක්‍රමය පවත්වා ගෙන යෑමේ වෑයමක් ලෙස ය. නිදසුනකට කිසිවෙකු ශ්‍රී ලංකාව තුළ දීප්ති මතු කරනු ලබන ‘සත්‍යය’ දැනුමක් ලෙස භාවිතා කළ පමණින් කිසිවක් වෙනස් වීමට නියමිත නැත. දීප්ති දැනුමට හෝ ජිජැක්ට ආශා කරනවා යැයි සිතා කිසිවෙකු දැනුමට හෝ ජිජැක්ට ආශා කළ පමණින් ද සමාජය වෙනස් වන්නේ නැත. ලැකාන් සඳහන් කර ඇත්තේ ද තමන්ගේ දේශන “දාර්ශනික වල්පල්” බවට පත් නො කරන ලෙස ය. එම දාර්ශනිකත්වය අදාළ වන්නේ විශ්ලේෂකයාගේ කතිකාවට නො ව විශ්වවිද්‍යාලයීය කතිකාවට ය. ඔහුගේ නව්‍යබව (Originality) පවතින්නේ ඒ තුළ ය. එවිට ලැකානියානු මනෝවිශ්ලේෂණය දැනුමක් ලෙස භාවිතා කළ පමණින් කිසිවක් වෙනස්වීමට නියමිත නැත. ඒ තුළ පවතින්නේ ඔහුගේ හෝ ඇයගේ විනෝදය පමණි. රැඩිකල් වෙනසක් සිදුවීමට නම් මනෝවිශ්ලේෂණය මඟින් නව ස්වාමි හැඟවුම්කාරකයක්- New Master Signifier- බිහිවිය යුතු ය. මෙම තත්ත්වය අපට 2004 දී X කණ්ඩායමේ සිදුවූ ඛණ්ඩනය ඇසුරින් ද පැහැදිලි කර ගත හැකි ය. වෙනසක් සිදුවීමට නම් කළ යුතු වන්නේ විශ්වවිද්‍යාලයීය කතිකාව වෙනුවට දීප්ති මෙන් විශ්ලේෂකයාගේ කතිකාව ඔස්සේ නව ස්වාමියෙකු පිළිබඳ විශ්වාස කිරීම හෝ ඊට සහාය දීම ය. නමුත් වර්තමානයේ මාධ්‍ය තරු බවට පත් වී සිටින ව්‍යාජ අරගලකරුවන්ට එවැන්නක් පිළිබඳ කිසිඳු අවශ්‍යතාවයක් නො මැති බව පෙනේ.

 

2004 දී X කණ්ඩායමෙන් වෙන් ව ගිය පිරිස පළ කළ අවසන් “ලන්ඩන්“ සඟරාවේ (2005 – ජනවාරි, පෙබරවාරි) පළ කර තිබූ එක් ප්‍රධාන තේමාවක් වූයේ පියාගේ භූමිකාව පිළිබඳ ගැටලුව ය. එහි දී ඔවුන් මූලික ව පාදක කරගෙන තිබුණේ ‘පෝල් ෆර්හාග්ගේ’ ලිපියකි. ඔවුන් එවක මතු කරමින් සිටි මූලික අදහස වූයේ තහංචිය යනු බාහිරව සිටින කිසිවෙකු විසින් ගෙන එනු ලබන්නක් බව ය. නමුත් 1968 වර්ෂයේ ප්‍රංශයේ ශිෂ්‍ය අරගලයත් සමඟ ලැකාන් කතිකා හතර ඇසුරෙන් පෙන්වා දුන්නේ පියා පිළිබඳ අදහස වෙනුවට ‘ස්වාමියා’-Collapse of Master- පිළිබඳ අදහස ය. එමෙන් ම ස්වාමියාගේ, විශ්වවිද්‍යාලයීය, හිස්ටෙරිකයාගේ හා විශ්ලේෂකයාගේ නමැති කතිකා සමාජ සම්බන්ධතා ගොඩනැගීම වටහා ගැනීමට අදාළ වන බව ය. එම ප්‍රධාන ලැකානියානු කතිකා හතරට අමතරව අද වන විට ලැකානියානු ”ධනවාදියාගේ කතිකාව” ද මෙයට ඇතුළත් කළ හැකි ය. නමුත් එමඟින් සමාජ සම්බන්ධතාවයක් ගොඩ නො නැඟේ. මෙම ලැකානියානු මූලික කතිකා හතර අනුව සමාජ බන්ධනය ඇති වන්නේ භෞතික ද්‍රව්‍ය වන පාරිභෝගික භාණ්ඩ හුවමාරු කර ගැනීම මඟින් හෝ කිහිප දෙනෙක් එක් ව විවේක කාලය ගත කිරීම වැනි සරලමතික දේ මඟින් නො ව ”භාෂාව” මඟිනි. එය අනෙකාට සම්බන්ධ භාෂාමය නිෂ්පාදනයක් හා තමාගේ ආශාවට අනුකූලව අනෙකා ව හඳුනා ගැනීමක් ද වේ. මෙහි දී අප වටහා ගත යුත්තේ මනෝවිශ්ලේෂණයට අනුව ආත්මය විසින් කතිකාව දරා සිටිනවා නො ව ආත්මයට හිමි තැන ලබා දෙමින් එම ආත්මය නිර්මාණය කරන්නේ කතිකාව බව ය. එනම්, ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව අපගේ ආත්මය තීරණය වන්නේ අප සම්බන්ධ වන කතිකාවට අනුව ය. අප යමක් ප්‍රකාශ කරන විට අප අයත් කතිකාව හඳුනා ගත හැකි ය. එවිට මෙම ලැකානියානු කතිකා යනු කෙනෙකුගේ ආත්මීය තලයේ ප්‍රකාශමානවීමක් නො ව කතා කරන ආත්මයේ තර්කනය යි. නිදසුනකට ලැකාන්ට අනුව මත්පැන් හලක ඇති වන දේශපාලනය සම්බන්ධ විවාදයක දී වුව ස්වාමියා සිය සමාජ බන්ධනය සාදා ගනියි. ඊට සාපේක්ෂව විශ්වවිද්‍යාලයීය කතිකාව ඉගැන්වීමේ ක්‍රියාවට ආදේශ කළ විට සමාජ බන්ධනය සෑදෙන්නේ ශිෂ්‍යයා නො මඟ යැවීමෙනි. එහි දී තමන් ඉගෙන ගැනීමට ආශා කරන දේ යමෙකු උගන්වන බවට වන විශ්වාසයක් ශිෂ්‍යයා තුළ ඇති කරවයි.

ඉහත සඳහන් කළ අවසන් “ලන්ඩන්“ සඟරාවේ ‘ප්‍රභා මනුරත්න’ ස්වාමියාගේ ආස්ථානය ප්‍රශ්න කිරීමකට ලක් කරමින් නව සත්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව කතුවැකිය මඟින් පෙන්වා දී ඇත්තේ පහත පරිදි ය. “එම නිසා සැබෑ අරගලය පවතින්නේ මුළු මහත් සමාජ දේශපාලනික ව්‍යුහය ම රැඩිකල් වෙනස් කිරීම තුළ ය.“ සැබැවින් ම එය රැඩිකල් ප්‍රකාශයකි. (පසුආවර්තිත ව සලකා බලන විට එම රැඩිකල්භාවය යනු අහම්බයක් බව පෙනේ.) ඒ සඳහා ඇය පාදක කර ගන්නේ පෝල් ෆර්හාග් ය. මෙහි දී බැලූ බැල්මට ඇය ස්වාමියා ප්‍රශ්න කරන බව පෙන්නුම් කළ ද එහි වගකීම තමන් බාර ගනු වෙනුවට (නව දැනුමක් නිෂ්පාදනය කරනු වෙනුවට) එය පෝල් ෆර්හාග්ට බාර කරයි. එහි දී ඇය දීප්ති කුමාර ගුණරත්නට වඩා පෝල් ෆර්හාග් දන්නවා ඇතැයි විශ්වාස කරයි. එනම්, එහි දී ඇය ලාංකේය ස්වාමියා වෙනුවට අනන්‍ය වන්නේ සුදු ස්වාමියා සමඟ ය. එම සඟරාව නිකුත් වී වසර පහළොවක් පමණ ගත වී ඇති මෙම කාලය වන විට පෝල් ෆර්හාග් තම ආස්ථානය වෙනස් කර ගෙන ඇත. බටහිර ස්වාමියා සිය ආස්ථානය වෙනස් කළ විට ඇය එම වෙනස් වූ ආස්ථානය වෙනුවෙන් පෙනී සිටින්නේ ද? එමෙන් ම මෙහි දී ඇය දීප්ති නමැති පිරිමියාට එරෙහිව පෝල් නමැති වෙනත් පිරිමියෙක් තෝරා ගනියි. ඒ අනුව එය පියා සහ තහංචිය පිළිබඳ ගැටලුවකට වඩා ඇගේ අවිඥානය හා ඇය සම්බන්ධ වන කතිකාව පිළිබඳ ගැටලුවක් බවට පත් වේ. 2004 දී X කණ්ඩායමෙන් බිඳී ගිය කණ්ඩායම තුළ න්‍යායික විභවතාවක් තිබුණේ ප්‍රභාට පමණි. නමුත් 2004 දී ස්වාමියා ප්‍රශ්න කරමින් නව සත්‍යයක අවශ්‍යතාවය අවධාරණය කළ ද ඉහත සඟරාව මඟින් ඇය ම යෝජනා කළ රැඩිකල් ආස්ථානයෙන් ඇය විතැන් වී ඇත.

ලැකානියානු ස්වාමියාගේ කතිකාව හා ලැකානියානු විශ්වවිද්‍යාලයීය කතිකාව අතර පවතින සම්බන්ධතාවය මීළඟට පැහැදිලි කර ගනිමු.

ලැකානියානු ස්වාමියාගේ කතිකාවට අදාළ රූප සටහන

 

ලැකානියානු විශ්වවිද්‍යාලයීය කතිකාවට අදාළ රූප සටහන

 

විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී දැනුම (S2) ස්වාමියාගේ කතිකාවේ ස්වාමි හැඟවුම්කාරකය (S1) පැවති නියෝජිතයාගේ තැනට ආදේශ වී ඇත. විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී ස්වාමි හැඟවුම්කාරකය යනු මර්දනය කර ඇති දෙයකි. තමාට ස්වාමියෙකු (S1) ලෙස නියෝජනය විය නො හැකි බැවින් ඒ වෙනුවට එහි නියෝජනයක්/සමරූපයක් ලෙස දැනුම (S2) ක්‍රියා කරයි. මෙහි දී දැනුම (S2) මඟින් කුඩා වස්තුවට (a) ලැබෙන නියෝගය මඟින් බෙදුණු ආත්මය ($) බිහි වේ. එනම්, මෙම විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී නියෝජනය වන දැනුම (S2) මඟින් වස්තුව (a) යළිත් බෙදුනු විෂයක් ($) බවට පත් වන නමුත් එය කතිකාවේ ආරම්භයේ පවතින ස්වාමි හැඟවුම්කාරකයට (S1) සම්බන්ධ නො වී නැවතත් දැනුමට (S2) සම්බන්ධ වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම කතිකාවේ නිෂ්පාදනය වන බෙදුණු ආත්මයට ස්වාමි හැඟවුම්කාරකය සමඟ කිසිඳු සබඳතාවක් නො මැති වීම යි. එහි පවතින්නේ බැරියාවකි.

මෙම විශ්වවිද්‍යාලයීය කතිකාව ව්‍යාජ කතිකාවක් ලෙස නම් වන්නේ ද ස්වාමි හැඟවුම්කාරකය වම්පස පහතින් පවතින බැවින් ස්වාමියෙකු ඒ තුළ හඳුනා ගැනීමට නො හැකි ලෙස සකස් වී ඇති නිසා ය. එවිට මෙම කතිකාවේ නිෂ්පාදනය වන බෙදුනු ආත්මයට ($) ආරම්භකයා (S1) පිළිබඳ අදහසක් නො පවතියි. ඉහත රූප සටහන්වලට අනුව විශ්වවිද්‍යාලයීය කතිකාව, ස්වාමියාගේ කතිකාව සමඟ සන්සන්දනය කිරීමේ දී විශ්වවිද්‍යාලයීය කතිකාව යනු ස්වාමියාගේ කතිකාව වාමාවර්ත ව භ්‍රමණය වීමෙන් සෑදූණ එකක් බව වටහා ගත හැකි ය. එනම්, ස්වාමියාගේ කතිකාවේ නියෝජිතයා වූ ස්වාමි හැඟවුම්කාරකය (S1) පැවති තැනට විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී අනෙකාගේ (other) ස්ථානයේ පැවති දැනුම (S2) පැමිණ ඇත. එනම්, විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී සිදු වන්නේ ස්වාමියාගේ අන්තේවාසිකයා ලෙස සිටින්නා (වහලා) ස්වාමියාගේ තැනට ආදේශ වීම ය. මෙය අපි සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු. යම් දේශපාලන සංවිධානයක ප්‍රධානියා තම සාමාජිකයෙකුට දේශපාලන ආර්ථිකය පිළිබඳ පොත් සපයා දී සංවිධානයේ අවශ්‍යතා අනුව ලිපි රචනා කිරීමට මඟ පෙන්වූවා යැයි අපි උපකල්පනය කරමු. එවිට ඔහු තම ලිපි (නිෂ්පාදනය) මඟින් විනෝදවන්නට පටන් ගනියි. ඒ අතරම තම ප්‍රධානියාට අවශ්‍ය කුමක්දැයි තමන් දන්නා බව ඔහු උපකල්පනය කරයි. කාලය ගත වත් ම තමාට ප්‍රධානියා මෙන් කටයුතු කරන්නට හැකි බව සිතා ඔහු ප්‍රධානියාගේ ස්ථානයට ආදේශ වන්නට උත්සාහ කරයි. නමුත් ඔහුට අමතක වන්නේ තමාගේ සත්‍යය යනු පැරණි ප්‍රධානියා බව ය. එබැවින් ඔහු සැබැවින් ම පත් වන්නේ ව්‍යාජ ප්‍රධානියෙක් බවට ය. එසේත් නැතිනම් විපරීත ප්‍රධානියෙක් බවට ය. මෙහි දී ඔහු පැටලෙන මායාව වන්නේ ප්‍රධානියාගේ ආශාව ඔහු දන්නේ ය යන්න යි. නමුත් අප වටහා ගත යුත්තේ ආශාව යනු නීතිය නිසා උපදින යමක් බව ය. දේශපාලන සංවිධානයේ ප්‍රධානියා යනු සංවිධානයේ නීතිය සම්පාදනය කරන්නා වන නිසා ඔහුට ද සිය ආශාව පිළිබඳ වැටහීමක් නො මැත. නීතිය යන්න තහවුරු වන්නේ හා සංවිධානය නියාමනය වන්නේ ඔහුගේ වැඩපිළිවෙල දිගින් දිගට ක්‍රියාත්මකවීම තුළ මිස නීතිය ආරම්භයේ දී ම තහවුරු වූවක් නො වේ. මෙය රජතුමා යුද්ධ කිරීම සඳහා ආයුධ සාදා දෙන්න යැයි කම්මල්කරුට විධානය කළ පසු ආයුධ සෑදීමට තමන් දන්නා නිසා තමන්ට ම යුද්ධ කිරීමට නො හැකිදැයි සිතා කම්මල්කරුවා රජවීම හා සමාන ය. විශ්වවිද්‍යාලයීය කතිකාව ස්වාමියාගේ කතිකාවට සාපේක්ෂව වහලාගේ කතිකාව ලෙස ද නම් කළ හැක්කේ මේ නිසා ය. එම කතිකාව අයත් වන්නේ ස්වාමිවරුන් ලෙස පෙනී සිටින වහලුන්ට ය. වහල් කඳවුරක දී වුව වඩා දුෂ්ටතම වන්නේ මුරකරුවන් නො ව අනෙක් වහලුන් දෙස ඇස ගසා සිටින්නැයි පරිපාලනය විසින් නම් කර සිටින තමන් ස්වාමිවරුන් යැයි සිතා සිටින වහලුන් පිරිස ය.

ඉහත ආකාරයට විශ්වවිද්‍යාලයීය කතිකාව, ස්වාමියාගේ කතිකාව සමඟ සන්සන්දනය කිරීමේ දී ඊට අදාළ අනෙකුත් සාධක ද වාමාවර්තව ස්ථානගත වී ඇති බව දක්නට ලැබේ. ඒ අනුව විශ්වවිද්‍යාලයීය කතිකාවේ නියෝජිතයා ලෙස පවතින දැනුම හා විශේෂඥබව යනු ස්වාමියාගේ කතිකාවේ දී වහලාට (අනෙකාට) සම්බන්ධ වී තිබූ දෙයකි. විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී වහලාගේ එම දැනුම සම්බන්ධ වන්නේ අතිරික්තයට ය, විනෝදයට ය. ඒ අනුව ඔහු තම දැනුම සමඟ විනෝද වේ. මෙම කතිකාවේ දී වහලා ස්වාමියාගේ ස්ථානයේ පැවතියත් (ස්වාමි හැඟවුම්කාරකය සැඟ වී පවතින නිසා) පෙර දී ද පෙන්වා දුන් පරිදි ඔහුට ස්වාමියෙකු වීමට නො හැකි වී ඒ වෙනුවට බිහි වන්නේ විපරීත ස්වාමියෙකි. එම නිසා ඔහු තමා බලය පතුරුවන බව පෙන්නුම් කරන නමුත් එහි ව්‍යාජ බවක් දකින්නට ලැබේ. එවිට විශ්වවිද්‍යාලයීය කතිකාව යනු ස්වාමියාගේ කතිකාවේ හාස්‍යානුකරණයක් බවට පත්වන අතර එය සිදු වන්නේ ස්වාමියා මර්දිත යමක් බවට පත් කිරීම මඟිනි. අසමත්කමක් වුවත් ජයග්‍රාහී සාර්ථකත්වයක් ලෙස එය බැලූ බැල්මට පෙනෙන්නට සලස්වයි. මෙහි දී වහලා බැඳී සිටින්නේ ස්වාමිත්වය නමැති මායාවට ය. එය වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ඔහු සම්බන්ධ වන්නේ ස්වාමියාට වඩා ස්වාමියාගේ විනෝදයට ය. දීප්ති සහ අනෙක් අය අතර වෙනස පවතින්නේ මෙහි දී ය. දීප්ති දැනුමකට වඩා න්‍යාය හඳුන්වාදෙමින් සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවට දායක වන විට අනෙක් අය දීප්ති දැනුම මඟින් විනෝද වන්නේ යැයි සමපේක්ෂණය කරයි. සැබැවින් ම මෙම විකාරරූපී තත්ත්වය සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාලයීය කතිකාවට ය.

මෙම තත්ත්වය තවත් පැහැදිලි කරන්නේ නම් විශ්වවිද්‍යාලයීය කතිකාවේ දී නියෝග ලබා දීමේ ආස්ථානයෙන් ස්වාමියා විතැන් වන විට එතැනට ආදේශ වන්නේ දැනුම හා විශේෂඥභාවය යි. එනම්, පෙර කී පරිදි මෙහි දී තමන් ව නිර්මාණය කළ ස්වාමියා සැඟවීමක් සිදු වේ. මෙහි මෙම දැනුම යනු සෑම දෙයක් පිළිබඳ දැනුම නො ව සියල්ල දන්නා බව ද වේ. එහි දී ලබා දෙන නියෝගය වන්නේ දැනුම ලබා ගැනීම නො නවත්වා සිදු කරන ලෙස යි. නමුත් මෙය සම්බන්ධ වන්නේ ව්‍යාජ වාස්තවික දැනුමකට ය. “සෑම විටම ඉගෙන ගන්න“, “ඔබ සෑම විටම දැන ගත යුතුයි“ යන්න එහි ආදර්ශ පාඨ ලෙස සඳහන් කළ හැකි ය. මේ තුළ ඇත්තේ නො නවතින දැනුම හඹායාමකි. ඒ අනුව මෙහි දී සිදුවන්නේ දිගින් දිගටම වැඩි වැඩියෙන් දැනුම සොයා යාමක් මිස සමාජය වෙනස් කිරීමක් නො වේ. විශ්වවිද්‍යාලයීය කතිකාව සියල්ල සංකේතනයට යටත් කිරීමට දරන උත්සාහයක් ලෙස ද සැලකිය හැකි වන්නේ මේ නිසා ය. සියල්ල භාෂාව මඟින් තේරුම් කළ හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබ සිටින්නේ විශ්වවිද්‍යාලයීය කතිකාවේ ය. මනුෂ්‍යයා ප්‍රථමව හා භාෂාව පසුව බිහි වූවා යැයි ඔබ සිතන්නේ නම් ඔබ සිටින්නේ විශ්වවිද්‍යාලයීය කතිකාවේ ය. එනම්, විශ්වවිද්‍යාලයීය කතිකාවට අනුගතවන්නා සියල්ල භාෂාවට ඌනනය කළ හැකි යැයි විශ්වාස කරන්නෙකි.

විශ්වවිද්‍යාලයීය කතිකාවට අදාළ ‘ආචාර ධර්මයට’ අනුව එම කතිකාවට අයත් කෙනෙක් තම දේශනය හෝ ඉදිරිපත් කර ඇති අදහස පිළිබඳ අන් අයගෙන් විමසන විට ඔහු බලාපොරොත්තු වන්නේ එම දේශනය ‘ඉතා හොඳ ය’ යන ප්‍රතිචාරය ය. ඔහු පළ කර ඇත්තේ ඉතා අප්‍රසන්න හෝ නො ගැලපෙන අදහසක් වුව ද ඔහු රසික ප්‍රජාවගෙන් බලාපොරොත්තු වන්නේ යහපත් ප්‍රතිචාරයකි. ඒ අනුව විශ්වවිද්‍යාලයීය කතිකාව දැනුම හා අධ්‍යාපනයට මෙන් ම බල සම්බන්ධයකට සම්බන්ධ වේ. නිදසුනකට නිබන්ධනයක දී හෝ යම් අදහස් දැක්වීමක දී කෙනෙකු විවිධ දාර්ශනිකයන්ගේ නම් සඳහන් කරන්නේ නම් එමඟින් ගොඩ නඟන්නේ බල සබඳතාවයකි. එමඟින් ඔහු අපේක්ෂා කරන්නේ තමන්ට ශාස්ත්‍රඥයෙකු හෝ දාර්ශනිකයෙකු ලෙස සලකන ලෙස ය. විශ්වවිද්‍යාලයීය කතිකාව කුහකයන්ගේ කතිකාව ලෙස නම් වන්නේ ද දැනුමේ ස්වරූපයෙන් එහි නියෝජිතයා කතා කළ ද සැඟවුණු යමක් (දැනුමට යටින් පවතින ස්වාමි හැඟවුම්කාරකය) ඒ තුළ පවතින නිසා ය.

ලැකාන් විශ්වවිද්‍යාලයීය කතිකාවට අදාල ස්වාමි හැඟවුම්කාරකයේ පවතින විශේෂ තත්ත්වයක් ද පෙන්වා දෙයි. ඔහුට අනුව එම ස්වාමි හැඟවුම්කාරකය තුළ එයට ම අනන්‍ය වූ “මම“ ක් හා අනුභූතිඋත්තරභාවයක් අඩංගු ය. එමෙන් ම මෙම “මම“ තුළ රැවටිලිකාර ගුණයක් ද පවතියි. එවිට කෙනෙකු විශ්වවිද්‍යාලයීය කතිකාවට අනුගත වන විට ඔහු මෙම “මම“ ට අනුගත ව සිටියි. එනම්, එය සංගත, පූර්ණ දැනුමක් සහිත ස්වයං අනන්‍ය, ස්ථායි ආත්මයක් ලෙස තමන් පිහිටුවා ගනියි. මෙය ස්වයංඅනන්‍ය තමාව ම ස්වාමි හැඟවුම්කාරකය ලෙස කතිකාව තුළ පිහිටුවා ගැනීමක් හා බඳු ය. මෙම කතිකාවට සම්බන්ධ වන්නන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ ස්වාමියාගේ කතිකාවේ ස්වාමියා මෙන් නො ව පරම ස්වාමියෙකු ලෙස අදහස් පළ කිරීම ය. නමුත් මනෝවිශ්ලේෂණය දන්නා පුද්ගලයා මෙවැනි ව්‍යාජ සමාජ ආස්ථානවල තමන් පිහිටුවා නො ගන්නා අතර ව්‍යාජ සමාජ ආස්ථානවල සිට රංගනයේ යෙදෙන්නන්ගේ රංගනයට ද වශී නො වේ.

ඉහත රූප සටහනට අනුව විශ්වවිද්‍යාලයීය කතිකාව මඟින් වස්තුව (a) බෙදුනු විෂයක් ($) බවට පත් වේ. එහි දී වස්තුව යම් කප්පාදුවකට ලක් වන අතරම පරාරෝපණයට ද ලක් වේ. මෙම යුගයේ විශ්වවිද්‍යාලයීය කතිකාවට සම්බන්ධ එවැනි ව්‍යුහාත්මක ලක්ෂණ ආයතන තුළ වඩාත් ප්‍රකට නො වන්නේ ද? ඒ සඳහා එය අපට නිලධාරිවාදය සමඟ සම්බන්ධ කළ හැකි ය. එමඟින් නිලධාරීන්ට අවශ්‍ය යටත් විෂයයන් බිහි වන ආකාරය හඳුනා ගත හැකි ය. එමෙන් ම පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් තෝරා පත් කර යැවූ පමණින් කිසිවක් වෙනස් වීමට නියමිත නැත්තේ ද මේ නිසා ය. විශ්වවිද්‍යාලයීය කතිකාවට අනුව විමසීමේ දී ජ. වි. පෙ. දැනුම (දූෂණය පෙන්වාදීම, වී ගොවියන්ගේ ගැටලු විසඳිය යුතු ආකාරය වැනි දේ) මඟින් ජනතාව දැනුවත් කිරීම සහ වියත්මග සංවාද අතර පවතින්නේ සාම්‍යයකි. අප වටහා ගත යුත්තේ වර්තමානයේ ජනතාවට අවශ්‍ය ක්‍රමය වෙනස් කිරීම නො ව ක්‍රමය වඩා කාර්යක්ෂම ව ප්‍රතිනිෂ්පාදනය කිරීම බව ය. එනම්, වර්තමානයේ පුද්ගලයන් සිතන්නේ, ක්‍රියාකාරී වන්නේ හා ආශා කරන්නේ පවත්නා ක්‍රමයට එරෙහි වීමට වඩා ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කිරීමට ය. පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙන එක් කටුක සත්‍යයක් වන්නේ එය ය. එවිට ඡන්දදායකයා විශ්වාසය තබා ඇත්තේ ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය කිරීමේ දී අඩු කාර්යක්ෂම පක්ෂ හා පුද්ගලයින් වෙනුවට වැඩි කාර්යක්ෂම පක්ෂ හා පුද්ගලයින් කෙරෙහි ය. වර්තමාන තත්ත්වය බලය හා දැනුම කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති නව තත්ත්වයකි. මෙම කතිකාවේ නිෂ්පාදනයට කළ හැකි වන්නේ දැනුම සම්පාදනය කරන නියෝජිතයා සමඟ සම්බන්ධ වීම ය. විශ්වවිද්‍යාලයීය කතිකාවේ නිෂ්පාදනය නැවත නියෝජිතයා සමඟ සම්බන්ධවීම ක්‍රමයට අදාළ ව විග්‍රහ කළ විට නිෂ්පාදන මාර්ග (means of production) අතිරික්ත වටිනාකම සමඟ සම්බන්ධවීමක් මෙහි දී සිදු වන අයුරු පෙනේ.

 

මෙම කතිකාව දේශපාලනය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට සහේතුකත්වය ආදේශ කරයි. නමුත් මෙහි දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සැබෑ දේශපාලන කාරණයක් මතු කරන්නක් ලෙස ද කෙනෙකුට සැලකිය හැකි ය. මෙම කතිකාවේ පවතින අපුද්ගලභාවය ප්‍රජාතන්ත්‍රවාදී බලයක් (සියලු දෙනාට ම අයත් බලයක්) ලෙස කෙනෙකු හැඳින්විය හැක. තව ද මෙම කතිකාව මඟින් පෙන්නුම් කරන අපුද්ගල හා ස්වාධීනබව (වාස්තවිකබව) යනු සැබෑ වාස්තවිකත්වයක් නො ව පිළියම් කරන ලද, වෙනස් කරන ලද වාස්තවිකත්වයකි. ඒ අනුව විශ්වවිද්‍යාලයීය කතිකාව නව ආකෘතියක් සහිත ස්වාමිත්වයක් සාර්ථක ලෙස ගොඩනැගුවේ ය යන මායාව ගොඩනගයි. නමුත් මීට පෙර ද පැහැදිලි කළ පරිදි අප වටහා ගත යුත්තේ මෙම ස්වාමිත්වය සැබෑ ස්වාමියා නො මැති ස්වාමිත්වයක් බව ය. මන්දයත් ඒ තුළ නීතිය වෙනුවට පවතින්නේ දැනුම වන නිසා ය. මෙහි ගැටලුව වන්නේ ස්වාමියාගේ අධිකාරියට යටත් වීම වෙනුවට පවත්නා තත්ත්වය මත ම පරායත්ත වීම නිසා එය නිර්බලයක් (non-power) ලෙස ද සැලකිය හැකි වීම යි. මෙම අපුද්ගල ස්වභාවය මඟින් කිසිඳු භෞතික තත්ත්වයක් වෙනස් නො වන නිසා දේශපාලනය පිළිබඳ අවශ්‍යතාවය සැබෑ දේශපාලන කාරණයක් ලෙස එමඟින් වඩාත් ඉස්මතු වන බව මේ නිසා කෙනෙකුට අවධාරණය කළ හැකි ය. ඒ අනුව විශ්වවිද්‍යාලයීය කතිකාවේ ව්‍යාජ බවට විරුද්ධ විය හැකි වන්නේ එහි සත්‍යය අඩංගුව ඇති ස්වාමි හැඟවුම්කාරකය අනාවරණය කිරීමෙනි.

ක්‍රමය පිළිබඳ විවේචකයින් ලෙස සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය ‘අමා දිසානායක’, තිස්ස ජනනායක වැන්නන් සම්බන්ධ වන්නේ ද අන් බොහෝ ව්‍යාජ දේශපාලන විවේචකයින් මෙන් විශ්වවිද්‍යාලයීය කතිකාවට ය. ඔවුන් බොහෝ විට අලෙවි කරන්නේ ලෝකයේ සහ මිනිසුන්ගේ අවාසනාවන්තකම ය. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව ප්‍රකාශ කළ හැක්කේ ඔවුන් ද සම්බන්ධ වන කතිකාව මඟින් එම අවාසනාවන්තකම නිර්මාණය කර ඇති බව ය. එමෙන් ම ඔවුන්ගේ අදහස් සම්බන්ධ වන්නේ මනෝවිද්‍යාවට මිස මනෝවිශ්ලේෂණයට ද නො වේ. මනෝවිද්‍යාව විශ්වාසය තබන්නේ පුරුෂ කේන්ද්‍රීය වාගීශ්වරභාවයක් කෙරෙහි ය. ඊට පටහැනිව මනෝවිශ්ලේෂණය වචනයට වඩා අවධානය යොමු කරන්නේ වචන තුළින් සමපේක්ෂණය කරන විනෝදය (ප්‍රකාශිතයට වඩා ප්‍රකාශනය) කෙරෙහි ය. මනෝවිශ්ලේෂණයට අනුව ඔවුන් යනු ක්‍රමය පවත්වා ගෙන යෑමට අනුබල දෙමින් විනෝදවන්නන් ය. මෙහි දී අප වටහා ගත යුත්තේ මනෝවිශ්ලේෂණය පවතින්නේ ආත්මය පැත්තේ මිස සත්තාව පැත්තේ නො වන බව ය. මනෝවිශ්ලේෂණයට අනුව සත්තාව යනු ආත්මය යි.

විශ්වවිද්‍යාලයීය කතිකාවේ පවතින වාස්තවික ස්වරූපය “එම අධ්‍යයනයට අනුව“, “විද්‍යාඥයින් පෙන්වා දී ඇති පරිදි“ ආදී යෙදුම් මඟින් පහසුවෙන් හඳුනාගත හැකි ය. එමඟින් අපක්ෂපාතීබව පිළිබඳ අදහසක් ජනනය වේ. එවිට කෙනෙකු කරනු ලබන ප්‍රකාශයේ වගකීම යන සාධකය ද්විතියික වේ. කෙනෙකුගේ ප්‍රකාශයේ වගකීම ප්‍රකාශ කරන්නා වෙත ම යොමු කරවන්නේ ලැකානියානු විශ්ලේෂකයාගේ කතිකාව (මනෝවිශ්ලේෂණය) මඟිනි. මනෝවිශ්ලේෂණයේ අවශ්‍යතාව වඩාත් මතු කළ යුතු වන්නේ ඒ නිසා ය. එමෙන් ම එහි සාර්වත්‍රිකභාවය ද එමඟින් මතු වේ. රැඩිකල් වෙනසක් අපේක්ෂා කළ හැකි වන්නේ ද එමඟිනි. එනම්, මේ මොහොතේ සාමූහික විසඳුම් අසාර්ථක වී ඇති නිසා විසඳුම පවතින්නේ ආත්මමූලික මට්ටමේ ය. කෙනෙකු යථාර්ථය දකින ඛණ්ඩාංක වෙනස් වන්නේ ලැකානියානු විශ්ලේෂකයාගේ කතිකාව මඟිනි. නව ස්වාමි හැඟවුම්කාරකයක් බිහි කිරීමේ දී වැදගත් වන්නේ මෙම විශ්ලේෂකයාගේ කතිකාව ය. තව ද ලැකාන්ට අනුව විරුද්ධත්වය පෑමේ සාර්ථකම ආකාරය ජනප්‍රිය ආකාරයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙරමුණු සකස් කිරීම ද නො වේ. ඔහු විශ්වවිද්‍යාලයීය කතිකාව පැහැදිලි කරමින් පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ක්‍රියාකාරී වූ මෙවැනි පෙරමුණු දැනුම මත පරායත්ත වූ අධිකාරිවාදී සමාජයක් නිර්මාණය කළ බව පෙන්වා දෙයි. විශ්වවිද්‍යාලයීය කතිකාව මේ මොහොතේ සේවය කරනු ලබන්නේ ධනවාදය වෙනුවෙනි. එමෙන් ම විශ්වවිද්‍යාලයීය කතිකාව ව්‍යුහාත්මක ව විශ්ලේෂකයාගේ කතිකාවට පසමිතුරු වේ. විශ්වවිද්‍යාලයීය කතිකාව විසඳුම අවුරාලන විට විශ්ලේෂකයාගේ කතිකාව විසඳුමක් යෝජනා කරයි. මෙම යුගය ව්‍යාජ ස්වාමීන්ගේ යුගයක් හෙවත් විශේෂඥ දැනුම (විශ්වවිද්‍යාලයීය කතිකාව) මත පරායත්ත යුගයක් ලෙස නම් කළ හැකි වන්නේ ද මේ නිසා ය. අප සිතන්නේ අද අප බලසම්පන්න මිනිසුන් සිටින ලෝකයක ජීවත් වන බව වුවත් ලැකානියානු කතිකා මඟින් පෙන්වා දෙන්නේ (ස්වාමියාගේ කතිකාවට සාපේක්ෂ ව) අප ජීවත්වන්නේ වහලුන්ගේ ලෝකයක බව ය. එවිට කිසිවක් සඳහා විසඳුම් නො ලැබේ. විසඳුම් නො ලැබෙන්නේ ප්‍රශ්නයක් ද නො මැති බැවිනි. එබැවින් කළ යුතු වන්නේ පැහැදිලි ව හා නිරවුල් ව ප්‍රශ්නය සූත්‍රායණය (formulate) කිරීමයි. එවිට විසඳුම ද ඒ තුළ ම පවතියි. ලැකානියානු විශ්ලේෂකයාගේ කතිකාව අවශ්‍ය වන්නේ ඒ සඳහා ය.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

ඔබේ අදහස කියන්න...