පොදු ලෝකය හා පෞද්ගලික ලෝක අතර වෙනස සරල ව හා පැහැදිලි ව වටහා ගත හැක්කේ පොදු ලෝකයට ඇතුළුවීමට බාධාවන් නො මැතිවීම මඟිනි. එමෙන් ම අප පෞද්ගලික ලෝක නිර්මාණය කරන්නේ බැහැර කිරීමේ ක්‍රියාව ඇසුරෙනි. පෞද්ගලික දේපළ අයත් වන්නේ ඒවායේ අයිතිකරුවන්ට පමණි. පෞද්ගලික සමාජ වෙන්කර ඇත්තේ සාමාජිකයන්ට පමණි. එමෙන් ම පෞද්ගලික සාකච්ඡා පැවැත්වෙන්නේ තෝරා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතර පමණි. ධනවාදය මෙම පෞද්ගලිකත්වය නිර්මාණය නො කරයි. නමුත් ධනවාදයේ වර්ධනය අවශ්‍යයෙන් ම පෞද්ගලික ලෝක සමඟ සමපාත වෙයි. ක්‍රමය පෞද්ගලික දේපළ මත පදනම් වී තිබෙන අතර පොදු ලෝකය වක්‍ර ව මෙම පදනම ප්‍රශ්න කිරීමකට පමුණුවයි.

පොදු බව පෞද්ගලීකරණයවීම මඟින් ආත්මීයත්වයේ අපගමනයවීම මෙන් ම ආත්මය සතුටු වූ ආකාරයෙන් අපගමනයවීම ද නිරූපණය කරයි. ආත්මය සහජයෙන් ම පොදු සත්ත්වයකු වේ. අනෙකාගේ ආශාව සමඟ අන්තර්ක්‍රියාකාරිත්වය මඟින් එහි ආත්මමූලිකත්වය ගොඩ නැඟෙයි. මෙම අන්තර්ක්‍රියාකාරිත්වය නොමැති ව ආත්මයක් කිසි විට බිහි නො වේ. නමුත් ධනවාදය එලෙස ආත්මය ආකෘතිගත කරන අනෙකාගේ භූමිකාව නො පැහැදිලි කරවන අතර ආත්මය පෞද්ගලික සත්තාවක් ලෙස අන් කිසිවකට වඩා පළමු කොට හා ප්‍රධාන ලෙස ම පවතින බව ආත්මයට ම ඒත්තු ගැන්වීමට ක්‍රියා කරයි. එමෙන් ම පොදු අන්තර්ක්‍රියාකාරීත්වයන් සිදු වන්නේ පෞද්ගලිකත්ව‍යේ පදනම මත බව ද එමඟින් ඒත්තු ගන්වයි. එනම්, ධනවාදය පොදු හා පෞද්ගලිකත්වය අතර පවතින කාලානුක්‍රම සම්බන්ධය පසු පිට පෙරළයි. ආත්මය මුලින් බිහි වන්නේ පොදු සත්තාවක් ලෙසින් නමුත් පසුව ආත්මය පොදු ලෝකයෙන් තමා මුවා කරන පළිහක් ලෙස හා අන්‍යයන්ගෙන් තම හුදෙකලාවීම ෆැන්ටසිකරණය කරන පෞද්ගලික ලෝකයක් ගොඩ නඟා ගනියි. පොදු ලෝකය සමඟ මානව සත්වයාගේ අන්තර්ක්‍රියාකාරීත්වයට පෙර ආත්මයක් නො පවතින අතර හුදු පෞද්ගලික ආත්මය යනු ධනවාදී ෆැන්ටසියක් මිස වෙන කිසිවක් නො වේ.

ආත්මය මුලින් පුද්ගලික සත්තාවක් හා දෙවනුව පොදු සත්තාවක් වන්නේ නම් අපට භාෂාවේ නීති සමඟ ආත්මයේ සම්බන්ධතාවය විනිශ්චය කිරීමට නො හැකි වේ. නමුත් මෙහි දී වැදගත් වන්නේ ධනවාදය ආත්මයේ පෞද්ගලික මානය අපට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ද අප ආත්මය පොදු සත්තාවක් බව අවබෝධ කර ගැනීම ය. ආත්මයේ මානසික සමබරතාවයට බාධා පමුණුවන්නේ පොදු ලෝකය යි. නමුත් මෙම බාධා කිරීම ආත්මයේ සංතෘප්තියේ මූලාශ්‍රය ද වේ. ආශා කරන්නට පටන් ගන්නා ආත්මයට බාධාවක් පිහිටුවමින් එය ආත්මමූලිකත්වය බිහි කරයි. ආත්මය එම බාධාව අත්විඳින්නේ තම ආශාවට බාධකයක් ලෙසිනි. නමුත් අප වටහා ගත යුත්තේ එම බාධාව ආශා කරන ආත්මය සංස්ථාපනය කරන බව ය. මෙම බාධාව ආත්මයට ආශාව සාක්ෂ්‍යාත් කර ගැනීමට නො හැකි බවට පත් කරන්නේ වුව ද ආත්මයට ආශා කිරීමට ඉඩ ලබා දෙන එම බාධාව නිසා ම ආත්මය පොදු ලෝකය මත රඳා පවතියි.

අප ව නිසඟයෙන් ම පුද්ගලික සත්තාවක් ලෙස අප විසින් පරිකල්පනය කරන විට අපට පොදු ලෝකය පෙනෙන්නේ අපගේ ආශාව සාක්ෂ්‍යාත්කරණය කිරීමට පවතින තර්ජනයක් ලෙසිනි. එම දෘෂ්ටිය නිසා කෙනකු තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා පෙළඹේ. නමුත් වස්තුව යනු බාධකයක් ලෙස පවතින තාක් කල්, අපට සංතෘප්තිය ලබාදෙන අත්‍යවශ්‍ය බාධකයක් බව අප වටහා ගන්නේ නම් එවිට අප පොදු ලෝකයට බැඳෙනු ඇත. එමෙන් ම එවිට එම ලෝකයේ ඇති වන බාධාව හෙවත් අනෙකාට අපි අභිමුඛ වනු ඇත. අප කිසිඳු අපහසුවකින් තොර ව පෞද්ගලිකත්වය තුළට රිංගන්නේ අනෙකාට අපගේ ස්වයං තෘප්තියට බාධා කළ නො හැකි බවට වන සහතිකය ඉන් ලැබෙන බැවිනි. නමුත් අපගේ සංතෘප්තිය එම බාධාව මත රඳා පවතින්නේ ය යන්න හඳුනා ගැනීමට අප අසමත් වේ. අප හුදෙකලාව සිටින විට පවා විය හැකි බාධාවක් පිළිබඳ ව ෆැන්ටසිකරණය කරන්නේ මේ නිසා ය. වර්තමානයේ පොදු අවකාශයට පිටුපෑම යනු අපගේ ම ආත්මමූලිකත්වයට පිටුපෑමක් හා එම ආත්මමූලිකත්වය සමඟ බැඳී තිබෙන බාධාකාරී සංතෘප්තියට ද පිටුපෑමකි. ඒ අනුව පෞද්ගලිකත්වය භෞතික තර්ජන වලට පමණක් නොව අපගේ ම ආත්මමූලිකත්වයේ තර්ජන වලට ආරක්ෂාව ලබා දීමට පොරොන්දු වේ. මා මගේ පෞද්ගලික දේපළ තුළ රැඳී සිටින විට මා ආරක්ෂා වන්නේ මගේ පෞද්ගලිකත්වයට තර්ජනාත්මක විය හැකි මගේ අසල්වැසියාගේ සංතෘප්තියෙන් (ඔහුගේ ඝෝෂාකාරී සංගීතය ආදී දේ) නොව මගේ ම සංතෘප්තියෙනි.

හැනා අරෙන්ඩ්ට අනුව ශ්‍රමය පෞද්ගලික ක්ෂේත්‍රයට සීමා වී පවතින අතර එය ජීවිතය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා පමණක් සැලකිලිමත් වෙයි. එයට පටහැනි ව වැඩ (work) පොදු ලෝකය නිර්මාණය කරන අතර ක්‍රියාව (action) එම ලෝකය තුළ දේශපාලනයේ නියැලීම නිරූපණය කරයි. ශ්‍රමය අපගේ වඩාත් වරප්‍රසාදිත හෝ එක ම ජීවන මාදිලිය වන විට අපට ඉහත නිර්මාණශීලී වියහැකියාවන් අහිමි වෙයි. අද වන විට ආරක්ෂාව හා ජීවිතය ප්‍රතිනිෂ්පාදනය කිරීම (ඇරෙන්ඩ්ට අනුව ශ්‍රමය) දේශපාලන ක්ෂේත්‍රය ආක්‍රමණය කර හා උපග්‍රහණය කර තිබේ. ජියෝජියෝ අගම්බෙන් ට අනුව ද අපගේ පෞද්ගලික ජීව විද්‍යාත්මක ශරීරය අපගේ සාමූහික පොදු සහභාගීත්වයෙන් වෙන් කර දැක්විය නො හැකි වී ඇත. පූර්වයෙන් දේශපාලනික යැයි හැඳින් වූ දේ එක්වර ම අපගේ ජීවවිද්‍යාත්මක ශරීරය බවට සීමා වී ඇත. නමුත් ජීවිතය හා ශරීරය පිළිබඳ පෞද්ගලික අපේක්ෂාවන් බවට දේශපාලනය පත්වීම යථා දේශපාලනය බැහැර කිරීමකි. මෙම පරිවර්තනය නෛසර්ගිකව ම ධනවාදයේ වර්ධනය සමඟ බැඳී තිබේ. දීප්තිගේ දේශපාලනය වත්මන් අධික්‍රියාකාරී වාමාංශික දේශපාලනයෙන් වෙනස් වන සාධකයක් වන්නේ මෙය යි.

මෙම තත්ත්වය තුළ අද වන විට කෙනෙකු පොදු ප්‍රශ්න පිළිබඳ කතා කරන්නේ තම පෞද්ගලික අරමුණු සාක්ෂ්‍යාත් වන්නේ නම් පමණි. නිදසුනකට පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට එරෙහිව ඒ අවට වැසියන් උද්ඝෝෂණය කළේ එමඟින් ඔවුන්ගේ දේපළ වටිනාකම් පහළ බැසිය හැකි නිසා ය. කුණු යනු පොදු ප්‍රශ්නයක් බවට එහි දී ප්‍රකාශ නො විණ. එමෙන් ම ජාතිවාදයට එරෙහි ව අප සටන් කළ යුත්තේ පොදු වටිනාකම් තුළ පිහිටා මිස ජාතිවාදයට එරෙහි ජනප්‍රිය ධාරාවේ සටන් පාඨ පාදක කර ගෙන නො වේ. ඒ තුළ පවතින්නේ හුදු පෞද්ගලික අභිලාෂ පමණි. ධනවාදී ක්‍රමය එක ම නිසි කටයුත්ත ලෙස පෞද්ගලිකත්වය උසස් බවට පත් පත් කිරීමට අනුබල දීම මඟින් දේශපාලනය බැහැර කිරීමට කටයුතු සලසයි. මෙම පෞද්ගලික අභිලාෂ හඹායාම නැමැති කරුණ අද වන විට මානව චර්යාව විස්තර කිරීම සඳහා ධනවාදී ආර්ථික විශේෂඥයන් විසින් ද යොදා ගැනේ. එයට අනුව ධනවාදය ක්‍රියා කරන්නේ පෞද්ගලික අභිලාෂයන් මත විශ්වාසය හා පොදු ලෝකය පිළිබඳ පිළිකුල හරහා ය. පොදු ලෝකය සර්වශුභවාදී අර්ථයෙන් ධනවාදයෙන් ප්‍රයෝජන ලබන අතුරු නිෂ්පාදනයක් වන විට සර්ව අශුභවාදී අර්ථයෙන් පොදු ලෝකය යනු ධනවාදී නිෂ්පාදනයට දැඩි බාධකයකි. ධනවාදී ක්‍රමය ගොඩ නඟන විශාල ම මුළාව වන්නේ අප මහත් අන්තරාවකට මුහුණ දී සිටින විට හා අප අපගේ ස්වයං අභිලාෂයන් විනාශ කර ගන්නා විට දී පවා අප සැබැවින් ම ආත්මාර්ථකාමී ජීවීන් බව අපට ම ඒත්තු ගැන්වීම යි. අප සංතෘප්තිය ලබන්නේ අප සාර්ථක ව රැස් කර ගත් දේ මත බව මිස අසමත්වීම නැමති අපගේ නො නවතින ලුහුබැඳ යාම මත නො වන බව ධනවාදය අපට විශ්වාස කරන්නට ඉඩ ලබා දෙයි. දීප්තිගේ දේශපාලනය තුළ අසමත්වීම ධනාත්මක යැයි ප්‍රකාශ වන්නේ මෙම අර්ථයෙනි.

ධනවාදයේ සුවිශේෂී හැරවුම සිදු වූයේ දහනව වන ශත වර්ෂයේ අග භාගයේ දී ය. අනෙක් අතට පෙර ධනවාදය නාභි ගත වූයේ නිෂ්පාදන ක්‍රියාව හා කැපවූ ශ්‍රමය නිපදවීම සඳහා නම් විසිවන සියවසේ ධනවාදය කේන්ද්‍ර ගත වන්නේ පාරිභෝගිකයන් නිර්මාණය කිරීමට ය. විසිවන ශත වර්ෂයේ ධනවාදය තුළ ආත්මයන් ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් වැඩ කිරීම සඳහා පරිභෝජනය කරන්නන් නොව පරිභෝජනය කිරීම සඳහා වැඩ කරන්නන් ය. පරිභෝජනය පෞද්ගලික කාර්යයක් වන විට පොදු අවකාශය හා පොදු සමාජය මූලික අභිලාෂයක් බවට පත්වීම වැළකෙයි. පරිභෝජනය සඳහා අංගන සකස් කර ඇති සාප්පු සංකීර්ණ වැනි පෞද්ගලික අවකාශ සැබෑ පොදු අවකාශ වෙනුවට ආදේශක පොදු අවකාශ ලෙස ක්‍රියා කරයි. මෙවැනි ආදේශක පොදු අවකාශවල ගැටලුව වන්නේ නියම පොදු අවකාශ වලට පටහැනිව පෞද්ගලිකත්වය පාදක කරගත් නීති එහි ක්‍රියාත්මක වීම ය. ඒවායේ සේවය කරන පෞද්ගලික ආරක්ෂකයින් පොදු නීති මායිම් නො කරයි. ගෝඨාභය රාජපක්ෂ නිර්මාණය කළ ලස්සන කොළඹ මඳක් සිහියට නඟා ගන්න.

මෙසේ පොදු අවකාශය හැකිලීම පරිභෝජනවාදය නිසාම සිදු වූ බව උපකල්පනය කිරීම ඌනිත වටහා ගැනීමකි. අප වටහා ගත යුත්තේ කෙනෙකු පරිභෝජනය කරන්නේ අනෙකා තුළ තමා පිළිබඳ හැඟීමක් ඇති කරන අදහසින් නම් ඒ තුළ පොදු මානයක් පවතින බව ය. මුළුමනින් ම පෞද්ගලික පරිභෝජනය සඳහා ඇතැමුන් භාණ්ඩ මිළ දී ගන්නේ වුව ද සමහර භාණ්ඩවල පැහැදිලි ලෙස ම පොදු අභිප්‍රායන් (public effect) පවතියි. නිදසුනකට iPhone, KFC හෝ McDonald’s ආහාර වැනි ජනප්‍රිය වස්තුවල ජනප්‍රියභාවය රඳා පවතින්නේ ඒවා පොදු ජනයා මත ඇති කරනු ලබන බලපෑම මඟිනි. ඒවා පරිභෝජනය කරන්නන් තමා වෙනස් පුද්ගලයකු වන බවට සංඥාව ලබා දෙයි. භාණ්ඩයක් පෞද්ගලික ව මිළදී ගැනීම මඟින් පොදු බවක් නොමැති බව බැලූ බැල්මට පෙනුන ද භාණ්ඩය ආමන්ත්‍රණය කරන්නේ පොදු ජනතාවට බව ඒ අනුව පෙනී යයි.

මෙම පොදු ලෝකය හා පොදු අවකාශය හැකිළී යාම නිෂ්පාදනය දිශානත වූ ධනවාදයෙන් පරිභෝජනය දිශානත ධනවාදයට සෘජු ව යොමු වීම නිසා සිදු වූවක් ලෙස නොව ධනවාදී ආර්ථිකයේ මූලික ව්‍යුහයට සම්බන්ධ දෙයක් බවට වටහා ගැනීම වැදගත් ය. ධනවාදය වර්ධනය ‍වෙද්දී නිෂ්පාදනයට වඩා පරිභෝජනය ආර්ථික චාලක යන්ත්‍රය බවට පත්වීම අවධාරණය වන්නා සේ ම එය අහිමි වූ වස්තුව ළඟා කර ගත හැකි බව ආත්මයට දැඩි ව ඒත්තු ගන්වයි. ආත්මයන් අසීමිත සංතෘප්තිය නැමැති පරමාදර්ශයන් තුළ ආයෝජනය කරන විට පොදු බව පිළිබඳ අවකාශය කෙමෙන් නැති වී යයි. ඒ අනුව පොදු ලෝකය රඳා පවතින්නේ තම සංතෘප්තිය අනේකත්වය නැමැති බාධාව අභිමුඛවීම මත රඳා පවතින බවට පිළිගන්නා ආත්මයන් මත ය.

ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණය අනුව සත්‍යය හඳුනා ගත හැක්කේ පොදු ලෝකයක් තුළ කෙනෙකු අන්‍යයන් සමඟ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීවීමේ දී ය. එහි දී අප අවධානය යොමු කළ යුත්තේ ඔවුන් පැහැදිලි ව ප්‍රකාශ කරන දේ කෙරෙහි නොව වචන තුළ සඟවන ඔවුන්ගේ ආශාව කෙරෙහි ය. ධනාත්මක චින්තනය, පෞරුෂ වර්ධනය වැනි ජනප්‍රිය භාවිතා සමඟ සම්බන්ධ වන ස්වයං විශ්ලේෂණය හෝ පෞද්ගලික විශ්ලේෂණය අර්ථ විරහිත වන්නේ ඒවා පෞද්ගලිකත්වය නමැති ක්ෂේත්‍රය තුළ ආත්මරාගී මායා හා පරිකල්පිත පරමාදර්ශ මත රඳා පවතින බැවිනි. ඒවා සෑම විට ම සවිඥානයේ සීමාවන් තුළ පවතින අතර බොහෝ විට අවිඥානයේ බාධා කිරීම්වලට ප්‍රකාශ වීමට ඉඩ නො දෙයි. නමුත් පොදු අන්තර්ක්‍රියාකාරීත්වය තුළ දී නිතර අවිඥානය අභිමුඛ වේ. මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරයේදී රෝගියා ආමන්ත්‍රණය කරන්නේ පොදු ආශාවට මිස පෞද්ගලික ආශාවට නො වේ. මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරයේදී මුහුණට මුහුණ හමු නො වීම මඟින් පෞද්ගලික කුළුපගවීම් අත්හැර දැමෙයි. මනෝවිශ්ලේෂකයා පොදු ලෝකය සමඟ සම්බන්ධතාවය ඇති කරන්නෙකු ලෙස හැඳින්විය හැක්කේ ඒ නිසා ය. මනෝවිශ්ලේෂකයා පොදු බව වෙනුවෙන් පෙනී සිටින අතර ආත්මය මෙම අනෙකාගේ ආශාව අභිමුඛවීම මඟින් තම ආශාව හඳුනා ගනියි. ආත්මයට තම ආශාව හඳුනාගැනීමට හා නම් කිරීමට උදව් කිරීම මඟින් මනෝවිශ්ලේෂණය උත්සාහ කරන්නේ ආත්මය තම වස්තුව සමඟ වෙනත් සම්බන්ධයකට යොමු කිරීමට ය. ආත්මය මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරය සඳහා පැමිණෙන්නේ තම ආශාවේ සත්‍යය නො දැන ගෙන ය. නමුත් ඔවුන් ඉන් පිටව යන්නේ ආශා කිරීම පිළිබඳ සංතෘප්තිය ලබාගත හැකි වන්නේ බාධාව මඟින් මිස එය අභිබවා යාමෙන් නො වන බව වටහා ගෙන ය. ධනවාදය මනෝවිශ්ලේෂණයෙන් තොර ව තේරුම් ගැනීමට යාමේ දී මඟ හැරෙන්නේ එය යි.

පෞද්ගලිකත්වයේ පූර්ණ සංතෘප්තියේ කිමිදීමට ඇති මාර්ගයේ තාවකාලික බාධකයක් ලෙස ධනවාදී ආත්මය පොදු ලෝකය අභිමුඛවීම සලකයි. ධනවාදී ආත්මය පොදු ලෝකයට පිවිසෙන්නේ පාරේ වාහන පැදවීම මඟින් හෝ බසයක ගමන් කිරීම මඟින් තම ආශාව සංසිඳුවාලිය හැකි භාණ්ඩයක් සුපිරි වෙළඳ සැලකින් මිළ දී ගෙන නැවත නිවසට පැමිණ පෞද්ගලික ව රස විඳීමට දරන උත්සාහයන් තුළ දී ය. එනම්, ධනවාදී ආත්මය සඳහා සංතෘප්තිය රඳා පවතින්නේ පෞද්ගලික රාජධානි තුළ ය. මන්ද පොදු ලෝකය තුළ පවතින බාධාවන් ගෙන් තොරව වස්තුව විඳීමට ඇති ක්ෂේත්‍රය එය වීම ය. නමුත් මනෝවිශ්ලේෂණය වස්තුවට වෙනත් සම්බන්ධයක් පෙන්වයි. ධනවාදී ආත්මය තමන් අතෘප්තිමත් බව නිතර පරිකල්පනය කරයි. එසේ සිදු වන්නේ ආත්මය බාධාවන් තරණය කරමින් වස්තුව වෙත ළඟාවීමට දිගින් දිගට පරිකල්පනය කිරීම නිසා ය. අප වටහා ගත යුත්තේ බාධාවන් යනු වස්තුව ම බව ය. ආත්මයන්ට බාධාව තුළ තම සංතෘප්තිය හඳුනා ගැනීමට හැකි වන්නේ නම් පොදු ලෝකය තුළ විස්මයජනක පරිවර්තනයක් ඇති වෙයි. එම ලෝකයේ වස්තුවක් ලුහුබැඳ යාම හා වස්තුව සමඟ තම පෞද්ගලික ක්ෂේමභූමියට පසුබැසීමට වඩා කෙනෙකු බාධාව සහිත භූමිය ලෙස පොදු ලෝකය වැළඳගත යුතු ය. බාධාව නමැති පොදු ලෝකය නො මැති විට ආත්මයට සතුටු වීමට ඇති හැකියාව අහිමි විය හැකි ය. ධනවාද‍යෙහි පොදු ලෝකයට එරෙහිවීම අවංක යමක් නො වන්නේ ඒ නිසා ය. බාධාව පිළිබඳ ආකල්පය වෙනස් කිරීම මඟින් පෙර දී අතෘප්තිය පමණක් දුටු ආත්මයට තෘප්තිය සොයා ගැනීමට ඉඩ විවර වෙයි. බාධාව තුළ තෘප්තිය සොයා ගත් ආත්මය ධනවාදී නිෂ්පාදකයාගේ හෝ පාරිභෝගිකයාගේ භූමිකාවට තව දුරටත් වැටෙන්නේ නැත.

ආශාව බාධාව මත රඳා පවතින නමුත් ධනවාදී ආත්මය මෙම පරායත්තතාව වටහා නො ගන්නා අතර ඒ වෙනුවට බාධාව පවතින්නේ අභිබවා යෑමට පමණක් බව පරිකල්පනය කරයි. බාධාවේ අවශ්‍යතාවය වටහා  ගැනීමට ඇති නො හැකියාව මඟින් ලෝකය පිළිබඳ ධනවාදී ආත්මයේ එදිරිවාදිකම බිහි කරයි. අප වටහා ගත යුත්තේ ධනවාදී ආත්මය බිහිවීමට හේතුව වන්නේ ද එම බාධාව බව ය. එවිට ගෝඨාභය නිසා බොහෝ දෙනෙකු කලබල වී ඇත්තේ ඇයි දැයි අපට තේරුම් ගත හැකි ය. අප වටහා ගත යුත්තේ කෙනෙකු වැඩිපුර පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උත්සාහ කරන්නේ නම් හා ධනවාදී නිෂ්පාදන සබඳතා මාවත හෙළි පෙහෙළි කරන්නේ නම් සර්වාධිකාරීවාදයට මතු වීමට ඇති ඉඩකඩ ද වැඩි වන බව ය. සර්වාධිකාරී නායකයෙකු පෞද්ගලිකත්වය ඉවත් කළ හැකි වුව ද එසේ කිරීමට ඔහු ව බල ගන්වන්නේ පෞද්ගලිකත්වයේ ඇති ප්‍රබලභාවයට ඇති ඔහුගේ කැපවීම නිසා ය. ධනවාදය මඟින් පොදු ලෝකය බිඳ දැමීමක දී මිස කෙනෙකුට සර්වාධිකාරීවාදයේ නැඟ ඒම පරිකල්පනය කළ නො හැක. බොහෝ දෙනා ගෝඨාභය ප්‍රාර්ථනා කරන්නේ ද මේ නිසා ය.

ධනවාදය මඟින් පොදු ලෝකය බිඳ දැමීම පිළිබඳ අදහස මඟින් සමකාලීන සිදුවීම් වල ව්‍යුහය විතැන් කරන ආකාරය ද පෙනෙයි. වර්තමානයේ බැලූ බැල්මට වඩාත් තර්ජනාත්මක වන්නේ පොදු ලෝකයේ බිඳ වැටීම නොව පෞද්ගලිකත්වය බැහැර කිරීම යි. පොදු ලෝකයට එරෙහි ප්‍රහාර පිළිබඳ දැනුම්වත් කිරීමට නලාකරුවන් (whistleblowers) ඉදිරියට පැමිණ ඇතත් සැඟ වූ පෞද්ගලිකත්වය මතුකර පෙන්වීම නිසා ඔවුන් සිටින්නේ සිර ගෙවල්වල හෝ පිටුවහලේ ය. ඒ අනුව අප වටහා ගත යුත්තේ අපගේ පෞද්ගලිකත්වය රාජ්‍යය හා සංස්ථාපිත ලෝකය ඉදිරියේ අනතුරට පත් ව ඇති බව ය. එබැවින් කෙනෙකුට ධනවාදයේ ආධිපත්‍යයට අභියෝග කිරීමට අතිශය පුද්ගලික ස්ථානයක් සොයා ගැනීම සඳහා ධනවාදී ජාලයෙන් පරිබාහිර ව පැවතීම ඉතා දුෂ්කර වී ඇත.

අප අද ජීවත්ව වන්නේ අප ව නිරීක්ෂණයට ලක් නො වී ක්‍රියාකාරී වීමට ඉතා අවම ඉඩක් සහිත ආවේක්ෂණ (surveillance) සමාජයක ය. ධනවාදය ආත්මයට පෞද්ගලික ලෝක වෙත පාර පෙන්වන අතර ම එය එම පෞද්ගලිකත්වය මුලිනුපුටා දමන ආවේක්ෂණ පද්ධතිය ද නිර්මාණය කර ඇත. එනම්, ආවේක්ෂණය සමකාලීන ධනවාදයේ ධර්මතාවක් බවට පත් වී ඇත. ආවේක්ෂණයේ දෘෂ්ටිවාදී ක්‍රියාකාරිත්වය මඟින් සිදු වන්නේ පෞද්ගලිකත්වය මුලිනුපුටා දැමීම නොව තමන් පෞද්ගලිකත්වයේ මානයෙන් පමණක් පවතින ආත්මයක් බිහි කිරීම යි. තමන්ගේ පෞද්ගලික ජීවිතය හෙළිදරව් කරන බවට තර්ජනයට ලක් ව සිටින කෙනෙකුට ආවේක්ෂණය මඟින් තමන් අත්‍යවශ්‍ය පෞද්ගලික සත්වයෙකු ලෙස සිතීමට බල ‍කෙරෙයි. මිෂායිල් හනෙකෙගේ “Hidden“ (2015) චිත්‍රපටයේ කතාව මීට නිදසුනකි.

බොහෝ දෙනා අද තමන්ගේ පෞද්ගලිකත්වය තුළට ගුහා ගත වන අතර තමන්ගේ පෞද්ගලික ලෝකය ආරක්ෂා කරගැනීම සඳහා විවිධ බාධක ඉදි කරමින් පවතියි. එසේ සිදු කිරීම මඟින් ඔවුන් සැබැවින් ම එරෙහි වන දෙයට ම ඔවුන් ව විවර කර ගැනීමක් සිදු කර ගනියි. ඔවුහු තමන්ට පෞද්ගලික ලෝකයක් හා උතුම් කොට සලකන පුද්ගලික සත්තාවක් ඇති බව පිළිගනිති. නමුත් අප වටහා ගත යුත්තේ කෙනෙකුට ලෝකය පෞද්ගලීකරණයවීම පෞද්ගලිකත්වය තුළට පසු බැසීම මඟින් පරාජය කළ නො හැකි බව ය. ආවේක්ෂණ සමාජය ක්‍රියා කරවන පූර්ව අදහස වන්නේ ද ආත්මය නිසඟයෙන් ම පෞද්ගලික සත්තාවක් ය යන්න යි. පොදු අන්තර්ක්‍රියාකාරීත්වයන් තුළ දී ආත්මය තම සැබෑ ආශාව කපටි ලෙස මඟ හැරීම හා නො පැහැදිලි කිරීම සිදු කිරීමට උත්සාහ කරයි. නමුත් පෞද්ගලිකත්වයේ දී එම ආශාව පැහැදිලි වේ ය යන විශ්වාසය එමඟින් ලබා දෙයි. එනම්, මා පොදු සමාජයේ සිටින විට මාගේ ක්‍රියාවන් අනෙකාගේ බලාපොරොත්තු වලට අනුකූල ව වෙනස් කරයි. නමුත් පෞද්ගලිකත්වයේ සිටින විට එවැනි බාධක නො පවතියි. එනම්, මට මා විය හැකි නිදහස ඒ තුළ ඇත. ආවේක්ෂණ පද්ධති පෞද්ගලිකත්වය කෙරෙහි ඇස යොමු කරන්නේ ධනවාදය විසින් ම අප ව ක්‍රියා කරවන ඉහත යාන්ත්‍රණය නිසා ය.

(ටොඩ් මැක්ගෝවන්, හැනා අරෙන්ඩ් හා ජියෝජියෝ අගම්බෙන් ඇසුරෙනි.)

පුෂ්පජිත්

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here