ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » පොල්කට්ටෙන් එළියට කෘතිය එළිදැක්වීමේ උළෙල

පොල්කට්ටෙන් එළියට කෘතිය එළිදැක්වීමේ උළෙල 

ajith-dharmakeert-

 

අජිත් ධර්මකීර්ති විසින් සිය කොළඹ ගමයා නැමැති බ්ලොග් අඩවියට සම්පාදනය කළ ලිපි එක්කොට රචනා කරන ලද පොල්කට්ටෙන් එළියට කෘතිය එළිදැක්වීමේ උළෙල හෙට [29] සවස 3.30 ට රාජගිරිය ට‍්‍රයිකෝන්හි දී පැවැත්වේ. ඊට සහභාගි වන ලෙස සහෘද ඔබ සැමට ආරාධනා කර සිටින්නෙමු.
මෙම කෘතියට දීප්ති සහෝදරයා විසින් පෙරවදනක් සපයා ඇති අතර ඉන් කොටසක් පහතින් දැක්වේ.

සමාජවාදය ගැන අනුභූතික විචාරයට පෙරවදනක්

අජිත් ධර්මකීර්ති විසින් රචිත මෙම ලිපි සංග‍්‍රහය සිංහල පාඨකයාව නව මහද්වීපයක් කරා ගෙන යයි. සිංහල මිනිසාගෙන් සැළකිය හැකි පිරිසක් තම ජීවිතයේ එක මොහොතකදී හෝ සමාජවාදය පරමාදර්ශයක් ලෙස දැක් ඇතිවාට සැකයක් නැත. නමුත් ඔවුන්ගෙන් අති බහුතරයක් කිසිදු දිනෙක සැබවින්ම සමාජවාදී රාජ්‍යය ක‍්‍රියාත්මක වූ තැනක ජීවත් වී නැත. එබැවින් ඔවුන්ට ඇත්තේ සමාජවාදය පිළිබඳ කතිකාවක් පමණි. සමාජවාදයේ සාරධර්ම ගැන ඔවුන් වාද-විවාද කරන්නේ මේ කතිකාව මැදිකරගෙනය. නමුත් මෙම කෘතියට අදාළ ලිපි ඔබ කියවන විට ඔබ සමාජවාදය ගැන සිතින් මවාගෙන සිටි චිත‍්‍රය අර්බුදයට යෑම වැළැක්විය නොහැක. සමාජවාදය පිළිබඳ පරමාදර්ශය අජිත් අතින් අනුභූති පරික්ෂාවට ලක් වන්නේ ශිෂ්‍ය ජීවිතය මැදිකරගෙනය. මොස්කවුහි ජීවත් වූ වෙනත් ශිෂ්‍යයෙකුට වඩා [සුනිල් විජේසිරිවර්ධනගේ සිට තේනුවර හරහා සුනිල් බැස්ටියන් දක්වා ] අජිත් අතින් සෝවියට් සමාජවාදය අනුභූතිකව පරික්ෂා කෙරෙයි. 80 සහ 90 දශක වල සෝවියට් දේශයේ උගත් පරිවාරයේ ශිෂ්‍යයන් සමාජවාදය හා එහි ගැටලූ පරික්ෂා කිරීමට ගියේ සංකල්පීයවය. උදාහරණයක් වශයෙන් සුනිල් විජේසිරිවර්ධන බොහෝවිට සාකච්ඡුා කරනු ලැබුවේ සෝවියට් පූර්ව සහ පශ්චාත් විප්ලවීය සාහිත්‍ය පිළිබඳවය. එසේත් නැත්නම් ස්ටැලින්වාදයේ මර්ධනය හමුවේ සෝවියට් කලාකරුවන්ගේ ඉරණම හමුවේය. සුනිල් බැස්ටියන් විසින් කරන ලද්දේ සෝවියට් ආර්ථික මොඩල ලංකාවේ ඌන සංවර්ධිත ග‍්‍රාමීය කෘෂිකර්මයට අදාළ වන ආකාරයයි.
සෝවියට් සමාජවාදී දෘෂ්ටිය පිළිබදව අපට මත දෙකක් යෝජනා කළ හැකිය. එකක් සෝවියට් දේශය පිළිබඳ ආධ්‍යාත්මික දැනුමයි. එය ප‍්‍රගති ප‍්‍රකාශකයන්ගේ කෘතිවල සිට සුනිල් විජේසිරිවර්ධනගේ කලාව පිළිබඳ සෝවියට් අදහස් දක්වා දිගුවෙයි. නමුත් අජිත් ධර්මකීර්තිට එන විට අප කරා එන්නේ සෝවියට් දේශය පිළිබඳ අනුභූතික දැනුමකි. එහි හරය වන්නේ ඉන්ද්‍රීය-ගෝචර ඥාණයයි. ලෙනින්ගේ භාෂාවෙන් කියන්නේ නම්, ධර්මකීර්තිගේ භාෂාව යනු සෝවියට් අත්දැකීමේ විඥාණයෙන් නිදහස් සාරයයි. නමුත් අප දර්ශනය විෂය මගින් උගත් පරිදි තර්ක ඥාණය ඉන්ද්‍රීය-ගෝචර දැනුමට වඩා උසස්ය. ලංකා ඉතිහාසයට මේ අත්දැකීම හුරුය. අපගේ රට පශ්චාත් -යටත් විජිතයකි. මෙවැනි රටකදී යථාර්ථය තේරුම් ගන්නා ආකෘතිය අපට පැමිණ ඇත්තේ ආක‍්‍රමණිකයාගෙනි. ලංකාවේ ඉගෙනගත් කිසිදු මිනිසෙකු ඉන්ද්‍රීය-ගෝචර ඥාණයට වඩා ආධ්‍යාත්මික ආකෘතිය උසස් බව දන්නේ නැත. ධර්මකීර්තිගේ ලිපි වල බොහෝවිට සාකච්ඡුා වන්නේ දෛනික ජීවිතයයි. ආර්ථිකය,භාණ්ඩවල ගුණය,භාණ්ඩ හි`ගය,දෛනික ආහාරවල ගුණය,සෝවියට් දේශයේ දෛනික ජීවිතය සහ ආහාර සංස්කෘතිය බටහිර යුරෝපය සම`ග තුළනාත්මකව ඉදිරිපත් කිරීම සුලභය. මේ සියල්ල අධෝ-ව්‍යුහය පිළිබඳ සාමූහික ගැටලූය. විජේසිරිවර්ධනලාගේ කතිකාව තුළ මේ වෙනුවට ඇත්තේ සෝවියට් දේශයේ උපරි-ව්‍යුහයේ ගැටලූය. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව අධෝව්‍යුහයේ සාමූහික ප‍්‍රශ්න [ තීරණ ගැනීම ] එම තලයේම විසදාගත යුතුය. නමුත් සෝවියට් දේශය සහ ශ‍්‍රී ලංකාව වැනි රටවල දී අධෝ-ව්‍යුහයේ ගැටලූ එම තලයේ දී විසදී නොයන නිසා ඒවා උපරි-ව්‍යුහයට [සංස්කෘතියට ] කාන්දු වී යයි. මේ ව්‍යුහාත්මක ලක්ෂණය නිසා පෙරදිගදී දේශපාලනය හදුනා ගැනෙන්නේ බලය සහ මර්ධනය ආශ‍්‍රය කරගෙනය. එය බටහිරදී සාකච්ඡුා වන්නේ සංස්කෘතිය සහ පාර්භෝගික භාණ්ඩ අර්චනකාමය තුළය.
ඉහත විස්කරය අපූර්ව නොවන්නක් ලෙස වටහා ගන්නේ නම්, ලංකාවේ ක‍්‍රියාකාරී වම [ උද්ඝෝෂණ සංවිධානය කරන වම ] හැමවිටම කථා කරන්නේ බලය සහ රාජ්‍ය මර්ධනය පිළිබඳවය. ජවිපෙ සිට ලංකාවේ සියලූ ට්‍රොට්ස්කිවාදී වාම පර්ෂදයන් කථා කරන්නේ රාජ්‍ය බලය සහ රාජ්‍ය මර්ධනය, ආයුධ සන්නද්ධ විප්ලවය පිළිබඳවය. අනෙක් අතට මෙම ක‍්‍රියාකාරී වම විසින් දෝෂාරෝපණය කරන වමක් ද තිබේ. ඔවුන් කථා කරන්නේ සංස්කෘතිය සහ සංස්කෘතිය පාරිභෝගිකකරණය වීම ගැනය. පුලූල් අර්ථයෙන් මෙම ඊනියා ප‍්‍රතිසංස්කරණවාදී වම හඩ නගන්නේ ශ‍්‍රී ලංකාවේ පන්ති අරගලය සන්නිකර්ශනය වන්නේ සංස්කෘතිය තුළ බවය. මෙය ශ‍්‍රී ලංකාවේ පන්ති අරගල ආකෘතියයි.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...