යම් සමාජ ක්‍රමයක් බිඳ වැටී අලුත් සමාජ – සංකේත ක්‍රමයක් බිහිවීම අප සිතන තරම් බොළඳ නැත. එවන් ක්‍රියාවලියක් තුළදී අපට ගෝචර වනවාට වඩා සංකීර්ණව ‛යථාර්ථය’ වෙනස් වන්නේ ය. පවත්නා දෙය වෙනස් වී අලුත් දෙයක් ඒ සඳහා ආදේශ වීම සඳහා “සමතික්‍රමණය” (Sublation) යන පදය මහාචාර්ය ගම්ලත් භාවිතයට ගෙන ඇත. ඔහුට අනුව එහි අර්ථය මෙසේ ය. පවත්නා දෙයක තිබෙන අනුචිත අංග හළා, එහි තිබෙන සාධනික, වැදගත් අංග ඉහළ මට්ටමකට ගෙනල්ලා, ඒකේ නැති අංග අමුතුවෙන් එකතු කරලා ඉහළ මට්ටමකට, ඉහළ අදියරක කරන සංස්ලේෂණයකට තමයි සමතික්‍රමණය එහෙම නැත්නම් සංස්ලේෂණය කියලා කියන්නේ.

නමුත් ගම්ලත් විසින් සමතික්‍රමණය සඳහා දෙන ඉහත අදහස උල්ලංඝණය -වන සුළු නවකතාවකින් අද අපි සාකච්ඡාව පටන් ගමු.

ජේ.එම්.කොඑට්සිගේ Disgrace  (1999 – නින්දාව) නම් නවකතාවේ මූලික ආකෘතිය වනුයේ යම් සමාජයක එක බල -කේන්ද්‍රයක් අහෝසි වී එතැනට අලුත් බල – කේන්ද්‍රයක් ආදේශ වන විට සිඳුවන ක්‍රියාවලියයි. නමුත් මෙම නවකතාවේ කථානායකයා ‛සමතික්‍රමණය’ ගැන අපට ලබා දෙන්නේ මහාචාර්ය ගම්ලත්ගේ පරිවර්තන අදහස නොවේ. මෙම නව තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා කොඑට්සිගේ ‛නින්දාව’ නම් නවකතාවේ මුඛ්‍ය ආඛ්‍යානය අපි කෙටියෙන් පහත විමසා බලමු.

‛නින්දාව’ නම් නවකතාවේ දී මූලික සිදුවීම් තුනක් සුසම්බන්ධ කොට ඇත. ඒවා පිළිවෙළින් මෙසේ ය.

(A) ‛ඩේවිඩ් ලෝරී’ යනු පශ්චාත් – වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ කේප් – ටවුන් නගරයේ ඇති කේප් ටවුන් විශ්වවිද්‍යාලයේ රොමෑන්තික කාව්‍යය (හදවත කේන්ද්‍රීය සාහිත්‍යය) පිළිබඳ මහාචාර්යවරයා ය. නෙල්සන් මැන්ඩෙලාගේ නව රෙජීමය මෙම විශ්ව විද්‍යාලය බහු – තාක්ෂණික ආයතනයක් බවට පරිවර්තනය කරන අතර එම නව සංක්‍රාන්තිය තුළ ඩේවිඩ්ට කරන්නට නිශ්චිත වැඩක් නැති වෙයි. ඔහු ඉන්පසු විශ්වවිද්‍යාලයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව තුළ සන්නිවේදන ශක්‍යතා වර්ධනය කරන පාඨමාලාවක් ආරම්භ කරයි. එය ඔහුටත්, සහභාගී වන ශිෂ්‍ය – ශිෂ්‍යයාවන්ටත් නීරස ය. ඩේවිඩ් නව කළු බලකේන්ද්‍රීය සමාජය තුළ තමන් හිස් මිනිසෙක් බව අත් දකී. මෙම හිස් බවින් ගැලවෙන්නට (එය සමතික්‍රමණය කරන්නට) දරණ උත්සාහය තුළ සුදු කළු මිශ්‍රිත රූමත් – තරුණ – බුද්ධිමත් ස්ත්‍රියක් සමඟ ඔහු ලිංගික විප්ලවයකට ඇතුළු වෙයි. මෙලනි අයිසැක් නම් මෙම රොමෑන්තික ජවාධිකාරී ෆැන්ටසි රූපය ඩේවිඩ් ලෝරී නම් මහාචාර්යවරයාගේ පැත්තෙන් අවසන් වන්නේ සමාජයෙන් සහ තමන් උගන්වමින් සිටින විශ්වවිද්‍යාලය තුළ මහත් අපවාදයට ලක් වීමෙනි. නිදහසට කාරණා කීම පවා ප්‍රතික්ෂේප කරන ඔහුට අනුව ‛මෙලනි’ නිසා පනස් හැවිරිදි ‛තමන්’ සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක් බවට පෙරළී ඇති බව විවෘතව පිළිගනියි. ලිංගික අඩන්තේට්ටම් යන ලේබලය සහිතව ඔහුව බලධාරීන් විශ්වවිද්‍යාලයෙන් නෙරපා දමයි. මෙය නවකතාවේ පළමු සිදුවීමයි. ප්‍රථම නින්දාවයි.

(B) ජීවිතයේ යම් දිනෙක බයිරන් ආශ්‍රිතව ඔපෙරා නාටකයක් ලිවීමට සිටි චරිතයක් තම ගැලවුම සඳහා ඉන්පසු තෝරා ගන්නේ කේප් – ටවුන් නගරයෙන් නැගෙනහිර පැත්තට වූ ඈත ගමකි. මේ ගමෙහි ඔහුගේ දියණිය වන ලුසී ජීවත් වෙයි. ඇය විකිණීම සඳහා තමන්ට අයත් විශාල ගොවිපලේ මල් සහ එළවළු වගා කරයි. ඔහුගේ අතීතකාමී ආශාව, මෙම කුඩා ගම්බද ගම සමඟ අනන්‍ය වේ. ඩේවිඩ් සිය ජීවිතය ඉතිරි කාලය සාමයෙන් ජීවත් වීමට තෝරා ගන්නේ මෙම ගමයි. එහි දී ඔහුට සිහිනෙන්වත් නොසිතු දෙයක් වෙයි. ඉන් ප්‍රධාන වන්නේ සුදු ජාතිකයෙක් හැටියට දකුණු අප්‍රිකාවේ ඔවුන් බලයේ සිටි අවධියේ තම ගොවිපළේ සේවකයෙක් වූ කළු ජාතික ‛පෙට්රෑස්’ තම අසල්වැසියා වීමයි. මෙම අසල්වැසියා මේ වන විට දළු ලා වැඩෙමින් එන කළු දකුණු අප්‍රිකාවේ නව පාලන අධිකාරිය නියෝජනය කරන උන්නතිකාමී සංකේත යයි. ඔහු නියෝජනය කරන්නේ (ANC) දකණු අප්‍රිකාවේ නව ජනප්‍රිය කළු සාර්ථක ජීවිතයයි. ඔහු බලය සහ කීර්තිය වෙනුවෙන් ඉඩම් එකතු කරන්නෙකි. එය ඔහු හොඳින් සහ නරකින් යන ක්‍රම දෙකෙන් ම කරයි. දිනක් රාත්‍රියේ අනපේක්ෂිත සිදුවීමක් සිදු වෙයි. එක වරම ලුසී සහ ඩේවිඩ් පදිංචිව සිටින නිවසට කඩාවදින කළු ජාතිකයන් තිදෙනෙක් ඩේවිඩ්ගේ ඔළුවට තෙල් වක්කර ගිනි තබා ඔහුගේ දියණිය, ඔහු ඉදිරිපිට සාමුහිකව දූෂණය කරයි. මේ සිදුවීමට පසු පොලීසිය හෝ රජයේ කිසිඳු ආයතනයක් මගින් ඔවුන්ට කිසිඳු සහනයක් ලැබෙන්නේ නැත. එය නව දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැල්ඩෙලාගේ ‛සාධාරණත්වය’ පිළිබඳ නව සංකේත යයි. නව කළු අප්‍රිකාව තුළ ඔවුන් අත්විඳි මෙම නව තිරිසන්කරණය සහ මහත් අපවාදය ඉදිරියේ ඔවුන්ට කරන්න ඉඩ තිබෙන්නේ ‛නිකං ඉඳීම’ පමණි. දැන් ඔවුන්ට ජීවත් වීමට සිදු වී ඇත්තේ මීට කලින් කළු අප්‍රිකානුවන් ජීවත් වූ ආකාරයට ය. එනම් බල්ලන් මෙනි. (මෙම බල්ලන් මීට ප්‍රථම වැඩ ගැනීමේදී සුදු මිනිසුන් කල්ලන්ට එරෙහිව යොදා ගත් උපකරණයයි.)

මෙම සිදුවීමෙන් පසු පෙට්රෑස් විසින් ලුසීට විවාහ යෝජනාවක් ගෙන එන අතර ඊට ඇය එකඟතාවයක් පළ කරයි. ඉන් ඩේවිඩ් මහත් විමතියට පත් වන අතර කරන්නට දෙයක් නැතිව ලත වෙයි. දූෂණයට ලක් වීම නිසා ඇයට ලැබෙන්නට යන ‛නව – දකුණු – අප්‍රිකානු’ දරුවාගේ පීතෘභාවය පෙට්රෑස් විසින් භාර ගනියි. සියලු අයිතිවාසිකම් අහිමි වූ තැනක තවදුරටත් ජීවත් වීම නිසා ඩේවිඩ් සිය නව වාසස්ථානයෙන් පලා යාමට තීරණය කරයි. මෙය දෙවන නින්දාවයි.

(C) ඔහුගේ නව රැඩිකල් වාසභූමිය වන්නේ ඔහුගේ දියණියගේ ලෙස්බියන් සහකාරියවන ඩේව් ය. ඈ සතුන්ට ප්‍රතිකාර කරන සත්ත්ව සායනයක් පවත්වාගෙන යන්නියකි. නමුත් කලක් ගත වන විට ඩේවිඩ්ට වැටහෙන්නේ ඇය ඉතා කරුණාවන්ත ලෙස සතුන්ව මරනවා මිස සුව කරන්නියක නොවන බවයි. මේ අවබෝධයට පසුව යළිත් කේප් – ටවුන් වෙත එන ඩේවිඩ් තමන් විසින් දූෂණය කළ කළු ජාතික මෙලනිගේ පවුලෙන් සහ ඇගේ පියාගෙන් සමාව අයදියි. ඉන්පසු ඔහු යළිත් තීරණය කරන්නේ තමන්ට වෙනත් කිසිම අනාගතයක් නැති නිසා තම දියණිය සමඟ වාසය කළ යුතු බවයි.

නමුත් මේවන විට ඩේවිඩ්ට තේරුම් යන ආකාරයට බටහිර ශිෂ්ටාචාරයට අනුව ඔහුට සියල්ල අහිමි වී ඇත. ඇගේ දියණියගේ සහ ඔහුගේ ආත්ම ගෞරවය, ඔවුන්ගේ දේපළ, ඒවා පිළිබඳ අයිතිය, සාධාරණත්වය පිළිබඳ ඔහුගේ අදහස, බයිරන් පිළිබඳ ඔහු රචනා කරන්නට නියමිතව තිබූ ඔපෙරාව යන මේ සියල්ල දැන් ඔහු ඉදිරිපිට දී හුදු ප්‍රබන්ධ පමණි. අලුත් දකුණු අප්‍රිකාවේ ඔහු පුරවැසියෙක් නොවන අතර ඔහු ‛බල්ලෙකි’, තිරිසනෙකි. මෙය තෙවන නින්දාවයි.

ඉහත අප සාකච්ඡා කළ ඩේවිඩ්ගේ ජීවිතයේ නින්දා සහගත සිදුවීම් තුන හරහා සිදු වූයේ ගම්ලත් කී පරිදි ‛පරණ දෙයෙහි’ නිශේධනීය හළා යහපත් අංග උකහා ගෙන අලුත් දෙයට හිමි නවාංග ද ඇතුළත් ව ‛අලුත් ජීවිතයක්’ හමුවීම නොවේ. ඒ වෙනුවට ඩේවිඩ්ට පරණ ජීවිතය සම්පූර්ණයෙන් අහිමි වූවා පමණක් නොව අලුත් ජීවිතයක්ද අහිමි විය. ඔහුගේ ජීවිතය දැන් අභිශුන්‍යකි. එහි කිසිඳු සාරයක් නැත. නිශේධනයේ නිශේධනය යනු සියල්ල අහිමි වීම පමණක් නොවේ. කිසිවක් අලුතින් හමු නොවීමත් එහි අංගයකි. මේ නිසා ම ජේ.එම්.කොඑට්සි පවා දකුණු අප්‍රිකාව හැර ගියේ ය. අලුත් දෙයක් බිහිවීම යනු සත්‍යයට සහ භීතියට ලක්වන මෙම අලුත් තත්ත්වයේ හිස් බවට මුහුණ දීමයි. එබැවින් සමතික්‍රමණය යනු අංග දෙකක් සංස්ලේෂණය වනවා නොව අංග දෙකම (අපි හිටපු සමාජය සහ අප පතන සමාජය) අහිමි වී යාමයි.

සමතික්‍රමණයේ මෙම රසය සමහරවිට වන්නියේ දුප්පත් දෙමළ මිනිසා ඩේවිඩ් ලෝරී මෙන් මේ මොහොතේ රසවිඳිනවා විය හැක. අප අලුත් ශ්‍රී ලංකාව ගඩොල්, තාරවලින් දකින විට එය ඔවුන් අත් විඳින්නේ සියල්ලන් අහිමි බල්ලන් මෙනි. එය ඔවුන්ට අනුව නින්දාවකි. බටහිර ප්‍රජාතත්ත්‍රවාදය විසින් නෙල්සන් මැන්ඩෙලාව උත්කර්ශයට ලක් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ‛තරුව’ යන නමිනි. නමුත් සුදු ජාතිකයා විසින් අප්‍රිකාව තුළ බිහි කළ ගෝත්‍රවාදය විසින් නිපදවනු ලැබුවේ නූතන කළු ජාතිකයෙකු නොවේ. ඔවුන් නිපදවූ කළු ජාතිකයා ගෝත්‍රවාදය සුරකින තග් පිරිමියෙකි. ඩේවිඩ් ලෝරීට මුහුණ දෙන්නට සිදු වූ පශ්චාත් – වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව යනු අන් කිසිවක් නොව ඔවුන්ගේ ම නිර්මාණයකි. තමන් නිපද වූ දෙය තමන්ට ම භුක්ති විඳින්නට සිදු වූ විට කරන්නට හැකි එක ම දෙය නිකං ඉඳීම ය. පෙට්රෑස්ගේ හිංසනය ඉදිරිපිට ඩේවිඩ් නිහඬවන සදාචාරය එයයි.

මන්ද එහි මදය නිපද වූ ආත්මය තමන් නිසා ය. අප අනෙකාට විරුද්ධව කරන හිංසනය ගැන අප නොදැනුවත් නම් පෙරළා එහි පරාවර්තනය වන ප්‍රති – හිංසනය ගැන ද නිහඬ විය යුතු ය. ∎

දීප්ති කුමාර ගුණරත්න

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “SUBLATION”
    යන්න ඔබගෙ (මහාචාර්ය ගමිලත් ගේ අදහස වෙහුවට) අදහස දැනගන්න පුලුවන්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here