ජනවාරි 29 දා රැස්වීමේ කවරයේ කතාව… 

ස්ලාවෝ ජිජැක් ගේ දර්ශනයේ ක්‍රිස්තියානි උරුමය (දේව ධාර්මික උරුමය) යම් අයෙක් සොයන්නේ නම් ඔහුට මුලික ප්‍රවේශ තුනක් හඳුනා ගත හැකිය. පළමු වැන්න දෙවියන් ය (God). දෙවැන්න දෙවියන් විසින් අප නොසලකා හැර තිබීම (dereliction) වන අතර, තෙවැන්න දිව්‍යමය ප්‍රචණ්ඩ (divine violence) බවයි. මිට අමතරව දෙවියන් ගේ උමතුව (divine madness) යනුවෙන් ප්‍රවේශයක් ද ඇති අතර ක්‍රිස්තියානියේ වඩාත්ම දේශපාලනික උරුමය ලෙස ගැනෙන්නේ එයයි. ඉදින් මෙය අප දන්නා බෞද්ධ චින්තන ප්‍රවේශයෙන් ඉඳුරා වෙනස් ය. විශේෂයෙන් ථෙරවාදී බුද්ධාගම සහිත ලාංකික පසුබිම තුල උමතු දෙවියෙක් වෙනුවෙන් අවකාශයක් හමුවන්නේ නැත.

ඒ කෙසේ වුවත් විමුක්තිය සොයා යන්නෙක් මිනිසාගේ ආත්ම මුලිකත්වය යන්න (අහිමිවීම, ආශාව සහ සිතන මම යන සද්භාවය පදනම් කරගත් බටහිර ආත්මය) අවබෝධ කර ගැනීමකින් තොරව (ෆ්‍රොයිඩ්, ලකාන්, ඩේකාට්ස් සහ හෛඩගර් යන ක්‍රිස්තියානි මුලයන් සහිත සිතන්නන්) අවදානම් ධනේශ්වර ක්‍රමයට (risk Capitalism) එරෙහි දේශපාලනයේ යෙදීම පසු නූතන නාස්තික වාදය (postmodern nihilism) තුල වමේ දේශපාලනය ගිලී යාමේ අවදානමක් ජනිත කරවිය හැකි බව ජිජැක් The Ticklish Subject හි පෙන්වා දේ. පවත්නා ආපතික තත්වය පිළිගන්නා (සහ එයින් පලා නොයන) ධනාත්මක දේශපාලන සංවිධානයක් ලෙස අප ඉහත කරුණු (බටහිර දර්ශනයේ මූලයන්) අපගේම සංස්කරණයන් තුල පිළිගන්නා බැවින් අවම වශයෙන් අප ජාතික චින්තනයෙන් සහ සමකාලීන ‘රැඩිකල්’ යයි කියාගන්නා වමේ දේශපාලනයෙන් වෙනස් වේ. එයින් අදහස් කරන්නේ අප සමාජයෙන් නැගෙන ‘සෑම හඬකටම’ (voice = තේ දළු නෙළන ගැහැණියගේ හඬ, ඇඟළුම් යුවතියන්ගේ හඬ, මැද පෙරදිග රිසානා ගේ හඬ) ප්‍රතිචාර නොදක්වන බවයි (ඔවුන්ගේ අරගලයක් නොමැති බව මෙයින් කිසිසේත් අදහස් නොවේ). එපමණක් නොවේ. ජිජැක් ට අනුව ප්‍රාග්ධනය යථාවකි. ප්‍රාග්ධනයට එරෙහිව සටන් කරන්නන් බොහෝ දෙනෙක් තමන්ට ප්‍රාග්ධනය යන්න නොතේරෙන බව පසක් කර ගන්නේ නැත.

එයින් අදහස් කරන්නේ ධනවාදයට එරෙහිව සටන් කරන බොහෝ දෙනෙක් තමන් සටන් කරන්නේ කුමකට එරෙහිවද යන්න නොදන්නා බවයි.”

ජිජැක් සඳහන් කරන්නේ මෙය වේදනාත්මක සත්‍යයක් බවයි (painful truth). එනයින් ප්‍රාග්ධනයට එරෙහි අරගලය සුවිශේෂ ලෙස නැවත ආකෘති ගැන්විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි (re-appropriate). 

මන්ද ප්‍රාග්ධනය සුවිශේෂ ආකෘති වෙත නැවත නැවත තමාව රූපාන්තරණය කරගන්නා හෙයිනි. ඒ අර්ථයෙන් ම ප්‍රාග්ධනය තේරුම් ගන්නා දාර්ශනික ප්‍රවේශයද වරින් වර අප විසින් වෙනස් කර ගත යුතුව ඇත. උදාහරණයක් වශයෙන් ප්‍රාග්ධනය මේ මොහොතේ හැසිරෙන්නේ ආගමක් ලෙස බව ජිජැක් පෙන්වා දෙයි. එසේනම් එය තේරුම් ගත යුතු වන්නේ නුතන දේව ධර්මයක අභාෂයෙනි. ‘ප්‍රාග්ධනය අතිරික්තයක් නිපදවන්නේ ය’ යන ප්‍රස්තුතයෙන් බැහැරව එය තේරුම් ගැනීමට උත්සාහ කරන සියලු ආර්ථික විද්‍යාඥයින් කරනු ලබන්නේ කුමන අතිමුලික වරදක් ද එම වරද ම මේ යුගයේ ධනවාදය ආගමක් ලෙස තේරුම් නොගන්නා සියලු එයට එරෙහි සටන්කාමීන් විසින් සිදු කරනු ලබන බව ජිජැක් ගේ මතයයි. එසේනම් එය එවිට සද්භාවී ප්‍රශ්නයකි. 

එය සිදු වන්නේ මෙසේය. මේ ධනේශ්වර යුගය තුළ අප ආතතිගතව ඇති බව සත්‍යයක් නම් එවිට අප සොයන්නේ පියාගේ කප්පාදුව නොව මවගේ ශරීරයයි. දෙවියන් විසින් නිපදවූ ‘කප්පාදු භාෂාව’ (යුදෙව් දෙවියන්) වෙනුවට අප මවගේ ශරීරය වෙත පසු බැස්ස වීමට මේ යුගයේ විපරිත බව තුල බල කෙරෙමින් ඇත. ෆ්‍රොයිඩ් යෝජනා කළේ සරල දෙයකි. ‘මවගේ භෞතික ශරීරය වෙනුවට අප පියාගේ භාෂාව බාරගනිමු’. තවත් කෙටියෙන් ළදරුවෙකුටත් තේරෙන භාෂාවෙන් කිවහොත් මවගේ ශරීරය වෙනුවට අපි පියාගේ භාෂාව බාර ගනිමු යන්න ඔහුගේ පණිවුඩය විය. එනම් ‘මවගේ අහිමිවීම භාෂාවෙන් විතැන් කිරීම ට හුරුවෙමු. අහිමි වීම පිළිගනිමු’. භාෂාවේ නිර්මාණශීලි බව නිර්මාණය වන යතුර වන ‘අහිමිවීම නම් ෆැල්ලසය’ වෙත අප නිර්භීතව පියනගමු යන්න ෆ්‍රොයිඩ් ගේ අති මුලික පාඩම විය (අවිඥාණය භාෂාවක් ලෙස ව්‍යුහගත වන්නේ මෙතනදීය). එනිසා නැතිවූ අතීතයක සුවය සොයා අපට වැය කිරීමට කාලයක් නොමැත යන්න ‘ෆ්‍රොයිඩ් වෙත ආපසු ගමන් කරමු’ (return to Freud) යැයි යෝජනා කරන ජිජැක් ගෙන් අප ඉගෙන ගෙන ඇති පාඩමයි. එතනින් ද අප ජාතික චින්තනයෙන් වෙනස් වේ. අතීතකාමයෙන් ද වෙනස් වේ. වමේ හිස්ටරික ඉල්ලා සිටීමෙන් ද වෙනස් වේ.  

අතීතය වෙත ඔබ නැවත පියනැගීම ඔස්සේ ඔබ මඟ හැරීමට උත්සාහ කරන්නේ යථාවයි. ‘යථාව යනු නොහැකියාව’ (Real is impossible) යන ලැකානියානු වැකියෙන් අදහස් වන්නේ යථාව මුණ නොගැසිය හැකි බව නොව යථාවේ ක්ෂිතිමය හමුවීම සිදු නොවන වගට ස්ථිරතාවයයි. උදාහරණ වශයෙන් සත්‍ය විප්ලවයක් අපට නැවත හමු නොවන වගට අප තුලම ඇති ස්ථිර හැඟීමයි. එසේ නම් බටහිරට යන අයෙක් (නලින් යැයි සිතමු) බටහිර අනෙකා හරහා තමන් තීරණාත්මක ලෙස වෙනස් වනු ඇතැයි වන ‘බියවීම’ අප තේරුම් ගන්නේ කෙසේද? එම හමුවීම අප සදාකාලික ලෙස කල් දමන්නේ ඇයි? එම හමුවීම හරහා සමස්ත සමාජ සංකේතනය ම (socio-symbolic order) නැවත ප්‍රශ්න කිරීමට හැකියාව තිබියදීත් අප නැවත අප දන්නා ලෝකය (ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ අහිංසක ලෝකය) වෙතම පිය නගන්නේ ඇයි? නව සමාජ සංකේතනයක් වෙත යනු වෙනුවට නැවත නැවත පරන ලෝකය වෙත ම යාම ‘නියුරෝටික පුනර්වාචකයක්’ (neurotic repetition) ලෙස ජිජැක් මෙය නිර්වචනය කරන අතර යම් රැඩිකල් ඛණ්ඩනයක් (ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවය බඳු සිද්ධියක දී) අබියස දී යමෙක් පරණ සදාචාර ගැටළුවක් ඉස්මතු කරයි නම් ඔහු හෝ ඇය මනෝ විශ්ලේෂණය පසෙක තබා ආගම වැළඳ ගත්තාක් මෙන් යනුවෙන් ජිජැක් මෙය අර්ථකථනය කරයි. සෑම නව හමුවීමක් සඳහාම ‘භක්තිය’ අවශ්‍ය වන බව සඳහන් කරන ජිජැක් එම නව හමුවීම ඔස්සේ තමාව නැවත පිරියම් කළ නොහැකි ලෙස වෙනස් විය හැකිය යන තත්වය අප නිර්භීතව බාර ගත යුතුය. කියකිගාඩ් උපුටා දක්වමින් ජිජැක් සඳහන් කරන්නේ ‘අප නොදන්නා දෙය වෙනුවෙන් අප සියල්ල කැපකර අවදානම බාර ගත යුතු බවයි’ (risk everything for the unknown). කියකිගාඩ් ට අනුව එසේ අවදානම බාර ගෙන අප ඉදිරියට ගියද අපට ඇතැම් විට හමුවනු ඇත්තේ අර්ථ විරහිත ශුන්‍යතාවයක් විය හැකිය. ආශාව ඇතිවනු ඇත්තේ අවදානම තිබෙන විටදී පමණක් බව සඳහන් කරන කියකිගාඩ් අප දේශපාලනය කළ යුත්තේ ඉහත ආශාව සහිතව බව අවධාරණය කරයි. ආගම විසින් මෙම අවදානම අවම කිරීමට (අපව ආරක්ෂා කිරීමට) උත්සාහ කලත් එය ‘නියුරෝටික අභිනයක්’ බව සඳහන් කරන කියකිගාඩ් වඩාත්ම වැදගත් විය හැක්කේ කෙසේ හෝ දිවිය බේරා ගැනීම නොව මරණය බව ප්‍රකාශ කර සිටී (අත්ලාන්තික සයුරේ සීතල දිය මත මිය ගිය ජැක් සිහිපත් කරන්න). ‘අර්ථවත් දියේ ගිලීම’ (දෙවියන්) වෙනුවට මිනිසාට සත්‍ය ලෙස සිදුවනු ඇත්තේ ‘අර්ථ ශුන්‍ය ලෙස දියේ ගිලී මිය යාමටය’ (රෝහණ විජේවීර ගේ මරණය සිහිපත් කරන්න) යන ලකානියානු වැකිය අපට ඉතාම අදාලය. 

ඉහත ආත්ම මුලික බව (සිතන සහ ආශා කරන මම) වඩාත් අවශ්‍ය වනුයේ මෙම අර්ථ විරහිත බව තුලය. 2004 කොහෙන්දෝ ඇතිවූ අප අළු දුවිලි වී ගිය සුනාමියෙන් පසු අප අද මේ තැනට ආවේ ඉහත ‘නැවත සිතන’ සහ ‘නැවත ආශා කරන’ තත්වය මතය. යම් විමුක්ති ආත්මයක් මේ මොහොතේ යමක් කළ නොහැකි යයි සිතීම ම දෘෂ්ටිවාදයක් බව ජිජැක් සඳහන් කරන්නේ එබැවිණි. ලකාන් පටන් ගන්නේ ම නීට්ෂේ ගෙනි. එනම් දෙවියන් මියගිය බව පිළිගනු ලැබීමෙනි (Pound 2008: 25). නීට්ෂේ මෙසේ කියයි. ‘දෙවියන් වැඩවසන්නේ කොහේද? මම ඔබට මෙසේ කියමි. ‘අප ඔහුව මරාදමා ඇත’. ඔබ සහ මම විසින් එය සිදු කර ඇත. අප සියල්ලෝම ඝාතකයෝ වෙමු. අප එසේ කළේ කෙසේද? අපට මහ මුහුදේ ජලය හිස්වන තුරු බීමට හැකි වුවේ කෙසේද? මුළු මහත් ක්ෂිතිජය ම අතුගා දැමීමට තරම් බලසම්පන්න ස්පොන්ජියක් අපට දුන්නේ කවුද? සුර්යයා සහ පෘතුවිය ගැට ගසා තිබූ දම්වැල ලෙහා දැමුවෝ කවරහුද?’ 2004 දී දෙවියන් මරා දැමුව ද ලකාන් පවසන්නේ දෙවියන් මරා දැමීම එතරම් පහසු ක්‍රියාවක් නොවන බවයි. අප වඩ වඩා දෙවියන් මරා දැමු බව කියන විටම මිනිසුන් වඩ වඩාත් දෙවියන් කෙසේ විශ්වාස තබන බව ලකාන් කියා සිටි. පුරාණෝක්ති සහ පාර භාෂාව තුල වඩ වඩාත් ඔහුව විද්‍යමාන වීම වැළක්විය නොහැක්කේ අපගේ අදහස් වල (මිනිස් අදහස් වල) හරිම කේන්ද්‍රයේ සිටින්නේ දෙවියන් බැවින් බව ලකාන් කියා සිටී. පැවැත්මේ ‘ශුන්‍යතාවය’ (අවසන් අර්ථයක් නැති බව) යන්න මනෝ විශ්ලේෂණයේ සායනය තුල ඉටු කරන්නේ කුමන කේන්ද්‍රීය කාර්ය භාරයක් ද ඊට සමාන කාර්යයක් මිනිස් වචනවල අර්ථය (ෆ්‍රොයිඩියානු භාෂාව) සකස් කිරීමේදී දෙවියන් විසින් සිදු කරන බව ලකාන් පෙන්වා දේ (සායනික ඇඳ මත ද කරන්නේ භාෂා කාර්යයකි). අපගේ භාෂාව තුලම දෙවියන් ජීවමාන හෙයින් (සංකේතනය තුල) කුමන අර්ථයෙන් ගත්තද අප දෙවියන් ගේ විෂයයක් (subject) බවට සායනික ඇඳ මතදී පත්වන බව ලකාන් ගේ මතයයි (අවිඥානය භාෂාවක් ලෙස සකස් වී ඇති බැවින්). 

අප මෙලොවට විසිකර අපව අමතක කර දමා තිබුණ ද දෙවියන් ගෙන් අපට පහසුවෙන් ‘නිදහස්’ විය නොහැකි බව දැන් ඔබට මනෝ විශ්ලේෂණය තුල පැහැදිළි ඇතැයි සිතමු. මෙම අවිඥානයේ භාෂාව තුල දෙවියන් ක්‍රියාත්මක වන්නේ උමතුවෙන් මෙනි. එම ක්‍රියාවන් ඔහු සිදු කරන්නේ මිනිසාගේ ආශාව සහ ආශාවේ ප්‍රේරණයන් හරහාය. මුලින් ‘කිසිවක්’ අවශ්‍ය නොවූ දෙවියන් දැන් අපගෙන් ‘යම් දෙයක්’ බලාපොරොත්තු වේ. මෙයට ෆ්‍රොයිඩ් දෙනු ලබන වචනය මිනිසාගේ මරණ ආශය යන්න ය. ඇනා ඕ (Anna O) ට පෙනෙන ‘හිස්ටීරියාවේ මායා රූප’ යනු  භාෂාව තුල දෙවියන් ප්‍රාදුර්භුත වන වගට දෙස් දෙන සංඥා වේ (පියාගේ නැවත ප්‍රාදුර්භූත වීම). සායනික ඇඳ මතදී යම් යම් මතකයන් වෙත ඇනා ආපසු ගොස් ඒවා සම්පුර්ණයෙන් විස්තර කල පසුව එම රෝග ලක්ෂණ නොපෙනී ගියමුත් ‘යටපත් කල දෙය’ වෙත ඇය යද්දී ඇය ප්‍රකට කරන්නේ තමාව ස්වයං සිරගත වී ඇති ප්‍රේරණයන්ගේ පරිපථ ජාලය බව (ෆ්‍රොයිඩ් ගේ රෝගියා ගැන නැවත ලියමින්) ලකාන් විස්තර කරයි. ඇය භාෂාවේ යථාව වෙත යනු ලබන්නේ දෙවියන් ගේ භාෂාව උච්චාරණය කරමින් ය (දෙවියන් විසින් ම ඇතිකළ භෞතික ලෝකයේ උමතු අවුල). වෙනත් විදියකින් කිවහොත් අතීතය වෙත අනුක්‍රමික ආපසු යාමක් (lineal historical return) යමෙක් කරනු ලබන්නේ නම් එවිට ඔහුට හෝ ඇයට භාෂාවේ යථාව ඔස්සේ දෙවියන් ගේ ආශා දැල නම් උමතුව වෙත ගමන් කිරීමට සිදුවනු ඇති බවයි. මේ අර්ථයෙන් අප දෙවියන් ගේ භාෂාව උච්චාරණය කරන තාක් අප දෙවියන් ගේ විෂය මුලික බවෙන් නිදහස් නොවන බව ලකාන්ගේ සුවිශේෂී ඉගැන්වීම වන අතර ‘මිනිස් අභ්‍යන්තරය’ යනු තවදුරටත් ඔහුට ම අයිති ඔහු තුල තිබෙන යමක් නොව මිනිස් විෂයෙන් පිටත පවතින බහි-සංසේචිත තමාගේ ම අභ්‍යන්තරයේ විකාශනයක් වේ (expansion of his own core) යන අතිශයින් වැදගත් දේශපාලනික ඉගැන්වීම වෙත ව්‍යුත්පන්න වේ. අප සොයන දෙය ඇත්තේ අප තුල නොව අපෙන් පිටත වන අතර අප සොයන දෙය අනෙකාට සම්ප්‍රේෂණය කරන භාෂාව (එකම මාධ්‍යය) අයිති මුලික වශයෙන් දෙවියන් ට ය. තමාගේ ආශාව සන්නිවේදනය කිරීමට දේශපාලන භාෂාවක් නොමැති වීම යනු නූතන විගලිත භාවයේ මුලික රෝග ලක්ෂණයකි. ‘අනූව දශකයේ සිදුව ඇති දෙය’ නම් යම් ආකාරයක ආශාවේ දේශපාලන භාෂාවක් බිහිවීම බව අප මීට පෙර පවා පෙන්වා දී ඇත. අරගල දෙකක පරාජයෙන් පසු ඒ සිදු වූ දෙය වනාහි ‘රැඩිකල් දෙයක්’ වන අතර ලකාන් පවසන අයුරින් ඉහත භාෂාව සමග සිදුවන අනන්‍යතාව යනු මම යන්න භාෂාව තුල වස්තුකරණය වීමය (භාෂාව උච්චාරණය කරන උපකරණයක් වීම). මිනිස් බව් යනු ‘වචනයේ හේතුව’ තුල මිනිස් විෂය ගිලී යාම (submerged in the logos of reason) බවට වන ලැකානියානු ඉගැන්වීම (පුනරුදය වශයෙන් හඳුන්වන පුළුල් තත්වය) අප අපගේ ඉහත රැස්වීමේ ‘සාර්ථක බව’ සමග ගලපා ගතහොත් අනූව දශකයේ භාෂාව විසින් (අඩුපාඩු සහ සීමාකම් සහිතව හෝ) ‘නව පුනරුද මිනිසෙක්’ නිර්මාණය කර ඇති බව අපට පිළිගැනීමට සිදුවේ (මේ ගැන අවශ්‍ය නම් සංවාද කළ හැක). කෙසේ වුවද පුනරුද තත්වය නම් පුළුල් ප්‍රපංච යට පවා ආසියාතික ෆැන්ටස්මතික අවතාරය පුර්ණ වශයෙන් පළවා හැරීමට නුපුළුවන් වූ බව (පාර්ශවිය වස්තු ලෙස ඒවා පැවතීම) ලකාන් සඳහන් කරන දෙය අපට ද අදාලය. මුහුණු පොත් වාසී අපගේ විවේචක අවතාර යනු මේ ශේෂ වූ පාර්ශවිය වස්තු වන අතර මොවුන්ගේ ආත්මය භාෂාවට විනිවිදිය නොහැකි ලෙස ඝනීභවනය වී ඇත. එනයින් දෙවියන් ගේ අත්හැර දැමීම (dereliction) ඔවුන්ට භාෂාව ඔස්සේ තේරුම් ගත නොහැකිය. කෙසේ වුවද ක්‍රිස්තියානියේ උසස්ම දාර්ශනික උරුමය වන්නේ දෙවියන් වෙනුවට ආදරය පදනම් කරගත් ජීවියෙක් දෙවියන් ව විතැන් කිරීමයි. උමතුව ඔස්සේ හෝ දෙවියන් විසින් ‘අපරිපුර්ණ මිනිසා’ (පරිපූර්ණ දෙවියන් ගේ රූපය සහිත) නිර්මාණය කිරීම නම් අවදානම ගැනීම තවත් එක් ක්‍රිස්තියානි උරුමයකි. එනයින් අප අද දවසේ ආදරය කරන්නේ අනෙකා සතු ‘අපරිපූර්ණ’ (imperfection) බවටය. ආදරයේ මූලය වන්නේ (ආදරයේ උල්පත) පරිපුර්ණ බව නොව අනෙකා තුල අපට පෙනෙන අපරිපුර්ණ බවය. අප සිතන පරිපුර්ණ බව වෙත යාම පිණිස අප වැඩි යයි සිතන ‘කිලෝ පහ’ අපගේ ශරීරයෙන් ඉවත් වූ මොහොතේම අප පරිපුර්ණ යැයි සිතුවත් ඇත්තටම අපට අහිමි වන්නේ අනෙකා අපට ආදරය කරන හේතුව වන (ඔහුත් නොදන්නා) ‘අවලස්සන කිලෝ පහ’ ය. එතනින් පසු ආශාව අහෝසි වී යයි. එසේනම් මිනිසාගේ අති මුලික ආවේගයක් වන ආදරය පදනම් වන්නේ අර්ථය මත නොව අර්ථයක් නැති බව මතය (ශුන්‍යතාවය). මේ පදනම මත ඔබට තවදුරටත් ‘ආදරයේ දේශපාලනය’ ගැන දිගින් දිගට කිව යුතු නොවේ යයි සිතමු.                

වෙනත් විදියකින් කිවහොත් ‘මම ඔබට ආදරය කරන හේතුව මම නොදනී’ යන්න ආදරයේ සත්‍ය ම කියමන බව ලකාන් ප්‍රකාශ කරයි. එයින් කියවෙන්නේ ඔබට ආදරය කිරීම පිණිස හේතුවක් හමු වුවොත් තව දුරටත් එය ආදරය නොවන බවයි. ආදරය උමතුවකි. ආදරය කරනු පිණිස ‘භක්තියේ පිම්මක්’ (leap of faith) පැනිය යුතු බව කියකිගාඩ් කියයි. විෂය යනු අවසන් විග්‍රහයේදී ‘ස්ත්‍රී’ බව සඳහන් කරන ජිජැක් පවසන්නේ මනෝ විශ්ලේෂණය පිතෘ මුලික ප්‍රවේශයක් පමණක් නොව මුලික වශයෙන් ස්ත්‍රීමය අවකාශයක් ද විවර කරන බව පවසයි. ‘ස්ත්‍රිය යනු විශ්වයේ රාත්‍රිය’ නම් සහ පිරිමියාගේ වේදනාව ඇය විසින් අවශෝෂණය කර ගන්නේ නම් (විජේවීර ගේ බිරිඳ වැනි) වඩා ‘රැඩිකල්’ ක්‍රියාවක් වනු ඇත්තේ මනුෂ්‍ය සම්බන්දයේ එම උමතු මොහොත වැළඳගැනීම වනු ඇත. දරුවන් රාශියක් (බසයක ගෙන යා හැකි තරම්) වඩාගෙන විජේවීර බිරිඳ එළියට එනවිට අපගේ පසු නූතන විචාරකයින් ගේ මුවට නැගෙන වචනය වන්නේ පක්ෂයේ අය විසින් විජේවීර සහෝදරයා හට කොන්ඩම් ලබා නොදුන්නේ ඇයි යන්න ය. ඔවුන් අසන්නේ සාක්කුවේ ගෙන යා හැකි කොන්ඩම් තිබියදී බස් එකක ගෙන යන තරම් දරුවන් සැදුනේ කෙසේද යන ‘විප්ලවීය’ (නූතන) ප්‍රශ්නයයි (අරගලය තුළ තමා විසින් තමාව විප්ලවීය කර නොගන්නේ ඇයි යන්න ය). 

අද දවසේ පවුල් සැලසුම් ගැන ‘දැනුවත්’ ජ. වී. පෙ. නායකයින් සමාජයට ප්‍රක්ෂේපනය කරන්නේ ‘නූතන පවුලක්’ බැවින් මෙවැනි විචාර වලට සෑහෙන පමණ වලංගු බවක් මේ වනවිට ලැබෙමින් පවතී. කොන්ඩම් ගැන පවතින මේ ‘නොදැනුම’ යනු පිරිමින් කරා එල්ලවන එක්තරා ස්ත්‍රීවාදී විචාරයක් පවා විය හැකිය. පිරිමියාගේ නොසැලකිල්ල හෝ නොදැනුම ලෙස නම් කළ හැකි මේ ‘ළමයින් හැදීම’ යනු ස්ත්‍රියගේ විෂාදය ඔස්සේ අපට වෙනත් අයුරකින් තේරුම් ගත නොහැකිද? දුර්වල යටත් පහත් වූ ගැහැණියක් ලෙස තම පිරිමියා දුන් ළමයින් වෙනුවෙන් ගර්භාෂය ලබා දීමට වඩා ඇය විසින් කල අතාර්කික කැපකිරීමක් (illogical sacrifice) ලෙස මෙය අපට තේරුම් ගත නොහැකිද? ස්ත්‍රී විෂයමූලික බවේ ප්‍රකාශනයක් ලෙස අපට මෙය තේරුම් ගත නොහැකිද? වෙනත් විදියකින් මෙය උච්චාරණය කලොත් එම ප්‍රශ්නය මෙසේද ඇසිය හැකිය, ‘ඇය විසින් කරන ලද්දේ පිරිමියාගේ රෝග ලක්ෂණය හරහා විනෝද වීම (enjoying his symptom) විය නොහැකිද? ඇය සහ ඔහු යන දෙදෙනාම මෙම විනෝද සාධකය ඉදිරියේ අන්තර් අක්‍රිය භාවයකට (interpassivity) ගමන් කළා නොවිය හැකිද? අවම වශයෙන් සියල්ල මේ දක්වා හෝ මෙසේ පැමිණීම ට එම අන්තර් අක්‍රිය බව බලපෑවා විය හැකි බව අප මෙහිදී අමතක කල යුතුද? මෙතැනදී සඳහන් කල යුත්තේ විජේවීර ගේ ලිංගික ජීවිතය මතින් තුලිතකරණය වූ රැඩිකල් දේශපාලනය අප ක්ෂිතිමය යථාර්තයක් වශයෙන් පිලිගන්නවා වෙනුවට එම ක්ෂිතිය මඟ හැරීම සඳහා ‘කොන්ඩම්’ යෝජනා කිරීම යනු අපටත් නොදැනී අප කෙතරම් දුරට පශ්චාත් නුතන, පශ්චාත් ධනේශ්වර දෘෂ්ටිවාදයේ ගොදුරු වී ඇති ද යන්නට අගනා උදාහරණයක් වන බවයි. ජිජැක් සඳහන් කරන්නේ ලාභදායි ලෙස සමාජ ප්‍රපංච අර්ථකතනය කිරීම යනු මේ ජනප්‍රිය යුගයේ මෝස්තරයක් විය හැකි වුවත් එම විචාර විසින් සඟවනු ලබන ‘ඇත්ත මානව යථාර්තය’ (විජේවීර ට ත් පාලනය කළ නොහැකි වූ දෙය නම් ‘අසමත් භාවය’ නැවත නැවත වුවද විප්ලවීය දේශපාලනය තුල සිදුවිය හැකි බවට වන අවබෝධය සහ මානව යථාර්තයේ විෂාදී ගැඹුර යනු කොන්ඩම් වලින් පාලනය කල හැකි යමක් නොවන බවට වන අවබෝධය) එළිදරව් කිරීමේ වගකීම ඇත්තේ මනෝ විශ්ලේෂණය ට බවයි (provide the missing support). ගැඹුරු පරිවර්තනීය මානව ප්‍රපංච සඳහා ගෙන එන මෙම සරල ස්ත්‍රීවාදී විසඳුම් යනු ස්ත්‍රී වාදයේ අතිශයින් ම විනාශකාරී ප්‍රවේශයකි (රැඩිකල් දේශපාලනය පැත්තෙන් පසු නූතන තත්වයකි). ඔවුන් කියා සිටින්නේ තමන් ස්ත්‍රියක් වන නිසාම තමා උච්චාරණය කරන දෙය තුල ‘නෛසර්ගික ප්‍රඥාවක්’ (original intuition of wisdom) ඇති බැවින් එය බල දේශපාලනය තුල පිළිගන්නා ලෙසයි (මධ්‍යතන යුගයේ මායාකාරී ස්ත්‍රීන් මෙන්). එනයින් ජිජැක් ප්‍රකාශ කරන්නේ ස්ත්‍රීවාදය නැවත විභාග කිරීමට අප පසුබට නොවිය යුතු බවයි. මේ මොහොතේ අප සතුව ඇති එකම අවිය න්‍යාය වන බැවින් අප කිසිවිටක එය සමඟ ගිවිසුම් ගත නොවිය යුතු අතර උපරිම අයුරින් එය ප්‍රපංච නිර්වචනය කර ගැනීම සඳහා කාර්යක්ෂම ලෙස භාවිතා කල යුතුව ඇත. කුමන හෝ විමුක්තියක් ගැන සිතා ගත හැක්කේ හෝ එවිට වනු ඇති අතර අද දවසේ මේ පවතින පසු නූතන ගෝෂා තුල සිරවීම තරම් මෝඩ කමක් මේ මිහිපිට නැත (නමුත් ‘ජනප්‍රිය’ වීමට නම් ඒවා පාවිච්චි කල හැක. වෙනත් දීර්ඝ කාලීන ප්‍රථිපලදායි කිසිවක් එයින් සිදු කල නොහැක).         
            
ඒ නිසා අප තෝරාගෙන ඇත්තේ යථාවේ මාර්ගයයි. අනෙක් අය තෝරා ගෙන ඇත්තේ වීදි සටන් මාර්ගයයි. ‘බරපතල ලෙස මුහුණ පෙන්වන කිසිම අයෙක් මේ මොහොතේ බරපතල නැති’ බවට ජිජැක් තර්ක කරන්නේ එබැවිණි (කියවන්න ඔහුගේ Deleuze and Lacanian Real ලිපිය). අප ‘පරමාදර්ශී බව’ වෙත යන මාර්ගයේ ඇති අඳුරු කොරිඩෝව අයිති වන්නේ යථාව ට ය. එසේනම් ඇලන් මිලර් අසන්නේ අපගේ පරිපුර්ණ බවේ බාධාව තමන් ම විය නොහැකි බව නොවේද? (I = I). විෂය තුල ම ඇති විෂයටම අත්විඳිය නොහැකි සහ සමපේක්ෂණය කල නොහැකි ‘ආගන්තුක මදය’ (දෙවියන් විසින් දුන් දෙය?) බහි-සංසේචනය කිරීමට අනෙක්ත්වයක් මිනිසාට අවශ්‍ය වනු ඇත (මේ විජේවීර ආත්මය තේරුම් ගත හැකි හොඳම විදිය වනු ඇත). ‘ඔහුටවත් නැති ඔහු ගැන දැනුම’ (ඔහු ගැන ඔහුම නොදන්නා දෙය) තේරුම් ගැනීම අනාගත විප්ලවීය අර්ථයෙන් වැදගත් වනු ඇත. කිසිවෙක් නොදන්නා මේ මදය වැදගත් වන්නේ අතිශයින් වැදගත් සමාජ හැරවුම් වලදී ආපතික අරුතිණි (2004 අපට වුවේ මෙයයි). මේ වනවිට අප එය සංකේතනයට ගෙනවිත් ඇත. බොහෝ මිනිසුන් තුල අප දැක්කේ එලියට පෙනෙන්නට සලස්වා තිබු දෙයයි (ඔරලෝසුවේ බට්ටා මෙන්). නමුත් වෙලාව අපට පෙන්වනු ලබන්නේ බට්ටා සම්බන්ද වන එහෙත් අපට නොපෙනෙන මදය විසිනි. දැන් අප හදාරන්නේ මේ ස්වරූපරාගී මිනිස් මදය යි (narcissistic human core). ‘න්‍යාය යනු යථාව’ ලෙස ජිජැක් ‘න්‍යාය’ යන ප්‍රපංචය මනෝ විශ්ලේෂණය තුල නිර්වචනය කරනු ලබන බැවින් (කියවන්න Marcus Pound ගේ Zizek: A (Very) Critical Introduction (2008) කෘතිය) ධනවාදය තේරුම් ගැනීම පිණිස අපට එම යථාව වෙත යාමට සිදුව ඇත. එසේ නම් අප දන්නා න්‍යාය යනු බටහිර යුරෝ-කේන්ද්‍රීය මුලයක් වේ. මන්ද පෙරදිග අරුතින් නූතන දේශපාලන න්‍යායන් අප ගොඩ නගා නැති නිසාවෙනි (අවම වශයෙන් මැග්නා කාර්ටා වලින් පසුව වත්). එසේ නම් බටහිර ට ගොස් විද්‍යාඥයෙක් වීමට මුලපිරූ නලින් ද සිල්වා ‘මට බටහිර අරුතකින් විද්‍යාඥයෙක් විය නොහැකි’ (impossible) බවට ඒත්තු ගනිමින් මෙරටට නැවත පසු බසින විට අනූව දශකයේ දීප්ති කළේ කුමක්ද? ඔහු කලේ බටහිර දියුණු මතවාද ලාංකික පොළොව මත පැල කිරීමට උත්හාස කිරීමයි (impossible into possible). එසේ නම් ‘අනූව දශකයේ යමක් සිදු වී ඇත’ යන ප්‍රවාදය සත්‍යයකි. නලින් යථාවට බිය වූ බව අප කියන්නේ ඒ නිසාය. දීප්ති න්‍යායට බිය වුවේ නැත. ඔහු එය තරණය කිරීමට ඉටා ගෙන ඇත. අදටත් අපට බටහිර පොත පත ලැබෙන්නට සලස්වන්නේ ඔහුව. ‘දියුණු දෙය’ තිබෙන තැන ඔහු දනී. ඔහු එය අපට නිරතුරුව ලැබෙන්නට සලස්වයි. බටහිර අරුතකින් ඔහු ඇත්තටම යථාවට (න්‍යායට) බිය වුවෙක් නොවේ. ඔහු නිර්භීත අයෙකි. කිසිවක් සිදු නොවූ භූමියක ඔහු යමක් කිරීමට උත්සාහ ගෙන ඇත. අද දඟලන බොහෝ දෙනා එදා ඔහුගේ අමාරු උත්සාහයේ ප්‍රථිපලය. මේ සත්‍ය කියා පෑම අද දවසේ අත්‍යවශ්‍ය දෙයකි. මන්ද එම බුද්ධිමය උරුමය ‘හයි ජැක්’ කිරීමට බොහෝ අය උත්සාහ කරන බැවිණි. ඒ අර්ථයෙන් තවදුරටත් ජීවමාන ඔහු දේශපාලනය තුල ඔසවා තැබීම පමණකි අප කරනු ලබන්නේ. එය පිට කැසීමක් වන්නේ දේශපාලනය ගැන නොදන්නා අයට ය (අවධාරණයෙන් කියන්නේ ඇත්තටම නොදන්නා අයට ය). අප ඔබට කියන්නේ ඔබට ‘නිදහස’ අවශ්‍ය නම් ඔබට හැදෑරීමට බොහෝ දේ ඇති බව පමණකි. ‘භක්තිය යනු දෙවියන්ගෙන් ඛණ්ඩනය වීමට ඇති හොඳම මාර්ගය වන්නේ ය’ (ජිජැක්) යන්න පිළිගන්නා විටම ඔබට එසේනම් අසල්වැසියෙක් ද අවශ්‍ය වනු ඇත. ඒ දෙවියන් නොමැති තැන දෙවියන් විසින් ම උමතුවෙන් නිර්මාණය කල තවත් මිනිසෙක් වෙත ආදරය කරනු පිණිස ය (Somebody to Love). දේශපාලනය අවසානයේ දිශානත මහා නගර වෙතට නොව වන්නේ ආදරය වෙතට යනුවෙන් අප කියන්නේ එබැවිණි. ඇත්තටම ඔබට දීප්ති ගෙන් මිදීමට අවශ්‍ය නම් ඒ සඳහා වූ එකම පාඩම කියාදීමට හැකි වන්නේද අපට ම පමණකි. අප ඔබට දෑත දිගු කරමු. බිය නොවන්න. අප වෙත එන්න. ආමෙන්!

Mahesh hapugoda

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.