පහත දැක්වෙන්නේ මා හොදින් දන්නා ජේවීපී අදහස් දරණ අවංක  කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු  සමාජ මාධ්‍යයක දක්වන ලද අදහසකි. එම අදහස මෙසේය..

“සමාජ-ආර්ථික-පාරිසරික පද්ධතිය මිනිසා නිශ්පාදනය කරන කම්හලය. දියුණු මිනිසා නිෂ්පාදනය කිරීම සඳහා සබුද්ධිකව සකස්කර නඩත්තු කෙරෙන කම්හල් (හෙවත් රටවල්) දියුණු මිනිසා නිපදවන අතර එවැනි කාර්යක් සඳහා තවමත් වැඩි දියුණුකර නැති කම්හල් (හෙවත් රටවල්) ගුනාත්මක බවින් අඩු මිනිසුන් නිපදවයි. පද්ධති වෙනසක්/දියුණු කිරීමක් (system change/development) අවශ්‍ය යැයි කියන්නේ මේ නිසාය.”


මෙය බොහෝ දෙනෙකුට සංකල්පීයව  එකගවිය හැකි අදහසකි.  මේ අදහස තේරෙන විදිහට කිව්වොත් මෙහෙම කියන්න පුලුවන් “සමාජය විසින් තමයි මිනිසුන්ව නිශ්පාදනය කරන්නේ, දියුණු සමාජය යන්න ගොඩනගන්නේ දියුණු අදහස් ඇති සුලුතර මිනිස් කණ්ඩායමකින්, ඒ නිසා දියුණු සමාජවල බිහිවෙන මිනිස්සු දියුණුයි,නොදියුණු සමාජවල ජීවත්වන මිනිස්සු බොහෝදුරට නොදියුණුයි .අපේ සමාජය නොදියුණුයි, ඒ නිසා එම සමාජය විසින් බිහිකරන්නේද නොදියුනු මිනිසුන්වමය. එමෙන්ම දියුණු මිනිසුන් බිහිකර ගැනීම සදහා බුද්ධිමත් මිනිසුන්ගේ මැදිහත් වීමකින් system වෙනස්කර දියුනු සමාජයක් හදාගත යුතුයි “ යන අදහසයි.


මෙහි සියලු දෙනාට පිලිගත හැකි සාර්වත්‍රික දාර්ශනික අදහස තමයි “මිනිසා නැතහොත් මිනිසාගේ චින්තනය ගොඩනැගෙන්නේ ඇතුලතින් (ස්වයංව)  නොව පිටතින් ( බාහිර සමාජයෙන්) යන බවත්  සහ අප ගොඩනගන අපේම නිර්මාණාත්මක සංකල්පයැයි හිතෙන දේවල්  පවා ගොඩනැගෙන්නේ අප තුලට සවිංඥානකව හෝ අවිංඥානකව පැමිණි  බාහිර අදහස්  තුලින්” යන්නයි.
( මේ දක්වා ගොඩ නැගී ඇති සියලු දැනුම සමාජයට අයත් පොදු සමාජයීය දැනුමක් යැයි කියන්නේ ඒ නිසාය ).


නමුත් ප්‍රධාන ගැටලුව මතුවන්නේ මෙම ‘සාර්වත්‍රික යථාර්ථය’ තම චින්තනය තුල ක්‍රියාත්මක වීමේදී සිදුවන පීලිපැනීම වටහා නොගැනීමය. එය සිදුවන ආකාරය මදක් විමසා බලමු.


ඉහත අදහසට අනුව දියුණු මිනිසුන් බිහිකර ගැනීම සදහා දියුණු system එකක් ගොඩනගා ගත යුතුය.  ඒ අනුව ලංකාවේ  ප්‍රගතිශීලීන් ලෙස හදුන්වාගත්  කොටස් සිතන්නේ ලෝකයේ තියෙන දියුණුම සහ ප්‍රගතිශීලීම සමාජ ආකෘතිය සංකල්ප ගතකර ඇත්තේ තමන් බවත් එය ස්ථාපිත කරගැනීම  සදහා අවශ්‍ය පක්ශ යාන්ත්‍රනය ඇත්තේ තමන් සතුව බවත් එය ගොඩනැගීම සදහා අනිකුත් ප්‍රගතිශීලී කොටස් වල සක්‍රිය  මැදිහත්වීම ලබාදියයුතු බවත්ය. ඔවුන්ගේ තේරුම් ගැනීමට අනුව අප ජීවත් වන system එක නරකම සහ නොදියුණුම system එක වන අතර එය  විමසුමක් නොකරම බැහැර කලයුතු බවත් එකම විකල්පය වන්නේ ඔවුන් අත ඇති පරමාදර්ශී ආකෘතිය බලගැන්වීම බවත්ය . අතරමැද නැවතීමක් නැත.


මෙම ගොරහැඩි භෞතිකවාදි අදහස කිසිදු වග විභාගයකින් තොරව අනවරතව ක්‍රියාත්මක කරවන්නේ  ‘භෞතිකවාදයත්’ [materialism] භෞතික විද්‍යාවත් පටලවා ගෙන ඇති නිසාය. සමාජය යන්න වෙනස් වන්නේ, ඉදිරියට යන්නේ සහ කියවාගත යුත්තේ භෞතික විද්‍යාවට අනුව නොව භෞතිකවාදීවය. මෙය තවදුරටත් සරලව වටහා ගැනීමට බලමු.


අප වටා ගොඩ නැගෙන වාස්තවික යථාර්ථයේ ක්‍රියාකාරීත්වය සහ පෙනෙන ආකාරය මංමුලාකරවන සුලුය. කවර මිනිසෙකු හෝ මිනිස් කණ්ඩායමක් ගොඩ නගන ලද සමාජමය දෙයක් (ද්‍රව්‍යමය නොවන ප්‍රපංචයක් – උදා: 56යේ සමාජ පරිවර්තනය, ) කඩෙන් බඩුවක් ගේන ආකාරයේ පරිපූර්ණ,අතින් අල්ලා බැලියහැකි,බහුතරයකට එකම ආකාරයෙන් පෙනෙන්නක් නොවේ. ඇත්තටම මෙය නිර්මාණය කල,ගොඩනගන්නට දායක වූ අයටද පෙනෙන්නේ නැත. සත්‍යම කාරනය නම් එය ගොඩනගන්නට සහභාගි වූ අයගේ දැකීම සදහාද එවැනි වාස්තවික යමක් නැත . සැබෑවටම ඇත්තේ යමක් ඇතැයි ලෙස පෙනෙන මායාමය යතාර්තයක් පමණි (illusion ).


මෙය දීප්ති සහෝදරයා නිතර පවසන උදාහරණයකින් තවදුරටත් තේරුම් ගත හැකිය. එනම් VIRTIGO චිත්‍රපටයේ එන ස්කොටී සැබෑවටම ආදරය කරන්නේ ජුඩීට නොව මැඩලීන්ටය (ඉහල පාන්තික ෆැන්ටාස්මතික ස්ත්‍රිය ). චිත්‍රපටයේ කතාවට අනුව ස්කොටී මැඩලින්ට ආදරය කරන අතර අනපේක්ෂිතව මැඩලීන් සියදිවි හානි කර ගනී.  පසුව අහම්බෙන් ස්කොටීට ජුඩී හමුවන අතර ස්කොටී ජුඩීට ආදරය කරන්න පටන් ගනී. ස්කොටී ජුඩීට ආදරය කරන්නේ ජුඩී  මැඩලින්ට සෑම අතින්ම සමාන නිසාය.කතාව අවසානයේදී ස්කොටී ජුඩී ( පහල පන්තියට අයත් සටකපට ස්ත්‍රිය) හරහා තේරුම් ගන්නේ තමාට සැබෑ මැඩලින් කිසිදා මුනගැසී නැති බවත් මැඩලීන් ලෙස කලින් මුනගැසී ඇත්තේත් දැන් මුන ගැසී ඇති ජුඩී බවත්ය. ඇය (ජුඩී ) කලින් කර ඇත්තේ මැඩලීන්ගේ සැමියාගේ වුවමනාවට රගපෑමක් පමනක් බවත්ය .

මෙය අප ජීවත් වන සමාජ යථාර්ථයට අදාල කරගත් විට අප තේරුම් ගතයුත්තේ ”පසු – ආවර්තිතව” [retroactive – extending in scope or effect to a prior time or to conditions that existed or originated in the past] ඉතිහාසයේ යමක් දකිනවිට එය දකින්නේ එදා ඇත්තටම තිබූ තත්ත්වය නොව අද තත්ත්වය තුලින් දකින මායාමය යතාර්තයක් දෙස බවය. ඉතිහාසය දෙස ආපසු බැලීමේදී භෞතික විද්‍යාවේදී හමුවන භෞතික වස්තුමෙන් නිශ්චිත තදාත්මක වාස්තවික ඉතිහාසයමය තත්වයන් තිබී නැත. වර්තමානයේ පවතින්නේද නැත.අනාගතයේ ඇති වන්නේද නැත. දැන් අපි සමාජමය වෙනස්කම් ඇතිවන්නේ කෙසේද යන්නත් ඒවා සැබෑ නවතාවයන්ද යන්නත් තේරුම් ගත හැකිදැයි බලමු.


යම් සමාජ ඛණ්ඩනයන්ට පසු ඇතිවන තත්ත්වයන් ඇත්තටම ගොඩනගා ඇත්තේ සැබෑ අලුත් දියුණු තත්ව‍යක්ද යන්න (සැබෑ නවතාවයක්ද යන්න -New modernity ) තීරනය කරන්නේ පසු ආවර්ථිතවය (Retrospective ).

උදාහරණයකට මාක්ස්වාදයේ නියම ස්වරූපය ,සමාජවාදය යන සංකල්පයේ නියම වාස්තවික ස්වරූපය ලැබෙන්නේ බොල්ෂෙවික් විප්ලවයෙන් පසුවය. විප්ලවය ඇති නොවූයේ නම් මාක්ස්වාදයට,සමාජවාදයට අද ලැබී ඇති පිලිගැනීම හෝ පිලිනොගැනීම ලැබෙන්නේ නැත. “අප අද ගන්නා ක්‍රියාමාර්ගවල වටිනාකම අනාගතය  විසින් තීරනය කරනු ඇත” යන මාක්ස්වාදී අදහස එන්නේ මෙම දාර්ශනික සංකල්පය තුලිනි. නමුත් මෙම සංකල්පයේ ඇති දාර්ශනික අනවබෝදය තුල වාමාංශික යැයි සිතා සිටිනා පක්ශ මාක්ස් විරෝදී,ප්‍රතිගාමී දාර්ශනික අනවබෝධයන් තුල කටයුතු කරති.


ඕනෑම අප්‍රායෝගික,නූතන නොවන,පොදුජනයාට හිතකර නොවන ක්‍රියාමාර්ගවලට සම්බන්දවී කටයුතුකර අපගේ නිවැරැදි බාවය අනාගතය විසින් තීරනය කරනු ඇතැයි කියා ඇග බේරාගනී. ඔවුන්ගේ නිවැරදි බාවය කිසිදා සත්‍යයක් බව තවුරු නොවුනත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඒ අනාගතය අනන්තය දක්වා කල් දැමියහැකි බැවිනි.(71 අරගලයෙන්, 88/89අරගලයෙන්, මහින්ද සමග එකතුවී “කොටි ත්‍රස්තවාදය” පරාජය කිරීමෙන් සමාජය නූතන වීමට සැබෑ ආකෘතිමය වෙනසකට (system change ) ලබාදී ඇති දායකත්වය කුමක්ද?)

මා මුලින් කතාකරමින් සිටි  මිත්‍රයාගේ ප්‍රවාදයට නැවත ගියහොත් සමාජ වෙනස්කම් සිදුවන්නේ පැරණි දෙය වෙනුවට  දියුණු මිනිසුන්ගේ හෝ කණ්ඩායම්වල බුද්ධියෙන් නිමවුනු අලුත් විකල්ප එලියෙන් ( බාහිරකින් ) ගෙන ඒමෙන් බව විශ්වාස කිරීමයි. මෙහි මතුපිට තලයේ යම් ඇත්තක් ඇතැයි යථාර්ථවාදීව හිතන්නෙකුට පෙනුනත් මෙය සිදුවන්නා වූ සැබෑ ආකාරය ගැඹුරින් වටහා නොගන්නේ නම් විශාල වැරදි අවබෝදයක් ඇතිවීම වලක්වාගත නොහැකිය. තීරනාත්මක සහ සැබෑ නූතනවාදී සමාජ කණ්ඩනයන් සිදුවනුයේ ක්‍රමිකවය,(හේගලියානු දයලෙක්තිකයට අනුව යමක සැබෑ නිශේදනයේ -Negation- වර්ධනයවීම සිදුවන්නේ ක්‍රමිකව නිසා). යම් අලුත් සමාජ විපර්‍යාසයක් සිදුවූවිට එහි සැබෑ නවතාවය තේරුම් යනුයේ එම අලුත් තත්වයේ සිට පැරණි තත්වය දෙස බැලීමෙනි.( උදා:77 ට පෙර පැවති ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය 78 න් පසු නිදහස් වෙළෙඳ පොල ආර්ථික තත්වය ඇතිවූවාට පසු පෙනෙන්නේ එම කාලසීමාවේ (70-77) අප ඇත්තටම ජීවත්වනවිට දැනුනු ආකාරයට නොව වෙනම ආකාරයකටය. බැන බැන පෝලිම් වල භාණ්ඩ හිගතාවකින් සිටි යුගය ඉතා සුන්දර ලෙස හෝ පීඩාකාරී ලෙස පෙනීම. එවිට පැරණි තත්වයත් අලුත් තත්වයත් දෙකටම අලුත් අර්ථකතනයක් සහ වෙනස් ආකාරයකට පෙනෙන්නට පටන් ගනී. මා කලින් සදහන් කල පරිදිම දැන් අප අතීතයේ තිබූ සමාජ තත්වය ලෙස දකින්නේ සැබෑම යථාර්ථයක් නොව මායාමය යථාර්ථයකි (ILLUSION). මෙය තේරුම් නොගෙන ඉතිහාසය පිලිබද කරනු ලබන ෆැන්ටාස්මතික අර්ථකථන වේදයන්ගෙන් අත්මිදීමට කිසිසේත්ම නොහැක.


ජේවීපී අදහස් දරන්නෙකුගෙන් හෝ ප්‍රගතිශීලී යැයි පිලිගන්නා අයෙකුගෙන් ‘යහපාලන  කාලය’ (2015-2019) ඔබ දකින්නේ කෙසේදැයි විමසුවොත් ඔවුන් පවසනු ඇත්තේ “කතා කරන්න එපා… මහින්දගෙ කාලේත් ඊට වඩා ගොඩක් හොදයි” කියාය. ඔවුන් එසේ කියන්නේ ඔවුන් සමාජය දිහා බලන්නේ ෆැන්ටාස්මතික සරල මතුපිටින් පෙනෙන අර්ථකථන වේදයකට අනුව මිස භෞතිකවාදී විශ්ලේෂණයකට අනුව නොවන බැවිනි. භෞතිකවාදීව සමාජය තේරුම් ගැනීම මෙතරම් වැදගත් වන්නේ සැබෑ සමාජ විශ්ලේෂණයක් මින් බැහැරව කල නොහැකි නිසාය.

*භෞතිකවාදය සහ භෞතික විද්‍යාව යනු කුමක්ද ?


ඉහත ප්‍රවාදයේ සාකච්ඡාකල සමාජ-ආර්ථික තත්ත්වයන් තුල සිදුවන වෙනස්කම් විග්‍රහකර ගැනීමේදී ඇතිවන අනවබෝදය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ බොහෝ මාක්ස්වාදීන්, භෞතිකවාදය සහ භෞතික විද්‍යාව දෙකක් නොව එකක් ලෙස වටහා ගැනීම සහ භෞතික විද්‍යාව යොදා ගනිමින් (සහ තාක්ෂණය ) ධනවාදී සමාජය තුල සිදුවන නිශ්පාදනය සහ ප්‍රති නිශ්පාදනය සැබෑ භෞතිකවාදය ලෙස පටලවා ගැනීමය. උදාහරණ ලෙස කරත්තය වෙනුවට බයිසිකලය සොයා ගැනීමත්, බයිසිකලයට පසුව බසය,කාරය පැමිණීමත් ලෙස සිදුවූ නිශ්පාදනයේ ආදේශනත්, ටොයොටා,,මිට්සුබිශි යන සමාගම් සිදුකල ප්‍රති නිශ්පාදනයන් වල සිදුවූ අති දැවන්ත  වෙනස්කම් (විවිධ පාරිභෝගික භාණ්ඩ වලට මෙය පොදුය) පෙන්වාදිය හැකිය. මේ ආකාරයටම සමාජ පරිවර්තනයන්ද සිදුකල හැකියැයි සහ එලෙස සිදුවියයුතු යැයි සවිංඥානකව සහ අවිංඥානකව විශ්වාස කිරීම සමාජ පරිවර්තනයක් කිරීම ඉදිරියේ ඇති ප්‍රධන බාධකයක් වී ඇත.


බයිසිකලය වෙනුවට කාරය පැමිනි ආකාරයෙන් හෝ දවසින් දවස භාණ්ඩ වෙළෙඳ පොලට පැමිණෙන ආකාරයට සමාජ ආකෘතියන්ද (systems) වෙනස් කලහැකි යැයි සිතීම භෞතික වාදයක් නොව වැරදි සහගත විංඥානවාදයකි.
ලංකාවේ පවතින මාක්ස් වාදීයැයි හිතා සිටිනා පක්ශ සහ ප්‍රගතිශීලීන් ලෙස පෙනී සිටිනා කණ්ඩායම් සමාජ අර්බුද ,ගැටලු දකින්නේත් ඒවාට විසදුම් යෝජනා කරන්නේත් මෙම ව්‍යාජ විංඥානවාදී ආකෘති‍යට අනුවය. එම නිසා මොවුන් දිගින් දිගටම සමාජ අර්බුදය වලට විසදුම් බලපොරොත්තු වන්නේ බාහිරින් පවත්නා සංගත නව ආකෘතියක් ගෙන ඒම තුලින් පමණි. එම නිසා ඔවුන් කිසිවිටක මුහුණ දී ඇති සමාජ අර්බුදය සැබෑ ලෙස කතා නොකරයි. කතා කරන්නේ ආකෘතිමය වෙනසක් (system change )ගැනය. එවිට පවත්නා අර්බුද ටක්කෙටම ,නිශ්ඨාවටම සුව කල හැකි යැයි සිතයි. ( යථමය[real] මානය අමතකකොට ෆැන්ටසි මානයට ගමන් කිරීම)
ද පවත්නා ආර්ථික අර්බුදය විග්‍රහ කරගන්නේද ඒ ආකාරයටමය, කොටසක් මෙය ක්‍රමය නිසා ඇතිවූ ගැටලුවක් ලෙස සිතයි,තව කොටසකට අනුව ආර්ථික ප්‍රශ්නයක් නොව හොරකම පිලිබද ප්‍රශ්නයකි. මේ දෙකටම ඔවුන් දකින විසදුම ආකෘතියේ ඇතිකරගත යුතු වෙනසයි (system change ). එවිට සියලු සමාජ – ආර්ථික  රෝග සුවවේ.

( හරිනි අමරසූරිය අර්බුදය බරපතලයි,විසදුම් කෙටි කාලීනයි කියා කීවද මෙය කියන්නේද ඉහත අදහසතුල සිටිමින්මය). හේගලියානු දයලෙක්තික භෞතිකවාදියාට අනුව කිසිදු නව ආකෘතියක් (New system) ප්‍රථමයෙන් එන්නේ නැත. පලමුව එන්නේ යමක  නිශේදනයයි [emptiness],එම නිශේදනයේ වර්ධනය තුලින් නවතාවයක් ඇතිවේ , එය සැබෑ නවතාවයක් නම් ඉන් පැරණි සමාජ තත්වයේ පැහැදිලි ඛණ්ඩනයක් සලකුනු කෙරේ. එවිට කලින් තිබූ තත්වය වෙනස්ම ආකාරයකට පිලිඹිබු වන අතර එම “වෙනස්” පෙනීම තුලින් නව සමාජ ආකෘතිය අර්ථකථනය වේ. ඒ අනුව නව ආකෘතියක් (New system /structure ) යනු කලින්ම පැමිණි යමක් නොව පසු ආවර්තිතව (Retrospective ) නව සමාජ තත්වය ගොඩනැගුනු පසු ලබාදුන් නාමකරනයකි. සමාජ සංවර්ධනය , ඉතිහාසය යනු කෙනෙකුගේ ඔලුවේ තිබී ගොඩනගන ලද හෝ දෙවියන් විසින් මවා ඇති අනාගතයක් සොයා යාමක් නොව (සාධ්‍යතනවාදී- Teleological) හේගලියානු දයලෙක්තිකයට අනුව සිදුවන අහබු වර්ධනයන්ගේ ප්‍රතිඵලයකි. මෙය තේරුම් නොගෙන ධනවාදී ආණ්ඩු තදින් විවේචනය කිරීමෙන් හෝ උද්ඝෝෂණය කිරීමෙන් සැබෑ system change එකක් කිසිදා කල නොහැකි වනු ඇත.
 

-චන්දන රණසිංහ –

ඔබේ අදහස කියන්න...