වාමාංශික සහ දක්ෂිණාංශික දේශපාලනය කේන්ද්‍ර වන්නේ පංතිය වටාය. ප්‍රධාන දක්ෂිණාංශික පක්ෂ ගත් විට ඒවා පදනම් වන්නේ ප්‍රභූ පවුල් මතය. එම පක්ෂ වලින් බිහිවන පාලකයන් යනු එක්තරා  ප්‍රභූ පවුල් කිහිපයකට අයත් අය වේ. ඒ අනුව දක්ෂිණාංශික දේශපාලනය එකී පවුල් වල  සාමාජිකයන්ගෙන් ගොඩනැගෙන පංතියේ ප්‍රකාශ වීමකි.  එම පංතියෙන් පිටත පුද්ගලයන්ට දක්ෂිණාංශික පක්ෂ වලට සම්බන්ධ වීමට  හැකි වුවද ඔවුන්ට පක්ෂයේ ඉහල තනතුරු වලට පත් වීම සහ පක්ෂය මෙහෙයවීමට අවස්ථාව උදා නොවේ. මෙවැනි පක්ෂයක් සදහා  හොදම උදාහරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.  එමෙන්ම වාමාංශික දේශපාලනයද පදනම් වන්නේ නිර්ධන පංතිය මතය. එවැනි පක්ෂයක් මෙහෙයවනු ලබන්නේ නිර්ධන පංතියේ සවිඥානය විසිනි. ඔවුන්ගේ  පංති සතුරා වන්නේ  දක්ෂිණාංශිකයාය.

පශ්චාත් ධනවාදී මොහොතට පෙර ලංකාවේ පක්ෂ දේශපාලනය ක්‍රියාත්මක වුයේ ඉහත විභේදනයට අනුවය. නමුත් සමකාලීන සන්දර්භය තුල අපට තුන්වන විකල්පයක් හමු වේ. ඒ දෘෂ්ඨිවාදී දේශපාලනයයි (Ideology Politics). පංති දේශපාලනය දෘෂ්ටිවාදී දේශපාලනය දක්වා විතැන් වේ. මහින්ද රාජපක්ෂ නම් ස්වාමි හගවුම්කාරකය බිහිවන්නේ එම විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මහින්ද රාජපක්ෂ යනු තමා තුලම  සාරයක් නොමැති පුද්ගලයෙකි. මේ නිසා ‘මහින්ද රාජපක්ෂ’ නම් හැගවුම්කාරකය හිස් හගවුම්කාරකයකි (Empty Signifier). මහින්ද රාජපක්ෂගේ ස්ථානයේ සිටියේ  රෝහණ විජේවීර, ටිල්වින් සිල්වා හෝ වික්‍රමබාහු කරුණාරත්න නම් අපට ඔවුන් තුල සාරයක් නැතැයි කිව නොහැක. ඔවුන් හිස් හැගවුම්කාරක නොවේ. මහින්දගේ වෙනස පැහැදිලි කරගත හැක්කේ ඔහු වටා සිටින පිරිස කවුදැයි පරීක්ෂා කිරීමෙනි. මහින්ද වටා සිටින පිරිස ගෝනියකට දැමු එළවලු මල්ලක් වැනිය. වාසුදේව සමග දිනේෂ් ගුණවර්ධන වැනි ජාතිවාදියෙක් එම මල්ලේ සිටී. නාලක ගොඩහේවා සමග විමල් වීරවංශ එම මල්ලේ සිටී. කැරට්, බීට්, නෝකෝල්, වට්ටක්කා, බෝංචි, ගෝවා ආදී ලෙස විවිධාකාරයේ පුද්ගල ලැයිස්තුවක් අප මීට පෙරද ඉදිරිපත් කර ඇත. ඔවුන් කිසිවෙකුටත් පංතියක් නැත. මුවෙකුයි නයෙකුයි එක මල්ලකට දැමීමට නොහැකි බව ඕනෑම සවිඥානික මිනිසෙකුට තේරුම්ගත හැක. නමුත් මහින්ද රාජපක්ෂ විසින් එය සිදුකරයි. මෙම දෘෂ්ටිවාදී දේශපාලනය අපට අලුත් දෙයකි. නමුත් එහි ඉතිහාස අත්දැකීම් මොනවාද යන්න පෙන්වා දිය හැක. ඉතාලියේ ෆැසිස්ට් ව්‍යාපාරය, ජර්මනියේ නාසි ව්‍යාපාරය ආදිය මේ සදහා උදාහරණයි. මෙවැනි ව්‍යාපාර පදනම් වුයේ පංති දේශපාලනය මත නොව කිසියම් ජාතියක්, ආගමක් හෝ කුලයක් මතය. මහින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකලද ඔහු රහසින් සමාජයට කියමින් සිටින්නේ ‘දෙමළයි, හම්බයයි අපට කෙලවනවා’ යන්නයි.

දෘෂ්ටිවාදය පිළිබද අපගේ සාමාන්‍ය දැනීම  වන්නේ දෘෂ්ටිවාදය යනු අපගේ පෙනීම විරූපී කරන ඇස් කන්නාඩියක් වැනිය යන්නයි.ලෝකය පිළිබද අපගේ ඍජු දැකීම දෘෂ්ටිවාදය විසින් විකෘති කරනු ලබයි. නමුත් දෘෂ්ටිවාදය පිළිබද නියම අර්ථකථනය වන්නේ එහි විරුද්ධ පැත්තයි. දෘෂ්ටිවාදය යනු අප මත බලෙන් පටවා ඇති දෙයක් නොවේ. අපි නිරායාසයෙන් සමාජය සමග සම්බන්ධ වන අකාරය දෘෂ්ටිවාදයයි. එනම් ඇස් කන්නාඩි ගලවා ලෝකය දෙස බලන විට අප සිටින්නේ දෘෂ්ටිවාදය තුලයි. ජෝන් කාපෙන්ටර් විසින් අධ්‍යක්ෂණය කල They Live චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්නේ දෘෂ්ටිවාදය පිළිබද ඉහත අදහස බව ජිජැක් ප්‍රකාශ කරයි.  නිදහස ළගාකර ගැනීම යනු නැවත කණ්නාඩිය පැළද ලෝකය දෙස බැලීමයි. නමුත් එය දැඩි වේදනාවක් ඇති කරයි. මේ වන විට ජනප්‍රිය වෙමින් තිබෙන අප පක්ෂයේ දේශපාලන අදහස් මගින් සිදු කරන්නේ දෘෂ්ටිවාදය විවේචනය කිරීමයි. ඒ හරහා ජනතාවට ලෝකය පිළිබද තමන්ගේ ඍජු දැක්ම වෙනුවට  කණ්නාඩිය පැළද ලෝකය දෙස බැලීමට බල කෙරෙයි. එය ජනතාවට විශේෂයෙන්ම රාජපක්ෂ මතදාරී ෆැසිස්ට්වාදී පිරිසට ඇති කරන්නේ දැඩි වේදනාවකි. Facebook, Youtube වැනි  මාධ්‍යන්ගේ අපගේ අදහස් වලට පහලින් comment ලෙස පලවෙන්නේ මේ වේදනාවට එරෙහිව දක්වන ප්‍රතික්‍රියාවන් වේ.

ධනවාදයේ ආරම්භය සිදුවන්නේ 15 වන ශතවර්ශයේදීය. ඉතාලියේ වැනීසිය කේන්ද්‍ර කර ගත් වෙළෙන්දන් ලග මුදල් එකතු වීමත් සමග රජා ගේ පාලනයට වඩා නිදහසක් මුදල් හරහා ලබා ගත හැකි බව ඔවුන්ට දැනෙන්නට විය. මෙය තවදුරටත් විකාශනය වන විට නිෂ්පාදනය ආරම්භ වේ. නිෂ්පාදන කම්හල තුල සේවය කරන කම්කරුවා මුලික කරගනිමින් පංති දේශපාලනය බිහිවේ. පංති දේශපාලනයේ   වැදගත්ම සන්ධිස්ථානය වන්නේ කාල් මාක්ස් ගේ දර්ශනය බිහි වීමයි. ධනවාදයේ තුන්වන අවධිය වන පශ්චාත්-ධනවාදී මොහොතේදී (ධනවාදය අවසන් වූ යුගය) තවදුරටත් පංති දේශපාලනය අවශ්‍ය නොවේ. සමකාලීන ධනවාදය රදා පවතින්නේ දෘෂ්ටිවාදය මතය. පංති පසමිතුරුතාවය, අසාධාරණය ආදිය වෙනුවට මේ යුගයේ ඇත්තේ අනන්‍යතා අරබුදයයි. දෘෂ්ටිවාදී දේශපාලනයට ආශක්ත වන පුද්ගලයා උත්සහ කරන්නේ තම අනන්‍යතාවය ගොඩනගා ගැනීමයි. කෙසේවෙතත් යුග 3  දීම ධනවාදය විසින් අතිරික්තයක් නිර්මාණය කරනු ලබයි. මේ කාර්තුවේ දෘෂ්ටිවාදය අයිති වන්නේ අධෝව්‍යුහයටය. එය ද්‍රව්‍යාත්මක වන්නේ ආර්ථිකය තලය තුල නොව භාෂාව තුලයි.

ඉහත සදහන් කල නව දේශපාලන තත්වය පිළිබද වෝල්ටර් බෙන්ජමින් පැහැදිලි කරයි. පංති දේශපාලනයේදී ඉඩ නොදෙන මහජනයාට ප්‍රකාශ වීමට ඇති අවස්ථාවට අනන්‍යතා දේශපාලනයේදී ඉඩ ලැබෙයි. පංති දේශපාලනයේදී සාහිත්‍ය, චිත්‍රපට, නාට්‍ය ආදිය ගැන සාකච්ජා කරන අතර ඒවා එක් පංතියකට පමණක් සීමා වේ. නමුත් දෘෂ්ටිවාදී දේශපාලනයේදී මහජනයාට ඍජු ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ. මෙම මහජනයා සමන්විත වන්නේ සංස්කෘතික නිර්ධනයන්ගෙනි. එනම් විධිමත් න්‍යායික පුහුණුවක්  නොලද අයයි. Facebook තුල දැකිය හැකි ෆැසිස්ට්වාදී ස්වරුපය යනු මෙම මහජන ප්‍රකාශ වීමයි. මීට අමතරව පසු නුතන ජනමාධ්‍ය විසින් මෙම ප්‍රකාශ වීමට අවකාශය ලබා දෙමින් තම ලාභය වැඩි කර ගනී. මෙවැනි ජනමාධ්‍ය තුල සන්නිවේදනය නැත. ඒවාට අභිමතාර්ථයක් නැත. ඒවා තුල ක්‍රියාත්මක වන්නේ වසගය සහ වේශ නිරූපනය පමණි. ලිබරල්වාදීන් නිතරම ප්‍රකාශ කරන දෙයක් වන්නේ මාධ්‍ය නිදහස නොමැති බවයි. මාධ්‍ය නිදහස ඇති කිරීමට නම් මුලින්ම ෆැසිස්ට්වාදයට  ප්‍රකාශ වීමට ඉඩදීම නැවැත්විය යුතුය. 1945 පසු ජර්මනියේ ක්‍රියාත්මක වූ නාසි හරණය ව්‍යාපෘතිය හරහා  නාසිවාදය  සහමුලින්ම මැඩපැවැත්වීම මගින් ජර්මනියට අලුත් රටක් බවට පත්වීමට හැකි විය. නමුත් අපේ රටේ තවමත් ෆැසිස්ට්වාදීන්ගේ ඔලුව අතගාමීන් සිටී.

ෆැසිස්ට්වාදයට ආකර්ෂණය වන ලංකික බහුතර ජනයා යනු තමන්ගේ සැබෑ ජීවිතය තුල දැඩි අසහනයකින් පෙළෙන පිරිසක් වේ. ආර්ථිකය කඩා වැටීම, රැකියා ප්‍රශ්න, සදාචාරය පිරිහීම, මත්ද්‍රව්‍ය , අපරාධ වැඩි වීම, තරගකාරීත්වය වැඩි වීම, ගැහැණු පිරිමි සබදතා බිද වැටීම සහ එය ස්වපීඩාකාමී හෝ පරපීඩාකාමී වීම, වාහන වැඩි වීම සහ මාර්ග තදබදය , දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වීම, අනාගතය  අවිනිශ්චිත වීම, විවිධ ලෙඩ රෝග සහ ස්වභාවික විපත් වලට නිතරම මුහුණ දීම, අසල්වැසියා ඇසුරු කිරීමට නොහැකි වීම ආදී ගැටළු වලට කිසිදු පිළිතුරක් නැති වීම මෙම අසහනයට සැබෑ හේතුවයි. මෙම ජනගහනයේ සියලුම ධනය සුරා කන්නේ අතලොස්වක් වූ  ධනපතියන් පිරිසක් විසිනි. රටේ මුදල් ටික ධම්මික පෙරේරා වැනි පුද්ගලයන් ලග එකතු වේ. මෙවැනි ප්‍රශ්න ගොඩක ජීවත් වන නුගත් ජනතාව මැදට පනින ගුණදාස අමරසේකර, නලින්ද සිල්වා වැනි ජාතිවාදය පෝෂණය කරන්නන් මේ සියලු ගැටළු වලට හේතුව දෙමළා හෝ තම්බියා බව පවසයි. මෝඩ මිනිස්සු මේ කතා වලට රැවටේ. විවිධ  ජාතීන් අතර නෙයිසර්ගික පසමිතුරුතාවයක් ඇත. එය ඕනෑම සමාජයකට පොදු ලක්ෂණයකි. ජාතිවාදය විසින් උත්සහ කරනු ලබන්නේ ඉන් එක් පාර්ශවයක් ජයග්‍රහණය කර අනෙක් පාර්ශව මර්දනය කර දැමීමටය. ගෝඨාභය වැනි මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දීමට ලංකාවට පැමිණි, වැදගත් සාකච්ජා අතර තුර ඊට සහභාගී වන අයට තේ ඇල්ලු පුද්ගලයෙකු බලයට පැමිණියහොත් ලාංකිකයාට ඉතුරු වන්නේ සමාජයක් නොව යුදපිටියකි. ඒ වෙනුවට අප යෝජනා කරමින් සිටින්නේ  ග්‍රාමීය මුලයක් සහිත , වෘත්තයක ගමන් කරමින් සිටින, නාගරික ආර්ථිකයක් නැති මිනිසුන්ගේ අධ්‍යාත්මික ප්‍රශ්නයක් වූ  ජාතිවාදය සම්පුර්ණයෙන්ම පරාජය කර සියලු දෙනා සංකේතීයව  ශ්‍රී ලාංකික අනන්‍යතාවයකට එක් කොට  ඔවුන්ගේ  කලින්  සදහන් කල සැබෑ ප්‍රශ්න වලට විසදුම් දිය හැකි දේශපාලනයකි. මේ මොහොතේ ජාතිවාදීන් කවුදැයි නම් කර ඔවුන්ට පහර නොදී සිටීම තක්කඩිකමක් සහ නරුමවාදයකි. ජාතිවාදී මතවාදය පෝෂණය කරන නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැන්නන් සමාජයෙන්  පන්නා දමා ඔවුන්ගේ පට්ටම් අවලංගු කර ඔවුන් ලියු පොත පත පවා තහනම් කල යුතුය. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට දේශපාලකයා එඩිතර නොවනතාක්  ජාතිවාදයට නැබුරු මතවාදී ප්‍රවාහය නවතා දැමිය  නොහැක.

අවබෝධ කරගැනීම(understanding) සහ විචක්ෂණයෙන් නිගමනය කිරීම (reason) යනු සංකල්ප දෙකකි. අවබෝධ කරගැනීමේදී පුද්ගලයා  ක්‍රියා කරන්නේ තමා දන්නා දෙය මත පදනම් වෙමිනි. මහින්ද රාජපක්ෂ යනු අප දන්නා ආකාරයට හොද මිනිසෙකි. ඇග පත ඇති  නායකයෙකි. රටේ දරුවන්ට අප්පච්චි කෙනෙකි. නමුත් විචක්ෂණයෙන් නිගමනය කිරීමේදී තමා ලබා ගන්නා අදහස් යම් යම් සන්දර්භ වලදී  ලබාගෙන ඇති බවත් එම සන්දර්භ වෙනස් වූ විට එම අදහස් වෙනස් වන බවත් පුද්ගලයාට පැහැදිලි වේ. ඒ අනුව මහින්ද අපට හොද නායකයෙකු ලෙස පෙනෙන්නේ ජාතිවාදී සන්දර්භයක් තුල පමණි. ප්‍රජාත්‍රන්ත්‍රවාදී රාමුව තුල සිට ජාතිවාදී සන්දර්භයෙන් ඉවත් වී බලන විට ඔහු කිසි වැදගත්කමක් නැති පුද්ගලයෙකි. රටේ දරුවන්ට අප්පච්චි  කෙනෙකු කරනවාට වඩා ඔහු තමන්ගේ දරුවන් තුන් දෙනාවත් හරියට හදා ගන්නට නොහැකි වූ පුද්ගලයෙකි.

90 දශකය මුල නිව්ටන් ගුණසිංහ මතු කල අදහසකට අනුව 1956 බණ්ඩාරනායක ජයග්‍රහණයෙන් පසු එතෙක් වාමාංශික පක්ෂ සතුව තිබු වෘත්තීය සමිති වල බලය දක්ෂිණාංශික පක්ෂ දක්වා  විතැන් වීම ආරම්භ විය. වෘත්තීය සමිති වල සංයුතිය වෙනස් කරමින්  නාගරික කම්කරු පංතිය වාමාංශික පක්ෂ වලටත්   නගරයට රැකියා සදහා සංක්‍රමණය වූ ග්‍රාමීය සුළු දේපල හිමි ජනතාව දක්ෂිණාංශික පක්ෂ වල වෘත්තීය සමිති වලටත්  බැදෙන්නට විය. කම්කරු ව්‍යාපාරයේ පිරිහීම සනිටුවහන් වන්නේ මෙම සංයුතිය වෙනස් වීම මගිනි. නමුත් වර්තමානය වන විට මෙම තත්වය නැවත වෙනස් වී ඇත. රටේ වෘත්තීය සමිති බහුතරයක් මෙහෙයවනු ලබන්නේ වාමාංශික පක්ෂ විසිනි. සෞඛ්‍ය , දුම්රිය, ගමනා ගමන, ඛනිජතෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ජලසම්පාදක මණ්ඩලය ආදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති බහුතරයක් මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. එසේනම් නිව්ටන්ගේ තර්කනයට අනුව වර්තමානය යනු  කම්කරු ව්‍යාපාරය වඩාත්ම ශක්තිමත් විය යුතු යුගයයි. නමුත් එසේ නොවන්නේ මන්ද? ඊට හේතුව වන්නේ ජ.වි.පෙ යනු ෆැසිස්ට් මුලයක් සහිත ජාතිවාදයට සේවය කරන පක්ෂයක් වීමයි. පක්ෂයේ මෙම සත්‍ය අපට පසක් කරන්නේ ජ.වි.පෙ තුල තම ආශාවන් මර්දනය කරගනිමින් සිටින පිරිස නොවේ. ජ.වි.පෙන් ඉවත් වූ අයයි. ලංකාවේ වැඩිම සදාචාර විරෝධී වැඩ කරමින් සිටින්නේ දක්ෂිණාංශික පක්ෂ වල අය නොව ජ.වි.පෙන් ඉවත් වූ විමල් වීරවංශ වැනි අයයි. ජ.වි.පෙ දේශපාලනයට ඇතුළු වන  විමල් කියන්නේ තමා පීඩිත ජනතාවට නිදහස උදාකර දීම අරමුණු කරගෙන දේශපාලනයට එක් වන බවයි. ඒ මොහොතේදී ඔහු තමාගේ අරමුණ  දෙමළාව  සමුල ඝාතනය කිරීමත් ,ඇමති කෙනෙකු වී  තමන්ගේ ඇරියස් කවර් කරගැනීමත් බව නොකියයි. දශක කිහිපයකට පසුව නිදහස ලැබූ පීඩිත ජනතාවක් නැතත් විමල් නම් තමාගේ ආර්ථික පීඩනයෙන් ඉහලින්ම ගැලවී ඇති බව පෙනී යයි. ප්‍රත්‍යාවේක්ෂව බලන විට විමල්ගේ ආරම්භක මොහෙතේදී අරමුණ වන්නේද ඔහු දැන් ළගා වී ඇති තැනට ළගා වීමයි. පීඩිතකුට ආර්ථික සමෘද්ධිය ළගා කරගැනීම හෝ  අනන්‍යතාවය හිමි කරගැනීම හැර වෙනත් අරමුණක් කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් නිසා ඇති වන්නේ නම් එවැනි ව්‍යාපාරයක් මේ වන විට රට වෙනස් කර හමාරය.  විමල්ට තමන්ගේ සැබෑ  අරමුණ සගවා යතාර්ථය තුල ප්‍රකාශ කිරීමට වෙනත් අරමුණක් අවශ්‍ය වේ. විමල් හොද අරමුණකින් පටන් ගෙන දේශපාලන ගමනේ මුහුණ දුන් තත්වයන් නිසා ඔහු මේ තැනට ඇද වැටුනේ යැයි යමෙකු සිතන්නේ නම් එය සම්පුර්ණයෙන් වැරදි මතයකි. ජ.වි.පෙ තුල තවත් බොහෝ දෙනෙක් මෙවැනි අරමුණු ප්‍රකාශ කරමින් පක්ෂය තුලට වී සිටී. ඔවුගේ සැබෑ අරමුණු මොනවාද යන්න ඉදිරියේදී අපට දැකබලා ගැනීමට හැකිවනු ඇත.

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.