අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ එකොළොස්වන කොටස යි.

ඇලන් බදියුගේ අදහසක් සමගම යළිත් නායකයාගේ වැදගත්කම පිළිබඳ කුමක් ද යන්න පැහැදිලි කළ යුතුය යන තැනින් අපි පසුගිය සතියේ අවසන් කළා…

ඔව්… අපි එතනින් ආරම්භ කරමු. අපේ මේ අත්හදා බැලීම නිසා කොමියුනිස්ට්වාදය අවලංගුයි කියල හිතෙනවා නම් අපිට නායකයො මොනවටද? දාර්ශනිකයො මොනවටද? ධනවාදය මෙතරම් කුණු වී පවතිද්දි ඒකට විකල්පයක් විදියට ඇති ක්‍රමය පිළිබඳ අදහස නැවත ඒ ක්‍රමය නිර්මාණය කළ යුතුයි කියල මෙහි කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. පැරණි සමාජවාදයේ අදහස අපි නැවත ඒ විදියට ම ගෙන ආ යුතු නැහැ. නමුත් මෙයින් අදහස් කෙරෙන්නේ එය නොවෙයි. නමුත් මේ කාරණය නිසා ම කොමියුනිස්ට් සමාජයක් පිළිබඳ අදහස අපි ප්‍රතික්ෂේප කළ යුතු ද? මෙන්න මේ සංධිස්ථානයේ දී නායකත්වය වැදගත් වෙනවා.

ඔබ කැමති වුණත් අකමැති වුණත් මම නැවතත් දීප්ති වෙත අවධානය යොමු කරනවා. හේතුව; ලංකාවේ අපේ පරම්පරාවට යම් ආකාරයක වෙනස් වූ සමාජයක් පිළිබඳ කොමියුනිස්ට්වාදී සමාජවාදී අදහස නැවත අපිට ඉදිරියට ගේන්න පුළුවන් වෙන්නෙ දීප්ති හරහා. එසේ නොමැතිව ජනතා විමුක්ති පෙරමුණ හරහා නොවෙයි! නායකයා සංකේතීය වෙන්නෙ මෙන්න මේ අවස්ථාවෙදියි. නැවත නැවත දීප්ති පිළිබඳ අදහස මතුකරනවා යැයි යම් පිරිසක් හෝ පුද්ගලයෙක්, සමාජ ව්‍යාපාරයක් වරදවා වටහා ගන්න පුළුවන්. නමුත් එය නොවෙයි කාරණාව. මේ මොහොතේ, මේ ප්‍රපංචය අපි නිවැරැදිව තේරුම් ගතයුතුයි. මේ කාරණය තේරුම් ගන්නෙ නැතුව අපිට මීට වඩා ඉදිරියට යන්න බැහැ. මෙය වඩාත් බලපාන්නෙ අපිට. වඩාත් පැහැදිලිව කියනවා නම්, ලංකාවේ අපිට. මෙය නිවැරැදිව ම භෞතිකව වටහා ගතයුතුයි.

ඔහු දෘෂ්ටිවාදය විවේචනය කරන ස්ථානය සහ අපිට බලාපොරොත්තුවක් ගෙනෙන ස්ථානය. එතනදි ඔහු අතිශයින් ම සංකේතිය යි. දැන් නැවතත් එමු ඇලන් බදියුගෙ අදහසට. මෙය සංකල්ප පද්ධතියක් ලෙස අපි ප්‍රතික්ෂේප කළ යුතුද?  මාක්ස්වාදය ඉවරයි කියල ඇණේ ගහන්න කලිං අපි නැවතත් ඒ කාරණාව සිතා බැලිය යුතුයි.

දැන් අපි ජිජැක්ට බලපාන පළවෙනි ආභාශය ලෙස හෙගල් ලෙස හැඳින්වූවා. දෙවන අභාශය ලෙස අපි දක්වනවා තව දුරටත් සමාජය මාක්ස්වාදය පිළිබඳ සිතා බැලිය යුතු අදහස. දැන් අපි මෙතනින් තව ටිකක් ඉදිරියට යා යුතුයි. මොනවට ද? මිනිස්සු කොහොමද ක්‍රියාකරන්නෙ කියල දැනගන්න. එතනදි වැදගත් වෙන්නෙ මනෝ විශ්ලේෂණය. අපි බලමු මේ අවස්ථාවේ දී මනෝ විශ්ලේෂණය බලපාන්නේ කෙසේ ද කියා.

පළමුවෙන් සාකච්ඡා කළ පරස්පරතාව, ඒ වගේ ම දෘෂ්ටිවාදය නමැති අදහස් දෙකට ම අවශ්‍යය වන මූලික අදහසක් ඉදිරිපත් කරනවා. එය හඳුන්වන්නේ පුද්ගල අවිඥානය යනුවෙන්. මෙය වඩාත් පැහැදිලි කරනවා නම්, ෆ්‍රොයිඩ් ගේන මතය වෙන්නෙ මිනිස්සු හැම වෙලාවෙම ක්‍රියා කරන්නෙ අවිඥානිකව කියන කාරණාව. මොන මොන දේ සමාජ යාන්ත්‍රණයේ තිබුණත් අපි ඒ සමාජ යාන්ත්‍රණයට අපි බද්ධ වෙන්නේ කෙසේද? අපි ඒ සමාජ යාන්ත්‍රණයට බද්ධ වෙන්නේ අප තුළ පවත්නා අවිඥානයත් සමග යි. මනෝ විශ්ලේෂණය මේ තරමට ම අපිට වැදගත් වෙන්නෙ මෙන්න මේ මොහොතෙදියි.

අපි බලමු මනෝ විශ්ලේෂණය යනුවෙන් හඳුන්වන්නෙ කුමක් ද කියල. කුඩා දරුවෙක් තමාගේ සමාජ චලනය පිලිබඳ සමායෝජනයක්  (Co-ordination) එකක් කරගන්න අපහසුයි. ඒ නිසා ඔහුට දර්පනයක් (Mirror) අවශ්‍ය වෙනවා. එය සාමාන්‍යය කණ්ණාඩියක් වගේම ඔබගේ ඇස. තවත් කෙනකුට මාව පෙනෙන විදිය. දරුවෙක් කුඩා අවධියේ සිට වර්ධනය වන අවස්ථාව වන විට තමාගේ චලනය සාමාන්‍යය ලෝකය ඇතුලේ වටහා ගන්නේ කෙසේ ද යන්න පැහැදිලි වෙන්නෙ මෙන්න මේ කාරණා ද්විත්වය හරහායි.

මේ කාරණය ම තව ටිකක් ඉදිරියට අරගෙන යමු.

මම පිළිබඳ කරන ප්‍රකාශ සහ මම පෙනෙන විදිය අතර හැම වෙලාවෙම අසංගත භාවයක් තිබෙනවා. අපි ඒක මේ විදියෙ උදාහරණයකින් පැහැදිලි කරගමු.

ඔබ එක්තරා ආකාරයකට (In self) සිටිනවා. නමුත් අනෙකාට ඔබ පේන විදියක් තිබෙනවා. මේ දෙක අතර තිබෙන සංගත (Consistenes) භාවයක් නැතිවීම හේතුවෙන්  මේක ඇති කරගැනීමේ අවශ්‍යතාව අපිට දිගින් දිගටම අවශ්‍යය වෙනවා. තමා සහ තම ප්‍රතිරුපය අතර සංගත භාවය කොහොමද රඳවා ගන්නේ…? තමා යැයි යමක් පවතිනවා. තමාගේ ප්‍රතිරූපය යැයි යමක් ද පවතිනවා. ලකාන් අහන්නේ මේ දෙක අතර තිබෙන සංගතතාව අපි සොයා ගන්නේ කෙසේ ද කියල? දැන් අපි කළින් කාකච්චා කලානෙ සොයාගන්න වෙන්නෙ Mirror එකක් හරහා බව. අපි කාලය ගත කරන්නේ ඉදිරි මුළු ජීවිත කාලය පුරා ම තමා සම තම ප්‍රතිරූපය අතර පවතින කණ්ඩනය පුරවා දැමීම සඳහා යි.

ලකාන් අදහසට අනුව… ඔබගේ ලිවීම, වෙනත් පුද්ගලයකුගේ ඉගැන්වීම, එසේත් නොවේ නම් තවකකුගේ සමාජ කාර්යයක් යනාදි සියල්ලක් ම මේ ප්‍රතිරෝධය, අපේ ජිවිත කාලය ගතවෙන්නෙ     මේ දෙක අතර තිබෙන අසමතුලිතතාව සමනය කර ගැනීම සඳහා යි. අපි මේක හඳුන්වන්නේ සමෝධානය යනුවෙන්. 

දැන් ඊළඟ කාරණයට ප්‍රවේශ වෙමු. සමස්තය ගොඩනැගෙන්නෙ මේ ඉහත සදහන් කළ කාරණා ද්විත්වයෙන්. මේ කාරණය මෙහෙම පැහැදිලි කරගමු. අපි අපේ පරිපූර්ණතාව හොයාගෙන යන විට අපි හැමෝගෙ මූලික පැල්මක් තිබෙනවා. ඒ තමයි තමන් සහ තමන්ගේ ප්‍රතිරූපය අතර තිබෙන වෙනස. මනෝවිශ්ලේෂණය මගින් අපිට ප්‍රධාන වශයෙන් ම ඉදිරිපත් කරන කතිකාව මෙය යි.

දැන් අපි මේ පැල්ම රඳාපවත්වා ගනිමින් ම සංකේතීය භාවය වැදගත් කියන කාරණයත් මෙතනදි අපි අවබෝධ කරගත යුතුයි. ඇයි අපිට මෙය වැදගත් වෙන්නෙ කියල බලමු. ප්‍රධාන වශයෙන් ම සංකේතීය පිළිවෙළ සමස්ත ලෝකය පුරා ම අවුල් වෙමින් පවතින නිසා. වඩාත් පැහැදිලි කරනවා නම් නීතිය. එනම් ඔබ මම ඇතුළු ලෝකයේ හැමෝම යටත් වන දෙය. මේකට සරලම උදාහරණයක් දෙනවා නම්, අපි ඇයි පොලිස් නිලධාරියකුට බය? ඔහු නිල ඇඳුමක් ඇඳ සිටින නිසා හෝ ඔහු අතේ ගිනි අවි තිබෙන නිසා නොවෙයිනෙ. අපි ඔහුට අවනත වීමට උත්සාහ කරන්නේ අපි යම් නෛතික රාමුවකට අවනත වෙන නිසා. මෙන්න මෙතනදි ලැකාන් ගේන තර්කය කුමක් ද?

අපි ලබන සතියේ ඒ පිළිබඳව සාකච්ඡා කරමු.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

පසුගිය සියලු ලිපි බලන්න මෙතනින් පිවිසෙන්න.

 

 

 

ඔබේ අදහස කියන්න...