ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්‍රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික විද්‍යාවේ න්‍යායයන් ඉතාමත් උමතු ප්‍රතිරෝධනයක් අවුස්සා ලූයේය. තවමත් අවුස්සා ලන්නේය. එනිසා, නවීන සමාජයේ දියුණු පංතිය අවබෝධයෙන් පෝෂණය කිරීමට සහ සංවිධානය කිරීමට කොලින්ම උපකාරී වන, මෙම පංතිය හමුවේ ඇති කර්තව්‍යයන් සනිටු හන් කරන සහ වර්තමාන ක්‍රමය වෙනුවට-ආර්ථීක සංවර්ධනය හේතුකොටගෙන – නව ක්‍රමයක් ආදේශ කිරීම නොවැලැක්විය හැකි බැව් පෙන්නුම් කරන මාක්ස්වාදී මූලධර්මයට ස්වකීය ජීවිතයේ සෑම ඉදිරි පියවරක් සදහාම සටන්කිරීමට සිදුවී තිබිම පුදුමයක් නොවේ.

දේපළහිමි පංතිවල නැගීඑන පරම්පරාවේ ඔළුව අවුල් කිරීම සහ එය අභ්‍යන්තර සහ බාහිර සතුරන්ට විරැද්ධ හුරුපුරුදු කිරීම සදහා නිල මහචාර්ය වරු විසින් නිළ වශයෙන් උගන්වනු ලබන ධනපති විද්‍යාවට සහ දර්ශනයට මෙය අදාල වන බව කිවමනා නොවේ. මෙම විද්‍යාව මාක්ස්වාදයේ නම පවා ඇසීමට අකමැතිය. එය කියන්නේ මාක්ස්වාදය බිදහෙළා සුනු විසුනු කොට දමා ඇති බවය. සමාජවාදය බිද හෙළීම වෘත්තියක් කොටගත් තරුණ උගත්හුද, යල් පැන ගිය “ක්‍රම” වල නේකාකාර සම්ප්‍රදායයන් රකින්නාවු ජරා ජීර්ණ වෘර්ධයෝද යන දෙකොටසම එකාකාර අභිරුචියකින් මාක්ස්ට පහරදෙති. මාක්ස්වාදයේ ප්‍රගතියත්, එහි අදහස් කම්කරු පංතිය අතර පැතිර යමින් ඒ තුල තදින් මුල් බැස ගැනීමත් සැබවින්ම සිදුවන නිසා එයට විරුද්ධව ධනපති පංතිය මෙම ප්‍රහාරයන්ගේ නිරන්තර භාවය හා උත්සන්න කම අනිවාරණීය ලෙසටම වැඩි වේ. නිළ විද්‍යාව විසින් මාක්ස්වාදය “සුනු විසුනු” කරනු ලැබු සෑම අවස්ථාවකම එය වඩාත් ශක්තිමත් වේ, වඩාත් දැඩිවේ, හා වඩාත් බලවත් වේ.

එසේ වුවද කම්කරු පංතියේ අරගලය හා සමග සම්බන්ධවු හා ප්‍රධාන වශයෙන් නිර්ධන පංතිය තුල පැතිර පැවති ධර්මයන් අතර පවා මාක්ස්වාදය එක්වරම තහවුරු වුයේ නොවේ. මාක්ස්වාදයේ පැවැත්මේ ප්‍රථම අර්ධ ශත වර්ෂය තුල (1840 පටන් ඉදිරියට) එය එයට සතුරු වු න්‍යායයන්ට විරුද්ධව අරගල කිරීම සදහා ව්‍යාවෘත විය. 40 ගණන් වල ප්‍රථම වර්ෂවලදී මාක්ස් සහ එංගල්ස්, දාර්ශනික විඥානවාදය පිලිගත් රැඩිකල් වාදී තරුණ හේගල්වාදීන්1 සමග අරගලය හමාර කළහ. 40 ගණන් අගදී ආර්ථික ධර්මයේ ‍ක්ෂේත්‍රයෙහි ප්රුදොන්වාදයට2 විරුද්ධව අරගලය ආරම්භ විය. කුණාටුවලින් ගහණ 1848 වර්ෂයේ විද්‍යාමාණ වු පක්ෂ හා ධර්ම විවේචන කිරීම මගින් මෙම අරගලය පනස් ගණන්වලදී සම්පූර්ණ වනු දක්නා ලදී. 60 ගණන්වලදී අරගලය පොදු න්‍යාය ක්ෂේත්‍රයේන් සෘජු ශ්‍රම කරු ව්‍යාපාරයට වඩාත් සමීප වු ක්ෂේත්‍රයකට යොමු විය. එය ජාත්‍යාන්තරයෙන් බකුනින් වාදය3 නෙරපීමේ අරගලය විය. 70 ගණන් වල මුල් අවුරුදු වලදී ජර්මනය තුල වේදිකාව මත කලකට පෘදොන්වාදී මියුල් බෙර්‍ගෙ විසින්ද 70 ගණන්වල අවසාන අවුරුදු වලදී අනුබුතිවාදී ඩූරිං විසින්ද අල්ලා ගෙන තිබුණි. නමුත් මෙම දෙදෙනාම නිර්ධන පංතිය කෙරෙහි පෑ බලය ඉතාමත් අල්ප විය. මේ වන විටම මාක්ස් වාදය අන්‍ය දෘෂ්ඨිවාදය සියල්ලම පරදවා ශ්‍රම කරු ව්‍යාපාරය තුළ නිසැක ජයග්‍රහණයක් ලබා ගනිමින් තිබුණි. 90 ගණන්වන විට මෙම ජයග්‍රහණය ප්‍රධාන වශයෙන් සම්පූර්ණ කර තිබුණි. පෘදොන් වාදී සම්ප්‍රදායන් වැඩිම කාලයක් නොනැසී පැවැතුනු ලතින් රටවල පවා, කම්කරු පක්ෂ ඒවායේ වැඩ පිලිවෙලවල් සහ උපක්‍රම අර්ථයෙන් මාක්ස්වාදීවු අඩිතාලම් මත ගොඩනැගූහ. කලින් කලට පවත්වන ජාත්‍යන්තර සම්මේලන ස්වරූපයෙන් යලිත් පණගන්වන ලද ශ්‍රම කරු ව්‍යාපාරයේ ජාත්‍යන්තර සංවිධානය, සියළුම වැදගත් කරුණුවලදී, අරගලයක් නොමැතිවම පාහේ මාක්ස්වාදී ස්ථාවරය පිලිගත්තේය. නමුත්, මාක්ස්වාදයේ සතුරු සියළු අනුපූර්ණ ධර්මයන්ම එය විසින් පෙරලා දමනු ලැබීමෙන් පසුව එම ධර්මයන් මගින් ප්‍රකාශිත ප්‍රවණතාවයන් වෙනත් මාධ්‍යන් සෙවීමට පටන්ගත්තේය. ඒ අනුව අරගලයේ ආකෘතිය සහ එයට හේතු වෙනස් විය. නමුත් අරගලය දිගටම පැවතියේය. ඒ අනුව මාක්ස්වාදයේ පැවැත්මේ දෙවැනි අඩශත වසර(90 ගණන්වලදී ඇරඹුනේ මාක්ස්වාදය තුලම වු එයට සතුරු උපනතියක අරගලයද සමගය.

එක් කලෙක පිළිගත් මාක්ස්වාදියෙකු සිටි බර්ස්ටයින්ස්, වඩාත් ආන්දෝලන සහිතව වඩාත් අධිෂ්ඨාන සහගත ලෙස මාක්ස්ගේ ධර්මයට සංශෝධන ගෙන ඒම මගින් එම උපනතියට4 ඔහුගේ නම දුන්නේය. එම උපනතිය නම්, මාක්ස් ධර්මය සංශෝධනය කිරීමය, සංශෝධනවාදයය. ස්වාභාවික වශයෙන්ම- රටේ ආර්ථිය නොදියුනු කමත්, ප්‍රවේණිදාශ ක්‍රමයේ ඇටකටුවල බරින් මිරිකුණු ඉතා විශාල ගොවි ජනතාවක් පැතිර සිටීමත් නිසා – මාක්ස්වාදී නොවන සාමාජවාදය ඉතාමත් වැඩි කාලයක් තිස්සේ නොනැසී පැවතුනු රුසියාවේ පවා, අපගේ ඇස් ඉදිරියේම, එය පැහැදිළිවම සංශෝධනවාදයට පරිවර්ථනය වෙමින් තිබේ. ගොවි ජන ප්‍රශ්ණයේදී (සියළුම ඉඩම් නාගරික සභා සන්තක කිරීමේ වැඩ පිලිවෙල) හා වැඩ පිළිවෙල හා උපක්‍රම ආශ්‍රිත පොදු ප්‍රශ්ණවලදී යන දෙකිහිදීම, අපගේ සමාජ- නරොද්නික් වරු ඔවුන්ගේ පැරණි ක්‍රමයේ, එනම්, ස්වභාවය අනුව අංගපූර්ණ දහමක් හා මූලික වශයෙන් මාක්ස්වාදයට සතුරු වු එම කුමයේ මරණාසන්න හා කල් ඉක්ම වු නෂ්ට‍ා‍වශේෂයන් වෙනුවට, වැඩි වැඩියෙන් මාක්ස් ධර්මයට “සංශෝධන” ආදේශ කරති.

මාක්ස්-පූර්ව පූර්ව සමාජවාදය පරාජය කර ඇත. එය දිගටම එහි අරගලය ගෙන යයි. එහෙත් දැන් එය එම අරගලය කෙරෙන්නේ එහිම භූමියෙහි නොව සංශෝධනවාදය ලෙසට, මාක්ස්වාදයෙහිම භූමියෙහිය. එබැවින්, සංශෝධනවාදයේ දෘෂ්ඨිමය සංධාරය විමර්ෂණය කරමු.

දර්ශනයේ ක්ෂේත්‍රයේදී, සංශෝධනවාදය ධනපති මහාචාර්ය “විද්‍යාව” පසුපස ගියේය. මහාචාර්යවරු “කාන්ත් වෙත ආපසු” ගියහ. ඒ අනුව සංශෝධනවාදය නව-කාන්ත්වාදීන් පසුපස ඇදී ගියේය. පූජකවරු දහස් ගණන් වරක් නැවත නැවතත් දර්ශනවාදී ද්‍රව්‍යවාදයට විරුද්ධව කී, නිසරු වදන්ම ප්‍රතිරාවය කළ මහාචාරයවරු අනුව යමින් සංශෝධනවාදීහු ද එකඟත්වය පා සිනාසී (අළුත්ම හන්ද්-බුහ් අනුව වචනයක් වචනයක් පාසා) බොහෝ කළකට පෙරම ද්‍රව්‍යවාදය “බිදහෙළන” ලදැයි යනුවෙන් කෙඳුරූහ. හේගල් “මියගිය සුඛනඛයෙකු”5 ලෙසට ගත් මහාචාර්යවරු, තමන් විඥ්ඥානවාදය, එනම්, හේගල්ගේ විඥ්ඥානවාදයට වඩා දහස් වරක් පහත් හා නොවැදගත් විඥ්ඥානවාදයක් දේශනාකරමින්, දයාලේක්තික ක්‍රමය පිළිබඳව පිළිකුල හඟවමින් උරහිස් නැටවූහ. එවිට සංශෝධනවාදීහු, ඔවුන් පිටුපස යමින් “උපාය දක්ෂ” (හා විප්ලවාදී) දයාලෙක්තිය වෙනුවට “සරල” (සහ නිශ්චල) “පරිනාමය” ආදේශ කරමින්, දාර්ශනික ලෙස විද්‍යාව කෙළෙසීමේ මඩ ගොහොරුවෙහි පෙරළුනහ. තමන්ගේ විඥනවාදී හා “ විවේචනාත්මක” යන ක්‍රම දෙකම ප්‍රබල මධ්‍යකාලීන “දර්ශනය” ට (එනම් දේවධර්මයට) ගැලපීමෙන් මහාචාය්‍යාර්යවරු ඔවුන්ගේ නිල වේතන උපයාගත් අතර6 නවීන රාජ්‍ය සම්බන්ධයෙන් නොව, දියුණු පංතියේ පක්ෂය හා සම්බන්ධයෙන්, ආගම “පෞද්ගලික කටයුත්තක්” කිරීමට උත්සාහ ගැනීමෙන් සංශෝධනවාදීහු ඔවුන් සමීපයට ඇදුනහ.

මාක්ස් දහමට ඉදිරිපත් කරන “සංශෝධනයන්” හෝ පංති අර්ථය අනුව අදහස් වන්නේ කුමක්ද යන්න කීම අවශ්‍ය නොවේ. එය අධ්‍යාහාරයෙන්ම පැහැදිලිය. ජ්‍යාතන්තර සමාජ-විප්ලවාදීහු ව්‍යාපාරයේ සිටියවුන් අතුරෙන්, සංශෝධනවාදීන්ගේ ඇදහිය නොහැකි තරම් නිසරු වු කථා, සසංගත දයලෙක්තික ද්‍රව්‍යවාදී ස්ථාවරයකින් විවේචනය කළ එකම තැනැත්තා ප්ලෙහානව් බව පමණක් මෙහි ලා සදහන් කරමු. ප්ලෙහානව්ගේ උපක්‍රමීය අවස්ථාවාදය විවේචනය කිරීම නැමති වෙස් මුහුණු පළදවා පැරණි හා ප්‍රථිගාමී දාර්ශනික කුණු කන්දල් හොරොන් ඉදිරියට ගෙන ඒමට, මහත් මුළාවකින් ප්‍රයත්න දරනු ලබන හෙයින් මෙකළ මෙය වඩාත් අවධාරණය කරමින් විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේය.* (බග්දානව්, බසාරව් සහ අනෙකුත් අයගේ “මාක්ස්වාදයේ දර්ශනය ගැන සමීක්ෂා” බලන්න. එම පොත ගැන සාකච්ඡා කිරීමට මෙය තැන නොවේ. නව කාන්ත්වාදී සංශෝධනවාදීන් ගැන මා මෙම ලියවිල්ලෙහි කියා ඇති හැම දෙයක්ම මෙම නව හියුම්වාදී සහ නව බෙර්ක්ලිවාදී සංශෝධන වාදීන්ටද මූලික වශයෙන් ගැළපෙන බව නුදුරු අනාගතයේදීම ලිපි මාලාවක් හෝ කුඩා පොතක් හෝ මගින් ඔප්පු කිරීමට මා බලාපොරොත්තු වන බව පමණක් මෙහිදී සඳහන් කරන්නෙමි.)7 දේශපාලන අර්ථශාස්ත්‍රය ගැන සඳහන් කරන්නේ නම්, සංශෝධනවාදීන්ගේ මෙම ක්ෂේත්‍රයේ “සංශෝධන” බෙහෙවින් විස්තරාත්මක හා පරියේෂණාත්මක වූ බව සඳහන් කළ යුතුය. “ආර්ථික සංවර්ධනය පිළිබඳ නව දත්තයන්” ඉදිරිපත් කිරීම මගින් මහජනයා කෙරෙහි බල පෑමට ප්‍රයත්න දරන ලදී. මහා පරිමාණ නිෂ්පාදනය විසින් කුඩා පරිමාණ නිෂ්පාදනය සං‍ෙක්න්ද්‍රනය කිරීම හා නෙරපා දැමීම කෘෂි කර්මාන්තය තුළ සිදුවන්නේම නැති බවත්, වානිජයෙහි හා කර්මාන්තයෙහි එය සිදුවන්නේ ඉතා සෙමින් බවත් කියන ලදී. දැන් අර්බුධ දුර්ලභ හා දුර්වල වී ඇති බවත් කාලට සහ සංගත ව්‍යාපාර නිසා ඒවා සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීට ප්‍රාග්ධනයට හැකිවනු ඇතැයි යනුත් කියන ලදී. පංති විරෝධතාවයන්ගේ සැර බාලවීමෙන් සහ තියුණු කම අඩු‍වීමේ ප්‍රවනතාවය නිසා ධනපති ක්‍රමය යොමුවී ඇතැයි කියන “බිදවැටීම් පිළිබඳ න්‍යාය” දුර්වල න්‍යායක් ලෙස හඳුන්වන ලදී. බෙම්බවෙර්ක් ගේ මතය අනුව වටිනාකම් පිළිබඳ මාක්ස්ගේ න්‍යාය වුවද නිවරද කිරීමේ වරදක් නැතැයි අවසාන වශයෙන් කියන ලදී.

මෙම ප්‍රශ්න පදනම් කරගෙන සංශෝධනවාදීන්ට විරුද්ධව කළ සටනේ ප්‍රථිපලයක් වශයෙන් විසි අවුරුද්ධකට පෙර එංගල්ස් ඩූරිං සමඟ කළ විවාදයෙන් සිදුවූ සේම ජාත්‍යන්තර සමාජවාදයේ න්‍යායාත්මක චින්තනයේ පළදායක පුර්ජීවනයක් ඇති විය. සත්‍ය කරුණු හා සං‍ඛ්‍යාලෙකන පිටුවල්කොට ගෙන සංශෝධන වාදීන්ගේ තර්ක විග්‍රහ කරන ලදී. ඔවුන් නවීන කුඩා පරිමාණ නිෂ්පාදනය ක්‍රමානුකූල ලෙස රෝස පාටින් පින්තාරු කරමින් සිටින බව ඔප්පුවිය. කර්මාන්තයේදී පමණක් නොව කෘෂිකර්මාන්තයෙහිද කුඩා පරිමාණ නිෂ්පාදයට වඩා මහා පරිමාණ නිෂ්පාදයේ ඇති තාක්ෂණික හා වානිජ උසස් බව බිදලිය නොහැකි සත්‍ය කරුණු අනුව ඔප්පු වී ඇත. නමුත් වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කෘෂිකර්මාන්ත තුළ සංවර්ධනයවී තිබෙන්නේ ඉතාමත් අඩුවෙනි. කෘෂිකර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් ලෝක ආර්ථිකයේ හුවමාරු ක්‍රියාදාමය තුළට ඇදී යන බව සලකුණු කරන කෘෂිකර්මාන්තයේ විශේෂ අංශ (සමහර විට ව්‍යාපාර පවා තොරාබේරා ගැනීමේ දී නවීන සංඛ්‍යා විද්‍යාඥයෝ හා ආර්ථික විද්‍යාඥයෝ සමාන්‍ය වශයෙන්ම වැඩි දක්ෂකමක් නොදක්වති. කුඩා පරිමාණ නිෂ්පාදනය නඩත්තු වන්නේ නිරන්තරව ආහාරය භාවිතා කිරීමෙන් ද, සැමදා සාගින්නේ ද, වැඩ දිනය දීර්ඝ කිරීමෙන් ද ගවයන්ගේ සගුණත්ව තත්වය හා ඔවුන්ට සාත්තුව දුර්වල කිරීමෙන් ද කොටින් කියතොත් ධනපති කර්මාන්තයට විරුද්ධව හස්ත කර්මාන්තය රැකුණු ආකාරයෙන්ම ස්වභාවික ආර්ථිකයේ නෂ්ටාවශේෂ පිහිටකොටගෙන වේ. විද්‍යාවේ හා කාර්මික ශිල්පයේ සෑම දියුණුවක්ම ධනපති සමාජයේ කුඩා පරිමාණ නිෂ්පාදනයේ අඩිතාලම් අනිවාර්යනීය ලෙස සහ නිර්දය ලෙස දුර්වල කරයි. බොහෝ විට සංකීර්ණ සහ පැටලිලි සහිත වන මෙම ක්‍රියාදාමය, එහි ආකෘති සියල්ලම අනුව විමර්ශනය කිරීමටත්, ධනපති ක්‍රමය යටතේ කුඩා නිෂ්පාදකයාට ඔහුගේ තත්වය රැක ගැනීමට කිසිම ඉඩක් නොලැබෙන බවද, ධනපති ක්‍රමය යටතේ ගොවිතැන් කරන ගොවියාට සහනයක් නොදෙන අති දුෂ්කර තත්වය ද, ගොවියා නිර්ධන පංතියේ ස්ථාවරය පිළිගැනීමේ අවශ්‍යතාවයද, පෙන්වා දීමත්, සමාජවාදී දේශපාලන අර්ථශාස්ත්‍රයට භාර කර්තව්‍යයයි. මෙම ප්‍රශානයේදී ඒකාර්ථයෙන් තෝරාගත් කරුණු පදනම වශයෙන් ගනිමින් ද, සමස්තයක් වශයෙන් ධනපති ක්‍රමය ගැන ක්‍රමයක් වශයෙන් සඳහන් නොකරම ද, මතුපිටින් සාමාන්‍යකරනයන් කිරීමෙන්, සංශෝධනවාදීහු විද්‍යාත්මක අර්ථයෙන් බරපතල වරදක් කළහ. නිර්ධ පංතියේ දෘෂ්ටි කෝණය පිළිගන්නා ලෙසට සුළු ගොවියා උනන්දු කරනාවා වෙනුවට, අපේක්ෂිතව හෝ අනපේක්ෂිතව, පුළු දේපල හිමියාගේ ආකල්පය (එනම් ධනපති ආකල්පය) පිළිගන්නා සේ, ඔහුට අනිවාර්යනීය ලෙස ආරාධනා කිරීමෙන් හෝ උනන්දු කිරීමෙන් සංශෝධනවාදීහු දේශපාදන දෘෂිටිකෝණය අනුවද බරපතල වරදක් කළහ.

අර්බුධ පිළිබඳ න්‍යායත්, බිඳවැටීම් පිළිබද න්‍යායත් සම්බන්ධයෙන් සංශෝධනවාදයේ තත්වය ඊටත් වඩා නරක විය. අවුරුදු කිහිපයක කාර්මික උත්පාදනය සහ සමෘද්ධිය පදනම් කරගෙන මාක්ස්ගේ න්‍යායට අමුතු හැඩයක් දීම ගැන මිනිසුන්ට කල්පනා කළ හැක්කේ ඉතා කෙටි කාලයක් ගතවන තෙක් පමණකි. එසේ කළ හැක්කේද ඉතාමත් කෙටි දෘෂ්ටියක් ඇති අයට පමණකි. අර්බුධය යනු යටගියාවට හිමි දෙයක් නොවන බව යථාර්ථය සංශෝධනවාදීන්ට කල් නොයවාම පැහැදිළි කර දුන්නේය: සමෘද්ධිය පසුපස අර්බුද ආවේය. ඒ ඒ අර්බුදයේ ආකෘති, අනු පිළිවෙල හා පින්තූරය වෙනස් විය. එහෙත් අර්බුධ ධනපති ක්‍රමයේ අනිවාර්යනීය සංයුත්ත කොටසක් විය. කාටල සංගත ව්‍යාපාර, නිෂ්පාදනය එක්සත් කරන අතරම, ඒහා සමඟම, කාටත් පැහැදිළි වන ආකාරයට, නිෂ්පාදනයේ අරාජික තත්වයත්, නිර්ධන පංතියේ පැවැත්මේ අවධානම් සහගත තත්වය සහ ප්‍රාග්ධනයේ පීඩනයත් උග්‍ර කිරීමෙන්, පංති සතුරුතාවයන් පෙර නොවූ විරෑ මට්ටමකට නගින සේ උත්සන්න කළේය. ධනපති ක්‍රමය තනි දේශපාලන සහ ආර්ථික අර්බුදවල ද, එමෙන්ම මුළු ධනපති ක්‍රමයම සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේද, යන දෙඅර්ථයෙන්ම – බිඳවැටීමක් කරා ඇදෙන බව, ඉඳුරාම නව යෝධ සංගත ව්‍යාපාර විසින්ම, විශේෂයෙන්ම පැහැදිළි ලෙස හා විශේෂයෙන්ම මහා පරිමාන වශයෙන් පෙන්නුම්කර තිබේ. පෙනෙන්ට තිබෙන ලක්ෂණ ගණනාවකින් පෙරනිමිති කියන, ළග එන කාර්මික අර්බුදය ගැන කිසිවක් නොකීවත්, ඇමරිකාවෙහි මෑත ඇතිවූ මූල්‍ය අර්බුදයෙහිත්, යුරෝපය මුළුල්ලෙහිම භයානක ලෙස විරැකියාව වැඩිවී යාමෙහිත්, ප්‍රතිඵලයක් වශයෙන්, සංශෝධනවාදීන්ගේ “න්‍යායන්” අමතක වීමට හේතුවිය. නමුත් මෙම බුද්ධිමතුන්ගේ අස්ථාවරභාවය කම්කරු පංතියට උගැන්නූ පාඩම අමතක නොකළ යුතුවේ.

වටිනාකම පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් කිව යුත්තේ, බෙම්බවෙර්ක් අදහස් අනුව, ඉතාමත් නොපැහැදිළි ඉගි පෑම් හා සුසුම් ලෑම් හාර සංශෝධනවාදීන් එයට අදාළව කිසිම දෙයක් ඉදිරිපත් කර නොමැති බව හා ඒ ගැන වූ විද්‍යාත්මක චින්තනයේ වර්ධනය පිළිබඳ කිසිම සටහනක්වත් ඉදිරිපත් කර නොමැති බවයි.

දේශපාලන ක්ෂේත්‍රයේදී සංශෝධනවාදීහු ඇත්ත වශයෙන්ම මාක්ස්වාදයේ අඩිතාලම, එනම්, පංති අරගලය ගැන උගැන්වීම සංශෝධනය කිරීමට ප්‍රයත්න දැරූහ. දේශපාලන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්දය යන මේවා නිසා, පංති අරගලය නැතිව යන බව අපට කියන ලදී. වැඩකරන මිනිසුන්ට රටක් නැත යනුවෙන් “කොමියුනිස්ට් ප්‍රකාශනය” කියන අදහස ඉන් බොරු වන බව කියන ලදී. ප්‍රජාතන්ත්‍රයෙහි “වැඩි දෙනාගේ කැමැත්ත” බලපවත්වන නිසා, රාජ්‍ය පංතියක පාලනයක් ලෙස සැලකීම හෝ ප්‍රතිගාමීන්ට විරුද්ධ ප්‍රගතිශීලී, සමාජ – ප්‍රතිසංස්කරණ ධනපතියන් සමඟ සන්ධානයක් ඇතකර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ නොකළ යුතුයැයි ඔවුහු කීහ.

සංශෝධනවාදීන්ගේ මෙම තර්ක වලින් ඉදිරිපත් වූයේ එක්තරා දුරකට මනාව තුළනය වූ අදහස් පද්ධතියක්, එනම්, පැරණි සහ සුප්‍රසිද්ධ ලිබරල්-ධනපති අදහස් බවද විචාර රහිතව පිළිගැනීමට සිදු වේ. ඡන්දය දීමේ අයිතිය හා ආණ්ඩු කිරීමට සම්බන්ධ වීමේ අයිතිය, විශේෂයක් නොමැතිව, පුරවැසියන් සෑම දෙනාටම තිබෙන නිසා, ධනපති පාර්ලිමේන්තුවාදය නිසා, පංති හා පංති බේදය නැතිව යන්නේ යැයි ලිබරල්වාදීහු නිතරම කීහ. එවැනි අදහස් කොරම් අඥානද යනු, දහනවවැනි ශත වර්ෂයේ ‍යුරෝපයේ මුළු ඉතිහාසයෙන්ම හා විසිවැනි ශතවර්ශයේ මුල් අවධියේ රැසියාවේ විප්ලවයේ මුළු ඉතිහාසයෙන්ම පැහැදිළිව පෙනේ. ධනපති ක්‍රමයේ “ප්‍රජාතන්ත්‍රවාදී” තරඟය යටතේ ආර්ථික වෙනස්කම් උග්‍ර වෙනවා මිස ලිහිල් වන්නේ නැත. පාර්ලිමේන්තුවාදයෙන් සිදුවන්නේ, ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ධනපති සමූහාණ්ඩු තුළ පවා ආවේනිකව පවතින පංති පීඩනයේ අවයව ස්වභාවය නැතිවී යාම නොව, එය පැහැදිළිව අනාවරණය වීමය. ඉහත දේශපාලන සිදුවීම් වලට සහභාගී වූ පොදු ජනතා කොටස් වලට වඩා අපමණ පුළුල් ජන සමූහයකට දැණුම ලබාගැනීමට හා සංවිධානය වීමර ආධාර කිරීම නිසා පාර්ලිමේන්තුවාදයෙන් අර්බුද හා දේශපාලන විප්ලව අහෝසි වන්නේ නැත. එයින් සිදුවන්නේ, එවැනි විප්ලවවාදී සිවිල් යුද්ධය උපරිම මට්ටමින් උත්සන්න වීමය. මෙම උත්සන්නවීම කෙසේනම් අනිවාරණීය ලෙස සිදුවන්නේද යන්න පැරීසියේ 1871 වසන්තයේ සිද්ධවලින් හා රුසියාවේ 1905 ශීත සෘතුවේ සිද්ධිවලින් ඉතාමත් පැහැදිලි ලෙස පෙනී ගොස් තිබේ. නිර්ධන පංතිය පොඩිපට්ටම්කර දැමීම සඳහා, ප්‍රංශ ධනපති පංතිය මොහොතක හෝ පැකිලීමක් නොමැතිව, මුළු ජාතියේම සතුරා සමඟ එනම් රට විනාශ කළ විදේශ හමුදා සමඟ, එකඟතාවයක් ඇතිකර ගත්තේය. බහු ජන හිංසනයේ තර්කය මගින් පෙරටත් වඩා තියුණු තීරණයක් ගැනීමට මඟ හෙළිකරණ පාර්ලිමේන්තුවාදයට සහ ධනපති ප්‍රජාතන්ත්‍රවාදයට අවේනික අනිවාර්ය දයලෙක්තිය වටහා නොගන්නා කොයි කවුරු වුවත්, මෙම පාර්ලිමේන්තුවාදය පදනම් කරගෙන, එවැනි “තර්ක” වලට ජයග්‍රාහී ලෙස සහභාගී වීම සඳහා කම්කරු පංති ජනතා සමූහයා ඇත්තවශයෙන්ම සූදානම් කරන්නාවූ, ප්‍රතිපත්තියෙන් සසංගත වූ ප්‍රචාරය සහ උද්ඝෝෂණය ගෙනයාමට කිසි කළෙකත් සමත් වන්නේ නැත. බටහිර සමාජ-ප්‍රථිසංස්කරණ ලිබරල්වාදීන් සමඟ සහ රුසියානු විප්ලවයේ ලිබරල් ප්‍රතිසංස්කරණවාදීන් (කැඩෙට්වරු8) සමඟ ඇතිකරගත් සංධානයන්, එකඟතාවයන් හා පෙරමුණු අත්දැකීම්වලින් මනාව ඒත්තුයන සේ පෙනී ගොස් ඇති දෙයකි. සටන් කිරීමේ හැකියාව අතින් දුර්වලතම, ඉතාමත් වැනෙන සුළු හා ද්‍රොහී කොටස් සමඟ සටන්කරුවන් එකට සම්බන්ධ කිරීමෙන්, මෙම ගිවිසුම් වලින් සිදු වන්නේ, ජනතාවගේ විඥ්ඥානය මොට කිරීමත්, එයින් ඔවුන්ගේ අරගලයේ වැදගත් කම වැඩි කනාකර අඩු කිරීමත්, පමණක් බව, ලෝකය මුළුල්ලේම නිර්ධන පංතියට කිසි ලෙසකත් අමතක නොවන පරිද්දෙන් සංශෝධනවාදී දේශපාලන උපක්‍රම පුළුල් හා සැබැවින්ම ජාතික පරිමාණයෙන් යොදා ගැනීමේ විශාලතම අත්හදා බැලීම වූ, ප්‍රංශයේ මිලෙරාන්වාදය9 සංශෝධනවාදය ගැන අගය කිරීමක් සපයා තිබේ.

ඔවුන් සමාජවාදයේ පරමාර්ථ අරමුණු කෙරෙහි දැක්වූ ආකල්පය වූයේ, එම අරමුණු සංශෝධනවාදයේ ආර්ථික හා දේශපාලන ප්‍රවනතාවයන්ගේ ස්වාභාවික ඌණපූර්ණයක් කොට සැලකීමය. “සියල්ලටම වඩා ව්‍යාපාරය වැදගත්ය, පරමාර්ථ අරමුණු වැදගත් නොවේ.” දීර්ඝ දේශනා ගණනාවකට වඩා හොඳින් සංශෝධනවාදයේ හරය විස්තර කිරීමට බර්න්ෂ්ටයින් යොදා ගන්නේ එම සිත්ගන්නා පාඨයයි. අවස්ථාවෙන් අවස්ථාවට හැසිරෙන ආකාරය වෙනම තීරණය කිරීම, කාලීන සිදුවීම් අනුව සහ සාමාන්‍ය දේශපාලනයේ කැපුම්, කෙටුම් හා වෙනස්වීම් අනුව තමන් හැඩගැසීම, නිර්ධන පංතියේ ප්‍රධාන අවශ්‍යතාවයන් සහ මුළු ධනපති ක්‍රමයේත්, මුළු ධනපති පරිනාමයේත් මූලික අංග ලක්ෂණ අමතක කිරීම, අවස්ථාවේ සැබෑ හෝ කල්පිත වාසිතකා මෙම මූලික අවශ්‍යතාවයන් කැප කිරීම – සංශෝධනවාදයේ ප්‍රතිපත්තිය එසේය. තවද, ඒ අනුව, මෙම ප්‍රතිපත්තියේ ස්වභාවය නිසාම එය නියමයක් නොමැති ආකෘති ගණනාවකින් ඉදිරිපත්වන බවත්, යම් දුරකට හෝ “ නව” තාවයක් ඇති සෑම ප්‍රශ්නයක දී මද, යම් දුරකට හෝ බලාපොරොත්තු නොවූ හා නොසිතූ විරූ සිදුවීමක් ඇතිවන, සංවර්ධනයේ මුල් ක්‍රියා මාර්ගය ඉතා සුළු වශයෙන් හා ඉතා සුළු කළකට පමණක් වෙනස් කරන සුළු එවැනි සිදුවීමක් වුවද ඇතිවන, සෑම අවස්ථාවකදීමද, එක් හෝ තවත් ආකාරයක සංශෝධනවාදයක් උද්ගතවන බව ඉතා ප්‍රකටව පෙනෙන කරුණකි.

සංශෝධනවාදයේ නොවැලැක්විය හැකි බව නිර්ණය වන්නේ නවීන සමාජය තුල විහිදී ඇති එහි මුල් අනුවය. සංශෝධනවාදය ජාත්‍යන්තර ප්‍රපංචයකි. ජර්මනියේ සාධර්මිකවාදීන් සහ බර්න්ෂ්ටයින්වාදීන් අතරද, ප්‍රංශයේ ගෙද්වාදීන් සහ ජොරේස්වාදීන් ( දැන්, විශේෂයෙන්ම බ්රූස්වාදීන් )10 අතරද, එංගලන්තයේ සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය11 සහ ස්වාදීන කම්කරැ පක්ෂය12 අතරද, බෙල්ජියමේ බ්රුකෙර් සහ වන්දෙර්වෙල්ද්13 අතරද ඉතාලියේ අංගපූර්ණවාදීන්14 සහ ප්‍රථිසංස්කරණවාදීන් අතරද, රුසියාවේ බොල්ෂෙවික්වරු සහ මෙන්ෂෙවික්වරු අතරද පවතින සම්බන්ධය, රටවල් සියල්ලෙහි වර්ථමාන තත්වයට අ‍ාවේණික වන ජාතික කොන්දේසිවල සහ ඓතිහාසික සාධකයන්ගේ අතිශය විවිධත්වය එසේ තිබියදීම, සෑම තැනකම, එම සම්බ්ධය මූලික වශයෙන් එක සමාන වන බව ගැන, කල්පනාකාරී සහ ඉතා අඩු මට්ටමේ හෝ දැණුම ඇති සමාජවාදියකුට සැකයක් ඇතිකර ගැනීමට ඉඩක් නැත. යථාර්ථ ලෙසට, වර්ථමාන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ “බෙදීම” දැන් ලෝකයේ සියළුම විවිධ රටවල එකම මාර්ගයක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී. අවුරුදු තිහකට හතලිහකට පෙර, විවිධ රටවල වූ එකම ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ විෂමජාතිය උපනති ඒවා අතර අරගල කරගනිමින් පැවති තත්වය සමඟ සසදා බලන කළ මෙය දැවැන්ත ඉදිරි ගමණක් නියෝජනය කරන්නකි. එසේම, ලතින් රටවල “විප්ලවවාදී සම්මේලනවාදය”15 ලෙසට “වමෙන් එන සම්මේලනවාදය” ද, මාක්ස්වාදය “සංශෝධනය” කරමින් එයට ගැලපෙන සේ සකස් වෙයි; මෙය වැරදි ලෙසට වටහා ගනු ලැබූ මාක්ස්ට විරුද්ධව නිවැරදි ලෙස වටහා ගනු ලැබූ මාක්ස් වෙත ඉතාලියේ ලැබ්‍රියෝලාද, ප්‍රංශයේ ලගර්දෙල් ද නිතර නිතර ආයාචනා කරනු ඇසේ.

අවස්ථාවාදී සංශෝධනවාදය තරම් දුරට තවමත් කිසිසේත් සංවර්ධනය වී නොමැති, මෙම සංශෝධනවාදයේ දෘෂ්ටිමය සන්ධාරය විග්‍රහ කිරීමට අපට මෙහිදී ප්‍රමාද විය නොහැකිය. එය තවමත් ජාත්‍යන්තර තත්වයට පැමිණ නැත; එකම රටකවත් සමාජවාදී පක්ෂයක් සමග කරන ලද එකම ලොකු ප්‍රායෝගික සටනක හෝ පරීක්ෂාවට එය තවමත් භාජනය වී නොමැත. එනිසා අපි ඉහත විස්තර කරන ලද “දකුණෙන් එන සංශෝධනවාදයට පමණක් සීමා වන්නෙමු.

ධනපති සමාජය තුළ එය ඇතිවීම අනිවාර්යනීය වන්නේ කුමක් නිසාද? ජාතික විශේෂතාවයන්ටත්, ධනපති සංවර්ධයෙහි මට්ටමෙහි වෙනස්කම් වලටත්, වඩා එය ගැඹුරු වන්නේ මන්ද? එසේ වන්නේ, සෑම ධනපති රටකම නිර්ධන පංතිය හා සමඟ එහි එක පැත්තකින් නිතරම ඉතා පුළුල් සුළු ධනපති, සුළු දේපල හිමියන් ස්ථරයක් සිටින හෙයිනි. ධනපති ක්‍රමය පැන නැගුනේ හා නිරන්තරව පැණනගින්නේ සුළු නිෂ්පාදනයෙනි. ධනපති ක්‍රමය විසින් අළුත් “මධ්‍යම ස්ථර” ඈදතු (පැක්ටරියට සම්බන්ධ උපාංග, ගෙදරවල වැඩ කිරීම, බයිසිකල් හා මෝටර් වාහන කර්මාන්ත ආදී විශාල කර්මාන්තවල අවශ්‍යතාවයන් සපුරාලීමට රට සෑමතැනම විසිරී ගිය කුඩා කර්මාන්ත ශාලා) නැවත නැවතත් අනිවාරණීය ලෙසට, මෙම අළුත් නිෂ්පාදකයන්, නැවතත් නිර්ධන පංති සමූහයා අතරම විසිකරනු ලැබේ. පුළුල් කම්රු පක්ෂය තුළ සුළු ධනේශ්වර ලෝකාවබෝධය නැවත නැවතත් පැනනැගීම ඉතාමත් ස්වාභාවිකය. එය එසේවීම ඉතාමත් ස්වාභාවිකය. නිර්ධන පංති විප්ලවයේදී වාසනාවේ වෙනස්කම් ඇතිවනතාක් දක්වාම, එය කවදත් එසේම වනු ඇත. එවැනි විප්ලවයක් ඇති කිරීම සඳහා ජනගහණයෙන් බහුතරයක් “සම්පූර්ණ” නිර්ධන පංති කරණයට භාජනය කිරීම අවශ්‍ය යැයි කල්පනා කිරීම බරපතල වරදක් වනු ඇත. නිර්ධන පංති විප්ලවය මගින්, විවාද විශය කරුණු සියල්ලම තියුණු කෙරෙන විටත්, පොදු ජනතා සමූහයාගේ හැසිරීම නීර්ණය කිරීමේදී ඉතාමත් හදිසි වැදගත් කමක් ඇති කරුණු සම්බන්ධයෙන් වන වෙනස්කම් සියල්ලම අවධානයේ එල්ලයට ගෙන එන විටත්, සටනේ තාපය අසු අස්සේම සතුරන් හා මිතුරන් වෙන්තොට හදුනාගැනීම අවශ්‍ය කෙරෙන විටත්, සතුරාට තීරණාත්මක ප්‍රහාරයක් දීම පිණිස නරක මිතුරන් ඉවතලීමට සිදුවන විටත්, අපට දැන් දෘෂ්ටිමය ක්ෂේත්‍රයෙහි නිතර දක්නට ලැබෙන දෙය වන මාක්ස්ගේ දහමට න්‍යායික සංශෝධන ගෙන ඒම ගැන ආරවුල්ද, දැන් කම්කරු ව්‍යාපාරය අශ්‍රිත තනි හා අංශබද කරුණු සම්බන්ධයෙන් ව්‍යවහාරයේදී මතුවන උපක්‍රමික ප්‍රශ්න ගැන පමණක් සංශෝධනවාදීන් සමඟ ඇතිවන වෙනස්කම් හා ඉන් පැණනගින භේදභින්නවීම් ලෙසට පැනනගින දෙයද, අසදෘශ ආකාර විශාල පරිමාණයකින් අත්දැකීමට කම්කරු පංතියට සිදුවනු ඇත.

සුළු ධනපති පංතියේ චපලකම් හා දුර්වල කම් එසේ තිබියදීම, නිර්ධන පංතිය ස්වකීය සද්ව්‍යාපාරයේ ජයග්‍රහණකරා ඉදිරියට ගමන් කරන බව කියන පෙරනිමිත්තකි. විප්ලවවාදී මාක්ස්වාදය විසින් සංශෝධනවාදීන්ට විරුද්ධව දහ නවවැනි ශතවර්ෂය අවසානයේ දී ගෙනගිය දෘෂ්ඨිමය අරගලය.


සටහන්

[1] වාම හේගල්වාදීන් නැතහොත් තරුණ හේගල්වාදීන් – ජර්මන් දර්ශනවාදයේ විඥ්ඥානවාදී උපනතියකි. එය දහ නවවැනි ශතවර්ශයේ තිස් හා හතලිස් ගණන්වල පැතිර පැවැත්තේය. ජර්මනියේ ධනපති ප්‍රථිසංස්කරණ අවශ්‍ය බව ඔප්පු කිරීම පිණිස හේගල්ගේ දර්ශණය අනුව උන්නතිකාමී තර්ක සකස් කර ගැනීමට තරුණ හේගල්වාදීහු උත්සාහ කළහ.

මෙම ගුරු කුලයෙහි නායකයන් වූයේ ෂ්ත්‍රවුස්, බෞවර් සහෝදරවරු, ෂ්තිර්නර් හා තවත් සමහර දෙනෙකි. එක්තරා කළකට පොයර්බාහ්ද, තරුණ වියේ සිටි මාක්ස් හා එංගල්ස්ද ඔවුන් සමඟ සම්බන්ධ වූහ. තරුණ හේගල්වාදීන්ගෙන් ඈත්වූ ඔවුන්, එම උපනතියෙහි අන්තර්ගත විඥ්ඥානවාදී, සුළු ධනපති හරය “ශුද්ධ පවුල” (1844 කෘතියෙන්ද, “ජර්මන් දෘෂ්ටිය” (1845-1846) කෘතියෙන් ද විවේචනය කළහ.

[2] ප්රුදොන්වාදය – ධනපති සමාජවාදයේ මාක්ස්වාදයට විරුද්ධ අවිද්‍යාත්මක ප්‍රවනතාවයකි. එය ප්‍රංශ ජාතික විඥ්ඥානවාදියෙකු හා අරාජිකවාදියෙකු වන ප්රුදොන්ගේ නමින් හැදින්විණි. සුළු ධනපති ස්ථාවරයෙන් ලොකු ධනපති දේපල හිමිකම විවේචනය කළ ප්රුදොන් සුළු ධනපති දේපල හිමිකම චිරස්ථායි කිරීම පිළිබඳ සිහින මැව්වේය. නිෂ්පාදන මාර්ග අත්කර ගැනීමටත්, හස්ත කාර්මික ශිල්පීන් බවට පත්වීමටත් කම්කරුවන්ට ආධාරකාරීවන හා ඔවුන්ගේ භාණ්ඩ “සාධාරණ ලෙසට අළෙවි කර ගැනීමට පහසුකම් සහතික කරන “මහජන” හා “විනිමය” බැංකු පිහිටුවන ලෙස ඔහු යෝජනා කළේය. ප්රුදෝන් නිර්ධන පංතියේ ඓතිහාසික ක්‍රියාභාරය තේරුම් නොගත්තේය. ඔහු ධනපති අරගලය කෙරෙහිද, නිර්ධන පංතික විප්ලවය හා නිර්ධන පංතික ආඥාදායකත්වය කෙරෙහිද දැක්වූයේ ප්‍රතිවිරුද්ධ ආකල්පයකි. අරාජිකවාදී ලෙස රජයක අවශ්‍යතාවය බැහැර කළේය. මාක්ස් ලියූ “දර්ශනයක දිලිඳුකම” යන කෘතියෙන් ප්රුදොන්වාදය නිර්ධය ලෙස විවේචනයට භාජනය කළේය.

[3] බකුනින් වාදීන් – මිහයිල් බකුනින්ගේ අනුගාමිකයින්ය. බකුනින් අරාජිකවාදී න්‍යායාචාරියෙක් විය. ඔහු මාක්ස්වාදයේ හා විද්‍යාත්මක සමාජවාදයේ පරම සතුරෙක් විය.

බකුනින්වාදීහු, මාක්ස්වාදී න්‍යායටත්, කම්කරු පංතියේ මාක්ස්වාදී උපක්‍රම වලට විරුද්ධව උග්‍ර අරගලයක් කළහ. බකුනින වාදයේ මූලික ශික්ෂාපදය වයේ නිර්ධන පංති ආඥාදායකත්වය ඇතුලත්ව සියළුම රාජ්‍ය ආකෘති ප්‍රතික්ෂේප කිරීමය. නිර්ධන පංතියට පැවරුණු ඓතිහාසික කාර්ය කොටස ගැන බකුණින් වාදීන්ට නොවැටහිණි. “විශිෂ්ට ජනයා” ගෙන් සැදුම්ලත් රහසිගත විප්ලවවාදී සමාජයක් බකුනින් වාදීන්ගේ අදහස් අනුව පොදු ජන කැරළි වලට නායකත්වය දිය යුතුය. කුමන්ත්‍රණය, ක්ෂණික කැරළි හා ත්‍රස්ත ක්‍රියා පිළිබඳ ඔවුන්ගේ උපක්‍රම හුදු සූදුවක් බඳු විය. ඒවා පොදු ජන නැගිටීම පිළිබද මාක්ස්වාදී න්‍යායට පටහැනි විය.

[4] මෙහි අදහස් කරන්නේ බර්න්ෂ්ටයින්වාදය ය. දහනවවැනි ශතවර්ශයේ අවසාන සමයේ දී, ජර්මනියේ මතුවූ ජාත්‍යන්තර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම මාක්ස්වාදය විරෝධි උපනතිය, ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ එහි කතෘ එද්වර්ද් බර්ෂ්ටයින්ගේ නම අනුව හැදින්ණි. එය සංශෝධනවාදය විවෘතවම පිලිබිඹු කළේය. එංගල්ස්ගේ අභාවයෙන් පසුව, ධනපති ලිබරල් ජීවගුණයකින් මාක්ස්ගේ විප්ලවාදී ධර්මය සංශෝධනය කරන ලෙස යෝජනා කළ ඔහු සමාජ-ප්‍රජාන්ත්‍රවාදී පක්ෂය සමාජ-ප්‍රතිසංස්කරණවලට පක්ෂවාදී සුළු ධනපති පක්ෂයක් බවට හැරවීමට උත්සාහ කළේය.

රුසියාවේ, “නිත්‍යානුකූල මාක්ස්වාදීහු” ආර්ථිකවාදීහු, බුන්ද්වරු හා මෙන්ෂෙවික්වරු බර්න්ෂ්ටයින්වාදයට ආධාර කළහ.

[5] නව – කාන්ත්වාදීන් -දහනව වැනි ශතවර්ශයේ මැද ගණන් වලදී ජර්මනයේ බිහිවූ ධනපති දර්ශනයේ ප්‍රතිගාමී උපනතිය අනුගමය කරමින් මෙනමින් හඳුවනු ලැබිණ. කාන්ත්ගේ දර්ශනයේ වඩාත්ම ප්‍රතිගාමී හා විඥ්ඥාන වාදී කොන්දේසි නැවත ගෙන දැක්වූ නව කාන්ත්වාදීහු එහි පවතින ද්‍රව්‍යවාදී කොටස් ප්‍රතික්ෂේප කළහ.

නව කාන්ත්වාදීහු “කාන්ත් වෙත ආපසු” නැමති සටන් පාඨය යටතේ කාන්ත්වාදී විඥ්ඥානවාදයේ පුනරුත්තාපනය දේශනා කළහ. දයලෙක්තික හා ඓතිහාසීය ද්‍රව්‍යවාදයට විරුද්ධව සටන් මෙහෙය වූහ.

[6] මෙම වචන උපුටා දක්වා ඇත්තේ මාක්ස් “ප්‍රාග්ධනයේ” දෙවැනි සංස්කරණයට ලියූ පසු වදනෙනි.

[7] 1909 දී පළකරන ලද “ද්‍රව්‍යවාදය සහ අනුභාවිත විවේචනය” යන ‍ෙපාතෙන් ලෙනින් මෙම පොරොන්දුව ඉටු කළේය (සම්පූර්ණ කෘති, පසුවැනි මුද්‍රණය වෙළුම 18 බලන්න)

[8] ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (කැඩෙට්වරු) රුසියාවේ ලිබරල් රාජාණ්ඩුවාදීන්ගේ ප්‍රධාන දේශපාලන පක්ෂය විය. එම පක්ෂය 1905 ඔක්තෝම්බරයේදී පිහිටුවන ලදී. ධනපති පංතියේ නියෝජිතයන්ද, ඉඩම් හිමියන්ගේ සම්ස්ත්ව නියෝජිතයන් ද, ධනපති බුද්ධිමතුන්ද මෙම පක්ෂයට අයත් විය. කැඩෙට්වරු තමන් “මහජන නිදහස් පක්ෂය” යන නමින් හඳුන්වාගත් නමුත් සාර්වාදය ව්‍යවස්ථානුකූල රාජාන්ඩුවක ස්වභාවයෙන් පවත්වා ගැනීම පිණිස ඒකාධිපත්‍යයක් සමඟ එකඟත්වයකට එළඹීමට ඔවුහු උත්සාහ කළහ. 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව කැඩෙට්වරු සෝවියට් බලයේ පරම සතුරන්වී ආක්‍රමණයන්ගේ සියළුම ප්‍රති විප්ලවවාදී ආයුධ සන්නද්ධ කටයුතු වලට සහභාගී විය. ආක්‍රමණකාරී සුදු හමුදා පරාජය වීමෙන් අනතුරුව කැඩෙට්වරු විදේශගත වීමෙන් පසුව වුවද ඔවුන්ගේ සෝවියට විරෝධී කටයුතු නොනැවතිණි.

[9] මිලෙරාන්වාදය “(අමාත්‍යාංශවාදය” යනුවෙන්ද හැදින්වේ.) ශතවර්ෂයාරම්භයේදී බටහිර යුරෝපීය සමාජවාදී පක්ෂ තුළ පැවති අවස්ථාවාදී උපනතියකි. මෙය හඳුන්වා ඇත්තේ ප්‍රංශ සමාජවාදී අලෙක්සාන්දර් එතියෙන් මිලෙරාන්ගේ නම අනුවය. ඔහු 1899 දී ප්‍රංශ ධනපති ආණ්ඩුවට බැදී ධනපති පංතියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය.

[10] ගෙත්වාදීන් ජුල් ගෙත්ගේ හා පොහොල් ලපාර්ගේ නායකත්වය යටතේ 19 වන ශත වර්ෂයේ මුළදී ප්‍රංශ සමාජවාදී ව්‍යාපාරය තුළ බිහිවූ විප්ලවවාදී මාක්ස්වාදී උපනතියකි. 1882 සාන්ත එතියන් සම්මේලනයේදී ප්‍රංශයේ කම්කරු පක්ෂය බේදවීමෙන් පසු ගෙත්වරු වෙනම පක්ෂයක් පිහිටුවා ගත්හ. එහෙත් එහි පැරණි නාමය ආරක්ෂා කරගත්හ.

1901 ජුල් ගෙත්තේ නායකත්වයෙන් යුත් විප්ලවාදී පංති අරගලයට පක්ෂපාතිකයෝ ප්‍රංශයේ සමාජවාදී පක්ෂයට සම්බන්ධ වූහ. (එහි සාමාජිකයින් ද නායකයාගේ නමින් එනම් ගෙත්වරු යන නමින් හඳුන්වනු ලැබිණි) 1905 දී ගෙත්වරු ප්‍රතිසංස්කරණවාදී ප්‍රංශ සමාජවාදී පක්ෂයට සම්බන්ධ වූහ. අධිරාජවාදී පළමුවැනි ලෝක යුද්ධය (1914-1918) සමයේදී එම පක්ෂයේ නායකයෝ (ගෙත්, සම්බා හා වෙනත් අය) කම්කරු පංතියට සේවය කිරීමෙන් ඉවත්වී සමාජ- ජාත්‍යොන්මාදවාදය කරා පිවිසියහ.

ජොරෙස්වාදීන් ප්‍රංශ සමාජවාදියෙකු වූ ජාන් ලියෝන් ජොරෙස්ගේ අනුගාමිකයින්ය. ඔවුහු 1890 ගණන්වලදී අලෙක්සන්දර් මිලෙරාන් සමඟ එකතුව “ස්වාධීන සමාජවාදීන්ගේ කණ්ඩායම” පිහිටුවා ගත්තෝය. ඔහු ප්‍රංශ සමාජවාදී ව්‍යාපාරයේ දක්ෂිණාංෂික ප්‍රතිසංස්කරණවාදී අංශයේ නායකයා විය. “යියේචනය කිරීමේ නිදහස” ආරක්ෂා කිරීමේ මුවාවෙන් ඔවුහු මාක්ස්වාදී ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට උත්සාහ කරමින් නිර්ධන පංතියත්, ධනපති පංතියත් අතර පංති සහයෝගීතාවය දේශනා කළහ. 1902 දී ඔවුන් ප්‍රංශ සමාජවාදී පක්ෂය පිහිටවූ අතර එය ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිපත්තිය අනුගමනය කළේය.

බිරුස්වාදීන් (පොසිබිලිස්ට්වරු) (පී.විරුස්.බී.මැලන් සහ වෙනත් අය) ප්‍රංශ සමාජවාදී ව්‍යාපාරය තුළ 1880 ගණන්වලදී බිහිවූ නිර්ධන පංතිය විප්ලවාදී සටන් මාර්ගයෙන් පිටපැන්නවූ සුළු ධනවාදී ප්‍රතිසංස්කරණවාදී උපනතියකි. පොසිබිලිස්ට්වරු කම්කරු සමාජ විප්ලවවාදී පක්ෂය ආරම්භ කළහ. විප්ලවවාදී වැඩ පිළිවෙල හා නිර්ධන පංතියේ විප්ලවවාදී උපක්‍රම ප්‍රතික්ෂේප කළ ඔවුහු කම්කරු ව්‍යාපාරයේ සමාජවාදී අරමුළු සඟවා තැබූ අතර කම්කරු පංතියේ අරගලය “ විය හැකි” (POSSIDLE) රාමුවක් තුළ සීමා කිරීමට යෝජනා කළහ. පොසිබිලිස්ට්වරු යන නාමය ඔවුන්ට ලැබුනේ මේ නිසාය. පොසිබිලිස්ට්වරුන්ගේ බලපෑම ප්‍රධාන ලෙස පැතිර ගියේ ප්‍රංශයේ ආර්ථික වශයෙන් වඩාත් නොදියුණු පලාත්වල හා නොදියුණු කම්කරු ස්ථර තුළය. 1902 දී ජාන් ජොරෙස්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් ප්‍රතිසංස්කරණවාදී ප්‍රංශ සමාජවාදී පක්ෂය සමඟ පොසිබිලිස්ට්වරුන්ගෙන් වැඩි දෙනෙක් පසුව සංයෝග වූහ.

[11] එංගලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය 1884 දී පිහිටුවන ලදී. එහි නායකයන් අතර, ප්‍රතිසංස්කරණවාදීන් (හන්ඩ්මාන් සහ අනත් අය), අරාජිකවාදීන් හා විප්ලවවාදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් ද, මාක්ස්වාදයේ ආධාරකරුවන් ද (හැරී ක්වෙල්ච්, ටොම් මෑන්, එදුවාර්ද් එවෙලින්ග්, එලෙනෝර් මාක්ස් හා ත්වත් අය) විය. පසු නම් සඳහන් අයගෙන් බ්‍රිතාන්‍ය සමාජවාදී ව්‍යාපාරයේ වාම අංශය සකස් විය. සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයේ පොතේ ගුරුවාදය හා නිකායවාදයත්, එය එංගලන්තයේ පොදු ජන කම්කරු පංති ව්‍යාපාරය සමඟ සම්බන්ධකම් නොපැවැත්වීමත්, එම ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණ ගැන නොතකා හැරීමත්, ගැන එංගල්ස් එය විවේචනය කළේය. 1907 දී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය එහි නම සමාජ – ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යනුවෙන් වෙනස් කළේය. 1911 දී එය, ස්වාධීන කම්කරු පක්ෂයේ වැඩි කොටස්ද සමඟ එක්ව බ්‍රිතාන්‍ය සමාජවාදී පක්ෂය පිහිටුවීය. 1920 දී එම පක්ෂයේ සාමාජිකයෝ වැඩි කොටසක් මහා බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට ආධාර වූහ.

[12] එංගලන්තයේ ස්වාධීන කම්කරු පක්ෂය (Independent Labor Party ) -1893 දී “නව වෘත්තීය සමිති වාදීන්ගේ” නායකයින් විසින් එංගලන්තයේ කම්කරු පංතිය ධනපති පක්ෂ වලින් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීමේ හා අරගලය පණගැන්වීමේ කොන්දේසි යටතේ පිහිටුවාගත් ප්‍රතිසංස්කරණවාදී සංවිධානයකි. නව වෘත්තීය සමිති වලත්, පැරණි වෘත්තීය සමිති ගණනාවකත්, සාමාජිකයෝද, පේබියන්වරුන්ගේ බලපෑම යටතේ සිටි සුළු ධනපති හා බුද්ධිමත් කොටස්වල නියෝජිතයෝද ස්වාධීන කම්කරු පක්ෂයේ සාමාජිකයෝ වූහ. එහි නායකයා වූයේ කෙර් හාර්ඩිය. සයළුම නිෂ්පාදන මාධ්‍යයන් සාමූහික වශායෙන් හිමිකර ගැනීමද, බෙදාහැරීම හා හුවමාරුවද, පැය අටක වැඩ දියද, ළමා ශ්‍රමය තහනම් කිරීම ද, රැකියා නොමැත්තන් සඳහා සමාජ රක්ෂණය හා යැපීම් ආධාරද තම වැඩ පිළිවෙල ලෙස පක්ෂය ඉදිරිපත් කළේය.

ස්වාධීන කම්කරු පක්ෂයේ ස්වභාවය නිරූපණය කළ ලෙනින් මෙසේ ලීවේය; “ක්‍රියාකාරිත්වයේදී සෑමදාම ධනපති පංතියට පරාධීන වූ අවස්ථාවාදී පක්ෂයකි” (සම්පූර්ණ කෘති, පස්වැනි මුද්‍රණය, වෙළුම 39, පිටු අංක 90; වෙළුම 22, පිටුව 122) [13] බ්රූකර් – බෙල්ජියන් කම්කරු පක්ෂයේ බ්රූකර් සහ ඔහුගේ ආධාරකරුවෝ, ප්‍රථිගාමී ධනපති ආණ්ඩුවට සමාජවාදීන් සම්බන්ධ වීමට විරුද්ධ වෙමින්, බෙල්ජියන් සංශෝධනවාදීන්ගේ නායකත්වය ගත් වන්දෙර්වෙල්ද්ට විරුද්ධව අරගලයක් ගෙනගියහ. බ්රූකර් පසුකාලයේ අවස්ථාවාදී ප්‍රතිෂ්ඨාවක් ගත්තේය.

[14] අංගපූර්ණවාදීන් – “අංග පූර්ණ” සමාජවාදයේ ආධාරකරුවන්ය. එය එක්තරා සුළු ධනපති සමාජවාදයකි. අංගපූර්ණවාදීන්ගේ නායකයා වූයේ ඒන්රිකෝ fපේරිය. ඉතාලියානු සමාජවාදී පක්ෂයේ මධ්‍යගත උපනතියක් වූ අංගපූර්ණවාදීන් 1900 ගණන්වලදී අන්ත අවස්ථාවාදී ස්ථානයක සිටිමින් ප්‍රතිගාමී ධනපතීන් සමඟ සහයෝගීතාවයෙන් කටයුත්‍ු කළ ප්‍රතිසංස්කරණවාදීන්ට විරුද්ධව ප්‍රශ්න ගණනාවක් ගැනම අරගල ගෙන ගියහ.

[15] විප්ලවවාදී සම්මේලවාදය – සුළු ධනපති අර්ධ – අරාජිකවාදී උපනතියකි. එය පසුගිය ශතවර්ෂයේ අවසානයේ දී බටහිර යුරෝපීය රටවල් කිහිපයකම මතු විය. විප්ලවයක් නොමැතිව වෘත්තීය සමිති (සින්ඩිකේට්) වලට කම්කරුවන්ගේ සමස්ත මහා වැඩ වර්ජනයක් මගින් ධනපති ක්‍රමය පෙරළා දැමිය හැකියැයි විශ්වාස කළ සම්මේලවාදීහු කම්කරු පංතියේ දේශපාලන අරගලයත්, පක්ෂයේ නායක කාර්යභාරයත්, නිර්ධන පංති ආඥා්දායකත්වයත් අත්හැර දැමූහ.


නාමාවලිය

එංගල්ස් (Engels) ප්‍රෙඩ්රික් (1820-1895)

කාන්ත් (Kant) ඉම්මනුයිල් (1724-1804) ජර්මන් දාර්ශනිකයෙකි. ජර්මන් මුල් විඥ්ඥානවාදයේ නියෝජිතයෙකි. “තමන් සඳහා වන දෙය” ප්‍රජානනය ප්‍රතික්ෂේප කළේය. කාන්ත්ගේ දර්ශණයේ විශේෂ අංගය නම් ද්වන්දවාදයයි. එනම් ප්‍රතිවිරුද්ධ දාර්ශනික ප්‍රවනතාවයන් දෙකක් වන ද්‍රව්‍යවාදය හා විඥ්ඥානවාදය තම දර්ශනවාදී ක්‍රම තුළ සංයෝග කිරීමට උත්සාහ දැරීමයි.

ගෙද් (Guesde) ජූල් (1845-1922) ප්‍රංශයේ සමාජවාදී පක්ෂයේ සහ දෙවැි ජාත්‍යන්තරයේ ප්‍රාරම්භක නායකයෙකි. පළමුවැනි ලෝක යුද්ධය (1914-1918) තෙක් පක්ෂයේ වාමාංශික පිළට නායකත්වය දුන්නේය. යුද්ධය ආරම්භ වීමෙන් පසු සමාජ-ජාත්‍යන්මාද වාදියෙකු බවට පත්වූ ඔහු ප්‍රංශයේ ධනපති රජයේ වගකිවයුතු තැනකට පත්විය.

ඩූරිං (Duhring) එව්ගිනි (1833-1921) – ජර්මන් දාර්ශනිකයෙක් හා ආර්ථික විද්‍යාඥයෙකි. සුළු ධනපති දෘෂ්ඨිවාදියෙකි. ඩූරිංගේ දර්ශනවාදී දෘෂ්ඨිය ඉන්ද්‍රියානුභූතවාදයේ සාරසංග්‍රහවාදී සංයෝජනයක් ද, ද්‍රව්‍යවාදය හා විඥ්ඥානවාදයද නියෝජනය කළේය.

ප්රුදෝන් (Proudhon), පියෙර් ජෝසප් (1809-1865) ප්‍රංශ ප්‍රකාශකයෙකි. අර්ථ සාස්ත්‍රඥයෙකි. අරාජිකවාදයේ ආරම්භකයෙකි. සුළු ධනපති දෘෂ්ඨිවාදියෙකි. කුඩා පරිමාණ දේපල අයිතිය ආරක්ෂා කිරීමට උත්සාහගත් ප්රුදොන් සුළු ධනපති දෘෂ්ඨියකින් යුතුව මහාපරිමාණ දේපල අයිතිය විවේචනය කළේය.

ප්ලෙහානාව්, ගියෝර්ගි වලෙන්තීනවිව් (බේල්තව්, එන්, කාමෙන්ස්කි) (1856-1918) – රුසියානු හා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ සම්භාවනීය නායකයෙකි. මාක්ස්වාදයේ පළමුවැි ප්‍රචාරකයාය. පළමුවැනි රුසියානු මාක්ස්වාදී කණ්ඩායම වූ “ශ්‍රම විමුක්තිය” (1883) සංවිධානයේ නිර්මාතෘවරයාය. රු.ස.ප්‍ර.ක. පක්ෂයේ දැවැනි සම්මේනයෙන් (1903) පසු මෙන්ශෙවිකයන්ට එකතු විය. 1907-1912 අවුරුදුවලදී ලික්විඩේටර්වරුන්ට විරුද්ධව කටයුතු කළ අතර මෙන්ශෙවික් කණ්ඩායමට නායකත්වය දුන්නේය. පළමුවැනි ලෝක යුද්ධ සමයේදී (1914-1918) සමාජ ජාත්‍යාන්මාදවාදී අදහස් දැරීය.

බකූනින්, මිහායිල් අලෙක්සාන්ද්‍රවිච් (1814-1876) රුසියානු විප්ලවවාදියෙකි. අරාජිකවාදයේ න්‍යායාචාර්යවරයෙකි. 1840 සිට විදේශගතව වාසය කළේය. 1840-1849 අවුරුදු වලදී ජර්මන් විප්ලවයට සහභාගී විය. පළමවැනි ජාත්‍යන්තරයට සහභාගී වී මාක්ස්වාදයේ හතුරෙක් ලෙස කටයුතු කළේය. ඔහු නිර්ධන පංතියේ ආඥාදායකත්වය ඇතුළු සියළුම ආකාරයේ රාජ්‍යයන් ප්‍රතික්ෂේප කළේය. නිර්ධන පංතියේ ඓතිහාසික කාර්යභාරය ඔහු තේරුම් නොගත්තේය. කම්කරුවන්ගේ නිදහස් පක්ෂයක් ගෙඩ නැගීමට විවෘත්තවම විරුද්ධවිය. බකූනින්ගේ ප්‍රතිගාමී අදහස් වලට විරුද්ධව කාල්මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් තීරණාත්මක ලෙස සටන් කළහ. භේදකාරී වැඩ නිසා 1845 දී බකූනින් ජාත්‍යන්තරයෙන් නෙරපා දමන ලදී.

බග්දානව්, ඒ. (මලිනොව්ස්කි ඒ.ඒ.) (1873-1928) සමාජ – ප්‍රජාතන්ත්‍රවාදියෙකි. දාර්ශනිකයෙකි. සමාජ විද්‍යාඥයෙකි. ආර්ථික විද්‍යාඥයෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. රු.ස.ප්‍ර.ක. පක්ෂයේ දෙවැනි සම්මේලනයෙන් (1903) පසු බොල්ෂෙවික්වරුන්ට එක් විය. ප්‍රතිගාමීත්වය රජකළ කාලයේ සහ නව විප්ලවවාදී උත්සන්නභාවය තිබූ කාලයේදී ඔත්සොවිස්ත් (කැදවන්නා) වරැන්ගේ නායකත්වය ඉසිලීය. දර්ශනවාදී ප්‍රශ්නවලදී තමාගේම “ඉන්ද්‍රියානුභූතවාදී” (මනෝමූල -විඥ්ඥානවාදී ප්‍රයෝගවාදී දර්ශනයේ එක් ආකාරයකි)ක්‍රමයක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.

බර්න්ෂ්ටයින් (Bernstein) එදුවාර්ද් (1850-1932) -ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහ දෙවැනි ජාත්‍යන්තරයේ අන්ත අවස්ථාවාදි පිලේ නායකයාය. සංශෝධනවාදයේ හා ප්‍රතිසංස්කරණවාදයේ න්‍යායාචාර්ය වරයාය. බර්න්ස්ටයින්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගේ න්‍යායාත්මක චින්තයද, එසේම ඔවුන්ගේ ප්‍රායෝගික අවස්ථාවදී ක්‍රියාකාරීත්වය ද දෙවැනි ජාත්‍යන්තරයේ ඇද වැටීමෙන් අවසන් වූ කම්කරු පංතියේ අත්‍යාවශ්‍යතාවයන් පාවාදීම තෙක් මං සලසන ලදී.

ජොරේස් (Jaures) ජාන් (1859-1914) ප්‍රංශ හා ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රධානපෙළේ නායකයෙකි. 1902 දී ජොරෙස් හා ඔහුගේ අනුගාමිකයෝ ප්‍රංශ සමාජවාදී පක්ෂ්‍ය ආර්ම්භ කළහ. “L’Humanite” පත්‍රයේ ආරම්භකයා හා කතෘවරයාය. ප්‍රංශ සමාජවාදී පක්ෂයේ දක්ෂිණාංශික අවස්ථාවාදී පිළේ නායකයාය. ඒ කෙසේවෙතත් ජොරේස් යුද්ධවාදයට විරුද්ධව දැඩි ලෙස සටන් කළේය. පළමුවැනි ලෝක යුද්ධය ආසන්නයේදී ජාත්‍යාන්මාදවාදීන් විසින් මරා දමන ලදී.

බසාරව් (රුද්නෙව්) විලිදිමිර් අලෙක්සාන්ද්‍රවිව් (1874-1939) ගත් කතුවරයෙකි. ආර්ථික විද්‍යාඥයෙකි. දර්ශනවාදියෙකි මාක්ස්ගේ හා එංගල්ස්ගේ කෘති පරිවර්තනය කළේය. 1905-1907 අවුරුදුවලදී බසාරව් බොල්සෙවික් ප්‍රකාශනවල වැඩ කළේය. ප්‍රතිගාමීත්වය අවධියේ (1907-1910) බොල්ෂෙවික් වරුන්ගෙන් ඉවත් විය. මාක්ස්වාදී දර්ශනයේ ප්‍රධාන අනුගාමියෙකුව සිටියේය. 1917 දී මෙන්ෂෙවික් ජාත්‍යාන්තරවාදීයෙක් බවට පත් විය.

බෙම්-බවෙර්ක් (Bohm-Bawerk) එව්ගේනි (1851-1914) – ආර්ථික විද්‍යාඥයෙකි. දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ ඊකියා “ඕස්ත්‍රියානු උපනතියේ” එක් නියෝජිතයෙකි. මේ නියෝජිතයෝ ආර්ථික න්‍යායධර්මය විෂයමූල විඥානවාදී ලෙස අර්ථදැක්වීමේ මාර්ගයෙන් මාක්ස්වාදී දෘෂ්ටිය පැතිරයාමට විරුද්ධව කටයුතු කළහ.

බ්රුකෙර් (Broucke’re) ලුයි දෙ (උපත 1870) – බෙල්ජියම් කම්කරු පක්ෂයේ එක් නායකයෙක් හා න්‍යායාචාර්ය වරයෙකි. පළමුවැනි ලෝක යුද්ධයට (1914-1918) පෙර එහි වාමාංශික පිළට නායකත්වය දුන්නේය. යුද්ධය අවසානයේදී සමාජ-ජාත්‍යාන්මාදවාදියෙක් බවට පත් විය.

බ්රූස් (Brousse) පොල් ලුයි මරි (1844-1912) ප්‍රංශ සුළු ධනපති සමාජවාදියෙකි. පොසිබිලිස්ට්වරුන්ගේ සමාජවාදී පක්ෂයේ අවස්ථාවාදී පිලේ නායකයාය.

මාක්ස් (Marx) කාල් (1818-1883)

මිලෙරාන් (Millerand) අලෙක්සාන්දර් එතියෙන් (1859-1943) – ප්‍රංශ දේශපාලනඥයෙකි. 1890 ගණන්වලදී සමාජවාදීන්ට හේත්තු විය. එහෙත් 1899 දි සමාජවාදී ව්‍යාපාරය පාවාදෙමින් ප්‍රංශයේ ප්‍රතිගාමී රජයට ඇතුළු විය.

මියුල්බෙර්ගෙර් (Mulberger) අර්තූර් (1847-1907) ප්රුදෝන් අනුගාමිකයෙකු ව මොහු ජර්මන් සුළු ධනපති ප්‍රකාශකයෙකි.

ලගර්දෙල් Lagerdelle යුබේර් (1874-1958) – ප්‍රංශ සුළු ධනපති දේශපාලකයෙකි. අරාජික සම්මේලවාදියෙකි. අරාජික සම්මේලවාදී ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ලිපි ගණනාවක්ම ලීවේය.

ලබ්‍රියෝලා Labriola අර්තූර් (1873-1959) – ඉතාලියානු දේශපාලනඥයෙකි. නීතිඥයෙක් හා ආර්ථික විද්‍යාඥයෙකි. ඉතාලියේ සම්මේලවාදී ව්‍යාපාරයේ නායකයෙකි. සම්මේලවාදය පිළිබඳ න්‍යායාත්මක පොත් ගණනාවක් ලීවේය. ඊනියා “විප්ලවවාදී සම්මේලවාදය” නම් තම වැඩපිළිවෙල මගින් මාක්ස්වාදය “නිවැරදි කරමින්” මාක්ස්වාදයට සරිලන ලෙස සැකසීමට ඔහු උත්සාහ ගත්තේය.

වන්දර්වෙල්ද් Vandervelde එමීල් (1866-1938) – බෙල්ජියම් කම්කරු පක්ෂයේ නායකයා ය. දෙවැනි ජාත්‍යන්තරයේ අන්තර්ජාතික සමාජවාදී බියුරෝවේ සභාපතිවරයාය. අන්ත අවස්ථාවාදියෙකි. පළමුවැනි ලෝක යුද්ධ සමයේදී (1914-1918) සමාජ-ජාතයෝන්මාදවාදියෙකු බවට පත්වී ධනපති රජයට අතුල්විය.

හේගල් Hegel ගියෝර්ග් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් (1770-1831) – ජර්මන් ජාතික මහා දර්ශනවාදියෙකි. විෂයමූල විඥ්ඥානවාදියෙකි. හේගල්ගේ ඓතිහාසික වැඩකොටස වන්නේ දයලෙක්තික ද්‍රව්‍යවාදයේ න්‍යායට එක් මූලාශ්‍රයක් වූ විඥ්ඥානවාදී දයලෙක්තික ක්‍රමය සවිස්තරාත්මක ලෙස විශ්ලේෂණයට භාජනය කිරීමය.


ලෙනින් අන්තර්ජාල ලේඛනාගාරයමාක්ස්වාදීන්ගේ අන්තර්ජාල ලේඛනාගාරය

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. // කර්මාන්තයේදී පමණක් නොව කෘෂිකර්මාන්තයෙහිද කුඩා පරිමාණ නිෂ්පාදයට වඩා මහා පරිමාණ නිෂ්පාදයේ ඇති තාක්ෂණික හා වානිජ උසස් බව බිදලිය නොහැකි සත්‍ය කරුණු අනුව ඔප්පු වී ඇත// එය එසේ වුවද මුලික සමාජවදයේදී කුඩා පරිමාණ නිෂ්පාදනයට ඉඩ දිය යුතුය. එසේ නැතහොත් ළඳරු සමාජවාදී රාජ්‍යයකට පැවතිය නොහැක. ධනපති ක්‍රමයේදී ඉඩම් හිමි මහා පරිමාණ ධනපතියා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කලද සමජවදයේදී සුළු පරිමාණ ගොවින් හා නිෂ්පාදකයන්ට ස්වේච්චාවෙන් එක්වී මහා පරිමාණ නිෂ්පාදනයට අත ගැසීමට උනන්දු කල යුතුය. ස්ටාලින් නොකළේ එයයි. ස්ටාලින් සංශෝධනවාදියෙක්ද?

Comments are closed.