Memories of my Melancholy Whores මගේ දුක්ඛදායක සුන්දරියෝ පිළිබඳ මතක
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක යනුවෙන් විදුර ප්‍රභාත් මුණසිංහ සිංහලට නඟා ඇත්තේ ගබ්රියෙල් ගාර්ෂියා මාකේස් දැනට අවසන් වරට ලියා ඇති Memories of My Melancholy Whores. (2004) නමැති කෙටි නවකතාවය. මාකේස් යයි කී විට අපට සිහියට නැගෙන්නේ One Hundred Years of Solitude (1967), Love in the Time of Cholera (1985) සහ The General in His Labyrinth (1989) වැනි විශිෂ්ට නවකතා ලියූ ලතින් අමෙරිකානු මහ ගත්කරුය. එහෙත් ඔහුගේ මේ අලුත් කෘතියෙන් ඔබට එබඳු මාකේස් කෙනෙකු හමු නොවන බව අනතුරු ඇඟවිය යුතුව ඇත.
මෙම නවකතාව ආරම්භ වන්නේ පුවත්පත් තීරු ලිපි රචකයකු වූ එක්තරා මහලු මිනිසෙක් (ඔහුට නමක් නැත.) සිය අනූවන උපන් දිනයේදී ළාබාල කන්‍යාවක සමඟ යහන් ගත වීමේ ආශාවක් ප්‍රකාශයට පත් කිරීමෙනි. ඔහුගේ එම අපේක්ෂාව සඵල වෙතත් ඔහුට මුණ ගැසෙන්නේ නිද්‍රා ජනක ඖෂධයක් දීමෙන් තද නින්දකට පත් කළ තරුණියකි. කතාවේ ඉතිරි අඩ එම තරුණිය කෙරේ වූ ඔහුගේ ලාලසාව පිළිබඳ වාගාලංකාරයක් වී ඇත.
ඇත්ත. මාකේස් මෙහිලා ඔහුගේ වෙනත් විශිෂ්ට නවකතා සමඟ සම අසුන් ගත හැකි නවකතාවක් නොලියයි. කන්‍යාවක සමඟ යහන් ගත වීම මහල්ලන්ට දීර්ඝායුෂ ලබා දෙන බවට වූ මිත්‍යාමතික විශ්වාසය ප්රස්තුත කර ගත් නවකතා ඇති පදම් ලියවී ඇත. තෝමස් මාන් ගේ The Death in Venice නවකතාව මාකේස් ට බෙහෙවින් බලපාන්නට ඇති බව නිසැකය. මාන්ගේ නවකතාවට ප්රස්තුත වන්නේ ළාබාල රූමත් ගැටවරයකුට පෙම් කරන පනස් වියැති මිනිසකු පිළිබඳ කතාවකි.
තෝමස් මාන් ගේ නවකතාවටත් වඩා මාකේස්ට බලපා ඇත්තේ යසුනරි කවබතා ගේ The House of the Sleeping Beauties නමැති කෙටි කතාවයි. එම කතාවට ප්රස්තුත වන්නේ නිද්‍රාවට පත් කළ රූමත් කන්‍යාවන් නිරුවත් කර ප්‍රදර්ශනය කරනා ගණිකා මඩමක් පිළිබඳවය. එහි යන අයට එම කතුන් අසලින් රැය පහන් වන තෙක් නිදා ගැනීමට අවසර ලැබෙතත් කිසිම අයුරක නරක දෙයක් කිරීමට ඔවුනට ඉඩ නැත. නිදා සිටින යුවතියන්ගේ මුවට ඇඟිල්ලක් දැමීම හෝ එබඳු කිසිවක් කිරීමට උත්සාහ කිරීමට ඔවුනට අකැප විය. මාකේස් ගේ මේ නවකතාව මාන් සහ කවබතාගේ නවකතා හෝ එම ෂානරයේ (genre) වෙනත් එබඳු නවකතා සමඟ ගත් කලද හොඳ නවකතාවක් නොවේ.
එසේ ද වුවත් මෙම නවකතාව පිළිබඳ වෙනත් කියවීමක් අපට යෝජනා කළ හැක. එනම් මාකේස් මෙහි ලා තමාගේ නිර්මාණ පෞරුෂය පිළිබඳ දෘෂ්ටාන්තමය යළි කියවීමක යෙදෙන බවය. දැනට 86 වියැති පිලිකාවකින් පීඩා විඳින මාකේස් 2003 දී Living to tell the tale යනුවෙන් තම ස්වයං චරිතාපදානයේ මුල් අදියර පිටු 500 ක් දිගට ලියුවේය. අසම්පූර්ණ වූ තම ජීවන කතාවට ඔහු අතිරේකමය ලිවීමක් ලෙස මෙම පොත ලියා ඇත්තාක් මෙනි.
අනූ වියැති මහල්ලකු තම උපන් දිනය දා කන්‍යාවක සමඟ යහන් ගත වීමට ඇති ආශාව ප්‍රකාශයට පත් කිරීම තුළ ප්රක්ෂේපණය වන්නේ මාකේස් ම නොවන්නේද? සැබවින් ම එලෙස කන්‍යාවක සමඟ යහන් ගත වීම සඳහා අවස්ථාව ඉල්ලා සිටින්නේ මෙහි එන නමක් නොමැති මහල්ලා නොව මාකේස්මය. ඔහු මෙහි ලා ප්‍රකාශයට පත් කරන්නේ ලේඛන කලාව විෂයෙහි තමා තුළ වන තරුණ ජවය පිළිබඳ විශ්වාසයයි. ඒ පිළිබඳ අභිමානයයි.
සිංහල පරිවර්තකයා Melancholy Whores යන යෙදුම දුක්ඛ දායක සුන්දරියන් ලෙස හැඳින්වීම කෙනෙකුට ගැටලුවක් වීම වෙනම කරුණකි. කෙසේ වෙතත් ඊඩිත් ග්‍රොස්මන් (Edith Grossman) එය ස්පාඤ්ඤ බසින් Melancholy Whores යනුවෙන් ඉංග්‍රිසියට නගා ඇත. එම යෙදුම තුළ මාකේස් තම සමස්ථ නිර්මාණ ජීවිතය ම ෆ්‍රොයිඩියානු ලුබ්ධිමය (Libidinal) කියවීමක් බවට පත් කරයි. ඉන් කියවෙන්නේ ඔහු ගැහැණුන් සමඟ නිදි වැදුන බව නොවේ. එය වූ කලී ඔහුගේ ජව සම්පන්න නිර්මාණ ජීවිතය පිළිබඳ දෘෂ්ටාන්තමය (allegerically) කියවීමකි. මේ පොත එලෙස කියවිය නොහැක්කේ නම් වැදගැම්මකට නැති අසභ්‍ය පොතක් ලෙස බැහැර කිරීම අසාධාරණ නැත.
ගාර්ෂියා මාකේස් මේ කතාව ලිවීමෙන් නව ජවයකින් යුතුව ලිවීමට තමා තුළ පැලහි පැලහී නැගෙන ආශාව පළ කරන්නාක් මෙනි. කන්‍යාව කෙරේ වූ ලාලසාව නිසාම ප්‍රේමාන්විත වූ සිතිවිලි වලින් ආතුර වන මේ මහලු ලේඛකයාගේ තීරු ලිපි ලියවනේනේ ආදර හසුන්වල ශෛලියෙනි. ඔහු තමා හඳුන්වා ගන්නේ මහල්ලකු ලෙස සිතීමේ පුරුද්දක් නැති අනු වියැති මිනිසකු ලෙසය. (බලන්න සිංහල පරිවර්තනයේ 56 පිටුව) ඔහු මෙම කතාව නිම කරන්නේ තම සියවැනි උපන් දිනය වන විටත් තම නිර්මාණ ජවය වියැකී නොමැන්නේ යයි ඉඟි කරමින් නොවන්නේ ද?
කන්‍යාව ඔහුට පිස්සුවෙන් ආලය කරන බව ගණිකා නිවාසයේ හිමිකාරිය වූ රෝසා කැබරකාස් ඔහු සමඟ පැවසීම තුළ පළ වන්නේ තවමත් නිර්මාණ ශක්තිය තමා කෙරේ වන බවය. කන්‍යාව එම කාරනයේ ලා සංඥමය රූපකයක කාර්යභාරයක් ඉටු කරයි. ලේඛකයකුගේ ඕනෑම ලියවිල්ලක ඔහු සැඟව කරයි. ලේඛකයකුගේ ඕනෑම ලියවිල්ලක ඔහු සැඟව සිටීම නොවළැක්විය හැක. එහෙත් තමාම ප්රස්තුත කොට ගනිමින් ස්වයං චරිතාපදානයක් ලියන්නා නොදැනුවත්වම ඉන් බැහැර වෙයි. එහෙත් තමාගේ ජීවිතය දෘෂ්ටාන්තයක් ලෙස ලිවීමෙන් ඔහු තමා දෙස තමාට ම බැලිය හැකි ක්‍රමයක් නිර්මාණය කරයි. මාකේස් මෙහි ලා කරන්නේ එයයි.
ගාර්ෂියා මාකේස් මෙම නවකතාව තුළ නිර්මාණශීලී බව පුරුෂ ලිංගමය සංඥාවක් ලෙස කියවයි. මෙහි එන කතා නායකයාට විශාල පුරුෂ ලිංගයක් ඇති බව කියවේ. ගණිකා නිවාසය අයිතිකාරිය පමණක් නොව ඔහු සමඟ පෙර විසූ ගැහැනුන් පවා අශ්ලීල ලෙස එම පුරුෂ ලිංග සංඥාව තොරොම්බල් කරයි. මාකේස් තම නිර්මාණ ජවය පුරුෂ ලිංගමය සංඥාවක් ලෙස හඳුන්වා දෙන්නේ එලෙසය.
පරිවර්තන යනු දේශීය සාහිත්යකලාලය පුළුල් කරනා වෙනම සාහිත්‍ය ෂානරයක් ලෙස සැලකීමේ පුරුද්දක් අපට නැත. මේ නිසා පර බස නොදත් පාඨකයාට පරිවර්තන විශ්ව සාහිත්‍යය ට පිවිසීමේ දොරටුවක් බවට පත්ව ඇත. ඊටත් වඩා ඉන් ලේඛයකු වීමේ පහසු ක්‍රමයක් ද සකස් කර දෙයි. මේ නිසා දැන් පරිවර්තනය නොවුන විදේශීය කෘති අතර තිබෙන්නේ රුෂ්ඩිගේ පන්නයේ දුෂ්කර නිර්මාණ පමණකි. මා ඒ ටික ලිව්වේ මෙම පරිවර්තනය අරබයා නොවන බව කරුණාවෙන් සලකන්න.
සමන් වික්‍රමාරච්චි