ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුමට අනුව ඉන්දීය ලාභ ශ‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වෙළෙඳපොළට ඇතුළු විය හැකිය. පසුගිය දිනෙක අගමැතිතුමා සමඟ කරන ලද සාකච්ඡාවකට පසු ‘වෛද්‍ය සංගමය’ ප‍්‍රකාශ කළේ එම ගිවිසුම වෛද්‍යවරුන්ට අදාළ නොවන බවය.

නමුත් වෛද්‍යවරුන්ට අදාළව ඉන්දීය වෙළෙඳ ගිවිසුම ලංකාවේ දුප්පත් ජනයාට සහනයට කාරණයකි. හෘදය සැත්කම්, වකුගඩු සැත්කම් සහ තවත් සැත්කම් ගණනාවකට අදාළව ලංකාවේ මිල ගණන් ඉතා ඉහළය. ඉන්දීය වෛද්‍යවරුන්ට ශල්‍යකර්මවලට අදාළව වෙළෙඳපොළ විවෘත කළහොත් එය ලාංකික රෝගීන්ගේ පැත්තෙන් යහපත්ය. නමුත් එම වාසිය දැන් බහුතර ජනයාට නොලැබී යනු ඇත. දොස්තරවරුන්ට තත්ත්වය මෙසේ වුවත් මෘදුකාංග ඉංජිනේරුවන් සම්බන්ධයෙන් මෙම සීමාව බලපාන්නේ නැත. මේ නිසා ඉදිරියේ දී ඉන්දීය ලාභ ශ‍්‍රමය මෘදුකාංග වෙළෙඳපොළට ළඟා වනු ඇත. එය ඉංජිනේරු ක්ෂේත‍්‍රය තුළ ඉතා තද ප‍්‍රතිවිරෝධතා බිහි කරනු ඇත. අපට ලැබෙන ආරංචිවලට අනුව ඉන්දීය වෙළෙඳ ගිවිසුමට අනුව බොහෝ ශ‍්‍රම බළකායන්ට අදාළව ඉන්දීය ලාභ ශ‍්‍රමය ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්විය නොහැකිය. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් විවිධ මතවාදී කණ්ඩායම් මේ දිනවල උත්සාහ කරන්නේ ඉන්දීය වෙළෙඳ ගිවිසුම මඟින් අභියෝගයට ලක් වන විවිධ වෘත්තිකයන් එක්රැස් කර ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරවීමටය.

ගෝලීයකරණය හමුවේ ශ‍්‍රී ලංකාවේ ජාතික රාජ්‍යයේ ස්වාධිපත්‍යය ගිලිහී යමින් පවතින බව අපට දෘශ්‍යමානය. ලාභ ශ‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වෙළෙඳපොළට අවතීර්ණ වීම වැළැක්වීමට ඉදිරියට නොහැකි වන අතර එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාවකි. ගිවිසුමෙන් වෛද්‍යවරුන් නිදහස් කර අනෙක් ශ‍්‍රමිකයන් ඊට ඇතුළත් කිරීම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන භාවිතාවකි. ඉදිරියට පැමිණීමට නියමිත TTIP බදු ගෝලීය ගිවිසුම්වලින් මෙතරම් පහසුවෙන් ආණ්ඩුවට පැන යාමට ඉඩ නොලැබෙනු ඇත.

මේ මොහොතේ අග‍්‍රාමාත්‍යවරයාගේ මූලෝපාය වනු ඇත්තේ මහින්ද සහ මෛත‍්‍රී වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කර පුංචි ඡන්දය පැවැත්වීමටය. එවිට බොහෝ විට මෛත‍්‍රී පාර්ශ්වය තුන් වන තැනට පවා ඇද වැටීමට නියමිතය. එබැවින් අගමැතිවරයාගේ මෙම උපායට ජනාධිපතිවරයා ඇතුල් වේද යන්න අවිනිශ්චිතය.

රටට අවශ්‍ය අලූත් ව්‍යවස්ථාවක් සාදා, ජාතික ගැටලූවට ස්ථිරසාර විසඳුමක් දී ආර්ථික සංවර්ධනය ඇති කිරීම නම් ඡන්ද පැවැත්වීම භයානකය. ඡන්දය යනු මිනිසුන්ව අවිනිශ්චිත කරන ක‍්‍රියාවලියකි. මහින්ද රාජපක්ෂ දිගට හරහට සෙල්ලමට මෙන් ඡුන්ද පවත්වාගෙන ගියේ ලංකාවේ රාජ්‍යය ජාතිවාදී කිරීමෙනි. එවැන්නක් මේ ආණ්ඩුවට කළ නොහැකිය. මේ මොහොතේ ජාතිවාදය කරපින්නා ගත් අයට අවශ්‍ය වන්නේ විවිධ ඡන්ද ය. එම ඡන්දවලින් ජාතිවාදය ජයග‍්‍රහණය වනවා මිස රටට සුගතියක් සිදු වන්නේ නැත. ජාතිවාදයට යට නොවන අගමැතිවරයා ද කල්පනා කළ යුත්තේ ඡන්ද නොතබා දේශපාලන ප‍්‍රතිසංස්කරණ බිහි කිරීමටය. ඉන් අදහස් වන්නේ අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය නැත යන්න නොවේ. මේ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙන්නේ අපගේ පැත්තේ නොව ජාතිවාදීන්ගේ පැත්තේය. ඉන්දීය වෙළෙඳ ගිවිසුම පවා අප වෙතට බලහත්කාරයෙන් ළඟා වන්නේ චීනයේ කටයුතු ලංකාව තුළ සීමා කිරීමටය. ‘දෙමළ ගැටලූව’ පවතින තුරු ලංකාවේ ස්වාධිපත්‍යය පවතින්නේ අනතුරකය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දැක්මක් සහිත වීම කියන්නෙ මේ කාලෙට දේශපාලකයෙක්ට තියෙන්න පුලුවන් නරකම දේ..
    ක්ලීන් සූට් සහ බර වචන දේශපාලනය..
    හර්ෂ, රවී, අනුර කුමරා සහ බහුතරයක් ජෙප්ස්..
    තග සහ සන්දර්ශනාත්මක දේශපාලනය
    රන්ජන්, මර්වින්, හරීන්, පාලිත තෙවරප්පෙරම..
    නියෝජිත දේශපාලනය (ඔවුන් කිසිම දෙය්ක ගැන කිසිම මතයක් නැති යන පැත්තට කුඩේ අල්ලා උඩයන්නට හදන පිරිසකි.. )
    මහින්ද, නිමල් සිරිපාල, ජනාදිපති සිරිසේන..

    මෙතන ඔය ගොඩවල් වලින් අඩුතරමෙ ධනවාදී ෆැසිස්ට්වාදී හෝ මොකක් හෝ බේතකට කියලා හරි දර්ශනයක් කියලා නාමෙකට තියෙන්නෙ රනිල්ට විතරයි.. අනික් උන් හැමෝටම රනිල්ගේ දේවල් විවේචනය කරන්න පුලුවන් වුනාට කෝ විකල්ප… උතුරු කොරියාව වගේ ලෝකෙන්ම වෙන් වෙලා ඉන්න හරි තීරණයක් ගන්න එකෙක්ට පුලුවන්ද? රණවක සාදුලාගේ ඩිග්රි හොදයි උද්ගෝෂණ කරලා පාර රත්වුනාම පාරෙ දාන් වාඩිවෙන්න..

Comments are closed.